සුභාවිත ගීත කලාවට ඈ කවදත් පෙම් කරන්නියක වූවාය. වයස අවුරුදු අටේ දී කඳුරට ගුවන් විදුලි සේවය මඟින් පැවැත් වූ විවෘත ආධුනික ගී තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනූ ඈ 1985 සිට 90 දශකය වන තුරාවට ගුවන් විදුලියේ ළමා ගායිකාවක ලෙස කටයුතු කරනු ලැබීය. මාලා වජිරා පෙරේරා මහත්මිය මාර්ගයෙන්. කොළඹ ගුවන් විදුලියට සම්බන්ධ වූ ඈ 1986 දී සිතාරා පවිත්‍රානි හා ප්‍රථම වරට ගුවන් විදුලියේ යුග ගීයක් ගායනා කරනු ලැබුවේ සම්මා සම්බුදු සරණින් දුක් දොම්නස් මෑකී යන්න සාමය සමඟිය රජ වී සියලු සතට සෙත සැදෙන්න කියමිනි. 2000 වසරේ වැඩිම වාර්තාගත ලකුණු ලබමින් තුරුණු ශක්ති සෞන්දර්ය ගී චාරිකාවේ ලංකාවෙන්ම පළවෙනියා වෙමින් අභිෂේක ලබන ඈ නමින් ඉනෝකා අහංගමය ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ සරල ගී ගායිකාවක වන ඉනෝකා ගීත ගායනය හැරුණුකොට ගී පද රචනයෙන් ද සිය දක්ෂතා ප්‍රකට කළ කලා ශිල්පිණියක් ද වේ. මැද මාවතේ වෘත්තීමය ගායිකාවක ලෙස කටයුතු කරමින් සිටින ඉනෝකා අහංගම සමඟ අපි කතා කරමු.
ඉනෝකා කාලෙකට පස්සේ කොහොමද අලුත් තොරතුරු?
වැඩිත් නෑ. අඩුත් නෑ. මම කවදත් මැද මාවතේ ගමනක් යන වෘත්තීමය ගායිකාවක් ලෙසින් ක්ෂේත්‍රයේ රැඳිල ඉන්නවා. මම ගී පද රචනයට, නවකතා කෙටි කතා රචනයට වාදනයට රංගනයට පුංචි කාලයේ පටන් හැකියාවන් තිබුණත් මම වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නේ ගායනයට ලිවීමේ හැකියාව මා සතුව පෙන්නුවත් මගේ මාපියන් මාව වැඩි වශයෙන් ගායනයට යොමු කළ නිසාවෙන් මම ගායනය පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් ලැබුවා.
ළමා ගුවන් විදුලි ගායිකාවක ලෙස නේද ඔබ ගායන වෘත්තියට පිවිසෙන්නේ?
ඔව්. මම මුලින්ම ගුවන් විදුලියේ ගීත ගායනා කළේ මට වයස අවුරුදු අටේදී. මම ගම්පහ මුදුන්ගොඩ පදිංචි වෙලා සිටියත් ඒ කාලේ මම පදිංචි වෙලා හිටියේ නුවර. මට සින්දු කියන්න පුළුවන් කියල මම දැනගෙන නොවෙයි මේ ක්ෂේත්‍රයට ආවේ. මම කුඩා සන්දියේ සින්දු කියන්න ඇති. ඒත් මට ඒවා එතරම් මතක නෑ. මගේ දක්ෂතා දැක්ක මගේ අම්මා කඳුරට සේවයේ තිබු විවෘත ආධුනික ගී තරඟයක් සඳහා මා වෙනුවෙන් ඉල්ලුම් පතක් ඉදිරිපත් කරනවා. මේ තරඟය සඳහා මම ඉදිරිපත්වී ගායනයෙන් ප්‍රථම ස්ථානය මම දිනාගන්නවා. ඒ තමයි මගේ ගායන වෘත්තියේ කූටප්ප්‍රාප්තිය. එතැන් පටන් මම මහනුවර කඳුරට සේවයේ ළමා ගායිකාවක් ලෙස කටයුතු කරමින් ඉන්නවා. ඔය අතරේ මගේ දක්ෂතාවයන් දකින කඳුරට සේවයේ වැඩකරමින් සිටි මාලා වජිරා පෙරේරා මහත්මිය මාව හඳුන්වා දෙනවා කොළඹ ගුවන් විදුලියට 1986 දී මම කොළඹ ගුවන් විදුලියෙන් ළමා ගායිකාවක් ලෙස දුරගමනක් යාමට ඇරඹුමක් පටන් ගන්නවා. නුවරින් කොළඹටත් කොළඹින් නුවරටත් යමින් මම ගුවන් විදුලියේ ළමා ගායිකාවක් ලෙස කටයුතු කරනවා.
ළමා ගායිකාවක ලෙස ඔබේ මුල්ම ගීත පටිගත කිරිම මතකද?
ඒ වෙනකොට මට වයස අවුරුදු දහයක් විතර මයික් එකටවත් උස නෑ. 1986 දී තමයි ඒ මුල්ම පටිගත කිරීම සිද්ධ කරන්නේ මලාවජිරා පෙරේරාගේ දුව සිතාරා පවිත්‍රානි කොස්තා සමඟ තමයි මම මුලින්ම යුග ගීයක් ගායනා කළේ සම්මා සම්බුදු සරණින් දුක් දොම්නස් මැකි යන්න… මේ ගීතය ලිව්ව කෙනා නම් මතක නෑ ඒත් මෑතකදී තමයි දැනගත්තේ ඒ ගීතයේ තනු නිර්මාණය කරල තියෙන්නේ රෝහණ ධර්මකීර්ති මහතා කියලා.
ඔබේ තක්ෂිලාව වගේම මේ ගමනේ ගුරුවරුන් වුණේ?
නුවර ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලයේ තමයි මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ. පාසල් අධ්‍යාපනය ලබන අතරතුර තමයි ගුවන් විදුලි ළමා වැඩසටහන් වලටත් සහභාගී වුණේ. එවක පාසලේ හිටිය විදුහල්පිතිනිය ඩබ්ලිව්. අයි. කේ. රත්නායක මහත්මිය මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මගේ ගායන පැත්ත වැඩි දියුණු කරගන්න. ඒ වගේම විද්‍යාලයේ සංගීත අංශය භාරව සිටි වජිර තුමුලවීර ගුරුපියත් මට ලොකු දිරියක් ශක්තියක් ලබාදුන්නා. මගේ දක්ෂතා එළියට ගෙනයන්න.
ගායනය හැරුණු කොට ඔබ රංගයනටයත් පාසල් අවධියේ දස්කම් පෑවා නොවේද?
පාසල් වේදිකාවේ මම හොඳම නිළිය ලෙස 1992 දී සම්මාන පවා ලැබුවා. නුගේ යකා, ස්වර්ණ තිළිකා පාසල් නාට්‍යවලට මම රඟපෑවා. පාසල් අතර පැවැති පද්‍ය ගායනා තරඟ වලින් පවා මම ජයග්‍රහණ අත් කරගෙන තිබුණා. නාට්‍ය කරලා බොහොමයකින් අපි සමස්ත ලංකා ජයග්‍රහණ පවා දිනාගත්තා පාසල වෙනුවෙන්.
ගෙදර පසුබිම. කලාව පැත්තට යොමුවෙලා තිබුණද?
අපේ පවුලේ දරුවෝ හතර දෙනයි මම බාලයා. මට අයියාලා දෙන්නෙක් සහ එක අක්කා කෙනෙක් ඉන්නවා. මේ අයගෙන් මගේ ලොකු අයියාත් මමත් තමයි කලාවට වැඩි නැඹුරුවක් දැක්වුයේ. අපි හතර දෙනාම ඒ කාලේ දහම් පාසලේ නාට්‍යවල කැපි පෙනෙන චරිත වුණා. නමුත් අද කලාවේ නිත්‍ය වශයෙන්ම යෙදිල ගමනක් යන්නේ මම විතරයි.
පාසල් අධ්‍යාපනයට සමුදීමත් සමඟම ඔබ සංගීතය පිළිබඳ වැඩිදුර හැදෑරීමකට යොමු වෙනවාද?
ඔව්. මම වාණිජ විෂයන් සමඟ උසස්පෙළ හදාරනවා. ඒ කටයුතු අවසන් වීමත් සමඟ මට තරුණ සේවා සභාවෙන් නිකුත් කළ පොතපත කියවන්න ලැබුණා. ඒ කාලේ චන්ද්‍රලේඛා පෙරේරාගේ ගීත එහෙම ජනපි‍්‍රය කාලයක් මටත් ඕනෙ කරනවා. තරුණ සේවා සභාව සමඟ අත්වැල් බැදගන්න. ඒ අනුව මම බෙල්වුඩ් වල තියන වසර තුනක සංගීත ඩිප්ලෝමා පාඨමාලව හදාරන්න ඒ සඳහා ඇතුළත් වෙනවා. 1995 වර්ෂයේදී.
බෙල්වුඩ් අධ්‍යාපනයට පියමනින විටත් ඔබ ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක් නේද?
1992 දී තමයි මම ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් වන්නේ. එතකොට මම වයස අවුරුදු දාසයක පාසල් ශිෂ්‍යාවක්. අමරදේව මාස්ටර් තමයි ඒ ශ්‍රේණි පරීක්ෂණයේ එදා හිටියේ. මට මේ ගැන එතරම් අවබෝධයක් තිබුණෙත් නෑ. පුහුණුවීමක් විශේෂයෙන් කියල කරල තිබුණේ නෑ. විශිෂ්්ට ශ්‍රේණියේ ගායිකාවක් වන්නට කියා මගේ ඉලක්කයක් තිබුණෙත් නෑ.
බෙල්වුඩ් අධ්‍යාපනය ඔබේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනවා නොවේද?
ඒ සඳහා මුලිකයා වන්නේ එවක තරුණ සේවා සභාවේ සිටි ප්‍රවීණතම සංගීත අධ්‍යක්ෂණ වරයකු වූ නිහාල් ගම්හේවා මහතා මම බෙල්වුඩ්වලට යන්නත් එක හේතුවක් එතුමා. එතුමාගේ දක්ෂතා මම අහල තිබුණා. මටත් ආශාවක් තිබුණා. එතුමන්ගේ ගුරුහරුකම් ලබන්න. පාසලෙන් පසු මගේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත ආචාර්යවරයා වන්නේ නිහාල් ගම්හේවා මහතා සුනෙත් ගෝකුල මහතා යටතේත් මම පාසල් අවධියේ බාහිර වශයෙන් සංගීත අධ්‍යාපනය ලැබුවා. එතුමන් නුවර මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ පැවැත්වු සංගීත පන්තිවලින්.
බෙල්වුඩ් යන ඔබ ඉතා කෙටි කලකින් තරුණ සේවා සභාවේ සන්දර්ශන වේදිකාව පවා ආක්‍රමණය කරනවා?
තරුණ සේවා සභාවේ සංදර්ශන වේදිකාවට මාව හඳුන්වා දෙන්නෙත් නිහාල් ගම්හේවා සර්. ඒ වෙනකොට මම හින්දි ගීත ගායනයෙන් තමයි ගොඩක් ජනපි‍්‍රය වෙලා හිටියේ. බෙල්වුඩ් ගිය පමණින් සංදර්ශන වේදිකාවට යන්න අවස්ථාවක් ලැබෙන්නෑ. නමුත් මගේ වාසනාකට ද කොහෙදෝ සර් මාව සංදර්ශන වේදිකාවට ඇතුළත් කරනවා.
බෙල්වුඩ් අධ්‍යාපනය හමාරවීමත් සමඟ ඔබ වාදක මණ්ඩලයක නිත්‍ය ගායිකාවක් බවට පත්වෙනවාද?
නිහාල් ගම්හේවා සර් මහරගම තරුණ සේවා සභාවට බෙල්වුඩ් වල සිට පැමිණිමත් සමඟ එතුමන් පටන් ගන්නවා. 1999 දී සහස්‍රා සංගීත කණ්ඩායම මට අවස්ථාව උදා වෙනවා. එහි නිත්‍ය ගායිකාව ලෙසින් කටයුතු කරන්න. 2001 වසර දක්වා මේ සංගීත කණ්ඩායම ජාතික තරුණ සේවා සභාව තුළ ක්‍රියාකාරීව තිබුණා. එවක තරුණ සේවා සභාවේ සභාපතිවරයා වුණේ සුනිල් ජයන්ත නවරත්න මහාතා. එතුමන්ගෙනුත් අපේ කටයුතු වලට ලොකු සහයෝගයක් ලැබුණා.
ඉනෝකා තුරුණු ශක්ති සෞන්දර්ය ගීත චාරිකාවේ අභිෂේක ලැබු ගායිකාවක්?
1999 දී තුරුණු ශක්ති ගීත චාරිකාවට මම ඉදිරිපත්වෙනවා. ඒ තරගයෙන් ශෂිකා නිසංසලා තමයි ජයග්‍රහණය කරන්නේ. මම ඒ වටයේදී දිස්ත්‍රික් මට්ටමින් පළවෙනියා වෙලා පළාත් මට්ටමින් තුන්වැනියා වුණා බස්නාහිර පළාතෙන්. නමුත් අවසන් වටයට තෝරාගත්තේ පළාත් මට්ටමින් පළවෙනියාත් දෙවැනියාත් විතරයි. ශෂිකා නිසන්සලාත්, අනුරාධා අබේසිංහත් තමයි ඒ වටයේ අවසන් වටයට තේරුණේ.
2000 වසරේ තුරුණු ශක්ති සෞන්දර්ය ගීත චාරිකාවේ දෙවන අදියරයේදී මම ගම්පහ දිස්ත්‍රිකයෙන් පළමු වෙනියාත් බස්නාහිර පළාතෙන් දෙවන ස්ථානයත් ලබා අවසන් මහා තරගය නියෝජනය කරනවා. ඒ අවස්ථාවේදී මම වැඩිම ලකුණු ලබා තුරුණු ශක්ති සෞන්දර්ය චරිකා ඉතිහාසයේ වැඩිම ලකුණු 165ක් ලබමින් 2001 වසරේ තිබු අවසන් මහා තරගයෙන් මම පළමු ස්ථානය ලබා විජයග්‍රාහී කිරුළ දිනාගනු ලැබුවා.
තුරුණු ශක්ති කිරුළත් සමඟ ඔබ ඔබේම ගීත ගායනයක් වෙත යොමු වෙන්න අදහස් කළේ නැද්ද?
එහෙම දේකට යෝජනාව ගෙන ආවෙත් නිහාල් ගම්හේවා සර් මම සර් යටතේ බෙල්වුඩ්වල ඉගෙන ගන්න කාළේ පොසොන් වලට වෙසක්වලට ප්‍රෝග්‍රෑම් කළා. ඒ වෙලාවක සර් සිංදුවක් ලියල දුන්නා. පුන් පෝදින් සඳු දිලේ රශ්මි ධාරා කියල මේක මටත් තව මල්ලි කෙනෙකුටත් යුග ගී ගායනයක් ලෙස කියන්න කියල. හැබැයි මට මේ ගීතය කියන්නම බෑ. ඒ පාර සර් ඒක අරන් ඒකට ආදර වචන ටිකක් දාල ගීතයක් ලියල දුන්නා. දැන් කියවපන් කියලා. ඒක මම හරි අගේට කිව්වා. මෙලඩියත් ලස්සනයි. මම ඔය මතකය සර්ට පැහැදිලි කළා. සර්ගේ යෝජනාව ආවත් සමඟ සර් මේ ගීතය ෆයිල් ගොඩක් ඇදල හොයා ගත්තා. අන්න ඒ ගීතය තමයි රන්වන් විමන් සිදදමා ඈත පාවී…. මේ ගීතය තමයි 2001 වසරේ මම තුරුණු ශක්ති වලින් පස්සේ කළ මගේම පළමු ගීතය.
රන්වන් විමන් සිදදමා ඈත පාවී…. ඔබව රසිකයන් අතරේ ජනපි‍්‍රය තරුවක් කළා නොවේද?
ඒ දවස්වල ගුවන් විදුලියේ නිරන්තරයෙන් මේ ගීතය ප්‍රචාරය වුණා. සින්දු චාට් වැඩසටහයෙන් වල ජනපි‍්‍රය සිංදුවක් වුණා. නාලක අංජන කුමාර මට ගොඩක් උදවු කළා. මගේ ගීත ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්.
ඉනෝකා කාලයක් ඔබ ගායන ක්ෂේත්‍රයෙන් සමුගෙන සිටිනවා නොවේද?
2003 වසරේ සිට 2013 වසරෙ දක්වා මම අවුරුදු දහයක පමණ කාලයක් මේ ක්ෂේත්‍රයේ ඈත් වෙලා ඉන්නවා. මගේ පෞද්ගලික කරුණු කාරණාත් ක්ෂේත්‍රයේ යම් ගැටලුකාරී බවත් එක්ක ඔය කාලය තුළ මම රැකියා කීපයක නියැළෙනවා. සිංග්ලංකා ආයතනයේ මම වැඩ කරනවා. ඒ අවස්ථාව මට උදා කරල දෙන්නේ සුනිල් ආර් ගමගේ මහතා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් ආයතනයක බ්‍රෑන්ඩ් මැනේජ්ර් හැටියට කලක් කටයුතු කළා.
ඔබේම ගීත හරහාත් තුරුණු ශක්ති කිරුළ හරහාත් ඔබ ජනපි‍්‍රය වන විට ඔබේම කියල ගීතැටියක් නිකුත් කරන්න අදහස් කළේ නැද්ද?
2006 වසරේ ‘පුරහඳ පෑ වුවාම’ නමින් ගීත දහ අටක ගීත තැටියක් මම රසිකයන් වෙනුවෙන් නිකුත් කළා. රත්නත් ශ්‍රී විජේසිංහ, යමුනා මාලිනී පෙරේරා, නිහාල් ගම්හේවා, බොහෝ ගීත රචනා කළා. රෝහණ වීරසිංහ, සංගීත් වික්‍රමසිංහ, ප්‍රදීප් බෝගහවත්ත ආදී එවක සිටි ප්‍රවීණ ගේය පද රචකයන් සංගීත අධ්‍යක්ෂවරුන් මේ ගී තැටිය සඳහා නිර්මාණ දායකත්වය එක් කළා.
සුපර්ස්ටාර් තරඟ සඳහාත් ඔබ යළිත් තරඟ වැදුණා නොවේද?
2009 වසරේ මම සුපර්ස්ටාර් සීසන් ධ්ධ්ධ් සඳහා ඉදිරිපත් වුණා. එහි අවසන් 28 දෙනා අතරට මම පැමිණියා. ඒ සඳහා මම ගොඩක්ම ඉදිරිපත් වුණේ මගේ පැවැත්ම යළිත් ගොඩනගා ගැනීමේ අරමුණේන්.
ඔබ නැවතත් ගුවන් විදුලියට සම්බන්ධ වෙනවා නොවේද?
2014 වසරේ මම අහම්බෙන් නැවතත් ගුවන් විදුලිය හා අත්වැල් බැදගන්නවා. සුභාවිත ගීතය වැඩසටහන් සමඟ. 1999 දී ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් කළාට පස්සේ 2014 දී තමයි මම ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනක් සඳහා සහභාගී වුණේ. ඒ සඳහා රෝහණ ධර්මකීර්ති මහතා මට ගොඩක් උදවු කළා. එතැන් පටන් අද වෙනකන්. විවිධ අවස්ථා වලදී මම ගුවන් විදුලියත් සමඟ ගනුදෙනු කරනවා. විවිධ වැඩසටහන් ඔස්සේ.
මේ වෙනකොට ඔබ සතු ගීත ගොන්න, කොපමණ ප්‍රමාණයක් ද?
ගීත පණහකට වැඩි ප්‍රමාණයක්.
මේ ගීත සියල්ල අද වෙනකොට රසිකයන් අතරට ගිහින්ද?
නෑ. මම පන්න පන්නයන්නෑ. යුටියුබ් වල වුණත් සමහර සිංදු ජනප්‍රියයි.
අද උණත් ඔබ රසිකයන් අතර ජනපි‍්‍රය මොන ගීතය ඔස්සේද?
මම කොච්චර සිංදු කිව්වත් අදත් මගේ අයිකන් එකවෙලා තියෙන්නේ. නරසීහ ගාථා මේ මොහොත වෙනකන්ම මාව අදත් කවුරුත් හඳුන්වන්නේ නරසීහ ගාථා කියන ගායිකාව කියල.
අද වෙනකොට වෘත්තීමය ගායිකාවක් වී සිටින ඔබ ප්‍රසංග වේදිකාවට පිවිසිලාද?
මම එළිමහන් ප්‍රසංග වේදිකාවට තවම මුලිකත්වයක් දීල නෑ. ඉන්ඩ්‍රො ෂෝ තමයි බොහෝවිට කරන්නේ.
එළිමහන් ප්‍රසංග සඳහා ඔබ සහභාගීවීම අඩුවෙලා තියෙන්නේ ඇයි?
කලාතුරකින් යනවා. ඊට හේතුව මගේ සිංදු හැරෙන්න වෙනත් ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සිංදු කියන්න මම කැමැති නෑ. නමුත් මගේ ගීත කලාව ගායනය තුළ තියෙන්නේ විඳින ගීත කලාවක්.
අද වෙනකොට ඉනෝකා අහංගම තමන්ගේ වොයිස් එකට පමණක් කොටු වූ ගායිකාවක් ද?
මගෙ වොයිස් එක සහ තාලය සරල ගීතවලට තමයි අනුගත වෙලා තියෙන්නේ. නමුත් මම තව නුදුරු දිනෙක අලුත්ම තාලේ වැඩකින් එළියට එන්න උත්සාහයක් තියනවා. මේ දවස්වල ඒ සඳහා පෙර පුහුණුවීම් සිද්ධ කරනවා.
සරල ගී ගායිකාවක් වේග රිද්මයෙන් වෙනසක් ඇතුව එනවා කියලද ඔබ ඔය කියන්නේ?
බලමු. ඒ වෙනස දැම්ම කියන්න බෑ. හොඳ බ්ලාස්ට් වැඩකින් මම එනවා. මම ද කියලවත් හොයාගන්න බැරි විධියට එදාට කවුරුත් කියයි. මේ අර නරසීහ ගාථා කිව්ව කෙනාද මේ කියල.
බ්ලාස්ට් එකක් සමඟ එළියට එන ගීතය ගැන තව වැඩියමක් කියන්නට බැරිද?
මේ ගීතයේ පද රචකයා මමමයි. මගේ සැබෑ ජීවිතයේ අත්දැකීමක් තමයි මම පද වැලකට ගොනු කරන්නේ. ගායනය පද රචනය මගේ. මේ ගීතය සංගීතවත් කරන්නේ කපිල ඉලුක්කුඹුර ඔහු තමයි මම තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේ පළවෙනියා වෙන්න කියපු තිත්ත කළුවර නොමැකෙනා… ගීතය සංගීතවත් කළෙත් ඒ ගීතය රචනා කළේ නම් වරුණි පී අමරසිංහ.
චිත්‍රපට පසුබිම් ගායනය තුළත් ඔබ කිරුළ දැරූ ගායන ශිල්පිනියක් නොවේද?
මම දැනට යශෝධරා චිත්‍රපටයෙත්, ගුත්තිල චිත්‍රපටයේත් ගායනයන් සඳහා සහභාගී වෙලා තියනවා. සුනිල් ආරියරත්න සර් අධ්‍යක්ෂණය කළ රෝහණ වීරසිංහ මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු යශෝධරා චිත්‍රපටයේ නරසීහ ගාථා ගායනා කළේ මම. සනත් අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ ගුත්තිල චිත්‍රපටයේ කවි ගායනා ඉදිරිපත් කළෙත් මම.
නරසීහ ගාථා කිව්වොත් ඉමෝකා අහංගම කියන තරමට ඔබේ හඬ මනුසත් සිත් පැහැරගත්තා නොවේද?
එහෙම දෙයක් ලැබුණු ප්‍රතිචාරවලින්ම පැහැදිලියි. මේ වෙනුවෙන් මට හොඳට ගායනය සඳහා සිග්නීස් සම්මානයත් හිමිවුණා.
මේ අවස්ථාව ඔබට කොයි ආකාරයෙන්ද උදා වුණේ?
සංගීත් වික්‍රමසිංහ මහත්තයා තමයි මට කිව්වේ ඉනෝකා, චිත්‍රපටයක මෙන්න මෙහෙම වැඩක් තියනවා. ගිහින් බලන්න කියලා. ඉතිං මමත් ගියා. කිව්ව දවසට ඔඩිසන් එකට. තව ඇවිත් හිටියා කීපදෙනෙක්ම. මුලින්ම මාව තමයි ඔඩිෂන් එකේ ඉන්ටවු එකට ගත්තේ. සුනිල් සර් ගාථා ලොකු අකුරින් ලියලා චිත්‍රපටයේ සීන් එක පෙන්නා මෙන්න මෙතනට තමයි කියන්න ඕනේ. හොඳ උස් හඬින් කියන්න කියල මට කිව්වා. මුලින් මට බයත් හිතුණා. සුනිල් සර් ඔඩිෂන් රූම් එකෙන් එළියට ගියා. රෝහණ සර් මම ළඟ හිටියා. මම එක ගාථාවක් කිව්වා. දෙකක් කිව්වා තුනක් කිව්වා කිසිම කතාවක් නෑ. කොහොම හරි තිබුණු ගාථා අටම කිව්වා. නවත්වන්න කිව්වෙත් නෑ. මම උනන්දුවෙන් කියාගෙන ගියා. මම ඇහුවා රෝහණ සර්ගෙන් මම යන්නද කියලා. ඒ පාර සුනිල් සර් කිව්වා මෙයාගේ විස්තර ටිකක් ලියා ගන්න කියලා. ආයෙ චිත්‍රපටයට කියල වෙනම හඬ පටිගත කිරීමක් කළෙත් නෑ. ඔය චිත්‍රපටයේ තියෙන්නේ මම ඔඩිෂන් එකේ පරීක්ෂණයට කිව්ව නරසීහ ගාථා. කවුරුවත් හිතුවේ නෑ මෙච්චර මගේ ගායනය ජනප්‍රිය වෙයි කියලා. මම ඒ ගායනයට සම්මානත් ලැබුවා. අදටත් ජනප්‍රියත්වයේ එලෙසම රැඳිලා ඉන්නවා.
ගුත්තිල චිත්‍රපටයේ ඔබේ ගායනයට මොනවගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?
තිස්ස නාගොඩවිතාන මහත්තයා. මියයන්න කලින් ඉඳල මේ චිත්‍රපටයේ වැඩ කරමින් ඉන්නකොට එතුමා කියල තිබුණලු අර නරසීහ ගාථා කිව්ව ළමයාව මේ චිත්‍රපටයේ ගායනා සඳහාත් ගන්න කියලා. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ දිනේෂ් සුබසිංහ. මම මේ චිත්‍රපටයේ කවි උපරිමයෙන් ගොඩක් කළා. දිනේෂ්ගේ ස්ටුඩියෝවේ නමුත් දවසක් කිව්වා. ආයෙත් ඒවා රෙකෝඩ් කරන්න එන්න කියල එදා වැරදීමක් කියල මට යන්න කිව්වා. නැවත දවසකත් ආයෙත් ගෙන්වා. වෙනස් ස්ටුඩියෝවක කවි කිපයක් රෙකෝඩ් කළා. අන්න ඒ කීපය තමයි චිත්‍රපටයේ තියෙන්නේ. මම මේ චිත්‍රපටයේ කිව්ව කවි කීපයක් රෙකෝඩ් කළා. අන්න ඒ කීපය තමයි චිත්‍රපටයේ තියෙන්නේ. මම මේ චිත්‍රපටයේ කිව්ව කවි සියල්ල චිත්‍රපටයේ තිබුණ නම් මම යශෝධරා චිත්‍රපටය කිව්වට වැඩිය හයිලයිට් වෙනවා.
අද ඔබ ක්ෂේත්‍රයේ පැමිණ ලැබූ අත්දැකීම් මත නව පරපුර ගැන මොකද හිතෙන්නේ?
දැන් මිනිස්සු ෂෝ බලන්න එන්නේ කනට ඇහිල විඳින්න නෙමේ. ගායිකාවගේ ඇඳුම් පැලඳුම් බලන්න ගායිකාවගේ හැඩරුව බලන්න මිසක් සිංදුව රස දීමක් කරන්නෑනේ. මට මේ දරුවන් ගැන හිතෙන්නේ දුකක් කියන්න තියෙන්නේ අනේ පව් කියල. අද ප්‍රසංග සංවිධාකයොත් ආරාධනා කරන්නේ එවැනි තාලයේ අයට රසික මනසත් අද හැදිල තියෙන්නේ නෙත් පිනවන්න මිසක් කනපිනවන්න නොවෙයි. අපි ක්ෂේත්‍රයට එන කාලේ යුටියුබ් නෑ. අපි අමාරු යුගයක් පහුකරල ආවේ මේ තත්ත්වයට.
ඔබටත් දුකක් නැද්ද නවපුරපර අද ඉන්න තැන හා ඔවුන් ජනපි‍්‍රයත්වයේ හඹා යාමේ ඉලක්කය දුටු විට?
මම එදා ඉඳලා ගෙනා විධියක් තියනවා. රසිකයෝ මගෙන් බලාපොරොත්තු වූ දෙයක් තියනවා. ඒ දේ මට බිඳ දමන්න බෑ මගේ ජනපි‍්‍රයත්වය වෙනුවෙන් එදා ඉඳලා අදටත් මම ප්‍රවීණයන්ගේ ඇසුරේ ගුරුහරුකම් ලබනවා. නමුත් නිතර දකින්න නෑ. ප්‍රසංගවලට නෑ. වැඩසටහන්වල නිතර දකින්න නෑ. මේ හැමදෙයක් තුළම මමත් ගමනක් යනවා. ජනප්‍රියභාවය රදව ගන්න අඩනිරුවතින් සින්දු කියන්න මම කොහෙන්ම බෑ.
අද සමාජ මාධ්‍ය ජාලා වගේම විද්‍යුත් මාධ්‍යයක් උපරීමයෙන් තියන වකවානුවක ඉනෝකාට හිතෙන්නැද්ද ඔබ දමාගෙන තියන බැරියර් බිඳගෙන මුළුගැන්වී නොසිට ජනපි‍්‍රය රැල්ලට එකතුවෙන්න?
ඉනෝකා අහංගම කියල යුටියුබ් එක සච් කලොත් මගේ ගීත රසවිඳින්න රසිකයන්ට බොහොම පහසුවෙන් පුළුවන්. මගේ ඇඳුම් පැලඳුම් වුණත් වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ මම නිරුවත් වෙනවා කියන එක නොවෙයි. මම නරසිහ ගාථා කිව්ව නැතැත්තියක්. මට අදටත් මිනිස්සු ආදරෙයි. මට ලැබෙන ආදරය ෆේස්බුක් එකෙන් ලැබෙන ප්‍රතිචාරවලින් බලාගන්නත් පුළුවන්. මම හොඳටම දක්ෂයි කියල දන්නවා. නමුත් මම මතුවෙනවට කැමැති නැති කොටසකුත් ඉන්නවා. මුණට කතා කරල යටින් කපල දාන අයත් මේ අතර ඕනෙ තරම් මෙන්න මේ නොපෙනෙන බලවේගය නිරන්තරයෙන් මාන බලන්නේම මාව රසික ප්‍රජාවගෙන් ඈත් කරල තබන්න. මාව පහළට වැටෙනවා බලන්න. ආශා කරන අය ඉන්නවා. මම ඒ අයට වෛර කරන්නේ නෑ. මට කළ හැකි උපකාරයක් මම ඔවුන්ටත් කරනවා. කියන තැන මම ඉන්නවා. මම අදත් හැම දෙයක්ම ජයගෙන තියෙන්නේ මට අහම්බෙන් ලැබුණු දේකින්.
ඒක පුද්ගල ගී ප්‍රසංගයට මනාපයක් නැද්ද?
දැනට නම් නෑ. මම අවුරුදු දාහතේදී නුවරදි ‘සාරංගී’ කියල ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කළා. මහනුවර හින්දු මධ්‍යස්ථානයේ තමයි ඒක පැවැත්වුණේ.
ගායනය හැරුණුකොට තරුණ සිතුම් පැතුම් ඔස්සේ ඔබට ගීත රචනා කරන්නත් හැකියිනේද?
මම ළඟ එහෙම ලියවූ ගීත රචනා ගොන්නක් තියනවා. මම මල්ටි ටැලන්ට් කෙනෙක්. ඒත් ක්ෂේත්‍රයේ ලොකු ලැබීමක් මට නෑ. ෆේස්බුක් ඔස්සේ මම යම් තැනක් රඳවාගෙන ඉන්නවා. අද අපි මිලක් කියන්නේ හැකියාවට නොවෙයි රැකියාවට තමයි මිලක් කියන්නේ. අපේ හැකියාව කියන දේ මුදලින් තක්සේරු කරන්න බෑ. අද අපේ වෘත්තීය ගායනය නම් මම මේකෙන් ලැබෙන දේ මත තමයි මගේ ජීවිතය සැලසුම් කරන්නත් ඕනේ.
දශක තුනකට වඩා වැඩි කාලයක් ගායන ක්ෂේත්‍රයේ නියැළී සිටින ඔබට අදටත් සෙවණැල්ලක් වී සිටින්නේ?
මගේ අම්මා කමලාවිතාන අම්මා තමයි මගේ හැමදේකම සෙවණැල්ල. ආධුනික ගී තරඟ සඳහා ඉල්ලුම් පත්‍ර දැම්මේ සිට මේ දක්වා මම යමක් වෙනුවෙන් ඉදිරිපත් වුණා නම් ඒ හැමදේකටම මාව අරන් ගියේ අම්මා මම යම් තැනකට ඇවිත් තියෙනවා නම් ඒ සියල්ලේම ගෞරවය හිමිවිය යුත්තේ මගේ අම්මාට අදටත් මගේ සෙවණැල්ලමෙන් මා සමඟ තනි නොතනියට යන්නේ මගේ ආදරණීය අම්මා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන