සිනමාතරු සම්මානනීය වන ඒ සුන්දර රාත්‍රිය උදාවිය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සිනමාතරු වලින් පිරී යද්දී සම්මාන රාත්‍රිය ඇරැඹුණි. අදියෙරෙන් අදියර ක්‍රමානුකූලව සම්මාන පිරිනැමෙද්දී වසරේ හොඳම නැගී එන නළුවා සහ නැගී එන නිළිය නිර්දේශ නාමයන් ප්‍රකාශයට පත්කරන්නට විය. සුදු පැහැයත් රන්වන් පැහැයත් මුසුවූ ඔසරියකින් හැඩවී සිටි ඇය වේදිකාව දෙස දෙසවන් යොමා සිටියේ නොඉවසිල්ලෙන් විය හැකිය. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට ඇති. හොඳම නැඟී එන නිළියට හිමිවන සම්මානය පිළිබඳ බලාපොරොත්තුවක් ඇය අභියසද මැවෙන්නට ඇත.
වසරේ හොඳම නැගී එන නිළිය ලෙස ඇගේ නම නිවේදනය කරද්දී ඇයට දැනුණ හැඟීම් කෙසේ වන්නට ඇතිද? සරසවිය සම්මානයක් දෝතින් තුරුලු කරගත් ඇය වේදිකාව මතදී තම හැඟීම් මුදාහැරීමට වචන ගළපා ගැනීමට මහත් වෙහෙසක් දැරුවාය. ඇය අභිලාෂී සන්තුෂ්කිය. ඇගේ හදවත සතුටින් පිරී යන්නට ඇත. සතුට තවමත් ඇගේ හදවත තුළ තැන්පත් කරගෙන ඇය සරසවිය හමුවට ආවේ සියලු දෙනා සමඟම සතුට බෙදා හදා ගන්නටය.
කියාගත නොහැකි ලොකු සතුටක් මගේ හදවත තුළ තිබෙනවා. සම්මානය මා අතට හිමිවූ මොහොතේ සිට මා සිත තුළ තිබෙන සතුට තවමත් එලෙසින්ම පවතිනවා. මට වසරේ හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය ලැබුණේ ‘ සිංහබාහු ‘ චිත්‍රපටයට. එය මගේ කුලුඳුල් සිනමා රංගනය. සිංහබාහු චිත්‍රපටයේ මුලින්ම රඟපාන විට මට සම්මානයක් පිළිබඳ කිසිදු අදහසක් තිබුණේ නැහැ. දැනීමක් තිබුණෙත් නැහැ. චිත්‍රපටය ජනප්‍රිය වෙන්න වෙන්න මට ලැබුණ ප්‍රතිචාර වැඩිවුණා. වැඩි වශයෙන් මට ලැබුණේ මාව දිරිමත් කරමින් ලැබෙන ප්‍රතිචාර. ඒ නිසාම මම සිතුවා ඉදිරියේදී වගකීමෙන් යුතුව වැඩ කල යුතුබව. එවිට තමයි මට සිතුණේ සම්මානයකුත් ලැබෙනවා නම් හොඳයි කියලා. කෙසේ වෙතත් ‘ සිංහබාහු’ වගේ චිත්‍රපටයකින් මට නැඟී එන නිළිය සඳහා සරසවිය සම්මානයක් ලැබීම සතුටක්.
එදා ඒ අවස්ථාවේ මගේ නම කියැවෙන විට මගේ සිතට දැනුණ හැඟීම් වචනයෙන් විස්තර කරන්න අපහසුයි. මට මතකයි මයික්‍රෆෝනය අතට ගත්තට පසුව මගේ මතකයට ආවේ මගේ මේ සාර්ථකත්වයට උරදුන් පිරිස පිලිබඳ මතකය. අම්මා , තාත්තා, රේණුකා නැන්දා, සෝමරත්න මාමා සහ මගේ ගුරුතුමිය වන බුද්ධි රන්දෙණිය මහත්මියව. ඒ සියලු දෙනා නිසා තමයි මම එදා සම්මානනීය වුණේ.
‘ සිංහබාහු’ චිත්‍රපටය අපූරු චිත්‍රපටයක්. එය සිනමා තිරය මත දිගහැරෙද්දී ඉතාමත් සුන්දරයි. එහෙත් ඒ පිටුපස තිබුණේ අති දුෂ්කර කතාවක්. රූගත කිරීම් සිදුකලේ ඝණ වනාන්තර මැද. අපි සෑහෙන දුරක් කැලේ ඇවිද්දා. සතුන්ගෙන් හානියක් වෙයි සිතලා පුදුම බයකින් ගියේ. පාන්දරට දරන්න බැරි තරම් සීතලයි. මට අමතක කරන්න නොහැකිම සිද්ධිය වුණේ වතුරේ බැහැලා නාන දර්ශනය. රූගත කිරීම් වලදී ඒ දර්ශනය සාර්ථක වනතුරු කිහිප වතාවක් සීතල වතුරට බහින්න වුණා. ඒත් ඒ හැම දුෂ්කරතාවයක්ම අමතක කරලා මන ඒ චරිතය වෙනුවෙන් කැපවී වැඩකළා. එහි අවසානයේ ලැබූ ප්‍රතිඵලය තමයි සරසවිය සම්මානය.
සිනමාව ගැන වැඩිදුර හදාරන්න මගේ සිතේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. එහෙත් ඒ සඳහා නිසි තැනක් ලංකාවේ නැහැ කියලා මට හිතෙනවා. කවදා හෝ මම ඒ සඳහා විදෙස් රටකට යනවා. සිනමාව හදාරන්න. මේ මගේ හොඳම කාලේ. ඒනිසා තව වැඩකරලා අත්දැකීම් අරගෙනම විදෙස් ගත වෙනවා.
රංගනයට අමතරව මම මේ දිනවල මනෝවිද්‍යාව හදාරනවා. කෙනෙක්ගේ මනස හොඳීන් හඳුනාගෙන ඔහුට හෝ ඇයට උදව්වක් සහනයක් සලසන්න හැකි නම් එය මහත් උතුම් කාරියක්. මනෝවිද්‍යාව ප්‍රගුණ කිරීම මගේ රංගන ජීවිතයටත් බෙහෙවින් උපකාරී වෙනවා.
පුංචි කාලේ සිටන් පූජා උමාශංකර්ගේ රංගනයට මම ඉතාමත් ප්‍රියකළා. ඇය රඟපෑ කුසපබා, පත්තිනි වැනි චරිත දැකලා මටත් ආසා හිතුණා රාජ කුමාරියකගේ චරිතයක් රඟපාන්න ඇත්නම් කියලා. ඒ වන විට මම රංගන ශිල්පිනියක් නොවේ. ඒ ආශාව ඉෂ්ට වුණේ ‘ සිංහබාහු’ හි සුප්පා දේවියගේ චරිතය ලැබීමෙන්. දැන් නැවතත් එවැනි චඉතයක් ලැබුණොත් ඊටත් වඩා හොඳීන් කළ හැකියි.
මට පිටපතක් ලැබුණ විට එයට පිළිතුරක් දීමට කලින් මා එය හොඳීන් අධ්‍යයනය කරනවා. ඒ චරිතය තුළ මට යමක් කිරීමට තිබෙනවාද, එම චරිතයේ ගුණාත්මකභාවය පිළිබඳ මම වඩාත් සැලකිලිමත් වෙනවා. මේ කරුණු සියල්ල පිළිබඳ සැලකිලිමත් වුණාට පසුව තමයි මට අදාළ චරිතය බාර ගන්නේ. රේණුකා නැන්දා සහ සෝමරත්න මාමාගේ සිංහබාහු’ චිත්‍රපටයෙන් පසුව ඔවුන්ගේ නිර්මාණයක් වූ කපුටු කොහෝ චිත්‍රපටයේ රංගනයට දායක වෙන්න ලැබුණා. එය වෙනස්ම ආකාරයක චිත්‍රපටයක්. එයත් මම බොහෝම ආශාවෙන් කරපු රංගනයක්. මම රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ තමයි තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයක් වූ ‘ මම හොයන්නේ ප්‍රේමයක් ‘ චිත්‍රපටය. මම රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත කිහිපයක් තිබෙනවා. චරිතාපදාන, ත්‍රාසජනක චරිත සහ මානසිකව වැටුණ චරිත ආදිය රඟපෑමට මම ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. විශේෂයෙන් මම කැමතියි මානසිකව ජීවිතය බිඳ වැටුණ තරුණියකගේ චරිතය රඟපාන්න. එයට හේතුවක් තිබෙනවා. මට එවැනි අත්දැකීමක් නැහැ. මම පුංචි කාලයේ සිට සැපසේ ගත කළ කෙනෙක්. මගේ අම්මා, තාත්තා මට උපරිම සැප දීලා තිබෙනවා. ඒ නිසා මානසික පීඩනයකට ලක්වූ චරිතයක් කරන්න ලැබෙනවා නම් මම අනිවාර්යයෙන් බාර ගන්නවා. කියන්න සතුටුයි. දැනටමත් එවැනි චරිතයක් මට ලැබී තිබෙනවා. ආසාවෙන් ඉන්නවා කවදා හෝ සිනමා තිරය මත එය දිග හැරෙනකම්. මේ වන විට තවත් චිත්‍රපට දෙකක රූගත කිරීම් වල නිරත වෙනවා. රේණුකා බාලසූරිය නැන්දාගේ අලුත් නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම රජිව් සිවදාසන් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට මාව තෝරා ගෙන තිබෙනවා. එයට තවමත් නමක් යොදා නැහැ. එහි රූගත කිරීම් නුදුරේදීම සිදුවෙනවා.
36 වැනි සරසවිය සම්මාන උලෙළෙ නැගී එන නිළිය සඳහා ලැබුණ සම්මානය පිටුපස බොහෝ දෙනෙක් ඉන්නවා. පළමුවෙන්ම බුද්ධි රන්දෙනිය මගේ ගුරුතුමිය. ඇයත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ අනු දැනුම ඇතිව තමයි මම රංගනය හදාරන්න ගියේ. ඇයගේ උනන්දුව නිසා ඇය මාව රේණුකා නැන්දා සහ සෝමරත්න මාමාට හඳුන්වා දුන්නා. ඒ අනුව තමයි මට ‘ සිංහබාහු’ ඔඩිෂන් එකට මුහුණ දීමට අවස්ථාව ලැබෙන්නෙ. මගේ ගුරුතුමිය මට කලාව ගැන බිංදුවේ සිට කියා දුන්නා. ඒ වගේම මගේ අම්මා , තාත්තා ගැන කිව යුතුයි. අම්මා මගේ හෙවණැල්ල. මගේ පිටුපසින් ඉදන් මට ශක්තියක් වෙන්නේ ඇය. රූගත කිරීම් වලදී මගේ ආරක්ෂාවට එන්නේ අම්මා. ‘ සිංහබාහු’ රූපගත කිරීම් වලදි ඇය මම වෙනුවෙන් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. ඒ අතර තුර නිවසේ වැඩ රාජකාරි ගැන සොයා බැලුවේ මගේ තාත්තා. ඇත්තටම මම ඔවුන්ට ණය ගැතියි.
සිනමාවේ හරවත් ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳීන් චරිත තෝරා බේරාගෙන ගුණාත්මක නිර්මාණ තුළින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න සූදානම්.
නයනාංජලි දෙහිපිටිය