2024 වසරේ චිත්‍රපට හතළිහකට ආසන්න ප්‍රමාණයක් තිරගත වූ වසරක් ලෙස හැඳීන්විය හැකිය. ආදරය, ත්‍රාසය, විනෝදය, ඉතිහාසය, හාස්‍ය, ක්‍රියාදාම මේ සෑම දෙයක්ම මුසුවූ චිත්‍රපට පොකුරක් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුණි.
ළමා, වැඩිහිටි, පවුලේ සැමට මේ ආදී වශයෙන් නිර්මාණය වූ චිත්‍රපට ඒ පොකුරට අයත් විය. ඒ අතරට තරුණ පිරිස ආකර්ෂණය වන ලෙස නිර්මාණය වූ චිත්රපටද ඇතුළත් වී තිබුණි. 2024 අග භාගයේ තිරගත වන්නට යෙදුණු සෝලෝ ටවුන් එවැනි චිත්‍රපටයකි. එය සංගීතමය සිනමා සිත්තමක් ලෙස හැඳීන්විය හැකිය.
කඩවසම් තරුණයන් පස්දෙනෙක් වටා ගෙතුණු සෝලෝ ටවුන් චිත්‍රපටය වටා තරුණ තරුණියන් වැඩි වශයෙන් රොක් වී තිබීම විශේෂත්වයක්.
සංගීත කණ්ඩායමක නොයෙක් හැල හැප්පීම් අතරේ උත්සාහයෙන් ඉදිරියට ඒමට තැත්කරන තරුණ සංගීත ශිල්පීන් පිළිබඳ කතාවක් රැගත් චිත්‍රපටයකි සෝලෝටවුන්.
වර්තමානයේ ගායනයට, වාදනයට දක්ෂ තරුණ පිරිස් එක්වී සංගීත කණ්ඩායම් නිර්මාණය කර ඔවුන්ගේ දස්කම් ඒ හරහා ඉස්මතු කරගනිමින් සිටිති. තමන්ගේ හැකියාවන් වැළලීයාමට ඉඩ නොදිය යුතුය. ශ්‍රී ලංකාව තුළ බිහිවූ එවැනි සැබෑ සංගීත කණ්ඩායමක් සෝලෝටවුන් හරහා කරළියට ආවේය. එම සංගීත කණ්ඩායම සිනමා නිර්මාණයක් තුළින් සමාජයට පිවිසීම විශේෂත්වයකි. එහි සැබෑ නමද සෝලෝටවුන් වීම එම විශේෂත්වයට හේතුවයි.
සෝලෝටවුන් ලංකාව තුළ සැබෑවටම නිර්මාණය වන්නේ මීට අවුරුදු දෙකකට පෙරය. කඩවසම් දක්ෂ තරුණයින් පස්දෙනෙකුගෙන් සමන්විත සෝලෝටවුන් (boy band) සැබැවින්ම දැනටමත් සංගීත ක්ෂේත්රයේ ක්‍රියාකාරී සංගීත කණ්ඩායමකි. සෝලෝටවුන් සංගීත කණ්ඩායමේ සමාජිකයන්ම මෙහි රංගනයේ යෙදීම ද අපූරු සිද්ධියකි.
සෝලෝටවුන් චිත්‍රපටයේ එහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ වර්තමානයේ තරුණියන්ගේ සිහින කුමරෙක් වූ රවීන් කණිෂ්කයි.
ඉතාමත් කාර්යබහුල අවස්ථාවක වුවත් ඔහු සරසවිය හමුවට පැමිණියේ ඔහුගේ නවතම සිනමා සිත්තම සෝලෝටවුන් ගැන කතා කිරීමටයි.
දුටු පමණින් කාගෙත් නෙත් ඔහු වෙත ඇදීයාම අරුමයක් නොවෙයි. සිත වසඟ කරවන සිනහවක් සමඟින් සෝලෝටවුන් ගැන ඔහු තම අදහස් මුදාහැරියේය.
සෝලෝටවුන් කියන්නේ සංගීතමය චිත්‍රපටය ක්. කොල්ලො පස්දෙනෙක්ගෙන් සමන්විත බෝයි බෑන්ඩ් එකක්. මට පළමු වතාවට තමයි මට සමීප චරිතයක් ලැබුණේ. මමත් ගායකයෙක් නිසා ඒ හා බැඳුණු චරිතයක් මට ලැබුණ එකට සතුටුයි. අසංජන කියන චරිතයට තමයි මම රංගන දායකත්වය දෙන්නේ. එය සුන්දර අත්දැකීම් රාශියක් තිබුණ ෆිල්ම් එකක්. ගායනය, රංගනය පමණක් නෙවෙයි එහි නර්තනයත් මුසුව තිබුණා.
මට ඒ චරිතය රඟපාන්න පහසු වුණා. අසංජන කියන්නේ විනෝදකාමී, සංගීතයට ආදරය කරන චරිතයක්. හරිම ආසාවෙන් තමයි මම ඒ භූමිකාවට සමීප වුණේ. මමත් ගායකයෙක්, රංගන ශිල්පියෙක් නිසා.
සෝලෝටවුන් මගේ දෙවන චිත්‍රපටය. ක්ෂීර සාගරය මගේ පළමු චිත්‍රපටය. අසංජන කියන චරිතයට හාත්පසින්ම වෙනස් මඟක් ගත් චරිතයක් ක්ෂීරසාගරයේ රඟපාන්න තිබුණේ. සෝලෝටවුන් හි අසංජන කියන චරිතය මගේ විනෝදකාමී ජීවිතයට තරමක් සමානයි. එය ආයාසයෙන් රඟපාන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතාමත් පහසු වුණා අසංජනට සමීප වෙන්න.
රවීන් කණිෂ්ක යන තරුණයාව කවුරුත් හඳුනාගත්තේ රියැලිටි වැඩසටහනක් හරහාය. ඔහුගේ හඬ ලයාන්විතය. ඒ හා සමානව ඔහුගේ රුවත්, කඩවසම් බවත් නිසාම ඔහුට රංගන වරමද උරුම විය. පළමුවෙන් රවීන් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ ටෙලිනාට්‍ය නළුවෙක් ලෙසයි. ඔහුගේ වැඩි දක්ෂතාව ගායනයට වුවත් ඔහු සතු කඩවසම් බව සහ ආකර්ෂණීය පෙනුම නිසා රවීන්ගේ ගායන හැකියාවට වඩා ඉස්මතු වූයේ රංගනයයි. සෝලෝටවුන් චිත්‍රපටය රංගනය, ගායනය, නර්තනය අංශ තුනේම සංයෝගයක් නිසා රවීන් එම චරිතය භාරගෙන ඇත්තේ දැඩි ප්රීතියකිනි. ඒ පිළිබඳ රවීන් දැක්වූ අදහස් මෙසේය.
සෝලෝටවුන් චිත්‍රපටයට සම්බන්ධ බොහෝ දෙනෙක් ක්ෂේත්රයේ මම දන්නා හඳුනන අයයි. අවුරුදු දහයක කාලයක සිට මම ඔවුන්ව හඳුනනවා. ඒ නිසා මට අමුත්තක් දැනුණේ නැහැ. මට ඔවුන් ගැන හොඳ විශ්වාසයක් තිබුණා. හොඳ දෙයක් කරයි කියන අදහස මගේ හිතේ තිබුණා.
මට සෝලෝටවුන් එකේ රඟපාන්න ආරාධනා කළේ චතුරංග අයියා. සෝලෝටවුන් අධ්‍යක්ෂක. (චතුරංග ද සිල්වා) ඔහු දක්ෂයෙක් කියල මම කලින් දැනගෙන හිටියා. ඒ වගේම අලුත් අදහස් තියෙන කෙනෙක්. චතුරංග අයියා මට කතා කරල කිව්වාම මම ස්ක්‍රිප්ට් එක කියවන්නත් කලින් කැමැති වුණේ.
සෝලෝටවුන් තරුණයන් පස්දෙනෙක්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක්. කෙසේ හෝ තමාගේ දක්ෂතා පෙන්වමින් ඉදිරියට ඒමට වෙර දරන සංගීත ශිල්පීන් පස්දෙනෙක් නොයෙකුත් බාධක හමුවේ කෙසේ හෝ තම ගමන යන්නට වෙර දරන කතාවක් ගැන තමයි මෙයින් කියවෙන්නේ ඒ කඩවසම් තරුණයන්ගේ චරිතවලට ජීවය දෙන සැබෑ තරුණයන් ගැන රවීන් කතා කළේ දැඩි සහෝදරත්වයකින් හද පුරවාගෙනය.
පළමු වතාවට තමයි මට අනෙක් තරුණයන් හතරදෙනා හමුවන්නේ. දක්ෂ කොල්ලො හතර දෙනෙක්. නිතරම සුහදත්වයෙන්, විනෝදයෙන් ඉන්න පිරිසක්. අපි හිටියෙ එකම පවුලක සහෝදරයෝ වගේ. ඔවුන්ගේ සැබෑ සංගීත කණ්ඩායම තමයි සෝලෝටවුන් කියන්නේ. ඔවුන් එය පටන් ගෙන තියෙන්නේ මීට අවුරුදු දෙකකට පමණ කලින්. ඔවුන් මේවන විටත් එයාලගේ සංගීත කණ්ඩායම පවත්වාගෙන යනවා. ඔවුන් සංගීතය හදාරා තිබෙන අය. ඔවුන්ගේ ගීත නිර්මාණත් මේ චිත්‍රපටය තුළින් එළිදැක්වෙනවා. ඔවුන් හතරදෙනාම මීට කලින් රඟපාල තිබුණේ නැහැ. එත් ඔවුන්ට පෙර පුහුණුවක් ලබා දුන්නා චිත්‍රපටය රූගත කිරීම් කරන්න කලින්.
සෝලෝටවුන් සංගීතමය චිත්‍රපටයක් සේම එය බටහිර හුරුවකට නිර්මාණය වූ චිත්‍රපටයක් ලෙස පෙනෙන්නට තිබේ. එහි දෙබස් හසුරවන ආකාරය, රංගන ශිල්පී ශිල්පිනියන්ගේ පෙනුම, ඇඳුම් පැලඳුම්, පසුතල මේ සියල්ල ගත්කළ ප්‍රේක්ෂකයන්ට එලෙස නිගමනයකට එළඹිය හැකි ලක්ෂණ වලින් යුක්තයි. ඒ පිළිබඳ රවීන්ගේ මතය වූයේ මෙයයි.
ඔව් සෝලෝටවුන් වැඩි තරුණ තරුණියන් පිරිසක් රංගනයෙන් එක්වන චිත්‍රපටයක්. වර්තමානයේ තරුණ පිරිස බටහිර දේ වැළද ගන්න පුරුදු වෙලා ඉන්නවා. චිත්‍රපටය පුරාවට බටහිර හුරුවක් තිබුණා. මම හිතනවා තිර පිටපත ලියන්න ඇත්තෙත් ඒ විදිහට හිතාගෙන. තරුණ තරුණියන් අතරට ගෙනියන්න ඒ ආකාරයෙන් චිත්‍රපටය නිර්මාණය වූ එක එක් පැත්තකින් හොඳයි කියල මට හිතෙන්නේ. කෙසේ වුවත් මේක අපේ රටේ තරුණ පිරිසකගේ නිර්මාණයක්වීම ගැන ආඩම්බරයි.
ඕනෑම කටයුත්තකදී පැමිණෙන බාධා අපමණයි. දියුණුව කරා පියමැනීමේදී ඒ ගමනට අවහිරවීම් සිදුවීම සාමාන්‍ය දෙයකි. කෙසේ හෝ බාධක ජයගෙන පැමිණෙන කරදර දරාගෙන ඉදිරියට යාමට තරුණයන්ට හැකියාව ඇත. කෙතරම් දුෂ්කරතා පැමිණියද ඒව සියල්ල ඉවත දමා මේතාක් දුර පැමිණි රවීන් කණිෂ්ක අද වනවිට තරුණයන්ගේ සිහින කුමරා බවට පත් වී ඇත.
තමා මේතාක් ආ ගමන් මඟ ගැනද සරසවිය සමඟින් පැවසීමට ඔහු අමතක නොකළේය.
මෙච්චර දුරක් පැමිණි එක ගැන මට සතුටුයි. සුවපහසු ගමනක් නෙවෙයි මම ආවේ. දුෂ්කර ගමනක අවසානය පෙනෙන තෙක් මානයට හෝ මම එනවා කියල හිතේ තියාගෙන හිටියා. අපමණ බාධා ආවා මගේ මේ ගමන් මඟේදී. මම මගේ සංගීත ගමනට මුලින්ම අඩිය තිබ්බේ කිසිම දෙයක් නැතිව. ඒත් මම දැඩි අධිෂ්ඨානයකින් යුතුව ඒ ගමනේ අඩිය තිබ්බා. එය අසාර්ථක වුණේ නැහැ. මේ ක්ෂේත්රයට පැමිණි දා පටන් අද දක්වාම ජනතාව මට ආදරය කරනවා. කාගේ ජීවතවලටත් බාධක, හිත් රිදීම්, මානසික ඇඳවැටීම් එන්න පුළුවන්. ඉවසිලිමත්ව, කල්පනාවෙන් තමන්ගේ ගමන යන එක තමයි වඩා වැදගත්.එය අපේ පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තීය ජීවිතයටත් අදාළයි. සෝලෝටවුන් සංගීත කණ්ඩායමේත් චිත්‍රපටයේ වගේම පස්දෙනෙක් ඉදල තියෙනවා. ඒත් යම්කිසි හේතුවක් නිසා ඔහු ඉවත් වෙලා. ඒත් අනෙක් ශිල්පීන් හතරදෙනා එයින් පසුබැස්සෙ නැහැ. ඔවුන් ඔවුන්ගේ ගමන යනවා. ඔවුන් ලස්සනට එයාලගේ සෝලෝටවුන් බෑන්ඩ් එකේ වැඩකටයුතු කරගෙන යනවා. චිත්‍රපටයේ ඉන්නෙත් ඔවුන් හතර දෙනාම තමයි.
බාධක, හිත් රිදීම් , දුෂ්කරතා හමුවේ මානසිකව කඩා වැටෙන අවස්ථා කාගේත් ජීවිතවල ඇත. එවැනි අවස්ථාවලදී ඇතැම් දෙනා හුදෙකලාවට ප්‍රියකරති. තවත් කෙනෙක් ජීවිතය පුරාම පසුතැවීමකින් ජීවත් වේ. තවත් පිරිසක් ඒවාමඟ හැරීමට යම් යම් ක්රියාවන්ව්ල නිරත වේ.
එවැනි අවස්ථාවල සංගීතයට සවන්දීම තරමක් හෝ අස්වැසිල්ලක් වනු ඇත. සංගීතය යනු ඔසුවකි.
රවීන් ඒ ගැන දැක්වූයේ මෙවන් අදහසක්.
සංගීතය තමයි මානසික සුවය ගෙන දෙන්නේ. පිටරටවල සංගීතය හෘද රෝගීන් සඳහා යොදාගන්නා අවස්ථා තියෙනවා. එය එක්තරා චිකිත්සාවක්. මානසික ආබාධවලටත් බෙහෙත සංගීතය වෙන්න පුළුවන්. වර්තමානයේ මිනිස්සු දැඩි පීඩනයකින් ජීවත් වෙන්නේ. ඒවට මනස අවුල් වෙන්න ඇති ඉඩකඩ වැඩියි. ඒ වෙලාවට ලස්සන ගීතයකට සවන්දීම, ගීතයක් ගැයීම, සංගීත වාදන භාණ්ඩයක් වාදනය කිරීමෙන් අපේ මනස ඉක්මනින් සැහැල්ලු කරගන්න පුළුවන්.
ඒ දේ මමත් කරනවා. මම වුණත් පීඩනයකින් ඉන්න වෙලාවට මහන්සි වෙලා ඉන්න වෙලාවට සිංදුවක් අහනවා. සිංදුවක් කියනවා. ඇත්තටම එහෙම වෙනකොට හරිම නිදහස් ගතියක්, සැහැල්ලුවක් දැනෙනවා.
සෝලෝටවුන් චිත්‍රපටයේත් විශේෂ සිද්ධියක් තියෙනවා. සංගීතය නිසා ඕනෑම කෙනෙක්ගේ සිත සුවපත් වෙනවා.
මේ චිත්‍රපට කතාවේ ඉන්න පුංචි ගැහැනු දරුවා අසනීපයෙන් පසුවන කෙනෙක්. ඇය ඉතාමත් ප්‍රිය කරන සංගීත කණ්ඩායමක් තමයි සෝලෝටවුන් බෑන්ඩ් එක. එයාගේ එකම බලාපොරොත්තුව වෙලා තිබුණේ කවදා හරි සෝලෝටවුන් ප්‍රසංගයක් බලන්නත්, එම ශිල්පීන්ව හමුවෙන්නත්. ඇගේ අසනීප තත්වය අයහපත් අවදියට පැමිණෙන විට කෙසේ හෝ ඇය ඇගේ එකම හීනය සැබෑ කරගන්නවා. ඒ අවස්ථාවේ ඒ පුංචි දියණිය ඇත්තටම සතුටට පත්වෙනවා. ඇය රෝගියෙක් කියන සිතුවිල්ල ඇය තුළින් ටික මොහොතකට හරි ගිළිහෙනව ඒ නිසා. එය තමයි සංගීතයෙන් විය යුත්තේ. ඖෂධවලින් කරන්න බැරි දේවල් ඇතැම් වෙලාවට සංගීතයෙන් කරන්න පුළුවන්.
තරුණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් සැදුම්ලත් සෝලෝටවුන් චිත්‍රපටය තරුණ පිරිසගේ ආකර්ෂණයට පත්වී ඇත. විශේෂයෙන් රවීන් කණිෂ්ක එහි රංගනයෙන් දායක වීම එසේ වීමට ප්‍රධානතම හේතුවක් වන්නට පුළුවන.
සෝලෝටවුන් තරුණ පිරිස ඉතාමත් විනෝදයෙන් ගතකළ බව රවීන්ගේ කතාවෙන් පැහැදිලි විය. අනෙක් තරුණ රංගන ශිල්පීන්ගේ මුවින්ද පිටවූයේ එයයි.
” අපි හැමෝම එක පවුලක් වගේ වැඩ කළා”.
ඒ ඔවුන්ගේ අදහස. මෙසේ එක පොකුරක් මෙන් වැඩකටයුතු කරන විට රූගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම්වලට මුහුණ දුන් බව ඔහු සරසවිය සමඟ පැවසුවේ සිනාපිරි මුහුණින් යුතුවය.
ඔව් අමතක නොවන සිදුවීම් ගොඩාක් තියෙනවා. මම මෝටර් බයික්ස් පිස්සෙක්. ඉස්සර ඉදන්ම එහෙම පිස්සුවක් මට තිබුණා. මෝටර් බයික්ස් පදින්න මම හරි ආසයි. ෆිල්ම් එකෙත් මට එවැනි දර්ශන තිබුණා.අලුත්ම තාලේ මෝටර් බයිසිකල් නිසා ඒ පිස්සුව තවත් වැඩිවුණා. ඇත්තටම හරිම ආසාවෙන් තමයි ඒ දර්ශනවලට පෙනී සිටියේ. ඒ වගේම තමයි රූගතකිරීම් තිබුණ හැම දවසක්ම අමතක නොවන දවස් වුණා.
රවීන් කණිෂ්ක ගායන කටයුතු නිවේදන කටයුතු සහ රංගන කටයුතුත් සමඟ කාර්යබහුල වූ චරිතයක්. ඔහුව ප්‍රේක්ෂකයන් හොදින්ම හඳුනා ගන්තේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නිසාවෙනි. අනුහස්ගේ චරිතයෙන් රංගනයට පිවිසි රවීන් අද වනවිට සිනමා තරුවක් බවට පත්වී ඇත.
එවැනි තලයක සිටින රවීන්ගේ ඉදිරි වැඩ කටයුතු ගැනද දැන ගැනීමට ප්‍රේක්ෂකයන් කැමැත්තෙන් පසුවන නිසා ඒ ගැනද කතා කිරීමට රවීන් අමතක කළේ නැත.
මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. අලුතින් පටන්ගන්න චිත්‍රපටයක මුහුරත් උළෙල තිබුණා. එහි රූගත කිරීම්වලට සහභාගී වෙන්න තියෙනවා. අපේ ආදරණීය ටෙලි නාට්‍ය අධ්යක්ෂ සාරංග මෙන්ඩිස්ගේ කුලුඳුල් චිත්‍රපටය වන “කල්පනා” හී ප්‍රධාන චරිතය සඳහා මාව තෝරාගෙන තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.මා සමඟ රඟපාන්නේ නෙත්මි රොශෙල්. ඉදිරියේදී තවත් චිත්‍රපටක් සඳහා කතා කරල තියෙනවා.තවම එය සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.දෙවෙනි ඉනිමේ රූගත කිරීම්වලත් සුපුරුදු විදිහට නිරත වෙනවා. ඒ අතර මගේ සංගීත වැඩ කටයුතුත් කරගෙන යනවා.
ගායනය, රංගනය , නර්තනය මේ සෑම දේකටම එක ලෙස දස්කම් දක්වන රවීන්ට ලැබෙන ප්‍රතිචාර වලින් නම් අඩුවක් නැත. ඒ ගැනත් ඔහු කතා කළේ දැඩි උනන්දුවකින් යුතුවයි.
ඔව්. ඇත්තටම සතුටුයි ලැබෙන ප්‍රතිචාර නිසා. සෝලෝටවුන් නිසා තමයි මෙහෙම ප්‍රතිචාර ලැබෙන්නේ. තරුණ පිරිස වැඩි කැමැත්තක් දක්වනව සෝලෝටවුන්හි මගේ රංගනයට. කොහේ ගියත් මාත් එක්ක ඡායාරූපයක් ගන්න කට්ටිය රොක්වෙනවා. ඒ ලැබෙන ආදරයට මම හරි ආදරෙයි.
මමත් ඉල්ලීමක් කරන්න කැමැතියි මගේ ආදරණීය රසිකයන්ගෙන්. අනිවාර්යයෙන් ගිහින් බලන්න සෝලෝටවුන් ෆිල්ම් එක. වෙනසක් දැනේවි ඔබට.
ඒ වගේම තමයි මාත් හැමදාම රැදෙන්න. මගේ ගායනය, රංගනය, ගැන ඔබගේ අවංක අදහස් දෙන්න. හොඳ හෝ නරක මම මේ කුමක් වුවත් පිළිගන්නවා. රසික ප්‍රතිචාර මත තමයි අපේ දියුණුව රඳා පවතින්නේ.
විශේෂයෙන් ස්තුති කරන්න පිරිසක් ඉන්නවා. සෝලෝටවුන් අධ්යක්ෂ චතුරංග ද සිල්වා අයියාට සහ නිෂ්පාදක උදිත කුරේ අයියාට. ඔවුන්ගෙන් ලැබුණු සහය අමතක කරන්න බැහැ. ඒ වගේම තමයි මා සමඟ රංගනයේ යෙදුණු අනෙක් රංගන ශිල්පීන් සියලු දෙනාව මම ආදරෙන් මතක් කරනවා.අපිට හොඳ සහයෝගයක් දුන් සෝලෝටවුන් හි සියලුම කාර්මික ශිල්පීන් ඇතුළු සියලුම දෙනාට බොහෝම ස්තුතියි කියල කියනවා. ඒ වගේම සෝලෝටවුන් නැරඹූ සියලු දෙනාටත් ස්තුතිය පුදකරනවා.
තරුණියන්ගේ සිහින කුමරා වූ රවීන් කණිෂ්කට තිබෙන රසික ආදරය තවම එක ලෙස පවතී.
ගායනය මෙන්ම රංගනයට, නර්තනයට එක ලෙස දස්කම් දැක්වීම ඔහුගේ දියුණුවට හේතුවක් බව කිවයුතුයි. ඔහුගේ ආකර්ෂණීය පෙනුම , සිත් වසඟ කරන බැල්ම සිනමාව බැබළවීමට හේතුවනු ඇත.
රවීන් කණිෂ්ක සමඟ කතාබහක යෙදුණ මොහොතේ ඔහු ටික කලකට ඉහතදී ගායනා කළ ගීතයක් හිමිහිට මුමුනමින් සරසවියට සමුදෙන්නට සූදානම් වූයේය. ඉතාමත් අරුත්බර ගීයක් වූ එය රචනා කර ඇත්තේ ගීත රචක සුසන්ත දන්දෙණිය විසිනි. සංගීතවත් කර ඇත්තේ ප්‍රවීණ සංගීත අධ්යක්ෂ නවරත්න ගමගේය.
රවීන් ඔබ…….
ගායකයෙකු, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පියෙකු ලෙස යන ගමන් මඟ ඉදිරියේදී තව තවත් සාර්ථක වේවා යැයි සරසවිය පුවත්පතේ එකම පැතුමයි.
නයනාංජලි දෙහිපිටිය