දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් ගැන නොඇසූ කිසිවකුත් කිසිදු තැනකදී හමු නොවන සුලුය. දුරාතීතයේ පටන්ම දුක දිනා ජයගත්තවුන් අනුගමනයට වෙසෙසින්ම දරුවන් පොලොඹවනු පිණිස දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් දරන ප්‍රයත්න කැපී පෙනේ. මෙහිදී හුදු ඉතිහාසගත පුවත් පමණක්ම නොව නා නා විධ ප්‍රබන්ධ ආදිය භාවිත කරන්නේ කාලානුරූප ලකුණුද උචිත පරිදි මුසු කරමිනි. කෙසේ නමුදු හැම යුගයකදීම දරුවන් මේ දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් දැන කියා ගෙන ඉන් අනුප්‍රාණයක් ප්‍රමාණවත්ව ලබා ගන්නේද යන්න නම් නොසලකා හරිය යුතු නොවන පැනයකි. මෙසේ දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් ඔස්සේ දරුවන් නව ඥානයක් ලැබුවේ නම් ජන දිවිය මෙයට වඩා සාරවත් වන්නට ඕනෑ තරම් ඉඩ තිබිණි.
සිනමා ප්‍රබන්ධ විෂයෙහිද දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් විශද කෙරෙන පුවත් ආදිය නොමඳව දැක ගත හැකිය. මෙහිලා නව ඥානයක් රසික ජනයා වෙත ලබා දුන් අවස්ථා තිබූ බවද සඳහන් කළ යුතුය. නමුත් හුදු ආදර්ශවත් ලේබලයක් සහිත දවටනයක සඟවා ඉදිරිපත් කරන දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් දැක්වෙන සිනමාපට සම්බන්ධයන් විචක්ෂණශීලී වීම විචාර කාර්යයේ සේම විද්වත් රසික සමාජයේද වගකීමකි.
නවක සිනමාකරු සසික හේරත් සිය පළමු සිනමාපටය ‘සිහින සමීකරණ’ මැයෙන් ඉදිරිපත් කරන්නේ මෙම දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් පිළිබඳ කතිකාව යාවත්කාලීන කරමිනි. ඉන් නව අරුතක් ගෙන එන්නට ඔහු සූදානම් වන්නේද යන්න අරභයා විමසිලිමත් වීමේ පළමු අරමුණ විය යුත්තේ ඔහුගේ සිනමාවතරණය සුරක්ෂිත කිරීමය. ‘සිහින සමීකරණ’ හි දෘශ්‍යමාන තලය පමණක් නොව එහි ඇතුළාන්තයද මෙකරුණ අවධාරණය කරයි.
‘සිහින සමීකරණ’ හිදී රසිකයා හමුවට පැමිණෙන දුක දිනා ජයගත් විරුවා පළමුව දුෂ්කර හා පිටිසර ගමක වෙසෙන දිළිඳු පාසල් සිසුවෙකි. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වුවද අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටිමේ පහසුකම් ඔහුට නොමැති බව පෙනේ. ගැමි පාසලේ උසස් පෙළ පන්ති නොමැත. උසස් පෙළ ගණිත විෂය ධාරාව මේ කරා එන සේයාවක්වත් නැත. ගැමි බහුතරයකට උසස් අධ්‍යාපනයේ සාරය පිළිබඳ කවර වැටහීමක්වත් නොමැති බවද සඳහන් කෙරේ. සාධු ගුණැති තරුණ ගුරුවරයකුගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ අගනුවර නවාතැන් ගන්නා මේ සිසුවා සමීපතමයන් නිසා මතට ඇබ්බැහි වෙයි. පසුව ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යැවේ. මෙබන්දෙක් රාජ්‍ය සේවයේ හෝ පුද්ගලික අංශයේ වගකිවයුතු තනතුරකට පත්විය හැකිද? ඊට පෙරාතුව සරසවි වරම් හිමිකර ගනීවිද?
සිනමාකරු සසික රසික පාර්ශ්වය අමතා පවසන්නේ මේ තරුණයා පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ඉංජිනේරු තනතුරට පත්වූ බවයි. යම් පිළිගැනීමේ රැස්වීමකදී මොහු නොවලහා සිය අත්දැකීම් ගෙන හැර පාන්නේ තමා දුක දිනා ජයගත් හපනකුය යන්න උද්ධරණය කරමිනි. තවමත් තරුණ ඔහු අනාගතයේදී රාජ්‍ය පරිපාලන සේවයේ බොහෝ දුරක් ගමන් කරනු ඇති බවට කිසිදු සැකයක් නැත.
තරුණයාගේ මෙම දිවි සැරිය දෙස තාර්කිකව නොබැලීමට රසිකයා සූදානම් වන තුරු සසිකගේ අධ්‍යක්ෂණ ආධිපත්‍ය ආරක්ෂා වේ. සිනමාපටය නැරැඹීමෙන් අනතුරුව සසික කෙරෙහි අනුකම්පාවෙන් උක්ත පුවත දෙස තාර්කිකව නොබලන්නට ඇතැම් රසිකයන් පියවර ගන්නටද ඉඩ ඇත. මේ අනුකම්පාව යනු සසිකගේ සිනමාවතරණය රැක ගැනීමේ අවශ්‍යතාව විනා අන් යමක් නොවේ.
සසික සිනමාකරුවා සේ රසිකයාට පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම ව්‍යසනයක්ම වන බවයි. එසේම වැටි වැටී නැගිටීම අත්‍යන්තයෙන්ම සාක්ෂාත් කර ගත යුතු වන්නක් විය යුතු බවයි. මේ අතරතුරදී ඔහු දුෂ්කර පිටිසර ගමේ හා අග නගරයේ ඉලක්ක ගත තැන් දෙස කර්කශ අයුරින් බලන්නට අදි මදි නොකරයි. දිවිය සරු කර ගත හැක්කේ දුෂ්කර පිටිසර ගමක ලැග සිටීමෙන් නොව නගරාවතරණයෙන් සපයා ගන්නා සමත්කම් සමඟ බව ඔහු රසිකයාට පවසන්නේ සිය දැක්ම පළ කිරීමේදී මතු විය හැකි ඇතැම් නොපැසුණු ලකුණු බැහැර කරමිනි. ඇත්ත වශයෙන්ම ඔහු මෙහිලා පිහිටා සිටින දැක්ම නිරන්තර අභ්‍යාසයෙන් පොහොසත් කර ගත යුතුය. මේ සඳහා ඔහුට ඇති අවකාශය ප්‍රමාණවත් නොවීම සිරිලක සිනමාවේ අභාග්‍යයකි.
සසික වෙත තිරනාටකයේ සහය ප්‍රමාණවත්ව නොලැබුණේ යැයිද සිතේ. ප්‍රමුඛ චරිත තුළට යාමේ සිමාසහිත අභිලාසයක් නම් තිරනාටකය පෙන්නුම් කරයි. එහෙත් මෙය සාක්ෂාත් වන්නේ ඉතා අඩුවෙනි. දුක දිනා ජයගත් හපනා මෙහි පළමුවන චරිතයයි. දෙවනුව එන්නේ ඔහුට ගුරුහරුකම් දෙමින් රැක බලා ගනා සත්ගුණවත් තරුණ ගුරුවරයාගේ චරිතයයි. ඊට සමගාමීව දිවයන්නේ කවර තත්ත්වයක් යටතේ වුව ඔහුව හැර නොයන සදාදරණීය පෙම්වතියගේ චරිතයයි. ඇයට මනාප කලහකාරී තරුණයා අනෙක් පස සිටින අදමිටුවාය.
සසික හා තිරනාටක රචකයා කිසියම් වැඩුණු තැනකට පිවිසෙන්නේ නගරයේ වෙසෙන මතට ලොල් තරුණයකුගේ චරිතය සමඟිනි. වරෙක කලහකාරී, තවත් වරෙක ළෙන්ගතු මේ තරුණයා නගරය පිළිබඳ වෙනත් ආකාරයක කියැවීමක් සඳහා කැඳවා ගෙන ආ චරිතයක් බඳුය. මෙය සඵලදායී අවස්ථා කරා රැගෙන යාමට ඇවැසි මඟ පෙන්වීම සසික විසින් සපුරා ගනු නොලැබීම ‘සිහින සමීකරණ’ දක්වන පසුබෑමක් සේ හඳුන්වා දීම අහේතුක නොවේ.
රූපණ කාර්යය විෂයෙහි ඕනෑවට වඩා පසුබාන්නට සසිකට සිදුව නැත. එනම් සියලු චරිත නිරූපණ සිනමාපටයේ අරමුණ හා විලාසය පිළිබිඹු කරලන හෙයිනි. සෙසු අනුශාංගික අංග වෙතින්ද වෙසෙසින් කැපී පෙනෙන සමත්කම් දක්නට නොලැබේ. ඒවාද උක්ත පිළිබිඹු කරලිම අවධාරණය කරන සෙයකි.
කෙසේ වුවත් නවක සිනමාකරුවකු සේ රසිකයා විඩාවට පත් නොකරන සුලු සිනමාපටයක් සේ ‘සිහින සමීකරණ’ ඉදිරිපත් කරලීමට සසික සමත්වීම දෙස විමසිලිමත්ව බැලීම විචාරක මෙන්ම රසික පාර්ශවයේද වගකීමකි.
තුසිත ජයසුන්දර