නිවස සංවාද සූරයා වීරයා උදාර සිනමාවට…

සූරයා වීරයා උදාර සිනමාවට…

by Thanushika
August 29, 2024 10:42 am 0 comment

සුන්දරම තාරුණ්‍ය තමයි ජීවිතයේ වඩාත් ලස්සනම කාලය. තමන්ට රිසිසේ නිදහසක් ලැබෙන කාලයක්. එසේ ජීවිතය ගෙනයන තරුණ පිරිස අතර කලාකාමී සිත් පහළ වන, කලාවට ආදරය කරන අය විරලය. පාසල් අධ්‍යාපනය හමාර කර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා එයට සරිලන රැකියාවක නිරත වෙනවා වෙනුවට කලාව තෝරා ගත් තරුණයෙක්. දුටු සැණින් හොලිවුඩ් බොලිවුඩ් නළුවෙක් යැයි හැඟෙන, ජව සම්පන්න බවින් පිරිපුන් තරුණයෙක්. තම කුලුඳුල් සිනමා සම්ප්‍රාප්තිය ගැන කතා කිරීමට සරසවිය සමග එක්වූයේ යොවුන් රංගන ශිල්පී උදාර චින්තක රාජපක්ෂයි.

පසුගිය 6 වෙනිදා සිංහල සිනමාවට විශේෂ දවසක්. ඒ එක්තරා යුගයක සිංහල සිනමාව උඩි යටිකුරු කළ චිත්‍රපටි අධ්‍යක්ෂ ලූවී වැන්ඩස්ට්‍රාටන්ගේ “සූරයා වීරයා” සිනමා නිර්මාණය කළඑළි බැසීම නිසාය. එහි ප්‍රධාන රංගන ශිල්පියා වූ උදාර චින්තක සුපුරුදු ලෙසින් මුහුණට සිනහවක් රඳවාගෙන, සරසවිය සමග කතාබහට එක් වූයේ නැවුම් වූ බලාපොරොත්තු රැසක් හදවතේ රඳවාගෙනය.

“ඇත්තටම කියනවනම් මගේ පවුලේ අපේ පරම්පරාවේ කිසි කෙනෙක් කලාවට සම්බන්ධ අය නෙවෙයි. මම තමයි කලාව තෝරාගත් එකම කෙනා.”

ඒ කාලේ අමතර පන්ති යනකොට මගේ යාළුවො පන්ති වල හිටපු ගැහැනු ළමයි කියනවා ඇහිලා තියෙනවා උදාර නම් නළුවෙක් වගේ කියලා. ළඟම හිටපු යාලුවෝ නම් කිව්වේ උඹ නම් හොඳ රඟපාන්න උඹට තියෙන්නේ නළු පෙනුමක් කියල. ඉතින් ඒ කතා ඇහෙනකොට ඒක හිතට හොඳ දිරිමත් කිරීමක් වුණා. මටත් ඇත්තටම එහෙම වෙන්න පුළුවන් නේද කියලා.

පළමු පැනය අසන්නට කලින්ම උදාර තමන්ගේ හිතේ තිබුණ ඒ සුන්දර සිතිවිල්ල ගැන අපූරු පැහැදිලි කිරීමක් කළේය.

“පාසල් කාලයේ කලා කටයුතුවලට ඔබේ සහභාගිත්වය කෙසේද?

” පාසල් කාලය ගැන කතා කරනවා නම් මම පාසලේ දී කලා කටයුතුවලට වැඩිය සම්බන්ධ වුණේ නැහැ. මම වැඩි හරියක් කළේ ක්‍රීඩාව. පාසලේ මම දක්ෂ ක්‍රීඩකයෙක්. ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණේ මම. ඒ වගේම තමයි මම මලල ක්‍රීඩාත් කළා. ක්‍රීඩාව පැත්තෙන් මම විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්ත කෙනෙක්.

“පාසල් කාලයේ ඉඳන් මා ගාව තිබුණේ අමුතුම ස්ටයිල් එකක්. ලස්සනට අඳීන්න පිළිවෙලකට ඉන්න පිළිවෙලකට වැඩ කරන්න වගේ දේවල්. ඒක මගේ ගෙදර අයත් දැනගෙන හිටියා.

“මම උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. ඔය අතරේ අවුරුදු 18 දී විතර මම බෝල්රූම් ඉගෙන ගන්න උනන්දු වුණා. මගේ ගුරුවරයා වුණේ බටහිර නර්තනය පිළිබඳ මනා දැනුමක් ඇති දක්ෂ ගුරුවරයෙක් වුණ චන්ද්‍රතිලක සර්. ඉතින් මම මගේ ඇගේ තිබුණ රිද්මය පාවිච්චි කරලා හොඳීන් බෝල්රූම් නර්තනය ප්‍රගුණ කළා.

ඒ කියන්නේ උදාර කියන රංගන ශිල්පියා ඇතුලේ හොඳ බටහිර නර්තන ශිල්පියෙකුත් ඉන්නවා කියන එකද?

“ඔව්. වෙන්න පුළුවන්.” ඔහු දුන්නේ කෙටිම පිළිතුරකි.

ඔබ මුලින්ම වේදිකාවට ද සම්බන්ධ වෙලා හිටියේ?

“නැහැ. මම මුලින්ම සම්බන්ධ වුණේ වෙළඳ දැන්වීම් වලට සහ මියුසික් වීඩියෝ වලට. වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. ඒ වගේම ටෙලි නාට්‍යවලට විශේෂයෙන් වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් වෙන්න ඕන කියලා ආසාවක් තිබුණේ නැහැ. ඔය අතරේ මට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් මුණගැහෙනවා. දමයන්ති ෆොන්සේකා මහත්මිය. ඊට පස්සේ තමයි එතුමියගේ අධ්‍යක්ෂණයක් වන ‘ගාස්තුව කීයද’ වේදිකා නාට්‍යයේ රඟපාන්න ලැබෙන්නේ.

ඒක පරිවර්තනයක්. ඒ නාට්‍යයේ මගේ පෙම්වතිය වුණේ දිනක්ෂි ප්‍රියසාද්.

ඊට පස්සේ එලීසා කියන වේදිකා නාට්‍යයේත් රඟපෑවා.

මේ එක් වේදිකා නාට්‍යයක මට ලැබුණේ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන තරුණයකුගේ චරිතයක්. ඇත්තටම මම ඒක කලේ හරි ආසාවෙන්.

ඒ චරිතයට ඒ තරම්ම ආසාවක් ඇති වුණේ ඔබත් එවන් චරිතයක් කියන හැඟීම තිබුණ නිසාද?

ලද අවස්ථාවේ එම පැනය ඔහුගෙන් විමසීමට උත්සුක වුවත් ඔහු සිනාසුනා පමණි.

උදාරගේ කතාබහ ඉතා සිත් ගන්නා සුළුය. පැහැදිලිය. කිසිදු හදිස්සියක් නොමැතිව කාල වේලාව ගෙන එකිනෙක පැහැදිලි කළ අයුරු ඉතා අපූරුය. ඔහු එසේ ඔහුගේ වචන සිත්ගන්නා සුළු අයුරින් හැසිරවීමට යම් හේතුවක් ඇත.

ඔබ නිවේදන කටයුතුවල එහෙම නියැළිලා සිටියාද?

“ඔව්. මම රූපවාහිනී නාලිකාවල සංගීත වැඩසටහන් මෙහෙයවලා තියෙනවා. ඒ ආභාෂය තමයි මට තියෙන්නේ.

ඔහුගේ රසවත් සිත් ගන්නා සුළු කතාබහට සවන් දී සිටියා මිස නිතර නිතර ප්‍රශ්න අසහා බාධා කිරීම් කළ යුතු නැත. උදාර ඉතා පැහැදිලිව තම රංගන දිවියේ ඇරැඹූ මේ සිට එකිනෙක සරසවිය හමුවේ දිගහැර දක්වන්නට වූයේය.

“ඔය විදිහට රඟපෑම් නිවේදන නර්තන කටයුතු පවත්වාගෙන යන අතරතුර ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ මහතාව මට මුණගැහෙනවා. ඔහු මාර්ගයෙන් මට ප්‍රවීණ රංග වේදනීය අනෝජා වීරසිංහ මහත්මියව හඳුනාගන්න ලැබුණා.

“මම රංගනය ගැන බොහෝ දේ එතුමියගේ පුහුණුව අතරතුර ලබා ගත්තා. ඒක මගේ රංගන හැකියාව වර්ධනය කර ගන්න ලැබුණ වටිනා අවස්ථාවක්. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ ද මම රංගනය පිළිබඳ පුහුණුව ලබා තියෙනවා.

රංගනය පිළිබඳ කිසිදු පුහුණුවක් දැනුමක් නොමැතිව හතු පිපෙන්නාක් මෙන් රඟපෑමට යොමුවන ඇතැම් පුද්ගලයින් දෙස බලන විට උදාර ඇත්තෙන්ම උදාරය. නළුවෙකුට සරිලන පෙනුමක් දේහ ලක්ෂණ තිබුණත් ඒ ගැන නොතකා මනා පුහුණුවකින් පසු ඒ සඳහා යොමු වීම අගය කළ යුතුයි.

රඟපෑම කියන්නේ උතුම් දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ හැකියාව හැමෝටම පිහිටන්නේ නැහැ. ලැබෙන හැම දෙයක්ම බාරගන්නේ නැතිව යමක් කරන්න පුළුවන් දෙයක් තමයි මම රංගනය සඳහා තෝරාගන්නේ. අනිත් කාරණය තමයි අපේ වයස් සීමාව වෙනස් වෙනකොට ඒ අනුව අපි කරන දේ අතිනුත් පරිණත වෙන්න ඕන කියන අදහසේ මම ඉන්නේ.

උදාරගේ ඒ කියමන සියයට සීයක් ඇත්ත බව සහතික කිරීමට සාක්ෂි ඇත. පසුගිය වසරේ ජූනි මස පැවැති “සුනිල් සාන්ත ගීතාන්දර” එයට කදිම සාක්ෂියකි.

ශ්‍රී ලංකාවේ බිහි වූ අති විශිෂ්ට සංගීත නිර්මාණවේදී සුනිල් සාන්තයන්ගේ එකසිය අටවැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ ප්‍රසංගයේදී සුනිල් සාන්තයන්ගේ චරිතයට ජීවය දුන්නේ උදාර චින්තක රාජපක්ෂ නම් මේ අපූරු රංගන ශිල්පියායි. එදින අතුරු සිදුරු නැතිව පිරී ගිය කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ අසුන්ගෙන සිටි ප්‍රේක්ෂකයින් පුදුමයට පත් වූහ. වේදිකාවේ සුනිල් ශාන්තයන් ජීවමාන කළ උදාරගේ රංගන හැකියාව බොහෝ දෙනා අගය කළහ.

“පසුගිය කාලයේ විශේෂ කතාබහකුත් පැවැත්වුණා සුනිල් ශාන්තයන්ගේ චරිතය අළලා සිනමා නිර්මාණයක් කරන්න. ඇත්තටම එය හැබෑවක් වෙනවනම් මම හරි ආසයි.

ඔබ බොහෝවිට අපේ අතීත සිනමාව අගය කරන කෙනෙක් ඒ විශිෂ්ට නිර්මාණය නිතර නිතර නරඹන කෙනෙක්.

“ඔව්. මට නිවාඩුවක් ලැබුණ ගමන් මම කරන්නේ හොඳ සිනමා නිර්මාණ නරඹන එක තමයි. වැලිකතර, නිධානය, බඹරු ඇවිත්, මරුවා සමඟ වාසේ, හාර ලක්ෂය වගේ ෆිල්ම්ස් මම හරි ආසාවෙන් බලපු ඒවා.

“මම විජය කුමාරතුංගගේ ස්ටයිල් එකට ආසයි. ඒත් අනුකරණය කරන්නේ නැහැ. මගේ ප්‍රියතම නළුවා ගාමිණී ෆොන්සේකා. එතුමා රඟපාපු වැලිකතර, නිධානය වගේ චිත්‍රපට බලලා ඒවායින් මම ඉගෙන ගත් දේ බොහෝමයි.

මම සිංහල ෆිල්ම්ස් වලට වගේම විදේශීය ෆල්ම්සුන් බලනවා.

‘බඹරු ඇවිත් වගේ’ චිත්‍රපටයක් ඉදිරියේදී ලැබෙනවා නම් මම හරි කැමැත්තෙන් බාරගන්නවා.

උදාර සමඟ කතාබහ ඉතා රසවත්ය. හරබරය. විටෙක විනෝදයක් ගෙන දෙන කතාබහක් ද විය. එසේ කතා බහ අතරතුර ඔහු බොහෝ දෑ මා සමග පැවසීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබුණි.

“සිනමාවේ මගේ ගුරුතුමා පරාක්‍රම ජයසිංහ. එතුමා තමයි මගේ සිනමා පුහුණුකරු. සිනමාව තුළ කෙසේ හැසිරිය යුතුද? එහි දිගටම රැඳී සිටිය යුත්තේ කෙසේද? ආදිය ගැන ඉගෙන ගත්තේ එතුමාගෙන්. විශේෂයෙන් මාව නළුවෙක් විදිහට හැඩ ගැසුවේ පරාක්‍රම ජයසිංහ මහතා. මම සිනමා නළුවෙක් විදිහට කලඑළි බැසපු මේ වෙලාවේ එතුමාවත් ආදරෙන් සිහිපත් කරනවා.

උදාර මෙතෙක් ආ ගමන් මගේ ඊළඟ නැවතුම සිනමාවයි. එය ඔහුගේ එකම බලාපොරොත්තුවයි. දැන් ඔහුට ඔහුගේ ගමන් මග පැහැදිලිය.

සිනමාවට පා තැබූ උදාර මේ දිනවල ඉතා සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන බව පැහැදිලිය වචනයෙන් නොකීවාට ඒ බව ඔහුගේ මුහුණෙන් පෙනෙන්නට තිබුණි. ඒ සතුට අන් කරුණක් නිසා නොව සූරයා වීරයා චිත්‍රපටය නිසාය.

මේ දිනවල කාගේත් කතාබහ උදාර ගැනයි. සූරයා වීරයා ගැනයි. එනිසාම ඒ චිත්‍රපටිය ගැන කතා කළ යුතුමයි.

පසුගියදා දොරට වැඩි සූරයා වීරයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

“ඉහළයි”. එදා චිත්‍රපටිය බලපු අයගේ ප්‍රතිචාර අනුව තමයි මම එහෙම කිවුවේ. ලොකු පිරිසකට ආරාධනා නොකළත් ආපු පිරිසගේ යහපත් ප්‍රතිචාර තියෙනවා.

කලාකරුවන් ආරක්ෂක අංශයේ උදවිය වෛද්‍යවරු පූජ්‍ය පක්ෂය ආදී විවිධ වෘත්තිකයින් මේ අවස්ථාවට සහභාගි වුණා. විශේෂයෙන් මාධ්‍ය ආයතන වලින් හොඳ සහභාගිත්වයක් තිබුණා නරඹපු අය කිව්වේ 70 -80 දශකයේ සිනමාව නැවතත් සිහිපත් වුණා කියලා. ඒ අතීතයේ තිබුණ ප්‍රේක්ෂකාගාරයක් අපේ සූරයා වීරයා චිත්‍රපටය ප්‍රදර්ශනය කරපු දවසෙත් තිබුණා. කාලෙකින් ප්‍රේක්ෂකාගාරයෙන් විසිල් ශබ්ද ඇසුණා. ඒක තමයි කාරණය අපිටත් සතුටුයි කාලෙකට පස්සේ සිනමා නිර්මාණයකට එහෙම ප්‍රතිචාර ලැබුණ එක ගැන. සූරයා වීරයා කියන්නේ බයිස්කෝප් වර්ගයේ සිනමා පටයක්. ඒ වර්ගයේ සිනමා පටත් තියෙන්න ඕන ලංකාවේ.

සූරයා වීරයා චිත්‍රපටය බොහෝ ගැටලු වලට මුහුණ දුන් චිත්‍රපටියක්.

ඔව්. අපි මේ ෆිල්ම් එක කරන්නේ මීට අවුරුදු පහකට විතර කලින්. අධ්‍යක්ෂතුමාගේ සමු ගැනීමත් සමඟ අපි බොහෝ ප්‍රශ්නවලට මැදි වුණා. විශේෂයෙන් සූරයා වීරයා චිත්‍රපටයේ නිෂ්පාදක අජිත් ශ්‍රී පෙරේරා. ඔහු තනිවුණා මම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා වුණත් මම ඒ වෙලාවේ එයින් බැහැර වෙලා අජිත් මහතා සමඟ සිට ගත්තා. මේ ෆිල්ම් එක කොහොම හරි තිරගත කරනවා කියන විශ්වාසය ඇතුව අපි බොහෝ ගැටලුවලට මුහුණ දුන්නා. විශේෂයෙන් චිත්‍රපට ශාලා පිළිබඳ ගැටලුවලට. මම මගේ අධ්‍යාපන දැනුම පාවිච්චි කරලා අපිට ආපු ප්‍රශ්නය එකිනෙක නිරාකරණය කරගත්තා. මට උපාධිය තියෙන්නේ මාකටින් පැත්තෙන්. එංගලන්තයේදී තමයි මම උපාධිය ලබා ගත්තේ, අධ්‍යාපන දැනුමත් වැදගත් සිනමාවේදී. අපිට තිබුන ලොකුම ගැටලුව සිනමා ශාලා පිළිබඳ ගැටලුව.

සිනමා ශාලා හිමිකරුවන් පුළුවන් මාධ්‍ය ආයතන වලට කතා කරලා සූරයා වීරයා චිත්‍රපටය ගැන දැනගන්න. මාධ්‍යවේදීන් කවදාවත් බොරු කියන්නේ නැහැ. හොඳ නරක ඔවුන්ගෙන් දැනගන්න පුළුවන් අපට හොඳ සහයෝගයක් ලැබුණා මාධ්‍ය මගින් සූරයා වීරයා වෙනුවෙන්.

අපිට මුහුණ දෙන්න වුණ බාධක හමුවේ අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. කාට හරි ඇඟිල්ල දික් කරලාම අපේ පැත්තට ඇඟිලි හතරක් දික් වෙලා තියෙන නිසා. අපි කරන දේ හරියට කරන්න ඕන තමන් කොහෙද ඉන්නේ? කොතැනද ඉන්නේ කියන එක නෙමෙයි වැදගත්. තමන් එතන ඉඳන් කරන දේ තමයි වැදගත් වන්නේ. ඒ නිසා මම නළුවෙක් කියන එක හිතින් අතහැරලා මේ වගකීම බාරගත්තා. ඒක තමයි දැන් මේ විදිහට මල්ඵල ගැන්විලා තියෙන්නේ.

උදාර සමග කළ කතාබහේදී අපට තේරුම් ගත හැකි වැදගත් කාරණාවක් ඇත. නළුවෙක්ට නිළියක්ට සහ සිනමා නිර්මාණය හා සම්බන්ධ වන සියලු දෙනාට හොඳ අධ්‍යාපන මට්ටමක් තිබිය යුතු බව. එය සිනමා කර්මාන්තයේ දියුණුවට වැදගත් සාධකයක් බව පෙන්වා දිය හැකියි. බොහෝ ගැටලුවට මැදිවූ සූරය වීරයා අද තිරගත වන්නේ උදාර සතුව තිබූ දැනුමත් උත්සාහයත් නිසා බව එහි නිෂ්පාදක අජිත් ශ්‍රී පෙරේරා මහතා ද පවසා තිබුණි.

අපේ අධ්‍යාපන දැනුම වගේම අපේ හැසිරීම, අපි මාධ්‍ය සමග ගනුදෙනු කරන විදිහ මේ හැම දෙයක්ම බලපානවා අපේ රංගන ජීවිතයේදී. සිනමාවට ආදරය කරන ඇල්මක් දක්වන තරුණ පිරිසට මම ආරාධනා කරනවා අපේ සිනමාව ඉහළ තලයකට ගෙනයන්න එකතු වෙන්න කියලා. තරුණ පිරිසගේ ජවය අවශ්‍යයි සිනමාවට. ඒ වගේම cript, Screen play, Professionalism, Technology, Marketing  මෙන්න මේ කරුණු පහ ඔළුවේ තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් අපට හොඳ සිනමා නිර්මාණයක් බිහි කරන්න පුළුවන්. මම මේ කියන කරුණු පහෙන් Marketing  කේන්ද්‍රය සිනමාවට විශේෂයෙන් වැදගත් වෙනවා. ෆිල්ම් එකක් තිරගත කිරීමේදී. අවුරුදු හතලිහකට පමණ පසු සිනමා දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණා මරදාන මංසන්ධිය සහ ගුණසිංහපුරයේදී. ඒ සූරයා වීරයා දැන්වීම් පුවරුව.

මෙම චිත්‍රපටයේ එළිදැක්වීමේ කටයුතු කරගෙන යාමේදී අප දුටු එක් විශේෂ වූ සිද්ධියක් ඇත. නිෂ්පාදන කණ්ඩායම් සහ එයට දායක වූ පිරිස එකම පවුලක පිරිසක් සේ වැඩ කටයුතු කිරීම.

මම හැමෝටම ආරාධනා කරනවා සූරයා, වීරයා නරඹන්න කියලා. එය නැරඹුවත් නැවත වතාවක් නරඹන්නේ සිතේවි. මෙය පවුලේ කාටත් නැරඹිය හැකි චිත්‍රපටයක්. විශේෂයෙන් ළමා චිත්‍රපටයක් සමාජයේ කතිකාවක් ඇති කරගන්න පුළුවන් කතා තේමාවක් මෙහි තියෙන්නේ.

සිනමාවට දායක වීමට කලින් උදාර බොහෝ දෙනා දැන සිටියේ නිරූපණ ශිල්පියෙක් ලෙසයි ඔහු මේ වන විට දැන්වීම් 75 කට ආසන්න ප්‍රමාණයක්, මියුසික් වීඩියෝ විස්සකට ආසන්න ප්‍රමාණයකට තම දායකත්වය සපයා ඇත.

යොවුන් රංගන ශිල්පියෙක් ලෙස දොරට වැඩි මේ මොහොතේ උදාර චින්තක රාජපක්ෂගේ ඉදිරි කලා කටයුතු ගැන ද සඳහන් කළ යුතුය.

වැඩ නිම කරපු චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිතයි. චිත්‍රපටි කිහිපයකට කතා කරලා තියෙනවා ඒත් ඒවා තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. වැඩි කලබලයක් නැතුව සිනමා නිර්මාණ තෝරා බේරා ගෙන හෙමින් සීරුවේ ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව.ඒ වගේම කලා කටයුතු කරන ගමන් ජීවිතය විඳීමින් විනෝදයෙන් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙනවා. තව අවුරුදු කිහිපයක් යනකම් මම මගේ ජීවිතය සිනමාව වෙනුවෙන් කැප කරනවා.

බොහෝ දේ කතා කළ නිසා ස්තූති කරන්නත් විශේෂ පිරිසක් ඉන්නවා. මගේ මේ ගමන් මගේදී මට හමුවූ අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු නළු නිළියන් කාර්මික ශිල්පීන් රසික රසිකාවියන්ට සහ මගේ මිතුරු මිතුරියන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි සූරයා වීරයා වෙනුවෙන් සහයෝගය ලබාදුන් පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යයන්ට ස්තුති කියනවා.

ඒ අතරින් මට සරසවිය විශේෂයි. මගේ මුල්ම ආටිකල් එක පළවුණේ සරසවිය පුවත්පතේ ඒ 2022 දී විතර. එදා ඉඳන් අද දක්වාම සරසවිය මට අත හිත දුන්නා. සරසවිය කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. ඉදිරියටත් ඒ සහයෝගය මට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

රසබර කතාබහක අවසානයට ළඟා වූ නිසාවෙන් යොවුන් රංගන ශිල්පී උදාර චින්තකට සිනමාවේ දිගු ගමනක් යාමට සුබ පැතුම් පිරිනමමින් සරසවිය පිළිසඳරට විරාමයක් තැබීය.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT