Home » පොත් ලිවීම මට ආත්ම තෘප්තිය ගෙනෙන වෘත්තියක්

පොත් ලිවීම මට ආත්ම තෘප්තිය ගෙනෙන වෘත්තියක්

ලේඛිකා - නිලූකා බ්‍රැන්ඩන්

by Thanushika
October 17, 2024 12:30 am 0 comment

ලාංකේය නූතන සාහිත්‍ය තුළ මෑතභාගයේ වඩාත් කැපී පෙණෙන ලේඛිකාවක් ලෙස නිලූකා බ්‍රැන්ඩන් පාඨකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙයි. ‘හදවත් වරක්’ නවකතාව තම කුලුඳුල් නවකතාව ලෙස රචනා කරන ඈ ඉන් පසුව එම නවකතාවේ දෙවැනි කොටස ලෙස ‘හදවත් වරක් 2’ යනුවෙන් ප්‍රකාශයට පත් කරයි. පාඨකයන්ගේ අසීමිත අවධානයට ලක්වන නිලූකා මේ වසරේ ‘රෝජා’ සහ ‘චිත්‍රාල්’ නමින් නවතම නවකතා ද්විත්වයක් එළි දක්වයි. මෙවර සරසවිය තුළ ඉඩ වෙන්වන්නේ නිලුකා බ්‍රැන්ඩන් සමඟ සිදු කළ කතා බහ සමඟිනි.

නිලුකාට ලිවී​මේ ආශාව මුලින්ම ඇති වෙන්නේ කොහොමද?

මෙහෙම කියන්නම්කෝ. ලිවීම මගේ හීනවලවත් තිබුණ දෙයක් නෙවෙයි. හැබැයි අපි කාගෙත් ජීවිත අපි කැමති වුණත්, අකමැති වුණත් නිරන්තර වෙනස්කම්වලට අහු වෙනවා. එහෙම වෙද්දි මෙච්චර කල් තිබුණ හීන බොඳ වෙලා ගිහින් ජීවිතේ වෙනස් පාරවල්වල ගමන් කරන්න පටන් ගන්නවා. මගේ ජීවිතේ මට ඕන වෙලා තිබුණේ කවදාක හෝ ‘ප්‍රබල’ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. හැබැයි මට දරුවො ලැබුණට පස්සෙ එතෙක් මම සාර්ථකව ඉදිරියට ගෙනාපු මගේ වෘත්තිය ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන තැනට කටයුතු යෙදෙනවා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තර​ම් මානසිකව අමාරු කාලයක්. මොකද? තමන්ගෙම ඉපයීම් තිබුණ, සමාජශීලී ජීවිතයක් ආදරයෙන් වැලඳගත්ත, තමන්ගේ තීරණ තමන්ම ගත්ත කොයිම මනුස්සයෙකුටවත් ගෙදරට වෙලා පැය විසිහතරම දරුවෙක් බලාගෙන ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි. අන්න ඒ අපහසුම කාලෙදි තමයි මම ෆේස්බුක් කියන සමාජ ජාලයේ විවිධ දේ ලියන්​න පටන් ගන්නේ. එහෙම ලියද්දි මට මමවත් නොහිතුව තරම් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙදි තමයි මට තේරුම් යන්නෙ, මට කෙනෙක්ට තේරෙන්න යමක් ලියාගන්න පුළුවන් නේද? කියලා. එතෙක් ම​ට ලිවීමේ ආශාවක් තිබ්බෙවත් මට ලියන්න පුළුවන් කියලා අදහසක් තිබ්බෙවත් ​නෑ. ලියන්න පටන් ගත්ත මුල්ම කාලෙදි මට ඇත්තටම ඕන වුණේ නොමැරී ජීවත් වෙන්න. මට ජීවත් වෙන්න න​ම් ගොඩක් මානව සම්බන්ධතා ඕනෙ. පුංචි පවුල රත්තරන්, අපි හතරදෙනා තමයි මගේ විශ්වයම වගේ දේවල් මගේ ලෝකෙ නෑ. මට මගේ පවුල වටිනවා. ඒ වගේම එයින් එහාට විහිදුණ සම්බන්ධතාත් වටිනවා. ලිවීම තුළින් මට වටිනාකම මෙච්චරයි කියලා කියන්න බැරි හිතවතුන් විශාල පිරිසක් මුණ ගැහෙන එක තමයි ලිවීමට මට තියන දිරිගැන්වීම.

ඔබ රචනා කරපු පළමු නවකතාව විදියට, ‘හදවත් වරක්’ ලියවෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම වුණේ?

මාත්, මගේ සැමියාත්, දරුවනුත් අපි ඊට වසර ගාණකට කලින් සැලසුම් කරලා තිබ්බ විදිහටම 2020 වසරෙදි ඇමරිකාවෙ පදිංචියට එනවා. අපි ආවේ විස්කොන්සින් ජනපදයේ, ලේක්මිල්ස් කියන ගම්බද නගරයට. ලංකාවේදී නාගරික ජීවිතයක් ගත කරපු මට ඇමරිකාවේ ගම්බද පළාත​ක පදිංචියට ආපු ගමන දැනුණේ හරියට අහසින් පොලවට ඇදලා දැම්මා වගේ. ඒ මදිවට මේ පලාතෙ පැහැදිලිව සිද්ධ වෙන සෘතු විපර්යාස තියනවා. ශීත කාලයේ ඉර එළිය අඩුයි. බැලු බැලු අත පේන්නේ හිම. හිමයි, මමයි, ළමයිනුයි ලෝකෙ කොහේදෝ ඈතක හුදෙකලා වෙලා වගේ මට ඒ වෙලාවෙදි දැනිලා තියෙනවා. දුවයි, පුතයි නිදි වෙලාවට මම ජනේලෙන් එළිය දිහා බලාගෙන “හිම කුණාටුවක්වත් ඇවිත් අපි ඔක්කොලම ගහගන ගිහින් විනාශ වෙලාවත් නොයන්නෙ ඇයි?” කියලා හිතලා තියනවා. ‘හදවත් වරක්’ මම ලියන්න පටන් ගත්තේ ඒ හුදෙකලාව මකාගන්න එදිනෙදා ලියපු ෆේස්බුක් නවකතාවක් විදිහට. ඒ කතාවෙ පටන්ගැන්ම හරිම විනෝදවත්. මොකද කිසිම විනෝදයක් නැති තැනක හිටි මටත් තිබුණ එකම විනෝදේ කතාව විනෝදවත්ව ලියලා කියවන අය සතුටු වෙන හැටි බලන එක විතරයි. කතාව ෆේස්බුක් එකේ ලියාගෙන යද්දි කියවන හිතවතුන්ගෙන් පොතක් කරන්න ඉල්ලීම් එනවා වගේම ප්‍රකාශන ආයතන කිහිපයකුත් මට කතා කරනවා. එහෙම ඉල්ලීම් එද්දි මට සතුටුයි වගේම බයයි. කොහොම නමුත් සාර්ථක වෙනවද? නැද්ද? බලන්නත් අපි දේවල් කරන්න ඕනෙනෙ. ඉතින් මම තීරණය කරනවා පොතක් කරන්න.

පොතක් කිරීම ලොකු වගකීමක් මම දකින විදිහට. මම කියවන කෙනෙක් විදිහට මම කාලය වැය කරලා පොතක් කියෙව්වාම මම හිතනවා මට ඒ ​පොතෙන් ජීවිතයට ගත යුතු දෙයක් තියෙන්න ඕන කියලා. මමම එහෙම හිතද්දි මට මම තෘප්තිමත් වන ආකාරයේ හරයක් නැති පොතක් ලියන්න බෑනෙ. ඉතින් ෆේස්බුක් අවකාශයේ පරිච්චේදයක් පමණක් පළ වූ “හදවත් වරක්” පොතක් කිරීමේදී මම තදින්ම හිතපු දෙයක් තමයි මේ පොත කියවන කෙනාට මොන වගේ පණිවිඩයක්ද? මම දෙන්න ඕනෙ කියන එක. හදවත් වරක් පොත ලියන්න මම සැබෑ ජීවිතයේ පුද්ගල චරිත 30කගේ ජීවිත අත්දැකීම් සහ හැඟීම් එකතු කරගෙන තියනවා. ඒක නිසා වෙන්න ඇති “හදවත්​ වරක්” කියවූ බොහෝ දෙනෙක්ට ඒ පොත ගොඩාක් සමීපව දැනෙන්නෙ.

යොවුන් ලේඛිකාවක් විදියට ඔබ ලියන සෑම නවකතාවකම ප්‍රේමය පිළිබඳ ගැඹුරු කියවීමි සහ නිරික්ෂණවලින් සමන්විතයි. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ප්‍රේමය ගැන කියවීමි තියෙනවා. ප්‍රේමය ගැන තියෙන ඔ​බේ කියවීම මොකක්ද?

ප්‍රේමය කියන්නේ හරිම ප්‍රහර්ෂාත්මක දෙයක් වගේම වේදනාත්මක දෙයක් කියලායි මම හිතන්නේ. මොකද අපි ඉන්නේ ප්‍රේමයෙන් නම් අපිට අපි ප්‍රේම කරන කෙනා සම්බන්ධ දේවල් අධි සංවේදීව දැනෙනවා. වෙනත් කෙනෙක් කරොත් කොහෙත්ම ගණන් නොගන්න දේවල් පවා පෙම්වතා, පෙම්වතිය විසින් කරොත් අපිට ඒක දැනෙන මාත්‍රාව වැඩියි. උදාහරණයකට යාළුවෙක් අපිට දුරකතන ඇමතුමක් දෙනවා කියලා නොදුන්නොත් අපි ‘එයාට කරදරයක් වෙලා වෙන්න ඇති’ කියලා හිතලා කලබල වෙන්නෙවත්, ‘එයාට මාව දැන් මතකවත් නෑ’ කියලා හිතලා දුක් වෙන්නෙවත් නෑ. නමුත් පෙම්වතා හෝ පෙම්වති​ය අති​න් දුරකතන ඇමතුමක් දීම මගහැරුනොත් අපේ හිතේ මැවෙන චිත්‍රය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.

ඒ වගේමයි ප්‍රේමයේදී මිනිස්සු අසීමාන්විතව සමාව දෙන්න, අපයෝජනයන් පවා සාදාරණිකරණය කරන්න පෙලඹෙනවා. “කේන්ති ගිහාම විතරයි එයා මට ගහන්නෙ. නැත්නම් එයා මට ගොඩක් ආදරෙයි” වගේ අදහස් අපිට කියවන්න ලැබෙන්නෙ ඒකයි. කොහොම නමුත් මම හිතනවා “ අපි ප්‍රේම කරන කෙ​නා අපිට ප්‍රේම කරන්නෑ” කියන වැටහීම ලැබෙන මොහොතෙදි මිනිස්සුන්ගේ ආත්මය දරුණු විදිහට පීඩාවට පත් වෙනවා කියලා. අපිට එහෙම දැනෙන දවසක් එනවා නේද අන්න එදායින් පස්සෙ අපි තව දුරටත් කලින් හිටි කෙනා වෙන්නෙ නෑ.

ඔබ මෙි වසරේ ලියපු ‘රෝජා’ සහ ‘චිත්‍රාල්’ නවකතා දෙක ඇතුළත සිදු කරන්නේ මානව සමිබන්ධතාවල තිබෙන අති සංකීර්ණබව නිරූපණය කිරීම. ​මේ කෘති දෙක හරහා ඔබ කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද? ඊට ලැබෙන ප්‍රවේශය කොහොමද?

දැනට මම ලියූ ළමා කතා පොත හැර නවකතා හතරක් තියනවා. හදවත් වරක් පළමු කොටස සහ දෙවන කොටස, රෝජා, චිත්‍රා​ල් තමයි ඒ හතර. ඒ හතරම කතා කරන්නේ සමාජයේ අපි දකින සුලබ නමුත් අපි හඬ නගා කියන්නේ නැති ගැටලු. මේ ප්‍රශ්නය රෝජා, සහ චිත්‍රාල් මූලික කරගෙන ඇසූවක් නිසා මම මෙහෙම කියන්නම.

රෝජා කියලා කියන්නේ ලෝකයේ බහුලව දක්නට ලැබෙන මානසික ව්‍යාකූලතාවක් වන “නාසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර්” කේන්ද්‍ර කරගෙන ලියූවක්. නාසිස්ටික් මිනිස්සු කියන කාණ්ඩය හරිම විෂ සහිතයි. ඔවුන් බුද්ධිමත්. ඒ වගේම කපටියි. එහෙම මනුස්සයෙක්ගෙ ග්‍රහණයට හසු වෙච්ච කෙනෙක්ට මුල් යුගයේදි තමන් මේ උගුලක වැටෙන්නෙ කියලා තේරෙන්නෙවත් නෑ. තේරෙන අතළොස්සටත් තමන් වැටෙන්න යන උගුල කොච්චරට නම් වේදනාකාරීද කියලා අදහසක් නෑ. ඒකයි සමහරු තමන්ගේ සහකාරියව හෝ සහකරු​ව “හදාගන්න බලාගෙන, බැන්දම හැදෙයි කියලා හිතාගෙ​න” කසාද බඳීන්නේ. රෝජා පොතේ ප්‍රධාන වශයෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ විෂ සහිත සම්බන්ධතා වල ඇතුළාන්තය.

චිත්‍රාල් පොත ගත්තොත් ඒක මටත් හරිම විශේෂයි. හේතුව තමයි අපි හැමෝම ගැහැනුන්ට වෙන අසාධාරණකම් දන්නවා. අපි ඒවා ඕන තරම් අහලා තියනවා. හැබැයි ගැහැනු තරමටම පිරිමිත් පීඩාවට පත් වෙන්න පුළුවන් බව, විවාහ සංස්තාව ඇතුළේ පිරිමියෙක්ගෙත් හීන සියල්ල කුඩු පට්ටම් වෙලා යන්න පුළුවන් බව කතා කරන්න තියා පිළිගන්නවත් අපි ලෑස්තිද කියලා අපිට අපෙන්ම ප්‍රශ්න කරන්න සිද්ද වෙනවා. චිත්‍රාල් කියන්නේ පිරිමි වෙනුවෙන් ලියවුණ පොතක්. රෝජා, චිත්‍රාල් පොත් දෙක ඇතුළෙම දරුවෙක්ට දෙමව්පියන් ලබා දෙන කුඩා කාලය විසින් අනාගතයේ නිර්මාණය වෙන්නෙ මොන වගේ දරුවෙක්ද කියලා කතා කරන්න මම උත්සාහ කරලා තියනවා.

මේ කතා තේමාවන් හිතට එන විදිහ ගැන යමක් කියන්න පුළුවන්ද?

මම ලියූ පොත් වල ඇත්තටම කතන්දර නෑ. මට ලිවීමේ හැකියාවක් තිබුණට අමුතුම විදිහේ කතාවක් ගොඩනගන්න තරම් නිර්මාණාත්මක පරිකල්පන ශක්තියක් නෑ. මම ලියන පොත් වල තියෙන්නේ අපි හැමෝගෙම ජීවිතයේ කොටස්. ඒවා ලියන්න මම ඇසුරු කරගන්නවා සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම්. ඒ අත්දැකීම් විග්‍රහ කරන්න, යම් යම් කාරණා සිද්ධ වෙන්න හේතුව මෙන්න මේකයි කියලා හොයාගන්න නඩු වාර්තා, මරණ පරීක්ෂණ වාර්තා වගේ දේවල් මම උදව් කරගන්නවා.

“මෙන්න මේ ප්‍රශ්නය ගැන ඔයා ලියන්න නිලූකා” කියලා මට නිරන්තරයෙන් කියන, මාව ලියන්න දිරිගන්ව​න සහෘද හිතවතුන්ට තමයි මගේ කතා තේමාවන් තෝරා ගැනීමේ සැබෑ ගෞරවය හිමි වෙන්න ඕනෙ.

ඔබ ලේඛිකාවක් විදියට ලංකා​වේ නූතන සාහිත්‍ය සහ පාඨකයා පිළිබඳ තියෙන අදහස මොකක්ද?

ඒක උත්තර දෙන්න අපහසු ප්‍රශ්නයක්. අවිවාදයෙන්ම ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකයේම “කියවීම” කියන දේ අදට වසර විස්සකට තිහකට තිබ්බට වඩා අඩු වෙලා තියනවා. ලෝකය තනි ඒකකයක් විදිහට ගත්තොත් මම හිතන්නෙ මේ කියවීම අඩු වෙන්න එක හේතුවක් තාක්ෂණික දියුණුව එක්ක අපිට කියවීම, මුද්දර එකතු කිරීම වගේ මීට වසර විස්සකට කලින් තිබ්බ විනෝදාංශවලට වඩා අද තෝරා ගන්න අවස්ථා වැඩි ප්‍රමාණය​ක් ලැබීම. හැබැයි ලෝකය අමතක කරලා ලංකාව ගත්තොත් ලංකාවෙ නම් සාහිත්‍ය වගේම පාඨකයාත් හරි පව්. පොත් කියවන්න ආසා මිනිස්සුන්ට පවා පොතක් මිලදී ගැනීම වර්තමානයේදී ලංකාවෙ ලේසි වැඩක් නෙවෙයි. පොත් මිල ඉහළ යන්න ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ කඩදාසි මිල ඉහළ යාම. ඒක වෙන්නෙ ඩොලරයේ අගය එක්ක නිසා ඒ සම්බන්ධව කියවන්නාටවත්, ලියන්නාටවත් බලයක් නෑ.

නමුත්, මම දැන් ජීවත් වෙන්නේ ලංකාවෙ නොවන නිසා මට පැහැදිලිව අත් දකින්න ලැබෙනවා පොදු පහසුකම් සම්බන්ධව රටවල් දෙකක පරතරය. මම ඇමරිකාවෙදි පොත් මිලට ගන්නේ නෑ. නමුත් මම ගොඩාක් කියවනවා. මේ රටේ පුස්තකාලය විසින් ගොඩාක් පොත් ඉලෙක්ට්‍රොනික විදිහට ඇප් එකක් හරහා කියවන්න හෝ අහන්න අවස්ථාව හදලා දීලා තියනවා. පුස්තකාලය විසින් ලේඛකයන්ට, ප්‍රකාශකයන්ට කොපිරයිට් එක වෙනුවෙන් සාධාරණ මුදලක් ගෙවලා මේ පොත් මහජනතාවට ලබා දෙන නිසා අපි කාටවත් අසාධාරණයක් හෝ කාගෙවත් බුද්ධිමය දේපළ හූරා කෑමක් වෙන්නෙ නෑ. මම හිතන විදිහට ලංකාවේ දක්ෂ ලියන්නෝ ඉන්නවා. ලිව්වොත් ඉතා ආශාවෙන් කියවන්න බලාගෙන කියවන්නො ඉන්නවා. අන්න ඒ දෙගොල්ලොන්ටම සාධාරණයක් වෙන්න පුස්තකාලය හරහා ක්‍රමවේදයක් හැදුණොත් රටක් ලෙස අපේ රටේ අනාගතයට ඉතා වටිනා ආයෝජනයක්.

ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?

මම වැඩියෙන්ම ආසා ඇත්ත කතා සහ නඩු වාර්තා කියවන්න. නම් විදිහට ගත්තොත් ජයසේන ජයකොඩි මහත්​මයාගේ අස්​වැන්න, අරලියමල් ආරාමය පොත් කට්ටලය, අනුල ද සිල්වා මහත්මිය පරිවර්තනය කරපු නව වසර, අපූගේ ලෝකය පොත් කට්ටලය, අරනකට පෙම් බැඳ, තුෂාරී ජයවර්ධන මහත්මිය පරිවර්තනය කරපු “මිදි සහ මතක” කියන පොත් වලට මම විශේෂයෙන් කැමතියි. මම පොත් ලිව්වට මම වැඩිපුරම කැමති ඒ ලියන පොත් ඕඩියෝ බුක්ස් විදිහට අහන්න. අපිට දැනට සිංහල පොත් එහෙම අහන්න අවස්ථාවක් නෑ. නමුත් ගොඩාක් ඉංග්‍රීසි පොත් එහෙම අහන්න පුළුවන් නිසා මම එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් ශානරයන් තෝරා ගැනීමකි​න් තොරව පොත් අහනවා.

නිලුකාගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කරතව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?

මම කුඩා දරුවො දෙන්නෙක්ගෙ මව​ක් සහ ගෘහණියක් විදිහට මට හොයාගන්න අමාරුම දේ තමයි “වෙලාව” කියන්​නේ. මට ලියන්න කියලා විශේෂයෙන් වෙන් කරගත්ත කාල පරා​සයක් නෑ. මට එහෙම කාලෙ වෙන් කරන් ලියන්නත් බෑ. එහෙම කාලයක් ලැබුණම දන්නෙම නැතුව මම කරන්නේ ෆේස්බුක් ගිහින් ඒකෙ පෝස්ට්, වීඩියෝ බල බල ඉන්න එක.

ඇත්තටම “මම මේ පොත් හතරක් ලිව්වෙ මොන වෙලාවෙද” කියලා මටම වෙලාවකට පුදුමයි. මම දිනපතා ටිකෙන් ටික ලියන කෙනෙක් විදිහට ලියන කාලයේ හැසිරීම කියලා විශේෂයක් මට නෑ. ඇත්තම කතාව මම මගේ පූර්ණ අවධානය යොමු කරලා කරන්න ඕනෙ වැඩක් කරද්දි මගේ දුවයි පුතයි වෙන කියන්න දෙයක් නැත්නම් මගේ අවධානෙ කඩලා “ධ් තධමඥ රධභ” කියලා හරි කියනවා.

ලංකාවේ කවිය, කෙටිකතාව, නවකතාව කියවන පාඨකයා සමිබන්ධයෙන් සමහරුන්ගේ අදහස් තියෙන්නේ එතරමි සුබවාදී තැනක නෙමෙයි. සබුද්ධික කියවීමක් නෑ. විශ්ලේෂණාත්මක කියවීමක් නෑ කියන එක තමා විවෙිචනය. ඔබෙි අදහස මොකක්ද මෙි ගැන?

ඇපල් ජූස් බෝතලේ​ක විටමින් වර්ග මෙච්චරක් තියනවා, සීනි මෙච්චරක් තියනවා, වතුර මෙච්චරයි තියෙන්නේ කියන එක මැනලා සඳහන් කරලා තියනවා. ඒ ප්‍රමාණයන් මනින්න මොන මොනවා හරි ඒකකත් තියනවා. මිදි ජූස් බෝතලේකත් විටමින් මෙච්චරයි, සීනි මෙච්චරයි, වතුර මෙච්චරයි කියලා සඳහන්. එතකොට අපිට ඒ බෝතල් දෙක බලලා සන්සන්දනය කරන්න පුළුවන් ඇපල් ජූ​ස් වලද විටමින් වැඩි, එහෙමත් නැත්නම් මිදි ජූස් වලද කියලා. හැබැයි අපිට බෝතලයක අන්තර්ග​තයන් බලලා, එහෙමත් නැත්නම් පෙනුම බලලා කියන්න බෑ “ඇපල් ජූස් තමයි මිදි ජූස් වලට වඩා රස” කියලා.

සමහරු ඇපල් ජූස් බොන්න කැමතියි. සමහරු මිදි ජූස් බොන්න කැමතියි. අපිට කවදාවත් බෑ වඩා බුද්ධිමත් ඇපල් ජූස් බොන කෙනාද, මිදි ජූස් බොන කෙනාද කියලා කියන්න. මොකද රසය මනින්න ඒකකයක් නෑ. “කියවීම” කියන දේත් එහෙමයි. සබුද්ධික කියවීම කියන්නේ මොකක්ද කියන එකට පිළිගත හැකි අර්ථකනයක්වත් නැති එකේ අපි කොහොමද කෙනෙක්ගේ කියවීම නියාමනය කරන්නේ?

නිලූකාගේ කෘති රචනා කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවෙිණික වුණු එකක්. ඔබේ සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?

මගේ වටේ ඉන්න සෑම කෙනෙක්ම, මම කියවූ සෑම පොතක්ම මගේ ලිවීමට විතරක් නෙවෙයි මුළු ජීවිතේටම බලපානවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. මගේ භාෂා හැසිරවීම ගැන මම මගේ අදහස කියන්නම්. මම හැදෑරීමක් කරපු විෂය තමා ඇඳුම් මෝස්තර නිර්මාණය. ඒ විෂය ඇතුළේ තියරි කොටස් මම කොච්චර තදින් කාවද්දගෙන තියනවද කියනවා නම් මට මම උගත් විෂයේ අලුත් යමක් කිරීමට ඉතා අපහසුයි. අලුත් දෙයක් කරද්දි තියරි මතක් වෙලා “හාපෝයි බෑ බෑ. මෙහෙම කරොත් මේක මේ තියරියට පටහැණියි” කියලා මට හිතෙනවා. එහෙම හිතුණට පස්සෙ අලුත් යමක් කරනවා කියන්නේ අතපය බැඳලා රේස් එකක් දුවන්න කිව්වා වගේ වැඩක්.

නමුත් ලිවීම සැලකීමේදී ලිවීම මම විෂයක් ලෙස ගැ​ඹුරි​න් හදාරලා නෑ. යම් තරමකට හෝ හැදෑරුවා නම් මගේ ඒ හැදෑරීම තියෙන්නේ සාමාන්‍යපෙළ ලියන දරුවෙක්ගේ මට්ටමට. එතකොට මම ලියද්දි මම දන්නේ නෑ මේ ලියන භාෂා විදිහ සම්මතයේ පිළිගත් විදිහද, නැද්ද කියලාවත්. ඒක නිසා​ම මම ලියද්දි මගේ භාෂාව සම්බන්ධයෙන් මට කිසිම බයක් නෑ. මම ලිවීමකදී වද වෙන්නේ මගේ ලියමනේ අන්තර්ගතය ගැන විතරයි. මට හැඟුණොත් මගේ ලියමනට වඩා සාධාරණයක් කරන්නේ අතරින් පතර ඉංග්‍රීසි වචන දාලා කියලා මම බය නැතුව එහෙම ලියනවා. මට හැඟුනොත් මගේ ලියමනට වඩා සාධාරණයක් කරන්නේ ලියන භාෂාවෙන් කියලා මම එහෙම ලියනවා. ඒ හැර ලියන ​ඕනම කෙනෙක්ට තමන්ට ආවේණික භාෂා රටාවක් තියනවා. එකම ලියන්නාගෙ පොත් හතර පහක් කියවා තියන කෙනෙක්ට ලියන කෙනා කතා කරන බසින් ලිව්වත්, ලියන බසින් ලිව්වත්, ඒ පොත ලිව්වෙ කවුද කියලා නම බලන්නෙ නැතුවම අනුමාන කරන්න හැකියාව ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

ඔබ සාහිත්‍ය කටයුතු සිදු කරන්නේ ආත්ම තෘප්තියටද? එහෙමත් නැත්නමි වෘත්තියක් විදියට ද කියලා ඇහුවොත්?

මම ආත්ම තෘප්තියට විතරක් හෝ වෘත්තියක් ලෙස විතරක් දේව​ල් කරන්නේ නෑ. මම සාහිත්‍ය කටයුතු කරන්නේ ආත්ම තෘප්තිය ලැබෙන වෘත්තියක් විදිහට.

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT