පැරණි ජන සමාජයේ තරුණියන්ට, කාන්තාවන්ට සිදුවූයේ සාම්ප්‍රදායික නීතිරීති මාලාවකට යටත් වීමටය. බොහෝ තරුණියන් පතිකුලයට බැඳුණු දා සිට ඇයට ගත කරන්නට ලැබෙන්නේ තටු සිඳ බිඳ දැමූ කිරිල්ලියක විලසිනි.
මේ තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ ආසියානු කාන්තාවන්ටය. එහෙත් යුරෝපීය කාන්තාවන් එසේ නැත. ඔවුහු පුරුෂ පක්ෂය සමඟ උරෙන් උර ගැටෙමින් කටයුතු කරති.
එහෙත් වර්තමානය වනවිට ආසියානු රටවල කාන්තාවන්ද විවිධ රැකියාවල, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළී සිටිති.
කාන්තාව විවිධ රැකියාවල නිරත වුවත් කලා ක්ෂේත්‍රයට පිවිසීම දෙස ඇතැම් දෙනා බලන්නේ වෙනස්ම ආකාරයකිනි. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයට, ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වන කාන්තාවන් දෙස ඇතැම් අය බලන්නේ වපර ඇසිනි. එවැනි තත්ත්වයක් තිබියදීත් මේ තුන් අංශයට කාන්තාවන් දායකත්වය සැපයීම අගය කළ යුතුයි.
විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ දායකත්වය තිබිය යුතුමය. රංගන ශිල්පිනියන් කොතෙක් සිටියත් චිත්‍රපට අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට සම්බන්ධ කාන්තාවන් සිටින්නේ සුළු පිරිසකි. අතීතයේ සිටම පැවතියේ එවැනි තත්වයකි. කාන්තාවක් නිෂ්පාදනයට පිවිසීමක් පිළිබඳ අතීතයෙන් වාර්තා වන්නේ 1957 වර්ෂයේය. ඒ අපේ රටේ පළමු නිළි රැජින වන රුක්මණී දේවිය ය. එසේ නිෂ්පාදනය කළේ හෙළ සිනමාවේ විකට රංගනයේදී ඉහළින් වැජඹුණ තම ආදරණීය ස්වාමිපුරුෂයා වූ එඩී ජයමාන්න සමඟ එක්ව නිෂ්පාදනය කළ “සිරියලතා” චිත්‍රපටයයි. එහි විශේෂත්වය වනුයේ ඔවුන් සිනමාවට සෘජුව සම්බන්ධ වී සිටි යුවළක් වීම සහ අඹුසැමියන් වීමය.
ඉන්පසු කාන්තාවන් කිහිපදෙනෙක්ම නිෂ්පාදනයෙන් සිංහල සිනමාවට දායකත්වය සැපයීය.
බොහෝ මෑතකදී තවත් අඹුසැමි යුවළක් සිංහල සිනමාවට සම්ප්‍රාප්ත විය. ඔවුන් සිනමා පටයක් නිපද වීමට පෙලඹෙන්නේ සිනමාවට ඇති ආසාව සහ ළැදියාව නිසයි.
මේ දිනවල තිරගත වන “විශ්ම” චිත්‍රපටයේ නිෂ්පාදිකාව රුහුණගේ සඳමාලි සරසවියට පා තැබුවේ ඇගේ සැමියා සමඟ එක්ව තැනූ සිනමා නිර්මාණය ගැන කතා බහ කරන්නටයි.ඇය විශ්ම චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරිය පමණක් නොව එහි කතාව ලියමින් ඇය එහි රංගනයෙන් ද දායක වීම විශේෂත්වයකි.
“මම පොඩි කාලේ ඉඳන්ම කලාවට කැමතියි. පාසැල් කාලයේ හැම උත්සවයකම මම නැටුව, ගැයුව, රැඟුව. මට ඒ කාලේ ලැබුණා වෙසක් නාට්‍යයක රඟපාන්න. මගේ රඟපෑම් දැකල මට තවත් නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒ දවස්වල මම අ.පො.ස. සාමාන්‍ය පෙළ පංතියේ හිටපු නිසා ඒ ආරාධනාව භාර ගත්තෙ නැහැ.
සිනමාවට, ටෙලිනාට්‍යවලට යන්න ආසාවක් නම් තිබුණා. ඒත් ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි හිතේ ලොකු ආසාවක් තිබුණා.
පාසැල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා යොමු වුණා. පසුව විවාහ ජීවිතයට ඇතුළත් වුණා. මට ලැබුණ ස්වාමිපුරුෂයා කලාවට හරිම ළැදි කෙනෙක්. ඔහු ශිරාජ් රසීන්. ඔහු වැඩිපුරම කැමැත්තක් දැක්වූයේ සිනමාවට. ඔහුගේ තාත්තා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහුත් චිත්‍රපටි දෙකක් නිෂ්පාදනය කරල තියෙනවා. ඉතින් මගේ මහත්මයාත් ඉතාමත් කැමැත්තක් දක්වනව චිත්‍රපටි බලන්න. ඔහු මූල්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනව.
මුලින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කරමු කියල අදහස දුන්නේ ඔහු. එයා ගොඩක් නිර්මාණශීලි කෙනෙක්. විශ්ම චිත්‍රපටයේ කතාව ලිවීමට මූලිකත්වය ගත්තෙ ඔහු.
ආදරණීය යුවළක් එකිනෙකාගේ අදහස් හුවමාරු කරගනිමින් නිර්මාණකරණයේ යෙදීම අගය කළ යුතුය. මතවාදවලින් තොරව තම අදහස් අනුව කටයුතු කිරීමේදී ලැබෙන ප්‍රතිඵලය සුන්දරය. විශ්ම කතාව ලියැවුණු සැටි සඳමාලි මෙසේ විස්තර කළාය.
කතාව ලියන කොට මම එයාට උදව් කළා. මම මගේ අදහස් දුන්නා.
මෙය දරුවෙක් වටා ගෙතුණු කතාවක් නිසා දෙබස් පිළිබඳ අපි විශේෂයෙන් සැලකිලිමත් වුණා. මම මගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළේ පිටපත් රචිකාවක් විදිහට නෙවෙයි.
පිටතින් ඉඳන් කියවන කෙනෙක් විදිහට. ඒ අනුව තමයි “විශ්ම” නිර්මාණය වුණේ.
“විශ්ම” කියන්නෙ කුඩා පිරිමි ළමයෙක් වටා නිර්මාණය වූ කතාවක්. එබැවින් ළමයින්ට දැනෙන ලෙස පිටපත ලියැවුණු බවයි සඳමාලි සරසවිය හමුවේ පැවසුවේ. “මමත් මගේ මහත්මයාත් ” විශ්ම” කතාව ලියන කොට ගොඩාක් සැලකිලිමත් වුණා වචන ගැන. කුඩා දරුවන් ” විශ්ම” බලන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කළා. මාධ්‍යයෙන් දකින ඇසෙන දේ තමයි ළමයි අනුගමනය කරන්නේ.
“විශ්ම” චිත්‍රපටය පුරාම තියෙන්නේ ආදරය, සෙනෙහස, කරුණාව, කුතුහලය මවුපියන් සහ දරුවන්ගේ බැඳීම වගේ දේවල්, විශේෂයෙන් මවුපියන් හා දරුවන් අතර ඇති සම්බන්ධය ගැන හිතල තමයි “විශ්ම” ලිව්වේ. දරුවන් අතර තියෙන යාළුකම් ගැන විශ්ම චිත්‍රපටයෙන් කතා කෙරෙනවා. වර්තමානයේ දරුවන් අතර මිතුරුකම දුරස් වෙලා. ඔවුන් ඒ වෙනුවට සම්බන්ධ කරගෙන තියෙන්නේ තාක්ෂණික මෙවලම්. යාළුකම හොඳ බැඳීමක් කියල දරුවන්ට වටහා දෙන්නත් අපි විශ්ම චිත්‍රපටයෙන් උත්සාහ කළා.
විශේෂයෙන් කිවයුතුයි මෙහි සංගීතය ගැන. මියුරු ගීත කිහිපයක් අපි ඇතුළත් කළා විශ්ම චිත්‍රපටයට. මිනිසුන්ගේ ජීවිතය සංගීතය විසින් වෙනස් කරන්න පුළුවන්. සංගීතය නිසා කෙනෙක් තුළ සෞම්‍ය බව ආදරය ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගීතවලින් අපි නිර්මාණාත්මක අදහසක් මතු කරන්න උත්සාහ ගත්තා.
සිනමාවට සම්බන්ධ වීම කුඩා කල සිටම සඳමාලිගේ සිතේ කොනක සැඟවී තිබිණ.
විශ්ම චිත්‍රපටයට සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. මීට අමතරව ළමා නළු නිළි පිරිසක් ද විශ්ම චිත්‍රපටයට යොදා ගෙන ඇත. මෙම චරිත සඳහා නළු නිළියන් තෝරා ගත්තේ කෙසේදැයි, සඳමාලි සරසවිය හමුවේ විස්තර කළාය.
“විශ්ම” චිත්‍රපටයට නළු නිළි පිරිස තෝරා ගැනීම කළේ මගේ මහත්මයා ශිරාජ්. එයට මාත් හවුල් වුණා. අපි දෙන්නා කල්පනා කළා කාවද මේ චරිත වලට ගත යුත්තේ කියල. විශේෂයෙන් අපි ඒ පිරිසගේ රංගන හැකියාව, පෙනුම යන කරුණු වලට අවධානය යොමු කළා”.
උදාහරණයක් විදිහට “විශ්ම” ප්‍රධාන චරිතයට සාරංගව තෝරාගත්තේ ඔහුගේ දක්ෂතාවය සහ පෙනුම මත.
සාරංගගේ පෙනුමේ තියෙනවා ආදරණීය සහ ආකර්ෂණීය බවක්. ඒ වගේම තමයි දිනක්ෂි. ඇගෙන් දිස්වෙන්නේ දඟකාර කෙළිලොල් ගතියක්. අනෙක් චරිතත් ඒ වගේම තමයි. ඉතින් මම හිතනව අපි දෙන්නා එකතු වෙලා තෝරා ගත්ත චරිත විශ්ම චිත්‍රපටයට හරියටම ගැළපුණා කියල. මේ චිත්‍රපටයේ මගේ පුතාත් රඟපානවා. අයාන් රසීන්. සාරංගගේ චූටිම කාලේ නිරූපණය කරන්නේ මගේ පුතා”.
අපි මීට කලින් ”අපේ බාල කාලේ” නමින් ළමා චිත්‍රපටයක් කළා. එයා හොඳ රංගනයක් ඉදිරිපත් කළා ඒ චිත්‍රපටයේ.
රුහුණගේ සඳමාලි නිෂ්පාදකවරිය සිංහල සිනමාවට කුඩා කල සිටම ආදරය කළ චරිතයක්. සිනමාව වෙනුවෙන් කැපවී සිටින බවයි ඇය සරසවිය සමඟ පැවසුවේ.
“මම දිගටම නිෂ්පාදනය පැත්තෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනව. සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරන්න ඕන කියන හැඟීම මට තියෙනවා. අපිට ලැබෙන අවස්ථා අනුව ඉදිරියටත් මම හොඳ නිර්මාණ සඳහා නිෂ්පාදනයෙන් දායක වෙනවා.
සිනමා ක්ෂේත්‍රයේ කාන්තාවන්ට තියෙන ස්ථානය ගැනද කතා කරන්නට ඇය අමතක නොකළාය.
“කාන්තාවක් කුමන හෝ කාර්යයක නිරත විය යුතුයි. ඒත් කාන්තාවන්ට සීමා මායිම් තියෙනවා. ඒක සිනමාවට විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයකට පොදුයි”.
අනෙක් ක්ෂේත්‍රවල වැඩ කරන කොට වගේ නෙවෙයි සිනමාව කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍යයක්. සිනමාවේ කටයුතු කරන විට ප්‍රසිද්ධිය ලැබෙනව. ඒ නිසා විවිධ ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.
හොඳම දේ තමයි කුමන අංශයක රැකියාවක නිරත වුවත් කාන්තාවක් විදිහට මොළය පාවිච්චි කරල වැඩ කළොත් ගැටලුවක් නැහැ.
“විශ්ම” චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වූයේ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් හිදීය. කලාකරුවන් විශේෂ ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් එදින සහභාගී වී සිටියහ. සඳමාලිගේ පාසැල් කාලයේ මිතුරු මිතුරියන්ද එදින විශ්ම නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයක් විය.
“එදා මගේ ජීවිතයේ ලස්සන දවසක් වුණා. අපිට ආදරය කරන ගොඩක් අය ඇවිත් හිටියා විශ්ම බලන්න. එයාලගෙන් ලැබුණ ප්‍රතිචාරත් ඉතා ඉහළයි”.
විශ්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන රන්දික විජේමාන්නවත් ආදරයෙන් මතක් කරනවා.
“රටේ ජනතාවගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනව විශ්ම නරඹන්න එන්න කියල”.
”විශ්ම කියන්නෙ ලස්සන චිත්‍රපටයක්. සරල කතාවක්. ඕනෑම කෙනෙක්ට රසවිඳීන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක්. ආදරය, කරුණාව, කුතුහලය, විනෝදය සපිරි නිර්මාණයක්.
විශ්ම බලල ඒ මොහොත රසවිඳීන්න.” කාන්තාව සිනමාවට අවශ්‍ය භූමිකාවක්. ඇය සතුව තිබෙන ආදරණීය බව, සංවේදී බව, දයාව, කරුණාව එකට කැටි වූ කළ කාන්තාව අතින් සුන්දර නිර්මාණයක් බිහිවීමට ඇති ඉඩකඩ ඉහළයි. කාන්තාව බොහෝ විට නිර්මාණශීලි වේ. වත්කම් ධනය තිබූ පමණින්ම කිසියම් නිර්මාණයකට අත ගැසීමට සෑම කාන්තාවකටම සිත් පහළ වන්නේද නැත.
රුහුණගේ සඳමාලි කලාවටත් ව්‍යාපාර ක්ෂේත්‍රයටත් එකසේ දායක වීම විශේෂත්වයකි. ඇය ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම යහපත් බිරිඳක් සහ මවක් ද වේ. ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ආයතන කිහිපයකම තනතුරු දැරූ උගත් කාන්තාවකි. එවැනි චරිතයක් සිනමා නිෂ්පාදකවරියක ලෙස සිංහල සිනමාවට අවැසිම මොහොතයි මේ.
ඇය සිංහල සිනමාව වෙනුවෙන් ඉදිරියේදී තවත් චිත්‍රපටි කිහිපයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. තව තවත් සුන්දර සිනමා නිර්මාණ සමඟ රුහුණගේ සඳමාලි නැවතත් සිනමාවේදී හමුවෙනු ඇත.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය