Home » හොර පාරෙන් නෙවෙයි හරි පාරෙන් රට යන්න…

හොර පාරෙන් නෙවෙයි හරි පාරෙන් රට යන්න…

අධ්‍යක්ෂ ක්‍රිෂ් ඇන්තනී

by Thanushika
October 17, 2024 12:30 am 0 comment

“ලෝකෙන් උතුම් රට ලංකාවයි”. ඒ අප කුඩා කල සිට ඇසූ ගීතයක පද පේළියකි. ඇත්තටම ලංකාව උතුම් රටක් නොවේද? සැබෑවටම මෙය උතුම් රටකි. සුන්දරත්වයෙන් අනූන කාටත් ජීවත් විය හැකි පරිසරයකි. කුමන මත දැරුවත් ව්‍යසනයකදී එකා මෙන් එක්ව නැඟී සිටින සුන්දර හදවත්වලින් පිරුණු මිනිසුන් සිටින අපූරු දූපතකි.

එහෙත් වර්තමානයේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ පිටරටක සුවපත් ජීවිතයක් සොයා ඉගිලෙන්නට වෙර දරන පිරිස කෙමෙන් කෙමෙන් ඉහළ ගොස් ඇත. එය කනගාටුවට කරුණකි. තමා ඉපදී හැදී වැඩුණු මව්බිම තරම් වටිනා රටක් තවත් තිබේද?

අද වන විට බොහෝ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සිහිනය එතෙර යෑමය. තම ජීවිතය සාර්ථක කර ගත හැකි විදේශීය රටක පිහිට පැතුවහොත් පමණක්ම යැයි සිතන තරමට තම මානසික මට්ටම සකසාගෙන අවසන්ය.

එහෙත් එම මතය වෙනස් වනවා නම් අප රටේ අභිමානය ලොවටම පෙන්වීමට ශ්‍රී ලාංකික තරුණ පිරිසට හැකියාව ඇත.

එය අධ්‍යාපනය, තම දැනුම, සහ හැකියාව මඟින් ද, කලා නිර්මාණ ඔස්සේ ද, පෙන්විය හැකිය.

සිනමාව වැනි අපූරු නිර්මාණ මාධ්‍යයකින් එය පහසුවෙන් කළ හැකිය. අප රටට ආසන්නතම ඉන්දියාව තම රටේ අභිමානය ලොවට හඬගා කීමට සිනමාව වැඩි වශයෙන් භාවිත කරයි.

එහෙත් ශ්‍රී ලාංකිකයින් ලෙස අප රටේ විශිෂ්ටත්වය ලොවට පෙන්වා දුන් සිනමා නිර්මාණ අතළොස්සක් තරම් වේ.

ශ්‍රී ලංකාවේ වටිනාකම පෙන්වා දෙන වටිනා හරවත් රසවත් සිනමා නිර්මාණයක් පසුගිය 4 දා තිරගත වීම ආරම්භ විය. එය තරුණ සිනමා අධ්‍යක්ෂවරයකු වන ක්‍රිස් ඇන්තනීගේ “පාස්පෝට්” චිත්‍රපටයයි.

මෙතරම් අගනා භූමියක් අපට හිමිව තිබියදීත්, අන් භූමියක ජීවිතයේ සැපත සොයා යෑමට තරුණයන් දැනුන උත්සාහය පාස්පෝර්ට් සිනමා පටය තුළ මැනවින් පෙන්වා දී ඇත.

කුඩා කල සිට සිනමාවට පෙම්බැඳි ක්‍රිස් ඇන්තනි තරුණ අධ්‍යක්ෂවරයා තම නවතම සිනමා නිර්මාණය ගැන කතා කිරීමට පත්තර මහ ගෙදරට පැමිණියේය. ඉතා සරල චාම් දිවි පෙවෙතක් ගත කරන ඔහු සරසවිය සමඟ කතාබහට එක්වූයේ දැඩි උනන්දුවකිනි. එමෙන්ම තම මව්බිම වූ ශ්‍රී ලංකා මෑණියන් ගැන මහත් වූ සෙනෙහසක් සිත්හි දරා ගෙනය.

මම මගේ රටට ගොඩක් ආදරෙයි. ඒ වගේම තමයි සිංහල සිනමාවට හරි ආසයි සහ ආදරෙයි. ඇත්තටම කියනවනම් කුඩා කල සිටම මම කැමතියි චිත්‍රපට බලන්න. නිතරම මම චිත්‍රපට බලන කෙනෙක්.

“මම කාලයක් කැමරා ශිල්පියෙක් විදිහටත් වෙළෙඳ දැන්වීම් සහය අධ්‍යක්ෂවරයෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. එහෙම වැඩ කරන අතරේ බලාපොරොත්තුවක් තිබුණා කවද හරි චිත්‍රපටයක් කරන්න. මම හිමිහිට පාස්පෝට් චිත්‍රපටයේ කතාව ලියන්න පටන් ගත්තා.

පාස්පෝට් චිත්‍රපටයේ කතා තේමාව විශේෂ වූ කතා සිද්ධියක් පාදක කරගනිමින් ලියවූවකි.

ඒ පිළිබඳ ක්‍රිස් තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

“ඔව්. ඒ කතාව ටිකක් වෙනස් විදිහේ කතාවක්. මට ඕන වුණේ සිනමා ප්‍රේක්ෂකයාට දැනෙන විදිහේ දෙයක් ලියන්න. අපි එකම විදිහේ සිනමා කතාවලට කොටුවෙලා කියලා මට දැනුණා. අපිට නිතරම දකින්න ලැබුණේ රජකතා, ආදර කතා, හාස්‍ය කතා වගේ දේවල්. ඒ අනුව මම තීරණය කළා ලංකාවේ සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පුරවන්න පුළුවන් නිර්මාණයක් බිහි කරන්න. මම ඒ ගැන රිසර්ච් එකක් පවා කළා. චිත්‍රපට සංස්ථාවට ගිහින්. මිනිස්සු රජ කතාවලට කැමති ඇයි ආදර කතා වැඩියෙන් බලන්න ආස ඇයි, කොමඩිවලට ප්‍රිය කරන්නේ ඇයි කියන දේ. පසුගිය කාලයේ තිරගත වූ චිත්‍රපට දිහා බැලුවම අපට තීරණය කරන්න පුළුවන් ප්‍රේක්ෂකයාගේ රුචි අරුචිකම්.

ඒ හැම දෙයක් ගැනම හොඳීන් අධ්‍යයනය කරලා තමයි මම පාස්පෝට් කතා තේමාව ලිව්වේ. ආදරය, විරහව, විනෝදය, ත්‍රාසය, කුතුහලය ඔය හැම දෙයක්ම මිශ්‍ර වූ කතාවක් තමයි මම ලිව්වේ.

ඒ වගේම තමයි අපේ රට ගැන වටිනාකමක් දැනෙන විදිහේ අදහස් ගෙන දෙන නිර්මාණයක් කරන්න මට අවශ්‍යතාව තිබුණා.

පාස්පෝට් චිත්‍රපටියේ කතා තේමාව එසේ ලියවෙද්දී එම කතාවට ගැළපෙන චරිත ද අධ්‍යක්ෂවරයාගේ හිතේ මැවී තිබීම විශේෂත්වයක්.

“මම නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණයට ගැළපෙන චරිත තෝරා ගන්නේ මමමයි. ඒ කාර්යය වෙන කෙනෙක්ට පවරන්නේ නැහැ මම. ඇඳුරුම් කම්වලට, යාළුකම් වලට චරිත ගන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී අපේ සිනමාව පහත වැටෙන්න හේතුව නිර්මාණයට අදාළ චරිත යොදා නොගෙන, තම තමන්ගේ කැමැත්තට ශිල්පීන් යොදා ගැනීම.

මම ඵජපඪනබ එක ලියද්දි ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, දර්ශන් ධර්මරාජ්, මහේන්ද්‍ර පෙරේරා, නයනතාරා වගේ අය මගේ හිතේ මැවිලා තිබුණා. අදාළ චරිත වලට සුදුසුම රංගන ශිල්පීන් යොදාගත් නිසා මේ නිර්මාණය සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්.

චිත්‍රපටයක් අලුතින් නිර්මාණය කිරීම අද වන විට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එක අවස්ථාවක අපට සිදු වුණා නව දිල්ලියේ සිට රාජස්ථාන් වලට බස් එකේ යන්න. කිලෝමීටර් දහස් ගණනක් අපිට යන්න වුණා.

ඒ වගේම තමයි අනිත් රටවලත්. ඉතාලිය ඔස්ට්‍රියාව වගේ රටවලත් අපි රූගත කිරීම් කළා.

ඒ රටවලදී අපට පැන නැඟුණ භාෂා ප්‍රශ්න, දේශගුණික ප්‍රශ්න, කෑම ප්‍රශ්න ආදී දේවල්වලට අපට මුහුණ දෙන්නට සිදු වුණා. ඒත් අපේ කණ්ඩායමේ කිසි කෙනෙක් ඒ දේවල් බැරෑරුම් විදියට ගත්තේ නැහැ. සාමූහිකව හොඳීන් වැඩ කළා. ඒක ලොකු සතුටක් මට.

විශේෂයෙන් කියන්න ඕන ඉතාලියේදී අපි තෝරා ගත්තේ හොඳම ස්ථාන කොලෝසියම්, පීසා කුලුන ආදී තැන්.

එහිදී අපට උදව් කරන්න දෙදෙනෙක් හිටියා. මහේෂ් අයියා සහ රුවන් අයියා.

තවත් විශේෂ සිද්ධියක් තමයි කාන්තාරවල රූගත කිරීම් කරනකොට මුහුණ දෙන්නට සිදු වූ ගැටලු. ඒ වෙනකොට කාන්තාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක පනහක් වෙලා තිබුණේ. හරිම අමාරු තත්ත්වයක් ඒක. ඒ අවස්ථාවේ ජගත් චමිල ලොකු කැප කිරීමක් කළා. ඔහුට තිබුණා සපත්තු නොදා කාන්තාරයේ යන දර්ශනයක්. ඒ වගේම තමයි කාන්තාරයේ වැලි පොළඟුන් ඉන්නවා කියලාත් අපිට දැනගන්න ලැබුණා. ඒත් ජගත් ඒ කිසිවක් ඒ තරම් හිතට නොගෙන වැඩ කළා. ඔහු සපත්තු නැතුව දර්ශනයේ පෙනී සිටින කොට අපේ සහාය ශිල්පීන් සපත්තු දෙක ළඟ තියාගෙන හිටියා. රූගත කිරීම් අවසන් වූ සැණින් ඔහුට එය දමාගන්න දෙන්න.

තවත් දර්ශනයක් තිබුණා ජගත් වැලි මත පෙරළෙන අවස්ථාවක්. ඒ වෙලාවේ ජගත්ට

අමතක වීමකින් ඇස් ඇරිලා. කාන්තාරයේ වැලි ඇස් දෙකට ගිහින් ඔහු දැඩි අපහසුතාවයකට පත්වුණා. පැය එකහමාරක් විතර ගියා ජගත් ගේ ඇස් වල වැලි ඉවත් කරන්න. ඒ නිසා ඔහුගේ ඇස් තුවාල වෙලත් තිබුණා.

ඒත් ඔහු කිව්වේ ප්‍රශ්නයක් නැහැ අපි ආයේ ඒ දර්ශනය ගමු කියල. ඇත්තටම මම අගය කරනවා; ජගත් ගේ ඒ කැප කිරීම් ගැන. අපිට ඒක චිත්‍රපටයේ පෙනුණේ විනාඩි හතරක් හෝ පහක් වුවත් රූගත කරන්න දවසක් විතර ගියා.

ජගත්ට විතරක් නෙවෙයි. ධර්මප්‍රිය ඩයස්ටත් ඒ වගේම බැරෑරුම් සිද්ධියකට මුහුණ දෙන්න සිදු වුණා. බෝට්ටුවේ දර්ශන ගන්නකොට ඔහුව බෝට්ටුවෙන් වැටුණා.

පාස්පෝට් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය නයනතාරා ගැනත් කතා කළ යුතුයි. ඇය ගැනත් මතකය අවදි කිරීමට ක්‍රිස් අමතක කළේ නැත.

නයනතාරාත් හොඳ රංගනයක් ඉදිරිපත් කළා මෙම චිත්‍රපටයේ. අපි ඇයව බොහෝවිට දකින්නේ ටෙලි නාට්‍යවලින්. ඒත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට පරිණත වෙලා තියෙනවා.

මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, රොෂාන් පිලපිටිය ඇතුළු අනෙකුත් රංගන ශිල්පි ශිල්පිනියන්වත් මම මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. ඔවුන්ගෙනුත් ලොකු සහායක් ලැබුණා චිත්‍රපටය වෙනුවෙන්.

පාස්පෝට් චිත්‍රපටයේ විදේශීය නළු නිළියෙන් යොදාගෙන තිබීම විශේෂත්වයක්. ඒ පිළිබඳව ද ක්‍රිස් ඇන්තනි මෙසේ කරුණු දැක්වූවේය.

අප්‍රිකානු නයිජීරියානු සහ මොංගෝලියානු නළු නිළියන් අපට යොදාගන්න සිදුවුණා. ඒ අවස්ථාවලදී නම් එකිනෙකා අතර භාෂා ප්‍රශ්න ඇති වුණා. ඒත් අපි ඉවසිලිවන්තව ඒ ප්‍රශ්න විසඳා ගත්තා. ඉන්දියාවේදී පරීක්ෂණයක් තියලා තමයි අපි ඔවුන්ව තෝරගත්තේ.

රටවල් හතරක රූගත කිරීම් සමඟින් මෙහි නිර්මාණ කටයුතු කරගෙන යෑමේදී ක්‍රිස් ඇන්තනි බොහෝ ගැටලුවලට මුහුණ දී ඇති බැව් ඔහුගේ කතාවෙන් වැටහී ගියේය. කොතරම් බාධක පැමිණියද ඔහු ඔහුගේ උත්සාහය අත් නොහැරීමද අගය කළ යුතුය වර්තමානයේ සිංහල සිනමාවට අවශ්‍යද මෙවැනි චරිතය.

අපි මේ චිත්‍රපටය 2019 වසරේ පටන් ගත්තත් විවිධ වූ බාධක පැමිණි නිසා අතරමග නවත්වන්න වුණා. නැවතත් 2021 දී තමයි වැඩ කටයුතු ආරම්භ කළේ. වෙනත් රටවලට යන්න තිබුණ නිසා ඒ වෙනුවෙන් කාලයක් ගත වුණා. ඒ හේතුවෙන් චිත්‍රපටයේ කටයුතු කල් ගියා.

වර්තමානය වන විට සිංහල සිනමාව වෙනුවෙන් කැපවෙන අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන්ට බොහෝ ගැටලු බාධකවලට මුහුණ දෙන්නට සිදු වෙයි. ඒ සම්බන්ධව ද කතා කිරීමට ක්‍රිස්ඇන්තනි මැළිකමක් දැක්වූයේ නැත.

අපිට සිනමා නිර්මාණයක් බිහි කරන්න විශාල ප්‍රයත්නයක් දරන්න වෙලා තියෙනවා අද වන විට. විශේෂයෙන් වියදම සොයාගන්න. අපිට බෑන්ක් ලෝන් එකකටවත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. බැංකුවකට ලෝන් එකක් ඉල්ලුම් කරන්න ගියහම නොයෙකුත් ප්‍රශ්න මතු කරනවා.

කලාකරුවන් කියන අයට අඩුම තරමින් පිළිගත හැකි හැඳුනුම් පතක් හෝ ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. හැබැයි එසේ ලබාදිය යුත්තේ පිළිගැනීමක් තිබෙන සහ ප්‍රමිතියකින් යුතු නිර්මාණ කරන කලාකරුවන්ට. එහෙම වැඩපිළිවෙළක් තියෙනවනම් අපිට බැංකුවලින් ණයක් ගන්න පවා පහසුයි. බොහෝ අය අප කරන නිර්මාණ පිළිබඳ නොදැන සිටීමත් ප්‍රශ්නයක්.

අද වන විට සිනමාකරුවන්ට නිසි පිළිගැනීමක්, ඇගැයීමක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා.

ලංකාවෙන් පිටත ගියාම අපිට ඒ ගෞරවය පිළිගැනීම ලැබෙනවා.

විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල සිනමාකරුවන්ට කලා ශිල්පීන්ට නළු නිළියන්ට උසස් තැනක් ලැබෙනවා. ඒක මම අත්වින්ද ඉන්දියාවේ දී. මම වාහනයක ගිය වෙලාවේ ඔවුන් ඇවිත් වාහනය දොර පවා අරිනවා.

ඒ තමයි සාමාන්‍ය මිනිසුන් පවා කලාකරුවාට දක්වන ගෞරවය

අපට මාධ්‍යයෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් සරසවිය අපේ නිර්මාණ නිතරම අගය කරනවා. නිර්මාණවලට ප්‍රචාරයක් ලබා දෙනවා.

අපි ගැන අපේ රුව ගැන කතා කරනවට වඩා අපේ සිනමා නිර්මාණ ගැන කතා කරන එක තමයි වැදගත්. ලෝකයා අපි කරන චිත්‍රපට ගැන දැන ගන්නේ එවිට.

නිර්මාණයෙන් අපිව හඳුනා ගන්න එක තමයි වැදගත්.

විශේෂයෙන් සරසවිය වීඩියෝ ටීම් එකටත් මම ස්තුතියි කියනවා. එයාලත් අපට හොඳ සහයෝගයක් දෙනවා.

පාස්පෝට් චිත්‍රපටයෙන් ක්‍රිස් ඇන්තනි ඉස්මතු කර ඇති එක් වටිනා කරුණක් ඇත. චිත්‍රපටය අවසානයේ ශ්‍රී ලංකාව තරම් උතුම් රටක් නැති බව ඔහු තම සිනමා නිර්මාණය තුළින් පෙන්වාදීමට උත්සාහ කර තිබේ. තමා ඉපදුණ මව්බිම ලෝකයා හමුවේ ඔසොවා තැබීම ගැන ඔහුට ප්‍රණාමය හිමි විය යුතුය.

මම ඉපදුණේ මේ රටේ. මම මේ රටට ආදරෙයි. මේ රටේ ජීවත් වෙන්න ආසයි. මේ අපේ ගෙදර. අපි කොහේ ගියත් ගෙදර ඉන්නවා. සරසවිය සමඟින් කතාබහට එක් වූ ක්‍රිස් ඇන්තනි පාස්පෝට් පිළිබඳ බොහෝ අදහස් පළ කිරීම වෙනුවෙන් ඔහුට ස්තුතිවන්ත විය යුතුයි.

මටත් ස්තුතියි කියන්න පිරිසක් සිටිනවා. ඔහු තවත් ………….. කොටසක් මීට එක් කළේය.

සහෝදර පිරිසක් වගේ හිටපු සියලුම නළු නිළි කැලටත්, සියලුම කාර්මික ශිල්පීන්ටත්, විදෙස් රටවලදී අපිට සහයෝගය දීපු සැමටත් පාස්පෝට් වෙනුවෙන් වෙහෙස වූ සැමටත් ස්තූතියි.

“විශේෂයෙන් රොෂිණි පෙරේරා මගේ ආදරණීය බිරිඳවත් මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරනවා.”

“තවත් වටිනාම පිරිසකුත් ඉන්නවා මතක් කරන්න, මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්. පාස්පෝට් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත් දා සිට මේ දක්වා මට ලබා දුන් ප්‍රතිචාර වලටත්, බෙහෙවින් ස්තුතියි.

ක්‍රිස් ඇන්තනි සමඟින් කතාබහ අවසානයට පැමිණි මොහොතේ ඔහුගේ ඉදිරි වැඩ කටයුතු ගැනද කතා කිරීමට අමතක කළේ නැත.

“පාස්පෝට් චිත්‍රපටයේ ප්‍රතිචාර ලබමින් ඉන්නා මේ මොහොතේ මම තවත් ඵජපඪනබ එකක් ලියාගෙන යනවා.

නිෂ්පාදකවරයෙකුත් ඉක්මනින් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

ඇත්තෙන්ම ක්‍රිස් යනු සොඳුරු මිනිසෙකි. ආදරණීය හදවතක් ඇත්තෙකි. තම මවු රටට පණ මෙන් ආදරය කරන තැනැත්තෙකි. සුන්දර කලාකරුවෙකි.

එවන් වූ සොඳුරු මිනිසෙකු අතින් නිර්මාණය වූ පාස්පෝර්ට් සිනමා නිර්මාණයත් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි.

ක්‍රිස් ඇන්තනි…

ඔබට ජය…

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT