නිවස සංවාද වේදිකාවේ තියෙන ආතල් එක දන්නේ එකේ ඉන්න උන් විතරයි

වේදිකාවේ තියෙන ආතල් එක දන්නේ එකේ ඉන්න උන් විතරයි

රංගන ශිල්පිනී සමාධි ලක්සිරි

by Thanushika
August 15, 2024 9:32 am 0 comment

නර්තන විෂයට ඈ කුඩා කල පටන් ප්‍රේම කරනු ලැබුවේ කිසියම් හෝ දිනෙක විශ්වවිද්‍යාලයට ගොස් නර්තන අංශයෙන් කථිකාචාර්යවරියක් වීමටය. කුඩා කල පටන් උසස් පෙළ අධ්‍යාපනය දක්වා ඈ නර්තනය හදාරනු ලැබුවේ තමන්ගේ එකම අභිප්‍රාය ඉෂ්ට කරගැනීමටය. තව දුරටත් නර්තනය ඉගෙන ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයට එන ඈ තමන් මහත් සේ ආදරය කළ නර්තනය හැදෑරීම පසෙක තබා නාට්‍ය හා රංග කලාව හැදෑරීමට පෙලඹෙන්නේ දෛවෝපගත ලෙසිනි. නාට්‍ය හා රංගන කලා විශේෂවේදී උපාධිධාරිනියක් වන ඈ හා පුරා කියා වේදිකා නාට්‍යයකට රංගනයෙන් දායක වනුයේ නයෝමි සමුද්‍රිකා සහ විරාග නඳුන් අධ්‍යක්ෂණය කළ මුහුදු ලිහිණියා නාට්‍ය නිර්මාණයත් සමඟිනි. දෙදහ වසරේ සරසවි අධ්‍යාපනයට පිවිසෙන ඈ 2003 වසරේ ප්‍රසිද්ධ වේදිකාවට රංගනයෙන් එක්වන්නේ රාජිත දිසානායකගේ සිහින හොරු අරන් වේදිකා නාට්‍ය නිර්මාණයත් සමඟිනි. වසර විසි එකක් පුරා වේදිකා නාට්‍ය රංගනයේ නියැළෙන ඈ මේ වන විට රඟපා ඇති වේදිකා නාට්‍ය ප්‍රමාණය තිස් හයකි. පසුගිය දා වේදිකාගත වූ සචිත්‍ර රාහුබද්ධගේ චක්‍රායුධම් ඇගේ නාට්‍ය රංගනයේ තිස් හය වැන්නය. සම්මානනීය වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට නිළියක් වන ඈ නමින් සමාධි ලක්සිරිය. මෙවර පැවති තිස් පස් වන සරසවිය සම්මාන උලෙළේ 2019 වසරේ තිරගත වූ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රංගනය උදෙසා ඈ හොඳම නිළිය ලෙසින් සරසවිය සම්මානයට පාත්‍රවන්නට ද ඇය භාග්‍යවන්ත වූවාය. සම්මානීය ඇගැයුම් පැසසුම් ලැබ නිහඬව රංගනයේ නියැළෙන සමාධි ලක්සිරි හා කතාබස් කරමු.

සමාධිගේ වේදිකා නාට්‍ය රංගනය කැටි වූ නිර්මාණ අතුරින් වඩාත් පේ‍්‍රක්ෂකයා අතරට ඔබ ගියේ මොන නිර්මාණ ඔස්සේ ද?

ජනේලයෙන් පනින්නද, සිහින හොරු අරන්, ඊඩිපස්, සැන්ටිගනී, සඳගිනිඅරන්, ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය

සම්මාන පිට සම්මාන ලබන නිළියක් ඔබ?

ජනේලයෙන් පනින්න ද හොඳම නිළිය, සඳගිනි අරන් හොඳම නිළිය, ඇන්ටිගනී හොඳම සහය නිළිය, ඔබ අප කරන්න හොඳම සහය නිළිය කඩදොරේ හොඳම නිළිය, දැකල පුරුදු කෙනෙක්, හොඳම නිළිය.

ටෙලි නාට්‍ය රංගනයටත් ඔබට ආරාධනා ගලා ආවා

දෙදහ වසරේ සිට දෙදහස් පහළොව වසර අතර කාලයේ ගොඩක් ටෙලි නාට්‍ය රංගනයන් වෙනුවෙන් මට ආරාධනා ලැබුණා. ආරාධනා ලැබුණට ඒවායින් මම කීපයක් විතරයි භාර ගත්තා. වැඩ කරන්න මට ඉගෙන ගන්න දෙයක් තියන දැනුමක් ලබාගන්න පුළුවන් අධ්‍යක්ෂවරු කීප දෙනෙක්ගේ නිර්මාණ වෙනුවෙන් විතරයි මම වැඩ කළේ. ජයලත් මනෝරත්න, ආනන්ද අබේනායක, රජිව් ආනන්ද, සුමුදුවෙල්ලාවල වගේ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ වෙනුවෙන් දායක වුණා.

සමාධි ටෙලි නාට්‍ය රංගනයට අත්පොත් තබන්නේ පාසල් අවධියේමද?

ඔව් මම මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ උසස් පෙළ ශිෂ්‍යාවක්ව ඉන්නකොට සෙන් තිලකවර්ධනගේ මායා අග්නි ටෙලි නාට්‍යයේ ගමෙන් කොළඹට පැමිණීමත් සමඟ මම ලොකුවට ටෙලිනාට්‍ය කළේ නෑ මගේ වේදිකානාට්‍ය රංගනයන් දැකල තමයි මට ටෙලි නාට්‍ය රංගයන්ට ආරාධනා ලැබුණේ. ජයලත් මනෝරත්නගේ රාත්‍රිය මනරම් ඊට පස්සේ ආනන්ද අබේනායකගේ අප්පච්චි, රජීව් ආනන්දගේ කඩදොර ආදී ටෙලි නාට්‍ය වලට මම රංගනයෙන් දායක වුණා.

ටෙලි නාට්‍ය රංගනයෙන් ඔබ වඩාත් පේ‍්‍රක්ෂකයාට සමීප වුණේ?

වසන්ත කුසලානය ටෙලි නාට්‍යයෙන් හා කඩදොර ටෙලි නාට්‍යයෙන් මම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් මුලින්ම කළේ කඩදොර නිර්මාණයේ ඒ මගේ මුල්ම ප්‍රධාන භූමිකාව වෙනුවෙන් හොඳම නිළිය ලෙස සුමති ටෙලි සම්මානය මට හිමිවුණා.

ඔබ පවසා සිටිනවා ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට ආරාධනා ලැබෙන චරිතයක් නොවෙයි ඔබ කියල?

අපේ රටේ රූපය කියන දේ චරිතවලට හරි වැදගත් ඒක අපේ රටේ සෑහෙන්න බලපාන සාධකයක් අපි අය කරන මිලටත් වඩා අඩුවෙන් වැඩකරන අයත් රූපෙන් අගතැන්පත් අයත් ඕනෙ තරම් ඉන්නවා. නමුත් මට ආරාධනාවක් ලැබුණොත් ඒක මම ඉවත දාන්නෙ නෑ. මට හදිස්සියක් නෑ. මම මේ වෙන කොට කරල තියෙන්නේ එක චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් විතරයි. ඒ චිත්‍රපටයට මම මේ රටේ ගන්න පුළුවන් ඉහළම සම්මානය ගන්නවා. ඉතිං මට තව රඟපාන්න චිත්‍රපට ලැබුණේ නෑ කියල වේදනාවක් නෑ. කරපු එක මට හොඳටම ප්‍රමාණවත්. ප්‍රසන්න විතනාගේගේ ආකාස කුසුම්, සෝමරත්න දිසානායකගේ සිරිරජසිරි චිත්‍රපටවලටත් සුළු චරිතයන් සඳහා දායක වීමත් කරල තියනවා.

සමාධි හොඳම නිළිය ලෙස සම්මානනීය වූ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය ඔබ වෙනුවෙන් ලියවූ චිත්‍රපටයක් බව වරක් ඔබ ප්‍රකාශ කළා නේද?

ඔව් මේ චිත්‍රපටය ලිව්වේ මටමයි. චිත්‍රපටයේ පිටපත ලිව්ව රයිට මම ඇහෙන්වත් දැකල තිබුණේ නෑ. භූපති නලින් වික්‍රමගේ මේ පිටපත ලියන්නේ මාව වේදිකාවේ දැකල මම රඟ පෑ ජනේලයෙන් පනින්නද බර්නාඩාගේ සිපිරිගෙය නාට්‍යවල මම රඟපානවා දැකල තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මලිත් හෑගොඩ තිරපිට පත් රචක, භූපති නලින් වික්‍රමගේ එක්ක මාත් එක්ක වැඩක් කරන්නම ඕනෙ කියල මුලින්ම හිතල තියෙන්නේ. මේ නාට්‍ය දෙකේ රිහසල් එකක් සමඟ මේ දෙපළ මා ගැන වැටහීමක් අරන් තියෙන්නේ මට ඒ නාට්‍ය අධ්‍යක්ෂ එක දෙබසක් බලල දීලා විවිධ ආකාරයෙන් කියන්න දීලා තියනවා. ඒක මම ඔවුන්ට හිතාගන්නත් බැරි ආකාරයට විවිධ අයුරින් කියාගෙන ගිහිල්ලා තියනවා. අනික් අය එකෙන් දෙකෙන් නතර වෙලා තියනවා. ඒ වෙලාවේ මලිත් හෑගොඩට හිතුනලු මෙයත් එක්ක වැඩක් කරනවා මයි කියල. ඔන්න ඔය විධියට තමයි මට දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයට සම්බන්ධවෙන්න ආරාධනා ලැබුණේ. මේ චිත්‍රපටය මට රඟපාන්න ලැබුණහම මුලින්ම මම බෑ කිව්වා. ඒකෙ තිබුණු සෙක්ස් සීන් නිසා. නමුත් අධ්‍යක්ෂවරයා මට කිව්වා අවුරුදු දහයක් අතුළත මම මේක කරනවා. ඒ කරන්නේ ඔයත් එක්ක කියල නැත්නම් මම මේක කරන් නෑ. අවුරුදු දහයකට මෙහා මේක ඔයාට කරන්න ඕනෙ කියලා හිතුණොත් මට කතා කරන්න කිව්වා. හැබැයි සෙක්ස් සින් ටික වෙන කෙනෙක් කළොත් චිත්‍රපටයට එනවාද ඇහුවා. මම කිව්වා ප්‍රශ්නයක් නෑ මට ඕනේ මම නෙමේ ඒ දේ කළේ කියන හෘද සාක්ෂිය විතරයි කියලා.

නිරුවත් දර්ශන වලට පෙනී සිටීම ඔබේ රංග වපසරිය තුළ අකැප දෙයක්ද?

මම හෙට එවැනි දර්ශනයක් කරයි ද දන්නේ නෑ. මේ මොහොත වෙනකන් එවැනි දෙයක් කරන්න මම දියුණු නෑ. හැබැයි වේදිකාව තුළ මම ඕනෙ දෙයක් කරනවා. වේදිකාව උඩ මගේ සීමාවන් නෑ. ඒකට හේතුව මම වේදිකාවට අප්‍රමාණව ආදරය කරන නිසාද දන්නෑ. මම හරියට ගරු කරනවා චිත්‍රපට නිරුවත් දර්ශන වලට පෙනී සිටින අයට ඒක වෙන දියුණු මට්ටමක් මම වෙනුවට රඟපාන්න ආපු කෙනාට මම අදටත් ගරු කරනවා. මම දන්නෑ අද එයා කොහෙ ඉන්නවද කියල හෙට වුණත් නිරුවත් දර්ශනයකට මම ඉන්න බැරිකමක් නෑ. ඒකට මගේ හිත හදාගන්න තමයි මට බැරි.

ඔබ රඟ පෑ ටෙලි නාට්‍ය ප්‍රමාණය අතළොස්සක් වුණත් සිනමාවේ දිගු ගමනකට ඔබට ආරාධනා ගලා ආවේ නැද්ද? මුල්ම සිනමා රංගනයෙන් පසු?

මට ආරාධනාවක් ආවා. දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේම ආකාරයේ නිර්මාණයකට මම ඒක හරිම කරුණාවෙන් ප්‍රතික්ෂේප කළා. මට අදටත් යුරෝපයට යන්න එන්න ඕනෙ වෙලාවක විසා තියන කෙනෙක්. ඒ චිත්‍රපටය රූපගත කරන්න. ලෑස්ති කරල තිබුණෙත් යුරෝපයේ. මම පැහැදිලි කරල කිව්වා මම මේ ආකාරයේ චිත්‍රපටයක් කළා තේරුමක් නෑ ඒ වෙනුවෙන් තව කාලය කැප කරනවාට කියලා. ඒ නිසා මේ අවස්ථාව තව නිළියකට දෙන්න කියල. වෙන නිළියක් පස්සේ ඒ චිත්‍රපටය කරල තිබුණා. ඊට පස්සේ නම් මට වෙන චිත්‍රපටයකට ආරාධනා ලැබුණේම නෑ.

ඔබේ දක්ෂතා කුසලතා එළි දක්වලත් ඇයි ඔබට චිත්‍රපටයකට ආරාධනා නැත්තේ?

ඒක මම දන්නේ නෑ. වේදිකා නාට්‍ය පමාණයි මම රඟපෑවේ. සමහර කැපෑසිටිවලට ඕනෙ දේවල් ලියවෙන්න ඕනේ. දැකල පුරුදු කෙනෙක් සිනමා නිර්මාණයේ තියෙන්නේ රියල් ලයිෆ එකේ රියලි ස්ටික් ඇක්ටින් බලපු අය කිව්වේ ගෙදරක කැමරාවක් හොරෙන් හංගල තිබුණ වගේ කියල ඒ වගේ නිර්මාණ ලියවෙච්ච දවසක මට චිත්‍රපටයක රඟපාන්න කතා කරයි. ඒක සමහරවිට මගේ වයසට ගැළපෙනවා නම් මට ප්‍රශ්නයක් නෑ. මට හදිස්සි නෑ. හෙට මට නිර්මාණයක් ආවත් ගැටලුවක් නෑ. මට ජිවත් වෙන්න රැකියාවක් තියනවා. මට මාසෙ අන්තිමට පඩියක් එනවා. ඒක මගේ ජීවත්වීම සඳහා ප්‍රමාණවත්. මම නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාලයෙන් අරගෙන තියන කෙනෙක් වශයෙන්. මට හිතේ සැනසීමක් තියනවා. රටට මම දෙයක් කරනවානේ කියල මට හිතෙනවා මට හොඳම දේ කියල හිතෙන්නේ වේදිකා නාට්‍යයක් කරගෙන ඉන්න එක.

වේදිකාව තුළත් ඔබේ තෝරාබේරා ගැනීම් තියනවාද?

ඔව් ලැබෙන හැමදේම භාරගත්තෙත් නෑ. මම වැඩකරන්න කැමති අධ්‍යක්ෂවරු ඉන්නවා. පිටපත් රචකයෝ ඉන්නවා. වාසනාවකට නාට්‍ය හා රංග කලා විශේවේදී උපාධිය ඇතුළේ මට මේ ලෝකයේ තියන හැම පිටපතකම රඟපාන්න ලැබිල තියනවා. විවිධ ශානරයන් තුළ විලියම් ශේක්ෂ්පියර්, එළිසබත් නාට්‍ය කලාව ගත්තත් ශ්‍රික නාට්‍ය කලාව ගත්තත් මට හැම කලාවක්ම ටච්’ කරන්න හම්බ වෙලා තියනවා. අනුවර්තන පරිවර්තන ලෙසින් ඒ වගේම රාජිත දිසානායක, සචිත්‍ර රාහුබද්ධ වගේ ස්වතන්ත්‍ර පිටපත් රචකයන් ළඟත් මට වැඩ කරන්න ලැබිල තියනවා. මම හිතන් නෑ ඒ වාසනාව ලේසියෙන් තවකෙනෙකුට ගන්න පුළුවන් කියලා. වේදිකාවේ තියන ආතල් එක දන්නේ එකේ ඉන්න උන් විතරයි. ෆිල්ම් වලවත් ටෙලි නාට්‍ය වල ඉන්න උන්ටවත් ඒ ආතල් එක තේරෙන්නේ නෑ.

වේදිකා නාට්‍ය රංගනයට අසීමිතව ආදරය කරන ඔබට යම් විධියකින් වේදිකා නිර්මාණයකට ආරාධනා ලැබෙන කොට සිනමා නිර්මාණයකට ආරාධනයකුත් ලැබුණොත් ඔබ මොන ඉසව්වද තෝරගන්නේ?

බොහෝවිට වේදිකාව. මම බර්නාඩෝගේ සිපිරිගෙය නාට්‍ය කරන කොට මට චිත්‍රපටයකට ආරාධනා ආවා. නමුත් මම තෝරාගත්තේ වේදිකාව, මම කියන්නේ රංග ශිල්පියෙක් වුණාම තන්හාවෙන් තොරව අතහරින්න පුරුදු වෙන්න ඕනෙ කියලා. ඔය දේ නැත්නම් මිනිස්සුන්ට මතක හිිටින දෙයක් කරන්න බෑ.

සම්මාන ලබන්න ජනපි‍්‍රයවෙන්න පටන් ගන්නකොට ඔබේ රංගනයට ඔබ තබන ලන්සුවේ වටිනාකමත් වැඩි කරනවද?

මම මුදල මතම එල්ලිලා ඉන්නේ නෑ. මට මේ ඩිරෙක්ටර් එක්ක වැඩ කරන්න ඕනෙ. පිටපත එක්ක වැඩ කරන්න ඕනෙ කියල හිතුණොත් මම මුදල කියන දේ මත රැදෙන්නෑ වෙනස් වෙනවා. මම රඟපෑම කරන්නේ රැකියාවට නොවෙයි තෘප්තිය සඳහා.

ඔබට මිලක් තියනවා?

ඔව්. මට ඕනෙ කරන්නේ අපි කරන වැඩෙන් ස්ක්‍රීන් එකට යමක් දෙන්න.

අද වේදිකාවෙන් පේ‍්‍රක්ෂකයා දුරස්වෙන බවක් දකින්න තියනවා නේද?

නෑ. ඒ කතාවට මම එකඟ නෑ. පේ‍්‍රක්ෂකයා වේදිකාවෙන් දුරස් වෙනවා කියනවා නම් මේ මම අද ස්ථාවරව ඉන්නේ. ඒකට උදාහරණය මම. වේදිකා නාට්‍ය වුණත් මම ෂෝ දෙසීය තුන්සීය දුවන ඒවායේ නෑ. මම වැඩ කරන්න ආස කරන ඩිරෙක්ටර්ස්ලා, පිටපත්, වගේම මට කැප කරන්න පුළුවන් කාලයක් තුළ මේ නාට්‍ය කලාවේ මම රැදිල ඉන්නවා. මම අවුරුද්දකට කරන්නේ එක නාට්‍යයයි. මේ වසරට මම කළේ චක්‍රායුධම් පමණයි. ඊළඟ අවුරැද්දේ මම වේදිකා නාට්‍යයක් කරයි ද චිත්‍රපටයක් කරයිද දන්නෑ. ආනන්ද අබේනායක වගේ හොඳ ඩිරෙක්ටර් කෙනෙක් යටතේ ටෙලි නාට්‍යයක් කරයි ද මම දන්නෑ.

චක්‍රායුධම් මොන වගේ නාට්‍යයක් ද ඒක තැනෙන්නේ කොයි ආකාරයෙන් ද?

අපි ඇෆ්‍රොඩයිට් නාට්‍ය කරන කාළේ. මම සචිත්‍රට නිකන් කිව්ව අදහසක් මේක. සචිත්‍ර අපි කෙටි නාට්‍ය හතරක් කරමු හොඳ බුලට් හතරක් වගේ කියල ප්‍රේක්ෂකයාට එකම මොහොතක නාට්‍ය හතරක් නරඹන්න පුළුවන් මේ රට තුළ එකම මොහොතේ තැන් හතරක් සිද්්ධ වෙන සිද්ධි හතරක් හැබැයි ඒ සිද්ධි හතර එකිනෙකට වෙනස්. එක දිගට එකම නාට්‍යයක් බලන එකේ ආතල් එක අපේ මිනිස්සු විදල තියනවානේ. නමුත් රුපියල් දෙදහසක් තුන්දහසක් වියදම් කරල හොඳ අසුනක වාඩිවෙලා පැය දෙකක් තුළ නාට්‍ය හතරක් බලන එක මොන තරම් ආතල් ද ඒක වෙනම වින්දනයක්.

වේදිකාවේ මේ වෙනස ඇති කරන්නේ ඔබලාද?

නෑ. සචිත්‍රගේ මිසයිල ඒ වෙනස කළා. ඔහු අවුරුදු හතරක කරපු නාට්‍ය හතරක් එකට එකතු කරල කරපු ප්‍රොජෙක්ට් එකක් මිසයිල මට ඒක දැක්කම තමයි හිතුණේ අලුතින් කෙටි නාට්‍ය හතරක් ලියන්න එක දිගට පෙන්වන්න කියල හොඳ ආටිස්ලා දාල ඒක අපි කරමු කියලා. මම ඒ සඳහා හොඳ නිෂ්පාදකයෙක් ඔහුට හොයල දෙන්න ලැබුණා. සචිත්‍රි කියන්නේ අපිට මේ මොහොතේ වේදිකා නාට්‍ය ඇතුලේ ඉන්න තරුණම ස්වතන්ත්‍ර රචකයා සචිත්‍ර කියන පුද්ගලයා විවිධ ශානරයන් ඉගෙන ගත්ත පුද්ගලයෙක්. විද්‍යාව, කලාව, නීතිය මේ හැමදේම අතපත ගාපු තරුණයෙක් ඔහු අතින් ලියවෙන පිටපත් එකිනෙකට වෙනස්. ඔහු තමන්ගේ නිර්මාණය අවසන් කරන විධිය වෙනස්. අපි දන්න සමහර නාට්‍යකරුවන් මොන ආකාරයෙන් නිර්මාණයක් කළත් ඒක අපිට පහසුවෙන් හඳුනගන්න පුළුවන් කම තිබුණා. සචිත්‍රගේ නාට්‍ය ශෛලිය අනුව සමහරවිට අපිට මේක කාගෙද කියල හඳුනගන්න බැරි තරම් වන නිර්මාණත් තියනවා.

චක්‍රායුධම් තුළ ගොනු වෙලා තියන කෙටි නාට්‍ය හතර මොකක්ද?

ගමන් යනෙන සොද, තුන්තරාවරම්, මටන්, ලක්බයි ට්‍රාන්ස් එක නාට්‍යයක් විනාඩි විසිපහක් විසිතුනක් විතර යනවා. නාට්‍ය දෙකක් අතර මාරුවීම විනාඩි තුනයි. ප්‍රේක්ෂකයා වාඩිවෙලා ඉන්න අතරේ ඇස්වැසිල්ලෙන් තත්ත්පර දෙක තුනක් ඇතුළේ මාරු වෙනවා. එකම සෙටප් එකේ තමයි මේක සිද්ධ වෙන්නේ තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන් එන්න නාට්‍ය බලන්න.

මම ජිවිතයේ කොපමණ වේදිකා නාට්‍ය ප්‍රමාණයක් කරල තිබුණත් මේ වේදිකා නාට්‍යයේ මගේ රංගනය මට අභියෝගයක්. මම බොහොම ආශාවෙන් මේ නාට්‍යයේ රඟපාන්නේ. සමහර නාට්‍යවල නළුවෝ නිළියෝ දෙන්න තුන්දෙනා රඟපානවා. නමුත් මම රඟපාන ලක් බයි ට්‍රාන්ස් වල මම විතරයි රඟපාන්නේ විනාඩි විසිපහ පුරාවට මම තමයි ඒ නාට්‍යයේ රඟපාන්නේ.

ලක්බයිට්‍රාන්ස් තුළ ඔබේ රංගනය අභියෝගාත්මකයි කියල ඔබම කියන්නේ?

ඒක වෙනස්ම විධියේ දෙයක් බලල තමයි ඒක කියන්න පුළුවන් වේදිකාව තුළ රංගන ශිල්පියෙකුට හම්බ වෙන විශේෂම විශේෂම රංගන අවස්ථාවක් තමයි මම මෙහි කරන්නේ. මම සෑහෙන කාලයක් බලන් හිටියා මේ වගේ දෙයක් නිර්මාණයකින් ලැබෙනකන් වේදිකාව තුළ විනාඩි විසිපහක් තනියෙන් රඟපාන්න ලැබෙනවා කියන එක. පේ‍්‍රක්ෂකයා රදවා ගෙන සිටිනවා කියන එක අභියෝගයක් නොවෙයිද මම ආශයි මම මේ කරන අභියෝගාත්මක රංගනය පේ‍්‍රක්ෂක ප්‍රජාව රසවිදිනවා දකින්න.

චක්‍රායුධම් රට වටා ගෙන යන්න ඔබලාගේ සැලසුමක් තියනවාද?

අගෝස්තු 9 -10 දින දෙකේ කොළඹ ලයනල් වෙන්ටඩ් වල වේදිකා ගත වුණා. දැනටමත් අවිස්සාවේල්ල, රත්නපුර ප්‍රදේශවල ෂෝ වලට අපිට ආරාධනා ලැබිල තියනවා. විදේශ රටවලටත් මේ නාට්‍ය ගෙන යන්න අපේ සැලසුමක් තියනවා. අපේ ඇෆ්‍රඩයි නාට්‍ය ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කළාට පෙන්වන්න ගෙනිච්චාට පස්සේ දැන් නාට්‍ය වලට හොඳ පාත් එකක් දැන් හැදිල තියනවා. මෙල්බන් වල අපි කරපු ෂෝවලට අතිවිශාල පිරිසක් පැමිණියා.

පේ‍්‍රක්ෂකයා රඟහලට ඒමේ අඩුවක් දකින්න නැද්ද අද තිබෙන ආර්ථික අපහසුතා නිසා වෙන්?

මට එහෙම කියන්න බෑ. ඒක නාට්‍ය අනුව වෙනස් වෙනවා. නාට්‍ය අධ්‍යක්ෂවරු අනුව වෙනස් වෙනවා. මිනිස්සු කැමති නාට්‍ය බලන්න තිබුණහම ඔවුන් පේ‍්‍රක්ෂකාගාරවලට එයි. අධ්‍යක්ෂවරුන්ට එකිනෙක රඟහල වලට හැදිච්ච ක්‍රවුඩ් ඉන්නවා. එල්ෆින්ස්ටන්, ටවර්, පුංචි තියටර්, ලයනල් වෙන්ටඩ් ආදී තියටර්වලට වෙන් වූ ක්‍රවුඩ් පවා මේ පේ‍්‍රක්ෂක ප්‍රජාව තුළ රැදිල ඉන්නවා. අපේ රටේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉන්න ප්‍රජාවගේ රසවින්දයත් වෙනස්.

සිනමාවේ හොඳම නිළිය වෙලත් අද ඔබ නැවතත් සොයාගෙන එන්නේම වේදිකාව?

මම අදටත් පයගහල ඉන්නේ වේදිකාවේ. ඒක කවදාවත් වෙනස්වෙන දෙයක් නොවෙයි. මොන ඔටුණු ලැබුණත් මම පයගහපු වේදිකාව මට දිව්‍ය මාලිගාවක්.

ලංකාවේ සිනමා නිළියක් ලබන ඉහළම සම්මානය ඔබ අද මේ වෙනකොට හිමිකරගෙන ඉවරයි. මේ සම්මානනීය වීමත් සමඟ අද ඔබේ වටිනාකමත් වැඩිවෙලාද?

බොලිවුඩ් සිනමාවේ ෆිල්ම් ෆෙයාර් හොලිවුඩ් සිනමාවේ ඔස්කාර් වගේම තමයි ලංකාවේ සරසවිය සම්මානය කියන්නේ. සම්මානය ලැබුණ කියලා මගේ ළඟ ඩිමාන්ඩ් කිිරීමක් නෑ. ඒ සම්මානයේ ආලෝකය මම ළඟ තියනවා. සමාධි ලක්සිරි සරසවිය සම්මානය ලැබුණ කියල වෙනස් වුණේ නෑ. මම හිටපු තැන මම ඉන්නවා. සම්මානයේ ආලෝකය මට කොතන ගියත් දැනෙනවා. මිනිස්සු පිළිගන්නවා.

හැබැයි මම මෙහෙම දේකුත් කියනවා. සම්මානෙ ගන්නත් කළින් සමාධි ලක්සිරිව දැනගෙන ඉන්න ඕනෙනෙ දන්නෙ නෑ මිනිස්සු මාව ෆිීල්ඩ් එකේ මාත් එක්ක වැඩ කරන කීප දෙනෙක් මාව දන්නවා ඇති. ඒකට තමයි මට කැමති රඟපෑවා කියල චරිතෙන් මාව හඳුනගත්තට වැඩක් නෑ. කවුරුහරි මාව කාටහරි හඳුන්වල දෙන වෙලාවක මේ අර චරිතය රඟපාපු කෙනා කියල කිව්වහම ආ ඔයා ද ඒ චරිතෙ කළේ කිව්වොත් අන්න ඒ දේ මට ඇති.

සරසවිය සම්මාන උලෙළට ආරාධනා ලැබෙන කොටත් ඔබ විදේශගතව නේද හිටියේ?

ඔව් මට ඒ රටේ එදාට ෂෝ එකක් තිබුණේ නැත්නම් සම්මාන උලෙළට එන්න මම ප්ලෑන් කළා. මේ චිත්‍රපටයට ජනාධිපති සම්මානය ලැබෙන වෙලාවේ මගේ නංගි ගිහින් මා වෙනුවෙන් ඒක ගත්තා මම විදෙස් ගතවෙලා නිසා එතකොට මම හිටියේ ඉතාලියේ. සරසවිය සම්මානය ගන්න මට එන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක් සතුටක්. සරසවිය සම්මානය ගන්නවා කියන දේ මට හීනයක් වෙලා තිබුණේ. මේ සම්මානය මට ලැබෙන්න කලින් පත්තරවල ගිය විචාර වලින් මට වටිනාකමක් ලැබිල තිබුණා. මගේ රංගනයට සම්මාන ගැන මගේ ජීවිතයේ බලාපොරොත්තු නෑ. සම්මානයක් කියන්නේ කීප දෙනෙකුගේ අදහසක් නේ. සමස්ත අදහසක් නෙමෙයිනේ මාත් සමඟ නිර්දේශ වූ අනෙක් රංගන ශිල්පිනුත් අති දක්ෂයෝ මෙතනදී වැදගත්. අපි චරිතයට කරන සාධාරණත්වය.

දැකල පුරුදු කෙනෙක් සිනමා නිර්මාණයේ ඔබේ චරිතය ගොඩනගන්න අධ්‍යක්ෂවරයා මොන වගේ මඟපෙන්වීමක් ද ලබා දුන්නේ?

අන්න ඩිරෙක්ටර්ස්ලා චිත්‍රපටය බලනකොට පේනවා ඩිරෙක්ෂන්, නළු නිළියන්ගේ රඟපෑම් මේ චිත්‍රපටය රූපගත කරන්න මාස තුනක් තියල මම යුරෝපයේ සංචාරයක් යනවා මාස තුනකට ඒ යන ගමනේ මට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ගොඩක් පොතපත සීඩිපට චිත්‍රපටයේ පිටපතත් එක්ක ලබල දුන්නා. මේවා අරගෙන ගිහින් හොදට කියවල බලල දෙයක් ගන්න කියල දවස් තුනකට සැරයක් අපි ස්කයිප් වලින් කතා කළා. මාර විධියට යාළු කමින් මගේ ඔළුවට දැම්මා චිත්‍රපයට ඕනෙ දේ ඒ තමයි ඩිරෙක්ටර්ස්ලා සමහර සීන් අපි රිහසල් කරල ෂූට් කළා. මම හිතන්නේ තියටර් එක්ස් පීරියන්ස් එක අපිට මේ සඳහා ගොඩක් උදවු වුණා. මම චිත්‍රපටය කරන කොටම මලිත්ට කිව්වා කැමරාව ගැන සිනමාව ගැන මට අවබෝධයක් නෑ. ඔයා කියන්න මම කරන්නම් කියලා. මම හදවතින් රඟපෑවා තමන් කරන වෘත්තියට වග කියනවා කියන්නේ ඒක සම්පුර්ණ වූ තැන අනික් දේවල් සම්පුර්ණ වෙනවා.

සමාධි ගේ පවුලේ පසුබිමත් කලාවට ලැදිවද ගොඩනැගුණේ?

දුක කියන දේ මම හොඳට විදල තියනවා. මගේ අම්මා තාත්තා රජයේ රැකියාව කළ මිනිස්සු අපේ පවුලේ ගෑනු ළමයි පහක්. තාත්තා පොලිසියේ. අම්මා පරිපාලනය සම්බන්ධ රැකියාවක් කළේ. අපි හැදුණේ අපිට ඕනෙ ලෝකවල. අවුරුදු විස්සක් හැදුණේ වැඩුණේ පොලිස් ක්වාටස්වල අපිටම කියල ගෙයක් හදල පදිංචියට ගියේ අවුරුදු විසි එකේදී. රඟපෑම කියන දේ කැලැත්තිලා යන මිනිස්සුන්ගේ ලයිෆ වල තමයි සියුම්ව තියෙන්නේ. සමාජ අත්දැකීම් ලයිෆ එකේ අත්දැකිම් ලැබුණහම තමයි රඟපෑම සියුම් වන්නේ. මගේ අනෙක් සහෝදරියෝ ගුරුවරු හැබැයි කලාවට සම්බන්ධ ගුරුවරු දෙන්නෙක් ඉංගී‍්‍රසි විෂයට සම්බන්ධ එක් කෙනෙකු ශාරීරික අධ්‍යාපනයට සම්බන්ධ එක් කෙනෙක් ඉන්නවා හැම කෙනාම කලාව කරපු අය මගේ අම්මවත් තාත්තාවත් කලාවට කිසිම සම්බන්ධයක් නෑ. මම කලාවට යන්න අකමැති වුණා. මුලදි අම්මා තමයි මාව මෙතනට යොමු කළේ කලාවට යන්න මාව මුලින්ම බලකරල යොමු කළෙත් අම්මා අම්මගේ බලේට ගිහින් තමයි ගමේ දි ටෙලි නාට්‍යයේ රඟපෑවේ.

සමාධිගේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ ආදරණීය සැමියා සාරංග මොරගොඩ ඔහුත් චක්‍රායුධම් නාට්‍යයේ නිෂ්පාදන කාර්යට දායක වෙලා ඉන්නවා. මගේ පුතා ඕවියන් නුගේගොඩ ලයිසියම් එකේ අධ්‍යාපනය හදාරනවා. තවම පුතාට අවුරුදු නමයයි. පුතා දැන් චිත්‍රපට පිටපතක් ලියාගෙන ඉන්නවා. ඒක හොර ෆිල්ම් එකක්. මම දන්න කීපදෙනෙක්ම ලෑස්ති වෙලා ඉන්නවා පුතාගේ හීනය සැබෑ කරන්න.

සරසවිය සම්මානය ලබමින් හොඳම නිළිය වු දින ඔබට කලා ක්ෂේත්‍රයේත් සුබ පැතුම් ගලා එන්න ඇති?

මම දන්න කීප දෙනෙක් කතා කළා ඇරෙන්න වෙන කාගෙන්වත් එහෙම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මම නිළියක් කියන තැන ඉඳගෙන නිළිය කියන තැන මේන් ටේන් කරගෙන හිටිය කෙනෙක් වුණානම් මම තරුවක් වුණානම් අන්න මට සුබ පැතුම් ගලාගෙන එයි. මොකද සමාධි ලක්සිරි කියන්න කවුද කියලවත් දන්නැතුව හිටිය අයට මම හොඳම නිළිය වුණත් වැඩක් නෑ. එදා මට නැතුව ඔය සම්මානය නිළිතරුවකට ලැබුණා නම් මම හිතන්නේ එදා උලෙළෙ තවත් බැබළෙන්න තිබුණා කියලා.

 

සේයාරූ – තිලක් පෙරේරා

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT