නිවස සංවාද සිනමාව කියන්නේ මායාවක් ඒ මායාව මට හොඳට කරන්න පුළුවන්

සිනමාව කියන්නේ මායාවක් ඒ මායාව මට හොඳට කරන්න පුළුවන්

සීරුවෙන් අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස්

by Thanushika
July 25, 2024 9:27 am 0 comment

රිදී තිරයේ දෙබස්, කතාව, සහ තිර රචනය සුනිල් සෝම පීරිස් කියන නාමය සිනමා ලෝලීන්ට ඉතාම හුරු පුරුදු නාමයක් වූ බව නොකිව මනාය. කොටින්ම කිවහොත් පසුගිය දශක කිහිපයකට පෙර රිදී තිරය දෙවනත් කළ සුනිල් සෝම පීරිස්ගේ බාල පුතණුවන් අද අපේ කතා නායකයාය. ඔහු සුදේශ් වසන්ත පීරිස්ය. ඔහු රංගන ශිල්පියෙක්, සහය අධ්‍යක්ෂවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් පමණක්ම නොව තිරපිටපත් රචකයෙක්ද වන්නේය. ඔහු අද වන විට ‘හුස්ම’ සිනමා පටය ඇතුළුව චිත්‍රපට 24ක් නිර්මාණය කළ අධ්‍යක්ෂවරයාය. ඔහුගේ නවතම චිත්‍රපටය ‘සීරුවෙන්’ ය. සීරුවෙන් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා 63ක ප්‍රදර්ශනය කෙරේ. මේ දිගහැරීම ඒ වෙනුවෙනි.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් දෙන්න ?

මම සුනිල් සෝම පීරිස් කියන බයිස්කෝප්කාරයගෙ බාල පුතා. පවුලේ තුන් වැනියා. මට එක අයියා කෙනෙකුයි, අක්කෙකුයි ඉන්නවා. අයියා කුමාර පීරිස්. අක්කා ප්‍රියංකා පීරිස්. අම්මා මාලනී පීරිස්. මට පොඩි කාලේ ඉඳන්ම දකින්න ලැබුණේත්, ඇසුණේත් සිනමාවට සම්බන්ධ රූප සහ කතාමයි. අපේ ගෙදරත් වැඩිපුර කතා බහත් සිනමාවට සම්බන්ධ කාරණා ගැනයි. ඉතින් මගේ සිතත් නිරායාසයෙන්ම මේ කතාවලට ඇදිලා ගියා. ඒ නිසා මමත් මටම නොදැනීම කිසිම ආයාසයකින් තොරව සිනමා රූප මාධ්‍යට යොමු වුණා. ” මට ඔයාව ඔසවා තබන්න පුළුවන්. ඒත්, මම එහෙම කළොත්, මම නැති දවසක කඩා වැටෙන්න පුළුවන්. තාත්තා මට එහෙමයි කිව්වේ. ඔයා මේ කලා ක්ෂේත්‍රයේ පුළුවන් තරම් අත්දැකීම් ලබාගන්න. පළපුරුද්ද ලබාගන්න.” තාත්තා මට විටින් විට එහෙම ගුරුහරුකම් දුන්නා. මට මතකයි මගේ තාත්තා ඔහුම කතාව, දෙබස්, තිර රචනය සිනමාවට ගෙනා 1985 අවුරුද්ද. දවසක් මම ” ඔබට දිවුරා කියන්නම් ” කියන චිත්‍රපටයෙ වැඩ කටයුතු සිද්ධ වෙන පසුතලය බලන්න ගියා. නළු නිළියෝ කැමරාව ඉදිරියේ හැසිරෙන හැටි දැක්කා. කැමරාව ස්ථානගත කරලා තියෙන තැනත් දැක්කා. මේ ආකාරයට මට චිත්‍රපටයක වැඩ කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන ටික ටික අවබෝධ වුණා. තාත්තා නිතරම කිව්වෙත් මේවා දකින්න. කමක් නෑ, මේ සියලු දේවල් ඉගෙන ගන්න කියලයි. තාත්තාත් එක්කම මම එයාගේ වැඩ කටයුතුවලට උදව් කළා. මට මුල් කාලයේදී පුංචි පුංචි චරිත කරන්න දුන්නා. මගේ හිත නිරායාසයෙන්ම රඟපාන්න ඇඳීලා ගියා. මට ඕනෙ වුණෙත් නළුවෙක් වෙන්න. මම පාසැල් යන වයස ඇති කාලේ පටන්ම චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයා දක්වා සියලු භූමිකාවල නිරත වුණා.

ඔබේ ළමා කාලයේ ගතවුණේ කොහොමද?

මම ඉපදුණේ මහරගම. මම පාසල් ගියේ මහරගම ජනාධිපති විද්‍යාලයටයි. පාසැල් අධ්‍යාපනය ලබන කාලයේ මට හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. ඉස්කෝලෙ යනකොටත් මම චිත්‍රපටිවල වැඩවලට සම්බන්ධ වුණා. මගේ පාසල් අධ්‍යාපනය අපොස සාමාන්‍ය පෙළින් අවසන් කරන්න සිද්ධ වුණා. ඒ චිත්‍රපටවල වැඩ කටයුතුවලට සම්බන්ධ වෙලා හිටපු හින්දයි. එතකොටත් මම චිත්‍රපට කලා ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරයෙක්. එතකොට මට වයස අවුරුදු දහසයක් විතර ඇති. අනෙක් ළමයි ඉස්කෝලේ යනකොට, මම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මට වැඩ කන්දක් පැවරිලා තිබුණා. ශබ්ද පටිගත කිරීම, ඇතුළුව සිනමා ක්ෂේත්‍රයේ සියලුම වැඩ කටයුතු මම කළා. ඒ වගේම මට හැම දෙයක් ගැනම උනන්දුවක් තිබුණා. ඒකට මම කැපවුණා.

ඔබේ පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වීම ඔබට බලපෑවේ කොහොමද ?

මගේ තාත්තට ඉස්සර තිබුණු බයික් එකේ මම ඉස්සරහ වාඩිවෙලා යනවා. තාත්තා එක දිගටම චිත්‍රපටවල වැඩ කළා. එක තැනත රඟපෑම් වැඩ, තව තැනක හඩ කැවීම්, තව තැනක සංස්කරණ කටයුතු, මේ විදිහට තාත්තා අතිශය කාරය බහුලව වැඩ කරද්දී මම ඒ දිහා ළඟ ඉඳන් බලාන හිටියා. 1986 දී තාත්තා සම අධ්‍යක්ෂණය කළ දිනුම චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ ළමා කාලයට රඟපැවේ මම. ඊට පස්සේ තාත්තා කළේ ” මමයි රජා “. ඒකේ විජය කුමාරණතුංග, ජීවන් කුමාරණතුංග, සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, සෝනියා දිසා, රංගනයෙන් දායක වුණා. විජය කුමාරණතුංගගේ ළමා කාලය කළේ මම. 1990 “යුක්තියට වැඩ” කළා. ඒකෙත් ජීවන් කුමාරණතුංගගේ ළමා කාලය කළේ මම. මම තාත්තගේ අධ්‍යක්ෂණ භූමිකාව දැක්කා. තාත්තා කළා ශිල්පීන් හසුරවන හැටිත් දැක්කා. කොහොම හරි රංගනයට කැමැත්තෙන් හිටපු මම ක්‍රමයෙන් අධ්‍යක්ෂක භෑමිකාවට හැරුණා. මගේ පියා සිංහල සිනමාවේ බයිස්කෝප්කාරයෙක් කියලා පට බැඳුණා. සුනිල් සෝම පීරිස් කියන බයිස්කෝප් කාරයා කියලා අපේ තාත්තාට නිර්මාණ තුළ කොන් කිරීමකුත් තිබුණා. ඒ වගේම තාත්තාව සිනමා කර්මාන්තය තුළ පැත්තකටත් කරලා තිබුණා. ඒක මහා සම්භාව්‍යයි යැයි කියන අය විසින් හදාගත් දෙයක්. නමුත්, ඒ අය දැනගෙන හිටියේ නෑ, කලාව රැකෙන්න නම් කර්මාන්තය රැකෙන්න ඕනැයි කියන කාරණය. චිත්‍රපටි කර්මාන්තය රැකුණේ වාණිජ චිත්‍රපටිවලින්. තාත්තට වෙච්ච දේ මට නොවෙන්නයි මම හැම විටම උත්සාහ කළේ. නමුත් මාව හැඳීන්වූයේ සුනිල් සෝම පීරිස්ගේ පුතා සුදේශ් වසන්ත පීරිස් කියලා තමයි. නමුත් මට බයිස්කෝප්කාරයා කියන නම පට බැදුණේ නෑ. මම මගේ අනන්‍යතාවය ගොඩනඟා ගත්තා.

ඔබේ පළමු සිනමා නිර්මාණය ගැන කතා කරමු.

මගේ පළමු සිනමා නිර්මාණය කරද්දී මට අවුරුදු 19යි. 1996 තිරගත වූ ” රත්තරන් මිනිහෙක් ” තමයි මගේ පළමු සිනමා නිර්මාණය. “රත්තරන් මිනිහෙක්” තිර රචනයත් මගෙයි. ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, රෙක්ස් කොඩිප්පිලි වගේ නිළු, නිළියන් මේ සිනමා පටයේ දී හසුරුවන්න මට සිද්ධ වුණා. එදා මම අවුරුදු දහ නවයක පොඩි කොලුවෙක් වුණත් සිනමාවේ හිටපු දැවැන්තයන් පවා හැසිරවූවා. ඊට පස්සේ මම ඩී. බී නිහාල් සිංහගේ ” කෙලි මඩල ” චිත්‍රපටයට සම්බන්ධ වුණා. මම එහි තෙවැනි සහය අධ්‍යක්ෂකවරයා වශයෙන් වැඩ කළා. මම එතැනදී ලබපු අද්දැකීම් බොහෝමයි. නිහාල් සිංහයන් කැමරාව හසුරුවන හැටි මම හොඳට අධ්‍යයනය කළා. එයා යොදන ලෙන්ස් එක මොකක්ද, කැමරාව ස්ථානගත කරන හැටි, ඒ කෝණයෙන් තියන්නේ ඇයි? මේ සියල්ල මම අධ්‍යයනය කළා. මේ අත්දැකීම, පරිචය මගේ අධ්‍යක්ෂණ භුමිකාවට බලපෑවා.

නිහාල්සිංහයන් සමඟ වැඩ කළ අයුරු ගැන මතකය අවදි කළ හැකිද ?

නිහාල්සිංහයන් කියන්නේ හරිම නිහතමානී මහත්මයෙක්. ඇත්තටම එයා අර්ථයෙ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්. මම එයා වැඩ කරන ආකාරය ගැන පැත්තක ඉඳලා බලන් හිටියා. නිහාල් සිංහයන් වැඩිපුර උපදෙස් දෙන කෙනෙක් නෙවෙයි. නිහාල්සිංහයන්ට කැමරාව හරියට සෙල්ලම් බඩුවක් වගෙයි. එයා මට පවරලා තියෙන වගකීම මම හරියට නොපිරිහෙළා ඉටු කළා.

ඔබේ සිනමා ආගමනය ගැන ආපසු හැරී බලද්දී සිතන්නේ කුමක්ද ?

මට සිනමාව ආධුනික නෑ. ඒ නිසා මට ලොකු බියක් සැකයක් මුකුත් නෑ. මම උපදිනකොටමත් සිනමාව හොඳට හුරුපුරුදුයි. ඒ නිසා මට සිනමාව අරුමයක් වුණේ නෑ. නමුත් මම මුල් අවධියේදී හොඳ අධ්‍යයනයක් කළා. මම දෙවැනි සහය අධ්‍යක්ෂවරයා වශයෙන් ලැබූ අත්දැකීම් බහුලයි. මේවා තමා මගේ සිනමා හැදෑරීම්. ඒ නිසා මේ අත්දැකීම් මට කිසිම ගැටලුවක් වුණෙත් නෑ. ඊට පස්සේ මම 1994 දී කළු සුදු කියලා චිත්‍රපටියක් කළා. මේක ඉතා හොඳ ආදායම් ඉපයු එකක් වුණා. ඒක සහෝදරත්වය පිළිබඳ කතාවක්. තමන්ගේ සහෝදරයා කොතරම් කෙනෙහිලි කළත්, හොඳ සිතින් එයාට උදව් කරන චරිතයක් එහි තිබුණා.

මෙවන් මාතෘකා රැගත් චිත්‍රපට ඒ කාලයේ විශේෂයෙන් ඉන්දියාවේ ඕනෑ තරම් බිහිවුණා. ඔබ ඒ අභාසය ගත්තාද ?

එදා මෙදා තුරා අපේ රටේ බිහිවුණු චිත්‍රපට 99% කොහේ හරි ආභාසයකින් ගත්ත ඒවා තමයි. මේවටත් ඒ වගේ සමීප බවක් තිබුණා.

ඔබ සිනමාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හෝ වෙනයම් හැදෑරීමක් සිදු කර තිබෙනවාද ?

නෑ. මට සිනමාව සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් පමණයි තියෙන්නේ. පොත පතින් ලබාගත් දැනුමට වඩා මා ලැබූ අත්දැකීම්වලින් තමයි මම සිනමාකරණයට වඩාත් සමීප වුණේ.

මේ වන විට මම සිනමා නිර්මාණ 24ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ජීවිතයේ ලස්සනයි, හට හතර මායම, රන් සයුර, හුස්ම සහ සීරුවෙන් ඇතුළුව සිනමා නිර්මාණ 24ක් කළා.

ඔබේ හැරවුම් ලක්ෂ්‍ය සිනමා පටය කුමක්දැයි ඔබ සිතන්නේද ?

හුස්ම. හුස්ම කියන්නේ ප්‍රතිනිර්මාණ චිත්‍රපටයක්. මේක ශ්‍රී ලංකාවේ සිද්ධවුණු සත්‍ය සිදුවීමක්. තරුණියක් මැරිලා කියලා මෝචරයට දාලා. මෝචරියේ වැඩ කරන කෙනා එයා විකුණලා. එතකොට එයාට හුස්ම ඇවිත්. මේ හා සමාන කතා රැගත් චිත්‍රපට ලෝකයේ තියෙනවා. හින්දි චිත්‍රපටවලත් මේ හා සම්බන්ධ තේමා රැගත් චිත්‍රපට තියෙනවා. ඒ නිසා හුස්මත් ප්‍රතිනිර්මාණය කළ චිත්‍රපටයක්. අද මහා සිනමා නිර්මාණකරුවෝ යැයි කියා ගන්න අයත් වෙනත් නිර්මාණවල ආභාසය ගන්නවා.

අපි “සීරුවෙන්” ගැන කතා කරමු?

“සීරුවෙන්” සිනමා පටයේ කතාව, දෙබස්, සහ තිර වචනය මගෙයි. මම බයිස්කෝප්කාරයෙක් නොවී, මගේම අනන්‍යතාවයක් රැක ගන්න ඕන නිසයි “හුස්ම” කළේ. කතාබහට ලක් වෙන චිත්‍රපටයක් කරන්න ඕනෑ කමත් තිබුණා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. එය තවදුරටත් ඉදිරියට ගෙන යන්නයි මම “සීරුවෙන්” කළේ. සුදේශ් වසන්ත පීරිස් කියන්නේ බයිස්කෝප් කාරයෙක් නෙවෙයි කියලා මම ඒකෙන් ඔප්පු කළා. ඒ වගේම සුදේශ්ට ඕනෑම නිර්මාණයක් කරන්න පුළුවන් කියලත් මම ඒකෙන් ඔප්පු කළා. ” හුස්ම ” වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම සෑම සම්මාන උළෙලකදීම සම්මානයටත් පාත්‍ර වුණා. හුස්මෙන් පස්සේ මට ඕනේ වුණා ත්‍රාසය, කුතුහලය, භීතිය රැගත් චිත්‍රපටියක් කරන්න. චරිත හතරයි, එක රාත්‍රීයයි, එක දර්ශන තලයයි. එක රූප රාමුවක් තුළ ප්‍රේක්ෂකයා රඳවා ගැනීම කියන්නේ ලොකු අභියෝගයක්. ඒක ලේසි නෑ. නමුත් මට දැනෙන ප්‍රතිචාරවලින් මම සාර්ථකයි කියලා හිතෙනවා.

සිනමාව කියන්නේ මායාවක්. ඒ මායාව මට හොඳට කරන්න පුළුවන්. දැන් ඉන්න සිනමාකරුවන්ට රියල් ඕනෑ. මට රියල් ඕනේ නෑ. අපි දින 18 කින් රූපගත කිරීම් නිම කළා. මම වැඩ කරන කණ්ඩායම වැඩි කරගන්නෙත් නෑ. මොකද අපි නිෂ්පාදකයාත් රැක ගත යුතුයි. සීරුවෙන් නිෂ්පාදනය කරන්නේ නිහාල් විජේසිංහ මහත්මයා. එයා දවසක් මාව මුණ ගැහෙන්න ආවා. වැඩක් කරන්න තියෙන කැමැත්ත කිව්වා. හුස්ම නිෂ්පාදකත් එයා. ඔහු නිහඬ චරිතයක්. ඔහු මට සම්පූර්ණ නිදහස දුන්නා.

මෙය ජැක්සන් ඇන්තිනී රංගනයෙන් දායක වන අවසන් චිත්‍රපටයද ?

බොහෝ දෙනා මෙය චිත්‍රපටය විකුණන්න කළ දෙයක් කියලා කියන්න පුළුවන්. ජැක්සන් අයියා ජීවමානව බලන්න ඕනෑ කියලයි මෙහෙම හඳුන්වන්නේ. සීරුවෙන් සිනමා පටයේ ජැක්සන් මහත්මයාගේ හොඳම රංගනය නරඹන්න පුළුවන්. හමුදා නිලධාරියෙකු සතු චිත්ත ධෛර්යයි ඔහු මෙහි නිරූපණය කරන්නේ.

ඔබේ නිෂ්පාදන කණ්ඩායම ගැන කුමක් කිව හැකිද ?

මම නළු, නිළියන් සහ කාර්මික ශිල්පීන් හසුරුවන විදිහ වෙනස්. මම වැඩ කරන්නේ හරිම සැහැල්ලූවන්. සරලවයි. සීරුවෙන් සිනමා පටයේ ජැක්සන් අයියා ඇතුළු නළුනිළි කණ්ඩායම මගේ උපදෙස් අනුව වැඩ කළා. මට දෙබස් සහ රූප රාමුව වෙනස් කරන්න වුණේ නෑ. ජැක්සන් අයියාටත් අන්ධ චරිතයකට පණ පොවන්න ලොකු පිපාසයක් තිබිලා තියෙනවා. මෙහි කැමරා අධ්‍යක්ෂණය ගාමිණී මොරගොල්ලාගම, කලා අධ්‍යක්ෂණය සරත් සමරවික්‍රම, සහය අධ්‍යක්ෂණය චමත්කා පීරිස්, වේශ නිරූපණය තාරක අධිකාරි, සංගීත අධ්‍යක්ෂණය කේෂාන් පෙරේරා ,සංස්කරණය අනුර බණ්ඩාර, ශබ්ද සැලසුම් සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, නිෂ්පාදන සැලසුම් තුෂාණී වීරක්කොඩි, ගේය පද රචනය අචල සොලමන්, ගායනය චමත්කා පීරිස්ගෙනි.

ජැක්සන් ඇන්තනී, සේමිණි ඉද්ද මල්ගොඩ, බුද්ධික ජයරත්න, දසුන් පතිරණ, ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ, සුදත් ඇන්තනී සමඟ ළමා චරිතය වෙනුවෙන් ශෙනුලි පිරිස් රංගනයෙන් එක් වෙති.

ඔබේ චිත්‍රපටවලින් යම් පණිවිඩයක් දෙනවාද?

ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් දෙන්න මම එකඟ නෑ. පණිවිඩ දෙන්න චිත්‍රපට හදනවාද කියන එක මම දන්නෙත් නෑ. ඒ පණිවිඩ අහලා හැදුණු ප්‍රේක්ෂකයෝ ඉන්නවාදැයි මම දන්නෑ. නිර්මාණකරුවෙකුට ආකල්ප දෙන්න පුළුවන්. එය තීරණය කරන්නේ නරඹන කෙනයි. පණිවිඩ දෙන්න මම චිත්‍රපට හදන්නේ නෑ.

[email protected]

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT