නිවස සංවාද මගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන මං තෘප්තිමත් නැහැ

මගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන මං තෘප්තිමත් නැහැ

අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරගේ

by Thanushika
October 17, 2024 12:30 am 0 comment

මෙරට සිනමා ක්ෂේත්‍රයේත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් වෙළෙඳ දැන්වීම් නිර්මාණයේත් අධ්‍යක්ෂණයේත් තිර රචනයේත්, සහාය අධ්‍යක්ෂණයෙන් කලා නිර්මාණයන්ට දායක වී ඇති ඔහු නිසදැස් කාව්‍ය රචකයෙක් හා නිදහස් පුවත්පත් ලිපි සම්පාදකයෙක් ලෙසින් ද මේ වනවිට මේ මහා කලාකෙත ස්පර්ශකොට හමාරය. 1992 වසරේ ටෙලි විව් අභ්‍යාස ආයතනයේ සය මාසික පාඨමාලාවක් හදාරා අවසන් කිරීමත් සමඟ ටෙලි විව් ආයතනයේ නිෂ්පාදනයක් ලෙසින් රූගත කිරීම් අරඹන අනුර ජයසේකර ගේ පෑලදොරින් ප්‍රාසාංගික ටෙලි නාට්‍යයේ දෙවන සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් හා පුරා කියා කලා නිර්මාණයන්ට දායක වීම ඇරඹි ඔහු නමින් පි‍්‍රයන්ත පතිරගේය. ටෙලිවිව් ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලබන වෙළෙඳ දැන්වීම් හා ටෙලි නාට්‍ය බොහොමයක දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන පි‍්‍රයන්ත පතිරගේ 1994 වර්ෂයේදී එරංග සේනාරත්නගේ ‘ඉරහඳයට’ ටෙලිනාට්‍යයෙන් ප්‍රධාන අධ්‍යක්ෂණයට පිවිසියේය. 1999 දී තිරපිටපත් රචකයකු ලෙසින් ද ගමනක් අරඹන ප්‍රියන්ත හා පුරා කියා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු බවට පත්වනුයේ තමන් විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘බීරලු කොට්ටය’ ඒකාංගික ටෙලි නිර්මාණයත් සමඟය.

2013වසරේ හා පුරා කියා චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන පි‍්‍රයන්ත ‘පුංචි අපිත් බය නෑ දැන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා කරුවන්ගේ නාමාවලියේ එක් සලකුණක් බවට පත්වේ.

අපි කතාකරමු බොහෝ කලා කුසලතාවයන්ගෙන් පිරි සහාය අධ්‍යක්ෂවරයා, චිත්‍රපට අධ්‍යක්ෂවරයා, තිරරචකයා, සමඟ.

පි‍්‍රයන්ත හා පුරා කියා කලා ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ මොනවගේ භූමිකාවකින් ද?

ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස පෑල දොරින් කියන ටෙලි නාට්‍යයේ දෙවැනි සහාය අධ්‍යක්ෂ ලෙස තමයි මම හා පුරා කියා කලාවේ ගමනක් අරඹන්නේ. මෙහි පළමු සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ සරත් සේනාරත්න මහතා.

දෙවැනි සහාය අධ්‍යක්ෂකගේ කාර්යභාරයේ ඉදිරියටත් ඔබ රැඳෙනවද?

මම වසර දෙකක් පමණ ටෙලිවිව් ආයතනයේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළා. ටෙලිවිව් අධිපති සුනිල් රත්නායක මහතා නිර්මාණය කරන වෙළෙඳ දැන්වීම් වල ඊට අමතරව ටෙලිවිව් ආයතනයේ නිෂ්පාදනයන් ලෙස බිහිකරන ටෙලි නාට්‍යවල කුමාරසිරි අබේකෝන්ගේ ‘දේවි’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘දඩුබස්නාමනය’ ආදී ටෙලි නිර්මාණ රැසකට දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් මට දායක වෙන්න ලැබෙනවා.

ඔබ සහාය අධ්‍යක්ෂවරයෙක් බවට පත්වන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නොවේද?

එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ඉරහඳ යට ටෙලි නාට්‍යයේම තමයි මම සහාය අධ්‍යක්ෂවරයෙක් බවට පත්වන්නේ ඊට පස්සේ මම ටෙලි නිර්මාණකරුවන් වූ කුමාරසිරි අබේකෝන්ගේ චතුරංග, එරංග සේනාරත්නගේ ‘ආදරවන්තයෝ’, කාංචන දිසානායකගේ ‘ඉනිමංකඩ’ ආදී ටෙලි නාට්‍ය රාශියක සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් වැඩ කරනවා.

පි‍්‍රයන්ත වැඩි කාලයක් යන්නට මත්තෙන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙනවා නොවේද?

ඒ කඩඉම මම ජයගන්නේ 1999 වර්ෂයේදී. මා විසින්ම තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘බීරලු කොට්ටය’ ඒකාංගික ටෙලි නාට්‍ය මම මුලින්ම අධ්‍යක්ෂණය කරනවා. මෙය ජාතික රූපවාහිනි නාළිකාවෙන් විකාශය වෙනවා.

ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් පසු ඔබ ප්‍රාසංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සඳහාත් පියවර ඔසවනවා. නොවේද?

2007 වසරේ මම ඒ කඩඉම ජයගන්නවා. ‘සුදු නංගී’ ප්‍රාසාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින්.

ඔබේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයේ වැඩි ඉඩකඩක් ඒකාංගික ටෙලි නිර්මාණ සඳහා යොමුවෙනවා. නේද?

2010 වසරේ ඉඳල පෝය ටෙලි නාට්‍ය විස්සක් විතර මේ වනවිට කරල තියනවා. ඒ සියල්ල ඒකාංගික. ඒ හැම නිර්මාණයක්ම මේ වනවිට විකාශය වෙලත් තියනවා. මේ බොහෝ ටෙලි නිර්මාණවල පිටපත් රචනයත් මගේ. 2018 වසරේ මම අධ්‍යක්ෂණය කළ නත්තල් තෑග්ග, 2024 වසරේ මම අධ්‍යක්ෂණ කළ ‘ආච්චි අම්මා’ ටෙලි නාට්‍ය මගේ ඒකාංගික ටෙලි නාට්‍ය ගොන්න තව තවත් ඉහළට ඔසවා තබනවා.

1999 වර්ෂයේදීම ඔබ නැවත පියවරක් ඉදිරියට තබමින් චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා නේද?

උදයකාන්ත වර්ණසුරියගේ ‘රාජ්‍ය සේවය පිණිස’යි. චිත්‍රපටයේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් මගේ සිනමා ගමන මම ආරම්භ කරනවා. උදයකාන්ත මහතාගේ ප්‍රධාන සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඩොනල්ඩ් ජයන්ත මහතාගේ මාර්ගයෙන් තමයි මට මේ අවස්ථාව උදාවෙන්නේ. එතැන් පටන් උදයකාන්ත මහතා මේ දක්වා අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයකම මම දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරලා තියනවා. මේ දවස්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වෙන ගිනි අවි සහ ගිනි කෙලි 2 චිත්‍රපටය දක්වා උදයකාන්ත මහතාගේ සියලු නිර්මාණ සඳහා මම දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියනවා. රෝස වසන්තේ, හිරිපොද වැස්ස, ගිනිමල් පොකුරු, රංකෙවිට, ගින්දරි 1 හා 2 බහුභූතයෝ ඇතුළු ඔහුගේ පමණක් චිත්‍රපට විස්සකට විතර මම දායක වීමක් කරල තියනවා. ඊට අමතරව රන්ජන් රාමනායකගේ වන්ෂොට්, පාර්ලිමන්ට්ස් ජෝක්ස්, පි‍්‍රයන්ත කොළඹගේ ගේ මන්දාරා, සුරිය සුළඟ චිත්‍රපට සඳහාත් මම දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

2010 වසරේ ඔබ චිත්‍රපට ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා වෙමින් නිර්මාණකරණයට අවතීර්ණ වෙනවා නේද?

ඒ අවස්ථාව මට මුලින්ම උදාවන්නේ සුනිල් අරුණ වීරසිරිගේ ටිකිරි සුවඳ චිත්‍රපටයෙන් ඊට පස්සේ ඔහුගේම වීරයා චිත්‍රපටයෙත් මම ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. රෝයි ද සිල්වාගේ ඉට්ස් අ මැටර් ඔෆ් ලව්, ලාස් චාන්ස් චිත්‍රපට වලත් ලකී ඩයස් ගේ බ්‍රේකින් නිවුස් චිත්‍රපටයෙත් මම ප්‍රධාන සහාය අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළා.

ඔබ සහාය අධ්‍යක්ෂණයට දායක වූ සියලු චිත්‍රපට මේ වනවිට තිරගත වෙලා අවසන් ද?

නෑ. උදයකාන්ත මහතාගේ සාජන්ට් පුංචිසෝම ලකී ඩයස් මහතාගේ බ්‍රේකින් නිවුස් චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න තියනවා.

ප්‍රියන්ත පතිරගේ ටෙලි නාට්‍ය චිත්‍රපට වෙළෙඳ දැන්වීම් වලට පමණක් සීමා වූ සහාය අධ්‍යක්ෂවරයෙක් පමණක්ම ද නොඑසේ නම් අධ්‍යක්ෂවරයෙක් පමණක් මද? වේදිකාව ඔබ සම්පූර්ණයෙන් බැහැර කරලා ද?

එහෙමත් නෑ. මට වේදිකාවට ආරාධනා නැතිකමක් තියෙන්නේ. එවැනි වේදිකා නිර්මාණයකට මට ආරාධනා ලැබුණොත් එය භාර ගන්න මම මැලිකමක් දක්වන්නේ නෑ. මෙතෙක් මම වේදිකා නිර්මාණ සඳහා කොයිම ආකාරයෙන්වත් සම්බන්ධ වීමක් කරලා නෑ.

පිටපත් රචනය, සහාය අධ්‍යක්ෂණය, අධ්‍යක්ෂණය කරමින් කලා නිර්මාණයන්ට දායකවන ඔබට රංගනයට ආරාධනා නොලැබුණාද? නැත්තම් ඔබ ඒ සඳහා මනාපයක් නැද්ද?

රඟපෑමට මට ආශාවක් නෑ. මම දායක වූ නිර්මාණ වල දී මට ඕනෙ තරම් තිබුණා රංගනයට දායක වන්න. ඒත් මා තුළ තියන අකමැත්ත නිසා එයින් මම ඈත් වෙලා හිටියා. නමුත් මම සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල දෙබස් වලින් තොරව සමූහ දර්ශන වලට පෙනී සිටීමක් පමණක් කළා. තවත් විටෙක කුමක් හෝ දෙයක් ගෙන යාමේ කටයුත්තකට පෙනී සිටියා.

කොහොම කිව්වත් ඔබ දෙබස් නොකියා රංගනයේ නියැළුණු නළුවෙක්?

හැබැයි මම මේ හැම නිර්මාණයකම පෙනී සිටියේ මගේ කැමැත්තට නොවෙයි. අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමකට කෙනෙකුගේ අඩුවක් පුරවන්න.

මේ ගමන තුළ ඔබේ උත්සාහයක් තිබුණේ නැද්ද? චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න?

එක චිත්‍රපටයක් මම අධ්‍යක්ෂණය කළා. පුංචි අපිත් බය නෑ කියලා. 2013 වසරේ තමයි මම චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. 2015 වසරේ ඒ චිත්‍රපටය තිරගත වුණා. මේ සඳහා මට අර්ථපතිත්වයෙන් දායක වුණා. කැලුම් නිරෝෂන්, ජනක කුමාර, සංදීප් රන්ජීව් ඔවුන්ගේ මුල්‍ය දායකත්වය නොලැබෙන්න මට සමහරවිට චිත්‍රපට අධ්‍යක්ෂණය හීනයක් වෙන්න තිබුණා.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීමත් සමඟ එහි දිගු ගමනකට අඩිතාලම දාන්න උත්සාහ ගත්තේ නැද්ද?

මගේ තිරපිටපත් වලට අවශ්‍ය කරන නිෂ්පාදකයෙක් මට හම්බ වුණේ නෑ. පුංචි අපිත් බය නෑ දැන් චිත්‍රපටයේ පිටපත මගේ නොවෙයි. එහි අධ්‍යක්ෂණය පමණක් මම කළා.

තිරපිටපත් රචකයකු ලෙසත් ඔබ සිනමාවේ රැඳෙන්න ද බලාපොරොත්තුව?

දැනට මා සතුව වැඩ අවසන් කළ චිත්‍රපට තිරපිටපත් දෙකක් තියනවා. තවත් පිටපත් අටක් පමණ සම්පුර්ණ නොකරපුවා සතුව තියනවා.

දැනට ඔබ වැඩ අවසන් කළ පිටපත් දෙක මොන තේමාවක් ඔස්සේ ලියැවුණු තිර පිටපත් ද?

එයින් එකක් ළමා චිත්‍රපටයකට ලියවු දෙයක් අනෙක් පිටපත ලියවෙලා තියෙන්නේ තාරුණ්‍යත් සමඟ බැදුණු කතාවක් මුල්කොට. මේ චිත්‍රපට පිටපත් දෙක සඳහා නිෂ්පාදකවරු මාත් සමඟ කතා කළා. මෙයින් එක චිත්‍රපටයක් ලෝ බජට් අනික හයි බජට්. නමුත් ඒ පැමිණ කතා කළ නිෂ්පාදකවරු එයට අවශ්‍ය මුදල් යොදවන්න කැමැති නොවු නිසා ඒ උත්සාහය තවම එකම තැනක හිරවෙලා තියනවා. ඒ නිෂ්පාදකයන්ගේ ආයෝජන සමඟ තිර නාටකයේ අවුට් පුට් එක ගන්න බෑ. ඒකයි ප්‍රශ්නය.

ඔබ රැචිකත්වයක් දක්වන්නේ ඔබේම තිරරචනා සිනමා නිර්මාණයක් වෙත ගෙන එන්නද නැත්තම් වෙනත් අයකුගේ තිරපිටපතක් සිනමාවට ගෙන එන්නද?

මම ලියා තිබෙන තිරනාටක පිළිබඳ මම තෘප්තිමත් වෙන කෙනෙක්ගේ තිර නාටකයක් පිළිබඳ මම සැහීමකට පත්වුණොත් එය අධ්‍යක්ෂය කරන්න මැළිවෙන්නෙ නෑ.

ඔබේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන තෘප්තිමත්ද?

මම තෘප්තිමත් නෑ. ඒ තිරපිට පත මගේ නොවෙයි. නමුත් නිෂ්පාදකයන් එය මට අධ්‍යක්ෂණය කරන්න භාර කළ නිසා මම චිත්‍රපටයක් කළා. නමුත් ඒ සඳහා ගත්ත තිරපිටපත ගැන මම තෘප්තිමත් නෑ. නමුත් මෙහිදී මම කළේ ඉල්ලීමක් ඉටු කළා පමණයි.

පි‍්‍රයන්ත කියන්නේ ඔබ සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නොවෙයි කියලද?

මට සාර්ථක ගමනක් යන්න බැරි වුණ කියල මම අදහස් කරන්නේ මට අවශ්‍ය නිර්මාණය එළි දක්වන්න නිෂ්පාදකයෙක් නොලැබීම මම කරපු පළමු චිත්‍රපටය ගැන මම සෑහීමකට පත්නොවන්නේ මට අවශ්‍ය දේ කරන්න ඒ නිෂ්පාදකයෝ අපොහොසත් වීම කියල මට හිතෙනවා. නමුත් මම ඒ චිත්‍රපටය කිරීම නිසා මට ජනපි‍්‍රයතාවයක් ඇතිවුණා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මම කළඑළි බැස්සා. නමුත් නිර්මාණකරුවෙක් ලෙසට තෘප්තිමත් නෑ. මගේ ළඟ තියන තිරනාටක එක්ක ගත්තාම මට මීට වඩා දෙයක් මගේ තිරනාටකවලින් කරන්න පුළුවන් කියන දේ මට හැගෙනවා. නමුත් ඒ තිරනාටකවලට දායකවන්න පුළුවන් ආයෝජකයෝ නැති කමයි මට තියන ගැටලුව.

ටෙලි නාට්‍ය නිර්මාණයන් වෙත දැන් ඔබ පෙලඹෙන්න උත්සාහ කරන්නේ නැද්ද?

මම ළඟ ටෙලි නාට්‍ය පිටපත් දෙකකුත් තියනවා. නමුත් දැන් ටෙලි නාට්‍ය වෙනමම මානයකට ගිහින් තියනවා. චැනල් වලින් නිෂ්පාදනය කරන ඒවා බොහෝවිට සරල මාතෘකා ඔස්සේ යන නිර්මාණ සමහරවිට එහි තියෙන්නේ චැනල් වලට අවශ්‍ය බොලඳත්වය පිරි කතා. අපි නිෂ්පාදකයෝ හොයාගෙන අපේ පිටපතකට දෙයක් කරල නාළිකාවලට දෙන්න ගියාම අපේ නිර්මාණයට තැනක් නොලැබෙන්න තියන ඉඩකඩ වැඩියි. අද බොහෝවිට වෙන්නේ චැනල් වලින් පිටපත දීල ඔවුන්ම අධ්‍යක්ෂවරුන් දාල නිර්මාණ කිරීම. ඒ අපහසුතාවය නිසා ටෙලි නාට්‍ය සඳහා දායකවීමට මැළිකමක් තියනවා. නමුත් ටෙලි නිර්මාණයක් නොකරන්න කොහෙත්ම අදහසක් නම් නෑ.

ඔබ සතුව තියන තිරපිටපත් රූපවාහිනි මාධ්‍ය ආයතන වලට ලබාදීල නිර්මාණයක් වෙත යන්නවත් අදහසක් නැද්ද?

එහෙම කළ අවස්ථා තිබුණා. නමුත් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වීමක් කළෙත් නෑ. පසුව මම දුන්න පිටපත ගන්නත් මට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්නත් සිද්ධ වුණා. දැන් නිර්මාණ කොල්ලයකුත් තියන නිසා අපිට වුණත් හරි බයයි පිටපතක් ලබාදෙන්නත්.

ඔබ අධ්‍යක්ෂණය කරන්න වඩාත් කැමැති සිනමාව පැත්තෙන් ද ටෙලි නාට්‍ය පැත්තෙන් ද?

දෙවිධියට මම කරල නිසා මට ඒ දේ අපහසු නෑ. සමහරු කියනවා සිනමාව පැත්තෙන් තමයි හොඳ දේ කරන්න පුළුවන් කියලා. නමුත් ටෙලි නාට්‍ය පැත්තෙනුත් හොඳ නිර්මාණ කරන්න පුළුවන් කියලා අධ්‍යක්ෂවරු පෙන්නලා දීල තියනවා. හොඳ ටෙලි නාට්‍ය විකාශය වෙලත් තියනවා. දැනට විකාශය වෙමිනුත් තියනවා.

පි‍්‍රයන්තගේ කලා දිවියේ ආමඟ දෙස ආපසු හැරිල බලනකොට ඔබ වැඩ කර ඇති නිර්මාණකරුවන් බොහෝයි. ඔවුන්ගෙන් ඔබ යමක් ලබාගත්ත ද ඔබේ ගමනේ සාර්ථකත්වයට?

සහය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ඒ පිළිබඳ රූපවාහිනී අභ්‍යාස පාඨමාලාවට අමතරව සහාය අධ්‍යක්ෂණය පිළිබඳ සරත් සේනාරත්න ගෙනුත් කුමාරසිරි අබේකෝනගෙනුත් මම ගොඩක් දේ ඉගෙන ගෙන තියනවා. ඔවුන් ප්‍රධාන ධාරාවේ සහාය අධ්‍යක්ෂවරු දෙපළක් උදයකාන්ත මහතා සමඟ මට එකතුවෙන්න ආශාවක් ඇති කළෙත් ඔහුගේ එකගෙයි කුරුල්ලෝ, හුමාලය, මැණික් කැටයම ටෙලි නාට්‍ය නැරඹීම නිසා ඒ නිර්මාණවලින් මම දෙයක් ඉගෙන ගත්තා. ඒ සඳහා ආශාවක් ඇති කළා. උපුල් ගුණසේකර, හේමචන්ද්‍ර පෙරේරා නම් වූ මගේ මිතුරන් දෙපළක් තමයි මට උදව් කළේ. සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත හඳුනාගත්තා. උපුල් වගේම හේමචන්ද්‍රත් කලින් උදයකාන්ත මහතා සමඟ වැඩ කරලත් තිබුණා. උදයකාන්ත මහතාගෙන් මම ලබාගත් දෙයක් තමයි නිර්මාණශිලී බව වැඩිදියුණු කරගන්න අවශ්‍ය දැනුම.

කලාවට යොමුවෙන්න ඔබ කුඩා කල පටන් හීන දැක්කද?

කිසිම පවුල් පසුබිමක් මගේ පැත්තෙන් කලාවට තිබුණේ නෑ. මම දහවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ පුවත්පත් වලට කවි ලිව්වා. නිසදැස් එහෙම මාසෙට එක ගානේ ලිව්වත් අවුරුද්දකට එකක් හෝ දෙකක් තමයි පළවුණේ. ලංකාදීප පත්තරයේ ළමා පිටුවට තමයි මම වැඩිය නිර්මාණ ලිව්වේ. මගේ පුරුද්දක් තිබුණා මොනයම් හෝ සිද්ධියක් දැකීමෙන් එය කවියට නැගීමක්. මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන් එහෙම අධ්‍යාපනය ලැබුවත් මම කවියට සාහිත්‍යයට ළැදියි. උසස් පෙළ අවසන් කළාට පස්සේ මම කුඩා කෙටි කතාවක් රචනා කළා ඒ ලියන කෙටි කතා තිර රචනා හැටියටත් මා අතින් ලියවුණා. මම තිරචනයක් ගැනවත් දන්නැතිව.

නොදැන ඔබ අතින් තිරරචනා ලියැවෙන කොට කලා ක්ෂේත්‍රයට පියමං කරන්නට ඔබට සිතක් පහළ වුණාද?

මට ඥාති වන කෙනෙකු වූ සැලසිනේ ආයතනයේ සංස්කරණ ශිල්පියෙක් වූ දුලිප් සමරසිංහට මම ලිපියක් යවමින් ඉල්ලීමක් කළා. මට සැලසිනේ ආයතනයේ රැකියාවක් තිබේ නම් දන්වන්න කියා ඔහු මට ඒ සඳහා පිළිතුරු ලිපියක් එවනවා. ටෙලිවිව් කියල ආයතනයක් තියනවා එහි රූපවාහිනි අභ්‍යාස පාඨමාලාවක් තියනවා. අන්න ඒක කරන්න. ඒක ගොඩක් ඔබට ප්‍රයෝනවත් වෙයි කියල. ඒ අනුව තමයි මම උසස්පෙළින් පස්සේ ටෙලිවිව් ආයතනයට සම්බන්ධ වන්නේ.

ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබන ඔබ පාසලේදී මුනිවත රකින පුද්ගලයෙක් වුණාද?

මම ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබල ශිෂ්‍යත්වය සමත් වී කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වෙනවා. 1981 දී නමුත් මාට සාහිත්‍ය පැත්තේ දක්ෂතා තිබුණත් කිසිම දවසක ඒ සඳහා මම පාසලේදී උනන්දුවක් දැක්වුයේ නෑ. කළ එකම දේ මම පුවත්පත්වලට නිසදැස්, කවි ලියන එක තමයි.

කලා ක්ෂේත්‍රයට පැමිණිමත් සමඟ කාව්‍ය රචනය ඔබ බැහැර කරනවාද?

පසුව ඇතිවන කාර්ය බහුලතාවය නිසා ඒ සඳහා වැඩියොමු වීමක් මම කළේ නෑ. ඉන්පසු වැඩි ඉඩක් මා යොමු කරනු ලැබුවේ තිරපිටපත් ලියන්න.

ඔබේ තිරපිටපත් සඳහා කතා තේමාවන් ගොඩනැඟෙන්නේ කොහොමද?

මම බොහෝ විට පොතපත කියවනවා. පුස්තකාලය භාවිත කරනවා. පුවත්පත් කියවනවා. ඒ ඔස්සේ සමාජයේ සිදුවන යම් සිද්ධි මම දකිනවා. ටික කාලයක් යනකොට මට හැගෙනවා යම් කතාවකට ඒ වස්තු බීජ ගන්න පුළුවන් කියලා. අන්න ඒ සිද්ධි තමයි මම නිර්මාණයක් වෙනුවෙන් ශාරංශ ගත කරන්නේ.

හුදෙක් සහාය අධ්‍යක්ෂවරයා කියන්නේ නිර්මාණයට සෘජුව දායක වීමක් නොකරන හුදෙක් ඔහු නළු නිළියන් ඒ සඳහා සම්බන්ධීකරණයක් පමණක් කරන පුද්ගලයෙක් කිව්වොත් ඔබ ඒ සඳහා මොනවගේ පිළිතුරක් ද දෙන්නේ?

සහාය අධ්‍යක්ෂවරයෙකුට කිසිම සම්මාන උලෙළෙක නිර්මාණකරුවෙක් ලෙස ගණන් ගන්නේ නෑ. ඔහුට සම්මාන ලබාදෙන්නෙත් නෑ. සහාය අධ්‍යක්ෂවරයා නිර්මාණයේදී නිර්මාණකරුවෙක් නොවෙයි. ඔහු ඒ සඳහා හොඳ සංවිධායකවරයෙක්. ඔහු නිර්මාණයට අවශ්‍ය සම්පත් අධ්‍යක්ෂවරයාට සොයාදීමක් තමයි කරන්නේ. නමුත් සහාය අධ්‍යක්ෂවරයෙක් තමයි බොහෝවිට අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ මමත් එහෙම තමයි වෙලා තියෙන්නේ. නමුත් මම අද සහාය අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට වඩා අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට කැමැතියි. මොකද මේ දෙක එකක් නොවේ දෙකක්.

පි‍්‍රයන්ත කියන්නේ අධ්‍යක්ෂ කෙනෙක් වෙන්නත් අනිවාර්යෙන්ම සහාය අධ්‍යක්ෂවරයෙක් වෙන්නම ඕනෙ කියලද?

නෑ. කිසිම අයුරකින් සහාය අධ්‍යක්ෂවරයෙක් ගේ භූමිකාව නොකරපු අයත් දක්ෂ අධ්‍යක්ෂවරු වුණ අවස්ථා තියනවා. සහාය අධ්‍යක්ෂණය කරන්නම ඕනෙ නෑ සාර්ථක අධ්‍යක්ෂවරයෙක් වෙන්න. අධ්‍යක්ෂවරයෙක් සහාය අධ්‍යක්ෂකගේ කටයුතු දැන ගෙන සිටියේ යුතු නෑ. සහාය අධ්‍යක්ෂ නොවී විශිෂ්ට නිර්මාණ කරපු අධ්‍යක්ෂවරු අපිට ඉන්නවා.

නමට පමණක් අධ්‍යක්ෂ නිර්මාණයේදී සහාය අධ්‍යක්ෂගේ කැමරා අධ්‍යක්ෂගේ පිහිට පතන අධ්‍යක්ෂවරුත් ඉන්නවා නොවේද?

අධ්‍යක්ෂවරයෙක්ට කාර්මික දැනුම අවශ්‍යමයි කියල නෑ නිර්මාණයක් කිරීමේදී ඔහුට පිටපත නළු නිළියන් චරිතවලට අවශ්‍ය ලෙස හසුරවන්න පුළුවන් නම් ඒ ඇති. නමුත් අධ්‍යක්ෂ කියන නම් හිදිමින් සහාය අධ්‍යක්ෂකගේ කැමරා අධ්‍යක්ෂකගේ පිහිට පතන අධ්‍යක්ෂවරු කියාගන්නා අයත් අපිට හමුවෙලත් තියනවා.

ඔබ තිර රචනයේ නියැළෙන්නේ නළු නිළියන් සිතේ තබාගෙනද?

නෑ. මම තිරරචනයේ නියැළෙන්නේ චරිත ඔළුවේ තියාගෙන චරිතයට පිටපත ලියනවා. නිර්මාණයේදී නළු නිළියන් කීපදෙනෙක් ඒ චරිතයට තෝරාගන්නවා. එයින් වඩාත් ගැළපෙන කෙනාව අවසානයේදී තෝරාගන්නවා තිරපිටපතේ ලියැවී ඇති චරිතයට තෝරගන්න නළුවන්ගෙන් නිළියන්ගෙන් උපරිමයෙන් දක්ෂතාවයන් ලබාගැනීම අධ්‍යක්ෂවරයාගේ කාර්යක්.

දශක තුනකට වැඩි ඔබේ කලා ජීවිතය දෙස ආපසු හැරිල බලනකොට ඔබ තෘප්තිමත්ද?

නිර්මාණශිලී කටයුතු පැත්තෙන් ගත්තොත් මට ඒ සඳහා ලැබුණු අවස්ථා අඩුයි. වැඩි වශයෙන් මගේ දායකත්වය ලැබෙන්නේ සහාය අධ්‍යක්ෂණයට, මම වෘත්තියක් හැටියට කරන දේ ගැන මම සෑහීමකට පත්වෙනවා සහාය අධ්‍යක්ෂණය පැත්තෙන්. නිර්මාණ පැත්තෙන් මගේ දායකත්වයේ අඩු ප්‍රමාණයක් ඇති නිසාවෙන් ඒ ගැන මට තියෙන්නේ අසතුටක්.

ඔබ පුවත්පත් ලේඛන කලාවෙත් නියැළුණා නේද?

ඉතා කෙටි කාලයක් මම පුවත්පත්වලට කලා තොරතුරු නළු නිළියක් ගැන විස්තර සම්පාදනය කළා. මහේෂ් සත්සර මද්දුම ආරච්චි තමයි මට පුවත්පත්වලට ලිවීමේ අවස්ථාව ලබාදුන්නේ ඔහුගේ සඳරේණු පත්තරයට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, නළු නිළියන් ගැන මම ලිව්වා. ලක්ෂ්මන් මල්ලවාරච්චි මාර්ගයෙන් සරසි සිනමා පුවත්පතටත් ලක්බිමේ රිද්ම පුවත්පතටත් කලාකරුවන් පිළිබඳ ලිපි සම්පාදනය කළා. වසර දෙකක පමණ කාලයක්.

මුතුහර ළමා සමාජයක් ඇති කරන්නත් මුල්වන පුද්ගලයෙක් පි‍්‍රයන්ත පතිරගේ?

උසස් පෙළ අධ්‍යාපන කටයුතු අවසන් කර ටෙලිවිව් ආයතනයට සම්බන්ධ වෙන්න කලින් මම තමයි ඇල්පිටිය රූපවාහිනි මුතුහර ළමා සමාජය පිහිටුවන්න මුලික වුණේ. 712 වැනි රූපවාහිනි මුතුහර ළමා සමාජය තමයි ඇල්පිටියේ පිහිටෙව්වේ. දහම් පාසල් තුනක ඉන්න දක්ෂ ළමුන් එකතු කරල තමයි මේ දේ මම කළේ, එතනදී මට හොඳ සංවිධාන ශක්තියක් ගොඩනැඟුණා.

ලේඛනයට ආශා කළත් ඔබ සිනමාවට ටෙලි නාට්‍ය නිර්මාණයත්ට වඩාත් රුචි කරන්නට හේතුවක් වුවායැයි ඔබට හිතෙන්නේ?

මගේ කුඩා කල දවසත් එයට යම් අයුරකින් බලපාන්න ඇති කියලා මට හිතෙනවා. මම පුංචි කාලේ මගේ පියා මාසෙට දවසක් චිත්‍රපටයක් බලන්න එක්ක ගියා. ඇල්පිටියේ රේඛා සිනමා ශාලාවට වගේම මැණික් සිනමා ශාලාවට හැබැයි මම වයස අවුරුදු 12 දී විතර තනියෙන් ගිහින් මුලින්ම චිත්‍රපටයක් බැලුවේ හඳයා. හඳයා චිත්‍රපටය බලපුවහම මට මොකක්දෝ මටත් නොතේරෙන අමුත්තක් මගේ හිතට ආවා. සිනමාව ගැන සාහිත්‍ය පැත්තෙන් මම නවකතා කියෙව්වා. වැඩිපුර රුසියන් සාහිත්‍ය ගැන ලියවු පොතපත කියෙව්වා. මේ අභාෂයන් මාව නිතැතින්ම මේ සඳහා යොමුකරන්න ඇති.

ඔබේ ගමන් මඟේදී හමු වූ සුවිශේෂි චරිතත් ඇති ඔබට අමතක කළ නොහැකි?

ටෙලිවිව් ආයතනයට මට සම්බන්ධ වෙන්න උදවු කළ ඩොරික් සමරසුන්දර, එරංග සේනාරත්නයන් මට හඳුන්වා දුන් ශමින්ද ඒකනායක. මගේ ප්‍රථම ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීමට අර්ථපතිත්වයෙන් දායක වූ ස්වර්ණා රත්නායක හා ධම්මික මානගේ සඳරේණු පුවත්පතට මට ලිපි ලියන්න මහේෂ් සත්සර මද්දුමආරච්චිව හඳුන්වල දුන්න. මාත් සමඟ ටෙලි විව් ආයතනයේ අධ්‍යාපනය ලැබු සිනමා ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්ත මහත්වරු මහත්මීන් මට අතීතයේ උදව් නොකළා නම් අද මට මේ ගමන එන්න ලැබෙන්නේ නෑ. ඒ ගැන මම ඔවුන්ට හිසනමා මගේ හෘදයාංගම ස්තූතිය පිරි නමනවා.

අද ඔබේ වෘත්තීය කරගෙන යන්න පවුලේ අයගෙන් මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නේ?

මගේ බිරිය ඉෂාකා චතුරංගනී නාගොඩ විතාන මට හමුවන්නේම කලාකටයුතු වලට ගොස් සිටියදී මගේ දුව ඉසුරි සඳමිනි පතිරගේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. පුතා කේෂික රමිදු පතිරගේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මේ තුන්දෙනාගෙන්ම මගේ රැකියාවට මගේ කලා කටයුතු වලට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. මගේ නිර්මාණ කාර්යට මට මානසික නිදහසක් ලබාදෙමින් මගෙන් පවුලට ඉටුවිය යුතු යුතුකම් නිරන්තරයෙන් සොයා බලමින් එහි වගකීම් නොපිරිහෙලා ඉටු කරන්න මගේ බිරිය ගන්නා නිරන්තර උත්සාහය මම හදවතින් අගය කරනවා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT