Home » හෙළ සංගීත කලාව පෝෂණය කොට නිහඬවම නික්ම ගිය සංගීතවේදියා

හෙළ සංගීත කලාව පෝෂණය කොට නිහඬවම නික්ම ගිය සංගීතවේදියා

by Thanushika
February 13, 2025 12:28 pm 0 comment

සංගීතය යනු ලොවටම ආමන්ත්‍රණය කළහැකි සුන්දර කලාවකි. මියුරු නාද රටා, සවන පිනවන ස්වර සමඟ එක්ව තැනෙන ගීතයකින් ලොවක් සනසාලිය හැකිය. දෙසවනට මිහිරි සංගීතය දිව ඔසුවකි. එවන් මියුරු සංගීතයක් මැවීමට අපූරු සංගීතවේදියෙක් සිටිය යුතුය. වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන්, සංගීත අධ්‍යක්ෂකවරුන්, පද රචකයන් බොහෝය. එයින් සංගීත ලොව නම පවතින සේ නිර්මාණ කළ නිර්මාණකරුවන් බොහොමයක් ඇත. එයින් කොටසක් නම කියූ සැණින් රටම හඳුනන සංගීත ශිල්පීන් බවට පත්ව ඇත.තවත් කොටසක් සංගීත විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන් නිහඬ සේවයක් ඉටු කරමින් හෙළ සංගීත කලාව පෝෂණය කරන්නෝය. ඔවුන් ප්‍රසිද්ධිය පසු පස හඹා යනවා වෙනුවට සංගීත කලාව මතු පරපුරට දායද කිරීමට අපමණ වෙහෙසක් දරති. එසේ සංගීත කලාව පෝෂණය කර නිහඬවම තම ජීවන ගීතයට සමුදුන් දක්ෂ සංගීතවේදීන් අපේ රටේ කොතෙකුත් ඇත. මොරටුව ප්‍රදේශයේ විසූ අමරසිරි මුණසිංහ සංගීතවේදියා ද රටට සංගීතයෙන් හැකියාවන් පෙන්විය හැකි මතු පරපුරක් දායාද කර නිහඬවම නික්ම ගිය සංගීත ගුරුවරයෙකි. එසේ නික්ම ගිය අමරසිරි මුණසිංහ ජ්‍යෙෂ්ට සංගීතවේදියා වෙනුවෙන් තබන සටහනකි මේ. එතුමන්ගේ ජීවන ගීතය ගලා ගිය ආකාරයත් එතුමන්ගේ ජීවන ගීතයේ වටිනා දෑ ඔබ සමඟ බෙදාහදා ගැනීමටත්, එතුමන්ගේ ගුණ සමරන්නටත් සරසවිය සමඟ එක්වූයේ නර්තනාචාරිනී ජනාදරී සල්ගාදුයි.

අමරසිරි මුණසිංහ සංගීතවේදියා කියන්නේ ඇත්තටම වටිනා ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන්. තමන්ගෙන් ශිල්ප ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ ජීවිතවල අඳුර නැති කළ කෙනෙක්. එතුමා කලාව තුළින් තමාගේ ජීවිතය ගොඩනඟා ගන්න උත්සාහ කරපු කෙනෙක් නෙවෙයි. අමරසිරි මුණසිංහ මහතා ගතකළේ සරල චාම් ජීවිතයක්. ජීවිතයෙන් සමු ගන්නා තුරුම. එතුමා නිතරම උත්සාහ කළේ සංගීතයෙන් දැහැමි සමාජයක් ගොඩනැඟීම පමණයි. තමා සතු ශාස්ත්‍රය උගන්වා කලාකරුවෙක් වෙන්න, සංගීත ගුරුවර ගුරුවරියන් වෙන්න, බොහෝ අයට දොරඟුළු විවර කර දුන් කෙනෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. එතුමා ගුරු වෘත්තියේ ගෞරවය රැකගනිමින් ජීවත් වූ පුද්ගලයෙක්.

මට ඔහුව මුණගැසෙන්නේ හරි පුදුම විදිහට. මම පුංචි කාලේ ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ. ඒ හැත්තෑ අට, හැත්තෑ නවයේ කාල වකවානුවේ. එහිදී මට හමුවෙනවා සුන්දර චරිතයක්. ඒ පාසලේ නැටුම් ගුරුවරිය නෙළුම් මෙන්ඩිස් මහත්මිය. ඇයගේ නර්තන අංගවලට සංගීතයෙන් සහය වෙන්න ආව සංගීත ගුරුවරයෙක්. සංගීතයට ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්. ඒ තමයි අමරසිරි මුණසිංහ මහතා. ඔහු අපේ නැටුම් ගුරුවරිය වන නෙළුම් ටීචර්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා.

ඔවුන් දෙදෙනාම 1975 දී එකම පාසැලක ඉගැන්වීම් කටයුතු කරල තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම විජයබා මහා විද්‍යාලයේ. ඒ දැන හඳුනා ගැනීමෙන් පසුව තමයි 1978 දී ඔවුන් දෙදෙනා විවාහ දිවියට ඇතුළත් වී තිබෙන්නේ. අපි පුංචි කාලේ වේල්ස් කුමරි විද්‍යාලයේ නැටුම් කරද්දී සංගීතය සපයන්න එන්නේ අමරසිරි මුණසිංහ සර්. ඔහුත් සමඟ ආවේ ලංකාවේ දක්ෂ වාදන ශිල්පීන්. ආනන්ද පෙරේරා, නන්දන ලියනගේ (ජනප්‍රිය ගායක ආත්මා ලියනගේ ගේ සහෝදරයා) වැනි අය. බෙර වාදන මුසුවූ සංගීතයෙන් තමයි නර්තනය සඳහා යොදාගත්තේ. අපි ඉතාමත් ඕනෑකමින් තමයි නර්තනය සඳහා ඒ කාලේ සහභාගි වුණේ.

අමරසිරි මුණසිංහ සර් ඒ කාලේ ඉගැන්වූයේ රොයල් ප්‍රයිමරි කියන පාසැලේ. 1978 දී. පසුව ඔහු දෙහිවල ශාස්ත්‍රානන්ද විදුහලේ සංගීත ගුරුවරයා ලෙස සේවය කළා. විශ්‍රාම යනතුරුම. ඔහු පාසැලේ ගුරුවරයෙක් ලෙස සේවය කරන කාලේ 1984, 1985 වර්ෂවල මොරටුවේ මහ පල්ලිය පාරේ පල්ලියේ (මොරටුවේ හෝලි එම්මානුවෙල්) පංති පැවැත්වූවා. ඔවුන් දෙපළ එකතු වෙලා සංගීතය සහ නැටුම් ඉගැන්වූවා. මමත් ඒ නැටුම් පංතියේ සිසුවියක්. ඔහු ගුරුවෘත්තියට අමතරව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගීත ශිල්පියෙක්. ඒ වගේම ඔහු ජන සංගීතය කෙරෙහි දක්ෂයෙක්. ඔහු ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් පවා කරල තියෙනවා. ලංකාවේ දක්ෂ සංගීත ශිල්පීන් වූ කලණි පෙරේරා, ඩී.ඩී.ගුණසේන වැනි ප්‍රවීණයන් ඔහුගේ ගී වලට සංගීතය සපයා තිබෙනවා. ඔහුගේ මියුරු හඬින් ගායනා කළ ලස්සන ගීත කිහිපයක් තියෙනවා .

එල්ලීගෙන
තිරික්කලේ…
ආවෝතින් නුඹත් පුතේ…
ගෙජ්ජි ගිගිරි නද අතරේ
රෑ දවල් මං මාවත නුඹ තනිවේවි
එල්ලීගෙන තිරික්කලේ
නුඹේ සුහුඹුල් සිතට හොරෙන්
කම්මැළිකම ඉහවහ ගෙන දො..
පමා වුණැයි නොසිතන්නේ…
ගුරු ගෙදරට දුවපන් මගේ හිරිමල් පුතුනේ.

මේ තමයි ඔහු විසින් ගායනා කරපු ඉතා අපූරු ගීතයක කොටසක්. එහි පද රචනය අයි. ඩී ජයතිස්ස. එය සංගීතවත් කරල තියෙන්නේ තිස්සසිරි පෙරේරා. එවැනි තවත් අපූරු ගීත කිහිපයක් ඔහු විසින් ගායනා කරල තියෙනවා. ඔහු නිහඬවම මේ දස්කම් පෑවා පමණයි. ප්‍රසිද්ධියේ ප්‍රසංගවලට සහභාගී වීමට මැළි කමක් දැක්වූවා.

1979 දී ස්වාධීන රූපවාහිනී සේවයේ සංගීත වැඩසටහන් සඳහා ඔහු සහභාගී වුණා. එහිදී නර්තනය සඳහා අප අතරින් සමුගත් ප්‍රවීණ නර්තනාචාරිනී ශ්‍රීමතී පද්මිණී දහනායක ආරියදාස මහත්මිය නර්තනයෙන් දායක වුණා. ඉන්පසු මමත් නර්තනයෙන් එකතු වෙලා තියෙනවා ඔහු සහභාගි වූ වැඩසටහන් සඳහා. ඔහු තම ගෝලයන්ව විභාග වලින් සමත් වෙන්න ශිල්ප ලබා දුන්නා.

ඔහු තමන් තනියම ජනප්‍රිය වෙන්න කැපී පෙනෙන්න උත්සාහ නොගත් චරිතයක්. අමරසිරි සර් නිතරම තමාගේ භාර්‍යාව වූ නෙළුම් ටීචර්ට තමයි සහය දුන්නේ. ඔහු සංගීතයට කෙතරම් දස්කම් දැක්වූවත් තනිව ඔහුගේම නමින් ප්‍රසංගයක්වත් පවත්වා නැහැ. නෙළුම් ටීචර් කරපු ප්‍රසංගවලට ඔහු උදව් කරමින් ඇයගේ නර්තන කටයුතුවලට සංගීතය සැපවූවා පමණයි සිදු කළේ. ඔවුන් දෙදෙනාම ඩිප්ලෝමාධාරීන්. එකල උපාධි තිබුණේ නැහැ. අමරසිරි මුණසිංහ සර් නිතරම උත්සාහ කළේ ඔහුගේ සංගීතයෙන් නෙළුම් ටීචර්ගේ නර්තනය බැබළවීම.

මම මුලින්ම සඳහන් කළා වගේ ඔවුන් දෙදෙනා ගතකළේ ගැමි ආරකට හුරුවූ සරල ජීවිතයක්. ඔවුන් ඉතා හොඳ පවුල් ජීවිතයත් ගතකළා. අමරසිරි සර්ට දුවලා දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් ගුරුවරුන් ලෙස සේවය කරල දැන් විදෙස්ගත වෙලා ඉන්නේ. පිටරටක ජීවත් වුවත් ඔවුන් තම මව්පියන් ගැන හොඳීන් සොයා බැලුවා. සැලකුවා.

විශේෂයෙන් මේ කාරණාව කිවයුතුයි. අමරසිරි සර් සහ නෙළුම් ටීචර් එක්ව සංහිඳ නමින් රාවතාවත්ත ප්‍රදේශයේ කලායතනයක් පවත්වාගෙන ගියා. සංගීතය සහ නැටුම් තමයි එහි ඉගැන්වූයේ. ඔහු අපෙන් සමුගෙන යෑමට දින කිහිපයකට පෙර එහි ගොස් එය සුද්ධ පවිත්‍ර කොට ඊළඟ ගුරුවරුන්ට බාර දීලා ඇවිත් තිබුණා.

ඇත්තටම ඔහු බෝධිසත්ව චරිතයක් කියලා කියන්න පුළුවන්. ඔහුගේ ගෝලබාලයන්ගේ ගෞරවය ඔහුට නොඅඩුව ලැබුණා. ඔහු දක්ෂතාවලින් පරිපූර්ණ තැනැත්තෙක්. ඔහුට වයලීනය, තබ්ලාව, සිතාරය හොඳීන් වාදනය කිරීමේ හැකියාව තිබුණා. එවැනි වාදන භාණ්ඩ කිහිපයක් වාද්‍ය කිරීමට හැකි ශිල්පීන් වර්තමානයේ විරලයි.

යම්කිසි විෂයයන් කෙරෙහි අල්ප දැනුමක් ඇති අය ප්‍රසිද්ධිය හඹායද්දී ඔහු සිටියේ තමා සතු ශිල්පය අන් අයට ලබා දෙමින්.

අමරසිරි මුණසිංහ සර් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබා තියෙනවා. මොරටුව ප්‍රදේශයේ ඔහුව අගයමින් සම්මාන පිරිනමා තිබෙනවා.

පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ‘ නිහඬව සේවයක් කළ සත්‍ය කලාකරුවන් වෙනුවෙන් පිරිනමන ලද සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා. එම සම්මානයම ඔහුගේ ආදරණීය භාර්‍යාව වන නෙළුම් මහත්මියටත් ලැබුණා. ඔවුන් දෙදෙනා ඒ සඳහා නිර්දේශ කර තිබුණේ ඔවුන්ගෙන් ශිල්ප උගත් ගෝලයන් විසින් වීම විශේෂත්වයක්.

මෙතරම් සේවයක් නිහඬව සංගීත ක්ෂේත්‍රයට ඉටුකොට අමරසිරි මුණසිංහ සර් 2025 ජනවාරි 09 වෙනිදා දැයෙන් සමුගත්තා. ඔහු ජාතික සම්පතක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි මෙවැනි නිහඬ කලාකරුවන් ප්‍රසිද්ධියක් නොලබන්නේ. ඔහුගේ අවසන් කටයුතු දිනයේ අතිවිශාල පිරිසක් සහභාගී වුණා. එයම ඇති ඔහුගේ වටිනාකම පෙන්වීමට. මට තිබෙන ගැටලුව මෙයයි. කලාකරුවා ප්‍රසිද්ධිය සොයා යා යුතුද? ඇයි එවැනි කලාකරුවන් ළඟට සොයාගෙන ගොස් ඔහුට ප්‍රසිද්ධියක්, වටිනාකමක් නොදෙන්නේ. මේ පිළිබඳවත් යම්කිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. කලා ක්ෂේත්‍රයට වටිනා සේවයක් ඉටුකොට සමුගෙන යන අතිදක්ෂ කලාකරුවන් තව කොපමණ ඇතිද ? එවැනි චරිත ගැන සොයාබලා මේ අන්දමින් පළකිරීමට පියවර ගැනීම පිළිබඳව සරසවිය පුවත්පතට ස්තූතිය පුදකළ යුතුයි. ඒ නිසා ඉදිරියේදීවත් මෙවැනි කලාකරුවන් ගැන සොයා බලා ඔහුට හෝ ඇයට දියයුතු නිසි ඇඟයීම, ගෞරවය දෙනවා නම් හොඳයි කියල මම යෝජනා කරනවා.

අමරසිරි මුණසිංහ සංගීතවේදියාගෙන් ශිල්ප ශාස්ත්‍රය උගත් පිරිස් අද ලංකාව පුරා ගුරුවරුන් ලෙස සේවය කරනවා. එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ අමරසිරි මුණසිංහ සංගීතවේදියාට. ඔහු වත්මන් ගුරු පරපුරටත් ආදර්ශයක්.

අමරසිරි මුණසිංහ සංගීතවේදියා ගුරු භූමිකාව තුළ ජීවත් වුයේ තම ගෝල පිරිසගේ අනාගතය වෙනුවෙන් මාවතක් තනාදීමට සහ, සංගීත කලාව පෝෂණය කිරීම වෙනුවෙන් බව අවසාන වශයෙන් පැවසිය යුතුයි.

අමරසිරි මුණසිංහ යනු කා සමඟත් සුහදව, මිත්‍රශීලීව ඇසුරු කළ ගුණ යහපත් පුද්ගලයෙක්. සංගීතය තම ජීවිතය කරගත් ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහුගේ ප්‍රසිද්ධිය නොව අනික් අයව සමාජයේ යහපත් තැනකට ගෙනයෑමයි. ඔහුට බොහෝ මිතුරන්, හිතවතුන් ආදරය කළේ අමරසිරි මහතා සතුව තිබූ යහපත් ගුණාංග නිසාය. අමරසිරි මුණසිංහ සංගීතවේදියානන් ගැන, තම සුහදශීලී මිත්‍රයා ගැන අදහස් දැක්වීමට , ඔහුගේ ගුණ ගායනා කිරීමට සරසවිය හා එක්වූයේ චිත්‍ර සහ සංගීත ගුරුවරයෙක් ලෙස කටයුතු කරන උපාලී වීරවර්ධන මහතායි.

අමරසිරි මුණසිංහ මහතා මගේ ළඟම මිත්‍රයෙක්. අපි දෙන්නම කලාකරුවන්. ඒ වගේම ගුරුවරුන්. එතුමාත් මමත් අතර සමීප ඇසුරක් තිබුණා. අපි නිතර මුණ ගැසුණාම කතා කළේ කලාව ගැන. අමරසිරි මහතාට ලොකු උනන්දුවක් තිබුණා සංගීතය, නැටුම් සහ චිත්‍ර විෂය ගැන. එතුමගේ විෂය වුණේ සංගීතය. සංගීත විෂය කෙරෙහි ඔහු අති දක්ෂයෙක්. ඔහුට වාද්‍ය භාණ්ඩ කිහිපයක් හොඳීන් වාදනය කරන්න පුළුවන්. ඔහු ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සංගීත ශිල්පියෙක් විදිහට කටයුතු කළේ ඔහු ඒ පිළිබඳ දක්ෂයෙක් වූ නිසා.

අමරසිරි මුණසිංහ මහතා සහ මා අතර තිබුණ ඇසුර වැඩි වෙන්න විශේෂ වූ කාරණයක් මුල් වුණා. මොරටුව ප්‍රදේශයේ පිහිටුවා තිබෙන සංහිඳ කලා සෙවණේ අපි දෙදෙනාම ඉගැන්වීම් කටයුතු කළා. මම එහි සංගීතය සහ චිත්‍ර විෂය ඉගැන්වූවා. ඔහු වටා හොඳ ගෝල පිරිසක් හිටියා. අමරසිරි මුණසිංහ මහතාට හෙළ ජන සංගීතය පිළිබඳ උසස් දැනුමක් තිබුණා.

එතුමාගෙන් ඉගෙන ගත් සිසු සිසුවියන්ට අමරසිරි මුණසිංහ කියන නාමය අමතක වී යන්නේ නැහැ. එතරම්ම ඔහු තම ගෝලයන්ගේ දියුණුව වෙනුවෙන් වැඩ කළා. ඒ උතුම් ක්‍රියාවට කළගුණ සමරන්නටත් අමරසිරි මුණසිංහ මහතාට උපහාර පිණිස විශේෂ කටයුත්තක් සිදුවෙනවා මෙම පෙබරවාරි මස 22 දා.

මොරටුව සංහිඳ කලා සෙවණේදී අමරසිරි මහතා සිහි කරමින් විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. සවස 3.00 සිට 5.30 දක්වා. ධර්ම දේශනාවෙන් අනතුරුව අමරසිරි සංගීතවේදියා විසින් ගායනා කර තිබෙන ගීත ඔහුගේ ගෝලයන්ගේ මුවින් ගැයීමට නියමිතයි. ඔහු ඉතා මියුරු ගීත ගයා තිබෙන ගායකයෙක්. සංහිඳ කලා සෙවණේ දූ දරුවන් ඒ සඳහා ලහි ලහියේ සූදානම් වෙනවා.

අමරසිරි මුණසිංහ මහතා ඉතා ලස්සන ගී තනු වලින් සමන්විත ගීත ගායනා කර තිබෙනවා.

ඔහු නිහඬ ජීවිතයක් ගත කරපු නිසා ඔහුට එතරම් ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. ඒත් ඔහුට ආදරය කරන විශාල පිරිසක් ඔහු වටා සිටියා.

අමරසිරි මුණසිංහ සංගීතවේදියා දක්ෂ කලාකරුවෙක්.

ඔහුගේ නාමය සඳා අමරණීයයි……
සඳකැන් දිය ගලනා
සීතල අඳුරු රැයේ
සොහොනේ කිරිගරුඬ තලාවේ
අපි හමුවෙමු මිතුරෝ….

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT