Home » හැම්ලට් චිත්‍රපටය මගේ හැරවුම් ලක්ෂ්‍යය වේවි

හැම්ලට් චිත්‍රපටය මගේ හැරවුම් ලක්ෂ්‍යය වේවි

අංග රචනා ශිල්පිනී සංජීවනී ඇඹුල්දෙණිය

by Thanushika
January 2, 2025 10:39 am 0 comment

ලංකාවේ තැනෙන දකුණු ඉන්දීය සිනමා නිර්මාණයන්ගේ ප්‍රධාන අංග රචනා ශිල්පිනිය වන්නේ ඇයයි. අංග රචනය තුළ ඈ දක්වන විශේෂ ප්‍රයෝග කලාව නිසාම දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය තුළ ඇය විශේෂකොට සලකන්නේ ලංකාවේ දමිළ සිනමාවේ විශේෂ ප්‍රයෝග අංග රචනය සිදුකරන එකම කාන්තා නියෝජනය, ඇය නිසාමය. වෘත්තීමය අංග රචනා ශිල්පිනියක් හා කේෂාලංකරණ ශිල්පිණියක් වන ඈ මේ වනවිට දමිළ සිනමාවේ රංග ශිල්පිනියක් ද වී හමාරය. මෝස්තර නිරූපණ කලාවේද අලුත් ගමනකට මුල පුරා සිටින ඈ නමින් සංජීවනී ඇඹුල්දෙණියයි. මෙවර මැලේසියාවේ පැවතිMiss Mrs Legend Universal Beauty Pageant 2024  තරඟය සඳහා ශි‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඈ එහිදී රටවල් 56ක් අබිබවමින් අවසන් මහා තරඟයෙන් MRS LEGEND UNIVERSAL GLOBAL CHAMPION කිරුළ දිනාගනිමින් රටට කීර්තියක් රැගෙන ඒමට ද සමත් වූවාය. මීට පෙර ද තායිලන්තයේ බැංකොක් නුවර පවැති Mrs. Asia International – 2023  තරඟය නියෝජනය කළ ඈ එහි අවසන් වටය නියෝජනය කළ තරඟකාරියන් 24 දෙනෙකු අබිබවමින් ඉතා තියුණු තරඟයකින් පසු Mrs. Elegance ලෙසින් ශ්‍රී ලංකා නාමය ඔසවා තබන්නට ද සමත් වුවාය.

සංජීවනී ඔබේ ඊළඟ බලාපොරොත්තුව?

අමෙරිකාවේ පැවැත්වෙන Mrs. Universe  නියෝජනය කිරීම

කලා ක්ෂේත්‍රය ඔබ හඳුනාගන්නේ?

අංග රචනා ශිලපිනියක් වශයෙන්.

ඒ සඳහා ඔබට මාර්ගෝපදේශය ලබා දෙන්නේ?

මගේ පියා ජයතිලක ඇඹුල්දෙණිය. තාත්තා මේ රටේ ප්‍රවීණ අංග රචනා ශිල්පියෙක් තාත්තාත් කලාවට බොහොම ලැදි පුද්ගලයෙක්. රංගනය, ගායනය, ගීත රචනය චිත්‍ර නිර්මාණය, අංගරචනයේ විශේෂ ප ‍්‍රයෝග කලාවට සුවිශේෂී හැකියාවන් ප්‍රකට කළ කලාකරුවෙක් මගේ පියා.

අංග රචනා කලාවත් සමඟ ඔබ මේ ක්ෂේත්‍රයට එන්නේ මොන වකවානුවේද?

2017 වසරේ තමයි මම මේ වෙනුවෙන්ම ගමනක් ආරම්භ කළේ ඊට කලින් මම තාත්තා එක්ක තමයි අංග රචනය සඳහා යොමුවෙන්නේ යංග් ඒෂියා ටෙලි විෂන් චැනල් එකේ අංග රචනා ශිල්පියෙක් හැටියට වැඩකිරිමත් සමඟ මගේ අධ්‍යාපන කටයුතු අවසන් කර විරාමයක් ලැබ ඉන්නකොට තමයි තාත්තා මාව යංග් ඒෂියා ටෙලිවිෂන් ආයතනයට එක්ක යන්නේ. ඒ වෙනකොට තාත්තා එහි ප්‍රධාන මේකප් ආටිස් හැටියට වැඩ කළා.

අංග රචනා ශිල්පිනියක් වශයෙන් ඔබේම ගමනක් තුළ කළ මුල්ම නිර්මාණය මොකක්ද?

සිනමා නිර්මාණයකින් තමයි මම මේ ගමන පටන් ගන්නේ. දමිළ, සිනමා නිර්මාණයක් වූ කොමාලි කිං චිත්‍රපටයේ තමයි මම මුලින්ම අංග රචනා ශිල්පිනියක් හැටියට ගමනක් පටන් ගත්තේ. ලංකාවේ අවුරුදු හතළිහකට විතර පසුව නිර්මාණය කළ දමිළ සිනමා නිර්මාණයක් තමයි කෝමාලිකිං.

කිං රත්නම් අධ්‍යක්ෂණය කළ කෝමාලි කිං සිනමා නිර්මාණයත් සමඟින් අංග රචනයෙන් ජාත්‍යන්තර සිනමාවට ප්‍රවේශ වන ඔබ ඉන්පසු මොනවගේ නිර්මාණ සඳහා ද දායක වන්නේ?

ලංකාව තුළ නිර්මාණය කරන රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල හා ලංකාව තුළ නිර්මාණය වන දෙමළ චිත්‍රපටවල තමයි මම ප්‍රධාන වශයෙන් අංග රචනයෙන් දායක විමක් කරන්නේ.

ටෙලිනාට්‍යවල සිංහල චිත්‍රපටවල අංග රචනයෙන් ඔබ දායක විමක් කරල නැද්ද?

තවම නෑ. මම රූපවාහිනී කොමර්ෂල් හැරුණුකොට දමිළ චිත්‍රපටවල පමණයි. අංග රචනය කරල තියෙන්නේ.

දමිළ සිනමාවට පමණක් ඔබ කෝටු වූ අංග රචනා ශිල්පිණියක් ද? ඒකට විශේෂ හේතුවක් තියනවද?

මගේම ගමනක් තුළ ආරම්භයේදිම මට ලැබුණේ කෝමාලි කිං ඒ ලැබුණු වටපිටාව තුළ මාවත් ඉබේම ඇදිල ගියා දමිළ චිත්‍රපට පැත්තට. සිංහල සිනමා නිර්මාණ පැත්ත ආවරණයක් වෙනුවෙන් මට ආරාධනාවක් ලැබුණේ නෑ. ක්‍රියේටිව් පැත්තෙන් දමිළ සිනමාව තුළ මට කරන්න පුළුවන් පරාසය වැඩියි. ස්පෙෂල් ඉෆෙක්ට් පැත්ත මේ චිත්‍රපටවලට බොහෝ සේ අවශ්‍ය කෙරෙනවා. ඒ නිසාම මම ඒ පැත්තේ වැඩක් කරන නිසා මට මේ දමිළ සිනමාවේ ලැබෙන අවස්ථා වැඩියි.

දමිළ සිනමා නිර්මාණ ඔබට ලැබෙන්නේ කොහොමද?

ලංකාව තුළ ඉන්න දමිළ සිනමා කර්මාන්තයේ නියැළෙන හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම සිංහල කියල නෑ මට ඒ අය ගොඩක් උදවු කරනවා. මමත් එහෙමයි එයාල මාව සලකන්නේ එයාලගෙම කෙනෙක් විධියට.

කොපමණ දමිළ සිනමා නිර්මාණ ප්‍රමාණයකට මේ වනවිට දායක වෙලා තියනවද?

දැනට දමිළ චිත්‍රපට හයක් විතර මම අංග රචනය කරල තියනවා. එයින් චිත්‍රපට කිහිපයක් මේි වන විට ප්‍රදර්ශනය වෙලත් තියනවා. කෝමාලි කිං, ඔරුතවරු සොයිදාල් ඌලි තව චිත්‍රපට කීපයක් තියනවා තිරගත වෙන්න.

අංග රචනය හැරුණු කොට ඔබ රංග ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා නොවේද?

ඒ අවස්ථාව මට අහම්බෙන් උදා වූ දෙයක් දමිළ චිත්‍රපටවල තමයි මං මේ වනවිට රඟපාල තියෙන්නේ. ඒ නිර්මාණවල වැඩකරන කොට මාව දැකල ඒ නිර්මාණකරුවෝ මට ආරාධනා කළා. රඟපෑමටත් දායක වෙන්න කියලා. මම අංග රචනය කරපු දමිළ චිත්‍රපටවල තමයි. මේ වනවිට මම රඟපාලත් තියෙන්නේ. දමිළ කෙටි චිත්‍රපට කිපයකත් මම රඟපාල තියනවා.

මේ දවස්වලත් සිනමා නිර්මාණ සඳහා දායකවෙමින් ද ඉන්නේ?

ප්‍රවීන් ක්‍රිෂ්ණ රාජාගේ දිමාදර් දමිළ චිත්‍රපටයෙත් සංජීව්ගේ ද මර්ඩර් දමිළ චිත්‍රපටයේත් අංග රචනා කටයුතු කරමින් ඉන්නවා.

ජාත්‍යන්තර සිනමාවට, දමිළ සිනමාවට ඔබේ දායකත්වය මෙතරම් ලබාගන්න හේතුව කුමක් කියා ද ඔබ සිතන්නේ?

මම හිතන්නේ ඔවුන් මගෙත් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා. මම කරන වැඩවල ක්‍රියේටිව් පැත්තට එයාල අපේක්ෂා කරන අයුරින් මගෙන් ලැබෙනවා ඇති. ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් මගෙන් සාධාරණයක් වනවා කියන හැඟීම ඒ අය තුළ ඇති නිසා මට ආරාධනා කරනවා විය හැකියි. ඒක නිසා වෙන්න ඇති එක නිර්මාණයක් ඉවරවෙනකොට තව නිර්මාණයකට මට කතා කරන්නේ. මේ පැත්තට මම හිතල ගිය ගමනක් නොවෙයි තියෙන්නේ. ඒ ක්ෂේත්‍රයේ අයම තමයි මාව ඔවුන්ගේ පැත්තට ඇදල ගත්තේ. කොහේහෝ ටැමිල් ඉන්ඩ්‍රස්ට්‍රියේ චිත්‍රපටයක වැඩක් වෙනවා නම් අනිවාර්යෙන්ම මට කෝල් එකක් එනවාමයි. මේ වගේ දෙයක් කරනවා. ඒ සඳහා සහභාගි වෙන්න කියලා.

ආයතනගතව තමයි විදෙස් සිනමා නිර්මාණයක් රූපගත කිරීම් සඳහා සාමාන්‍යයෙන් යොමු වෙන ක්‍රියා පිළිවෙත. නමුත් ඔබ හා ගනුදෙනුවේදී එවැනි නිර්මාණකරුවන් ඔබ සමඟ පෞද්ගලික ගනුදෙනුවක් පමණයි. සිද්ධ කරන්නේ. මේ සඳහාත් විශේෂ හේතුවක් තියනවද?

සිනමා නිර්මාණකරුවෝ අතරමැදියන් නැතුව සෘජුව සම්බන්ධ කරන වටපිටාවක් මාත් එක්ක හැදිල තියනවා. ඔවුන් කොහේ ඉඳල ආවත් මට ස්ක්‍රිප්ට් එක ඔන් කරනවා. කැරැක්ටර් මේවා කියල. ෂෙඩුල් එක මට භාර කරනවා. මාව වෙන්් කරගන්නවා.

රංගනය කියන දේ ඔබ පාසල් වටපිටාව තුළ සිටම ප්‍රගුණ කළාද?

නෑ. මම පාසලේදී කළේ සංගීතය, රංගනය කියන පැත්තට මම යොමු වුණේ මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ.

අද ඔබ රංගනය ඔප මට්ටම් කරගන්න හැදෑරීමක් කරනවාද?

මුල් කාලයේ එහෙම දෙයක් කළේ නෑ. නමුත් 2023 වසරෙන් පස්සේ මම ක්ෂේස්පියර් පදනමට එකතු වුණා. එහි ඉන්ටර්නැෂනල් එම්බැසඩර් හැටියට මෙහිදී මම පදනම නියෝජනය කරමින් අනෙක් රටවල් සමඟ කටයුතු කරනවා.

අද ඔබ වේදිකාවටත් පිවිසිලාද රංග ශිල්පිනියක් හැටියට?

මට වේදිකාවේ රඟපෑමේ අවස්ථාව උදාවුණා. එහි ආරම්භය වශයෙන් පදනම මඟින් නිර්මාණය කරනු ලබන ක්ෂේස්පියර් නාට්‍යයේ ඒරියල් (සුරංගනාවියගේ) චරිතය මට කරන්න ලැබුණා. ලංකාව තුළ ක්ෂේස්පියර් නාට්‍යයට ලැබුණු ආරාධනයත් සමඟ මම වේදිකා නාට්‍ය සඳහා යොමුවීමක් සිද්ධ කළා. දැනට මෙහි රිහසල් කරමින් ඉන්නවා. ලබන වසරේ ජනවාරි මස විසිපස්වෙනිදා මේ නාට්‍ය වේදිකා ගත කරන්න තමයි දැනට සැලසුම් කරල තියෙන්නේ. පදනමේ නිර්මාණයක් ලෙස ක්ෂේස්පියර් නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ගාමිණී ඩී. සිල්වා මහතා.

ක්ෂේස්පියර් පදනමෙන් අලුත් වැඩකුත් කරන්න යනවා කියල ආරංචියි.

ඔව්. පදනම මඟින් හැම්ලට් කෘතිය චිත්‍රපට නිර්මාණයක් ලෙසින් ගෙන එන්න සැලසුමක් තියනවා. එහිත් මම ප්‍රධාන චරිතයක් රඟපාන්න සුදානමින් ඉන්නවා. ලබන වසරේ එහි රූපගතකිරිම් ආරම්භ කරනවා. මේ චිත්‍රපටය තමයි මගේ පළමු සිංහල චිත්‍රපට රංගනය වන්නෙත්. ලංකාවේ පළමු වතාවට තමයි ක්ෂේස්පියර් කෘතියක් සිංහල චිත්‍රපටයක් බවට පත්වන එකත් සුවිශේෂයි. ජීවන් කුමාරතුංගමහතා සමඟ තමයි මට මෙහි රඟපාන්න තියෙන්නේ.

ක්ෂේස්පියර් නිර්මාණය තුළත් ඔබ අංග රචනයත් සිද්ධ කරනවාද?

නෑ. මෙතනදි මට ලොකු කැපකිරිමක් කරන්න ඕනේ. චරිතය වෙනුවෙන් චරිතය හරියට කරන්න නම් නිදහස් මනසක් තියෙන්න ඕනේ. දෙකම එකට කරන්න අපහසුයි. මෙතනදි මම කරන චරිතය පිළිබඳ මට වගකීමක් තියනවා. මම තවම වේදිකාවට අලුත්. මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා. මම හැමදාම හිතන දෙයක් තමයි මම අලුතින් දෙයක් කරනවා නම් ඒ ගැන මම ඉගෙන ගත යුතුයි කියන දේ. මම සම්පුර්ණයෙන් ඒ ගැන දැනගෙන තමයි යමක් කළ යුත්තේ. කියන තැන මම ඉන්නවා.

ක්ෂේස්පියර් නිර්මාණ ගොන්නත් සමඟ ඔබ පැමිණීම ගැන මොකද හිතෙන්නේ?

මගේ ආරම්භයත් සමඟ මෙවැනි නිර්මාණ වලින් එළියට ඒමට මට හැකිවීම සම්බන්ධයෙන් ම ගොඩක් සතුටු වෙනවා. වගේම මම හරිම වාසනාවන්තයි. මෙවැනි උසස් කෘති ඔස්සේ ගමනක් අරඹන්න ලැබීම ගැන. ඔතලෝ නාට්‍යයේ රිහසල් අපි ලබන වසරේ පෙබරවාරි මස ආරම්භ කරන්නත් සැලසුම් කරල ඉවරයි.

ඔබේ මුල්ම සිනමා රංගනය ඉදිරිපත් කරන්නට ලැබෙන්නේ මෙරට ප්‍රවීණ නළුවකු වූ ජීවන් කුමාරතුංගයන් සමඟ?

ඔව්. ඒකත් මම ලබන වාසනාවක් අත්දැකීම් බහුල ප්‍රවීණ නළුවකු සමඟ මගේ කුලුඳුල් සිංහල සිනමා අත්දැකීම ලබන්න.

පාසල් අධ්‍යාපනය තුළ ඔබ ලබන සංගීත අධ්‍යාපනය පසු කලෙක අතරමඟ නතර කරනවා ද?

හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබු මම කොළඹ ආනන්ද බාලිකාවට ඇතුළත් වී වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයේ මම මියුසික් කළා. ගායනය වගේම වාදනය. නමුත් මම ඒක ඉදිරියට අරන් ආවේ නෑ. ඒ ගැන විශේෂ උනන්දුවක් මට තිබුණෙත් නෑ. මම හිතුවේ නැති විධියට තමයි මේකප් පැත්තට මම යොමු වුණෙත්.

මෙරට ප්‍රවීණ අංග රචනා ශිල්පියෙකු වූ ඔබේ පියා අද වනවිට ඔබේ සහයට ඔබ සම්බන්ධවී වැඩකරන නිර්මාණ සඳහා එක්වනවා කියලයි දැනගන්න තියෙන්නේ?

මේ රටේ ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනයක කායවර්ධන උපදේශිකාවක් ලෙසත් මම කටයුතු කරමින් හිටියා. ඔය අතරේ තාත්තාට වැඩ පිට වැඩ එනකොට මම තාත්තාගේ සහායට ගියා. එහෙම ගිය ගමනේ ප්‍රතිඵලය වුණේ මම අංග රචනා කලාව ඇඟට ගැනීම. අද මට ලැබෙන නිර්මාණවල මම හිරවෙලා ඉන්න වෙලාවට මගේ සහායට එන්නේ මගේ තාත්තා. මට යන්න බැරි තැන්වල ඒ වගකීම් මටත් වඩා විශ්වාසනීයව ඉටු කරන්නේ මගේ තාත්තා. වැඩකට තාත්තා යනවා කියන්නේ මගේ හිතට සියයට සියයක් විශ්වාසයි. තාත්තාට තියන අත්දැකීම් සුවිශාලයි.

සිංහල සිනමා නිර්මාණ සඳහා දායක වෙන්න ඔබේ කැමැත්තක් නැද්ද?

තියනවා ආරාධනා ආවොත් බාරගන්නවා.

පුංචි කාලේ පටන් ඔබේ හීන තිබුණද?

ෆිල්ම් ඉන්ඩස්ටි‍්‍රයට ගියහමයි මම හීන දකින්න පටන් ගත්තේ මට එන්න එන්නම පේන්න පටන් ගත්තේ ලොකු හීන. ෆිල්ම් ඉන්ඩස්ටි‍්‍රය තුළ වැඩකිරිම මත මට ලොකු පරාසයක් පේනවා. මම නිරන්තරයෙන් උත්සාහ ගත්තේ ලංකාවෙන් එළියට යන්න. ලංකාව තුළ විතරක් වැඩකිරීම නොවෙයි මට ඕනේ. මට ඕනේ හොලිවුඩ් බොලිවුඩ් සිනමාවට යන්න. කවද හරි මම හීන දකින්නේ. මගේ පැත්තෙන් මේ ඉන්ඩ්‍රස්ටියේ ඉහළම තැනකට යන්න. ජාත්‍යන්තරයට යන්න අංගරචනා ශිල්පයේ ගමනක් යන මේ රටේ එකම කාන්තාවත් මම වෙන්නත් බැරි නෑ.

අංග රචනය තුළ ඔබ සම්මානනීය ඇගැයුම් පැසසුම් එහෙමත් මේ වන විට ලබල තියනවද?

තවම නෑ. මම ලංකාවේ නිර්මාණය කරන සිංහල චිත්‍රපටවල ටෙලිනාට්‍යවල නොමැති නිසාද මම දන්නෑ දකුණු ඉන්දීය සිනමා නිර්මාණවලත් ඒ අවස්ථාව මට තාම උදාවුණේ නෑ.

හොලිවුඩ්, බොලිවුඩ් සිනමාව සොයායන පිපාසයෙන් පසුවන සංජීවනීට ජාත්‍යන්තර සිනමාවේ අංග රචනයේ ප්‍රවීණයෝ හා කරට කර වැඩකරන්න අවස්ථාව උදාවෙලා නැද්ද?

තවම නෑ. මම ආශාවෙන් ඉන්නවා. මම අදත් දැනුම පිපාසයෙන් පෙළෙන කෙනෙක්. මම ආසයි එවැනි ප්‍රවීණයන් දායක වන නිර්මාණයක සහායකයෙක් ලෙස වුණාත් වැඩ කරන්න.

කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙසත් ඔබ කලා කෘති වෙනුවෙන් දායක වෙනවා නොවේද?

මම මේ පිළිබඳ ජාත්‍යන්තර පුහුණු පාසලක අධ්‍යාපනයක් ලැබුවා හසිනි ගුණසේකර මහත්මිය යටතේ. අංග රචනා කලාව හා බද්ධව තමයි කොණ්ඩා මෝස්තර නිර්මාණ කටයුත්තත් සිද්ධ වෙන්නේ. මේ ක්ෂේත්‍ර දෙකම එක පුද්ගලයෙක් අතින් සිදුවීමත් විරල දෙයක්. මට ඒ විරල අවස්ථාවන් පිහිටල තියනවා. මම ඒ කාර්යන් දෙකෙන්ම සුපෝෂිත තැනැත්තියක්.

සාර්ථක අංග රචනයට කොණ්ඩා මෝස්තර ශිල්පයත් සුවිශේෂියිද?

ඔව් යම් චරිතයක් ගොඩනගන්න. අවශ්‍ය කරන පෙනුම ගන්න කොට කොණ්ඩයත් වැදගත් මේකප් කළාට මදි. මට මම කරන වැඩේ ගැන සහතිකයක් දෙන්න පුළුවන් මම කරන වැඩ දෙකම හරියට දන්න නිසා මම එක දෙයක් කරල තව කෙනෙක් තව දෙයක් කළොත් මගේ හිතේ ඇදෙන දේට හරි සාධාරණයක් වෙන් නෑ කියල මට හිතෙනවා.

මෝස්තර නිරූපණය පැත්තට ඔබ අහම්බෙන් ද යොමු වුණේ?

2023 වසරේ තමයි මේ අවස්ථාව මට උදාවෙන්නේ. මගේ ජිවිතයේ ටර්නින් පොයින්ට් එකත් මේක. මම මීට පෙර ලංකාවේ මොඩ්ලින් ෆීල්ඩ් එකේ ඉඳලත් නෑ. කරල තිබුණෙත් නෑ. හදිසියේම තමයි ඒෂියා ඉන්ටර්නැෂනල් යන්න මාව තේරුණේ මම පැජන්ට් පැත්තට යොමුවුණේ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වු QUEEN OF THE WORLD 2023  තරඟයට සහභාගි වීමත් සමඟ මේ ෆිල්ඩ් එකේ මගේ පළමු අත්දැකීම වුණේ මෙයයි. මේ සඳහා මාව යොමු කළේ මේ පිළිබඳ ලංකාවේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ නදීකා සෙනෙවිරත්න රුක්මල් සේනානායක මහතා මට කැට්වෝක් එකේ සිට පර්සනැල්ටි එක පවත්වාගෙන යනහැටි මුල ඉඳලම පුහුණු කළා. ඒ තමයි මේ පැමිණි ගමනේ ආරම්භය. මම මේ පැජන්ට් එකට ගිහින් මුල්වතාවේදීම ඇදගෙන වැටුණේ ඉන්ටනැෂනල් ෆොටෝ ග්‍රැෆස්ල ඉස්සරහ. කැට්වෝක් එකේ ඉඳල උගන්වන හැමදෙයක්ම මම ඉගෙනගත්තේ. මේ පිළිබඳ ඉන්ටනැෂනල් වශයෙන් උගන්වන අයත් සමඟ. මම එක අඩියක්වත් හරියට තියන්න මෙහෙ ඉගෙන ගෙන තිබුණේ නෑ. මම පළමු වතාවෙන්ම ක්‍රවුන් එකක් වින් කරනවා. කියන්නෙත් ඒක සුවිශේෂයි. මම අත්දැකිම් නැතුව Mrs. Asia sri Lanka  තරඟයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළා. ඊට පස්සේ Mrs Asia International – 2023 සඳහා සුදුසුකම් ලැබුවා. මේ සඳහා මට උපදෙස් ලබාදීල ඉදිරිපත් කළේ මලිත් රණසිංහ මහත්මයා.

ඔබ විශ්වාස කළා ද තරඟයෙන් ජයග්‍රහණය කරන්න ලැබෙයි කියල?

මිනි ටයිටල් එකක් ගන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. නමුත් ක්‍රවුන් එකක් ගැන විශ්වාසයක් කොහෙත්ම තිබුණේ නෑ. හැබැයි මගේ හිතවතුන් යාළු මිතුරු මිතුරියන් නම් කිව්ිවේ ඔයා කොහොමත් ක්‍රවුන් එකක් අරන්නේ එන්නේ කියලා. මමනේ දන්නේ වැඩේ. අමාරුව කවුරු මොනව කිව්වත් මමනේ ඉදිරිපත් වෙන්නේ පොඩි ක්‍රවුන් එකක්වත් ගේන්නම් කියල තමයි ගියේ. නමුත් මට මේන් ක්‍රවුන් එක ගේන්න පුළුවන් වුණා.

ක්ෂේස්පියර් නාට්‍ය නිර්මාණයන් සමඟ ඔබෙන් ගිලිවුණු තවත් හැකියාවක් කරළියට එයි නේද?

ඔව්. ගායනය, නර්තනය, රංගනය මේ ඔක්කොම මට කරන්න තියනවා. මේ නාට්‍ය තුළ වුණත් මට ගොඩක් ගීත ගායනා කරන්නත් තියනවා.

අංග රචනා ශිල්පිනියක් විධියට මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න නවක පිරිස් සඳහා ඔබ දෙන පණිවිඩය මොකක්ද?

මේ ක්ෂේත්‍රයට එනවා නම් දැඩි කැපවීමක් උනන්දුවක් තියෙන්නම ඕනේ. එක තැනක මේකප් එකක් දාල හිටියට වැඩක් නෑ. ලෝකේ වෙනත් තැන්වල මේ දේවල් කරන හැටි අපි බලන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. හැම පැත්තකින්ම අපි ඉගෙන ගන්න ඕනේ. සෙල්ෆි ස්ටඩි ගොඩක් වැදගත්. මමත් හරි ආසයි මම දන්න දේ තව කෙනෙකුට කියල දෙන්න. මම ළඟ ගුරුමුෂ්ටිය නෑ. දන්න දේ මම ලබපු දේ මගෙන් පස්සේ තවත් පිරිසක් මේ දේ ගෙන යා යුතුයි කියන තැන මම ඉන්නවා. අදටත් මම ඉගෙන ගන්නවා. මමත් ලෝකයේ කරන කියන දේවල් මේ සම්බන්ධයෙන් අපිට වැදගත් දේ ගැන නිරන්තරයෙන් සොයමින් ඉගෙන ගන්නවා.

අංග රචනා කලාව යනු හුදෙක් මේකප් කිරිමක් පමණක් ද?

අංග රචනය කියන වචනයේම තියනවා එහි තේරුම අපි නිර්මාණයක් හදනවා කියන අර්ථය එහි තියනවානේ. ඒ තුළම තියනවා මේකප් ආටිස්ට් හැටියට අපි මොනවද කරන්නේ කියලා. එළියෙන් බලන කෙනා හිතන්නේ අපි ලස්සනට මේකප් එකක් දාලා දුන්නම ඒකයි වැඩේ කියලා. එතනින් එහාට ගියොත් ටී.වි. කොමර්ෂල් චිත්‍රපටවල අධ්‍යක්ෂවරයාට අවශ්‍ය කෙනාව නිර්මාණය කරල දෙන එක තමයි අපේ යුතුකම. අපේ තැන ෆේල් වුණොත් මුළු නිර්මාණයම ෆේල්. ඒ වගකීම අපි අතේ තියෙන්නේ.

ඔබ ආගමනය ගැන ආපසු හැරිල බැලුවොත්?

සතුටුයි. නමුත් මට තව දුරගමනක් යන්න තියනවා. මේ කර්මාන්තය තුළ මගේ කකුලෙන් අදින්න කවුරුවත් ඉඳලා නෑ. වැඩ කරගෙන යනකොට උදවු කරන අයතමයි ඉදල තියෙන්නේ. ලංකාව ඇතුලත මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ගොඩක් ඉන්නවා. මම මගේ ගමන මගේ පාඩුවේ යනවා. මට ලොකු ප්‍රශ්න ආවෙත් නෑ.

රටවල් පනස් හයක් නියෝජනයෙන් මැලේසියාවේ පැවති තරඟාගවලියේදී කිරුළ පලදන්න ඔබට ශක්තියක් වූ විශේෂ පිරිස් එහෙමත් ඇති?

මිස් ඒෂියා ඉන්ටර්නැෂනල් තරඟයේ සිට මේ දක්වා පැවති හැම තරඟයකදීම මගේ නැෂනල් කොස්ටියුම් ඩිසයින් එක නිර්මාණය කළේ ආකාශ් පරණවිතාන ඔහුගේ. පෞද්ගලික මුදලින්. මෙවර මැලේෂියාවට ගිහින් මාත් සමඟ දවස් දහයක් විතර මේ තරඟාවලියත් සමඟ ඉඳිමින් මට ශක්තියක් ලබාදුන්නේ ඔහු. ඒ ශක්තියට මම ඔහුට හිසනමා ස්තූති වන්ත වෙනවා. ඒ වගේම එදා සිට අද දක්වාම මේ තරගාවලිය වෙනුවෙන් නර්තන උපදේශනය ලබාදුන්. ඛ්බ්ඉ – ධ්දඤඪචද ච්චදජඪදඨ ඒජචඤඥථර හි සී ජේ ෂාන්ව මෙහිදී විශේෂයෙන් ස්තූති පුර්වකව සිහිපත් කරන්න ඕනේ. ඇඳුම් ආයිතම් ලබාදුන් වී.ආර්. බ්‍රයිඩල් වගේම මේකප් කටයුතු සිදුකළ බියුටි බාබා නිම්නිත්ට මෙය ස්තූති වන්ත වීමටත් අවස්ථාවක් කරගන්නවා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT