Home » සිනමා සාහිත්‍යය ගැන අපේ රටේ අවධානය අඩුයි

සිනමා සාහිත්‍යය ගැන අපේ රටේ අවධානය අඩුයි

-ලේඛක ජීවන්ත දයානන්ද

by Thanushika
October 31, 2024 12:30 am 0 comment

ප්‍රකට සිනමා ලේඛකයකු වන ජිවන්ත දයානන්ද විසින් විරචිත කෘතී ද්විත්වයක් පසුගියදා ලාංකේය සිනමා සාහිත්‍යයට එකතු වූවා. ඒ ප්‍රවිණ සිනමාවේදියකු වන වසන්ත ඔබේසේකර පිළිබඳ ලියවුණු ‘වසන්තගේ සිනමාව – මානව සහ සමාජ කතිතාවක්’ ග්‍රන්ථය සහ ප්‍රවිණ රූපණවේදි සනත් ගුණතිලක පිළිබඳ ලියවුණු ‘ සනත් – චරිත හතක් කෘති ද්විත්වයයි. මෙම ග්‍රන්ථ ද්විත්වය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති චාම් උළෙලකදි දොරට වැඩි අතර එහිදී වසන්තගේ සිනමාව පිළිබඳ නව දැක්මකින්, නව පරපුරේ සිනමා හා කලා විචාරකයකු වන චින්තන ධර්මදාස විසින් දේශනයක් පවත්වන ලදී. සනත් ගේ සිනමා රූපණවේදය පිළිබඳ කරන ලද කතිකාව සිදුකරන ලද්දේ ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා විසිනි.

මෙරට සිනමා සාහිත්‍යයට එක්වුණු නවතම සිනමා ග්‍රන්ථ ද්විත්වය වන මෙම ග්‍රන්ථ ද්විත්වය පිළිබඳ කතා බහකට පසුගියදා අපි කැඳවා ගත්තේ මෙම ග්‍රන්ථ ද්විත්වයේ ලේඛක ජිවන්ත දයානන්දය. මේ වසන්ත ගේ සහ සනත් ගේ සිනමාව පිළිබඳ ජිවන්ත ගේ කියවිම පිළිබඳ කළ අදහස් විමසුමකි.

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් සහ ප්‍රවීණ රූපණවේදි සනත් ගුණතිලක පිළිබඳ මෙවැනි ග්‍රන්ථ ද්විත්වයක් රචනා කළ යුතුයි කියලා ඔබට සිතුණේ ඇයි?

ඇත්තටම කිව්වොත් මම සිනමාව පිළිබඳ විචාරන සිනමා විචාරකයකු නොවෙයි. මම සිනමා ලේඛකයෙකු විදියට තමයි මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. සිනමාවේ යම් යම් සාහිත්‍ය කොටස් මට හැකි මට්ටමින් පරිපුර්ණ කිරිමේ උවමනාව මට තිබුණා. ඒ උවමනාව ඇතුළේ මම සිනමාකරුවන් කිහිප දෙනෙක් පිළිබඳ අධ්‍යයනයක නිරත වුණා. ඒ අනුව ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා, ධර්මසිරි බණ්ඩාරනායක වගේ ලෙස්ටර් පීරිස් ගෙන් පස්සේ යහපත් සිනමාවක් වෙනුවෙන් බලාපොරොත්තු තබාගෙන සාර්ථක ගමනක් ගිය සිනමාවේදින් ගැන කවදහරි දවසක පොත් කිරිමේ උවමනාව මට තිබුණා. උවමනාවේ එක තැනක තමයි වසන්ත ඔබේසේකර ඉන්නේ. වසන්ත කියන්නේ අර හොඳ සිනමාවේ ගමනක් ගිය තවත් එක්කෙනෙක්.

මේ ග්‍රන්ථය රචනා කරන්න ඔබ වසන්ත ගේ සිනමාව අධ්‍යයනය කරන්න ඇති. ඔහු ගැන කියවන්න ඇති. ඔහුගේ සිනමා නිර්මාණ නරඹන්න ඇති. මේ පර්යේෂණයේදි වසන්ත ඔබ තබන්නේ කොතැනකද? වසන්තව ඔබ දකින්නේ කොහොමද?

වසන්තගෙන් මම දකින්නේ සෙසු සියලු සිනමාකරුවන්ගෙන් වෙනස් කෙනෙක් විදියට. ඒ තමයි බොහෝ සිනමාකරුවන් තමන්ගේ පෞද්ගලික ජිවිතය සහ සිනමා ජිවිතය වෙන් කරගෙන ගිය ගමනක් තිබීම. නමුත් වසන්ත ඒකෙන් අයින් වෙලා ගිහිල්ලා මුළු මනින්නම සිනමාවේදියෙක් වුණු වෙලාවට තමන්ගෙම සිනමාලෝකයක ජිවත් වෙන කෙනෙක් බවට පත්වෙනවා. තමන්ගේ නිර්මාණය එක්ක. අපි උදාහරණයකට ගත්තොත් , මෙ සිනමා නිර්මාණය කරන කාලය ඇතුළත ඔහුගේ කකුලේ කටුවක් ඇනුණා කියලා ඔහු කටුව අයින් කරන්න කාලය ගන්නේ නෑ. කටුව ඇනි ඇනිම ඔහු තමන්ගේ නිර්මාණවල වැඩ කරනවා. ඔහුට පෞද්ගලික ජිවිතයක් නෑ. ඔහුට සිනමාව පිළිබද උග්‍ර මානසිකත්වයක් පිහිටලා තිබුණු විශේෂ සිනමාවේදියෙකු. අපි අනිත් සිනමාවේදින් සමඟ සසඳන විට ඔහුගේ දකින්න ලැබෙන සුවිශේෂි ලක්ෂණයක් තමයි සත්‍ය සිද්ධින් ඇසුරු කරගෙන සිනමා නිර්ණයේ යෙදිම. ඔහුගේ ‘පළගැටියෝ’ චිත්‍රපටයේ සිට ‘ආගන්තුකයා’ දක්වා ඒ සත්‍ය සිද්ධි ගවේෂණය කරලා ඒ කතා පුවත් අපට ඉදිරිපත් කරන්නේ නැතිව එයින් සමාජයට මඟ කියන මානව සහ සමාජ දැක්මක් සහිත ව නිර්මාණකරණයේ යෙදීම. එතකොට වෙන්නේ අර අපි ඉස්සර නිර්මාණය කරපු ‘ යකඩයා’, ‘මරුවා සමඟ වාසේ’ වැනි චිත්‍රපට වලින් වෙනස් කතාවක් සහ එය සර්වකාලීන අගයක් ඇති නිර්මාණයක් බවට පත්විමයි.

ඔබ මිට කලින් අධ්‍යයන කළ සිනමාකරුවන් සියලු දෙනාට වාඩා වසන්ත වෙනස් කියලද ඔබ කියන්නේ?

මෙහෙමයි. හැම අයගෙන්ම වසන්ත වෙනස් වෙනවා කියලා කියන්න බැහැ. ඒ ඒ සිනමාකරුවන්ට ආවේණික වෙන වෙන දැක්මවල් තිබුණා. වසන්ත ඔබේසේකර සරසවි අධ්‍යාපනයක් ලැබුවට, පොත පත කියෙව්වට, මම හිතන විදියට ඔහු සාහිත්‍ය කෙරෙහි ඔහු ලොකු උනන්දුවක් දක්වන කෙනෙක් නොවෙයි. ඔහු පොත් පත් ලෝලියෙක් නොවෙයි. ඔහු කියන්නේ ප්‍රබන්ධ සාහිත්‍යය චිත්‍රපට නිර්මාණය කිරිම කෙරෙහි ඔහු වැඩි විශ්වාසයක් තියන්නේ නෑ කියලයි. ඒකෙන් පේන්නේ ඔහු සාහිත්‍යයට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ කියලයි. වෙන නිර්මාණකරුවන් ගත්තම, තිස්ස අබේසේකර වැනි කෙනෙක් ගත්තොත් ඉතාම ඉහළ ගණයේ සාහිත්‍යමය සිනමාවේදියෙක් හැටියට අපට ගත හැකියි.

ඔබ විසින් රචනා කරන ලද සනත් – චරිත හතක් කෘතියේ විශේෂත්වය කුමක්ද?

2020 වසරේ කෙරෝනා සමයේ රට වසා දමා තිබෙන විට සනත් මහත්මයාත් හුදකලාව ගෙදර හිටියේ. මමත් ගෙදර හිටියෙ. මේ කාලයේ අපි දෙන්නා දුරකතනයෙන් බොහෝ දේවල් පිළිබඳ කතා කළා. අපි හැමෝම නිවෙස් ඇතුළට කොටු වෙලා බොහොම නිදහස් ජිවිතයක් ගත කළා. මේ කාලයේ තමයි මට හිතුණේ සනත් මහත්මයා ගැන පොතක් කරන්න ඕන කියලා. ඔහුගේ ජිවිතයේ ඔහු රඟපා ඇති හොඳම චිත්‍රපට ප්‍රමාණය පිළිබඳ අධ්‍යයනය කරලා ඒ ඇසුරින් යමක් ලියන්න ඕන කියලා මට හිතුණා. ඔහුගේ චිත්‍රපට 170 ක් වැනි ප්‍රමාණයක් අතරින් මම චිත්‍රපට 20ක් තෝරා ගත්තා. මේ චිත්‍රපට අතරින් කතා කළ හැකි මට්ටමේ හොඳ චිත්‍රපට මට හමුවෙන්නේ 20යි. එයින් මම පොතක් කරන්න පටන් ගත්තා. මේ චිත්‍රපට 20නුත් මම එකක් හොඳයි කියන්නේ නෑ. ඒ තමයි විජය ධර්මශ්‍රී ගේ ‘සිටුකුමරියෝ’ චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටය මට අතහරින්න බැ. ඒකට හේතුව ඒ සනත් ගුණතිලක සිනමාවට ප්‍රවිෂ්ට වන චිත්‍රපටය වීම. ඒ නිසා මම ඒක අතහරින්නෙ නැ. ඒනිසා චිත්‍රපට 19ක් විශිෂ්ට චිත්‍රපට ඉතුරු එක නොගෙන බැරි එකක්. මේ චිත්‍රපට 20 පිළිබඳ ලියලා මම ප්‍රකාශකයෙක් හොයන්න ගියා. ප්‍රකාශකයෙක් හමුවුණේ නෑ. චිත්‍රපට 20 ගැනම ලියන්න ගියොත් පිටු 300-400ක් වෙනවා. මේ වෙලාවේ තමයි මට මලින්ත අතුළුවගේ හමුවන්නේ. ඔහු කැමකි වෙනවා මේ චිත්‍රපට 20න් කොටසක් අරගෙන පොතක් කරන්න. ඒ අනුව මම මුල් චිත්‍රපට 7 අළලා මේ පොත ‘ සනත් – චරිත හතක් ‘ නමින් එළි දක්වන්න කටයුතු කරනවා. ඒ අනුව ‘ සිටු කුමරියෝ, ගග අද්දර, කලියුගය, රිදි නිම්නය, දෙවැනි ගමන, මංගල තෑග්ග, කවුළුව කියන චිත්‍රපට 7 අරගෙන මේ පොත කරනවා. කවුළුව චිත්‍රපටයෙන් පොත අවසන් වෙනවා. මම හිතනව පොත නැවතුණේ හොද තැනකින් කියලා. මොකද ඊළඟට එන්න තිබෙන්නේ ‘විරාගය. විරාගයත් ඇතුළුව ඊළඟ චිත්‍රපට ටික මෙහි දෙවැනි කොටසක් ලෙසින් එළියට දාන්න බලාපොරොත්තු වෙනවා.

මේ චරිත 7 පිළිබඳ ඔබ කරන විග්‍රහය කොයි වගේද?

මේක විචාරශිලිව කරන දෙයකට වඩා වැඩිම ප්‍රමාණයක් මෙහි අඩංගු වන්නේ සනත් ගුනතිලක මහත්මයා ඒ චරිතය රූපණය කරන අයුරු, ඒ සඳහා පසුබිම්වූ පරිසර සාධත, තමන් ඒ චරිත සඳහා සුදානම් වුයේ කෙලෙසකද? කියන කාරණා තමයි මෙහි අඩංගු වන්නේ. මේ පොත ඇතුළේ විචාරශිලි බවට වඩා සිනමාලෝලින්ට සිනමාව පිළිබඳ දැනගන්න අසා කරන දේවල් ටිකක් තිබෙනවා.

සිනමා සාහිත්‍යය ගැන දෙය පිළිබඳ ඔබේ අදහස කුමක්ද? මේක අවශ්‍ය දෙයක්ද?

සිනමා සාහිත්‍යය කියන එක පාසල් විෂය නිර්දේශයේ වත් ඇතුළත් වෙලා නැති, ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හෝ අධ්‍යාපනය පිළිබඳ නොයෙක් තීන්දු, තීරණ ගන්නා පිරිස අතරේත් ලොකු අවධානයක්, ඇගයිමක් නැති හින්දා සිනමා සාහිත්‍යය ලංකාවේ ඉදිරි ගමනක් නැති අදටත් ගල් වෙලා තිබෙන දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. තව පැත්තකින් සිනමාව ගැන ලියන්න නව ලේඛක පරපුරක අඩුව තිබෙනවා. අපි හුඟාක් වෙලාවට දැකලා තිබෙනවා, විශ්වවිද්‍යාලයක තරුණයෙක් පොතක් දෙකක් ඉදිරිපත් කරනවා. නමුත් ඒ තරුණයා එය ඉදිරිපත් කරන්නේ ඔහුගේ උපාධිය සම්පුර්ණ කර ගැනිමේ කාරණයක් වහයෙන් පමණයි. බොහෝ විට එය ඔහු හෝ ඇය උපාධියට ඉදිරිපත් කර උපාධි නිබන්ධය වෙන්න පුළුවන්. නමුත් ඒ නිබන්ධයෙන් පස්සේ එයා සිනමාව ගැන පරිහණයක් නෑ. සිනමාව ගැන ලියන්න ඉදිරිපත් වෙන්නෙක් නෑ. ඊට පස්සේ රැකියාවක් ලැබිලා තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා මිසක්. පසුගිය කාලේ මම එවැනි අවස්ථා රාශියක් දැක්කා. ඒකෙන් මට පැහැදිලි වුණා ලංකාවේ සිනමා සාහිත්‍යය ගැන පැහැදිලි උනන්දුවක් දක්වන ලේඛක පරපුරක් නෑ කියන එක. තවත් පැත්තකින් සිනමා සාහිත්‍ය විකුණන්න අපහසුයි කියල දරන මතයක් තියෙන නිසා ලංකාවේ ප්‍රකාශකයෝ මෙවැනි ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන්න පසු බසින තත්වයක් තමයි තිබෙන්නේත. මේ බය මේ ආකාරයෙන්ම පසුගිය කාලයේ කවිය සම්බන්ධයෙන් ද තිබුණා. අද වෙනවිට එහි සාධනීය ලක්ෂණ පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන් සන්ථව ප්‍රකාශන හරහා මහින්ද ප්‍රසාද් මස් ඉඹුල වගේ අය කවිය ඉහළට ඔසවා තබලා තිබෙනවා. නමුත් එවැනි තත්ත්වයක් සිනමා සාහිත්‍යයේ තවම දකින්නට නෑ. නමුත් මේ මොහොතේ නයින් පබිලිකේෂන් කියන ආයතනය පිළිබඳ සඳහනක් කරන්න ඕන.. ඔවුන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇතුළේ කරගෙන යන මේ කුටියෙන් සිනමාව සම්බන්ධ පොත් පමණක් අපට ලබා ගන්න පුළුවන්. ඒක හොඳ ප්‍රවණතාවයක්.

සිනමා විෂය විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන තත්වයට අද පත්වෙලා තිබෙනවා. නමුත් සිනමා සාහිත්‍යයට මෙහෙම වෙන එක ගැන අපි නැවත වතාවක් සිතිය යුතුයි නේද?

සත්‍ය වශයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලය මුලික වෙලා ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ හොරණ ශ්‍රී පාලි මණ්ඩපය මුලික වෙලා දේශන, සම්මන්ත්‍රණ ආදී පැවැත්වුවා. පසුගිය කාලයේ අපට මතකයි ‘ විය සිදුර‘ වැනි චිත්‍රපටයකුත් කළා. නමුත් පසුගිය කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සම්බන්ධයෙන් වැඩසටහන් රාශියක් කරන්නට සුදානම් වෙලා හිටියා. නමුත් ඒවා නිසි විදියට සකස් වුණේ නෑ ඉදිරි ගමනක් ඇති වෙන විදියට. ඊට කලින් ආචාර්ය ඩි. බි. නිහාල්සිංහ සම්බන්ධවෙලා සිනමාව පිළිබඳ උපාධියකට අවශ්‍ය වැඩ කටයුතු සුදානම් කළා. මා දන්නා තරමින් ඒකටත් අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන ලැබුණේ නෑ. ඉතින් අපට කියන්න බෑ ඒ අනුව සරසවි පද්ධතිය ඇතුළත ඒකට අවශ්‍ය වන ක්‍රමවේදයක් තියෙයි කියලා.

සිනමා ලේඛකයකු වෙන්න බෑ සිනමාවට ප්‍රේම කරන්නේ නැතුව. ඔබට ඒ ප්‍රේමය හට ගත්තේ කොහොමද?

මුලින්ම අපේ තාත්තා අපට අසිමිත විදියට කියවන්න පොත් පත් ගෙනත් දුන්නා. හැබැයි ඒවා සිනමාව පිළිබඳ ලියවුණු ඒවා නොවෙයි. වැඩිපුරම තිබුණේ ප්‍රබන්ධ සාහිත්‍යය. ඒ හරහා තමයි මම මාර්ටින් වික්‍රමසිංහයන්, කරුණාසේන ජයලත් වැන්නෝ හඳුනා ගන්නේ. ඔහොම කාලයක් යනකොට මම චිත්‍රපට නළුවෙක් විදියට ගාමිණි ෆොන්සේකා මහතාට අසීමිතව පෙම් කරන්න පටන් ගත්තා. ඔහුගේ රූප විලාසයට, ඔහුගේ රංගන විලාසයට මම කැමති වෙනවා. තනි පුද්ගලයෙක් විදියට ඔහු දැඩි ලෙසම බලපානවා මගේ සිනමා ප්‍රේමය ඇති වීමට. සිනමා නළුවෙකුට ආස කිරිම පමණක් නොවේ. සිනමාව කියන එක කියලා මට වැටහෙන්නේ කාලයක් ගියාට පස්සේ. මට වැටහුණා ගාමිණි ෆොන්සේකා කියන්නේ සිනමාවේ බලගතු පුද්ගලයෙක් මිසක් සමස්ත සිනමාව නොවන බව. ඊට පස්සේ වෙන සිනමාවේදින් පිළිබඳ හැදැරිම, අසිමිතව චිත්‍රපට නැරඹිම, සිනමා පොත පත කියවිමට පෙළඹිම වැනි කාරණා ඊට පස්සේ මගේ අතින් සිද්ධ වෙනවා. ඒ ඔස්සේ තමයි මම සිනමාව ගැන ලියන්න පෙලඹෙන්නේ.

ඔබේ පළමුවෙනි සිනමා කෘතිය වුණේ මොකක්ද?

සිනමාව සම්බන්ධයෙන් චිත්‍රපට, පෝස්ටර්, බැනර්, සිංදු පොත් ආදි එකතු කරලා ‘රිදි තිරය’ නමින් අපි දවස් 6ක ප්‍රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වුවා. ඒ සඳහා අපි එකතු කරපු කරුණු එකතු කරලා 2005 වර්ෂයේ සර්වෝදය ප්‍රකාශනයක් ලෙසින් ‘සිනමා සැමරුම්’ කියලා පොතක් කළා. මගේ දෙවැනි පොත වෙන්නේ ධර්මසේන පතිරාජ පිළිබඳ ලියලපු පොත. ඊට පස්සේ ‘සිනමාවෙන් නිරූපිත ජනවාර්ගික අරගලය, තිස්ස අබේසේකර, සුගතපාල සෙනරත් යාපා, ටෝනි, දොස්තර සරත් ලෙස, ඩොනල්ඩ් අසිරිමත් රුපාවලිය (ප්‍රසන්ත පරනවිදාන සමඟ), ශී‍්‍ර ලාංකික සිනමාවේ අබේසේකර සලකුණ( ප්‍රසන්ත පරණවිදාන සමඟ) , සඳ තනිවෙලා – මිල්ටන් මල්ලවාරච්චි (ඊ බුක්) , වම් ඉවුරේ තුන්වැන්නා-ධර්මසිරි බණ්ඩාරනායක වැනි කෘති කළා. ඊට පස්සේ තමයි මේ කෘති දෙක කළේ.

ඔබ සිනමා ලේඛකයෙක් වුණාට ඔබේ වෘත්තිය ජිවිතය වෙනස් එකක්. එහෙම වුණේ කොහොමද?

මම වැඩ කරන්නේ රක්ෂණ ආයතනයක. ඒක මට පහසුවක් වුණා ලිවීමේ කලාව දියුණු කර ගන්න. මට එතැන ලිවීමේ නිදහස තිබුණා. මට අවස්ථාව තිබුණා පුවත්පතකට සම්බන්ධවෙලා වෘත්තීය ජිවිතයක් ගත කරන්න. නමුත් මම එහෙම තැනකට සම්බන්ධ වුණා නම් මට ආස දේ මට ලියන්න බැරි වෙනවා. මට ඕන වුණේ මොනව හරි ලියන්න නොවෙයි. සිනමාව පිළිබඳ ලියන්න. මට වෙන රැකියා ස්ථානයක ඉදලා ඒ ගමන යන්න පුළුවන් කියලා මට හිතුණා.

ඔබට සිනමා ලේඛකයෙක් වෙන්න පූර්වාදර්ශ සැපයුවේ කවුද?

අපට හිටියා සිංහල ඉංගී‍්‍රසි ද්වි භාෂාවෙන්ම හොඳට ලියන විචාරක පරපුරක්. රෙජි සිරිවර්ධන, රෙජි රණසිංහ, තිස්ස අබේසේකර, සිරිල් බි. පෙරේරා, ආතර් යූ. අමරසේන, පියසිරි නාගහවත්ත, ඈෂ්ලි රත්නවිභූෂණ, පියල් සෝමරත්න, වැනි පිරිසක් හිටියා. මේ අයගේ විචාර කියවීමත් මේ පැත්තට යොමු වෙන්නට හේතු වුණා. මම දැක්ක ආකර්ෂණීයම සිනමා විචාර ලිව්වේ සිරිල් . බි. පෙරේරා අනිත් කෙනා ගුණසිරි සිල්වා සහ ගාමිණි විජේතුංග. ඒ වගේම චන්දන සිල්වා. මේ වගේ අයගේ සිනමා විචාර කියවලා, චිත්‍රපට නරඹලා තමයි ලියන්න පෙලඹුණේ.

ඔබේ සිනමා පොත් හරහා ඔබ නවක ප්‍රකාශකයනුත් මෙරට සාහිත්‍යයට හඳුන්වා දෙනවා?

මට තවදුරටත් අවශ්‍ය වෙලා තිබුණා වම් ඉවුර සම්පූර්ණ කිරීමට. වම් ඉවුරේ පතිරාජගේ පොත ගුණසිරි සිල්වා මහතාගේ සහයෝගය මත ප්‍රකාශනයට පත් වුණා. ඒක කරලා අවුරුදු ගණනාවක් ගිහින් තමයි ධර්මසිරි බණ්ඩාරනායකගේ පොත කළේ. ධර්මසිරිගේ මේ පොත හරහා ‘නබෝ’ ප්‍රකාශන වෙනුවෙන් ලහිරු රන්දික ලියනගේ පොත් ප්‍රකාශනයට එනවා. ළහිරුගේ පළමු පොත වුණේ ඒක. ඇත්තටම සිනමා පොත් විකුණන්න බෑ කියන එක බොරු කරමින් අපි මේ පොත පිටපත් 2000ක් විකුණුවා. ඊට පස්සේ තමයි ළහිරු ගේ තුන්වෙනි පොත විදියට මෙවර වසන්ත ඔබේසේකරගේ පොත ඔහු ප්‍රකාශයට පත් කළේ. වම් ඉවුර පිළිබඳ මම කරන කතිකා මට්ටම යම් පමණකට මේකෙන් පරිපූර්ණ වුණා කියලා මම හිතනවා. නමුත් වම් ඉවුර කියන දෙය බොහොම බරපතළ විදියට කෙනෙකුට පර්යේෂණාත්මකව ප්‍රශ්න කරන්න පුළුවන් දෙයක්. එවැනි පර්යෂෙණාත්මක කාර්යයනට මේ පොත් හොඳ දත්ත වාර්තා සහ අත් පොත් හැටියට භාවිත කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.

ඒ වගේම තමයි සනත් චරිත හතක් පොත හරහා තවත් අලුත් ප්‍රකාශකයෙක් දොරට වඩිනවා. ඔහු මලින්ද ඇතුළුවගේ. ‘මාධ්‍ය’ ප්‍රකාශන වෙනුවෙන්. ඔහු කැමැති වුණා. මේ පොතේ මුල් කොටස කරන්න. මේ හැමදෙනාටම මගේ නොවක් තුතිය මේ මොහොතේ හිමිවිය යුතුයි.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT