තදිති තිලකවර්ධන ලංකේය සාහිත්‍ය තුළ වඩාත් අවධානයක් දිනාගත් කිවිඳීයකි. ඇය 2018 වසරේදී ප්‍රකාශයට පත් කළ ‘ආදරේ විතරමයි’ කාව්‍ය සංග්‍රහය හරහා පාඨකයා අතර පැමිණෙයි. ඉන් අනතුරුව ලියෝ(2020), පෙමිබරා(2020) සහ මුහුදු පතුලක වැහි කබායකි පැරිස් විලවුන් සුවඳ මුහුවුණු(2023) වැනි කාව්‍ය සංග්‍රහයන් හරහා කවියට පෙම් බඳීන පාඨකයන් කෙරෙහි නවමුබවක් ඇති කළේය. ඇයගේ කාව්‍ය රචනයෙන් මඳක් විතැන්ව කුලුඳුල් කෙටිකතා සංග්‍රහය වන ‘ෆූට් ලවර්’ පාඨකයන් වෙත තිළිණ කළේය. මෙවර සරසවිය අවකාශය ඉඩ හසර වෙන්වන්නේ ලේඛිකා තදිතා තිලකවර්ධන සමඟ සිදුකළ සාහිත්‍ය සංවාදය සමඟිනි.
තදිති තිලකවර්ධන පාඨකයා මුලින්ම හඳුනගන්නේ කිවිඳීයක විදියට. කවියෙන් පසුව ඔබ ‘ෆූට් ලවර්’ කෙටි කතා සංග්‍රහයක් රචනා කරනවා. ‘ෆූට් ලවර්’ කෙටිකතා සංග්‍රහය නිර්මාණය වුණේ කොහොමද? මොකක්ද ඊට පසුබිම?
ඇත්තටම මගේ සාහිත්‍ය ජීවිතය ආරම්භ වෙන්නේ කවියෙන්. කවිය කියන්නේ අපේ දුක සංතාපය සතුට, ප්‍රේමය වැනි ඕනෑම හැඟීමක්, අත්දැකීමක් රසවත් වැකි විදියට ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක්. මම ලියන්න වඩාත් කැමතියි බැඳීම කවියයි. එදිනෙදා ජීවිතයේ අපේ සංවේදනා පිට කරගන්න ලිවීම මාධ්‍යයක් කර ගන්නවා. එතනදි ඒ ලියන හැමදේම කවිම නෙමෙයි. ලියන දේ නැවත නැවත සංස්කරණය කරමින් පොදු හැඟීමක් විදියට අධ්‍යයනයකින් පසුව තමා නිර්මාණයක් බිහි වෙන්නේ. නමුත් නිතර සාහිත්‍යය එක්ක අලුත් පොත පත කියවීම් සමඟ ගනුදෙනු කරද්දි හැදෑරීම් කරද්දී කෙටිකතාව මට හමුවෙනවා. මිනිස්සුන්ගේ මානව හැඟීම් සම්බන්ධයෙන් සමාජය තුළ සහ කම්පනය ඇතිකිරීම ලියන්නෙකුගේ වගකීමක් ඇත්තටම. මිනිස්සු තුළ පවතින මානව හැඟීම්වල විවිධත්වය මතුකිරීම සඳහාත්, පවතින කෙටි කතා ශෛලියෙන් ඔබ්බට ගිහින් කෙටි කතාවට නව ප්‍රවේශයක් ලබාදීම සඳහාත් මම ෆුට් ලවර් ලියන්න පෙලඹුනා. නූතන මානව සම්බන්ධතා හැඟීම් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ වෙන විදිහ එකිනෙකට හරි වෙනස්. සමහරවිට අපට හිතා ගන්නත් බැහැ. අනෙකුත් කාරණය එය භාවිතා කිරීම හරි පරිස්සමෙන් සහ අවබෝධයෙන් කළ යුතු එකක්. හරියටම කිව්වොත් දැලි පිහියෙන් කිරි කනවා වගේ අවදානමක් සහිත වැඩක්. ඉතින් ෆුට් ලවර් කියන්නේ ප්‍රබන්ධනාත්මක ගවේෂණයක් සමහරවිට. මේ පොළොවේ හුස්ම ගන්න අපි එක්ක ඉන්න සමහර මිනිස්සුන්ගේ ප්‍රේමයේ සියුම් පැතිකඩ. එහෙම ප්‍රේමවන්තයෙනුත් අපි අතර ඉන්නවා. foot lover කියන්නේ නව ආරකින් සියුම්ව මිනිස්සු දකින්න පුළුවන් පොතක්.
ඔබ වඩාත් සමීප කවියට. සිතට නැඟෙන සිතුවිලි කවි බවට පත්වෙන්නේ කොහොමද? මෙි කවි සිතුවිලි හිතට එන විදිහ ගැන යමක් කියන්න පුළුවන්ද?
පැරණි කියමනක් මං අහල තියෙනවා උල් කටුවක් ඇනුණා වැනි රිදුමක් හදවතට දැනෙනවා නම් එතන කවියෙක් ඉන්නවා කියලා. විරහව නොවිඳී විරහව ගැන දන්නේ නැති මිනිස්සු පවා ප්‍රේමයේ විරහව කවිවලින් ගීතවලින් අපූරුවට විඳීනවා. ඉතින් මම විශ්වාස කරනවා ඒ උල් කටු තුඩ මගේ හදවතෙත් කොතනක හරි ඇනිලා ඇති කියලා. මම පුංචි කාලෙ ඉඳලාම කවියට පුදුම කැමැත්තක් තිබුණා. මට හරියටම කියන්න බැහැ, කවි ලියවෙන්නේ මොන වෙලාවටද? කියලා. නමුත් ලොකු දුකක් රිදුමක් දැනෙනකොට කවියක් ලියන්න වෙනදට වඩා මට පුළුවන් වෙනවා. ප්‍රේමනීය සිතුවිලි සුන්දර විදියට දැනෙද්දි කවි ලියවෙනවා. අපට කවි හිතලා ලියන්න බැහැ. කවි කියන්නේ ලියවෙන්න ඕන දෙයක් සමහර අවස්ථාවන්වල කවි කවි විදියටම එළියට එන. අපි අහන දකින වෙලාවකට අපේම අත්දැකීමක් අපිට නිර්මාණයක් වෙන වෙලාවල් තියෙනවා.
ඔබෙි කවිවල ප්‍රේමය දකින්නේ හරිම වෙනස් විදියට. ප්‍රේමය කියන්නේ ඔබට දැනෙන විදියට මොනවගේ දෙයක්ද?
ප්‍රේමය ආදරය කියන්නේ මේ මනුලොව තුළ සියලු සත්වයන්ට අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රේමය නිසා තමයි මේ ලෝකෙ මෙච්චරම ලස්සන. මම හිතන විදිහට ප්‍රේමය කියන්නේ අයිති වෙන්න ඕන නැති දෙයක්. ප්‍රේමය කියන විඳින්න ඕන දෙයක්. අයිති වුණාම ප්‍රේමය ඉවර වෙනවා. අහිමි වීම තමයි ප්‍රේමයේ තියෙන්නේ. විරහවේ තමයි ප්‍රේමය තියෙන්නේ ලස්සනම විදිහට. ඇත්ත ප්‍රේමය කිසිදාක වෛරය නෑ. පළිගැනීම නැහැ. තරහ නැහැ. ඉතින් මං මගේ කවියට නිතරම ප්‍රේමය ප්‍රේමයෙන් මුණගැසෙනවා වගේම ප්‍රේමය වෙන් කරනවා. මේ ලෝකේ සතුටින් ඉන්නේ අයිති වූවන්ට වඩා ප්‍රේමය අහිමි වූවන්. ඒක මම විශ්වාස කරන මට දැනෙන විදිය. ප්‍රේමය එක එක්කෙනා දකින විදිය විඳීන විදිය වෙනස්. කියවා ගැනීම වෙනස්..කොහොම උණත් ප්‍රේමය සුන්දරයි. අපි ජීවිතේ එක් එක් අදියරවලදි අපි ප්‍රේමය දකින්නෙ වෙනස්ව. අවුරුදු 18 දි දකින ප්‍රේමය නෙමෙයි අපි 25 දි 30 දි දකින්නෙ. ප්‍රේමයට හරි විග්‍රහයක් දෙන්න අමාරුයි.
ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?
මම තාමත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියට, සරත්චන්ද්‍රයන්ගෙ මළගිය ඇත්තෝ පොත්වලට ආසයි. මම සෑහෙන්න පොත් කියවල තිබුණත් මට දැන් සමහර පොත්වල නම් මතක නැහැ. නමුත් උපුල් ශාන්ත සන්නස්ගල, කරුණාදාස සූරියාරච්චි (කසුරි) වැනි ලේඛකයන්ගේ පොත්වලට ගොඩක් කැමැතියි. ඔවුන් දෙදෙනාට තියෙන්නේ ලිවිමේ ශෛලියන් දෙකක්. නමුත් ඒ ශෛලියන් දෙකටම මම ප්‍රියයි. උපුල් ශාන්ත සන්නස්ගලගේ වස්සාන සිහිනය, කසුරිගෙ අන්ධකාර තාරකාව කෘති දෙකට වඩා කැමතියි. සුනේත්‍රා රාජකරුණා, සුමිත්‍රා රාහුබද්ධ කතුවරියන්ගෙ පොත්වලටත් ඒ ලිවීමටත් මම කැමතියි.
ඔබගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කරතව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?
මම ව්‍යවසායිකාවක් විදියට පුංචි ව්‍යාපාරයක් කරන කාන්තාවක් විදියට ජීවිතේ මේ කාලය ගත වෙන්නෙ කාර්යබහුලව. නමුත් මට නිදහස ලැබෙන මනස නිරවුල් වෙන හැම මොහොතකම මම ලියන්න උත්සාහ කරනවා. කවිය සාහිත්‍ය අධ්‍යයනය කරන එක තමා වැඩිපුරම කරන්නෙ. ඒක මේ විදියයි කියල උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.
ඔබෙි කෘති රචනා කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවෙිණික වුණු එකක්. ඔබෙි සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?
ඇත්තටම මම මටම අනන්‍ය වූ භාෂාවකින් මගෙම ශෛලියකින් ලියන්න උත්සාහ කරන කෙනෙක්. කියවපු පොත පත්වල ඇසුර ලැබුණා උවත් මම කිසිම වෙලාවක අනුකරණය කරන්න උත්සාහ කරන්නෑ. මම දන්න මට හිතෙන දේ මම ලියනවා. එකපාරටම ඒ ලියන දේවල් එළියට දාන්නෙත් නැති කෙනෙක් මම. මට ලියන්න බලපෑමක් කරපු කෙනෙක් කියල එහෙම නැහැ. කියවන අධ්‍යයනය කරන හැම දෙයක්ම අපට ලියන්න හයිය දෙනවා.
මලින්ත විතානගේ