කවියකු, ටෙලි නාට්‍ය පිටපත් රචකයෙකු, ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඔහු මේ වන විට ලාංකික නූතන සාහිත්‍යයේ වඩාත් ජනප්‍රියත්වයට පත් සම්මානලාභී ලේඛයකු ප්‍රතිභාසම්පන්න නිර්මාණ රචකයකු වී හමාරය. සෙංකොට්ටං, මාණික්කාවත, අපොයියාව, මැයිමාර ප්‍රසංගය, නවකතා සේම, හිරුත්හිම පියල්ලක, ඇහිපියන් ඇහැරිලා කාව්‍ය සංග්‍රහ ඔහුගේ සාහිත්‍ය ලේඛනයේ ඔහු ගැන කියන්නට කදිම නිදසුන්ය. මේ වන විට රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය, විද්‍යෝදය සාහිත්‍ය, සම්මාන සේම ස්වර්ණ පුස්තක අවසන් වටය නියෝජනය කරමින් සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබූ ඔහු නමින් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලය. අපි කතා කරමු ඔහුත් සමඟ.
සාහිත්‍ය කෘති රචකයකු ලෙසින් පාඨක ප්‍රජාව ඇද බැද ගෙන සිටින ඔබ සිනමා කරුවකු ලෙසිනුත් ගමනක් ඇරඹු බවක් ආරංචියි?
මම අන්තිමට ලිව්ව මගේම නවකතාවක් වූ මැයි මාර ප්‍රසංගය. නවකතාව ඇසුරින් මම චිත්‍රපටයක් කළා. මුලින්ම එහෙම චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් මගේ පොත පත කියවන පාඨක ප්‍රජාවගේ ප්‍රතිචාරත් එක්ක සිනමා පටයක් කරන්න පුළුවන් කියන අදහස මා තුළ ඇති කළා.
කිසියම් හෝ දිනක සිනමා අධ්‍යක්ෂවරයකු වනවා කියන සිහිනය ඔබ තුළ තිබුණ ද?
කුඩා කල පටන් මේක මගේ හීන තුළ තිබුණ හීනයක්. මගේම කතාවක් මගේම නවකතාවක් ඇසුරින් සිනමා නිර්මාණයක් කරන්න ලැබීම සතුට වැඩි කරන කාරණයක් බවට පත්වෙනවා. පසුගිය කාලයම වැයවුණේ සිනමා පටයේ තිර නාටකය රචනා කිරීමට හා චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන්.
ඔබේම තිරරචනයක් මත ද මේ චිත්‍රපටය තැනෙන්නේ?
සිනමාව වෙනුවෙන් මම ලියන පළමු තිර රචනය මේක. සම්මානනීය වේදිකා නාට්‍යය පිටපත් රචකයකු වූ චාලක රණසූරිය සමඟ තමයි මම මේ තිරපිටපත රචනය කරන්නේ. ඔහු වේිදිකා නාට්‍යකරුවෙක්. මම ඔහුගේ වේදිකා නාට්‍ය ගොඩක් බලල රසවිඳලා තියනවා. අපි දෙන්නට මේ චිත්‍රපටයේ තිරපිටපත ලියන්න මාස හය හතක් වැයවුණා. අපි දිගින් දිගට සාකච්ඡා කරමින් මේ සඳහා කරුණු කාරණා පෙළ ගැස්සුවා.
මෙය ඔබේ පළමු සිනමා තිරරචනය වුණත් මීට කලින් ඔබ ටෙලි නාට්‍ය පිටපත් රචනය සිද්ධ කරපු ටෙලි පිටපත් රචකයෙක් නොවේද?
පිනිවැස්ස (ප්‍රාසංගික) අහසින් වැටුණු ගැහැනියක් (ප්‍රාසංගික) සෙනෙහෙ අරණ (ඒකාංගික) ටෙලි නාට්‍ය සඳහා මීට පෙර මම තිරරචනා කරල තිබුණා. සිනමාව කියන්නේ වෙනම විෂයක්. මේ අත්දැකීම මට අලුත් දෙයක්. මම සිනමාවේ පේ‍්‍රක්ෂකයෙක් පමණයි. සැත්තැම්බර් 20 වැනිදා තමයි චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වුණේ ඒ තාක් පුරා මාස හය හතක් චිත්‍රපටයේ වැඩ කටයුතු අතරේ තමයි මගේ කාලය ගත වුණේ.
මේ චිත්‍රපටය මොනවගේ තේමාවක් ඔස්සේ ද ඔබ තිරපිටපත රචනා කළේ?
මගේ මේ මැයි මාර ප්‍රසංගය නව කතාවට පාදක වන්නේ එක්තරා ප්‍රේමයක් හා සම්බන්ධ කතාවක්. මගේ අනෙක් නවකතාවලට වඩා වෙනස්. නිහඬ ප්‍රේමයක් පාදක වෙලා තියනවා. මෙහි පෙම්වතුන් පෙම්වතා හා පෙම්වතිය කිසිදා ඔවුනොවුන් දකින්නැති කවදාවත් කතා බහ කර නැති නමුත් පෙම්වතිය ඔහුව දකින සිද්ධිය පාදක කරගෙන තමයි මේ කතාව ලියවී තියෙන්නේ. එක පැත්තකින් භාෂාවෙන් මට මෙය ජයගන්න අමාරු වුණේ නෑ ප්‍රබන්ධයක් වශයෙන් ගොඩනගන්න. නමුත් රූපමාධ්‍යයේදී මට විශාල අභියෝගයක් බවට පත්වුණා. ප්‍රකාශිත ඔවුනොවුන් නොදකින ඔවුන් අතර කතාබහක් ඇති නොවන පේ‍්‍රමයක් රූපමාධ්‍ය තුළ කොහොමද ගෙනියන්නේ කියල මම හිතනවා යම් ප්‍රමාණයකට හෝ ඒ අභියෝගය මම ජයගත්තා කියල.
මේ සිනමා කෘතිය කරන්නට පෙර ඔබම කියනවා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල චිත්‍රපට පේ‍්‍රක්ෂකයෙක් පමණයි කියලා. මෙහිදී ඔබ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන අභියෝගය ජයගත්තේ කොහොමද?
මම නළු නිළියෝ හිතේ තියාගෙන චිත්‍රපටයේ පිටපත ලිව්වේ නෑ. මගේ ප්‍රබන්ධ රචනාවේදී පෙම්වතාට පෙම්වතියට අනෙකුත් චරිත වලට යම් හැඩයක් නවකතාව තුළ මට තිබුණා. ඒ හැඩය තිර නාටකය බවට පත්කිරීමේදී මගේ හිතේ ඇඳුණු චරිත දෙක තුනක්ම තිබුණා. මගේ වාසනාවටද කොහෙදෝ මට ඔවුන් චිත්‍රපටයට ලබා ගන්න පුළුවන් වුණා. චිත්‍රපටය තුළ රොෂාන් රවීන්ද්‍ර, උමාලි තිලකරත්න, ශේවියර් කනිශ්ක තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් රඟපාන්නේ. තව සෙසු චරිත කිපයකුත් තියනවා. ප්‍රධාන චරිත තුනම මා තිරනාටකය ලියන අවධියේ මගේ හිතේ ඇදුණු චරිත ඒවාට කිසිම ආදේශක තිබුණේම නෑ. ඒ තුන්දෙනාම චිත්‍රපටයට කතා කරන කොට ඔවුන් බොහොම කැමැත්තෙන් ආවා. ඒ අයට නවකතාව පිළිබඳත් තිර නාටකය පිළිබඳත් ඉතාම හොඳ අවබෝධයක් තිබුණා. සෙසු චරිත වලට රඟ පෑ ශ්‍රියානි අමරසේන, විශ්වජීත් ගුණසේකර, ප්‍රියංකා සමරවීර වගේ අයත් රංගනයේදී ඉතාම අවබෝධයෙන් ඉතාම කැමැත්තෙන් අපිව තෘප්තිමත් වන ආකාරයෙන් ඔවුන්ගේ වගකීම ඉටු කළා.
ඔබ හා පුරා කියා රචනා කළ සිනමා තිර රචනයට මෙයට දායක වූ නළු නිළියන් සියයට සියයක් සාධාරණය ඉෂ්ට කළා කියල ද ඔබ කියන්නේ?
අනිවාර්යෙන්ම ඔව්.
ඔබේ සිනමා නිර්මාණයේ කැමරා ශිල්පියාත් ඔබට සුවිශේෂී චරිතයක් වුණාද?
මම මේ සඳහා තෝරගත්තේ ලංකාවේ ඉන්න ජාත්‍යන්තරයේ පවා සම්මානයට පාත්‍ර වූ විශිෂ්ට කැමරා ශිල්පියෙක් වූ පාලිත පෙරේරාව. මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වසර පහළොවක විතර කාලයක් රැඳිල ඉන්නකොට සහය අධ්‍යක්ෂවරයෙක් තිරරචකයෙක් විදියට කටයුතු කරමින් අත්දැකීම් ලබල තිබුණා. ඒ කාලය තුළ මට බොහෝ කැමරා අධ්‍යක්ෂවරු සමඟ වැඩකරන්න ලැබිල තිබුණා. ඔවුනොවුන් සමඟ සම්බන්ධ කටයුතු කරන්න ලැබිල අදහස් හුවමාරු කරගන්න ලැබිල තිබුණා. ප්‍රවීණ අය වගේම නවක අයත් සමඟ නමුත් පාලිත පෙරේරා කියන මේ කැමරා අධ්‍යක්ෂවරයා සමඟ මට කිසිදාක සමීපව වැඩකරන්න ලැබිල තිබුණෙත් නෑ. අපිට නිර්මාණවලදි එකට වැඩකරන්න ලැබිලත් නෑ. පෞද්ගලිකව මුහුණට මුහුණ හමුවෙලත් තිබුණේ නෑ. මම මගේ චිත්‍රපටයට ඔහුව තෝරගන්න කලින් ඔහුව මම හඳුනාගෙන තිබුණේ ඔහුගේ රූපරාමු තුළින් විතරයි. ඔහුගේ කැමරාකරණය සිදු වූ සංකාරා චිත්‍රපටය, විෂම භාග චිත්‍රපටය, බොර දිය පොකුණ චිත්‍රපටය රූපරාමු වලට මම හරිම ආශා කළා. ඔහුගේ කැමරාකරණ ශිල්පීය රූපරාමුවලට මට ලොකු ආකර්ෂණයක් තිබුණා. මම එකහෙළාම තීරණය කළා මම චිත්‍රපටයක් කරනවා නම් අනිවාර්යයෙන්ම පාලිත පෙරේරාව තමයි තෝරාගන්නේ කියලා. රූප ගත කිරීම් වලදී මගේ තේරීම සියයට සියයක් නිවැරදියි කියල රඟපෑ නළු නිළියෝත් කිව්වා ආලෝකකරණය නිසා දර්ශන වල තිබුණ ඇතුළාන්තය ග්‍රහණය කරගත් විධිය ඒ පිළිබඳ ඔහු බුද්ධිමත්ව කටයුතු කරපු ආකාරය සැබැවින්ම විශිෂ්ටයි. මම තෝරාගත් නිවරැදි පුද්ගලයා කොතෙක් දුරට සාධාරණය ඉෂ්ට කර තිබෙනවාද කියලා මම කියනවාට වඩා චිත්‍රපටය තිරගත වෙනකොට ප්‍රේක්ෂකයන්ටත් මනාලෙස වැටහෙයි.
කලක පටන් ඔබම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කිරීම නිසා අත්දැකිම් සම්භාරයක් ලබනවා. ඒත් ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක් වෙත නොයා චිත්‍රපට අධ්‍යක්ෂණය වෙත පමණක් පිවිසෙනවා. මේකට හේතුවක් තියනවාද?
මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සහය අධ්‍යක්ෂවරයෙක් හා ටෙලි නාට්‍ය තිරපිටපත් රචකයෙක් ලෙස තමයි කටයුතු කළේ. ඔය කාලයේ මට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න ආරාධනා පැමිණියා. කොටින්ම කියනවානම් මගේම ‘මාණික්කාවත’ නවකතාව ඇසුරින් මමම තිරපිටපත ලිව්ව ‘මාණික්කාවත’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ සුදත් රෝහණයන් මට ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ඕනෙකම තිබුණානම් මට තිබුණා එය අධ්‍යක්ෂණය කරන්න. මම වෘත්තීමය වශයෙන් කාලයක් වැඩ කළාට මා තුළ ඉතාම අකමැත්තක් තියනවා ටෙලි නාට්‍ය මාධ්‍යයට මම වැඩි දායකත්වයක් ලබාදුන්නේ සහය අධ්‍යක්ෂණයට සහය අධ්‍යක්ෂණය කියන්නේ නිර්මාණයට සෘජුව සම්බන්ධවෙන වෘත්තියක් නොවෙයි. ඒ වෘත්තීය තුළ සිදුවන්නේ නිර්මාණයේ සංවිධාන කටයුතු නළු නිළියන් සම්බන්ධීකරණය වගේ මම ඒ දේ කාලයක් කළාට රස්සාවක් වශයෙන් ටෙලි නාට්‍යයක් කරන්න මම කවදාවත් උනන්දු වුණේ නෑ. එහෙම උනන්දුවක් තිබුණ නම් මට ටෙලි නාට්‍යයක් කරන්න තිබුණා. මගේ කුඩා කළ පටන් තිබු සිහිනයක් සිනමා නිර්මාණයක් කිරීම.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කුඩා කල පටන් සිනමාකරුවෙක් වෙන්න හීන දැකපු පුද්ගලයෙක්?
සිනමාව නැමැති දැවැන්ත සිහිනයට මම කවදා හෝ මගේ පරිශ්‍රමයෙන් ළඟා වෙනවා කියලා අදහසක් මගේ හිතේ තිබුණා. එයට හේතු වුණේ මම දකින විධියට සිනමාව කියන දැවැන්ත මාධ්‍ය විසින් පුංචි අපේ හිත්වල මවල තියන ගාම්භීර චිත්‍රය අපි සිනමාව හඳුන ගන්නේ සිනමාහලකට ගිිහින් ටිකට් එකක් අරන් බංකුවක වාඩි වී පළමු බෙල් එක දෙවන බෙල්එක වදිනකන් පපුව ගැහෙමින් බලා ඉන්නවා. මේක කොයිවෙලේ පටන් ගනියි ද කියලා ඊට පස්සේ මහා තිරයක අපිට විශ්ව කර්ම ලෝකයක් මැවෙනවා. දැවැන්ත රූප සමඟ එහි නමක් ගියත් මොනවදෝ දැවැන්තකමක් එයට ලැබෙනවා. ඔන්න ඔය හීනය මගේ හිත තුළ තිබුණා. ඔය හීනය මගේ සිතේ ඇතිවෙන්නේ මම කුඩා කළ මේ දැවැන්ත තිරය මත මගේ දායකත්වයෙන් කවදා හරි නිර්මාණයක් මේ විදියට තිරයේ යන්න ඕනෙ කියන හීනය මම ගැලරියේ බංකුව මත ඉඳගෙන හීන දැක්කා. ඔය හීනය එක්ක පුංචි තිරය මම දැක්කේ ළමයි සෙල්ලංකරන තැනක් හැටියට ගෙදරක සාලෙ තියල තියන කුඩා පෙට්ටියට වඩා විජ්ජාවන් ප්‍රමාණයක් සිනමා ශාලාවක තියන තිරයේ කරන්න පුළුවන් කියනදේ නිසාම මට පුදුම ආශාවක් දැනුණා සිනමාවට. මට සිනමාපට වැඩි ප්‍රමාණයක් කරන්න අවශ්‍ය නෑ. දෙකක් තුනක් කළත් ඒ හැමදේම සිනමාව ඇතුළත කරන්න තමයි මගේ හැම උත්සාහයක්ම.
ටෙලි නාට්‍ය තිරරචනා ලියන ඔබට ඔය වකවානුවේ චිත්‍රපට තිර රචනයක් සඳහා කවුරුවත් ආරාධනා කළේ නැද්ද?
මට එවැන්නකට ආරාධනා ලැබුණේම නෑ. 1999දී විතර මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්නේම ආශාව නිසා සුසිල නිෂ්පාදන ඇතුළු වෙනත් නිෂ්පාදන ආයතන කීපයකම මම වැඩ කරනවා. ඒ වැඩ කිරීම් නිසා මම දෙයක් ඉගෙන ගන්නවා. මිනිස්සු හඳුනාගන්නවා. රස්සාවකුත් කරනවා. මේ හැමදෙයක්ම එකතුව මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් ඇදී එමින් කාර්ය බහුල වුණත් ඔය වකවානුවේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් වැඩකරන්න ලැබුණා. එරංග සේනාරත්නගේ ‘රෝස පැටික්කී’ චිත්‍රපටයේ මෙය ඇරෙන්න තව චිත්‍රපට කීපයකට විවිධ අංශයන්ගෙන් දායක වන්න ලැබුණත් සහය අධ්‍යක්ෂණයෙන් දායක වූණේ මෙයට පමණයි. ඒ ඇරෙන්න කාගෙන්වත් චිත්‍රපට තිරරචනයක් සඳහා ආරාධනා නම් ලැබුණේම නෑ. මමත් රැකියාවක් ලෙස ටෙලි නාට්‍ය පැත්තේම වැඩකරගෙන ගියා සිනමාවේ සිහිනය දකිමින්ම.
සෙංකොට්ටං, මාණික්කාවත, අපොයියාව, මැයිමාර ප්‍රසංගය වගේ අතිශයින්ම පාඨක ජනාදරය දිනූ නවකතා ඔස්සේ ඔබ මෙරට ප්‍රජාව අතර ජනපි‍්‍රය පුද්ගලයෙක් බවට පත්වන අතරේ එම කෘති සම්මානීය ඇගැයුම් පැසසුම් ලබන අතරේත් ඇයි ඔබෙන් තිර රචනයක් කවුරුවත් බලාපොරොත්තු නොවුණේ?
සෙංකොට්ටං බවට පත්වන අතරේ එම කෘති නවකතාව ප්‍රකාශයට පත් කරල වසර දෙකක් විතර යනකොට එහි කතාව චිත්‍රපටයක් බවට පත් කරන්න ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා මගෙන් ඒ පොතේ අයිතිය නීත්‍යානුකූලව ලබාගත්තා. මටම එහි තිරනාටකයත් ලියන්න පැවැරුවා මම තිරනාටකයත් ලිව්වා. සෙංකොට්ටං කතාව දැන් තියෙන්නේ එතුමාගේ අයිතිය යටතේ. 2014 වසරේ තමයි ඔහු ඒ අයිතිය මගෙන් ලබාගත්තේ. නමුත් එතුමා වඩාත් කාර්ය බහුල වුණාත් විදෙස් චිත්‍රපට ලංකාවේ රූපගත කිරීම් වැඩවලදී ඒ වැඩ නිසා සෙංකොට්ටං චිත්‍රපටයක් කරන එක ප්‍රමාදවෙමින් දිගටම ආවා. ඒ දවස්වල සෙංකොට්ටං චිත්‍රපටය කෙරුණා නම් මගේ ගමන් මාර්ගයත් මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
දුරදිග බලලා ද ඔබ සෙංකොට්ටංවල ඔබේ අයිතිය තවකෙනෙකුට පැවරුවේ?
මමත් රවීන්ද්‍ර රන්දෙණියන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වට කීපයක් පවත්වා අපි අතර හොඳ අවබෝධයක් ඇතිව තමයි. මම ඒ කතාවේ අයිතිය ඔහුට පැවැරුවේ තවමත් ඒ කතාවේ දැන් අයිතිය තියෙන්නේ රවීන්ද්‍ර රන්දෙණියට.
ඔබගේ දෙවන නවකතාව වූ මාණික්කාවත සිනමාවට ගේන්න ඔබේ අදහසක් තිබුණේ නැද්ද?
‘මාණික්කාවත’ මගෙන් සිනමා පටයකට තිර රචනයක් ලෙස බොහෝ පිරිස් ඉල්ලා සිටියත් එහි කතාව මම අදහස් කළේ සිනමාවට ගැළපෙන්නේ නෑ කියල. දීර්ඝ පුවතක් පරම්පරා හතරක කතාවක් එහි තියෙන්නේ. ඒක ටෙලි නාට්‍යයකට සුදුසු නිසා සුදත් රෝහණ මහතා සමඟ එය ටෙලි නාට්‍යයකට තිර රචනය කළා.
මගේ තුන්වෙනි නවකතාව අපොයියාව, යොවුන් නවකතාවක් ඒක චිත්‍රපටයකට සුදුසු නෑ. නමුත් ඒක ටෙලි නාට්‍යයකට නගන්න පුළුවන්කම තියනවා. නමුත් කවුරුවත් ඒකට යෝජනාවක් ගෙනාවෙත් නෑ. මම උනන්දු වුණෙත් නෑ. මගේ හතරවෙනි නවකතාව මැයි මාර ප්‍රසංගය මම විසින් තීරණය කරල චිත්‍රපටයක් හැටියට මම අධ්‍යක්ෂණය කළා. ඒ සඳහා නිෂ්පාදන දායකවයත් නොමසුරුව මට ලැබුණා.
සෙංකොට්ටං කවදාවත් චිත්‍රපටයක් හැටියට නිර්මාණය නොවෙයිද?
2012 වසරේ තමයි මම මේ නවකතාව ලියන්නේ 2014වසරේ තමයි රවීන්ද්‍ර රන්දෙණිය මහතා චිත්‍රපටයක් කරන්න මෙහි කතාවේ අයිතිය මගෙන් ලබා ගත්තේ. ජයලත් මනෝරත්න හා රවීන්ද්‍ර රන්දෙණිය මා සමඟ දීර්ඝ කතාබහකින් අනතුරුව රවීන්ද්‍ර රන්දෙණිය මහතා ජීවිතයේ පළමු වරට අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය හැටියට තමයි එය කරන්න මගෙන් භාර ගත්තේ. ඔහු මට කිව්වා මහින්ද මගේ හීනයක් මම මැරෙන්න කලින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම මට මේක දෙන්න කියලා. නමුත් කාලයත් සමඟ දිනෙන් දින එය ප්‍රමාද වුණා. නමුත් මම ඔහුත් සමඟ කතා කළාම ඔහු කීවේ තාමත් ඔහු ඒ හීනය සැබෑ කරගන්න බලා ඉන්නවා මහින්ද ඒ හීනය සැබෑවෙයි කියලා. තවත් අධ්‍යක්ෂවරු මගෙන් මේ කතාව ඉල්ලුවා. ඒත් රවීන්ද්‍ර කිව්වේ බලමු බලමු අපි මේක කරමු කියල. අපි අතර ගිවිසුමක් තියනවා මම ඔහුට මෙහි සිනමා අයිතිය ලබාදුන්නා කියලා. නමුත් මට එතුමා කවදහරි කිව්වොත් මහින්ද මට මේක කරන්න ලැබෙන්නේ නෑ. ඔයාම මේක චිත්‍රපටයක් කරන්න කියල මගේ දෙවන සිනමාපටය බවට එය පත්වේවි. එතුමා අතේ තමයි ඒ තීරණය තියෙන්නේ.
කාව්‍ය පැත්තේ පොත පත ලිවීමෙන් ඔබ දැන් බැහැර වෙලාද?
මගේ ජීවිතය හා බැඳුණු මාධ්‍ය කවිය මම කුඩා කල පටන් එයට දැඩිව පෙම් බැන්ද කෙනෙක්. මගේ පළමු සාහිත්‍ය නිර්මාණයත් කවි පොතක් මම වැඩියෙන් ගැවසෙන්නේ කවිය කියන මාධ්‍ය සමඟ. වසරකට සැරයක් කවි පොතක් එළි දැක්වීම නොකළට කවිය සම්බන්ධ සාකච්ඡා සම්මන්ත්‍රණ, වෙනත් අයගේ පොතපත ප්‍රකාශයට පත්කරන්න කවිය සම්බන්ධ හැදැරීමේ විශ්වවිද්‍යාල හා පාසල් දරුවන්ට කවිය සම්බන්ධ දේශන පැවැත්වීම ආදිය සමඟ දීර්ඝ කාලීනව මම සම්බන්ධ වෙලා ඉන්නවා. චිත්‍රපටයක් කරනවා කියල සුදානම් වෙන්න පුළුවන්. නමුත් කවියක් ලියන්න එහෙම සුදානමක් ඇතුව කරන්න බැරි දෙයක්. ඒක සියුම් මාධ්‍යයක් මම ළඟ කවි ලියපුවා තියනවා. ඒවා දිනෙන් දින බලමින් නැවත නැවත හදමින් කප්පාදු කරනවා. මට දවසක හිතුණොත් මේ ටික දැන් ඇති පොතක් වශයෙන් එළි දක්වන්න කියල එදාට ඒ එකතුව පාඨක ප්‍රජාවට කියවන්න ලැබෙයි. මම ජීවිතයේ වැඩි කාලයක් ගත කරල තියෙන්නේ. කවියත් එක්ක බොහෝ විට ඉදිරියටත් ඒක වෙනස් නොවන දෙයක්.
ඔබේ මුල්ම කාව්‍ය සංග්‍රහය වූ හිරුත්හිම පියල්ලක සේම ඔබේ මුල්ම නවකතාව වූ සෙංකොට්ටං මුල්ම කෘති රචනයට සම්මානනීය ඇගැයුම් පැසසුම් ලබනවා. මේ තත්ත්වය තුළ ඔබේ පළමු සිනමා නිර්මාණයත් ඒ අයුරින් සම්මානනීය වෙයි කියල ඔබ හිතනවාද?
මට අභියෝගයක් හා කුතුහලයක් තියනවා. එක පැත්තකින් මට ලොකු පාඨක ප්‍රජාවක් ඉන්නවා. ඒ අයගෙන් පිරිසක් කැමැතියි මේක සිනමාවෙන් දකින්න. ඊට සමාන පිරිසක් ඉන්නවා අකමැති. ඔවුන් මවාගත්ත රූපපද්ධතිය විනාශවෙයි කියලා. අන්න ඒක ජයගැනීම මට අභියෝගයක් සිනමා පටයේ සියලු වැඩකටයුතු ඉවර වෙලා පේ‍්‍රක්ෂකයා අතරට ගියහම තමයි මේකට හරි උත්තරය බලන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරන්නෑ පොතේ තියන සියලු රසභාවයන් සිනමාවෙන් ඉෂ්ට කරන්න පුළුවන් වුණා කියලා. සාහිත්‍යයේදී අපිට කරන්න කියන්න පුළුවන් සීමා නැති තරම්. නමුත් සිනමාවේදි අපි එක තැනකට ලගුවෙනවා. මනෝමය වශයෙන් මම මවන චිත්‍රය නවකතාවට ගැළපුණාට සිනමාකෘතියේදී එය එහෙම කරන්න පුළුවන් ද කියන ප්‍රායෝගික ගැටලුව එනවා. මගේ නිෂ්පාදන කණ්ඩායම අභියෝගය ජයගන්න ගොඩක් කැපකිරීම් කළා. එහි සාර්ථකත්වය පාඨකයා පේ‍්‍රක්ෂකයා බවට පත්වුණාම තමයි හරියටම දැනගන්න පුළුවන්.
මේ වෙනකොට ඔබ සතුව කොතරම් පාඨක ප්‍රජාවක් අත්වැල් බැදගෙන ඉන්නවා කියලද හිතන්නේ?
ඒක මට කියන්න බෑ. මම ලිව්ව පොත් ලක්ෂ ගණනින් අලෙවි වෙලා තියනවා. ඒ පොත් අලෙවි වුණා කියල පොත් ගණනින් පාඨක ප්‍රජාව මනින්න බෑ. පොත් කියවනවා කියලා විශ්වාස කරන හැම කෙනෙක්ම වගේ මගේ පොත් කියවලා තියනවා කියල මම හිතනවා.
සාහිත්‍යකරුවෙක් ලෙස මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් ඔබ යම් කෘතියක් එළි දක්වනවාද?
මම ලියපු අලුත් දෙයක් නෑ. මෙවර පසුගිය කාලය මම වෑය කළේ මගේ සිනමා නිර්මාණය වෙනුවෙන් අලුත් කෘතියක් ලියන්න මම උත්සාහ ගත්තේ නෑ. නමුත් මේ පොත් ප්‍රදර්ශනය තුළ ඒ කාලය පුරාවට මම ඉන්නවා. කවි පොත් සල්පිල අපි අවුරුදු 17ක් පොත් ප්‍රදර්ශනයේ පැවැත්වුවා. මෙවරත් එය පවත්වනවා. මොන වැඩ තිබුණත් පොත් ප්‍රදර්ශනය තියන දවස් දහය මම වෙන් කරල තියනවා. ලංකාව පුරා ඉන්න කවි ලියන අය සමඟ තෘප්තිමත් දවස් කීපයක් මම මෙහිදි ගත කරනවා. පොත් ප්‍රකාශකයන් ගේ සංගමය මුදල් ගෙවීමකින් තොරව අපිට ඒ ස්ථානය නොමිලේ ලබාදෙනවා. කවීන් වෙනුවෙන්.
කවිපොත් සල්පිල හරහා කවි ලියන්නට මොන වගේ වැඩ පිළිවෙළක්ද හඳුන්වා දිලා තියෙන්නේ?
කැටපත් පවුර කියල මෙතනට එන අයට තමන්ගේ සිතැගි පරිදි කවි ලියන්න අපි අවස්ථාව සකසල තියනවා. ඔවුන්ගේ කවි දහස් ගණනකින් හොඳ ඒවා තෝරල අපි ඊළඟ වර්ෂයේ පොතක් එළි දක්වනවා. මගේ සත්තව ප්‍රකාශකයෝ තුළින් මුද්‍රණය කරල හොඳම කවි සියයක් තෝරල තමයි අපි පොතක් හැටියට නිකුත් කරන්නේ.
විරාමයක් ඇතුවද ඔබ කාව්‍ය හෝ නවකතා නිර්මාණ එළි දක්වන්නේ?
2012 දී තමයි මම මුලින්ම සෙංකොට්ටං ලියන්නේ. 2024 වනවිට මම නවකතා ලියල තියෙන්නේ 4ක් විතරයි. කොහොම කිව්වත් මම අවුරුදු තුනක විරාමයක් ගන්නවා අලුත් ප්‍රබන්ධයක් රචනා කරන්න. ඇතැම් රචකයෝ වසරක් පාසා පොත් එළි දක්වනවා. නමුත් මට හැදැරීමක් තොරතුරු සොයා බැලීමක් නොකර පොතක් ලියන්න බෑ. මම ඒකට කාලයක් ගන්නවා.
ඔබ වැඩිය කැමැති නවකතා රචනයට ද කාව්‍ය රචනයට ද?
මම වැඩිය කැමති කාව්‍ය රචනයට තවම මම ලියලා තියෙන්නේ කවි පොත් දෙකයි. හිරුත් හිම පියල්ලක මම මුලින්ම ලිව්වේ 2010 දී. ඊට පස්සේ මගේ දෙවන කවිපොත ලිව්වේ 2012 දී ඇහිපියන් ඇහැරිලා එදා ඉඳලා අද වෙනකන් අවුරුදු දොළහකින් මම කවි පොතක් කරල නෑ. මගේ ළඟ තියන නිර්මාණ ටික බලමින් ඉන්නවා. මම දැන් පොතක් කරන්න සුදුුසුයි කියල හිතුණොත් මම ඒකට සුදානම් වෙනවා.
ඔබේ කවිය නිර්මාණය වෙන්නේ එකම තේමාවක් ඔස්සේද?
නෑ. කවියට කවි බසක් තියනවා. සිනමාවට සිනමා බසක් තියනවා. අපි දෙයක් කරනකොට විවිධ ප්‍රස්තුත ඔස්සේ තමයි කවිය ගොඩනගන්නේ. ඒක මට විතරක් පොදු දෙයක් නොවෙයි. සියලු කවීන් එහෙමයි. මිනිස් ජීවිත පිළිබඳ මට දැනෙන හැඟෙන දේ කියන්න මම ගොඩක් විට උත්සාහ අරන් තියනවා කාව්‍ය රචනයේදී හැම කවියම කියන්න උත්සාහ ගන්නේ ආදරය හා මනුස්සත්වය එක එක දෘෂ්ටි කෝණයෙන්.
කෙටි කතාවට ඔබ තවම යොමු නොවුණේ ඇයි?
කෙටි කතාව මම හිතන්නේ කවිය වගේම සංකීර්ණ දෙයක් කියලා. කෙටි කතා තවම මම ලියල නෑ. මම ආසයි කෙටි කතා රචනයට. සියුම් අත්දැකීමක් සංයමයකින් යුතුව කතාවක් ලෙස ගොතන්නේ කොහොමද කියල. ඒ විෂය ගත්තහම නවකතාව හරි පහසුයි කියල මම හිතනවා. නවකතාකරුවට නිදහස තියනවා කෙටි කතා කරුවාට වඩා මගේ ආශාව ඉදිරියේදී සමහරවිට කෙටි කතාවකින් ඉවරවෙන්නත් පුළුවන්.
හා පුරා කියා ඔබ තනන චිත්‍රපටය කුමන නමකින්ද තිරයට එන්නේ?
මගේ නවකතාවේ නමින් මැයි මාර ප්‍රසංගය කියා දැනට අමෙරිකාවේ ජීවත්වන කුමාරි පණ්ඩිතරත්න මහත්මිය ඇය මගේ මැයි මාර ප්‍රසංගය කෘතිය කියවල මේ කෘතිය ලියල තියන විදියට කැමැති වෙලා මට චිත්‍රපටය කරන්න කිව්වා. ඇය එයට මුදල් ලබාදෙන්නම් කියල මේ චිත්‍රපටයේ වැඩ ඉක්මනින් ඉවර කරන්න කිව්වා මුලින්ම ඇයට විදෙස් රටවල මෙය පෙන්වන්න ඕනෙ කියල දැනටත් සංස්කරණ කටයුතු, සංගීතමය කටයුතු කරගෙන යනවා. ලබන වසරේ ජනවාරි මස මෙය තිරගත කරන්න තමයි මගේ ඉලක්කය.
ඔබේ නිර්මාණ කාර්යට කොහොමද ගෙදර පරිසරයෙන් ලැබෙන අත්උදවුව?
දැන් මම වෘත්තිමය ලේඛකයෙක් වෙලා ඉවරයි. අපේ පවුල් පසුබිම තුළ වුණත් ලේඛන පසුබිමක් කොහෙත්ම තිබුණේ නෑ. අද වෙනකොට මගේ නිර්මාණ කාර්යට මුල් තැන දීලා තමයි අනෙක් කටයුතු පවුල තුළ වුණත් සංවිධානය වන්නේ. මගේ බිරිය කල්පනී ගුණතිලක. ඇයත් මට මගේ නිදහස වෙනුවෙන් උපරීම කැපකිරීමක් කරනවා. මගේ දුව ශ්වේතා මස්ඉඹුල ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
ධම්මික පතිරත්න
චන්දන දයාසිරිවර්ධන