Home » හෙළ පරපුර සංසදය අපේ රටේ ඓතිහාසික සිදුවීම් නාට්‍යානුසාරයෙන්ලොවට කියාදෙනවා

හෙළ පරපුර සංසදය අපේ රටේ ඓතිහාසික සිදුවීම් නාට්‍යානුසාරයෙන්ලොවට කියාදෙනවා

- රංගන ශිල්පී හර්ෂ සිරිවර්ධන

by Thanushika
April 10, 2025 10:40 am 0 comment

” ගොන්ගාලේගොඩ අපේ වීරයාගෙ හිසගසා දමන්න නුඹලාට ඉඩ තියන්නෙ නැහැ..මේ අපේ ජාතික අරගලය..පර සුද්දන් එකෙකුවත් අපේ නායකයා ළඟට එකෙකුවත් කිට්ටුවෙන්ඩ එපා…”

ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නෘත්‍ය ශාලාවේ අතුරු සිදුරු නැතිව අසුන්ගෙන සිටි ලාංකිකයන් හා විවිධ රටවලින් ලන්ඩනයට පැමිණි ප්‍රේක්ෂක සමූහයා දෑස් අයාගත්වනමය.

ලක්දිව 1848 ⁣ඓතිහාසික කැරැල්ල පිළිබඳව කියැවෙන ‘ බණ්ඩා සහ වික්ටෝරියා ” වේදිකා නාට්‍යයේ කැරැල්ලට නායකත්වය දුන් ගොන්ගාලේගොඩ බණ්ඩා දම්වැලින් ගැටගසා හිසගසා දමන්නට ඉංග්‍රීසිහු රැගෙන යද්දී අසිපතක් අමෝරා එතැනට කඩාවැදුණු වික්‍රමබාහු මුදියන්සේ (හර්ෂ සිරිවර්ධන) එසේ ගුගුලන්නට වෙයි..නෘත්‍ය ශාලාව මීයට පිම්බාක් මෙනි..

ලන්ඩනයේ ලාංකිකයන් එක්ව පිහිටුවා ගන්නා ලද හෙළ පරපුර කලා සංස⁣දය විසින් ඉදිරිපත් කරන ලද හෙළ ඓතිහාසික පුවතක් කියැවෙන තවත් ඉදිරිපත් කිරීමකි ඒ. හෙළ පරපුර සංසදයේ නිර්මාතෘ හා සභාපති හෙළ සිනමාවේ කලක් දක්ෂ රංගන ශිල්පියකු ලෙසින් රටක් හැඳීනූ ගාමිණී අබේසිංහයන් මෙහි අධ්‍යක්ෂකවරයාය…

ඓතිහාසික පුවත් පිළිබඳව විසල් දැනුමැති කුමර වික්‍රමසිංහ මෙම නාට්‍යයේ පිටපත් රචකයා සහ ගොන්ගාලේගොඩ බණ්ඩා හෙවත් ප්‍රධාන නළුවාය..

එහි නිර්භීත සටන්කාමී චරිතයක් වන වික්‍රමබාහු මුදියන්සේට රඟපාන හර්ෂ සිරිවර්ධනයන් ලන්ඩනයේ හෙළ පරපුර කලා සංසදයේ ක්‍රියාකාරියකු වන අතර වේදිකා නාට්‍ය නළුවකු , වේදිකා පරිපාලකයකු , සංවිධායකයකු ලෙසින්ද කටයුතු කරයි…

සරසවිය සමග පිළිසඳරක යෙදුණු හෙතෙම ….

” මම ලන්ඩනයට ඇවිත් අවුරුදු 34 ක්…මගේ ගම කැලණිය..අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් පාසල් සමයේදිත් පාසලේ කලා කටයුතු වලටත් මම සම්බන්ධ වුණා ..වැඩිදුර අධ්‍යාපනයට ලන්ඩන් ආවේ…අපේ හෙළ පරපුර විටින් විට අපේ රටේ ප්‍රෞඪත්වය කියාපාන යටගිය සිදුවීම් විතරක් නෙවෙයි අපේ හෙළ සංස්කෘතිකාංග වගේම ලංකාවේ පරසිදු හොඳ වේදිකා නාට්‍ය ගිවිසුම් කොට අරන් හෙළ පරපුරේ දක්ෂයන් එකතු කරගෙන නාට්‍ය නිර්මාණ …විවිධ ප්‍රසංග අප ඉදිරිපත් කරනවා..මෙහි සුදු නෝනලා සුදු මහත්තුරු අපේ ලාංකේය කලා නිර්මාණ දැකල පුදුම විදිහට රස විඳීනවා..අගය කරනවා..”

හර්ෂ සිරිවර්ධන කියන්නේය…

සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව විවිධ වැඩ සටහන් දැක එරට ජනතාව මහත්සේ අගයති..අපේ අනන්‍යතාවයද රැකගෙන එරට විවිධ නෘත්‍ය ශාලාවල රඟදක්වන ලද නිර්මාණවලට හොඳ ඉල්ලුමක් පවතින බවද කීයයි..

අපේ සුභාවිත ගීතයෙන් සංගීත ප්‍රසංගාදියෙන් ඔවුන් රසවත් කරනු රිසියෙන් වරක් කැලණි පාලම ලන්ඩනයට ගෙනාවේය…වික්ටර්, නන්දා මාලනී, රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ ආදීන් එරටට ගෞරවනීයව කැඳවමින් විවිධ කලා ප්‍රසංග ආදියෙන් ඔවුන් රසවත් කරමින් එරට වෙසෙන අයට සතුට ළඟාකර දෙවනියඳ කියන්නේය ..

කැලණි පාලමේහි වරෙක සාජන්ට් ලෙසින්ද තවත් වරෙකදී ඔපිසර මහත්තයාගේ චරිතයට පණදෙයි..

” මට ⁣මේ නාට්‍යයෙන් ඉහළම ප්‍රතිචාර ලැබුණා. අපේ හෙළ පරපුර සංසදයේ කුමර වික්‍රමසිංහ මහත්තයා ලිවීමෙහි දක්ෂයෙක්..ඒ වගේම හොඳ රංගන ශිල්පියෙක්. එතුමාගෙ නාට්‍ය රචනයක් තමයි ගොන්ගාලේගොඩ බණ්ඩා නමැති නාට්‍යයට පාදක වුණේ…කුමර වික්‍රමසිංහ මහත්තයාමයි කැරැලිකාර නායකයාගෙ ප්‍රධාන චරිතයත් රඟපෑවේ..”

ගාමිණි අබේසිංහ මහත්මයා අපේ සංසදයේ දක්ෂයන් තෝරගෙන ඒ ඒ චරිත බාරදෙමින් සිදුකරනු ලබන අධ්‍යක්ෂණය බොහොම වටිනවා…එතුමා ලන්ඩනයට ඇවිත් අවුරුදු 50ක්…”

අපේ හර්ෂ සිරිවර්ධනයන් කියන්නේය..

” මේ රටවල ඇස පිනවන දසුන් නැහැ..එහෙත් අප රටේ සංස්කෘතිකාංග දැකල මේ රටවල ඉන්න ඇත්තන් පුදුම සතුටක් ලබනවා..

අපේ සංසදයේ සභාපති ගාමිණි අබේසිංහ මහත්මයා නාට්‍ය කලාවෙන් තවත් පියවරක් ඉදිරියට යමින් සසර වසන තුරු සිනමා නිර්මාණයක් මෙහිදී කළා…මේ වසරේ අගදී තිරගත කරන්න එතුමා කටයුතු කරන්නේ මීළඟ සිනමා නිර්මාණය වන වැලපුණේ ඔබ නිසයි කුමරියේ චිත්‍රපටයයි…එහි අධ්‍යක්ෂණයත් එතුමාගේ..ඒ වගේම අපේ දක්ෂයන්ගේ එකතුවක්..

හර්ෂ කියන්නේය..

හෙළ පරපුර නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ලාංකිකයෝ සුදු ජාතිකයනට නිර්මාණය පිළිබඳව පහදාදීමක්ද සිදු කරති..

අපේ කියන විශිෂ්ට කලාකරුවන් කෙමෙන් අපට අහිමිව යනවා…අපේ රටේ කලා අංග ඉදිරිපත් කිරිමේදි මෙරට අය ටිකට්⁣පතේ මිල කීයක් වුවත් රැගෙන නරඹන්න උනන්දු වෙනවා…අපේ රටේ සංස්කෘතියට මේ රටවල අය ආසයි.. අලුත් අවුරුදු සමයට හෙළ පරපුර කලා සංසදය ඉදිරිපත් කරන සංස්කෘතිකාංග දැකල සුදු ජාතික ඇත්තන් ලොකු වින්දනයක් ලබනවා..”

හෙළ පරපුර කලා සංසදය මඟින් සිරිලක දේශපාලන පුවත්, කලාව, ලන්ඩන් පුවත්, ප්‍රවෘත්ති ආදිය රැගත් ” හෙළබිම” නමින් පුවත්පතක්ද මුද්‍රණය කර ඇති අතර එහි ප්‍රධාන කර්තෘවරයා වුයේ චතුර විද්‍යාරත්න ය..

සිරිලක යටගිය වටිනාකම් කරළියට ගෙනඑමින් ලොවක් දැනුම්වත් කරනා ලන්ඩනයේ පදිංචියේ පසුවන අපේ ලාංකිකයන් එක්ව පිහිටුවාගත් හෙළ පරපුර කලා සංසදයට සරසවියේ අපි සුභාසිංශනයද හිමිකරමු.

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT