නිවස කළා පුවත් සිහින නෙළුම් මල් සරල සුන්දර කතා පුවතක් !

සිහින නෙළුම් මල් සරල සුන්දර කතා පුවතක් !

ප්‍රවීණ රංගනවේදිනී වීණා ජයකොඩි

by Mahesh
October 3, 2024 12:30 am 0 comment

– ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි
– සිහින නෙළුම් මල් චිත්‍රපටයේ මැවෙන හැම චරිතයකටම හොඳ වටිනාකමක් දීලා තියෙනවා
– සමීර හැම චරිතයකටම දක්ෂ ප්‍රවීණ ශිල්පීන් යොදා ගැනීම නිර්මාණය සාර්ථක වෙන්න හේතුවක්
– කාන්තාවක් විදිහට මමත් කියන්නේ බොරුව එපා ප්‍රශ්න ආවට එයින් පලා යන්නේ නැතුව ශක්තිමත්ව ඒවට මුහුණ දෙන්න
– රුණ අධ්‍යක්ෂකවරුන්ට තව තවත් උනන්දු කරන්න ඕන. ඔවුන්ව දිරිගන්වන්න ඕන. අගයන්න අවශ්‍යයි

සුබ මොහොතින් නෑදෑ හිතමිතුරන් පිරිවරා දීග යන තරුණියගේ සිහිනය තම සැමියා සමගින් සාමකාමී ජීවිතයක් ගත කිරීමටය. සතුටින් ජීවිතය පවත්වාගෙන යෑමටය. රන් කැටි කිරි සිහිනය සැබෑ කර ගැනීමටයි. උතුම් වූ මව් පදවියෙන් පිදුම් ලැබීමට ඈ පෙරුම් පුරන්නීය. අම්මා යන අගනා වචනය ඇසීමට ඈ අතැඟිලි ගනින්නීය.

එහෙත් ඒ රන් කැටි සිහිනය සැබෑවක් කරගැනීමට නොහැකිව ලතැවෙන අන්ත අසරණ වන තරුණ යුවළ බොහෝය.

පසුගියදා සිංහල තිරය මත විකසිත වූ සිහින නෙළුම් මල් චිත්‍රපටයෙන් අපට පෙන්වා දෙන්නේ ද එවැනි කතාන්දරයකි.

තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක් වූ සමීර නාඔටුන්ගේ සිනමා නිර්මාණයක් වූ සිහින නෙළුම් මල් කාගේත් සිත් සංවේදී වූ සිනමා පටයක් බව කිව යුතුයි.

සහන් සහ නයෝමි ඉතා සාමකාමීව සතුටින් පවුල් ජීවිතය ගත කරන තරුණ යුවළකි. ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ටම වෙන් වූ සුන්දර ලෝකයකය. එහෙත් දෙදෙනාගේම සිත් තුළ එක සුන්දර සිහිනයක් පැළපදියම් වී ඇත. ඒ මවුපිය පදවිය ලැබීමේ සිහිනයයි. එහෙත් එය දිනෙන් දින කල්යෑම ඔවුන්ට වඩා ඔවුන් වටා සිටි පිරිසට ගැටලුවකි.

සමීර නාඔටුන්න අධ්‍යක්ෂවරයා මෙයට කදිම පිළිතුරක් ගෙන දුන්නේ සිනමාවට සිහින නෙළුම් මල් විකසිත කරමිනි.

සහන් සහ නයෝමි ඔවුන්ගේ හයවැනි විවාහ සංවත්සරය සමරන්නේ අතිශයින්ම විනෝදකාමී අයුරිනි. එදින රාත්‍රිය ඔවුන් ගත කරන්නේ සව්දිය පුරමින් නටමින් ගයමින්ය.

පසුවදා උදෑසන නිවසේ සීනුව නාද විය ඒ හඬින් අවදි වූ සහන් දොර විවෘත කරනවාත් සමග ඔහුගේ ඇසට හසුවූයේ බලාපොරොත්තු නොවූ දසුනකි. සහන්ගේ නැන්දනිය දොර අභියසය. සහන් නිදියහනින් අවදි වූ ගමන් ගමන්ය. ඇයට සිනහ ගෙන ආවේ සහන්ගේ මුහුණ දැකීමෙනි. තම නැන්දැනියව ආදරයෙන් පිළිගෙන ඔහු තම නිදන කාමරයට දිවගියේ නයෝමිව අවදි කරනු අටියෙනි.

ඉතාමත් සතුටින් ගත කරන සහන් සහ නයෝමිගේ පවුල් ජීවිතය නොයෙකුත් හැල හැප්පීම් වලට ලක්වන්නේ එතැන් සිටය.

එසේ වීමට තරම් මේ අපූරු නැන්දනිය කවුරුන්ද? සැබැවින්ම ඇය අපූරු චරිතයකි. සහන්ගේ නැන්දනයට ජීවය දෙන ඇය සුන්දර කාන්තාවකි සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය බැබළ වූ ඇය ප්‍රවීණ රංගනවේදනී වීණා ජයකොඩිය.

සිහින නෙළුම් මල් තිරගත වී සති කිහිපයක් ගතවී ඇත. එහෙත් තවමත් චිත්‍රපටය සඳහා ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැත.

වීණා ජයකොඩි රංගවේදනිය මුලින්ම කතාව ඇරඹුවේ සිහින නෙළුම් මල් සඳහා ලැබෙන ප්‍රතිචාර පිළිබඳය.

ඇත්තෙන්ම කියන්න සතුටුයි ලැබෙන ප්‍රතිචාරය ඉහළයි. එදා මංගල දර්ශනය තිබුණ මොහොතේ සිට මේ දක්වා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොමයි. මම සහන්ගේ නැන්දා. ඒ චරිතයේ චිත්‍රපටය අවසානය දක්වා දිව යන්නේ නැහැ. ඒත් නැන්දගේ චරිතය තමයි සිනමා නිර්මාණය වෙනස්ම මඟකට ගෙනියන්නේ සහන් සහ නයෝමිගේ ජීවිතවල සියලු ප්‍රශ්නවලට මුල පුරන්නේ නැන්දා නිසා. චිත්‍රපටයේ කැළඹීම ඇතිවන්නේ එතනින්. ඒ චරිතය වෙනුවෙන් බොහෝ අය මට ප්‍රතිචාර දක්වනවා. ඒ සිදුවීම ගැන කතා වෙන්නේ ඒ වගේ චරිත සමාජයේ ඉන්න නිසා.

මෙහි අධ්‍යක්ෂවරයා චිත්‍රපටය පටන් ගැන්ම හරි ලස්සනට පෙළ ගස්වා තියෙනව. වැඩි කාල පරාසයකට මගේ චරිතය ගලා නොගියට. චිත්‍රපටියේ සිදුවන සිද්ධීන්ට මුල් වුණේ නැන්දගේ පැමිණීම. මම හරි සතුටින් තමයි ඒ චරිතය භාර ගත්තේ.

සමීර නාඔටුන්න තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු ගැනත් කතා තේමාව ගැනත් එය සිනමා තිරයට උචිත ලෙස නිර්මාණය කර තිබීම ගැනත් ඇය දැක්වූ අදහස් මෙසේය.

සිහින නෙළුම් මල් රචනයත් අධ්‍යක්ෂණයත් දෙකම සමීර නාඔටුන්නගේ. මම මේ චිත්‍රපටයේ විශේෂත්වයක් දකිනවා. ර්‍ථතධබ එකට පිටින් අනවශ්‍ය කතා පටලවාගෙන නැහැ. කතාවට අවශ්‍ය දේ පමණයි යොදාගෙන තියෙන්නේ. වැඩි චරිත ප්‍රමාණයක් නැහැ. අවශ්‍ය චරිත පමණක් යොදා ගැනීමෙන් තමයි නිර්මාණය සාර්ථක වෙලා තියෙන්නේ.

මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ දරුවන් නොලැබීම පිළිබඳව. ඕනෑම අම්මෙක් තාත්තෙක් කැමතියි තමන්ටම කියලා දරු මුනුපුරන් ඉන්නවනම් විශේෂයෙන් තම පරම්පරාව ඉදිරියට ගෙනියන්න. මේක හැමදාමත් අපිට අත්විඳීන්නට තිබෙන අපිට දකින්නට තිබෙන ප්‍රශ්නයක්. පුතෙක්ගේ පැත්තෙන් තමයි මේ ප්‍රශ්නය ප්‍රබලවම මතුවන්නේ. සමීර ඒ චරිත ටික හරි අපූරුවට හසුරවලා තියෙනවා. අම්ම කෙනෙක්ගෙ හැඟීම්, තමන්ගේ පුතාට දරුවෙක් නැති වෙනකොට ඒ දැනෙන වේදනාව, දුක හරි අපූරුවට පෙනෙන විදිහට චරිත මෙහෙයවීම ඔහුගේ දක්ෂතාවය කියලා කියන්න පුළුවන්. ඔහුගේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේත් මම ඒ දේම දුටුවා.

සිහින නෙළුම් මල් චිත්‍රපටයේ මැවෙන හැම චරිතයකටම හොඳ වටිනාකමක් දීලා තියෙනවා. ප්‍රධාන හෝ සුළු චරිතයක්ම හොඳීන් ඉස්මතු වෙලා පේන විදිහට තමයි සමීර මේ නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් පැන නැඟුණහම ඒ ප්‍රශ්නයට අදාළ කෙනාව ඒ චරිතයට ගැළපෙන විදියට හසුරවන්න සමීර කල්පනාකාරී වෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් සහන්ගේ යාළුව වන අල්විස්ගේ චරිතය. හැම යාළුවටම ජීවිතේ හැම ප්‍රශ්නයක්ම කියන්න බෑ. ඒ සඳහා හිතට දැනෙන යාළුවෙක් ඉන්න ඕන. අන්න එතනදි සමීර හොඳීන් පෙන්වලා දීලා තියෙනවා විශ්වාසවන්ත හොඳ යාළුවෙක් අවශ්‍ය වෙලාවට ළඟ ඉන්න බව. හොඳ යාළුවෙක්ගෙ වටිනාකම පෙන්වල දීල තියෙනවා.

සහන්ගේ ප්‍රශ්නය හමුවේ ඔහු ගැටලුවලට මුහුණ දෙනකොට මානසිකව වැටෙන හැම වෙලාවකදීම සහන් සමඟ ඉන්නේ ඔහුගේ සමීපතම මිතුරා අල්විස්. අල්විස් චරිතයට පණ පොවන්නේ කලණ ගුණසේකර. ඒ යාළුවා කලබල වෙන්නේ නැහැ සහන්ගේ ප්‍රශ්නයට ඔහු කල්පනාවෙන් විසඳුම් සොයනවා. කියමනක් තියෙනවා ටපඪඥදඤඵ ඪද දඥඥඤ ටපඪඥදඤඵ ඪද ඤඥඥඤ කියලා. අවශ්‍ය වෙලාවට ඉන්න යාළුවා තමයි හරිම යාළුවා. ඒ දේ සමීර හොඳීන් වටහා දීලා තියෙනවා චිත්‍රපටයේ. මම දැකපු තවත් විශේෂත්වයක් තමයි සමීර ඒ හැම චරිතයකටම දක්ෂ ප්‍රවීණ ශිල්පීන් යොදා ගැනීම. නිර්මාණ සාර්ථක වෙන්න ඒක තවත් හේතුවක්.

ඇතැම් කාන්තාවන් දරුවන් නොමැතිකමෙන් මානසිකව වැටෙද්දී තවත් පිරිසක් තම කුස තුළ පිළිසිඳ ගත් දරුවා හදා වඩා ගැනීමට නොහැකිව ළත වෙනවා. සිහින නෙළුම් මල් තුළින් මෙම අවස්ථාව මනාව පෙන්වා දී තිබීම පිළිබඳ වීණා ජයකොඩි රංගවේදනය සරසවිය හමුවේ මෙසේ තම අදහස් පළ කර සිටියාය.

මෙම චිත්‍රපටයේ කුමාරිගේ චරිතයත් ඉතා ප්‍රබලයි. (උමාලි තිලකරත්න) ඇයට දරුවෙකු පිළිසිඳගෙන තිබුණත් ඇගේ සැමියා අතුරුදහන් වෙනවා. ඒ හමුවේ ඇය අන්ත අසරණ තත්ත්වයට පත්වෙනවා. ඇය දරුවා හදාගන්න වෙනත් කෙනෙක්ට දෙන්න හිත හදාගන්නේ ඒ නිසා. ඇත්තටම ඇය සැබෑ මවක් ආකාරයෙන් රංගනයේ යෙදෙන අයුරු හරි අපූරුයි. ඇගේ හැඟීම් මුහුණෙන් පිළිබිඹු වන අයුරු සූක්‍ෂ්ම ලෙස රංගනය තුළින් මතුකර ගැනීම සමීර දක්ෂ ලෙස සමත් වෙලා තියෙනවා.

සිහින නෙළුම් මල් චිත්‍රපටයේ අවසාන අදියරේ කුමාරිගේ ස්වාමිපුරුෂයා පැමිණීමත් සමඟ සහන් පත්වන අපහසුතාවය පෙන්වන දර්ශනය ගැනත් යමක් පැවසිය යුතුය.

කුමාරිට දරුවා හදා ගැනීමට නොහැකි නිසා එය දරුවා සහන්ලට හදා ගැනීමට දීමට තීරණය කරනවා. සහන්ටත් නයෝමිටත් දරුවන් නොමැති නිසා ඒ දරුවාව දරුකමට හදාගන්න කැමති වෙනවා. එහෙත් කුමාරිගේ සැමියා නිසා ඇතිවන ගැටලුව ඔබ හමුවේ පවසනවාට වඩා චිත්‍රපටය නරඹන අයටම ඒක දැනගන්න තිබිය යුතුයි. එවිට තමයි චිත්‍රපටයේ අගය වැඩිවෙන්නේ. ඒ අවස්ථාවේ දෙදෙනාගේම හැඟීම් ඉතා ඉහලින් පෙන්වා දෙනවා. ඒ අවස්ථාවේ (සහන් සහ කුමාරිගේ සැමියා අතර) දෙබස් වලින් තොර වූ හේමාල්ගේ රඟපෑමත් හරිම අගෙයි. මම හේමාල් රංගනයේ දුටු හොඳම අවස්ථාවක් ඒක. ඔහුගේ හැඟීම් මුහුණෙන් ප්‍රකාශ වුණ හරිම තීව්‍ර අවස්ථාවක් ඒක. ඒ වගේම කුමාරිගේ ස්වාමිපුරුෂයා ලෙස රඟපාපු තරුණ රංගන ශිල්පියා (මයුර කාංචන) ඔහුත් ඉතා මැනවින් ඔහුගේ රංගනය ඉදිරිපත් කරනවා. ඔහුගේ චරිතයත් වැඩි වේලාවක් දිව නොගියත් චිත්‍රපටයේ ලොකු වෙනසක් කරන්න ඒ චරිතය ඉවහල් වෙලා තිබුණා.

මම මුලින්ම සඳහන් කළා වගේ චිත්‍රපටයේ තිබෙන හැම චරිතයකින්ම උපරිම ප්‍රයෝජනයක් ගන්න අධ්‍යක්ෂවරයා උත්සුක වෙලා තියෙනවා.

සිහින නෙළුම් මල් චිත්‍රපටයේ නයෝමිගේ චරිතයට පණ පොවන්නේ යොවුන් රංගන ශිල්පිණිය දුෂේනි සිල්වා. නයෝමිගේ චරිතය ගැන කතා කිරීමටද ඇය අමතක නොකළාය.

චිත්‍රපටයේ නයෝමිගේ චරිතය කරන්නේ දුෂේනි. මම ඇයත් සමග රඟපාපු පළමු අවස්ථාව. ඇයත් මට හොඳ සහයෝගයක් දුන්නා. මම කැමතියි නයෝමි ගැනත් කතා කරන්න. නයෝමි විනෝදකාමී චරිතයක්. ඇය ඉන්නේ ඇගේ ලෝකෙ ලොකු වගකීමක් කරට ගන්න කෙනෙක් නෙවෙයි. ඇය ජීවිතයේ බරක් පතලක් නැති විදිහට තමයි නයෝමි හැසිරෙන්නේ.

ඒත් සහන් එහෙම නෙවෙයි. ඔහු ආදරෙයි එයාගෙ දෙමව්පියන්ට. නැන්දට. සහන් එහෙම හැසිරෙන්නේ කුඩා කල සිට දෙමව්පියන් සෙවණේ හැදී වැඩුණු කෙනෙක් නිසා එයා කැමති නැහැ එයාගේ නැන්දටවත් අම්මා තාත්තටවත් තමන්ගේ බිරිඳ වුණත් දොස් කියනවට.

“තමුසේ මහා ජරා ගෑනියෙක්.”

අන්න ඒ දෙබසින් තමයි ඉහත කී හැමදේම ඔප්පු වෙන්නේ. ඒ දෙබස හරි ප්‍රබලයි.

දරුවෙක් ගැන නැන්දා අහනකොට නයෝමි කියපු බොරුව නිසා තමයි ඒ කතාවේ හැමදේම උඩු යටිකුරු වෙන්නේ. සහන්ට තරහ යන්නෙත් ඒ හේතුව නිසයි.

නයෝමි ඇත්ත නොකියා බොරු කියපු නිසා සහන්ට තදින්ම තරහ යන්නේ නයෝමිගේ බොරු කීම නිසා.

අපි කියන එක බොරුවකින් පුළුවන් ලොකු වෙනසක් කරන්න මේ චිත්‍රපටයේ ඒ දේ ගෙනත් කියවෙනවා. නිතරම ඇත්ත කියන්න ඕන කියන දේ. බොරුවෙන් වහන්න බෑ කිසි දෙයක්. ඒ ඇතිවෙන ප්‍රශ්න හැමදේකටම මුල නයෝමි කියන බොරුව.

අපි හැම වෙලාවකම බොරුව ඉවත් කරලා ඇත්තට මුහුණ දිය යුතුයි යුතුයි. නයෝමි ඒ හැම බොරුවක්ම කිව්වේ එයාගේ පැත්තෙන් හිතලා. එයාට එන ප්‍රශ්න වලින් බේරෙන්න. ඒත් අන්තිමට සිදුවුණේ ප්‍රශ්න රැසකට මුල පිරීමක්.

හැම වෙලාවෙම යහපත් විදිහට හිතෙනවා නම් යහපත්ව හැසිරෙනවනම් යහපත් දේ කරනවා නම් අනිවාර්යයෙන් අපිට කවදා හෝ ඒ දේවල් නැවතත් ලැබෙනවා. අපි අදහන ආගම් අනුව ජේසුස් වහන්සේ පවසල තියෙන්නෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේත් නිතරම හොඳ දේ දකින්න හොඳ දේ කරන්න කියලා. එවිට තමයි යහපත් මනසක් ඇතිවෙන්නේ.

අවසානයේ සහන් සහ නයෝමි කුමාරිගේ දරුවා හදාගන්න තීරණය කරන්නේ ඒ හැම ප්‍රශ්නයකටම විසඳුමක් හැටියට. දරුවෙකුට තියෙන ආදරය නිසා.

අන්න එතනදි නයෝමි එයාගෙම දරුවෙක් බලාපොරොත්තු වෙනවා වගේ හැසිරෙනවා. නූපන් දරුවාට ආදරය කරන්න පටන් ගන්නව ඒ දරුවාට අවශ්‍ය වටපිටාව සකස් කරනවා.

ඒ වගේ අවස්ථාවල කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන වල පවා වෙනස්වීම් වෙනවා. හෝමෝන ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. ඇය ඒ අවස්ථාවේ ඉන්නේ යහපත් මනසින්. සමහර කාන්තාවන් දරුවෙක් අරගෙන හදා ගනිද්දි ඇය ගැබ් ගන්න ඉඩ තියෙනවා. ඇයට කිරි එරෙන්න පවා පුළුවන්. මේ දේවල් අපි සමාජයේ නිතරම දකිනවා එවැනි සංවේදී සිද්ධීන් පවා පෙන්වා දීලා තියෙනවා සිහින නෙළුම් මල් චිත්‍රපටයේ. එහි ඉන්න පුංචි බලු පැටියව පවා හරි ලස්සනට ඛ්චනබභපඥ කරලා තිබුණා.

අධ්‍යක්ෂකවරයාගේ ඇතුළාන්තයේ තිබුණ හැඟීම් නිසා ඒ සංවේදී කතා පුවත හරි ලස්සනට සිනමා තිරයේ දිගහරින්න ඔහුට පුළුවන් වුණා.

සිහින නෙළුම් මල් තුළින් කියැවෙන ප්‍රධානම දේ තමයි බලාපොරොත්තුව අත් නොහැරීම. අනිත් කාරණාව තමයි කුමන ප්‍රශ්න ආවත් ශක්තිමත්ව එයට මුහුණ දීමත් බොරුව එපා කියන එකත්.

කාන්තාවක් විදිහට මමත් කියන්නේ බොරුව එපා ප්‍රශ්න ආවට එයින් පලා යන්නේ නැතුව ශක්තිමත්ව ඒවට මුහුණ දෙන්න කියන එක.

වීණා ජයකොඩි රංගවේදිනය සිංහල සිනමාවට ශක්තියක් වූ ආලෝකයක් වූ චරිතයක්. ඇය හැමවිටම ලස්සනට අඳීන පලඳීන කාන්තාවක්. එමෙන්ම ධනාත්මක සිතිවිලි වලින් පරිපූර්ණ වූ ආදර්ශමත් චරිතයක්. එවැනි රංගවේදිනියකගෙන් අලුත් පරපුරට ඉගෙන ගැනීමට ඇති දෑ බොහෝය. නවක රංගන පරපුරද මෙවැනි චරිත ආදර්ශයට ගන්නවා නම් සාර්ථක දක්ෂ රංගන පරපුරක් සිංහල සිනමාවට දායාද වන බව නියතයි.

ඇය ඒ පිළිබඳ දරන අදහස සරසවිය හමුවේ මෙසේ හඬ අවදි කළාය.

අපි වැඩ කරනකොට නැහැ බැහැ කියන වචන ඉවත් කරන්න ඕන. ශක්තිමත්ව හැමදේටම මුහුණ දෙන්න ඕන.

සිහින නෙළුම් මල් චිත්‍රපටය නිසාම අලුත විවාහ පත් අයටත් දරුවන් නැති නිසා ළතවෙන යුවලටත් මම මේ දේ කියන්න කැමතියි.

ප්‍රශ්න වලින් පලා යන්න එපා. බොරුව නැති කරගන්න තමන්ගේම කියලා දරුවෙක් හදාගන්න බලාපොරොත්තුව සිතේ තබාගන්න. වර්තමානය වන විට දියුණු ක්‍රමවේදයන් තියෙනවා දරුවන් නොමැති අයට දරුවන් හදා ගන්න. එහෙමත් බැරි කෙනෙකුට පුළුවන් දරුවෙක් අරගෙන හදාගන්න. ඒක ලොකු පිනක්. මඩම් වලට දරුවන් දෙන්නේ නැතුව ඒ දරුවන් හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න පුළුවන්නම් ඒක හරිම වටිනවා.

වීණා ජයකොඩි රංගවේදිනිය නිහතමානී කලාකාරිනියක්. සිහින නෙළුම් මල් සිනමා පටයේ රූගත කිරීම් සිදු කරන අවස්ථාවේ ඇය වටා සිටි අනෙකුත් රංගන ශිල්පි ශිල්පිනියන් කාර්මික ශිල්පීන් ඇගයීමටද ඇය අමතක නොකළාය.

මට තිබුණේ එක් දිනයක රූපගත කිරීමක් විතරයි. නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනාගෙන් සහ හේමාල්, දුෂේනි දෙන්නාගෙනුත් හොඳ සහයෝගයක් මට ලැබුණා.

විශේෂයෙන් හේමාල් ගැන කියන්න ඕන. ඉතා හොඳ උනන්දුවකින් කැපවීමකින් කටයුතු කරන කෙනෙක්. ඔහු අද ඉන්න තත්ත්වයට ඇවිත් තියෙන්නේ ඒ නිසයි. හැම වෙලාවෙම ඔහු මුල්තැන දෙන්නේ තමන්ගෙන් විය යුතු කාර්යය සඳහා. දුෂේනිත් ඇයගේ කොටස හොඳීන් ඉටු කරලා තියෙනවා.

වටිනාම දේ තමයි සිහින නෙළුම් මල් විකසිත කළ සමීර නාඔටුන්න අධ්‍යක්ෂවරයා ගැන කතා කිරීම. මේ ඔහුගේම තිර රචනයක් මේ තරුණ අධ්‍යක්ෂකවරුන්ට තව තවත් උනන්දු කරන්න ඕන. ඔවුන්ව දිරිගන්වන්න ඕන. අගයන්න අවශ්‍යයි. සමීර වගේ කෙනෙක් අතීතයේ සිටියා නම් ඔහුට විශාල ප්‍රමාණයක් කරන්න තිබුණා. එවැනි කෙනෙක් පිටරටක සිටියා නම් ඔහුට ලැබෙන දේ මීට වඩා හාත්පසින්ම වෙනස්. චිත්‍රපටය නිමකරල කාලයක් බලාගෙන ඉන්න වෙනවා තිරගත කරන්න.

සිහින නෙළුම් මල් කියන්නේ සරල සුන්දර කතා පුවතක් එවැනි නිර්මාණ තමයි සිනමාවට අවශ්‍ය. ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට එන්නේ ප්‍රශ්න ගොඩකින් ඔලුව පුරවාගෙන යන්ඩ නෙවෙයි. සරල දෙයක්, සමාජයට පණිවිඩයක් ගෙනෙන දෙයක් බලල මනස නිරවුල් කරගන්න හැමෝම කැමතියි එවැනි නිර්මාණ කරන නිර්මාණකරුවන්ට අතහිත දිය යුතුයි.

මම, සිහින නෙළුම් මල් චිත්‍රපටයේ විශේෂ වූ තැන් පිළිබඳ කතා කළා. මා මේ නිර්මාණය ගැන මම කතා කරනවාට වඩා මම ඉල්ලා සිටිනවා රසිකයින්ගෙන්, ප්‍රේක්ෂකයින්ගෙන් ඇවිත් සිහින නෙළුම් මල් චිත්‍රපටය බලන්න කියලා. චිත්‍රපටය නරඹලා ඔබලාගේ ප්‍රතිචාර ලබා දෙන්න.

ඇයත් සමඟ තවත් දිගු වේලාවක් කතා කිරීමට තරම් ඇය සතුව තොරතුරු බොහෝ ඇත. ඇය කියනා පරිදි සිහින නෙළුම් මල් චිත්‍රපටය ඔබ නැරඹුවොත් ඊටත් එහා ගිය බොහෝ දෑ කතා කරාවි. වීණා ජයකොඩි නම් වූ මේ සුන්දර චරිතය සරසවිය සමඟින් කළ කතාබහට සමුදුන්නේ ඇගේ සුබ පැතුම්ද සරසවියට පුද කරමිනි.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ සිට මේ තාක්කල් සිනමා තිරයට ශක්තියක් වූ ඇය,

දිරියක් වූ ඇය,

ආලෝකයක් වූ ඇය,

වටිනා රංගනවේදිනියකි. සිංහල සිනමාවේ සුරූපී වීණා විය…

ඉදිරියටත් ඔබේ සුවිශේෂ වූ රංගනයෙන් සිංහල සිනමා තිරය හැඩ වේවා !

සිහින නෙළුම් මල් පිබිදේවා !

ඔබතුමියට දීර්ඝායුෂ !

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT