නිවස සංවාද  හොරා අංකල් සමඟ දුලානි නැවතත් සිනමාවට…

 හොරා අංකල් සමඟ දුලානි නැවතත් සිනමාවට…

by Thanushika
September 26, 2024 9:50 am 0 comment

සඳලි මළල ක්‍රීඩාවට දක්ෂ දියණියක්. ඇය ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකාවක්. මධ්‍යම පාන්තික පවුලක එකම දරුවාය. ඇයගේ දෙමව්පියන්ගේ එකම අභිප්‍රාය වූයේ තම දියණිය ක්‍රීඩාවෙන් ඉහළ ජයග්‍රහණයන් කරා යනු දැකීමය.

ඇය හොඳීන් පුහුණුවීම් කටයුතුවල නිරත වන්නේ තම පාසලට ක්‍රීඩාවෙන් අභිමානයක් ගෙනදීමේ අරමුණින් යුතුවයි.

එදා අවාසනාවන්ත දිනයක් සඳලිට හදිසියේ ඇති වුණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙපා පණ නැති වන්නේ ඇයගේ අහිංසක බලාපොරොත්තු සුනු විසුනු කරමිනි. එම නිසා සඳලිගේ ක්‍රීඩා පුහුණුවීම් අතරමග ඇනහිටි.

තම දියණියගේ රෝගී තත්ත්වය හේතුවෙන් සඳලිගේ මව්පියෝ අන්ත අසරණභාවයට පත්වේ. පියා තීරණයක් ගනී අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔහු නිවසකට ඇතුළු වේ. එම නිවසේ වෙසෙන්නේ ධනවත් පවුලකි එතැන් සිට සඳලිගේ පියාට මුහුණ දීමට සිදුවන සිද්ධීන් මාලාවත් සඳළිගේ ඉරණම විසඳෙන ආකාරයත් දකින්නට බලන්නට ඔබට බාරයි. පසුගියදා තිරගත වන්නට යෙදුණ ‘හොරා අංකල්’ නැරඹීමෙන් ඒ සියල්ල ඔබට දැන ගැනීමට හැකිවේවි.

සඳලිගේ පියා ඇතුළුවන නිවසේ කාන්තාව ධනවත්ය ඇය මන බඳීන රූ සපුවකට හිමිකම් කියන තාරුණ්‍ය පළා නොගිය රුවැත්තියකි. එම කාන්තා චරිතයට පණ පොවන්නේ සිංහල සිනමාවේ බිහි වූ අතිශයින් ජනප්‍රසාදයට ලක් වූ නිර්මාණ කිහිපයක ප්‍රධාන රංග ශිල්පිනියක් වූ දුලානි අනුරාධාය. ඇය සිංහල සිනමාවට පා තබන්නේ ජැක්සන් ඇන්තනීගේ ‘අබා’ සිනමා නිර්මාණයෙනි.

දුලානි අනුරාධා මෙවර සරසවිය හමුවට කැඳවාගෙන ආවේ හොරා අංකල් චිත්‍රපටය ගැනත් ඇගේ නවතම කලා කටයුතු ගැන දැනුවත් කිරීමටයි. මීට අවුරුදු කිහිපයකට කලින් සිනමා තිරයේ බැබළුණ ඇය නැවතත් හොරා අංකල් සමඟින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණීම සතුටට කරුණකි.

මම කාලෙකින් තමයි නැවතත් සිනමාවේ දකින්නට ලැබෙන්නේ. අවුරුදු කිහිපයක් මම කලාවෙන් ඈත් වෙලා හිටියා. මම ගුරුවරියක්. ඒ නිසා අපට පැවරිලා තියෙන වගකීම් ප්‍රමාණය වැඩියි. ඉතින් ඒ වගකීම් පැහැර හරින්න බෑ. දරුවන් වෙනුවෙන් අපි භාරගත්ත රාජකාරිය වගකීම් අකුරටම ඉෂ්ට කළ යුතුයි.

හොරා අංකල් චිත්‍රපටය දරුවන් වෙනුවෙන් නිර්මාණය වූවක්. මම වැඩ කරන්නෙත් දරුවන් සමඟ. මට පිටපත ලැබුණම ආසාවක් ඇති වුණා මේ චරිතය බාරගන්න මවකගේ චරිතය මීට කලිනුත් කිහිප වතාවක් කරලා තිබුණත් ධනවත් මවකගේ චරිතයක් කරලා තිබුණේ නැහැ. කුවේණි, ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපට වල මම මවකගේ චරිතය තමයි රඟපෑවේ. ඉතින් මට ඒ චරිතය අමුත්තක් නෙවෙයි. විවිධාකාර චරිත රඟපාන්න මම කැමතියි. හොරා අංකල් ඉතාමත් සංවේදී කතා පුවතක් අද සමාජයේ බොහෝ සෙයින් මෙවැනි සිද්ධි අපි දකිනවා මේ චිත්‍රපටය හරහා සමාජයට ලොකු පණිවිඩයක් ගෙනියනවා. ඒ නිසා මම ඒ චරිතය නොපැකිළව භාරගත්තා.

අවුරුදු කිහිපයක් නිහඬව සිටි ඔබව කෙසේද හොරා අංකල් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ?

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා තමයි මට ආරාධනා කළේ. ඔහු හර්ෂණ වික්‍රමසිංහ. ඔහුගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය. මම හර්ෂණ සමඟ මීට කලින් වැඩ කරලා තියෙනවා. අපේ කාලේ පටාචාරා චිත්‍රපටයේ. එහි සහය අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කළේ හර්ෂණ වික්‍රමසිංහ. ඒ චිත්‍රපටයේ වැඩ කරන කොට තමයි තීරණය කරලා තියෙන්නේ කවදා හරි ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකට මාව සම්බන්ධ කරගන්නවා කියලා. අපිට හොඳ නිෂ්පාදන කණ්ඩායමක් ලැබුණා. කිසිම ගැටලුකාරී තත්ත්වයක් මතු වුණේ නැහැ. ඒ නිසා අපේ රංගනකාර්ය කරගෙන යන්න පහසු වුණා.

දුලානි අනුරාධාට අමතරව මහේන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්කගේ, ජනක කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ සමඟ ළමා චරිත වලින් හොරා අංකල් චිත්‍රපටය හැඩවී ඇත.

මම භාරගන්න නිර්මාණයට මගේ උපරිම රංගන දක්ෂතාවය ලබා දෙනවා. රංගන ශිල්පිනියක් ලෙස එය මගේ වගකීම මම හිතනවා මගෙන් විය යුතු දේ චිත්‍රපටය වෙනුවෙන් ඉටු කළා කියලා.

මගේ වටා හිටපු අනිකුත් ප්‍රවීණ ශිල්පීන්ගෙනුත් එවැනිම යුතුකම් ඉටු වුණා. හොරා අන්කල් චිත්‍රපටය වෙනුවෙන්. ඒ හැමෝම කැපවීමෙන් වැඩ කළා.

ජ්‍යේෂ්ඨ ශිල්පීන් වගේම චිත්‍රපටයේ සඳලි කියන චරිතය කරපු දියණියත් දක්ෂ ළමා ශිල්පිනියක්. ඒ වගේම තමයි මගේ දුව සහ පුතා විදියට රඟපාපු දරුවන් දෙදෙනාත්. ඔවුන් දෙදෙනාගෙන්ම හොඳ සහයෝගයක් වගේම ආලෝකයක් ලැබුණා හොරා අංකල් චිත්‍රපටයට.

කාලයකට පසු නැවතත් ඔබගේ චිත්‍රපටයක් තිරයේ දකින්න ලැබුණ එක ගැන ඔබට කොයි වගේ සතුටක්ද තියෙන්නේ?

මම අබා, කුවේණි, ඇහැළේපොළ කුමාරිහාමි වැනි චිත්‍රපටවල මම මතකයේ රැඳෙන චරිත කළා. ඒ චරිත සම්මානනීය වුණා. ඇගයුමට ලක්වුණා. මුලින්ම සඳහන් කළා වගේ මම ගුරු වෘත්තියේ නියැළෙන නිසා වගකීම් වැඩියි. හවස් වරුවේත් අපිට වැඩ කරන්න සිදු වෙලා තියෙනවා. ටික කාලයක් සිනමාවෙන් ඈත් වුණත් හදවතින් මම ඉන්නේ කලාවත් සමඟ ලොකු සතුටක් තියෙනවා හිතට කාලෙකින් මාව සිනමා තිරයේ දකින්න ලැබුණු එකට. මම හැමදාමත් ආදරේ සිනමාවට හොඳ නිර්මාණ සහ මට ගැළපෙන චරිත ලැබුණොත් කාල වේලාව කළමනාකරණය කරගෙන රඟපාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී.

ඔබටත් හොරා අංකල් චිත්‍රපටයටත් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේක ළමා චිත්‍රපටයක්. මම වැඩ කරන්නෙත් දරුවන් සමඟ. පාසලේදී දරුවන්ගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කුඩා ළමුන්ගේ හිතට දැනිලා තියෙන චිත්‍රපටියක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ ගීත පිළිබඳ. ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා තමයි මේ සංගීත අධ්‍යක්ෂවරයා. ඒ ගීත කිහිපයත් චිත්‍රපටයට අමුතුම එළියක් ලබලා දීලා තියෙනවා.

ඔබ නර්තන ගුරුවරියක් ගුරුවරියක්, නර්තනය සම්බන්ධව සිනමා නිර්මාණයකට දායක වෙන්න ඔබේ අදහසක් නැද්ද?

පසුගිය කාලයේ එවැනි චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒත් ඒ නිර්මාණය කෙරුණේ නැහැ. ආසාවක් තියෙනවා නර්තනය පැත්තෙන් සිනමා පටයකට දායක වෙන්න. බලාපොරොත්තුවෙන් ඉමු ඉදිරියේදී එවැනි නිර්මාණයකින් මාව දකින්න.

දුලානි අනුරාධා යනු දක්ෂ රංගන ශිල්පිනියක් බව පැහැදිලියි. ඇයගේ රඟපෑම් දකින්නට ප්‍රේක්ෂකයා තුළ කැමැත්තක් තිබෙන බවත් පැහැදිලියි. ඇය නිහඬව සිටියත් රඟපෑ චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිතයි.

මම කරපු චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක් තියෙනවා. කිඩ්නැප් සහ තවත් ළමා චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම මම රඟපාපු එක් ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න තියෙනවා. එහි දෙවැනි අදියර රූගත කිරීම් පටන් ගැනීමට කටයුතු සූදානම්.

ඒ තමයි දැනට මම සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු.

ඇය නිතර රූපවාහිනී තිරයේ සිනමා තිරයේ දක්නට නොලැබෙන චරිතයක්.

මම ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්න සූදානම් නැහැ. මට යමක් කරන්න පුළුවන් සහ මතකයේ රැඳෙන චරිත කරන්න තමයි මම කැමතියි. ඒ හැමදේම මම කරන්නේ මගේ ගුරුවෘත්තියට අගෞරවයක් නොවන විදිහට.

දුලානි, තමන් රඟපෑ පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානනීය වූ නිළියක් ඇයගේ රංගනයේ කිසිදු ආධුනික බවක් නොතිබීම එයට හේතුව වන්නට ඇති. පියවරෙන් පියවර විශිෂ්ට නිර්මාණ තුළින් තම රංගන හැකියාව පෙන්නුම් කළ ඇය, මුල්ම සම්මානය ලබා ගන්නේ සරසවිය සම්මාන උළෙලෙන්.

මට මුල්ම සම්මානය ලැබෙන්නේ මම රඟපාපු මුල්ම චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් ඒ අබා චිත්‍රපටයේ සරසවිය හොඳම නිළිය සම්මානය. සිනමාව වෙනුවෙන් තිබෙන එකම පුවත්පත වන සරසවිය වෙතින් ඒ සම්මානය ගන්න පුළුවන් වුණු එක මගේ ජීවිතයේ ජයග්‍රහණයක්.

නිර්මාණ වැඩි ප්‍රමාණයකට දායක නොවූවත් මට ලැබුණු සම්මාන ඇගයීම් ඉහළයි. මම ඒ ගැන සතුටු වෙනවා. මගේ දක්ෂතාවය හොඳීන් හඳුනාගත් අය උසස් නිර්මාණවලට මාව දායක කරගත්තා. ඒ ගැන ආඩම්බරයක් හිතේ තියෙනවා.

සිනමාවට ආලෝකයක් වූ දුලානි, වත්මන් නවක පරපුර ගැන ද මෙසේ ඇයගේ අදහස් දැක්වූවාය.

අද වන විට ඉතා දක්ෂ තරුණ ශිල්පීන් බිහිවෙලා ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා

ක්ෂේත්‍රයේ වැඩි කාලයක් නො රැඳෙන පිරිසක්. නිසි පුහුණුවකින් අධ්‍යයනයකින් රඟපෑම සඳහා යොමු වෙනවා නම් ඒ අයට රැඳීලා ඉන්න පුළුවන්. මම අගය කරනවා වර්තමානයේ ටෙලි නාට්‍යවල සහ සිනමාවේ රැඳී සිටින දක්ෂ තරුණ පිරිසව. ඒ අයට බොහෝ දුරක් යා හැකියි.

අනෙක් කාරණය තමයි රංගනය කියන දේ ලෙහෙසි නැහැ. උපරිම කැපකිරීමක් කරන්න වෙනවා. දිවා රාත්‍රිය නොබලා වැඩ කරන්න වෙනවා. රූගත කිරීම් වලදී වුණත් දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. ඒ දේවල් ඉවසගෙන මේ කලා ක්‍ෂේත්‍රයේ රැඳීල ඉන්න පුළුවන් වෙන්න ඕන.

මා ගැන කතා කළොත් මා ආපු ගමන දුෂ්කරයි. මට ලැබුණු චරිත වල රූගත කිරීම් බොහෝවිට තිබුණේ කැලෑ බද ප්‍රදේශවල අවම පහසුකම් යටතේ තමයි අපිට වැඩ කරන්න සිදුවුණේ. ඒත් නිර්මාණයට අවශ්‍ය විදියට අපි හැඩ ගැසුණා. ඒ විදිහට කැප කිරීම් කරපු නිසා තමයි අද මට මේ තත්ත්වයට එන්න පුළුවන් වෙලා තියෙන්නේ.

වත්මන් තරුණ පරපුරටත් මම කියන්නේ කරන දේ උපරිම කැපවීමෙන් කරනවා නම් ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන්.

මේ සියලු කතාබහ අවසානයේ දුලානි නැවතත් හොරා අංකල් චිත්‍රපටය ගැන මෙසේ ඇගේ අදහස් දැක්වූවාය.

මම මුලින්ම සඳහන් කළා වගේ හොරා අංකල් වැඩ අවසන් කළේ මීට වසර කිහිපයකට පෙර. එහෙත් තිරගත වුනේ මේ වසරේ. ඒ ගැටලුව මතු වුණේ හොරා

අංකල් චිත්‍රපටයට පමණක් නෙවෙයි. පසුගිය දිනවල තිරගත වෙන්න පටන් ගත්ත බොහෝ නිර්මාණ ඒ ගැටලුවට මුහුණ දුන්නා.

රංගන ශිල්පීන් වන අපිත් කැමතියි අපි කරපු නිර්මාණ ප්‍රමාද නොවී තිරගත වෙනවා නම්. ඒත් මේ අවස්ථාවේ මම සතුටු වෙනවා මේ දිනවල හොරා අන්කල් තිරගත වීම ගැන. මම කාලයක් නිහඬව හිටපු නිසා මේ නිර්මාණය තුළින් මට නැවතත් රසිකයන් හමුවට එන්න පුළුවන් වුණා. ප්‍රමාද වී තිරගත වුණත් හොරා අංකල්ට තිබෙන ප්‍රතිචාර ඉහළයි.

රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා හොරා අන්කල් නරඹන්න කියලා. පවුලේ සැමටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. විශේෂයෙන් කුඩා දරුවන්ට.

කලකට පසු ඇගේ රංගනය සිනමා කිරීමත දිගහැරෙන මේ මොහොතේ රසබර කතාබහට එක් වූ රංගන ශිල්පිනිය දුලානි අනුරාධාට සරසවිය සුබපැතුම් !

 

[email protected]

Makeup & Hair Danushka of Shimmer

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT