ඔහු සිංහල සිනමාවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමට ආරම්භ කොට මේ වන විට වසර 28 කි. ඒ වසර 28 ඇතුළත ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන 28 කි. එය විශේෂත්වයකි. සරසවිය පාඨකයන්ට ඔහුව විශේෂයෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැත. ඔහු රටම දන්නා සිනමා අධ්‍යක්ෂවරයෙකි, නිෂ්පාදකයෙකි. තිර රචකයෙකි.
බහුභූතයෝ, ගින්දරී, ගිනිමල් පොකුරු, ගිනි අවි සහ ගිනිකෙළි, රන්දිය දහර, ආසයි මං පියාඹන්න, රෝස වසන්තේ, රන් කෙවිට, ලේ කිරි කඳුළු ඇතුළු චිත්‍රපට විසි අටක් අධ්‍යක්ෂණය කළ ඔහු ඔබ කවුරුත් හොඳීන් හඳුනන උදයකාන්ත වර්ණසූරියයි. චිත්‍රපට 28 ක් අධ්‍යක්ෂණය කළ ඔහුට තම විසි අට වැනි චිත්‍රපටයෙන් සම්මානනීය වීමට ලැබීම ඔහු බෙහෙවින් සතුටට පත්වන හේතුවක් වන්නට ඇත. ඒ සතුටත් සමඟ ඔහු සරසවියට පැමිණියේ වසර විසි අටක සිනමා ජීවිතයෙන් ලද අත්දැකීම් සරසවිය සමඟින් බෙදා හදා ගන්නටය.
ගිනි අවි සහ ගිනිකෙලි – 2 චිත්‍රපටය මගේ විසිඅට වැනි චිත්‍රපටයයි. මම සිනමාවට ඇවිත් මේ වන විට අවුරුදු විසිඅටක්. සිනමාවට පා තබා විසි අට වැනි අවුරුද්දේ මා විසින් නිෂ්පාදනය කළ විසිඅට වැනි චිත්‍රපටයට සම්මානයක් හිමිවීම මා ලද භාග්‍යයක්. ඇත්තටම මගේ සිතට ලොකු සතුටක් දැනෙනවා. මගේ චිත්‍රපට විවිධ සම්මාන උලෙළ වලදී ඇඟයීමට ලක්වෙලා තිබෙනවා. මට හැරුණු කොට ඒවායේ රඟපෑ නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට සම්මානයට පාත්‍ර වී තිබෙනවා. සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයක් හිමි වූ ප්‍රථම වතාව මෙයයි.
මේ සම්මානය ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටය සඳහා ලැබීම සම්බන්ධව විවිධ වූ මත පළවෙනවා.එය සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් සමාජ මාධ්‍යවල තමයි මේ කැලඹීම තිබෙන්නේ. එහි විවිධ අය විවිධ වූ මත පළකර තිබෙනවා. ඕනෑම අයෙකුට ඕනෑම මතයක් ප්‍රකාශ කිරීමට අයිතිය සහ නිදහස තිබෙනවා. අවලාද අපහාස කළ අයත් සිටියා. කුමන නිර්මාණයක් කළත් එසේමයි. මෙය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ලෝක සිනමාවේත් මේ තත්ත්වය තිබෙනවා. සර්ව සම්පූර්ණ සිනමා නිර්මාණ ලෝකයේ කොහේවත් නැහැ. මගේ නිර්මාණවල අඩුපාඩු නැහැ කියලා මම කිසි විටෙකත් කියා නැහැ. පුංචි හෝ අඩුපාඩුවක් තිබුණත් ඒ ගැන මහා ඉහළින් කතා කරන එක සාමාන්‍ය දෙයක්. අපේ රටේ සිටි විශිෂ්ට නිර්මාණකරුවන්ගේ නිර්මාණවලත් සුළු හෝ අඩුපාඩු තියෙන්නට ඇති. කෙසේ වෙතත් තිස් හය වැනි සරසවිය සම්මාන උලළෙදී මේ ලැබුණ සම්මානය මම ඉතා අගය කොට සලකනවා.
මම සිනමාවට මුලින්ම පිවිසුණේ කලා අධ්‍යක්ෂවරයකු ලෙස. ඒ කරදිය වළල්ල චිත්‍රපටයෙන්. එය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ රංගවේදී සිරිල් වික්‍රමගේ විසින්. පාසැලේදී උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු මගේ ආශාව වුණේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ඒ කලේ ඉදන් මට ලියන්න චිත්‍ර අඳීන්න හැකියාව තිබුණා. ඒ නිසා තිරපිටපත් ලියන්න උත්සාහ ගත්තා. ඒ සම්බන්ධව හොඳීන් අධ්‍යයනය කරමින් පොත පත කියෙව්වා. ඉන්පසු මම පිටපතක් ලිව්වා. ඒ කාලේ චිත්‍රපට සංස්ථාවේ බැංකුවක් තිබුණා. චිත්‍රපටයක් කිරීම සඳහා මගේ පිටපත තේරුණා. ඒ නිසා මට ණය මුදලක් අනුමත වුණා. එය ලක්ෂ එකහමාරක් වැනි මුදලක්. මගේ පිටපත තේරුණ නිසා පොඩි උද්‍යෝගයක් මා සිත තුළ තිබුණා. ඒ අනුව තමයි චිත්‍රපටයක් කරනවාය කියන සිතුවිල්ල මා සිතේ පහළ වුණේ. එවැනි මුදලකින් චිත්‍රපටයක් තැනීමට නොහැකි වුවත් මම කෙසේ හෝ ඒ සිහිනය සැබෑවක් කර ගත්තා. මට අවශ්‍ය වුණේ චිත්‍රපටයක් කරන්නේ කෙසේද කියන එක. ඒ තුළින් ප්‍රායෝගිකව අත්දැකීමක් ලබා ගත්තා. කෙසේ හෝ චිත්‍රපටය කරගෙන යාමේදී ප්‍රශ්න මතුවුණා. එහෙත් චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. ලාභ ලැබුවේ නම් නැහැ. එහෙත් මම සිනමා නිර්මාණ කිරීමේ ආසාව අතහැරියේ නැහැ. ඉන්පසු මම මේ දක්වා බොහෝ නිර්මාණ කළා.
ඒ සෑම නිර්මාණයකින්ම මම සිනමාවට නවක ශිල්පීන්ව හදුන්වා දුන්නා. එයින් එක් උදාහරණයක් ලෙස මා අධ්‍යක්ෂණය කළ හිරිපොද වැස්ස චිත්‍රපටය හඳුන්වා දිය හැකියි. එහිදී මම ශිල්පීන් කිහිපදෙනෙක්වම සිනමාවට තිළිණ කළා. අද වන විට ඒ සෑම කෙනෙක්ම ක්ෂේත්‍රයේ සාර්ථක වීම ගැන සතුටුයි. ප්‍රේක්ෂකයන් කැමැති සිනමාවෙන් නැවුම් මුහුණු දකින්න. මම තමයි සිනමාවට වැඩියෙන්ම නවකයන් හඳුන්වා තිබෙන්නේ.
මම අධ්‍යක්ෂණය කළ හිරිපොද වැස්ස චිත්‍රපටයේ දෙවෙනි කොටස කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ දිනවල ඒ ගැන සාකච්ඡා පවත්වමින් මූලික වැඩ කටයුතු සූදානම් කරමින් ඉන්නවා. හිරි පොද වැස්ස මුල් චිත්‍රපටයේ රඟපෑ සියලුම ශිල්පීන් හිරිපොද වැස්ස දෙවැනි චිත්‍රපටයේත් සම්බන්ධ වීම විශේෂත්වයක්. බොහෝ දුරට ලබන වසරේ එය තිරගත වේවි. ඊට ප්‍රථම එළඹෙන සැප්තැම්බර් මාසේ අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එය සංගීතමය චිත්‍රපටයක්. එයත් ප්‍රේක්ෂකයාට අමුතුම ආකාරයක චිත්‍රපටයක් වේවි.
මම එක රාමුවකට කොටු නොවූ අධ්‍යක්ෂකවරයෙක්. විවිධ වූ ශානරයන් යටතේ මම චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. ළමා චිත්‍රපට, ආදරය මුසු වූ චිත්‍රපට හාස්‍ය , ත්‍රාසය කැටි වූ චිත්‍රපට මා අධ්‍යක්ෂණය කර තිබෙනවා. එයයි මගේ අනන්‍යතාවය. එකම වර්ගයකට චිත්‍රපට කිරීමේදී ප්‍රේක්ෂකයන්ටත් ඒවා එපා වෙනවා. වාණිජ හෝ කලාත්මක හෝ වේවා සිනමාවේ තිබිය යුතු මූල ධර්ම සහ සිද්ධාන්ත චිත්‍රපටය තුළ තිබිය යුතුයි. මා චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමේදී ඒ කාරණා පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන් සිනමා රසිකයන් මගේ චිත්‍රපට ගැන කතා කරනවා.
ඒ වගේම මගේ නිර්මාණ වලට දායක කරගන්නා රංගන ශිල්පීන් ගැන මට චිත්‍රපටයේ තිර රචනයේදීම මැවී පේනවා. ‘ ගින්දරී’ හාස්‍ය මුසු චිත්‍රපටයක්. ඒත් මම ඒ චරිතයට යොදා ගත්තේ පබෝධාව. ඇයට ඕනෑම චරිතයකට ප්‍රවිෂ්ට වීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඇගේ හැඩකාර බව ඒ චරිතයට හොඳීන් ගැළපුණා. ඒ නිසා මා කරනා විවිධ වූ චිත්‍රපටවලත් වෙනසක් තිබෙනවා. මගේ රන්දිය දහර චිත්‍රපටය සඳහා මහේන්ද්‍ර පෙරේරාව යොදා ගත්තා. ඔහු දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්. ඔහු පසුගිය දා පැවති සරසවිය සම්මාන උලෙළෙදී හොඳම හාස්‍ය රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගත්තා. සාර්ථක රංගන ශිල්පියෙක්ට පුළුවන් ඕනෑම චරිතයකට ඉක්මනින් අනුගත වෙන්න.
මෙවර සරසවිය සම්මාන උලෙළෙදී හොඳම නළුවා වූ ධනුක දිල්ෂාන් ගැනත් මට ප්‍රකාශ කිරීමට තියෙන්නේ ඒ කාරණයමයි. ඔහු වැඩි වශයෙන් පෙනී සිටින්නේ ටෙලි නාට්‍යවල. ධනුක ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ මම ලියූ චරිතයට මනාව ගැළපුණා. ඔහු ඒ චරිතයට වෙනම හැඩයක් දුන්නා. ධනුකගේ චරිතය හැංගිලා වගේ තිබුණා චරිතයක්. ඒ තමයි චරිතයේ ස්වරූපය. ඇතැම් දෙනා විමසුවා එවැනි නිදිමත චරිතයකට සම්මාන ලැබුණේ කොහොමද කියලා. ඒ ධනුකගේ දක්ෂතාවය. එවැනි දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්ට සම්මානයක් ලැබුණ එක ගැන සතුටුයි. ඉසුරුත් ඔහුගේ චරිතයත් හොඳීන් කළා. මා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල ගුණාත්මකභාවය පිළිබඳ මම වඩාත් සැලකිලිමත් වෙනවා.
අද ලංකාවේ ඇතැම් චිත්‍රපටවල ප්‍රමිතියක් නැහැ. නිර්මාණයක තිබිය යුතු මූලික සිද්ධාන්ත ටිකවත් නැති චිත්‍රපට තිබෙනවා. එවැනි චිත්‍රපට තිරගත කිරීම මණ්ඩල බාර ගන්නේ නැහැ. එවිට ඒවා තිරගත කිරීමට නොහැකි වීමෙන් චිත්‍රපට පෝලිමක් හැදෙනවා. වර්තමානය වන විට චිත්‍රපටයක් කළාට පසුව උපරිම උත්සාහයක් දරලා ප්‍රවර්ධන කටයුතු කරලා චිත්‍රපටය පෙන්වා ගන්න පුළුවන්. ඒත් එයට නිසි ක්‍රමවේදයක් තිබෙනවා. මණ්ඩල වලින් බාර ගන්නේ ගුණාත්මක බවින් යුත් වෙළඳ වටිනාකමකුත් ඇති චිත්‍රපට. ලංකාවේ සිටින දක්ෂ අධ්‍යක්ෂකවරුන් චිත්‍රපටයක් කරන්න ආරම්භ කරන විට මණ්ඩලවලින් එය ලබාගන්න බලාගෙනම සිටින අවස්ථාත් තිබෙනවා. ගුණාත්මක චිත්‍රපට හැදෙනවා නම් චිත්‍රපට පෝලිම් හැදෙන්නේ නැහැ.
චිත්‍රපට නිෂ්පාදකයන් ගැනත් කතා කළ යුතුමයි. ඔවුන් නැත්නම් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අපහසුයි. එහෙත් කනගාටුවට කාරණාවකුත් තිබෙනවා. ඇතැම් අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකයන් අපහසුතාවයට පත්කරනවා. චිත්‍රපටයකට මුදල් යොදවන්නේ කෙසේද කියා සමහර නිෂ්පාදකයන්ට වැටහීමක් නැහැ. පිටපත පිළිබඳ අවබෝධයක් නැහැ. එවිට නිෂ්පාදනය කරන චිත්‍රපටය සාර්ථකත් නැහැ. එනිසා නිෂ්පාදකයාද සිනමාව ගැන හොඳීන් දැනුම්වත් වීම අවශ්‍යයි. නිෂ්පාදකවරුන් දැනුම්වත් කරන්න නිසි වැඩපිළිවෙළක් තියෙනවා නම් සාර්ථක නිර්මාණ බිහි කරන්න පුළුවන්. එවිට නිර්මාණයකට ආයෝජනය කරන පුද්ගලයාගේ මුදල නාස්ති වෙන්නේ නැහැ.
සිනමාවේ උන්නතිය සඳහා පිහිටුවා ගත් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නමින් එකමුතුවක් තිබෙනවා. එයට සම්බන්ධ වී සිටිනවා. එහි තනතුරු වෙනස් වන්නේ වසර දෙකින් දෙකට. අපි අපට පුළුවන් දේ කරනවා. බලාපොරොත්තු වන හැමදේමත් ඉටු කරගන්න අමාරුයි. වර්තමානයේ සිනමාවට ප්‍රවිෂ්ට වන තරුණ පිරිසෙහි යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. අපි ඔවුන්ට උදව් කළ යුතුයි. සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි රජයෙනුත් ඒ සඳහා සහයෝගය බලාපොරොත්තු වෙනවා. අපගේ සංසදය මඟින් අන්තර්ජාතික සිනමා උලෙළක්ද පැවැත්වූවා. වර්තමානයේ විශ්වවිද්‍යාලවල සහ පාසැල්වල සිසු සිසුවියන් සිනමාව පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වනවා.
පසුගිය වසරේ රත්නපුර සීවලී විද්‍යාලයෙන් කළ රොකට් චිත්‍රපටය එයට කදිම නිදසුනක්. එය ඉතා වටිනා වැඩක්. මමත් එය නැරඹුවා. ඔවුන්ටත් සිනමාව පිළිබඳ නිසි අධ්‍යයනයක් ලබා දීම වැදගත්.
චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සුදත් මහදිවුල්වැව සිනමාවේ උන්නතිය උදෙසා යම් වැඩ කොටසක් කරන බව පෙනී යනවා. අපගේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයත් හැකි උපරිමයෙන් සිනමාව වෙනුවෙන් සහයෝගය දෙනවා.
සිනමාව ගැන කතා කරද්දී සිනමා ශාලා පිළිබඳ කතා කිරීමටත් අවශ්‍යයි. පැරැණි සිනමා ශාලා වැසී යන තත්වයක් තිබෙනවා. ඒවා බොහෝම අබලන් තත්වයේ තිබෙන්නේ. පැරණි සිනමාශාලා වලින් ඇතැම් ඒවා කුලී පදනම මත පවත්වාගෙන යන ශාලා. ඒවා වැසී ගියත් වර්තමානයේ නවීන පන්නයේ සිනමා ශාලා විවෘත වෙනවා. ඒවා සිනමා සංකීර්ණ. නිදසුනක් ලෙස වත්තල රාම් සිනමා ශාලාව හඳුන්වා දෙන්න පුළුවන්. එහි සිනමා ශාලා තුනක් තිබෙනවා. එවැනි සිනමා ශාලා ඉදිවන විට ප්‍රේක්ෂකයන්ද ඒ කරා ඇදී එනවා. එහෙත් ගාල්ලට සිනමා ශාලාවක අඩුපාඩුවක් තිබෙනවා. එවැනි අඩුපාඩු පවතින නගර තවත් තිබෙනවා. නුවර නගරයේ තවත් සුපිරි සිනමා ශාලාවක් විවෘත වුණා. අපේ රට පුංචි රටක් . කෙසේ හෝ මේ තිබෙන සිනමා ශාලා මේ තත්වයෙන් පවත්වා ගෙන යාම තමයි වැදගත් වන්නේ.
සිනමාවට සම්බන්ධ සියලු දෙනා එකමුතුවෙන් සහයෝගයෙන් වැඩ කළොත් අපේ සිනමා ව මීටත් වඩා ඉහළ මට්ටමකට ගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි සහෝදරත්වය , ළෙන්ගතුකම තිබිය යුතුයි. මට ආරාධනා ලැබෙන සෑම සම්මාන උලෙළකටම ගිහින් තිබෙනවා. මට සම්මාන ලැබුණා හෝ නොලැබුණා මම සහභාගී වෙන්නේ ඉතා සතුටින්. අපේ සිනමා ක්ෂේත්‍රයේ අපේම සහෘදයන් වෙනුවෙන් අත්පුඩියක් ගැසීමට, ඒ අයව අගය කිරීමට සම්මාන උලෙළකට පැමිණීම වැදගත් කියලයි මගේ නම් පෞද්ගලික මතය. තමන්ගේ චිත්‍රපටයට සම්මාන තිබෙනවා නම් පමණක් පැමිණෙන පිරිසකුත් සිටිනවා. තවත් අය හිතනවා තමාගේ චිත්‍රපටයට ඇගයීමක් ලැබිය යුතුයි කියලා. එය සාමාන්‍ය දෙයක්. සෑම නිර්මාණකරුවෙක්ම සිතන්නේ එහෙමයි. එහෙත් ලැබෙන තීරණ අපි භාර ගත යුතුයි.
මට ශක්තිය තිබෙනකම් මම සිනමාවේ රැඳී සිටිනවා. ඒ ගමනේදී මගේ බිරිඳ මට ශක්තියක් වුණා.ඇය ශාන්ති වර්ණසූරිය. මම සිනමාවට පිවිසියේ විවාහයෙන් පසුව. ඇය මාවත් සිනමාවත් හොඳීන් තේරුම් ගත්ත බිරිඳක්. ඒ වගේම සිනමාවට විශාල සේවයක් කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ලෙනින් මොරායස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, සේන සමරසිංහ, යසපාලිත නානායක්කාර, එච්. ඩී. ප්‍රේමරත්න වැනි විවිධ ශානරයන් ඔස්සේ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂකවරුන් මේ අවස්ථාවේ මම ඉතා ආදරයෙන් සිහිපත් කරනවා.
ඉදිරියේදී විවිධ වූ නව සිනමා නිර්මාණ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී රූගතකිරීම් සිදු කිරීමට නියමිත අලුත්ම චිත්‍රපටයේ තොරතුරු සමඟින් නැවතත් මා ඔබ හමුවට පැමිණීමට බලාපොරොත්තු වෙනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය