Home » සියක් ආයු ලැබ දිගු කල් දිනේවා !

සියක් ආයු ලැබ දිගු කල් දිනේවා !

by Thanushika
April 24, 2025 12:27 pm 0 comment

මේ එළඹෙනුයේ මෙරට නිළි රැජින මාලිනි ෆොන්සේකා ගේ 78 වැනි ජන්ම දිනයයි. පුරා වසර 78ක් ගතවුවද, ඇය සිනමාවට පිවිස දශක හයකට ආසන්න කාලයක් ගත වුවද, පුදුමය වන්නේ ඇය තවමත් මෙරට සිනමාවේ නිළි රැජින වීමය. හොලිවුඩය, බොලිවුඩය, කොලිවුඩය ගත්තද රැජිනක ගේ ආයුෂ රඳා පවතිනුයේ එක්තරා සිමිත කාල වකවානුවකටය. එහෙත් මාලිනී මේ කාලවකවානු බිඳ දමමින් අදටත් සිය කිරුළ තම හිසේම පැළඳ සිටිම ආශ්චර්යයකි. එවැනි සුවිශේෂී රංග පෞරුෂයන් රටක බිහිවනුයේ කලාතුරකිනි. මාලිනී එසේ කලාතුරකින් බිහිවූ රංග පෞරුෂයක් ලෙසට අප හඳුන්වන්නේ එහෙයිනි.

සිනමාව යනු ප්‍රේක්ෂකයා චමත්කාරජනක ලෝකයකට රැගෙන යන්නාවූ ආශ්චර්යමත් මාධ්‍යයකි. මෙකී මාධ්‍යය අප ජීවත්වන සාමාන්‍ය ලෝකය විටෙක අතික්‍රමණය කරන්නේය. සාමාන්‍ය ලෝකයෙන් ඔබ්බට ප්‍රේක්ෂකයාව ගෙනයන මෙකී මාධ්‍යය එකිනෙකට වෙනස් වූ අත්දැකීම් අප වෙත ළඟාකරනුයේ කලාත්මක, වාණිජ චිත්‍රපට හෝ සම්භාව්‍ය වශයෙන් විවිධ වර්ගයේ චිත්‍රපට නිපදවමිනි. මෙරට සිනමාවේ ආරම්භයේ සිටම මෙසේ විවිධාකාර වූ සිනමා පට නිර්මාණය කරමින් ලාංකේය ප්‍රේක්ෂකාගාරය වෙත විවිධ වූ සංවේදනයන් ළඟාකරවූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඉතිහාසය පිරික්සීමේදි මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය උන්මන්තකව ඉතිරි පැතිරී ගිය යුගය ලෙස බොහෝ දෙනා හඳුන්වනුයේ 70 දශකය සහ ඊට සමානුපාත කාලපරිච්ඡේදයය. එසේ වන්නට හේතු කාරණා වූයේ මේ යුගයේ නිෂ්පාදනය වූ ජනාකර්ෂණීය චිත්‍රපට සමුදාය නිසාය. එම චිත්‍රපට එතරම් ශීඝ්‍රයෙන් ජනතා ආකර්ෂණය දිනා ගන්නට මූලික වශයෙන්ම බලපෑ සිද්ධාන්තය වූයේ මෙකී චිත්‍රපට හරහා සිනමා ක්ෂේත්‍රයට පිවිසි නළු නිළි කැල නිසාවෙනි. චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය බැල්කනියේ සිට ගැලරිය දක්වා පිරි ඉතිරි යන්නට මෙකී නව නළු රසයෙන් උමතු වූවන්ගේ අසීමිත වින්දනය හේතු වූ බව ට සැකයක් නොමැත. නළු නිළි ආකර්ෂණය නිසාම චිත්‍රපට බලන්නට පැමිණීම යන්න මූලික වශයෙන් අපේ රටේ ආරම්භ වන්නේ රැක්මණී දේවියගෙනි. ඇය සතු වු ආකර්ෂණීය පෙනුම මෙන්ම සුගායනිය ගායන ලතාව හේතුවෙන් ඇයට ආකර්ෂණය වූ බොහෝ පිරිස් ඈ රඟපෑ චිත්‍රපට නැරැඹීමට වැල නොකැඩී පැමිණියේය. ලාංකේය සිනමා අධිරාජ්‍යයේ ප්‍රථම අධිරාජිනිය වශයෙන් ඇය විරුදාවලි ලබන්නේ මෙරට ජන හද සන්තානයේ සදානුස්මරණීය මතක ගොන්නට ඇය සාක්ෂි වූ නිසාවෙනි.

ඇගෙන් පසු ලංකේය සිනමා අධිරාජ්‍යය බාර ගනුයේ රංගනයේ සෙනෙහෙලතාව ලෙසින් අපේ ගෞරවය ලබන මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකාය.

ඇය සිතා මතා මේ තැනට පත් වූවා නොව උත්පත්තියෙන් රැගෙන ආ හැකියාවන්, දක්ෂතාවයන් සේම පූර්ව ජන්මයක ලද පින් මහිමයෙන් ලද සිනමාවට උචිත වූ ආදරණීය රූපකායක උරුමය ඇයට පිහිටා තිබුණ නිසාය.

මාලිනි සිනමාවට ප්‍රවිෂ්ට වන අවධිය වනවිට එතෙක් මෙරට පැවති චිත්‍රාගාර මූලික කොට ගෙන චිත්‍රපට නිපදවීමේ සිනමා සංස්කාතික අර්බුදය යම් තරමකින් බිඳ වැටිමට ලක් වෙමින් පැවති යුගයක් විය. එතෙක් ස්ථාපිතව තිබූ චිත්‍රපට සමාගම් අතින් නිෂ්පාදනය වූ චිත්‍රපට නිෂ්පාදනය ස්වාධීන ඒකල නිෂ්පාදකයින් අතට මේ යුගය වනවිට මාරු වෙමින් පැවතිණ.

මාලිනි නම් මේ අපුරු මුහුණ මේ යුගයේ එක්වරම මතු වනුයේ වේදිකාවෙනි. 1965 වර්ෂයේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වනුයේ මාලිනි ෆොන්සේකාය. ඒ ධර්මදාස ජයවිර ගේ ‘අකල් වැස්ස’ නාට්‍යයේ රඟපාමිනි. එදා ප්‍රේක්ෂකාගාරය මෙන්ම මාලිනි ද තම දිවි ගමන මෙතරම් දුරක් රැගෙන එන්නට සමත් වේ යැයි සිතන්නට නැත. එහෙත් දෛවයට සරදම් කරනු හැක්කේ කාටද?

ඇයට දෛවය උරුම කර තිබූ ‘හෙල සිනමාවේ නිළි රැජින’ යන්න කිසිවෙකුටවත් වලක්වාලිය නොහැකි විය. වේදිකාවේ පිපුණු මේ රෝස මල වේදිකාව මතදි නොව සිනමාවේදි සුවඳ විහිදුවමින් පිපී විකසිත වන්නට වුයේ ඇය මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරයේ රැඳි තරුණයින්ගේ සදා ආදරවන්තිය වෙමිනි. ප්‍රේක්ෂකාගාරයේ සිටි පුරුෂ පාර්ශ්වය සදාකාලික ප්‍රාර්ථනා කළ ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තිය වූයේද ඇයය.

මාලිනි සිනමාවට ප්‍රවිෂ්ට වනුයේ තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කළ ‘පුංචි බබා’ චිත්‍රපටයෙනි. ඒ වනවිට ඇය වයස අවුරුදු 18ක නව යෞවනියකි. මනුශය ජීවිතයේ ඇති ගැඹුරු මානව සම්බන්ධතාවයන් උත්ප්‍රාසයෙන් ඉදිරිපත් කරනු ලබන මෙම චිත්‍රපටයේ මාලිනිය සිය රංග ප්‍රතිභාව විදහා දක්වනුයේ වයස අවුරුදු 18ක කෝල තරුණියකගේ ඉංගිතයන්ගෙන් සහමුලින්ම මිදිය. ප්‍රථම සිනමා රංගනයේදිම මෙතරම් ප්‍රතිභාවක් ඉදිරිපත් කරන්නට තරම් ඇය සතුවු දක්ෂතාවය කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. එම යුගය වනවිට රංගනය යන්න හැදැරිමට කිසිදු අධ්‍යාපන ආයතනයක් හෝ පුද්ගලයකු පිළිබඳ නොදැන සිටි යුගයක මාලිනි මේවා ඉගෙන ගන්නට ඇත්තේ කෙසේද?

යන්න විටෙක උභතෝකෝටිකයකි. රංගනයේ පියවරුන් වශයෙන් ඓතිහාසිකව සලකන ඇරිස්ටෝටල්, ස්ටැනිස්ලව්ස්කි වැන්නන්ටද මේවා කියා දුන් ‘ජීවිතය’ යන්න මාලිනියටද මේවා කියා දෙන්නට ඇතැයි මට සිතේ.

මාලිනි ‘පුංචි බබා’ චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව එය තිරගත විමටද පෙර තවත් චිත්‍රපට 5ක් සඳහා තෝරා ගත්තේ ඇය සිනමා රංගනයේදී පළකළ මෙකී සුවිශේෂි අනන්‍යතා ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් විය හැකිය. ඇය කිසිදු නිළියකගේ රංග ශෛලිය අනුගමනය කළේ නැත. අනුකරණය කළේද නැත. ඇගේ රඟ සොබා සිහිපත් වත්දි ‘ රඟ නොපා සිටීම රංගනයයයි’ යන සුප්‍රකට කියමන මතක් වෙයි. මාලිනියගේ සිනමා දිවියේ සුවිශේෂීම සන්ධිස්ථානය වූ ‘නිධානය’ හි ප්‍රධාන චරිතය ලැබෙනුයේ ඉන් අනතුරුවය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය ‘නිධානයට’ තෝරා ගන්නේ මෙරට සිනමාවේ තවත් නිධානයකි. නිධානයේ ‘අයිරින්’ යනු රංගන ශිල්පිනියකට හිමිවන එසේ මෙසේ චරිතයක් නොවන්නේය. නිධානයක් වෙනුවෙන් බිලිදෙන කුලවමියක් ලෙසින් අතිශය සංකිර්ණ මනෝභාවයන් තුළ ඇලි ගැලි චකිතයෙන් තොර භාව ප්‍රකාශනයක් හරහා තම සිතුවිලි නිරූපණය කළ යුතු මෙම චරිතය මාලිනියට නම් අභියෝගයක් නොවූ බව ඇගේ රංගනයෙන්ම ප්‍රකට වන කාරණාවකි. එසේම එහි අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා වරක් ඇගේ මේ රංගන ශෛලියේ අපූර්වත්වය පිළිබඳ මෙසේ සටහන් කොට තිබිණ.

‘’ ……It may be pointed by some that most of her films are commercial and therefore unworthy of serious attention, but these are the very films that the masses remember her by some of us tend to forget that switching over from the acting style demanded by the commercial formula film to the more serious films depend on a change of technique of sensibility, which by it’s very nature is a creative process and it is in making this transition that Malini has triumphantly succeeded’’

(Tribute to Malini, The living legend)

කලාත්මක ධාරාවේ රංගන ප්‍රතිභාවක සිට වාණිජ සිනමාවේ නැටුම්, ගැයුම් සහ ජනප්‍රිය ධාරාවේ රංගනයක් දක්වා එකිනෙකට මිශ්‍ර කර නොගන්නා ලාලිත්‍යමය රංගනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳ ඔහු මෙහිදී විස්මයට පත්වේ. එදා මාලිනි නිධානය දර්ශන තලයට පැමිණෙනුයේ, ඊට සමගාමීව රුප දර්ශන වූ අතිශය ජනප්‍රිය තලයේ සිනමා පටයක් වූ ‘එදත් සූරයා අදත් සූරයා’ වැනි කි‍්‍රයාදාම හා විනෝදාස්වාදනය සම්පාදනය කරන්නාවූ චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුරය. එහෙත් කිසිදු මොහොතක මෙකී ධාරාවන් ද්විත්වය මිශ්‍ර කර නොගෙන රංගනයේ යෙදෙන්නට ඇයට ඇති හැකියාව විස්මිත බව ඔහු මෙහිදි ප්‍රකාශ කර තිබිණ.

මාලිනි ගේ සිනමා රංගනය සීමා මායිම් වලින් විනිර්මුක්ත වූවක් විය. කලාත්මක වේවා, වාණිජ වේවා, මැද මාවතේ වේවා, හින්දි අනුකරණයක් වේවා මේ සියල්ල වෙනුවෙන් මාලිනිය ගේ කැප කිරීම එක හා සමාන විය. මවකට තම දරු කැලතකින් එක් දරුවෙකු හොඳයි කියා කිව නොහැකිවාක් මෙන් මාලිනියටද සිය සිනමා නිර්මාණ එක හා සමානය. ඒ සියල්ල වෙනුවෙන් ඇය කරන්නාවූ රංග කාර්යයේ පරිමාණය එක හා සමානය. ඇගේ සිනමා රංගනයට දස වසරක් වැනි කාලයක් පිරෙද්දී ඇය අන්තර්ජාතික අවධානයට පාත්‍ර වන්නේ ද ඒ නිසාය. ඒ ආචාර්ය ධර්මසේන පතිරාජයන් අධ්‍යක්ෂනය කළ ‘එයා දැන් ලොකු ළමයෙක්’ (1977) චිත්‍රපටයේ ‘සුසිලාවති ගේ චර්තය නිරූපණය කිරිම වෙනුවෙනි. මොස්කව් සිනමා උළෙලේදී ආසියානු කලාපයේ හොඳම රංගනය වෙනුවෙන් එහිදී මාලිනියට ඩිප්ලෝමාවක්ද පිරිනැමිණ. එසේම අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කරන ලද ‘සිරිපාල සහ රන්මැණිකා’ (1977) චිත්‍රපටයේ මාලිනි රඟපෑ ‘රන්මැණිකා’ ගේ භූමිකාවද මේ මොහොතේ අපට ඉවත දැමිය නොහැකිය. සැබෑ චරිතයක් ඇසුරින් අනුවේදනීය කතා පුවතක ප්‍රධාන චරිතය ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් 6 වැනි අන්තර්ජාතික දිල්ලි සිනමා උළෙලේ අභිනිර්ණ කමිටුව විසින් එම භූමිකාව නිරූපණය කිරීම වෙනුවෙන් ඇයට කුසලතා සහතිකයක්ද පිරිනැමිණ.

මාලිනීගේ ආකර්ෂණීය මුහුණ සහ නාරි ලාලිත්‍යයෙන් අනූන සිරුර තමන්ගේ කර ගත්තවුන් ගතවුණු දශක ගණනාව පුරා කොතෙක් නම් වේද? ලාංකේය යෞවනියන් ගේ සැබෑ ස්වරූපය මාලිනි ෆොන්සේකා වගේ විය යුතු යැයි සිතූ, කියූ, ඇදහූ පිරිස් කොතෙක් වේද? තිරයේ දකින මාලිනිය ගේ රුව ට හදවතින් පෙම් කෙරූවන්, සිහිනලොවේදී ඇය දෝතින් බදා ගත්තවුන්, ඇය සිප ගත්තවුන් කොතෙක්දැයි සෙවිම උගහට කරුණකි.

මෙයට හේතු වන්නාවූ එක් කරුණක් වනුයේ ආසියාතික කලාපයේ කාන්තා ලාලිත්‍යයේ සුවිශේෂී අංගයන් මාලිනියගේ රූප ස්වභාවයෙන් ප්‍රකට විමය. වටකුරු මුහුණ මත පිපෙන පිරිපුන් සිනහව, කතා කරන ඇස්, පළල් නලල් තලය, අක්බඹරු මොනරපිල් දිගු කේශ කලාපය නිකටෙහි ඇති උපන් ලපය මේ සියල්ල ආසියාතික පුරුෂ පක්ෂයේ සියුම් තැන් ස්පර්ශ කරමින් භාව කම්පනයක් ඇති කිරීමය.

මේ රූප ස්වභාවයත් සමඟ ඈ චරිතයකට අවතීර්ණ වනුයේ නිර්ව්‍යාජවය. ඇයට එම චරිතය තුළ රඟන්නට දෙයක් නැත.

ඇය රංගනය පසෙකදා එම චරිත ඇතුළත ජිවත් වේ. එය සිදුවන්නේ ඇයටද හොරාය. මට මතක් වනුයේ ධර්මසේන පතිරාජ ගේ ‘ඹබරු ඇවිත්’ ය. ඇගේ සජිවී හැසිරීම ප්‍රේක්ෂක සියල්ලන්ගේම හද තුළ ඇති කරනුයේ සංවේදනයකි. 1978 වර්ෂයේදී තිර ගත වූ බඹරු ඇවිත් හි හෙලන් තවමත් අපට අමතක නැත. කර්කශ වැල්ලක උපන් කුසුමක් වැල්ලේම තැලි පොඩිවී ගියද එකි කටුක යථාර්ථය රළ බිදෙන වෙරළ සේම දරා ගනිමින් ඇය උද්දිපනය කළ රංග ප්‍රතිභාව එසේ මෙසේ එකක් නොවේ. එසේම 1981 දී තිර ගතවූ ධර්මසේන පතිරාජ ගේ ‘සොල්දාදු උන්නැහේ’ ද ඇගේ රංගන ගමන් මඟ තුළ සුවිශේෂ අනන්‍යතා ප්‍රකට කරයි. ‘පේමක්කා’ මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී චරිතයකි.

කලාත්මක සම්භාව්‍ය සිනමාවේ මෙන්ම මාලිනීගේ ළගන්නා සිනහවෙන් හා ආදරය පිරුණු වානිජ සිනමා ධාරාව ඇගේ සිනමා ජීවිතය පුරා අපට අමතක කළ නොහැකිය. හතරදෙනාම සුරයෝ (1971) එදත් සුරයා අදත් සුරයා (1972) ආදරේ හිතෙනවා දැක්කම (1972) තුෂාරා (1973) ආවා සොයා ආදරේ (1975) හිතුවොත් හිතුවාමයි (1977) පෙම්බර මධු (1977) අපේක්ෂා (1978) වසන්තයේ දවසක් (1979) සුහද පැතුම (1973) සංගීතා (1975) නැවත හමුවෙමු (1982) ඇතුළු සිනමා නිර්මාණ රැසක් උදාහරණ වශයෙන් මතක් වනු ඇත. ඒ සියල්ලම මෙහි සටහන් කරන්නට ඉඩක් නැත.

මාලිනිය රැජිනක් වන්නේ සිනමාවේ පමණක් නොවේ. ඇය ඇගේ පවුලේ සියලු සාමාජිකයන්ට රැජිනකි. මවුපියන් සුජිවත්ව සිටිනතාක්කල් ඔවුන් ආදරෙන් බලා කියා ගන්නා ලද්දේ මේ ආදරණිය දියණියයි. තම සහෝදර සහෝදරියන්ට මවක් මෙන්ම දායාර්ද්‍රව ආදරය කළේ ඇයයි. අසල්වැසියන්ට, යහලු හිත මිත්‍රයන්ට ඇය අවංක හිත මිතුරියකි.

මේ සියල්ලට එහා ගොසින් ඇගේ කිරුළ බිම තබා ගැහැනියක ලෙසින් ඇගේ ජිවිතය දෙස එබි බැලුවහොත් රැජිනට එහා ගොස් ඇයට ආදරය කරන්නට හැකි කරුණු කාරණා ඒ තුළ කොතෙකුත් වෙයි. ළමා වියේ සිට දුෂ්කර ගමනක නිමාවක් නොදකිමින් උත්සාහයෙන්, කැපවීමෙන් පැමිණි ගමනක වෙහෙස සිය ආදරණිය සිනහවන්ගෙන් පමණක් වසා ගනිමින්, ප්‍රේමය, ආදරය , විවාහය වැනි කාරණාවන්ගේ විවිධ සුඛ දුක්ඛයන් ගේ කඳුළැලි මත සිනහවම වපුරමින්, ස්ත්‍රී ලාලිත්‍යයේ ප්‍රතිමුර්තිය අප ඉදිරියේ මවා පෑ ඒ ආදරණීය ගැහැනියට නිදුක් නීරෝගී චිර ජීවනය සමඟින් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි.

චිරං ජයතු නිළි රැජිනියනි !

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT