නිවස සංවාද හොඳ සමාජයක් ගොඩනඟන්න නම් හොඳ මාධ්‍ය ජාලයක් තිබිය යුතුයි

හොඳ සමාජයක් ගොඩනඟන්න නම් හොඳ මාධ්‍ය ජාලයක් තිබිය යුතුයි

වැඩසටහන් නිෂ්පාදිකා හංසලී සමරවික්‍රම

by Thanushika
September 19, 2024 8:41 am 0 comment

විවිධ පුද්ගලයන් තම සහජ දක්ෂතාවයන් රැගෙන එන්නේ උපතින්මය. ඇයද තම සහජ දක්ෂතාවය රැගෙන එන්නේ එලෙසිනි. වයස අවුරුදු තුනේ හතරේදී සිතුවම් ඇඳ එය නිවේදනය කිරීම ඇගේ පුරුද්දක් විය. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කොළඹ රත්නාවලී බාලිකාවට ඇතුළුවන ඇය නිවේදිකාවක් ලෙස කලඑළි බසින්නේ උදෑසන රැස්වීමේ පිළිගැනීමේ කතාව කරමින්ය. එතැන් සිට පාසල් විවිධ සමිති සමාගම්වල මෙන්ම පාසලේ විවිධ උත්සව අවස්ථාවන් හා කථික හා නිවේදන තරගාවලියන්ට සමස්ත ලංකා දක්වා සහභාගි වී ජයග්‍රහණය ලැබීමට ඇය වාසනාවන්ත වූවාය. නැවත ඇගේ දෙවැනි ගමන ආරම්භ වන්නේ ද්විතීක හා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ගෝතමී විද්‍යාලට ඇතුළු වීමත් සමඟය .ගෝතමී විද්‍යාලයේදී ද සමස්ත ලංකා මට්ටම දක්වා නිවේදන තරගාවලිය රැසක් නියෝජනය කරමින් ජයග්‍රහණය ලබා තිබේ. ඉන් ලැබූ ජයග්‍රහණත් සමඟ පාසල් නිවේදිකාවක් ලෙස රූපවාහිනියේ වැඩසටහන් කිහිපයක්ම මෙහෙයවීමට අවස්ථාවද උදාවිය. හංසලී සමරවික්‍රම ඒ ආපු ගමන ගැන අද වර්තමානයේ නිවේදිකාවක් හා වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස මාධ්‍ය අවකාශයේ සැරිසැරීම ගැන සරසවිය සමඟ කළ කතා බහයි.

මාධ්‍ය සමඟ ඔබේ පළමු සම්බන්ධතාවය සිදුවෙන්නේ කොහොමද?

පාසල් කාලයේ සමස්ත ලංකා මට්ටම දක්වා නිවේදන තරඟවලට ඉදිරිපත් වුණා.එහිදී ලැබූ ජයග්‍රහණත් සමඟ පාසල් නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. විවිධ නාලිකාවල, 2000 වසරේදී මගේ මුල්ම ළමා වැඩසටහන විසුරුවා හරිනවා. දෙරණ නාලිකාවේ අපේ හපන්නු කියලා. වසර තුනක් වැනි දීර්ඝ කාලයක් මේ වැඩසටහන කිරීමට හැකි වුණා. ඒ ගමනේදී මට 2006 වසරේදී ස්වර්ණවාහිනී නාලිකාවට සම්බන්ධ වෙන්නට අවස්ථාව හිමිවුණා. මගේ ගුරුතුමා හේම නලින් කරුණාරත්න මහත්තයා තමයි පුහුණු නිවේදිකාවක් හා නිෂ්පාදිකාවක් ලෙස බඳවාගන්නේ. ඉන්පසු පුහුණු කාලය අවසන් වී නිවේදිකාවක් හා නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කළා. නලින් සර්ගේ ස්වර්ණවාහිනියෙන් සමු ගැනීමත් සමඟ ඔහු ආරම්භ කළ ඩ්ඊඍ ආයතනයට සම්බන්ධ වෙලා ආරම්භ කළ මාධ්‍ය ඇකඩමියත් සමඟ දැයෙන් සමුගන්නා තෙක් එහි නිරතවුණා.

2009 වසරේ වෙනත් නාලිකාවක් සමඟ සම්බන්ධ වෙනවා නේද?

2009 වසරේ මම සිරස නාලිකාවට සම්බන්ධ වෙලා හැරල් විජේසිංහ සහ තාරක බැද්දෙගේ යටතේ පුංචි පහේ මං වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. නැවත මම 2009 දෙසැම්බර්වල නිමල් ඒකනායක සහ සද්ධාමංගල සූරිය බණ්ඩාර සමඟ සහාය නිෂ්පාදිකාවක් හා නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නට සියත ටීවී ආයතනයට එකතු වුණා. සංගීතා වීරරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 7 බෙල්ට් එකට කාන්තා වැඩසටහන් ගණනාවක නිෂ්පාදිකාවක් ලෙස දිගටම කටයුතු කරන්නට ලැබෙනවා. ඒ වැඩසටහන් අතර නලින් සමඟ නම් පහ, එකම නම තියෙන දැවැන්ත චරිත එකම වෙලාවක මුණගැහී කරනු ලැබු සජීවී වැඩසටහන මට කරන්නට අවස්ථාව ලැබුණා.වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු සිටි සමෘද්ධි රණසිංහ සියත නාලිකාවෙන් ඉවත්වීමත් සමඟ එහි සියලු වගකීමද මා වෙත පැවරෙනවා. ඒ සියලු වැඩසටහන් කරන අතරතුරේ 2009 සිට 2022 දක්වා වසර 13 ක් පුරා කලාකරුවන් එකම වේදිකාවකට ගෙනත් කළ ස්ටාර් වෝස් වැඩසටහන ජනප්‍රියතම වැඩසටහන බවට පත් කරන්නට ලැබුණා. මේ වැඩසටහනත් සමඟම ජනප්‍රිය තරු සහභාගි වූ සියලු වැඩසටහන් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සම්බන්ධීකරණය කළා.

වඩාත් කැමති නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නද නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන්නද?

මම මේ දෙකටම එක ලෙස කැමති. නිෂ්පාදිකාවක් වන ඕනෑම කෙනෙකුට නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නත් පුළුවන්. ඒ ඔහු හෝ ඇය ළඟ තියෙන දක්ෂතාවය මතයි තීරණය වන්නේ. අපි ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමෙන් සන්නද්ධ නම් කරන කාර්ය භාරය කුමක් වුවත් නිවැරදිව කිරීමේ හැකියාව පවතිනවා.

ප්‍රධාන මාධ්‍ය ධාරාවෙන් නිදහස්ව කටයුතු කරන්න හිතුවේ ඇයි?

මේ වසරේ මැද වෙනකම් මම පූර්ණ කාලීනව වසර 24ක් කටයුතු කළා. මගේ පවුල් ජීවිතේට මුල් තැන දෙන්න මට ඕන වුණා. මගේ දුවලා දෙන්නා වෙනුවෙන්, පූර්ණ කාලීනව මාධ්‍ය ජීවිතයට දූවරු ඉන්න මවකට කැපකිරීම් කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා ඔවුන් දෙන්නාටත් පවුලටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් නිදහස්ව මාධ්‍ය ජීවිතයක් ගත කරන්න තමයි මම අදහස් කළේ. පූර්ණ කාලීනව මාධ්‍ය ජීවිතයේ ඉන්නවාට වැඩිය වැඩි වැඩ කොටසක් නිදහස්ව කටයුතු කරද්දී කරන්න පුළුවන් හැකියාව අද තියෙනවා. එනිසා මම හරිම සතුටින් මේ කටයුතු සිදු කරන්නේ.

මේ වන විට ආයතන කිහිපයකම ඔබ කටයුතු කරනවා නේද?

මේ වන විට මම මොනරා ටීවී සහ සමාජ මාධ්‍යජාල කිහිපයකම කටයුතු කරනවා. ඒවගේම තමා ඉවෝක් ආයතනයේ රූපහල නමින් අලුතින් මෙවලමක්, ඒනන එකක් එළිදක්වන්නට කටයුතු කරනවා. එහි ප්‍රධාන උපදේශකවරිය ලෙස මම කටයුතු කරන්නේ. මේ හරහා සිදුවන්නේ සිනමාවේ අලුත් හා පැරැණි දේවල් හා කාගේත් හිත ගැටුණු විශේෂ දේවල් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමයි. ප්‍රේක්ෂකයාගේ විනෝදාස්වාදය වෙනුවෙන් මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාසල් ජනමාධ්‍ය ඒකක සමඟ සම්බන්ධ වෙලා නිවේදන හැකියාවන්ට දස්කම් දක්වන දරුවන්ට නිවේදන කටයුතුත් මේ වන විට උගන්වනවා.

ප්‍රධාන ධාරාවෙන් අයින් වුණාට පසු තිබුණු සම්බන්ධතාවල් දුරස් වෙලා නේද?

ප්‍රධාන ධාරාවෙන් අයින්වෙලා කෙටි කාලයක් තුළ වුවත් තවමත් සියලු දෙනාම කතා කරන්නේ සියතේ හංසලි කියලයි. කොහොම නමුත් මට සියත වාසනාවක් ගෙනාවා කියලා මම කියන්න මැළි වන්නේ නැහැ. පෙර කරපු කටයුතු සියල්ල ඒ ආකාරයෙන්ම සිදු කරනවා. කලාකරුවන් සමඟ කරන වැඩසටහන් ඔවුන් සමඟ කරන ගනුදෙනු වෙනසක් වෙලා නැහැ. මම දැනට සම්බන්ධ වෙලා සිටින ආයතනත් සමඟ ඔවුන් ගනුදෙනු කරන්නේ මා සමඟයි වැඩිහරියක්. මම මේ ක්ෂේත්‍රයට ආපු කාලසීමාවත් එක්ක ගනුදෙනු කරපු ප්‍රවීණයන් සමඟ පෙර පරම්පරාව සහ වර්තමාන පරම්පරාව හරිම ළඟින් මගෙත් එක්ක කටයුතු කරන්නේ. එහෙම වාසනාවක් හැමෝටම ලැබෙන්නේ නැහැ.

සමාජ මාධ්‍ය සමාජයට පිළිලයක් කියලා ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ එහි නිරත වෙන කෙනෙකු හැටියට ඔබට මොනවද කියන්න තියෙන්නේ?

සමාජ මාධ්‍ය ජාලා පරිහරණයේ හොඳ හා නරක කියන දෙපැත්තම තියෙනවා. තාක්ෂණය දියුණු වෙනකොට විකල්ප මාධ්‍ය පාවිච්චි කළ යුතුයි.තාක්ෂණය නිවැරැදිව පරිහරණය කරමින් නිවැරැදි ගමනක් යන කොට්ඨාසයක් ඉන්නවා.දැනුම්වත්භාවයකින් තොර පිරිස් පරිහරණය කරන විට එහෙම කියවිලි අහන්න ලැබීම සාමාන්‍ය වචනයක් බවට අද පරිවර්තනය වෙලා. ජීවත්වන සියලු දෙනා කාර්යබහුල පුද්ගලයන් බවට පත්වන විට අද වන විට ලෝකේ වැඩි පිරිසක් සමාජ මාධ්‍යා ජාලා පරිහරණය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. සියයට 99% ක්ම ඉ මොබයිල් කියන සංකල්පය තුළයි ජීවත් වෙන්නේ. ඉදිරියේදී අපි සියලු දෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ දේ වැලඳ ගන්න වෙනවා. හොඳ සමාජයක් ගොඩ නගන්න නම් හොඳ මාධ්‍ය ජාලයක් තිබිය යුතුයි කියලයි මගේ අදහස වන්නේ.

මාධ්‍ය ලෝකයට අවතීර්ණ වන නවක පරම්පරාව ගැන මොකද හිතෙන්නේ?

අද අවතීර්ණ වන පරම්පරාව දැනුමෙන් සන්නද්ධ පිරිසක් සහ සන්නද්ධ නැති පිරිසක් ද ඉන්නවා. ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් හොඳ අධ්‍යාපන දැනුමක් තිබිය යුතුයි. ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීම් කිරිම හා ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය වෙනවා. නවීන තාක්ෂණයත් සමඟ මාධ්‍ය ලෝකයේ සැරිසරනවා නම්. ඒ පිළිබඳ තියෙන විවිධ දේවල් සොයා කැප කිරීම් කළ යුතුයි. පොත පත හා තාක්ෂණයෙන් එයට මර්ගය සොයාගන්න වෙනවා.ඉදිරියේදී අපිට ඒධ් තාක්ෂණයත් සමඟ කටයුතු කරන්න එළඹෙන නිසා අපි එයට සූදානම් විය යුතුයි. එසේ නොවුණොත් අපි මාධ්‍ය ලෝකය ඇතුළේ අතරමන් වන බව දැනගත යුතුය.

ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

මේ ගත කරපු අවුරුදු විසි හතර ඇතුළත ඔවුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් අපමණයි. විශේෂයෙන් මගේ ගුරුවරයා වන හේම නලින් කරුණාරත්න මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා. අද මේ තත්ත්වයට මම ගෙනාවේ ඔහු කියන එක මම පාද නමස්කාර කර කියන්නේ ඒකයි. එදා ඉඳන් අද වන විට මේ ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨතමයන්ගෙන් ලැබෙන අනුශාසනා හා උපදෙස් මත මගේ ගමන හැම මොහොතකම ගමන් කළේ. ශ්‍රී ලංකා නිවේදක නිවේදිකා එකමුතුව හා ජ්‍යෙෂ්ඨ හා සමකාලීන නූතන පරම්පරාවද සමඟ හොඳ සහයෝගයෙන් කටයුතු කරන්නේ.

පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

පවුල තමා මගේ අංක එක ලෙස හැමදාම හිතන්නේ. මගේ තාත්තා අහිමිවීම තමා ජීවිතයේ මම ලද ලොකුම අහිමි විම ලෙස දකින්නේ. අම්මා සහ අක්කා හොඳ සහයෝගයක් ලබා දෙනවා. සැමියා සහ ඔහුගේ මවත් තාත්තාත් ලබා දෙන සහයෝගය කියා නිම කරන්න බැහැ. ඔවුන් නිසා තමයි මේ ගමන අද වන විට දුර ගමනක් ලෙස යන්න පුළුවන් වුණේ. දරුවන් දෙදෙනා යහපත් දරුවන් දෙදෙනකු ලෙස සමාජගත කිරීමත් මාධ්‍ය ක්ෂේත්‍රයට හොඳ වැඩ කොටසක් කිරීම තමයි මගේ මීළඟ බලාපොරොත්තුව වන්නේ.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT