කුමන කලාවකින් වුණත් ජනතාවට විය යුත්තේ මෙහෙවරක්

සංගීතවේදී මාධව සිල්වා
අප්‍රේල් 6, 2023

 

නිර්මාණශීලී ඕනෑම කෙනෙකුගේ සිත තුල හට ගන්නා නිර්මාණශීලීත්වය විවිධ ඉසව් කරා විවිධ තැන් සොයා විවිධ ආකාරයෙන් ගමන් කරයි, අවසානේ ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙන තැනක නවතී. ඔහු කන්ද උඩරට පුරවරයේ හැදී වැඩී පසුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය. කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළත් ඔහුගේ ගති ලක්ෂණ පෙන්නුම් ක‍ෙළ් චිත්‍ර කලා කෞශල්‍ය වෙතයි. පවුලේ සියලු දෙනාම සංගීතට ඇලුම් කලත්, ඔහුගේ සිත ඇඳී ගියේ ඉතා සියුම් හැඩතලයන් තුළින් නිර්මාණය කරනු ලබන ගෘහ නිර්මාණ කලාවටයි. ඔහු, පසුව දක්ෂ ගායන ශිල්පියකු හා වාදන ශිල්පියකු බවට පත්විය.එකල පාසලේ කැපී පෙනෙන චරිතයක් වූ හේ දැඩ් ලෙසට පොත පතට ඇලුම් කළේය. සංගීතයත් ගෘහ නිර්මාණ ශිල්පයත් නාට්‍ය කලාවත්, ලේඛන කලාවත් සමබරව පවත්වාගෙන යන ඔහු නමින් මාධව සිල්වායි.

 

ඔබ ගායකයෙක්ද ගෘහ නිර්මාණ ශිල්පියෙක් ද ?

ජීවිතයේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒ බලාපොරොත්තු වන දෙවල්වලින් එකක් තමයි කලාව. අපි ජීවත්වන සමාජය තුළ අපි උඩින් පෙනෙන මනුෂ්‍යයා නොවෙයි යටි සිත් තුළ සිටින්නේ. ඔහු කවුද කියලා හරියටම තේරුම් ගත්තොත් ඕනෑම දෙයක් කරන්න පහසු වෙනවා. මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් හා ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙලායි ගායකයෙක් වෙන්නෙ. විශේෂයෙන් මට මේ හැකියාව ලැබුණේ මගේ පවුලේ සියලු දෙනාගෙන්ම ලැබුණු ආභාසයන් නිසායි. පවුලේ අපි සියලු දෙනාටම ඉඩ ලැබුණු හැම මොහොතකම අපි එකට එකතු වෙලා සංගීත සුවය විඳීන එක තමයි කළේ.කුඩා අවධියේ මමත් මගේ සහෝදරියත් සනත් නන්දසිරි මහත්තයාගේ සංගීත කලාශ්‍රමයේ අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලයේ කලාව දෙවනුවට මට තියන්න වුණා. ජීවිතේ යම් අරමුණක් තිබුණා ගෘහනිර්මාණ ශිල්පියෙක් වෙනවා කියන එක. එහෙත් මගේ ජීවිතය ගොඩක් දේවල් වෙනස් කළා. මගේ අම්මා විදේශ ගතවෙලා ඉන්නවිට පාසලේ පළමු පන්තිය හා දෙවැනි පන්තියේදි කවි ලිව්වා කුඩා කාලේ. මම දකින දෙයක් තමයි කොයි තරාතිරමක හිටියත් මිනිසාගේ හිත තුළ ජීවත්වන කලාකරුවෙක් ඉන්නවා ඒ කලාකරුවා තමයි දැන් එළියට ඇවිත් ඉන්නේ.

සංගිතයට වැඩිය බෙහෙවින්ම ඇලුම් කළේ චිත්‍ර ශිල්පයට නේද?

සංගීතය සහ චිත්‍ර කලාව අතර මගේ මත ගැටුමක් තිබුණා. ඒ දෙක අතරින් මම ස්වයං තීරණයකට එළැඹුණා මම චිත්‍ර කර්මය තෝරා ගත්තා. මම හිතන විදියට කලාව හිත තුළ ධාරණය වෙලා තියෙන සියලු දෙනාගේම ගතිලක්ෂණ චිත්‍ර සංගීතය නැටුම් මෙන්ම රංගනය යන සියලුම විෂයයන් ඒ තුළ ගැබ් වෙලා තියනවා. චිත්‍ර විෂය තෝරා ගැනීම තුළින් මම උසස් අධ්‍යාපනය සඳහා කාර්මික විද්‍යාලවල සහ වෘත්තිය පුහුණු අධිකාරිය තුළින් මගේ ගෘහ නිර්මාණ කලාව ඉදිරියට ගෙන යන්නට මම විශාල ප්‍රයත්නයක් දරමින් අධ්‍යාපනය හැදෑරුවා. ඉන් අනතුරුව මම සිංගප්පූරුවට ගොස් ගෘහ නිර්මාණ කලාව පිළිබඳව උසස් අධ්‍යාපනය හැදෑරුවා. ගෘහ නිර්මාණ කලාව පිළිබඳව ආයතනයක් පටන් ගනිමින් සියල්ල මගේ ජීවිතය ගෙන ගියේ ඒ තුළින්.

ප්‍රසංග කලාවත් එක්ක ඔබට දැඩි සම්බන්ධතාවයක් ඇති වෙන්නේ කොහොමද?

මගේ තරුණ කාලේ හොඳම කාලය කියලා මම සලකනවා. ඒ කාලේ විශාරද ගුණදාස කපුගේ මහතාගේ කම්පන ප්‍රසංගය සහ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ වැනි ප්‍රසංග අපි අත නොවැර එන හැම මොහොතකම බැලුවා. ඒ සංගීත රටා සංවේදනා නින්නාද, නාද රටාවන් මගේ හිත කම්පනය කළා. ඒ හේතුවෙන් මම සන්නිවේදන නිර්මාණවේදීයෙක් නැත්නම් ගායකයෙක් වෙන්නේ. ඇත්තටම එදා ඒ ප්‍රාසංගික කලාවන් මට දැනුණේ තවකෙකු ඇවිත් මගේ පපුවට ඇනලා කොඳුරනවා වගේයි. මේ නිසා මගේ වෘත්තිය ජීවිතයෙන් කාර්යබහුලත්වයෙන් මිදිලා මම කලාවට කැපවුණා.

ගෘහ නිර්මාණ කලාවට සමුදෙන්න ද මේ ජීවිතයට යොමු වෙන්නේ?

එහෙම දෙයක් නෑ. ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ කාර්ය නිරත වෙමින් දිගටම නියැළී ඉන්න කොට එහි රසයක් නැතිවෙනවා. ඒ නිසා හිර වෙලා තද වෙලා හිටපු ජීවිතයට රසයක් සෙව්වා. එයට තිබුණු විසඳුම තමයි මගේ හැකියාව සංගීත කලාවත් සමඟ සමීපතම ඇසුරක් ගොඩනගාගෙන ජීවිතය ගෙන යාමයි.

ඔබේම නිර්මාණ කිහිපයක්ම ජනතාව අතරට එනවා නේද?

මගේම නිර්මාණ කීපයක්ම ජනතාවට ගෙනගියා. ඊට අමතරව මම ඉදිරියේදී සංයුක්ත තැටියක් එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. නදීක ගුරුගේ සහ මිත්‍ර කපුගේ මේ තනු නිර්මාපකයන්ය. මීට අමතරව මම ප්‍රසංග තුනක් විතර පැවැත්තුවා. එකක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ තමයි මුල් වුණේ. අනිත් දෙකම කළේ කොළඹ ප්‍රදේශයේ. මේ ළඟදීම කළ ප්‍රසංගය තමයි විශ්මා ගී වැස්ස 2022 කියලා. 2011 වසරේදී මාධව මධු ගී කියලා අතුරුගිරිය ප්‍රසංගයක් කළා. මේ වගේ තව ප්‍රසංග කිහිපයක්ම ඉදිරියේ කරන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ කළ නිර්මාණ දැනට ඇසෙන්නට සැලසෙන්නේ මොනවගේ නාලිකාවල?

එම් ටීවී නාලිකාවේ සිරස නාලිකාවේ සහ සිරස ජ්ර් ගුවන් විදුලියේ හා සියත ටීවී සමඟ චරණ ටීවී සහ ඉදිරියේදී හිරු ටීවී, ස්වර්ණවාහිනී, ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සහ ලක්හඬ ගුවන් විදුලියේ විකාශය වන්නට නියමිතයි.

ගෘහ නිර්මාණ ශිල්පියකු ගායකයකු වගේම ලේඛකයකුද වෙනවා නේද?

මනුෂ්‍යයෙක් හැටියට මම සත්‍ය සොයන පුද්ගලයෙක් වෙනවා. ඒ නිසා මට හිතුණු සංකල්පයක් තමයි කවදා හෝ රටට යමක් සමාජයට යමක් ඉතිරි කරන්න ඕනේ කියන එක. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඇත්තටම මම වසර ගණනාවක් ගවේෂණය කරලා. ‘ඔබ නොවන ඔබ’ කියලා කෘතියක් එළිදැක්වූවා පසුගිය දවස්වල.⁣ ලෙනින්ස් වයිට්, ඇල්බට් ඇන් බාබරා, අරියදාස චන්ද්‍රවංශයන්ගේ වැනි මනෝ විද්‍යාත්මක කෘති හා සම්බන්ධව කරන ගවේෂණයන් එක්ක ගෙනයන කෘතියක් වෙනවා මේ කෘතිය. මේ කෘතිය කියවුවිට තමා තුළ ජීවත් වෙන මනුෂ්‍යා කවුද කියන එක හොඳටම වටහා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අද සමාජය ඉල්ලන දේ දීම තමයි සිදුවෙන්නේ. ඒත් තමා තුළ සැඟවුණු මනුෂ්‍යා හරියට නිරාවණය කරගන්නට කියන හොඳම දෙය කි⁣ම මගේ පොත් පිංච තුළ මම අන්තර්ගත කළා. සියලු දෙනාම තිත්ත උණත් ඇත්ත පිළිගන්නවා නම් ඒකයි සැබෑව. මේ කෘතියට අමතරව මම ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද කෘති කිහිපයක් රචනා කළා. පුවත්පත් කිහිපයකටම මගේ ලිපි පළ කළා.

නවතම සංයුක්ත තැටියේ අන්තර්ගත නිර්මාණ මොනවාද?

මම නිර්මාණය කරපු ගොඩක් ගීතවල තියෙන්නේ සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් ඒවායි. ඒ අතරේ විරහාව වේදනාව දුක සතුට සොම්නස මේ සියල්ලම ගැබ් එනවා. ‘කම්පන’, ‘ස’ වැනි ප්‍රසංග කලාව තුළ ගීත කලාව වෙනස් කරපු ගීතත් මෙහි අන්තර්ගත වෙනවා. සමාජයට යම් දෙයක් දායාද කරන්න පුළුවන් වෙන ගේය පද නිර්මාණ තමයි ගොඩක් අන්තර්ගත වෙන්නේ. ප්‍රවීණයන් මෙන්ම තරුණ නිර්මාණවේදීන් ගොඩක් මට උදව් කරනවා. ඒ දේ තමයි මට අද ලොකුම ශක්තිය වෙලා තියෙන්නේ. රබර් බෝලයක් කෝච්චරවත් දිය මත සඟවා තිබුණත් එය උඩට ඉස්මතු වෙනවා. ඒ වගේ තමයි මගේ සංගීත දිවියත් මටත් අද වෙලා තියෙන්නේ. කොපමණ සඟවන්න උත්සාහ කළත් ඒ ඉස්මතු වී හමාරයි දැන්. මේ ගමනෙදි මට ගොඩක් බාධක පැමිණියේ මගේ වෘත්තීමය පැත්තෙන්.ඒත් ඒ ගමනට මම සාර්ථකව මුහුණ දුන්නා.

ඔබ පොළොවේ පය ගහලා ඇවිදින ශිල්පියෙක්ද?

සැබැවින්ම මම ඒ නිසා තමයි මේ ජීවිතයට ඇතුළු වෙන්නේ. සමාජයට ඕන විදිහට අපි හැඩ ගැහෙනවාට වැඩියෙන් සමාජයට යමක් දෙන්න අපි හැඩගැහෙන්න ඕන. තම තමන්ට අයිති කාර්යභාරයන් තම තමන් ඒ ආකාරයෙන් කරගෙන යනවා නම්. සමාජයට යමක් ගෙන යන්නට කුමන හෝ ආකාරයකින් අත්වැලක් සපයන්න පුළුවන් නම් එතැන ප්‍රගමනයක් සිදු වෙනවා. අද සහ එදා අතර සන්සන්දනය කරන විට සටන්කාමී ගීත කලාවක් තියෙනවද කියලා ප්‍රශ්නයක්ද බඳුන් වෙනවා. එයට හේතුව ලෙස මම දකින්නේ පොළොවෙ පයගහලා ඇවිදින පිරිස අද අඩු නිසයි. එයට පිළියම් සෙවිය යුතුයි කියලා මම හිතනවා. මම දඟලන්නෙ ඒ දේවල්වලට පිළියම් සෙවීමටයි.

සමාජය තුළ ගීතයට හිමි වෙලා තියෙන්නෙ මොනවගේ තැනක්ද?

ගීත සාහිත්‍යය තුළ මම දකින විදිහට කාල පරාස අනුව වෙනස් වෙනවා. යුග වශයෙන් යුග යුග ගණනාවක් මේ ආකාරයට වෙනස්වෙනවා. 50 දර්ශකයත් 60 70 ද 80 හා 90 දසකයේ සහ අනුවෙන් පසු අද දක්වාම ගීත සාහිත්‍ය කලාව හා සමාජයේ විශාල වෙනසක් දක්නට පුළුවන්. විශ්වභාවිත ගීතය වෙනස්ම ආරකට ගෙන යමින් අද නව සංගීත රටාවන්ට හුරු වෙච්ච පරපුරක් බිහි වෙලා ඉන්නේ. කෑ කෝ ගහන ඝෝෂාකාරී සංගීතය ඔවුන්ගේ පරම්පරාව අද අත්විඳීන්නේ. අපිට ඊට වැඩිය පෝෂණය වෙච්ච සංගීත කලාවක් සාහිත්‍යයක් තියෙනවා. ඒ රසය දන්නැතුව කාටවත් එතෙන්ට එන්න බැහැ කියලයි මම හිතන්නේ. අපේ යුතුකමක් තියෙනවා තරුණ පරම්පරාවට ඒ කලාව මොකක්ද කියන එක හඳුන්වාදීම. මනුස්සය කියන මේ සත්ත්වයාට ලහිලහියේ එසේ පිළියම් යෙදීම තමයි මම නම් හිතන්නෙ මෙයට කළ යුතු හොඳම දේ කියලා මම දකින්නේ.

වෙල්ලස්සේ වෙඩිහඬ වේදිකා නාට්‍යය සමග රංගනයට පිවිසෙනවා නේද?

අසංක පෙරේරා ගේ නිර්මාණයක් වන වෙල්ලස්සේ වෙඩිහඬ නාට්‍යයේ මම රංගනයට නිලමේවරයකු ලෙස අවතීර්ණ වෙනවා. මීට ඉස්සෙල්ලා මම ආනන්ද ශාස්ත්‍රාලයේ වේදිකාවේ රංගනයේ නිරත වුණා. පාසල් ජීවිතය ලබාගත් අත්දැකීම් නිසා මට ගොඩක් පහසු වෙනවා මේ නාට්‍ය රංගන කටයුතු කියලා මම හිතනවා. ඌව වෙල්ලස්සේ කැරැල්ල සම්බන්ධව ගෙන යන ඉතිහාස කතා පුවතක් නිසා මම මේ වේදිකා නාට්‍යයට ගොඩක් කැමති වුණා. මේ වන විටත් මේ වේදිකාගත වෙනවා නාට්‍යය. රවුමක් ගහල එන්න යනවා කියපු වැඩේ මාර්තු 25 මහරගමින් ‘වෙල්ලස්සේ වෙඩිහඬ’ ආරම්භ කරලා මේ නාට්‍ය අරගෙන ඌව වටේම මාර්තු 30 සිට යන්නවා.මේ නාට්‍ය කණ්ඩායමේ විසිපහකට වැඩි නළු, නිළියන් පිරිසක් රඟපානවා. මම මේ නාට්‍යයේ පූර්ණ සංවිධායක කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු කරන්නේ. ඉතිහාසය වැලලෙලනවාට වැඩිය ඉස්මතුකර තරුණ පරම්පරාවට සහ ඉදිරි පරම්පරාවට ඉතිරි කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ මේ නාට්‍යය තුළින්.

කලා කටයුතුවලට කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය?

මගේ බිරිඳ විශාකා රාජපක්ෂ තමයි මේ කටයුතු වලට පූර්ණ සහයෝගය මට ලබා දෙන්නේ. හැම මොහොතකම. මම කරන හැම කටයුත්තකම මට ඉස්සෙල්ලා පෙරමුණ ගෙන කටයුතු කරන්නට ලෑස්ති වෙන්නේ ඇයයි. ඒ නිසා මම ආරම්භ කරපු ගමන මම හිමින්ම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉදිරියේදි වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීම හා ගීත සංයුක්ත තැටිය කරන්න බලාපොරොත්තු වෙනවා.

 

 

[email protected]