Home » හඳගම, හා පුටින්

හඳගම, හා පුටින්

by Thanushika
April 10, 2025 9:17 am 0 comment

අශෝක හඳගම විසින් නිර්මාණය කරන ලදුව මේ දිනවල තිරගත කෙරෙන ‘රාණි’ සිනමාපටය උණුසුම් සංවාද හා විවාද මැද කැපී පෙනෙන්නේ චරිතාපදාන සිනමා පිවිසුම පිළිබඳ නව කතිකාවකටද ඉඩ හසර පාදා දෙමිනි. ඇතැමෙකු පෙන්වා දෙනුයේ අදාළ චරිතය , චරිත හා පසුබිම ඒ හැටියෙන්ම නිරූපණය අවැසිම වන බවය. නව අරුතක් කුළු ගන්වනු පිණිස ඉන් විවර වන මඟ භාවිත කළ යුතු බවද කියැවේ. එසේම අදාළ චරිතය, චරිත හා පසුබිම අරභයා කල්පිත කියැවීමකට ඇති නිර්මාපක නිදහස වල දැමිය යුතු නැති බව පවසන්නවුන්ද මෙතැනදී හමුවිය හැකිය. ‘රාණි’ තවදුරටත් සක්‍රියව සිනමාශාලා සමඟ ගමන් කරන්නේ මෙම ද්වි විධ විවරණය මහෝපකාරී කොට ගෙනයි.

මෙම උණුසුම් සංවාදය හා විවාදය තීව්‍ර කරනු පිණිස සපැමිණි විදෙස් සිනමාපටයක්ද මේ මොහොතේදී සිරිලක සිනමා රසික සමාජය කලඹවමින් සිටින අයුරු පෙනේ. පැට්‍රික් වේගා නමැති පෝලන්ත සිනමාකරු විසින් නිර්මාණය කරන ලද ‘පුටින්’ නමැති උක්ත සිනමාපටයට විෂය කොට ගෙන ඇත්තේ වත්මන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ දිවි සැරියයි. පැට්‍රික් වේගා ලොව වඩාත්ම කතා බහට ලක්වන සිනමාපට නිර්මාණයට බට සිනමාකරුවකු නොවේ. සැබැවින්ම සිරිලක සිනමා රසිකාගාරය ඔහුව හඳුනා ගන්නේම ‘පුටින්’ සමඟය. ‘පුටින්’ සිනමාශාලා ප්‍රදර්ශනයකට යොමුව තිබුණේ නම් ඔහුගේ සිනමා භාවිතය පිළිබඳ පුළුල් කතා බහකට අවකාශ සලසා ගත හැකිව තිබිණි. ලොව මුල් පෙළේ හෝ වැඩිපුර කැපී පෙනෙන සියලු සිනමාපට සිරිලක සිනමාශාලා කරා නොපැමිණෙන වග සැබෑවකි. සත්තකින්ම එය ප්‍රායෝගිකව සපුරා ගැනීම අසීරු ඉලක්කයක්ම වේ. සිනමාපට ආනයනය නිරනුමානවම ධනොපායන අරමුණු හා බැඳී පවතී. සක්‍රියව පවතින සිනමාශාලා සංඛ්‍යාවද මෙහිලා සලකා බැලෙන සාධකයකි. ඇතැම් සිරිලක සිනමාපට මුල් පෙළේ විදෙස් සිනමාපට පහසුවෙන් අබිබවා ප්‍රදර්ශනය වීමද නොසලකා හැරිය යුතු නොවන තවත් සාධකයක් සේ ගිනිය යුතුය. ‘රාණි’ එක්‌ නිදසුනක් පමණි. අනෙක් හොඳම නිදසුන වනුයේ ඉලන්ගෝ රාම් විසින් නිර්මාණය කරන ලද ‘නෙලුම් කුලුන’යි. මේ අනුව ජගත් සිනමාවේ නවතම අවස්ථා හා සමීප වීමට හැකිවන්නේ අන්තර්ජාලයම ඉවහල් කොට ගෙනයි.

සිනමාකරු වේගා ‘පුටින්’ සිනමාපටය නිමවන්නේ අතීත සැබෑව හා නුදුරු අනාගතයේ කල්පිත මුසු කරන දැක්මක් මත පිහිටාය. ‘පුටින්’ විදෙස් සිනමාව ප්‍රිය කරන සිරිලක රසිකයන්ගේ සැලකිල්ලට හා අවධානයට ලක් විය යුතුම සිනමාපටයක් සේ හඳුන්වා දිය හැක්කේ වෙසෙසින්ම මේ පිළිවෙත නිසාවෙනි. මෙහිදී සිනමාකරු වේගා නොපැකිළව හා නිර්භයව වත්මන් ලොව බලසම්පන්නම රාජ්‍ය නායකයකු වන ව්ලැඩිමීර් පුටින් සිනමාව තුළට රැගෙන එන අයුරු පැහැදිලිය. නික්ම නොගිය චරිත පිළිබඳ කෙරෙන නිර්මාණ කාර්යයන් දුලබ නොවන බවද කිව යුත්තකි. කෙසේ නමුදු රසිකයා වහා කල්පනා කරනු ඇත්තේ වෙනත් බලවතකු මෙසේ සිනමාපටයකට හෝ අන් මාධ්‍යයකට විෂය කර ගත්තේ නම් බොහෝ අනතුරු පැන නැඟිය හැකිය යන්නයි.

සිනමාකරු පැට්‍රික් වේගා ‘පුටින්’ අරඹන්නේ එළැඹෙන 2026 වසරේදීය. මොස්කව් නගරයේ රෝහලකදීය. මෙය කල්පිත අනාගතයක කල්පිත සිදුවීමක් නොවීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් ඔහු තුළ අපමණ විශ්වාසයක් තිබෙන්නට ඇතැයි සිතේ. වත්මන් ලෝක බලවතකු වන ව්ලැඩිමීර් පුටින් සිටින්නේ රෝගීව මහත් සේ පීඩා විඳීමිනි. ඔහු වෙව්ලමින් හා වකුටුවෙමින් සිටී. සනීපාරක්ෂක ඇඟලුමකින් පමණක් ඔහුගේ ගත ආවරණය කොට ඇත. වෙදැදුරන් හා හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිය නයුවා සුවපත් කරනු පිණිස දරන්නේ අතිමහත් වෙහෙසකි. පුටින්ගේ චරිතය තිරය මත සනිටුහන් කරන ස්ලැවෝමිර් සොබාලා දක්වන රූපණ කුසලතාව රසික සිත් සසල කරන්නේ වැඩි කාලයක් ගතවීමට පෙරාතුවය.

ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනපති පදවිය දරන්නේ වසර 2012 සිටයි. ඊට පෙර ඔහු අගමැති ධුරයේද කටයුතු කොට තිබේ. ඡන්ද විමසීම් විෂයෙහි ඔහුව තෝරා ගන්නට රුසියානුවෝ නොපැකිළුණ. ඔහු යකඩයක් මෙනි. අභියෝග හමුවේ නොසැලෙන්නෙකි. එහි ප්‍රජාතන්ත්‍රීය බව සම්බන්ධයෙන් මතු කළ ගැටලු තවදුරටත් පවතින අයුරු පෙනේ.ප්‍රතිවාදී බලවේග දුර්මුඛ කෙරෙන ඔහුගේ පිළිවෙත් වරෙක නොව වාර ගණනාවකදීම විවාදාත්මකය. අසල්වැසි යුක්‍රේනය සමඟ යුද වැදීමේ ඔහුගේ තීන්දුව තවමත් හකුළා ගෙන නොමැති බව පෙනේ. රුසියානු -යුක්‍රේන යුද ගැටුම නිසා අහිමි වූ ජීවිත හා දේපළ වටිනාකම තක්සේරු කළ හැකි නොවේ. මේ හුදෙක් රුසියානු හා යුක්‍රේන ගැටුමක් පමණක්ම නොවේ. යුරෝපයද, අමරිකා එක්සත් ජනපදයද මේ ගැටුමේ නා නා විධ පාර්ශ්වකරුවෝ වෙති. අමරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් මෙසමයේ පියවර ගනිමින් සිටින්නේ පුටින් හා කතිකා කොට රුසියානු – යුක්‍රේන ගැටුමට තිරසාර විසඳුමක්‌ සහතික කරලීමටය. පුටින් ඊට දක්වන ප්‍රතිචාර කෙරෙහි මුළු ලොවම බලා හිඳී.

පැට්‍රික් වේගා නිර්මාණය කළ ‘පුටින්’ මහජන දැක්මට පැමිණෙන්නේ මේ වාතාවරණය තවදුරටත් පවතින පසුබිමකයි.

ව්ලැඩිමීර් පුටින් ලොව බලසම්පන්නම රාජ්‍ය නායකයකු දක්වා ආ මඟ පිළිබඳ කියැවීමකට සිනමාකරු දක්වන වෙහෙස කැපී පෙනේ. ගෙවුණු සියවසේ පස් වන දශකය දක්වාම ඔහු සිය රසික කණ්ඩායම කැඳවාගෙන යයි. පුටින්ගේ බාල කාලය, ගැටවර විය හා තරුණ විය ඔස්සේ මැදිවිය දක්වා ගමන් කරන සිනමාකරු වේගා වත්මන් සමය ප්‍රතිනිර්මාණයට පියවර සලසන්නේ සහේතුක ලකුණු ඒ ඒ සැසඳීම් සමඟ ගළපාලමිනි.

මෙබඳු ආසන්නතම අතීතයක් වුව සිනමානුරූපීව පිළිබිඹු කරලීමේ ප්‍රශස්ත හැකියාවක් වත්මන් සිරිලක සිනමාකරුවනට තිබේදැයි යන්න බැහැර කළ නොහැකි පැනයකි. හඳගමගේ ‘රාණි’ ට විෂය වන්නේ තිස් පස් වසකට පෙර සමයයි. මෙහි එන ඇතැම් බිහිසුණු සිදුවීම් ප්‍රතිනිර්මාණයේදී සිරිලක සිනමා තාක්ෂණය සතු ඇතැම් සීමා පිළිබඳ කනස්සල්ලක් උපදින්නේ නිරායාසයෙනි. ‘ක්ෂීර සාගරය කැලඹින’ බඳු සිනමාපටයක් මේ අභියෝගයට වඩා පහසුවෙන් මුහණ දුන්නේ ඊට කල්පිත අවධියක් විෂය වී තිබීම නිසාවෙනි. ‘විජයබා කොල්ලය’ , ‘ගෞතම බුද්ධ මාතා’ යන අතීතය දැක්වෙන සිනමාපට විවරණයේදී සිරිලක සිනමාවේ මෙම දිළිඳු බව සම්බන්ධයෙන් නිසි වැටහිමක් සරි කර ගත හැකිය. සිරිලක වෘත්තාන්ත සිනමාවට දැන් සියවසක් සපිරී ඇත. සිරිලක සිනමා කලාපයට වසර වසර එකසිය විසිපහක පමණ ඉතිහාසයක් තිබේ. එහෙත් සපුරා ගත යුතු දෑ බොහෝය.

සිනමාකරු වේගා ‘පුටින්’ හි නිමාව සනිටුහන් කරලන්නේ 2026 වසර කරා යළිත් පැමිණෙමිනි. ජනපති පුටින් රෝගීව, මරණාසන්නව වේදනාවෙන් සිටින අයුරු ඔහු දක්වන්නේ සියුම් කම්පාවක්ද ජනිත කරමිනි. ලොව හෙල්ලූ බලවතකුගේ ජීවිතාවසානය මෙබඳුද යන පැනය නඟන්නට රසික සමාජය යුහුසුලු වෙති. ජනපති පුටින් මෙසේ මරණය සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටින්නේ මව් කුස තුළ වැඩෙන බිළිඳකු මෙනි.

මේ සැබැවින්ම සිදු නොවන්නක් විය හැකිය යන්නද රසිකයාට හැඟෙන්නේ පමාවකින් තොරවය.ලොව සිදුවන නොයෙකුත් සසලවීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට රෝගී පුටින් අදි මදි නොකරයි. වත්මන් රුසියාව පමණක් නව අනාගත රුසියාවද පුටින්මය යන අදහස මෙතැනදී උද්දීපනය කෙරේ. ඔහුව පරාජය කළ හැක්කේ ඔහුටමය යන අදහසද මෙතැනට පැමිණෙන්නේ නිරායාසයෙනි. පුටින්ගේ අවසාන ඉරණම කල්පිතයක් සේ දැක්වීමෙන් සිනමාකරු මතු කරන්නට යත්න දරන කතා බහ පුළුල් කරලීම රසික සමාජයේ වගකීමක් සේ දැක්වීම සහේතුකය.

චරිතාපදාන සිනමාපටයක් සුලබ වෘත්තාන්ත සිනමාපටයක් නොවන්නට ඇති ඉඩ කඩ පිළිබඳ කතාබහකට ‘පුටින්’ ලබා දෙන අවකාශය ඵලදායී අන්දමින් භාවිත කරලීම රසික -විචාරක දෙපිරිසේ තවත් වගකීමක් වේ. හඳගමගේ ‘රාණි’ වුව සුලබ ලකුණුම ගහණ වෘත්තාන්ත සිනමාපටයක් සේ හඳුනා ගැනීම අපහසුය යන්න පැහැදිලිය. ‘රාණි’ වාර්තා -වෘත්තාන්ත ලකුණු මුසුවූ සිනමාපටයක්ය යන්නයි තවමත් පිළිගැනෙන්නේ. මෙම හඳුන්වා දීම ‘පුටින්’ ටද අදාළය. ගෙවුණු සියවසේ පස් වන දශකයේ සිට වත්මන් සමය දක්වා සෝවියට් සංගමය හා රුසියාව තුළ පමණක් නොව ලොව පුරාද සිදුවූ තීරණාත්මක දෑ සෘජුවම හා ව්‍යංග්‍යයෙන් පවසන්නට සිනමාකරු කටයුතු කරන්නේ එම තතු ගෙන හැර පාමිනි.

පුටින්ගේ ඇතුළාන්තය හා හෘද සාක්ෂිය සඳහන් කිරීමේදී සිනමාකරු වේගා භාවිත කරන අතීතයේ සිට පැමිණෙන චරිත ද්විත්වය එක්තරා අන්දමකින් සිනමාපටයේ වාර්තා -වෘත්තාන්ත ස්වරූපය හා ස්වභාවය අතර ආයාසයකින් තොර බැඳීමක් ඇති කරලන්නට හේතුවන බව පෙනේ. සිනමාපටය නිමා කෙරෙන විට මේ චරිත කිසිදු ආගන්තුක ලකුණක් අවධාරණය නොකරන සුළුය. අශෝක හඳගමද ‘රාණි’ නිමවීමේදී මෙයට සමීප පිළිවෙතක් අනුගමනයට පියවර ගත් බව කිව යුත්තකි. මේ හැම තැනකම අප්‍රකටව හා ප්‍රකටව සැරිසරන තරුණ කතකගේ චරිතය සමඟය.

ව්ලැඩිමීර් පුටින් බඳු බලවතකු පිළිබඳ මෙවැනි උපකල්පන සහිත චරිතාපදාන මාදිලියේ සිනමාපටයක් නිමවීම අතුරේ යන්නක් බඳු අවදානම් කටයුත්තක්ය යන්න කිසිදු රසිකයකුට රහසක් විය හැකි නොවේ . සිනමාපටය මහජන ප්‍රදර්ශනයට යොමු කළේ ගෙවුණු ජනවාරියේදී බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. පුටින් පාලනය පැටලී ඇති නොයෙකුත් දේශපාලනික කලි කලහයන් නිසාද ‘පුටින්’ සිනමාපටය මඟ නොහැරෙන්නට ඉඩ තිබේ.

චරිතාපදාන සිනමාපට මාදිලිය සිරිලක සිනමාවට තවමත් දුරස්ථය. මෙයට අදාළ ඇතැම් සිනමාපට යහපත් හා දිරි ගන්වන සුලු රසික -විචාරක ප්‍රතිචාර නොලැබූ බව රහසක් නොවේ. සිනමාව කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක අයුරින් භාවිත කරලනු පිණිස උත්සුක වන බොහෝ ප්‍රවීණ හා නවක සිනමාකරුවෝ චරිතාපදාන සිනමාව කෙරෙහි එපමණ උනන්දුවක් නොදක්වති. සිරිලක සිනමා කලාපය පසු කර යන විට දත හැකි ඇමරිකානු හා යුරෝපීය සිනමා කලාප, චරිතාපදාන සිනමාව සිය පළමුවැනි තෝරා ගැනීමක් බවට පත් කර ගන්නා අවස්ථා නිරන්තරයෙන්ම දක්නට ලැබේ. ‘පුටින්’ එක් නිදසුනක් පමණි.

 

[email protected]

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT