නිවස සංවාද හීන දකින අයට හීන හැබෑ කරගන්න පුළුවන් කියලා මම පෙන්නුවා

හීන දකින අයට හීන හැබෑ කරගන්න පුළුවන් කියලා මම පෙන්නුවා

දුස්රා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය

by Thanushika
August 22, 2024 9:58 am 0 comment

“ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන මිනිස්සු හම්බවෙන්නේ කලාතුරකින්. මට තේරුණ දවසේ ඉඳන් ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණේ නැහැ. සාමූහික අදහස්වලින් ජීවත් වුණාට, තනි අදහස්, ගන්නවා ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵල කුමක්ද කියලා අවබෝධ කරගන්නේ තරුණ වියත් සමඟයි. මෙන්න මේ අවබෝධ කර ගැනීම තුළ තමයි මට හිතුණේ, හැමදාම දකින හීන වලට වැඩිය, සමාජයටම දකින්න පුළුවන් ප්‍රතිවිරුද්ධ හීනයක් දකින්න. උඹ කොච්චර දේවල් කිව්වත්, උඹ කොච්චර දේවල් ගැන හීන මැව්වත්, ඔය හීන හැබෑ කරගන්න පුළුවන්ද කියලා උඹවත් දන්නෑ නේද කියලා,එකට පිස්සු කෙලපු සමහරක් වුන් මට කිව්වා. 1985 රබර් සෙරප්පු දෙකක් දාගෙන, ටී ෂර්ට් එකක් සහ කලිසමක් ඇඳගෙන මෙතනට එනකොට මෙලොව දෙයක් දැනගෙන ආපු එකෙක් නෙමෙයි. පාසලේ පළවෙනි පන්තියට ඇතුළු වන විටත් අකුරු ටික විතරයි මම දැනගෙන ගියේ. කෑමොර දෙන හැම පුද්ගලයාමත් දැනගෙන ගියේ එච්චරයි. නොදැන ගිය ගමන තමයි මට හැමදාම ජය කෙහෙළි ගෙනාවේ. උන් හීන දැකලා අමතක වෙන්න දුන්නට මම මගේ හීනේ අමතක වෙන්න ඉඩ තිබ්බේ නෑ. ඒ නිසා අද වනවිට ඒ ගමනට අවුරුදු තිස් නවයක් වෙනවා ක්ෂේත්‍රය තුළ. ඉලක්කම් දෙක දෙකට කඩල ගත්තත් නපුරුයි. එකට ගත්තත් නපුරුයි. ඒත් මම නපුරු නැති එක තමයි මෙතන තියෙන හොඳම දේ. සමහරක් වුන් සෙට් වල පට්ට කතන්දර කියන්නේ, උන් ගැන පාපොච්චාරණය කරමින්. මම ඒ වෙලාවට කරන්නේ මට ඇහුන නෑහුණා වගේ කට කොනින් හිනාවක් දාන එක විතරයි. මම කවදාකවත් පොරක් වෙන්න ගියේ නැහැ. ලියන කියන වුන් මම ගැන දැනගත්තේ ලොකු ලොකු නම් ඉදිරියේ රූප රචනයට මගේ නම තිබීමයි. ඒ නිසා මට ප්‍රතිවිරුද්ධ අදහස් නැතිවුණත් මට ප්‍රතිවිරුද්ධ අදහසක් හොයන්න ඕන වුණා. උර්දු භාෂාවෙන් දොස් රා කියන්නේ ප්‍රතිවිරුද්ධ කියන අදහසයි. ”

“දොස්රා, දුස්රා ලෙසින් සිනමාවට ගෙනා ඔහු නමින් චන්න දේශප්‍රියයි. මේ සරසවිය සමඟ වු ‘දුස්රා’ ගැන කතාබහයි.

1985 න් ඔබ පටන් ගත් ගමන කොහොමද?

පාසල් අධ්‍යාපනයෙන් පසු මගේ ගමන ක්ෂේත්‍රයේ ආරම්භ වන්නේ මීට අවුරුදු තිස් නවයකට පෙර. ක්ෂේත්‍රවලට පිළිබඳ මම දැනගෙන ආපු ගමනක් නෙවෙයි. හැමදේම මම ස්පර්ශ කරලා ඉගෙන ගත්තා. ඒ නිසා මගේ අරමුණ කරා යන්න මට පහසු වුණා. ඉන්පසු ක්ෂේත්‍රයේ විවිධ දක්ෂතාවයන් තියෙන පුද්ගලයන් හඳුනාගන්නට ලැබුණා. ඉන්පසු ටෙලි නාට්‍ය සහ දැන්වීම් කලාවත් එක්ක. 1985 කාල පරිච්ඡේදයේ පමණ මට නොයෙක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු හමුවුණා. ඔවුන් සමඟ වැඩ කළා. මේ ආකාරයට රුපවාහිනි මාධ්‍ය සම්බන්ධ බොහෝ නිර්මාණවලට මම දායකත්වය ලබා දුන්නා. එතකොට මට වයස අවුරුදු විසි හතරක් විතර ඇති. දඩබිම, කඩවර, රන්සිරිගේ සංග්‍රාමය, දිය කැට පහන, නාමල්ගොල්ල, සුසීමා, සින්තටික් සිහින, මේ පාරෙන් එන්න යනාදී ටෙලි නාට්‍යවල කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කළා. මේ වන විට මම අන්තර්ජාතික සම්මාන තුනක් සහ සරසවිය ඇතුලු සම්මාන තිහක් විතර ලබාගෙන තියෙනවා. ඒ වගේම කෙටි චිත්‍රපට, වාර්තාමය චිත්‍රපට, වෙළෙද දැන්වීම් සහ ගීතරූප රචනා විශාල සංඛ්‍යාවක ප්‍රධාන කැමරා අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ ආපු ගමනේ ප්‍රතිඵලයක් තමයි මේ. U turn සිනමා පටය අධ්‍යක්ෂණයත් සමඟ ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක්වුණා මම සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස දිගටම ඉඳී කියලා, ඒත් මගේ වැඩි නැඹුරුතාවය තියෙන්නේ කැමරා අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීමටයි.

මේ මගේ සඳයි සිනමා පටය උඹේ හැරවුම් ලක්ෂ්‍යය නේද?

මේ මගේ සඳයි මගේ පළමු කැමරා සිනමා අධ්‍යක්ෂණය. පළමු කැමරා නිර්මාණයෙන්ම 2001 නිර්මාණශීලි කැමරා අධ්‍යක්ෂණයට හිමි සිග්නීස් උත්තමාචාර ස්වර්ණ සම්මානය ලැබුණා. ඊට පස්සේ මම චිත්‍රපට 45ක් පමණ කැමරා අධ්‍යක්ෂණය කළා. මම බොහෝ දේවල් ඉගෙන ගත්තේ වැඩ කරලා ඒ ලබපු අත්දැකීම් වලින්. නමුත් මම විදේශ රටවල්වල දී නොයෙක් ආකාරයේ දින දහය, පහළොව සිනමාත්මක වැඩමුළු සම්බන්ධ වුණා. එයින් ලබපු පන්නරය මගේ ජීවිතයට අත්වැලක් වුණා.

දුස්රා සිනමා පටය තිර පිටපතක් ලෙස රචනා වුණේ කොහොමද ?

මේ පිටපත මම අවුරුදු හයක් තිස්සේ ලිව්වා. හරියටම 2012 දී විතර තමයි ලියන්න පටන් ගත්තේ. වැඩියෙන්ම මේ පිටපත ලිව්වේ මම විදේශීය සංචාර වලට යන එන අතරතුරේදී. ගුවන්යානාවලදී සහ ලංකාවෙන් පිටදී ගැවසුන තැන්වලදී.

දුස්රා ලිව්වේ මම කිසිම නිෂ්පාදකවරයෙකු සහ නළුවකු හෝ නිළියෙකු හිතේ මවාගෙන නෙවෙයි. මගේ හොඳ යාළුවෙක් මෙහි නිෂ්පාදකවරයා සහ නළුවෙකු ලෙස ඉන්න ලක්ෂාන් අබේනායක.

එයා දකුණෙ ඉපදුණු කෙනෙක්. එයා මීට වසර තිස් පහකට විතර උඩදී ප්‍රංශයට ගියා. ඒ රටේ රූපවාහිනී රංගන ශිල්පියෙක්. ඒවගේම ප්‍රංශ සිනමාව, ටෙලි නාට්‍ය, කලාවේ ප්‍රධාන ධාරාවේ සම්මානිත ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ලක්ෂාන් 2019දී තිරගත වූ තාල චිත්‍රපටයේ සුළු චරිතයකටත් පෙනී හිටියා. ඔහු ‘දුස්රා’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වගේම එහි ප්‍රධාන භූමිකාවක්ද නිරූපණය කරනවා. මේ යාළුකම තමයි මේ පිටපතක් බවට පත් වෙන්නේ. ප්‍රංශයට ගිය මොහොතකදී මම හමුවීමේදී ලක්ෂාන් එක්ක මේ පිටපත ගැන කතා කළා. එයාට යෝජනා කළා, සිනමා පටයක් කරමු කියලා. එයා කිව්වා හරි කරමු කියලා. ඔහු තමා මේ සිනමා පටයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන්නේ. මෙහි නිෂ්පාදකවරයා සහ නළුවා වෙන්න පෙර ඔහුත් මාත් වැඩ කිහිපයකදීම හමුවුණා. ඔහුගේද මේ දෙවැනි නිෂ්පාදනයයි. අවුරුදු හයක් වැනි දීර්ඝ කාලයක් මේ පිටපත් රචනයට මට යොමු කරන්න වුණේ මම දින 365 කාර්ය බහුල පුද්ගලයෙක් නිසයි. එක නිර්මාණයක් බාර අරගෙන ඉවර වුණාට පස්සේ, තවත් නිර්මාණවේදියෙක් මාව හොයාගෙන එන විට මට ඔහුව අතහරින්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඔවුන් කිසියම් නිර්මාණයකට මාව දායක කරගන්නේ මා කෙරෙහි තියෙන විශ්වාසය නිසයි. ක්ෂේත්‍රය තුළ මා ගැන තියෙන විශ්වාසය මම කවදාක්වත් නැති කර ගන්න කැමැති නැති නිසා අසීරුතාවයෙන් වුවත් වැඩේ බාරගන්නවා.

දුස්රා නළු වර්ණය තෝරා ගැනීම සිදුවුණේ කොහොමද?

දුස්රා සිනමාපටය ටිකක් වෙනස් විදිහේ අසීරු, ඒවගේම අති ධාවනකාරී සිනමාපටයක්. නිතරම මෙහි ප්‍රධාන චරිතය වන ‘රති’ට අතවර කරන දර්ශන තියෙනවා. මේ වගේ දේවල් නිර්මාණය කරනකොට තාක්ෂණික උපක්‍රම භාවිතා කරනවා. සමහරක් නළුවෝ නිළියෝ දර්ශන තලයට අම්මත් එක්ක ඉන්න ඕනෑ. මේවට අම්මා බනියි. මේ වගේ උත්තර බඳීන්නෙ නැතුව රඟපෑම කියන දේ හඳුනාගත්ත ඊට සුදුසු අය මම තෝරගත්තා. මම තෝරා ගත්ත මේ නළු නිළියන්ට කලාව ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ප්‍රධාන චරිතයට තෝරාගත් තිලක්ෂණි සමඟ සාකච්ඡා කිරීමේදී ඇය මට දුන්නු උත්තරය තමයි මේ රති කියන නම පමණයි මම චරිතය රඟපාන නිළිය පමණයි කියන එකයි. එවගේම ඇය දක්ෂ තියටර් බ්‍රැක් ග්‍රවුන්ඩි එකකින් එන රංගන ශිල්පිනියක් මෙන්ම ඕනෙම අභියෝගයක් බාර ගන්න පුළුවන් රංගන ශිල්පිනියක්. වේදිකාව ස්පර්ශ කරපු නිළියක් නිසා ඇය පොළොවේ පය ගහලා ඇවිදින කෙනෙක්. ඇයට මේ චරිතය නිසා පවුලෙන්, සමාජයෙන්, යාළු හිත මිත්‍රාදීන්ගෙන්, දෝෂාරෝපණ එල්ල වෙයි, කියලා බොරු ආටෝප ඈ තුළ තිබුණේ නැහැ. මේ රති කියන චරිතය මෙතන තියලා මම තිලක්ෂණි කියන ප්‍රධාන භූමිකා චරිතයෙන් ගෙදර යනවා කියන එක විතරයි ඇය මට හැමවෙලේම පැවසුවේ. විශේෂයෙන් ඇය හා මා සමඟ එකතුවුණු රංගන ශිල්පීන් ගැන මට හොඳ විශ්වාසයක් තිබුණා. මෙය වැඩිහිටියන්ට පමණක් ලේබලය යටතේ තිරගත වන සිනමාපටයක් ලෙස ඵඥදඵධප ඡධචපඤ තීරණය කිරීම නිසයි වැඩිහිටියන්ට පමණයි ලේබලය වදින්නේ. ඒත් ලෝකේ අනිත් රටවල් වල මෙහෙම නිර්මාණවලට ලේබල් ගහන යුගයක් නැහැ. නිර්මාණය නිර්මාණයක් ලෙස පමණයි දකින්නේ. ඒත් අපේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය යන කරුණු කාරණා නිසා එහෙම වෙනවා. එහෙම හරි හොඳ නිර්මාණයක් තිරයට ඇවිත් ප්‍රේක්ෂකයාට රස විඳීන්නට ලැබෙනවා කියන එක සතුටක්. මේ වන විට ප්‍රේක්ෂකයා මේ තෝරා ගත්ත නළු නිළියන්ට දෙනු ලබන ප්‍රතිචාර තුළ අධ්‍යක්ෂවරයා හැටියට මට නිහතමානී සතුටක් තියෙන්නේ. මේ තිර පිටපතේ චරිතවලට අනුව මම ඔවුන්ට සාධාරණයක් කරලා කියලා.

වසර හයක් තිර පිටපත ලියූ සිනමා පටය රූපගත කිරීම් ආරම්භ කරන්නේ?

2019 වසරේ තමයි මම රූපගත කිරීම් ආරම්භ කරන්නේ. 2019 ඉවර කරලා 2020 පෙන්නන්න තමයි සිනමා පටයේ අවසානයේ අපි තීරණය කරලා තිබුණේ. රටේ පැවතුණු කොරෝනා වසංගතය සහ ආර්ථික අවපාතයත් සමඟ සිනමාපටය පෙන්වීම වසර පහකට කල් ගියා.

ඒ වුණත් හොඳම කාලසීමාවක මේ සිනමා පටය රූපගත කරන්නට කාලය එළැඹුණා කියලා මට හිතෙනවා. දර්ශන තලය සඳහා අපි තෝරාගත්තේ අනුරාධපුරේ ගල්ගමුවත්, කොළඹ සහ මහනුවර ප්‍රදේශයි. මේ සියලූම දර්ශන තල වලදී මට දැනුණේ මේ සිනමා පටයේ අමුතුම කලාත්මක ගති ලක්ෂණයි. සමාජයේ වෙනස් වීම් ඔවුන්ගේ ජීවන රටාවන් සජීවීව අත්දැකීම් වින්දා වගේ මට දැනුණා. බෝගම්බර රූපගත කිරීම්වලදී ඉතිහාසයේ මැවි මැවී පෙනීමත්, රතිගේ සිරකුටියේ සිරකිරීමෙන් එහි ජීවත් වූ චරිත තාමත් එහි ගත කරනවා වගේ දැනුණා. ධම්මිකගේ රූප රාමු මොනිටරය තුළින් මම දකින විට. මේ දර්ශන තලයේ සියලුම දෙනාට ඒ කුටිවල සිටි ප්‍රධාන පෙළේ භූමිකාවන්ගේ චරිත දැනෙන්න ගත්තා කියලා දර්ශන තලයෙන් පිටවෙන හැම මොහොතකම ඔවුන් පැවසුවා. ඒ වගේ හරි සුවිශේෂි සිනමා පටයකට මගේ අතින්ම තිර රචනය කරලා මට අධ්‍යක්ෂණය කරන්න ලැබීමත් සතුටක්. වසර හයක් තිර පිටපත ලියලා අවසන් කරලා, රූපගත කිරීම් කරලා පසු නිෂ්පාදනයත් කරලා වසර පහකට පසු සිනමා පටය ප්‍රේක්ෂක හමුවට ගේන්න ලැබුණා. මේ තිරගත වීම ආරම්භ වුණේ සිනමා පටය පිළිබඳ සමාජයේ කතා කරන්න හොඳම වෙලාව කියලයි මම හිතන්නේ.

දුස්රා කියන නම සිනමා පටයට යෙදුවේ ඇයි, එහි තේරුම් මොකක්ද?

උර්දු භාෂාවෙන් දුස්රා කියන්නේ ප්‍රතිවිරුද්ධ කියන අදහසයි. මේ කතාවේ ක්‍රිකට් ගහන චරිතයක් ඉන්නවා. ඒ වගේම රති හිතාගන්න බැරි පන්දුවක්. මේ සිනමාපටයේ ජීවත්වන චරිතවල ස්වභාවයත් එහෙමයි. ඊළඟ මොහොතේ කොයි පැත්තට කැරකෙයිද කියලා හිතාගන්න බෑ.

මේ ඔක්කොම ගැන කල්පනා කරලා බලලා තමයි මේ අමුතු නම යොදා ගත්තේ. මම ජීවිතේ ගොඩක් තැන් වලදි වෙනස් දෙවල් සොයන්න උත්සාහ කළේ. ඒ සෙවීමේ ප්‍රතිපලයක් තමයි දුස්රා ලෙස මේ නිර්මාණය ප්‍රේක්ෂකයා හමුවට එන්නේ. ‘දුස්රා’ වෙනත් සිනමා නිර්මාණයක ආභාසයක් කියලා සමහරක් අය නිර්වචනය කරනවා. මේ ප්‍රතිවිරුද්ධ අදහස තියෙන නම යොදපු නිසා. ඒ කියන අය නිර්මාණයක් ගැන හරි අවබෝධයක් නැති අය කියලයි මට හිතෙන්නේ. ස්වතන්ත්‍ර නිර්මාණයකටත් වෙනත් නිර්මාණයක ආභාසයක් කියනවා නම් ලාංකීය සිනමාව ගැන තව මොන කතන්දර ද කියලා හිතෙනවා. නිර්මාණවේදීන් කියන්නේ සිනමා නිර්මාණවලට සම්බන්ධ අය නිසා සියලු නිර්මාණ ඇසුරු කරනවා. එනිසා අපට අවශ්‍ය ආකාරයට එකතු කරගන්නට නිර්මාණවේදීන් පසුබට වන්නෙත් නෑ නිර්මාණවලට අවශ්‍ය දේවල් සොයා ගන්නේ එහෙම තමයි කවුරුත්. විවිධ පොත පත,ලෝක සිනමාව හා කලාපීය සිනමාව, වශයෙන් කොටස් වෙන්කර හඳුනා ගැනීමත්, එහි ඇති ආභාසයන් අධ්‍යක්ෂකවරයෙක් හෝ කැමරා අධ්‍යක්ෂකවරයෙක් නැත්නම් තිර පිටපත් රචකයෙක් එහි අන්තර්ගතය ලබා ගත්තාට එය කොපි කලාවක් නොවන බව දැනගත යුතුයි. ඕනෑම ක්ෂේත්‍රයක අධ්‍යාපනය ප්‍රගුණ කරන්න නම් එහි ඇති ගැඹුර සොයා යා යුතුයි. එවිට මම අර කියපු ඉහත කරුණු කාරණා සොයන්නට වෙනවා. ඒ ගැන කිසිදු අවබෝධයක් නැතුව ක්ෂේත්‍රයේ නියැලී සිටීම වැදගත් නැහැ. මේ තුළ ජීවත් වෙන නළු නිළියනුත් හොඳ හික්මීමක් තියෙන තියටර් බැක්ග්‍රවුන්ඩ් එකකින් ආපු ඒ ‘දුස්රා’ කියන ප්‍රතිවිරුද්ධ දේ සොයාගෙන තමයි රංගනයට අවතීර්ණ වුණේ.

දුස්රා තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ ප්‍රතිචාර කොහොමද?

මම හිතුවේ ලංකාවේ කාන්තාවෝ මේක බලන්න කැමති වෙන එකක් නැහැ කියලයි. නමුත් කාන්තාවෝ තමයි මේක බලන්න වැඩිපුර කැමැත්තක් දක්වන්නේ. දුස්රා දිවයින පුරා සිනමා ශාලා 35ක තිරගතවිම මුල් සතියේ සිදුවුණා. ඉදිරියේදී තවත් සිනමා ශාලාවල් වැඩිවෙයි කියලා කියන්න පුළුවන්. දුස්රා බලන්න එන ප්‍රේක්ෂක සංඛ්‍යාව දවසින් දවස වර්ධනය වෙන බවක් කියන්න පුළුවන්. වැඩි දෙනෙක් නැවත නැවත ඇවිත් බලන්නේ රතීගේ ඊළඟ පියවර මොකක්ද කියලයි. රතිගේ චරිතයට ප්‍රේක්ෂකයන් සාධාරණයක් ඉල්ලනවා. සිනමා පටය නරඹලා සිනමා ශාලාවේ දොරටුවෙන් එළියට එනවිට මෙහෙමත් සමාජයක් තියෙනවාද කියලා සමහරු අහනවා. ප්‍රේක්ෂකාගාරයෙන් නැඟෙන්නේ හැමවිටම ඒ ජීවත්වන චරිත වලට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලයි. තිර පිටපත් රචකයා, අධ්‍යක්ෂවරයා ලෙස මට ඒ තුළ තියෙන්නේ දැන් වසර පහක් ගත වුණත් හොඳ නිර්මාණයක් එළියට දුන්නා කියන එකයි. ගොඩක් දෙනෙක් දැන් මගෙන් විමසන්නේ රතීගේ දෙවැනි කොටස කවදාද නිර්මාණය වෙන්නේ කියන එකයි

චන්න දේශප්‍රිය ගේ ගමන වෙනස් කරන්න කියල දැන් දුස්රා හරහා කියනවා නේද? ජනප්‍රියත්වය පසුපස මම හඹා ගියේ නැහැ. මම කවදාකවත් තීරණය කරල නෑ මගේ ජීවිතේ වෙනස් කරනවා කියලා. මම එදා හිටපු කැමරා අධ්‍යක්ෂකවරයාම තමයි. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ ඔහු හෝ ඇයගේ දක්ෂතාවය මතයි. අධ්‍යක්ෂකවරයෙකුගේ කාර්යභාරය හරිම ප්‍රබලයි. හොඳට හදාරලා එහි වගකීම කාර්යභාරය මනා අවබෝධයකින් මේ ගමන යා යුතුයි. මංගල දර්ශනයට පෙර ‘දුස්රා’ මාධ්‍ය දර්ශනය පැවැත්වූවා. එදා සියලු දෙනාම සිනමා පටයේ එන චරිත ගැන කතා කළා. ඒ චරිත අතර හිටපු රති, අනිල්, ලකී කියන චරිත සමාජය අනුව හසුරුවලා තිබෙන ආකාරය සිනමාත්මක ගති ලක්ෂණ මනා ලෙස පෙන්නුම් කර තිබෙන බවයි කියැවුණේ.

හැබැයි අධ්‍යක්ෂවරයා ඒ චරිත අවශ්‍ය ආකාරයට හසුරුවා ඇති අයුරු ගැන කතා කළේ නෑ. මම එදා හිතුවේ මගේ අධ්‍යක්ෂණය හොඳ නෑ කියලයි. ඒ ගැන හිතමින් ඉන්න විට ‘දුස්රා’ වැනි නිර්මාණයකට ඔබ වැනි කෙනෙක් දායක වීමද ඇත්තටම අගය කරනවා. කියල පැමිණි සිටි සියලූම මාධ්‍යවේදීන් සහ හිතවතුන් කියද්දී, අපි සියලු දෙනාම ඒ වෙනුවෙන් උදව් කරනවා කියන වචන වලින් මම ගොඩක් සතුටට පත්වුණා. ගොඩක් දෙනෙක් නිර්මාණයේ ගුණාත්මක භාවය වෙනුවෙන්, සිනමාත්මක නිර්මාණයක් කියන හැඟීම මත නිර්මාණය වෙනුවෙන් උදව් කරන්න සූදානම් වෙනවා. මම හිතන දකින විදිහට හොඳ නිර්මාණයක් ලෝකයේ බිහි වෙනවා නම් ඕනෑම නිර්මාණවේදියෙකුට තමන්ගේ ගමනට උදව් කරන අය ඉන්නවා. හැබැයි මම අධ්‍යක්ෂ කියන පදනම මත ජනප්‍රියත්වය හොයාගෙන යන්නේ නැහැ. ඒත් මම හැමදාම ජීවත් වෙන්නේ නිර්මාණවේදියා කියන සංකල්පය මත ඉඳගෙනයි. මම තාමත් කැමරාවත් එක්ක හරඹ කරමින් දවසින් දවස ලෝකයේ වෙනස් වෙන නිර්මාණශීලීත්වය ශිල්පීය ක්‍රම හොයන්න දඟලනවා. මම හැමදාමත් කැමතියි මගෙන් පස්සේ එන පරම්පරාවට මේ දේවල් දායාද කරන්න. මේ සිනමා නිර්මාණයෙත් කැමරා අධ්‍යක්ෂවරයා වෙන්නේ ධම්මික රත්නායකයි. අධ්‍යක්ෂවරයා සහ කැමරා අධ්‍යක්ෂවරයා කියන දෙදෙනාගේ බැඳීිම රූප රාමුවෙන් රූප රාමුවට වෙනස් වෙන්න පුළුවන්. අධ්‍යක්ෂවරයා නොදකින රූප රාමු කැමරා අධ්‍යක්ෂවරයා දකිනවා. සමහර විට කැමරා අධ්‍යක්ෂවරයාගේ එක කමාන්ඩ් එකක් සිනමා පටයම ඔසවා තබන්නත් පුළුවන්. ඒ නිසා අපි හැමවෙලේම ටීම් වර්ක් එකක් ඇතුළෙයි වැඩ කරන්නේ. මොන දේ කළත් මගේ හිත ඇතුලේ ජීවිතේ ගෙවෙන්නේ මම මුලින්ම ක්ෂේත්‍රයට ඇවිත් ගිය ගමන තවත් පියවරක් ඉදිරියට තබා යන්න පමණයි. ඒ යන ගමනේදී විවිධ පැතිකඩවල් වලට යන්න පුළුවන්.

දුස්රා ගේ චරිත හැම වෙලේම ප්‍රේක්ෂකයාට කුතුහලය ගේන එන තැන ඉන්නේ ?

මේ පිටපත ඒ ඒ අය අතට ලැබෙන විට හිතපු චරිතය නෙවෙයි රංගනයට එකතු වන විට තිබුණේ. කියලා ගොඩක් ශිල්පීන් කියන්න ගත්තත් ඒ බව දැනගෙන හිටියා නම් මම වෙනත් චරිතයක් කරනවා. කියලා ලක්ෂාන් පමණයි කියන්න හිටියේ. ලකී කියන චරිතය හැමවෙලේම කුතුහලය ගෙනාවා. ප්‍රධාන භූමිකාව බවට පත්වුණා. ලකී රතිට ආදරය කරන්නේ සැබැවින්ම නොවේ. ලකී ජීවත් වෙන්න ඕන කියන පදනම හිත තුළ තබාගෙනයි. හැඟීම් පසෙකලා මුදල ඉහළට එසවෙන යුගයක් බවට ඔහු පරිවර්තනය කර ගන්නවා. රති සහ අනිල් එකතු වී ගහන ගේම්වලදී දෙවන පෙළ බාරගන්නේ ලකී. ඒ චරිතය බොහෝ තැන්වලදි අධ්‍යක්ෂවරයා හැටියට මම හැංගුවා රඟපාන්නට පෙර. ඒත් ලකී කියන චරිතය රඟපාලා ඉවර වුණාට පස්සේ ප්‍රදර්ශනය වන විට මේකෙ බැරෑරුම්කම සහ එහි වගකීම කොපමණද කියලා ලක්ෂාන්ට හිතාගන්න බැරි වුණා. කාමාතුර පිරිමියන් තිදෙනෙකු ඉදිරියේ හැඟීම් යටපත් කරගෙන ඇයට ආදරේ කරන්නෙක් බව ප්‍රේක්ෂකයාට වටහා දෙන්නෙත් රතිට ලකී කොණ්ඩය සැකසීමත් කොණ්ඩාබෝලය දැමීමත් නිසාදැන් කවුරුහරි පිලිසරණට ඉන්නවා කියන පදනම ජනිත කරමින්. රතිගේ චරිතය මම ඉදිරියට ඇදගෙන යන්නට ඔහුට උදව් කළා. ඒත් ප්‍රේක්ෂකයා ලකී මැරෙනකම්ම දැනගන්නේ නෑ. මොකක්ද වෙන්නේ කියන එක. ඔවුන් ඇත්තටම හොයන්නේ රතිට මොකද වෙන්නේ කියන එක විතරයි. එවැනි රංගනයකට ලක්ෂාන් ගේන්න තරම් ඔහු දක්ෂයෙක් බව මම වටහාගෙන හිටියා. මම මේ හැමවිටම කරේ අධ්‍යක්ෂවරයා ගේ භූමිකාවේ සිට ඔවුන්ව හසුරුවමින් ඒ ඒ චරිත ජීවත් කිරීම පමණයි.මේ සිනමාපටය නරඹපු වෙනත් රටවල්වල ප්‍රේක්ෂකයෙනුත් බලා ඉන්නේ දෙවෙනි වතාවටත් ගිහිල්ලා නරඹලා රතිට මොකද වෙන්නේ කියන එක විතරයි. හැබැයි මෙහි ඇතුළාන්තයේ චරිත වල එකින් එකට ගැටුම් ගොඩනැඟීමත් දෙවැනි වතාවට ඔවුන් ප්‍රතිවිරුද්ධ අදහස් දක්වමින් ඔවුන් කොයි දිසාවට ගමන් කරනවද කියන එකයි සෙවිය යුත්තේ. එවිට රතිගේ ගමනේ නිවැරදි දිශාව හොයාගන්නට පුළුවන්.

අන්තර්ජාතික සිනමා උලෙළ කිහිපයක්ම නියෝජනය කළා නේද දුස්රා?

මොස්කව්, කල්කටා සහ ඩකා සිනමා උළෙල නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. සිසුන්ට උගන්වන්නට හොඳ සිනමාපටයක් කියලා බෙන්ගාල් සහ බංගලාදේශයෙන් ඉල්ලුවා. ලක්ෂාන් අබේනායක නිෂ්පාදකවරයා ලෙස මෙම සිනමාපටය නිෂ්පාදනය නොකළා නම් තිර පිටපතක් පමණක් බවට සිමාවී තිබෙයි. මම ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා ඔහු සමඟ එකතුවෙලා මෙවැනි නිර්මාණයක් කිරීම. ළමයින්ගේ අධ්‍යයනයටත් ගන්නවා කියන්නේ සිනමාත්මක හා හොඳ ගුණාත්මකභාවයෙන් තියෙනවා කියන එකයි.බංග්ලාදේශයේ බලපු වැඩි හරියක් කාන්තාවන් දෙපාර තුන් පාර බලළා තියෙනවා රතිට මොකද වෙන්නේ කියන එක හොයන්න. මේ සිනමා පටය වැඩි හරියක් නරඹන්නේ කාන්තාවන්. ඒක අද හොඳ ප්‍රවණතාවයක් කියලා කියන්න පුළුවන්. සිනමා උළෙලවල් නියෝජනයෙන් පස්සේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය ඉදිරියේදී එංගලන්තය සහ කැනඩාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

‘දුස්රා’ සිනමාපටය ඉතාලියේ සිනමා උලෙළ නියෝජනය කරන්න යවලා තියෙනවා නේද?

ඔව්. මේ වන විට සිනමා පටයේ පිටපතක් යවලයි තියෙන්නේ. මේ සිනමා පටයේ ලකී කියන චරිතය ගැන තමයි විශේෂ අවධානයක් යොමුකරලා කතා කළේ. මේ සිනමා නියෝජනයදි ඔවුන් විශේෂයෙන් කටයුතු කරන්නේ විද්‍යුත් තැපෑල හරහායි. එහිදී ලකී ගේ චරිතයට පණ දෙන ලක්ෂාන් අබේනායක ගැන අයි,එම්.ඩී.බී හරහා තොරතුරු බලලා තියෙනවා. කවුද කියන එක. එහිදී ඔවුන්ට හොයාගන්න ලැබිලා තියෙනවා. එහිදී ලකී කියන්නේ කවුද මොනාද කරන්නේ? මොන රටේ සිනමා නිර්මාණ වලද රඟපාලා තියෙන්නේ කියන සියලු විස්තරත් එක්ක තමයි ඔවුන් ලක්ෂාන්ට කතා කරන්නේ ඔවුන්ගේ සිනමා උළෙලේ ජූරිසභිකයකු ලෙස ජූරිය නියෝජනය කරන්නට එන්න කියලා. ‘දුස්රා’ සිනමා පටයේ තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයා හැටියට ඒ සතුට මම නිහතමානීව භුක්ති විඳීනවා. විශේෂයෙන් ලංකාව නියෝජනය කරන රංගන ශිල්පියෙක් හැටියට යන පළමු නියෝජිතයා මගේ දෙවැනි සිනමා නිර්මාණය තුළින් යවන්නට මට හැකි වුණා. ඒක ලංකා සිනමා ක්ෂේත්‍රයට හොඳ සලකුණක් බවට පත් වෙයි කියලා මම හිතනවා.මේ වන විට ඔවුන් සිනමා උලෙළේ නියෝජනය සඳහා තෝරාගෙන ඇති සිනමා පට සියල්ලම නරඹන්නට ලක්ෂාන්ට නම් ලිස්ට් එක එවලා තියෙනවා. මේ දිනවල ඒ වෙනුවෙන් සූදානම් වෙනවා.

අලුතින්ම කරපු නිර්මාණ මොනවාද?

අධ්‍යක්ෂණය පැත්තෙන් නම් අලුත් තිර පිටපතක් ගැන හිතමින් ඉන්නවා. දුස්රා පිටපතට වගේම ඒ පිටපතටත් කාලයක් ගතවෙයි. ඒත් මගේ කැමරා අධක්ෂණයෙන් අශෝක හඳග මගේ රානි සහ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ගෞතම බුද්ධ මාතා’ වැඩකටයුතු පසුගිය දිනවල ඉවර කළා. මේ සිනමාපට දෙක තමයි අලුත්ම නිර්මාණ හැටියට එන්න තියෙන්නේ. තවත් නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒවා මීට පස්සේ තිරගත වෙයි කියලයි මම හිතන්නේ. මේ එන්න තියෙන සිනමා පටවලට ප්‍රථම මගේ ‘දුස්රා’ සිනමා පටය බලලා ගුණ දොස් කියන්න කියලා තමයි මම ප්‍රේක්ෂකයන්ට මුලින්ම කියන්නේ. මේ ගමන එන්න මට උදව් කළ සියලු දෙනාටම මේ අවස්ථාවක් කර ගන්නවා ස්තුතිය ප්‍රකාශ කරන්න. ඉදිරි නිර්මාණ කීපයක්ම බාරගන්නටත් කතා කරමින් සිටිනවා. ඒ නිර්මාණත් එක්කම ජීවත් වෙමින් ක්ෂේත්‍රයට අලුත් නිර්මාණයක් දායාද කිරීම තමයි මගේ ඒකායන ප්‍රාර්ථනය.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT