නිවස විචාර සිහින නෙළුම් මල් කියන්නේ හදවතට දැනෙන චිත්‍රපටයක්

සිහින නෙළුම් මල් කියන්නේ හදවතට දැනෙන චිත්‍රපටයක්

- සිහින නෙළුම් මල් අධ්‍යක්ෂ ශමීර රංගන නාඔටුන්න

by Mahesh
October 10, 2024 12:30 am 0 comment

– “මෝටර් බයිසිකල් “හරහා මම ලාංකේය සිනමාවට වෙනම ආකෘතියක්, හැඩයක් හදාදුන්නා
– මම ප්‍රවීණයන් සමඟ වැඩකරන්න කැමැතියි වගේම ඔවුනුත් මාත් එක්ක වැඩකරන්න කැමැතියි
– පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණ‍ෙයන් වසර 08කට පසුවයි “සිහින නෙළුම් මල් ” නිර්මාණය කළේ
– වෙනස් විදිහට සිතන, වැඩකරන නව පරපුරේ දායකත්වය සිනමාවට අවශ්‍යයි
– වෙනස්ම මාදිලියේ ටෙලි නාට්‍යයක් නිර්මාණය කොට ප්‍රේක්ෂකාගාරයට මුදාහරිනවා

දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මාන දිනාගත් ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ශමීර රංගන නාඔටුන්නගේ දෙවැනි සිනමාපටය වන ‘සිහින නෙළුම් මල්’ මේ දිනවල අති සාර්ථක ලෙස සිනමාශාලා රැසක පිපී සුවඳ හමමින් ප්‍රේක්ෂක ජනාදරය දිනාගනිමින් සිටියි…‘සිහින නෙළුම් මල් ’හි අසිරිය විඳගන්නා මොහොතේ සිය සිනමා දිවිය පිළිබඳ කතා කිරීමට ශමීර නාඔටුන්න මෙසේ සරසවිය හා එක්විය.

ඔබේ නවතම සිනමාපටය “සිහින නෙළුම් මල්” මේ දිනවල අති සාර්ථකව තිරගත වෙනවා..ඒ ගැන යමක් කීවොත් ….?       

“සිහින නෙළුම් මල්” මගේ දෙවැනි චිත්‍රපටය. එය මේ දිනවල සිනමාශාලා 70කට අධික ප්‍රමාණයක අතිසාර්ථකව තිරගත වෙනවා. ප්‍රේක්ෂකයන් බොහෝ ආදරයෙන් මේ චිත්‍රපටය වැලඳගෙන තිබෙනවා. ඒ ගැන ඇත්තෙන්ම සතුටුයි. ඒවගේම තවම ‘සිහින නෙළුම් මල් ” නරඹා නැති අය සිටිනවානම් ළඟම සිනමාහලෙන් නරඹන්න කියා ආරාධනා කරනවා. එසේම ආදරණීය ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරය දැනගන්නත් මම කැමැත්තෙන් ඉන්නවා..

“සිහින නෙළුම් මල් ” අධ්‍යක්ෂණයට යොමුවූ ආකාරය විස්තර කළොත් ….?

“සිහින නෙළුම් මල් “මම අධ්‍යක්ෂණය කරන්නේ මගේ පළමු චිත්‍රපටය වන “මෝටර් බයිසිකල් ” අධ්‍යක්ෂණය කර වසර 08කට පසුවයි…..මේ රටේ තිබුණු ආර්ථික වාතාවරණය, කොවිඩ් වසංගතය වැනි දේ එයට බලපෑවා කිව්වොත් හරි. “මෝටර් බයිසිකල් ” අධ්‍යක්ෂණය කර ඊළඟට මොකද්ද කරන්නේ කියා මගේ සිතේ පොඩි කුකුසක් තිබ්බා. “මෝටර් බයිසිකල්” අති සාර්ථක වුණා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය වගේම දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මාන රැසක්ම ඒ චිත්‍රපටයට ලබාගන්න හැකිවුණා. “මෝටර් බයිසිකල් ” හරහා කතා කළේ තරුණ පෙම් යුවළකට ආදරය කිරීමට ඇති නිදහස සහ ඒ පරිසරය පිළිබඳයි. වර්තමානයේ තරුණ පිරිස විවාහ වෙන්නෙ අවුරුදු 28,30 පසුවුණාට පස්සේයි. ඒ විවාහ වෙන්නෙත් ආර්ථික අර්බුද, විවිධ බාධක මධ්‍යයේ. ඔවුන්ගේ ඊළග බලාපොරොත්තුව දරුවකු ලබාගැනීම. විවිධ කරුණු මත ඔවුන් දරුවන් හැදීම ප්‍රමාද කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ බොහෝමයකට දරුවන් ලැබීමේ සම්භාවිතාව අඩුවීමයි. එය මේ සමාජයේ බහුලව තිබෙන ප්‍රශ්නයක්… කාන්තාවකට දරුවෙක් නොලැබුණොත් මුළුමහත් සමාජයම ඒ කාන්තාව දිහා බලන්නේ වපර ඇහින්. සමහරවිට ස්වාමිපුරුෂයා පවා බිරිඳට චෝදනා එල්ල කරන අවස්ථා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය විවාහ සංස්ථාව කැඩීබිඳී යෑමයි. මේ ප්‍රශ්නය අද සමාජයේ බොහෝදෙනා අත්විඳීනවා. එයින් පීඩා විඳීනවා. එවැනි පිරිස දෙස ධනාත්මකව බලන්න ගත්ත සිනමාත්මක උත්සාහයක් තමයි “සිහින නෙළුම් මල් ” කියන්නේ….

හේමාල්-දුෂේනි දෙදෙනා පෙම්වතුන් ලෙස ප්‍රථමවරටයි මෙහි මුණගැසෙන්නේ …එය ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් ……?

ඔව්, හේමාල්-දුෂේනි ප්‍රථමවරට තමයි රිදීතිරයට පෙම්වතුන් ලෙස එකතුවෙන්නේ. චිත්‍රපටය නැරඹූ බොහෝ අය කිව්වා මේ කපල් එක හොඳට ගැළපෙන කපල් එකක් කියලා. දෙදෙනාගේ තාත්විකත්වය තිබූ බවත් බොහෝ අය කිව්වා. මෙහි රංගන ශිල්පීන් තෝරාගැනීමේදී බොහෝම සැලකිලිමත් වුණා. මේ චිත්‍රපටයේ නිෂ්පාදක වූ වරුණ අරඹගේ මහතා කතාවුණා මේකට තරුගුණය සහිත පිරිසක් යොදාගනිමු කියලා. එහිදී මම කල්පනා කළා දැනට ලංකාවේ සිටින සුපිරි තරුව වන හේමාල් රණසිංහ යොදාගන්නවා කියලා. ඉන්පසුව ඔහුගේ බිරිඳ ලෙස කාවද යොදාගන්නේ කියලා කල්පනා කළා. එහිදී මට දුෂේනිව මතක් වුණා. ඇය ඒවෙද්දි පිටපිට ජනප්‍රිය සම්මානත් දිනාගෙන තිබුණා. ඇයට කතා කළාම ඇයත් පිටපත කියවලා ඉතා සතුටින් චරිතය භාරගත්තා. මම සිතනවා මේ කපල් එක තෝරාගැනීම සියයට සියයක් නිවැරදි තෝරාගැනීමක් කියලා. බොහෝ අය කියනවා සිංහල සිනමාවේ ගාමිණී-මාලිනී, විජය-මාලිනී වගේ යුගයක් හැටියටත් මේ දෙදෙනාගේ එකතුවීම ගැන.

“සිහින නෙළුම් මල්” නිසා වයස් භේදයකින් තොරව ප්‍රේක්ෂකයාගෙන් සිනමාශාලා මේදිනවල පිරී ඉතිරී ගිහින්….?

“සිහින් නෙළුම් මල් ” කියන්නේ පවුලේ හැමෝටම ආදරයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක්. මෙහි ඉතා ලස්සන ගීත අඩංගු වෙනවා. මේක හිතට වැදෙන, හදවතට දැනෙන චිත්‍රපටයක්. මෙය නැරඹූ අය අපේ ඇස් කඳුළින් තෙත්වුණා, අපට ආදරණීය හැඟීමක් ඇතිවුණා වගේ දේවල් ෆේස්බුක්හි ලියා තිබුණා. බාල, තරුණ, වැඩිහිටි, මහලු ඕනෑම අයකුට රසවිඳීය හැකි සරල එහෙත් හදවතට දැනෙන කතාවක්”සිහින නෙළුම් මල්” කියන්නේ. මෙයට ප්‍රේක්ෂකාගාරය ඉතා හොඳ ප්‍රතිචාර ලබාදෙමින් තිබෙනවා. දැනට දින 35ක් පමණ පසුකළා. දින 50 සැමරීමේදී අපි උත්සවයක් පවත්වන්නත් සිතාගෙන ඉන්නවා

“සිහින නෙළුම් මල්” ගීත එළිදැක්වීම චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර උත්කර්ෂවත්ව සිදුකළා. එයට විශේෂ හේතුවක් තිබුණද….? සහ ගීත ජනගත කිරීම පිළිබඳත් විස්තර කළොත්….?

ඔව්, ලංකාවේ පළමුවරට තමයි මෙසේ ගීත එළිදැක්වීමක් කළේ. චිත්‍රපටයේ ගීත03ක් එළිදැක්වීම කළේ නෙළුම්පොකුණ රඟහලේදී. මාත්‍රා ලයිව් ඉන් කොන්සර්ට් නමින් විලී ප්‍රනාන්දුගේ මාත්‍රා ටූ ෆෝටි ටූ බෑන්ඩ් එකත් එක්ක මෙය ප්‍රසංගයක් ලෙස උත්කර්ෂවත්ව කළේ. විශාල පිරිසක් ටිකට්පත් මිලදී ගෙන මේ ගීත එළිදැක්වීම නරඹන්න ආවා. ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, ආශ්කා කුලතුංග, අමිල පෙරේරා වැනි පිරිස මෙහි ගීත ගායනා කළා. චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර උ ඊභඡඥහි අපි මේ ගීත උනතධචඤ කළාම හොඳම ප්‍රතිචාර ලැබුණා. ප්‍රසංගය නැරඹූ අයත් පැහැදුණා, සතුටු වුණා. මෙය ලාංකේය සිනමාවේ නවමු අත්දැකීමක් වුණා. ප්‍රසංග වේදිකාවයි සිනමාවයි එකතුවෙන් මෙරට පළමුවරටයි මෙවැනි වැඩක් සිද්ධවුණේ.

මෙහි ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ නවක තරුණ පිරිසගේ දායකත්වයත් දකින්න පුළුවන්. පරම්පරා දෙකක් එක්ක කටයුතු කිරීම ඔබට දැනුණේ කෙසේද…..?

මෙහි ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න වැනි ප්‍රවීණ දක්ෂ පිරිසක් රංගන දායකත්වය සපයනවා. ප්‍රවීණයන් සහ නවකයන්ගේ එකතුවක් තමයි මේ චිත්‍රපටයේ තිබෙන්නේ. බොහෝඅය කිව්වා නළුනිළියන් තෝරාගැනීමේදී චරිතවලට ගැළපෙනම අය තෝරාගෙන තිබෙනවා කියලා. මම කැමැතියි විවිධ අය සමඟ වැඩකරන්න. ප්‍රවීණ, දක්ෂ අය එක්ක වැඩකරන්න මම කැමැතියි වගේම ඒගොල්ලොත් කැමැතියි මාත් එක්ක වැඩකරන්න. ඒ අත්දැකීම සිනමාපටයට ගෙනඒමයි මගේ මුඛ්‍යාර්ථය වුණේ. මෙහි රංගනයේදී ප්‍රවීණ, නවක සියල්ලෝම ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාදුන්නා

ප්‍රවීණයන්ගේ අත්දැකීම් “සිහින නෙළුම් මල් ” සඳහා ආශීර්වාදයක් වෙන්න ඇති……?

අපි සැමවිටම නිර්මාණ කාර්යයකදී ප්‍රවීණයන්ගේ අත්දැකීම් ලබාගන්නවා. ඒ අත්දැකීම් අපිව පෝෂණය වීමට බොහෝසෙයින් බලපානවා. ප්‍රවීණයන් මටත් බොහෝම ආදරෙයි. ඒ ඇසුර අපේ නවක රංගන ශිල්පීන්ටත්, සිනමා නිර්මාණයටත් නිබඳව ලැබුණා. මම හැමදාම ඒ දේ කරනවා.. ඊළඟ නිර්මාණයේත් එය කරාවි. ප්‍රවීණයන්ගේ අත්දැකීම්, ආශීර්වාදය චිත්‍රපටය පෝෂණයට දායක වෙනවා…

ඔබේ අනෙකුත් සිනමා කෘති සමඟ “සිහින නෙළුම් මල් “ස්ථානගත කළ හැක්කේ කවර තැනකද….?

මම දැනට චිත්‍රපට 02යි අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. පළමු නිර්මාණය ‘මෝටර් බයිසිකල්”. දෙවැනි නිර්මාණය “සිහින නෙළුම් මල්”. “මෝටර් බයිසිකල් ” හරහා මම වෙනම හැඩයක්, ආකෘතියක් හදාදුන්නා ලාංකේය සිනමාවට. එය ප්‍රේක්ෂක ආදරය වගේම අන්තර්ජාතික ඇගයීමටත් ලක්වුණා. ඊට පසුව මම හිතුවේ “මෝටර් බයිසිකල් “වලට වඩා වෙනස්ම ආරක චිත්‍රපටයක් කරන්නයි. “සිහින නෙළුම් මල්” කිව්වට එය ජ්චථඪතර ජ්ඪතථ එකක්.හැමෝටම නරඹන්න පුළුවන්. මට අවශ්‍ය වුණේ මේ හරහා විශාල ප්‍රේක්ෂකාගාරයක් ආකර්ෂණය කරගන්න. ඊළඟ චිත්‍රපටය මේ දෙකටම වඩා වෙනස් එකක් වේවි.. මම ආසයි විවිධ මට්ටමේ අත්හදාබැලීම් කරන්න. “මෝටර් බයිසිකල්” සහ “සිහින නෙළුම් මල්” කියන්නේ අහසට පොළොව වගේ චිත්‍රපට දෙකක්. අන්ත දෙකක චිත්‍රපට දෙකක්. “මෝටර් බයිසිකල්” මානයෙන් මේ චිත්‍රපටය දිහාබලන්න එපා. මෙය වෙනම ශානරයක සිනමා කෘතියක්.

මෙහි නිෂ්පාදන අර්ථපතීත්වය ගැන කියනවානම්….?

“සිහින නෙළුම් මල් “හි නිෂ්පාදක වරුණ අරඹගේ මහතා. ඔහු ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතු කරනවා. ඔහුගේ එක් සන්නාමයක වෙළෙඳ දැන්වීමක් කරන්න ගිහින් තමයි මට ඔහුව මුණගැසෙන්නේ. ඉන්පසු අපි අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැඟුණා. මගේ යෝජනාවකටයි මේ චිත්‍රපටය නිෂ්පාදනයට ඔහු එකතු වුණේ. ඉතා හොඳ ඒවගේම වැඩක් කළ හැකි හොඳ නිෂ්පාදකවරයෙක් මුණගැසීම නිසා මා වාසනාවන්තයි කියා සිතනවා. දවස් ගණනක් අපි කතාබහ කරමින්, සැලසුම් කරමින් වැඩකටයුතු කරගෙන ගියේ. වරුණ අරඹගේ මහතා ලාංකේය සිනමාවට වටිනා ආයෝජකයෙක් වේවි කියා මා සිතනවා. මෙතුමාගේ ආගමනය ශ්‍රී ලාංකේය සිනමාවට වැදගත් සාධකයක් වේවි.

“සිහින නෙළුම් මල්” විදෙස් ප්‍රදර්ශනය සිදුවන්නේ කෙසේද….?

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නගර 10ක පමණ චිත්‍රපටය තිරගත කළා. ඉදිරියේදී එංගලන්තය, ඉතාලිය වැනි රටවල තිරගත කරන්න සාකච්ඡා කර තිබෙනවා. නොබෝ දිනකින් ඒ රටවල ප්‍රේක්ෂකයන්ටත් “සිහින නෙළුම් මල් “අත්දැකීම විඳගන්න පුළුවන් වේවි

ලාංකේය වාණිජ සිනමාවේ “සිහින නෙළුම් මල් ” යම් හැරවුම් ලක්ෂ්‍යයක් වේ යැයි ඔබ සිතනවද…..?

ශ්‍රී ලාංකේය වාණිජ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවිද කියන්න නම් මම දන්නේ නැහැ. එය තීරණය කරන්නේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. දැනට මේ චිත්‍රපටය නැරඹූ අයගේ අදහස් යම් සාධනීය මට්ටමක තියෙනවා. චිත්‍රපටය තිරගතවීම් අවසන් වෙද්දි මෙහි ප්‍රතිඵල අපි බලමු. මෙය නැරඹූ නැති අයට නරඹන්න කියාත් නැරඹූ අයට අවංක අදහස ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඔබ සිනමාකරණයට අත්පොත් තැබූ ආකාරය සිහිපත් කළොත් …..?

මම සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසයි සිනමාකරණයට පිවිසෙන්නේ. දෙවන සහය අධ්‍යක්ෂ, පළමු සහය අධ්‍යක්ෂ, සහය අධ්‍යක්ෂ ලෙස ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් ගණනාවක් යටතේ වැඩකර තිබෙනවා. චිත්‍රපට 10ක පමණ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස දායකවුණා. ඒ ලද අත්දැකීම් තමයි මාව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත්කරන්නේ. චිත්‍රපටයක ආරම්භයේ සිට අවසානය තෙක් විවිධ අංශවල ප්‍රායෝගික අත්දැකීම් ගණනාවක් මට තිබෙනවා. දැනුම තිබෙනවා. ඒ අත්දැකීම් සමඟයි මම අද වැඩකරන්නේ. මම බොහෝ දේ තියරි ඉගෙනගත් කෙනෙක් නෙවෙයි. ප්‍රැක්ටිකලි ඉගෙනගත්ත කෙනෙක්. ඒ සියලු අත්දැකීම් මට මේ සිනමා ක්ෂේත්‍රයේ වැඩකරන්න විශාල ශක්තියක් වුණා

ඔබේ පළමු සිනමාපටය වූ “මෝටර් බයිසිකල්” නිර්මාණයට යොමුවූ ආකාරය පැහැදිලි කළොත් ….?

මම සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩකරද්දි චිත්‍රපටයක් නිර්මාණය කරන්න ලොකු ආසාවක් තිබුණා. මම මොනවගේ දෙයක්ද කරන්නේ කියා කල්පනා කරමින් සිටියේ. අධ්‍යක්ෂවරුන් පසුපස ඉඳගෙන ඔවුන් වැඩකරන විදිහ මම බලාගෙන හිටියා. චිත්‍රපටයක් කරන්න කලින් තිර නාටකයක් ලියන්න ඕනෙනේ..සමහරු ලොකු දේවල් කියන්න හදනවා සිනමාපටයකින්. මම සිතුවා පුංචි දෙයක් අරගෙන එය වස්තුබීජය කරගෙන තිර නාටකයක් ලියන්න ඕනේ කියලා. ඒ කාලයේ මට මෝටර් බයිසිකලයක් ගන්න ලොකු ආසාවක් තිබුණා. ඒත් මට මෝටර් බයිසිකලයක් අරන් දෙන්න ආර්ථික හැකියාවක් අම්මාට තිබුණේ නැහැ. මම අම්මාගේ මාලයක් උකස් කරලයි මෝටර් බයිසිකලයක් ගත්තේ. මම හිතුවා මේ නිමිත්ත ලංකාවේ තරුණයන් බොහෝමයකගේ අත්දැකීමක් වෙයි කියලා. ඒ හරහායි මම “මෝටර් බයිසිකල් ” නිර්මාණය කළේ. මම සාර්ථක තිර රචනයකින් සාර්ථක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒ චිත්‍රපටයට ප්‍රේක්ෂක ආදරය වගේම දේශීය සහ අන්තර්ජාතික ඇගයීම් රැසක්ම ලැබුණා.

නව තාක්ෂණයත් සමඟ යාවත්කාලීන වන මෙරට වත්මන් සිනමාව ගැන ඔබේ මතය දැනගන්න කැමැතියි ….?

සිනමාව නමැති විෂයය, සිනමා කර්මාන්තය සෑමවිටම මොහොතින් මොහොත වෙනස්වෙනවා. නවීන තාක්ෂණය, අත්හදාබැලීම් වැනි දෑ එකතුවෙමින් සිනමාව වෙනස්වෙමින් ඉදිරියට ගමන් කරනවා. අපි නිතරම බලන්න ඕනේ ප්‍රේක්ෂකයාට හොඳ සිනමා රසවින්දනයක් දෙන්නේ කොහොමද මේ තාක්ෂණය භාවිත කරමින් කියලා. ඒවගේම අපි නිතරම සිතන්න ඕනේ යම් නිර්මාණයක් කරද්දි එහි ප්‍රමිතිය ගැනත්. අන්තර්ජාතික ප්‍රමිතියට කොහොමද කරන්නේ කියා සිතන්න ඕනේ.. මුදල් ගෙවා චිත්‍රපටයක් නරඹන ප්‍රේක්ෂකයාට අපි උපරිම සාධාරණත්වයක් ඉටුකරන්න ඕනේ. මම ඒ වෙනුවෙන් බොහෝ මහන්සි වෙනවා. උපරිමයෙන් තාක්ෂණය භාවිත කර අන්තර්ජාතික මට්ටමට යන තත්ත්වයටයි මමනම් චිත්‍රපටයක් කරන්න උත්සාහ කරන්නේ

ටෙලිනාට්‍ය කලාවට එන්න අදහසක් නැද්ද ….?

ටෙලිනාට්‍යයක් කරන්නත් අදහසක් තියෙනවා. මම ගොඩක් අයගේ ටෙලිනාට්‍ය දිහා බලාගෙන ඉන්නවා. මම ආසයි වෙනස්ම මාදිලියේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කර ප්‍රේක්ෂකාගාරයට මුදාහරින්න. මට ඒ සඳහා ඇරයුම් කිහිපයකුත් ලැබුණා. ඉදිරියේදී අනිවාර්යයෙන් මගේ අතින් ටෙලිනාට්‍යයක් නිර්මාණය වේවි. ටෙලි චිත්‍රපට නම් රැසක්ම මේවෙද්දි මම අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒවාට හොඳ ප්‍රතිචාරත් ලැබී තිබෙනවා.

තිර පිටපත් රචකයකු ලෙස ඔබේ භූමිකාව පැහැදිලි කළොත් …..?

සිනමා නිර්මාණයක ඉතා වැදගත්ම සාධකය තිර නාටකයයි..හොඳ තිර රචනයකින් හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න පුළුවන්. මම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල තිර නාටකය රචනා කරන්නේ මමමයි…ඒදේට මම බොහෝම මහන්සි වෙනවා. එහි බැරෑරුම්කම් සිතට අරගෙන කරනවා. හොඳ තිර නාටකයක් ලියාගත්තම චිත්‍රපටයක වැඩවලින් සියයට හැත්තෑපහක් විතර අවසන් කියා මම සිතනවා. සමහරු තිර රචනයෙන් ලොකු දෙයක් ගේන්න හදනවා. පුංචි දෙයක් අරගෙන ඒ හරහා කතාවක් ලියන්නයි මම උත්සාහ කරන්නේ. මම සිතනවා මම ලියූ තිර රචනා දෙකම සාර්ථකයි කියලා. තිර නාටක කිහිපයක් මම රචනා කර තිබෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ හදවතට දැනෙන, මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ඔවුන්ගේ ජීවිතය නිර්මාණාත්මකව ඔසවා තැබිය හැකි තිර රචනා කිරීමටයි. ඒ බලාපොරොත්තුවෙන් මම දිගටම තිර නාටක රචකයකු ලෙස කැමැත්තෙන්ම කටයුතු කරනවා

ලාංකේය සිනමාවේ අනාගතය ගැන ඔබේ දෘෂ්ටිය මොනවගේද ….?

මම සිතනවා ලාංකේය සිනමාවේ අනාගතය සුබවාදී වේවි කියලා. සිනමාවට ආදරය කරන, උනන්දුවක් තිබෙන බොහෝ තරුණ පිරිස් ක්ෂේත්‍රයට එන්න බලාගෙන නිර්මාණකරණයේ යෙදෙනවා. අපි නවකයන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඔවුන්ට මේ ක්ෂේත්‍රයට එන්න වටපිටාව අපි නිර්මාණය කළ යුතුයි. අලුත් අය ආවොත් තමයි සිනමාවත් අලුත්වෙන්නේ. තරුණ පරපුර බොහෝ වෙනස් විදිහට සිතනවා. වෙනස් විදිහට වැඩකරනවා. ඔවුන්ගේ දායකත්වය සිනමාවට අවශ්‍යයි. එහෙම පිරිසට අවස්ථා ලැබුණොත් හොඳ විශිෂ්ට නිර්මාණ බිහිවේවි. දේශපාලනික වෙනස්කම් සමඟත් එම වටපිටාව අපට හදන්න පුළුවන් වේවි කියා සිතනවා. හොඳ රටක් වගේම හොඳ සිනමාවක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයාට අපි උරුමකර දෙමු..

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?

මම රචනා කළ තිර නාටක 02ක් තිබෙනවා. මේ වසර අවසානයේ හෝ ලබන වසර මුල වෙද්දි මගේ ඊළඟ සිනමා නිර්මාණය සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. “වයිෆ්” නමැති චිත්‍රපටය තමයි ඊළඟට සිනමා නිර්මාණයක් ලෙස ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එය ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් වේවි. මෙහි තිර නාටකය කියවූ බොහෝදෙනෙක් සතුටු වුණා. ඉතා දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් යොදාගෙන හොඳ චිත්‍රපටයක් කරන්නයි මම උත්සහ කරන්නේ.

මෙතෙක් ආ ගමන්මගේ අභියෝගවලටත් මුහුණදෙන්න ඇති…..?

මා මෙතෙක් ආ ගමනේදී බොහෝ අභියෝගවලට මුහුණදුන්නා. ඒවායින් මම ජයග්‍රහණය කළා. මේ ගමනට මට ශක්තියක් වුණු බොහෝ අය ඉන්නවා. මාත් එක්ක වැඩකරන රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, මාව දිරිමත් කළ අය, නිෂ්පාදකවරුන්, ආදරණීය ප්‍රේක්ෂකයන් ආදී සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ව මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. ඉදිරියේදීත් මගේ නිර්මාණ එක්ක එකතු වෙන්නැයි ඔබ සියල්ලන්ටම මා ආරාධනා කරනවා..

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT