තේජා යනු ආදරණීය බිරිඳකි. මවකි. ගෘහණියකි. ඇගේ සැමියා කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ආදරණිය දියණියකගේද දරු සුරතල් බලන්නියකි. සතුටින් තම ගෘහ ජීවිතය ගෙනයන මේ තිදෙනාගේ ලෝකය ට කනකොකා හඬන්නේ තේජාගේ සැමියා හදිසි අනතුරකින් ආබාධිත වීමෙන් පසුවය. දවසින් දවස උග්රවන ජිවන අරගලයත් සමඟ සැමියාගේ ආබාධිත තත්වය වෙනුවෙන් වන්දියක්ද නොලැබෙන අවස්ථාවක තේජා තීරණය කරනුයේ රැකියාවක් සොයා ගැනීමටය.
තේජා ඇගළුම් කර්මාන්ත ශාලාවක සුපවයිසර්වරියක් ලෙසින් සේවයට එක්වන්නීය. දවසින් දවස කර්මාන්ත ශාලාවේ තරුණියන්ට මුහුණ දිමට සිදුවෙන අකාරුණික, අසාධාරණ තත්වයන් හමුවේ තේජා ගේ සිතුවිලිද අසාධාරණය වෙනුවෙන් නැඟී සිටී. අවසානයේ ඇය විප්ලවකාරි චරිතයක් ලෙසින් අසාධාරණයට එරෙහිව නැගි සිටින ප්‍රබල චරිතයක් බවට පත්වේ.
මේ තේජා අපට හමුවනුයේ මේ දිනවල තිරගත වන නිලන්ත හපන්විරගේ ‘තේජා’ චිත්‍රපටයෙනි. තේජාට ජීවය දෙන්නී ලාංකේය සිනමාවේ අතිවිශිෂ්ට රංගවේදිනියක වන නීටා ප්‍රනාන්දුය.
පසුගිය මාර්තු 07 වැනිදාට යෙදුණු අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව නිදහස් වුණු මෙම චිත්‍රපටය කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින කාන්තාවක වන තේජා පදනම් කරගෙන සත්‍ය සිද්ධියක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
තේජාට පණ පොවන ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දුට මෙම චිත්‍රපටය කරුණු කිහිපයක් නිසා සුවිශේෂීය. එක් පැත්තකින් මෙය ඇයගේ නවතම රංගනය රැගත් චිත්‍රපටය විය. අනෙක් අතින් ඇගේ රංගන ජීවිතයට පුරා වසර 60ක් පිරීම නිමිත්තෙන් මෙය නිදහස් විමය.
නීටා යනු සිංහල සිනමාවේ අපූරු නිළියකි. පුරා 60 වසරක් දේශිය සිනමාවේ ප්‍රගමණය උදෙසා ඇගේ කැපවීම අප්‍රමාණය. ඇගේ ගමන් මාවත දෙස සීරුවෙන් බලා අධ්‍යයනය කරන්නෙකුට ඈ සතුවු සුවිශේෂී අනන්‍ය ගමන මනා සේ හැදිනිය හැකිය. 60 වසරක සිනමා දිවියේ විසි වසරක්ම ඇය ගෙවා දමනුයේ විදේශ ගතවය. එහෙත් සුවිශේෂී කාරණාව වන්නේ මෙකී විසි වසර පුරාද ඈ පිළිබඳ දේශිය ප්‍රේක්ෂකාගාරය අවදියෙන් සිටිමය. එයට හේතු කාරණා වනුයේ ඇය විදේශ ගතවන්නට පෙරාතුව කරන ලද චිත්‍රපට රාශියක් ඇය ලංකාවෙන් ගිය පසුද තිරගත විමය. තිරයේ ඇගේ රුව දිලෙන බැවින් මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට ඇය විදෙස් ගතව සිටින බව අමතකව තිබෙන්නට ඇත.
නීටා සිනමාවට ප්‍රවිෂ්ට වනුයේ 1965 දිය. ඒ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ විසින් නිෂ්පාදනය කරන ලද ‘ළඳක මහිම’ චිත්‍රපටයෙනි. එහෙත් ඉන් ඉහත ඇය ඇයගේ පවුලේ ඥාතියකු වන සිනමා ශිල්පී ජෙරාඩ් ප්‍රනාන්දු මාර්ගයෙන් ‘සතුටයි කඳුළයි’ චිත්‍රපටයේ සුළු පෙනී සිටිමකට සම්බන්ධ වූවාය. එවකට සිනමා ක්ෂේත්‍රෙය් සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටි ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ විසින් සිංහල සිනමාවට හඳුන්වා දුන් නිළියන් දෙදෙනෙකු වූයේය. එක් අයෙකු වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී සුවිනිතා වීරසිංහය. අනෙක් තැනැත්තිය වූයේ නීටා ප්‍රනාන්දුය.
‘ මට තම්පෝ මහත්මයාගේ’ සතුටයි කඳුළයි’ චිත්‍රපටයේ ගීතමය ජවනිකාවකට තමයි එක් වෙන්න තිබුණේ.
‘පැතුව විලස මා එදා
සිතට සතුට දේ සදා
ආදරේ ඔබේ පුදා
සනසන්නකෝ සදා…. මේ ජවනිකාවේ මම පෙනී හිටියේ ප්‍රවීණ නළු ජෝ අබේවික්රමයන් සමඟ’
නීටා අතීත සැමරුම් අතරට එක් වේ.
1947 කටුනේරියේදී කතෝලික පවුලක උපන් නීටා මූලික අධ්‍යාපනය ලැබුවේ වෙන්නප්පුවේ ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයෙනි. පාසල් වේදිකාවද නීටාට නුහුරු තැනක් නොවූයේ, ඇයට එකල සිටම පැවති කලා හැකියාව නිසාය. පාසල් වේදිකාවේ ඇය ‘නරබිල්ල’ නැමැති නාට්‍යයක රංගනයට එක්වූවාය. එය ෆ්රෑන්ක් කුරුකුලසුරියගේ නිර්මාණයක් විය.
‘සතුටයි කඳුළයි’ චිත්‍රපටයේ සුළු පෙනී සිටීමක් කළ නීටාගේ දක්ෂතාවය හඳුනාගත් තම්පෝ නීටාට ප්‍රධාන චරිතයක් පිරිනමන්නේ ‘ළඳක මහිම’ චිත්‍රපටයෙනි. මෙහි නීටා පෙනි සිටි ගීත කිහිපයක්ම අද දක්වාම සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියය. ආලෝකය දැක යන්න, ඇසට ඇසක් හමුවුණ දා, වලාකුළක් ඇදි ඇවිත් යනු එම ගීතය. ළදක මහිම චිත්‍රපටයෙන් පසු නීටාට තම්පෝ තවත් චිත්‍රපටයක් ලබා දුන්නේය. ඒ ‘ළයට ළය ’ය.
නීටා තම දක්ෂතා පෙන්නුම් කරනුයේ සිනමාවේ පමණක් නොවේ. පාසල් වේදිකාවේදී ලද අත්දැකිම් පාදක කොට ගනිමින් ඇය 60 දශකය වනවිට ප්‍රසිද්ධ වේදිකාවටද අවතීර්ණ වූවාය.
ගුණසේන ගලප්පත්තිගේ ‘සඳ කිඳුරු’ (පසු නිපැයුමක්) කිඳුරිය ලෙස රඟපෑවේ නීටාය. එසේම ගලප්පත්තිගේ ‘තාත්තා’ නම් නාට්‍යයේද නීටා රඟපා ඇත. එය මහාචාර්ය ආරිය රාජකරුණා සිංහලට නැගූ කිකුචි කං ගේ ජපන් නාට්‍යයක් විය. සුමන ආලෝක බණ්ඩාරගේ ‘නිදිකුම්බා’ නීටා රඟපෑ තවත් නාට්‍යයකි. එය අධි තාත්වික රංග සම්ප්රදායේ නාට්‍යයක් වූ අතර නීටා එවැනි නාට්‍යයක රඟපෑ පළමු අවස්ථාව එය විය. එකල බොහෝ පුවත්පත්වල ඇයගේ මෙම රංගනය පිළිබද විවිධ ප්‍රතිචාර දක්නට ලැබිණ. වරක් එවකට ප්‍රචලිත සිනමා පුවත්පතක් වූ ‘විසිතුර’ පුවත්පතේ ඇගේ රංගනය පිළිබද මෙසේ ලියා තිබුණි.
“සුවිනීතා ලෙස රඟපෑ නීටා ප්‍රනාන්දු ගැන විශේෂ යමක් කිව යුතුව ඇත. ඇය ඇත්තෙන්ම සිය කොටස හැකි පමණ හොඳින් රඟපෑමට වෙහෙස ගත් බවට පෙනුණි. එහෙත් වේදිකාවේ තරමක් දුරට නුහුරු නුපුරුදු ගතියක් ඇයගෙන් පෙනුණි. නැවත නැවත පුහුණු කිරීමෙන් ඇයගේ මේ ගතිය මඟහරවා ගත හැකිව තිබුණි. විවේක කාලයෙන් ප්‍රථම කොටස රඟපෑ ආකාරය මේ බව පෙන්නුම් කළාය. විවේක කාලයෙන් පසුව ඇය ප්‍රථම කොටසටත් වඩා හොඳින් රඟපෑමට උත්සාහ කළ බව පෙනුණි.
නීටා ගේ වේදිකා රංගනය පිළිබද මෙසේ සනිටුහන් වුවද, සිනමා රංගනය පිළිබද වැඩි අවධානයක් විචාරකයින්ගෙන් යොමු වූ බවක් දක්නට නොලැබිණ. නිටා ප්‍රවිෂ්ට වන්නේම මෙරට වානිජ සිනමා කර්මාන්තය ටය. එකක් ඉවර වෙනවිට තවත් එකක් වශයෙන් ඇය වාණිජත්වය මතම පදනම් වෙමින් සිටියාය. රුහුණු කුමාරි, පික් පොකට්, මී මැස්සෝ, කේසර සිංහයෝ වැනි චිත්‍රපට රැසකට නීටා රංගනයෙන් එක් වූවාය.
“මට තම්පෝ මහත්මයාගේ චිත්‍රපටවල යෙදිලා ඉන්න අතරතුරම කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා වැනි ස්ටුඩියෝ වලින් මිදුණු අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල රංගනයට ද ආරාධනා ලැබුණා. මම හිතන්නේ ඊට පස්සේ මගේ රංගනය වෙනතකට යොමු වුණා කියලයි.”
කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා නීටාගේ රංගන පරාසය හොඳින් හඳුනා ගත්තෙක් විය. ඇයට අනන්‍ය වූ වෙනම රංගන පෞරුෂයක් ඇතැයි යන්න මුලින්ම හඳුනා ගත් සිනමාකරුවා වූයේ ද කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘ළසදා’ චිත්‍රපටයේ ‘ළසදා’ ගේ චරිතය මැනවින් නිරූපණය කළාය. මෙම චිත්‍රපටය ටෂ්කන්ට් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබියදී එම චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙකු (විශේෂයෙන් සෝවියට් කාන්තා කමිටුව) නීටාගේ චරිතාංග නිරුපණය පිළිබඳ මහත් ප්රසංශාවකින් කතාකර ඇත. එම චිත්‍රපට උළෙලට චිත්‍රපට අධ්යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සමඟ නීටාද සහභාගි වී ඇත. ‘ළසදා’ හි ප්‍රධාන තේමාව වී ඇත්තේ ආසියාතික ගැහැනිය තම චරිත පාරිශුද්ධත්වය වෙනුවෙන් දක්වන සුවිශේෂී සැලකිල්ලයි. මෙම තේමාව එවකට විචාරක- ප්‍රේක්ෂක අවධානයට නොමදව ලක් වුවක් විය.
නීටා රඟපෑ චිත්‍රපට අතරින් ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයටද ඇතැම් විචාරකයෝ කැමැත්තක් දක්වති. නීටා එහි රඟපෑවේ සමාජය විසින් ගණිකා වෘත්තීයට ඇද දමනු ලබන චරිතයකි. චිත්‍රපටය අවසානයේදී ඇය සිල් මාතාවක් බවට පත්වේ.
ටී. බී. ඉලංගරත්නයන්ගේ නව කතාවක් ඇසුරින් නිර්මාණය වුණු ‘මංගලා’ චිත්‍රපටයද ඇගේ නිර්මාණ දිවියේ සුවිශේෂි චිත්‍රපටයකි. ඒ සමඟ විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත්‍රපටයද නීටා ගේ චිත්‍රපට අතරින් විශේෂත්වයක් හිමි කර ගනී. මෙම චිත්‍රපටය තිර ගත වන විට නීටා සිනමාවෙන් මදකට සමුගෙන විදේශ ගත වී හමාරය. එහෙත් මේ චිත්‍රපටයේ ‘නිලුපා’ ගේ චරිතය ඉතාමත්ව ආකර්ෂණීයව ඇය නිරූපණය කළාය. තරුණයකු හා අනුරාගිව පෙමින් බැඳුණ විවාහක කාන්තාවක වූ ඇය එම චරිතය කෙරෙහි කේන්තියක්, වෛරයක් ඇති නොවන ආකාරයට ඉදිරිපත් කිරිමට නීටාට හැකි විය. චිත්‍රපටය අවසානයේ ඇය වරදේ බැඳුණු කාන්තාවක වුවද, තම ආදරණීය සැමියාට ද්‍රෝහි වූ කාන්තාවක වුවද නරඹන ප්‍රේක්ෂකයාට ඇය කෙරෙහි ද්වේෂයක් ඇති නොවන්නේ නීටා එය ඉදිරිපත් කරනු ලබන විලාසය නිසාවෙනි. 1977 වසරේ ඕ.සී. අයි. සී . සම්මාන උළෙලින් ඇයට රංග කුසලතා සම්මානයක්ද මේ වෙනුවෙන් ලැබෙන්නිය. එසේම මේ සම්මානය ලබා ගන්නට ඒ වනවිට නීටා මෙරට නොසිටින්නීය.
නීටා ගේ 60 වසරක සිනමා දිවිය අවධි ද්විත්වයක් ලෙසින් හඳුනා ගත හැකිය. ඒ ඇය සිනමාවට ප්‍රවිෂ්ට වී චිත්‍රපට රැසක රඟපා විවාහයෙන් පසු මෙරටින් පිටවිම එක් අවධියක් ය. ඉන් වසර 20 ට පසු ‘සුරියකාන්ත’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් නිෂ්පාදිකාවක් ලෙසත්, ‘පවුරු වළලු’ චිත්‍රපටයේ රඟපාමින් සහ නිෂ්පාදනය කරමින් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වෙමින් රංගනයේ දෙවැනි ගමන ඇරැඹීම දෙවැනි අවදිය ලෙසත්ය.
නීටා ප්‍රතිභාන්විත නිළියක් වශයෙන් අන්තර්ජාතික සම්මාන දිනා ගන්නේ ඇය සිනමාවට පැමිණි දෙවැනි ගමනින් පසුය.
“ඇත්තටම මගේ මහත්මයා ඊලියන් මාව විවාහ කර ගන්නේ ඔය සැලෝලයිඩ් ලෝකයෙන් ටිකක් එළියට යමු කියලයි. රට තොට හඳුනාගෙන සිටිමු කියලයි ඔහු කිව්වේ. ඒ සමඟම ඔහු මට පොරොන්දු වුණා කවදහරි දවසක මම ඔයාව ගෞරවාන්විතව නැවත සිනමාවට රැගෙන එනවා කියලා. ඒ කිව්වා වගේම වසර විස්සක් අපි විදේශගතව ජීවත් වුණාට පස්සේ පවුරු වළලු නිපදවමින් මට ආයේ සිනමාවට එන්න අවස්ථාව හදලා දෙනවා. ඇත්තටම ඒක තමයි මගේ සිනමා ගමනේ දෙවැනි උත්පත්තිය. මම ඉන් පස්සේ චිත්‍රපට කිහිපයකම රඟපෑවා. සෝමරත්න දිසානායකගේ ‘සරෝජා’ ඉන් එකක්. ඊට පස්සේ ස්වර, කම්බිලි, නිසලගිර, තේජා, පාංශු වැනි චිත්‍රපට හරහා ‘පාංශු’ චිත්‍රපටය නැවතත් මට අන්තර්ජාතික සම්මාන හිමිකර දෙනවා.
ඉතින් මම හිතනවා ඒ අතින් මම හරිම වාසනාවන්ත නිළියක් කියලා.
‘පවුරු වලලු’ නීටාගේ සිනමා දිවියේ සුවිශේෂ සන්ධිස්ථානයකි. ඇය එහි රඟපෑ ‘වයලට්’ ගේ චරිතය අතිශය සංකීර්ණ මනෝභාවයකින් යුතු එකකි. විවාහක දියණියක හා විවාහ දිවියට ඇතුළත් වීමට අපේක්ෂිතව සිටින දියණියකගේ මවක් වන වයලට් ගේ සැමියා ඇය අතහැර ගොස්ය. ඒ අතර මුණ ගැසෙන ඇයගේ අතීත පෙම්වතා නිසා ඇය යළි ඔහු සමඟ ගැඹුරු මානුෂික බැඳීමකට මුල පුරන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙසින් වයලට් ගැබ් ගන්නා අතර දියණියට, සමාජයට, හැර ගිය සැමියාට සහ ඇය අදහන ආගමික සංස්ථාවට මුහුණ දී ගත නොහි ඇය උන්මන්තක භාවයට පත්වෙයි. මෙම ගැඹුරු සංකීර්ණ මනෝභාවයන් නීටා නිරූපණය කරනුයේ අතිශය ප්රශස්ත අන්දමිනි. එහි රඟපෑම වෙනුවෙන් ඇය 1998 පැවති 11 වැනි සිංගප්පූර් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළිය වශයෙන් පිදුම් ලැබුවාය.
නිසල ගිර, ස්වර සහ මේ දිනවල තිරගත වන තේජා ද ඇගේ නිෂ්පාදන ගොන්නට අයක් වන්නකි.
පසුකලෙක නීටා ටෙලි නාට්‍ය ක්ෂේත්රයටද පිවිස රංගනයට සහ නිෂ්පාදනයටද දායක වූවාය. සූර්ය විංශතිය, කාහල නාදය, සද්ගුණාකාරය රන් මෙහෙසිය ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතරට එක්වන අතර ‘නොනිමි යාත්‍රා’ නමින් ඒකාංගික ටෙලි නාට්‍ය 10ක්ද නිෂ්පාදනය කළාය.
නීටා රංගන ශිල්පිනියක ලෙසින් සුවිශේෂ වරප්‍රසාද දිනාගත් නිළියකි. ඇය 60 දශකයේ මැදභාගයේ සිනමාවට පැමිණි එකල සිනමාවේ ජනප්‍රිය අධ්යක්ෂවරුන් සමඟ කටයුතු කිරිමේ අවස්ථාව හිමි වුණා සේම වර්තමානයේ සිනමාවට ප්‍රවිෂ්ට වෙන නවතම අධ්යක්ෂවරයා සමඟද නිර්මාණකරණයේ නියැළීමට වාසනාවන්තියක වී ඇත. ඒ අනුව ඇය අද මේ මොහොත වනවිටත් සිනමාව තුළ යාවත්කාලීන නිළියක බවට පත්ව සිටී.
සේයාරූ – තිලක් පෙරේරා
හේමාලි විජේරත්න