නිවස විචාර හොඳ කලා නිර්මාණ රසවිඳීමේ පිපාසයක් මට තිබෙනවා

හොඳ කලා නිර්මාණ රසවිඳීමේ පිපාසයක් මට තිබෙනවා

ලේඛක-මාෙව්දී උපාලි කුමාරවංශ

by Mahesh
September 5, 2024 12:30 am 0 comment

නවකතා ද්විත්වය අනිද්දා එළිදකී

– මගේ නවකතා කියවූ බොහෝඅය කියන්නේ ඒ ඔවුන්ගේ කතාව කියලා
– “තුන්දෙනෙකුගේ එක කතාවක්” හි තුන්දෙනාගේම විඳවීම එක හා සමානයි
– කාන්තාව දෙස සමාජය හෙළන දෘෂ්ටියට විරුද්ධ පැත්තකින් මම ඇය දෙස බලන්නේ
– ලිවීමේ හැකියාව දැනගත් පාසල් මිතුරෝ මට කියා පෙම්වතියන්ට ලියුම් ලියවා ගත්තා
– විරහව විඳීම අතින් මට හොඳටම දැනුණේ ‘පරසතු මල්’ චිත්‍රපටය : ප්‍රේමය ඉදිරියේ පිරිමියා මටසිලුටුයි
– අද තරුණ පිරිස වල්මත් වෙලා

ජනප්‍රිය නවකතාකරුවකු, ගීපද රචකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන උපාලි කුමාරවංශගේ නවතම නවකතා ද්විත්වය ‘තුන්දෙනෙකුගේ එක කතාවක්’ සහ “දිය කැටයම් ‘ එළිදැක්වීම අනිද්දා (07) මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ. එකී කාර්යය පිළිබඳවත් කුමාරවංශයන්ගේ ලේඛන කලා දිවිය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් හෙතෙම සරසවිය හා මෙසේ එක්විය.

ඔබේ නවතම නවකතා ද්විත්වයේ “තුන්දෙනෙකුගේ එක කතාවක්” සඳහා ඔබ පාදක කරගන්න සිද්ධිය පිළිබඳ හඳුන්වා දුන්නොත් …?

මෙහි ප්‍රධාන චරිතය කාන්තාවක්. දරුවකු නොමැතිවීම නිසා ඇය මානසික ඇඳවැටීමකට ලක්වෙනවා. ඇගේ සැමියා දුර්වල පුද්ගලයෙක්…ඔහුට සිය බිරිඳට දරුවකු ලබාදෙන්න බැහැ. ඇගේ අරමුණ වෙනුවෙන් ඇය වෙනත් තරුණයකු සමඟ යහන්ගත වෙනවා. එකී සිද්ධිය සැමියා දැනගත්තද ඔහු එය නොදත් සේ ඉන්නවා. ඒ ඇගේ බලාපොරොත්තුව වෙනුවෙන්, ඇගේ සතුට වෙනුවෙන්. එම සිද්ධියේදී බිරිඳත්, සැමියත්, තරුණයාත් යන තිදෙනාගේම යටි සිත් තුළ යම් කැලඹීමක්, ප්‍රශ්නකාරී බවක් ඇතිවෙනවා….. තිදෙනාගේම මනෝභාවයන් මෙහිදි ප්‍රශ්න කෙරෙනවා. තුන්දෙනාම මානසික වශයෙන් එකම අර්බුදකාරී තත්ත්වයක ඉන්නේ. ඒ නිසයි “තුන්දෙනෙකුගේ එක කතාවක්” ලෙස මේ නවකතාව නම්කළේ. පවුල් සංස්ථාවේ සංකීර්ණ සිදුවීමක් චරිත ත්‍රිත්වයක් හරහා ගෙනඒමක් මෙයින් සිදුවෙන්නේ

මෙහි ප්‍රධාන චරිතය වන්නේ කාන්තාව ද….?

මෙහි ප්‍රධාන චරිතය ලෙස කාන්තාව යොදාගත්තත් මේ චරිත තුනම ප්‍රධාන චරිත ලෙස සලකන්න පුළුවන් . තුන්දෙනාම මුහුණදෙන ගැටලුව සංකීර්ණයි සහ තුන්දෙනාගේම විඳවීම එක හා සමානයි.

“දිය කැටයම්” දෙසට හැරුණොත්…..?

මෙහි සිදුවීම මේ සමාජයේ අපි අත්දකින සිදුවීමක්….එම සිදුවීම කේන්ද්‍ර කරගෙන මා විසින් “දිය කැටයම්” නමින් කතාවක් ගොඩනැඟුවා. විවාහක කාන්තාවක් දරුවෝ දෙන්නා එක්ක ඉන්නවා සැමියාගෙන් දුරස්වෙලා. ඔවුන් දික්කසාද නොවී වෙන්වෙන් වශයෙන් ඉන්නේ. එම කාන්තාව සැමියාව විවාහ කරගත්තේ ඇත්තටම ආදරය නිසාමද කියන ප්‍රශ්නයත් මෙහිදී කතා කෙරෙනවා. “දිය කැටයම් ” කියන්නේ ලස්සන කලා නිර්මාණයක් වුවත් එය රැඳෙන්නේ නැහැ දියවී යනවා. “දිය මත නොරැඳී මියයන” යනුවෙන් වගන්තියකුත් මම මෙයට ඇතුළත් කළා. එකී අර්ථකථනය විග්‍රහ වන ලෙසයි මේ නවකතාව ලියවී තියෙන්නේ

නවකතාකරණයේදී විදෙස් නවකතා හෝ වෙනත් සාහිත්‍ය ශානරයක ආභාසයක් ඔබ ලබාගන්නවාද…..?

ඇත්තෙන්ම නැහැ .මම පොතක් ලියන කාලයේදී සාමාන්‍යයෙන් කිසිම පොතක් කියවන්නේ නැහැ. කිසිම පොතක් ගැන ඔළුවට අදහසක් ගන්නෙත් නැහැ. එය පරිකල්පනයට බාධාවක් වගේ හිතෙනවා. චරිත ගොඩනැඟීමේදී, දෙබස් ලිවීමේදී මෙහෙම දේවල් වෙන්න පුළුවන් ද කියා කවුරුන් හෝ ඇහුවොත් මම දියයුතු පිළිතුර ගැන සිතනවා.එහිදී මම නිවැරදි වෙන්න ඕන. ඒ නිසා පොතක් ලියද්දි බාහිර කල්පනාවල යෙදෙන්නේ නැහැ .

ඔබේ නවකතාවලට ලැබෙන ප්‍රතිචාර මොනවගේද…..?

මගේ බොහෝ නවකතා කියවපු අය ඇවිත් මගෙන් අහනවා “ඔයා කොහොමද මේක ලිව්වේ, මේ මගේ කතාවනේ කියලා. මගේ “දූවිලි වැස්ස” නවකතාව ජනප්‍රිය වුණා. මේ කතාව ලිව්වට පස්සේ ජපානයේ ඉඳන් කාන්තාවක් කතා කරලා කිව්වා “ඔයා ලියලා තියෙන්නේ මගේ දුවගේ කතාවනේ” කියලා. “ප්‍රේමවන්තයකුගේ පාපොච්චාරණයක්” නමැති මගේ නවකතාව ගැනත් එක්තරා කාන්තාවක් ඇවිත් මගෙන් ඇහුවා “ඔයා කොහොමද මේ කතාව ගොඩනැඟුවේ” කියලා. ඇය කීවේ “මේ තියෙන්නේ මගේ මල්ලිගේ කතාව” කියලා. තවත් තරුණයෙක් කතාකරලා කිව්වා “මේක තනිකරම මගේ කතාව, මේ පොත මගේ හිටපු පෙම්වතියට තැපෑලෙන් යැව්වා” කියලා. එසේ මගේ සෑම නවකතාවකම යම් පුද්ගලයකුගේ ජීවිතයට සමීප වූ යමක් තිබෙනවා . ඒවාට ඉතා හොඳ ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.

මේ නවකතා ද්විත්වයේම කාන්තාවක් ඉස්මතුවීම පෙනෙනවා. ඔබේ නවකතාවවල කාන්තාවට

විශේෂ ස්ථානයක් ලබාදෙනවද….?

කාන්තාව දෙස සමාජය හෙළන දෘෂ්ටියට විරුද්ධ පැත්තකින් මම කාන්තාව දෙස බලන්නේ. ඒ වගේම පිරිමියාගේ පැත්තට වඩා කාන්තාවගේ පැත්තෙන් බලද්දි මට ඒ චරිතය ගොඩනඟන්න ලෙහෙසියි. මමත් පිරිමියෙක් නිසා පිරිමින් සිතන පැත්ත ගැන මට සිතාගන්න පුළුවන්. මම අලුතින් කල්පනා කරලා ගැහැනිය සිතන පැත්තෙන් සිතන්න උත්සහ කරනවා..එය සාර්ථකයි කියා මට ලැබෙන ලිපිවලින් සහ පෞද්ගලිකව මම සිතනවා.

ලේඛන කලාවේ ආරම්භක අවධියට ගියොත් ….?

මම මුලින්ම ඉගෙනගත්තේ තලවතුගොඩ සිද්ධාර්ථ විද්‍යාලයේ. ඒ පාසලේ “ධාරණ” නමින් බිත්ති පුවත්පතක් පටන්ගත්තා. ඒකට ලිව්වා. ඒ කාලයේම මම ආසාවට වගේ පිටු 80 තනිරූල් පොතක “සඳ තනියම” නමින් කෙටිකතා ත්‍රිත්වයක් ලියලා ඒක දන්න හැමෝටම දුන්නා කියවලා ඒ ගැන පොතේ සටහන් කරන්න කියලා. ඉන්පසු මම ලුම්බිණි විද්‍යාලයට එනවා. ඒ සමයේ කාන්තා පුවත්පත් හරිම ජනප්‍රියයි. මට අවස්ථාවක් ලැබුණා පුවත්පත් කිහිපයකට කතා ලියන්න. ඒ මගේ උසස්පෙළ අවධිය. පාසල් සමයේ නිතරම කෙටිකතා එහෙම ලියන්න පෙලඹුණා. හොඳ ගීතයක් රසවිඳීන්න, හොඳ නවකතාවක් කියවන්න, හොඳ චිත්‍රපටයක් නරඹන්න ඉස්සර ඉඳන්ම මගේ පිපාසයක් තිබුණා. මගේ ලිවීමේ හැකියාව හඳුනාගත් පාසලේ කොල්ලෝ, කෙල්ලන්ට ලියුම් ලියාගත්තේ මට කියලා.

නාට්‍යකරණයටත් ඔබ සම්බන්ධ වුණා නේද…..?

ලුම්බිණියේ ඉද්දි වේදිකා නාට්‍යයක් කරන්න ආසාවක් ඇතිවුණා.ඒ කාලයේ වේදිකා නාට්‍ය ජනප්‍රියව තිබුණේ. “උතුරේ රාහුල, සාජන්ට් නල්ලතම්බි ” වැනි නාට්‍ය ඒ කාලයේ පැල්බැඳගෙන දිව්වේ. මුලින්ම මම ආර්. ආර්. සමරකෝන්ගේ “අහසින් වැටුණු මිනිස්සු” වේදිකා නාට්‍යයේ දර්ශනයක් කළා.ඊටපස්සේ මමම වේදිකා නාට්‍යයක් කරනව කියා හිතලා “පරෙවි කිරිල්ලී” නමින් වේදිකා නාට්‍යයක් ලිව්වා . ඒ කාලයේ අපේ ගෙවල් පාරේ තමයි නිහාල් ජයවර්ධන හිටියේ. ඔහු මුණගැසුණම මම නාට්‍යයක් කරන අදහස කිව්වා. ඔහු කිව්වා නාට්‍යය කරන්න කලින් පිටපත ධර්මසිරි ගමගේ මහතාට පෙන්වමු කියලා. එතුමා පිටපත කියවලා මට කිව්වා “තරුණයෙක්ගෙන් දැක්ක ඉතා ප්‍රාණවත් දෙබස් තියෙන නාට්‍යය මේක” කියලා. ඒ කතාව මට විශාල පන්නරයත් වුණා. ඉන්පසු ඒ වේදිකා නාට්‍යය කළා. ආනන්ද වික්‍රමගේ, මියුරි සමරසිංහ, සුරේනි සෙනරත්, උදයකුමාරි, නිහාල් ජයවර්ධන වැනි පිරිසක් රඟපෑවා..එහි සිටි ආධුනිකයා මම. ඒත් ප්‍රවීණ හැමෝගෙම සහය මට ලැබුණා. ඒ ආකාරයට වේදිකා නාට්‍යයක් කිරීමෙන් තෘප්තියක් ලැබුවා. එයින් ඉදිරියට යායුතුයි කියා සිතුණේ නැහැ. ආත්ම තෘප්තිය වෙනුවෙනුයි ඒ වේදිකා නාට්‍යය කළේ.

ඔබේ රැකියාව කලා කටයුතුවලට බාධාවක් වුණේ නැද්ද…?

කොහෙත්ම නැහැ .මම මොඩර්න් පොත් සමාගමේ කළමනාකරුවෙක් ලෙස සේවය කරනවා. ඒවගේම මම රැකියාවට බොහෝම ආදරෙයි.. මට කොච්චර කලා කටයුතුවලට අවස්ථාව ලැබුණත් රැකියාව කරන ස්ථානයට හානියක් කරන්න හිතුවේ නැහැ. ඒ ආයතනයෙන් බොහෝ අය හඳුනාගන්න ලැබුණා. මට රජයේ රැකියාවක් ලැබුණත් ඒකට නොගියේ ඊට වඩා මේ පොත් ප්‍රකාශන ආයතනයේ උපරිම නිදහස, තෘප්තිය තිබෙනවා. රැකියාවට සහ එහි හිමිකරුවන්ට මගේ විශාල ගරුත්වයක් තියෙනවා

මොඩර්න් පොත් සමාගම සමඟ ඔබේ ගනුදෙනුව සිදුවූ ආකාරය කෙසේද…..?

තාත්තා ඉස්සර මේ ආයතනයේ සේවය.කළා.ඔහුට සංස්කෘත, දෙමළ, හින්දි මනාව හසුරවන්න පුළුවන්. ඉස්සර තාත්තා වැඩකරද්දි මම ඔහුට බත් එක ගිහින් දෙන්න යනවා. ඔහු කෑම කන අතරේ මම අකුරු අමුණන්න පුරුදු වුණා. එහි එවක හිමිකරු වුණේ ආරියපාල ගුණසේන මහතායි… දැන් ඉන්නේ එතුමාගෙ පුත් සූර්ය කුමාර් ගුණසේන මහතා. ආයතනයේ හිමිකරුවන් තාත්තාට කැමැතියි. ඒ විශ්වාසය මත මට ඒ ආයතනයේ රැකියාව ලැබුණා. රැකියා ස්ථානයේදී සෑම අංශයකම ප්‍රවීණයන් ඇසුරට ලැබුණා. බළන්ගොඩ ආනන්ද මෛත්‍රය හාමුදුරුවෝ, පණ්ඩිත ඒ. දසනායක, පණ්ඩිත කේ.ඩී. කුලතිලක, පාලිත සෝමකීර්ති, ගිරිමානන්දේ හාමුදුරුවෝ වැනි භාෂා ඥානය අතින් විශිෂ්ටයන් ඇසුරු කරන්න, ඔවුන්ගේ පොත්පත් පරිහරණයට අවස්ථාව ලැබුණා.

මුල්ම නවකතාව ගැන මතකාවර්ජනය කළොත් …?

“වස්සානයේ සටහනක් ” මගේ මුල්ම නවකතාව. එය පළකරගන්න මගේ මිතුරෙක් උදව් කළා. ඒ නවකතාව සාර්ථක වුණා. පොත එළිදැක්වීම වෙනුවෙන් විශාල උත්සවයකුත් තිබ්බා. වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, අජන්තා රණසිංහ, ප්‍රනීත් අභයසුන්දර වැනි ප්‍රවීණයන් එහිදී දේශන පැවැත්වුවා. ප්‍රකාශන ආයතනයක් විසින් එළිදැක්වූ මගේ මුල්ම ග්‍රන්ථය “සුමිත්තලාගේ ගෙදර” නවකතාව. එය සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුවේ. එහිදී එච්.ඩී. ප්‍රේමසිරි මහතා මට විශාල උදව්වක් කළේ පොත එළිදැක්වීමෙන්….එහි කවරය ඇන්ඳේ මගේ දුව. එයා එවිට 03 වසරේ ඉගෙනගත්තේ.

ප්‍රේම් දිසානායක ඔබේ හිතවතෙක් නේද….?

කලාකරුවෙක්, නිර්මාණ ශිල්පියෙක් ලෙස එතුමාව ඇසුරු කරනවා. කලින් කිව්ව වගේ හොඳ පුද්ගලයන්, හොඳ නිර්මාණ ඇසුරු කිරීමේ පිපාසයක් මට තියෙනවා. ඔහු යටතේත් මම පොත් කිහිපයක් මුද්‍රණය කළා. “මුහුද” නවකතාව තමයි ඔහු එක්ක මම එළිදැක්වූ පළමු නවකතාව. මගේ මුල්ම කවි පොතත් නිකුත් කළේත් ප්‍රේම්.

ඔබ තුළ ගීපද රචකයෙකුත් සැඟව සිටිනවා….?

මෙහෙමයි. ඉස්සර ඉඳන්ම ගමේ සමිතියේ වැඩසටහන්වලට මම භක්ති ගීත ලියනවා. එක්තරා අවස්ථාවක කීර්ති පැස්කුවල් මට කියනවා සින්දු 02ක් ලියා දෙන්න කියලා. ඔහු මගේ හැකියාව දැනගත්තා. මම මුලින්ම ලියන්නේ “සමනල කන්ද සිපගෙන එන මල් සුවඳ වැනි’ නමින් අම්මා ගැන ගීතයක්. සීඩී තැටියකට මගෙන් මුලින්ම ගීතයක් ලියවෙන්නේ ළමයින් ගැන ගීතයක්…එය නවරත්න ගමගේ සංගීතවත් කරනවා. ආධුනිකයන් දෙන්නෙක් එය ගායනා කරනවා. “තරු වැස්සක්” නමැති ඛ්ච් තැටියටයි මට ගීත ලියන්න අවස්ථාව ලැබුණේ. “තරු වැස්සක්” කියන්නේ කීර්ති පැස්කුවල්ගේ සංගීත පන්තියේ ළමුන් වසරකට වරක් නිකුත් කරන කැසට්පටයක් . ගීත රචනයට කවුරු හෝ ආරාධනා කළොත් භාරගන්නවා මිස එයට හඹායාමක් වෙන්නේ නැහැ. ලාල් ප්‍රියදේවගේ චිත්‍රපටයක් වන “නුහුරු වෑයම” සඳහාත් ගීතයක් ලිව්වා..

චිත්‍ර අඳීන්න වගේම වෙනත් කලා දක්ෂතාත් ඔබට ඇතැයි මා සිතනවා ….?

මම කිසිම දෙයකට හඹායාමක් නැහැ . මට මූලික වෙන්නේ තෘප්තියයි. නවකතා ලියනවා, ගීත ලියනවා, චිත්‍ර අඳීන්නත් පුළුවන් . ගොක්කොළ වැඩත් කළා. ගොක්කොළ පෝරු නිර්මාණය කර තිබෙනවා. නාට්‍ය රචනා කළා, අධ්‍යක්ෂණය කළා, සමාජ සේවයත් කරනවා. ඒ සියලු දෙයින් මම බලාපොරොත්තු වෙන්නේ තෘප්තියයි.

නවකතාකරණයේදී ඔබ විශේෂ කරුණක් වස්තුවිෂයය කරගන්නවද….?

මෙහෙමයි, ආදරයේදී විරහව තුළ තිබෙන්නේ රසයක්. ඒවා තමයි සදාකාලික නිර්මාණ ලෙස රැඳී තිබෙන්නේ. අදටත් ‘ගොළු හදවත, බඹා කෙටූ හැටි, මළවුන්ගේ අවුරුදු දා, රෝමියෝ ජුලියට්” ආදී නවකතාවල තිබූ විරහව නිසා තමයි ඒ නවකතා සදාතනික වෙන්න හේතුව. “බඹා කෙටූ හැටි” නවකතාවේ විරහව කියවෙන තැන් මට හරියට දැනුණා. ඒවගේම විරහව වින්දේ පිරිමියා. ප්‍රේමය ඉදිරියේ පිරිමියා තමයි මටසිළුටු වෙන්නේ. ඒ නිර්මාණ සදාතනික වුණේ පිරිමියාගේ තිබූ කැපකිරීම මතයි. මමත් නවකතාකරණයේදී විරහවට දැඩි කැමැත්තක් දක්වනවා. මට ලිවීමේදී ඒ දේ දැනෙනවා . නවකතාකරණයේදී එක් එක් ලේඛකයන්ගේ ආභාසය ලැබුවා කියන්නත් බැහැ . විරහව විඳීම අතින් මට හොඳටම දැනුණේ ගාමිණී ෆොන්සේකාගේ “පරසතු මල්” චිත්‍රපටය. දැනට මම ඒ චිත්‍රපටය 29වරක් නරඹා තිබෙනවා .

නවකතාකරුවකු ලෙස ඔබේ ගමන්මග දෙස නැවත හැරී බැලුවොත් සහ අද නවකතාව තිබෙන ස්ථානය ගැන මොකද සිතෙන්නේ …..?

පෞද්ගලිකව මම මගේ ගමන ගැන තෘප්තිමත්.මම මිනිස්සු අතරට ගිහින් තියෙනවා කියන හැඟීම මට තිබෙනවා .ප්‍රකාශන ආයතනවලින් මගේ නවකතාවක් භාරගන්නවා කියන්නේ මට යම් පිළිගැනීමක් තිබෙනවා කියන එකනේ. ඕස්ට්‍රේලියාවේ සිට කෙනෙක් මට ඡායාරූප සහිතව එවා තිබුණා මගේ “ඉන්දීවරී” පොත ඒ රටේ පොත්හලකින් මිලදී ගත්තා කියලා. ඒ වගේම කනගාටුවක් තිබෙනවා අද පොත් පිළිබඳ සාධාරණ විවේචනයක් සමාජය තුළ නොමැතිවීම සම්බන්ධව. පොත් කියවන අය ඉන්න පුළුවන්. එහෙත් විචාරය අන්තිම බින්දුවයි. විචාරය තුළින් පොත් ලිවීමට පෙලඹවීමක් කෙරෙන්නේ නැහැ. අද හොඳ පොත් නිකුත් වෙනවා. සාහිත්‍ය මාසයේ කොතරම් පොත් එළිදක්වනවද. එහෙත් ගුණාත්මක බවේ ගැටලුවකුත් තිබෙනවා. “අහවල් කර්තෘ ලිව්වොත් ඒක හොඳ පොතක්, ඒකට සම්මාන ලැබෙනවා ” වැනි මතයන් සමාජයේ තිබෙනවා. එහෙත් විචාරක, පාඨක ඇස නොගැටුණු හොඳ ගුණාත්මක පොත් තිබෙන්න පුළුවන්. ඒ පොත්වලට නිසි විචාරයක් නොලැබී තිබෙන්න පුළුවන්. එහෙම ලියන අය එක පොතක් ලියා නවතින්න පුළුවන්, එම නිර්මාණයට පිළිගැනීමක් නැති නිසා. යම් කෙනෙක් පොතකට සම්මානයක් ගත්තොත් බොහෝ අය සිතනවා ඒක තමයි හොඳම පොත කියලා. පසුකාලයේ දුර්වල පොතක් ඔහු ලිව්වත් අර සම්මාන ගත්ත කෙනානේ කියලා ඔහේ මිලදී ගන්න තත්ත්වයක් තියෙන්නේ. සම්මාන උළෙලවලත් යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා

අද වත්මන් තරුණ පරපුර පිළිබඳ ඔබේ අදහස දැනගන්න කැමැතියි ….?

අපේ කාලයේ සිට කියවන්න කැමැති අය කියවන්න උනන්දුවෙලා තියෙනවා. ඒකට අලුත් අයත් බිහිවුණාදෝ කියා සැකයක් මට තිබෙනවා. අද තාක්ෂණයත් පරිහරණය කරන, කියවීමේ රුචියත් අහිමිවුණු මවුපියන් ඉන්නේ. ඔවුන්ගේ දරුවනුත් ඒ තැනට යන්න ඉඩ තියෙනවා. නව තාක්ෂණය ඇතිවීම හොඳයි .ඒත් එය පරිහරණය කිරීමේ වැරැද්දක් තිබෙනවා. අද තරුණ පිරිස ඇත්තෙන්ම වල්මත් වෙලා. ඒක පැහැදිලියි.ඒවගේම රැල්ලට හඹායාමකුත් තිබෙනවා. අපි රැල්ලකට යන්න අවශ්‍ය නැහැ. පැවැත්මක් ඇතිවෙන දෙයක් කරන්න ඕන. අලුත් පරපුර තුළ නිසි කියවීමක් නැහැ. ඒවගේම ඒ කාලයේ අපි රසවින්ද දේවල් අද අපේ ඇස් ඉදිරිපිට නැතිවී යනවා. ඒක කනගාටුවක්.

ඔබේ අනෙක් නවකතා සමඟ මෙම නවකතා දෙකෙහි යම් විශේෂත්වයක් තිබේද……?

මගෙන් බොහෝදෙනෙක් ඉල්ලිම් කළා ප්‍රේම කතා කලාවෙන් බැහැරවෙන්න කියලා. මෙහි ප්‍රේමයකුත් තිබෙනවා. එහෙත් මෙහි යොවුන් ප්‍රේමයෙන් බැහැරව මිනිස් මනස පිළිබඳවත් යම් විග්‍රහයක් කෙරෙනවා. ඒක මෙතැනදී විශේෂයි. අනෙක් නවකතාවලට සාපේක්ෂව “තුන්දෙනෙක්ගේ එක කතාවක්, දිය කැටයම් ” වෙනස්ම තලයේ නවකතා දෙකක්..

ඔබේ ඉදිරි නිර්මාණ සැලසුම් ගැන කතා කළොත් ….?

මට ආසාවක් තිබෙනවා හොඳ චිත්‍රපටයක් කරන්න. එයට තිර රචනයෙන් දායකවෙන්න අදහසක් තිබෙනවා. ඒවගේම ‘දූවිලි වැස්ස” නවකතාවෙන් චිත්‍රපට තිර රචනයක් ලියා තිබෙනවා. “පොඩි හාමුදුරුවෝ ” නමින් තිර පිටපතක් ලියාගෙන තිබෙනවා. ඒවාට නිෂ්පාදන අර්ථපතීත්වය සම්බන්ධයෙන් කවුරුවත් මුණගැසුණේ නැහැ. ඒවගේම ගීතමය පැත්තෙන් කතාබහට ලක්නොවූ නන්දා පතිරණ වැනි පැරණි ගායිකාවන් එකතු කරගෙන හොඳ ප්‍රසංගයක් කරන්න හිතාගෙන ඉන්නෙ. තරුණ පරපුර විනාශ කරන්නේ මෙවැනි අයගේ ගීතනේ කියා එහිදී අපට පෙන්වන්න පුළුවන්…ගීත නාටකයක් කරන්න අදහසක් තිබෙනවා . එය ලියා අවසන්. එය පාසල්වල පෙන්වන්න අදහසකුත් තියෙනවා. මේ සෑම දෙයක්ම කරන්න ආර්ථිකයත් බලපා තිබෙනවා

මෙකී ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වෙන්නේ අනිද්දා නේද….?

ඔව්, අනිද්දා හෙවත් සැප්තැම්බර් 27සෙනසුරාදා සවස 2:30ට මහරගම දෙහිවල පාරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මේ පොත් දෙක එළිදක්වනවා. එදාට මම සිතාගෙන ඉන්නවා මට උදව් කළ බොහෝ අයට ස්තුති කිරීමක් කරන්න, ඔවුන්ටත් ස්තුතියි කියන්න. අපේ ජීවිතවල ස්තුති කළයුත්තන්ට ස්තුති කරන්න අපට සමහර වේලාවට මගහැරෙනවා. සමහරු අපට කලින් ජීවිතයෙන් සමුඅරන්. නැත්නම් අපට සමුගන්න වෙනවා. එදින ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වෙන්නේ ලංකාවේ මුල්වරට පොත් එළිදැක්වීමක් සිදුකළ එච්.ඩී. ප්‍රේමසිරි, පියසේන වික්‍රමගේ දෙදෙනායි. ඒ එක්කම ප්‍රේම් දිසානායකත් සහභාගි වෙනවා. මගේ අම්මා සහ තාත්තා දෙදෙනාටයි මුලින්ම පොත් දෙක පිළිගන්වන්නේ. පොත් දෙක ගැන විවේචනයක් බලාපොරොත්තු වෙන්නේ පැමිණෙන පාඨකයන් හරහායි. ඒවගේම එදිනට කීර්ති පැස්කුවල් මගේ අලුත්ම ගීතය ගායනා කරනවා. හැමෝටම ප්‍රාසාංගික අත්දැකීමක් එහිදී විඳගන්න පුළුවන්. මා විසින් චිත්‍රපටයකට ලියූ අලුත්ම ගීතයක්ද එදිනටම එළිදැක්වීමටත් නියමිතයි.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT