Home » සිනමාව අතහැරලා තියෙන්නේ සිනමාකරුවන් හා සිනමාශාලා හිමියන්

සිනමාව අතහැරලා තියෙන්නේ සිනමාකරුවන් හා සිනමාශාලා හිමියන්

- ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක

by Thanushika
June 13, 2024 12:30 am 0 comment

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය ‘සිංහබාහු’ මේ දවස්වල සාර්ථකව රිදී තිරයේ ප්‍රදර්ශනය වෙයි. මේ වනවිට සිනමා නිර්මාණ රැසක් ම සිනමා රසිකයන් වෙත ගෙන පැමිණි ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ මේ නවතම සෞන්දර්යාත්මක නිර්මාණයේ බිහිවීමත්, වර්තමානයේ ලැබෙන ප්‍රතිචාර පිළිබඳත් දැනගැනීමේ අදහසින් මම ඔහුව මුණගැසුණෙමි.

මේ දවස්වල සාර්ථක ලෙස සිනමා ශාලාවල ‘සිංහබාහු’ චිත්‍රපටය තිරගත වන බවයි පෙනෙන්නට තියෙන්නේ. ඒ ගැන ඔබගේ අදහස කුමක් ද?

‘සිංහබාහු’ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරලා සති හයක් විතර ගත වුණා. පටන් ගත්ත දවසේ ඉඳල ම අපි බලාපොරොත්තු වුණාට වඩා සාර්ථක අන්දමින් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. විශේෂයෙන්ම මේ පසුගිය සති දෙක වැස්ස සහ ගංවතුර. ඒ නිසා අපට ලොකු බයක් වුණේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය අඩුවේවි කියලා. ඒත් අපටම පුදුමයි ගංවතුර, වැස්ස නොතකා සිනමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට එනවා. අදත් මේ වනවිට සිනමා ශාලා කිහිපයක්ම පිරී ඉතිරී ගිහින්. ඒ නිසා අපේ චිත්‍රපටයට තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය හොඳයි. ඒ වගේ ම තමා පටන් ගත්තට වැඩිය විශාලා සිනමා ශාලා රැසකම ‘සිංහබාහු’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේ ම කවදාවත් ම චිත්‍රපට පෙන්නුවේ නැති සිනමා ශාලාත් අපෙන් ‘සිංහබාහු’ චිත්‍රපටය ඉල්ලලා ප්‍රදර්ශනය කරන්න ගත්තා. ත්‍රිකුණාමලය, යාපනය, වවුනියාව, ඒ වගේ ස්ථානයි. ඒ ස්ථානවලත් මේ චිත්‍රපටය සාර්ථකව තිරගත වුණා. මේ අතුරින් නාගරිකව තාක්ෂණිකව නිර්මාණය කළ සිනමා ශාලාවලට වැඩි ආකර්ෂණයක් තිබෙනවා. ඒ මඟින් පෙනෙන්නේ සිනමා ප්‍රේක්ෂකයා හොඳ චිත්‍රපටයක් හොඳට බලන්න හොඳ තාක්ෂණයක් තිබෙන සිනමා ශාලාවලට ආකර්ෂණය වන බවයි. ඒත් එහෙම තාක්ෂණය අතින් ගොඩක් දියුණු නැති සිනමා ශාලාවලටත් හොඳ සිනමා ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණියා. ඒ උදාහරණයක් විදියට ඇඹිලිපිටිය, කන්තලේ, හසලක වගේ සිනමා ශාලා. මීට පෙර මගේ චිත්‍රපටවල නේ තියෙන්නේ වාර්තා. එහෙම තිබ්බ චිත්‍රපටයක් වුණත් මේ නගරවල තිබුණු සිනමා ශාලාවල මගේ චිත්‍රපට සාර්ථකව ප්‍රදර්ශනය වුණේ නැහැ. ඒත් ‘සිංහබාහු’ චිත්‍රපටයට පිටිසර පළාත්වල සිනමා ශාලාවල වුණත් සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. ඒක සතුටක්.

එහෙමනම් පසුගිය කාලයේ සිනමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලින් ඈත් වෙලා කියන මතය සමාජ ගත වුණා. ඒක බොරුවක් ද?

අපට කියන්න පුළුවන් සිනමාවෙන් සිනමා ප්‍රේක්ෂකයා ඈත් වෙලා නැහැ. අපට වෙලා තියෙන්නේ නිර්මාණකරුවනුයි සිනමාවෙන් ඈත් වෙනවා කියන අදහස ඇතිව සිනමාවෙන් ඈත් වෙන්න බයේ හිටියේ. ඒත් දැනට ඒ ගැන සනාථ වෙලයි තිබෙන්නේ. ඒ ‘සිංහබාහු’ චිත්‍රපටයට ඇදෙන සිනමා ප්‍රේක්ෂකයන් දෙස බලන විට අපට හැඟෙන්නේ ඔවුන් හොඳ චිත්‍රපටයක් පැමිණෙන තුරු බලාගෙන සිටි බවයි. ඒ නිසා සිනමා ප්‍රේක්ෂකයන් සිනමාව අතහැරලා නැහැ. හැබැයි සිනමාකරුවන් හා සිනමා ශාලා හිමියනුයි සිනමාව අතහැරලා තිබෙන්නේ. පසුගිය අවුරුදු කිහිපයේ බොහෝ සිනමා ශාලා වැසුණා. ව්‍යපාරිකයන් විදියට ඔවුන් බලන්නේ තමනගේ ඉඩමෙන්, ගොඩනැඟිල්ලෙන් වැඩි වාසියක් ගන්න. ඒ නිසා ඔවුන් ඒ ස්ථාන වෙන වෙන ව්‍යාපාරවලට බදු දුන්නා. ඒක වෙන්න පුළුවන්. ඒ වගේ ම මේ වනවිට සිනමා පටවලට සිනමා ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා කියන, අලුත් ප්‍රවණතාවක් හැදිලා තියෙන්නේ. ‘සිංහබාහු’ චිත්‍රපටයට වගේ ම අනෙක් චිත්‍රපටවලටත් සිනමා ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඒ ගැන අපට සතුටුයි. ඒකයි විය යුත්තේ.

ඒ කියන්නේ වර්තමානයේ සිනමාවට නව අරුතක් එකතු වෙමින් පවතිනවා.

සිනමා හැදෙන්න නම් විවිධ ශානරවල, විවිධ නිර්මාණවලට විවිධ රසිකයන් එකතු විය යුතුයි. එය සිදු වෙමින් තිබෙනවා. ඒ වගේ ම ගිය වසරේ, පසුගිය මාස කිහිපයේ ප්‍රදර්ශනය වුණු ඇතැම් චිත්‍රපට වාර්තා සහගතව සිනමා ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුවා. ‘සිංහබාහු’ චිත්‍රපටය ඒ සියල්ල අබිබවා යන බවයි අපට පෙනෙන්නේ. අපේ චිත්‍රපටවල නේ තිබෙන්නේ වැඩිම සිනමා ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව, වැඩිම ආදායම්. තවම චිත්‍රපටය ප්‍රදර්ශනය වන නිසා වැඩිම ආදායම් ගැන නම් කියන්න බැහැ. සිංහබාහු’ චිත්‍රපටයේ පළමු සතියේ පළමු වැනි කාලවකවානු දෙස බලද්දි පෙනෙන්නේ ‘අපේ ම වාර්තා අපි ම කඩාගෙන යන බවයි. ඒ ගැන සතුටුයි. මොකද ‘සිංහබාහු’ චිත්‍රපටයේ සාර්ථකත්වය වගේ ම දේශීය සිනමාවට සිනමා ප්‍රේකෂකයන් පිරිසක් ඉතුරු වෙලා තියෙන බව දැනෙන විට සමස්ත සිනමාව වෙනුවෙන් ම දැනෙන්නේ සතුටක්.

‘සිංහබාහු’ කියන විට එක්වරම අපේ මතකයට පිවිසෙන්නේ අපේ ඉතිහාසගත කතාව. එහෙමත් නැත්නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වේදිකා නාට්‍යය. ඒ සියලු නිර්මාණවලට ම වඩා වෙනස් වුණු මේ ‘සිංහබාහු’ සිනමාවට ගෙනෙන්නට හේතු වුණු විශේෂත්වය මොකක්ද?

ඕනෑම නිර්මාණයක් හැදෙන්නේ තමන් අසා දැක පුරුදු කියවා තිබෙන කුමක් හෝ අත්දැකීමක් සහ තමන් විඳපු දෙයක් පාදක කරගෙන. මේ සිංහබාහු කතාව මහාචාර්ය සරච්චන්ද්‍රතුමාගේ සිංහබාහු බලන්න කලින් අපි අහලා තිබුණු කතාවක්. මේක මහාවංශයේ සඳහන් වෙනවා. පාසලේ උගන්වනවා. ඒ විදියට මේ කතාව අප අතරේ තිබුණා. සිංහබාහු කතාව සිංහල ජාතියේ උපත හැටියටයි පොතපතේ තියෙන්නේ; අපිට උගන්වලා තියෙන්නේ. ඒ ගැන මට විතරක් නොවෙයි හැමෝටම වගේ ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒත් ඒ අය ඒ ගැන කතා කරන්නේ නැති එකයි ප්‍රශ්නය. සිංහයා කියන්නේ සතෙක්. ඒ තිරිසන් සත්ත්වයාටයි මනුස්ස දුවකගේ සම්බන්ධයකින් ඉපදුණු දරුවන් දෙදෙනෙකුගෙන් ඇතිවුණු දරුවන්ගෙනුයි සිංහල ජාතිය පවතින්නේ කියන කාරණයයි අපට කියලා දීලා තියෙන්නේ. ඒ ගැන පොතපතේ සඳහන් වෙලා තියෙනවා. මා කරන්නේ ඒකට මෙය මෙසේ සිදු විය හැකි ද කියන අර්ථකථනයක් දෙන එකයි. අපට කියලා දුන්න කතාව කාගේ හෝ ප්‍රබන්ධයක්. ඒක සත්‍ය ඉතිහාසයක් නොවෙයි. මොකද අපට තහවුරු කරන්න පුළුවන් ඒක ජීව විද්‍යාත්මකව වෙන්න බැරි දෙයක් නිසා. සත්ත්වයකු හා මනුස්ස දුවක අතර සම්බන්ධයකින් මනුස්ස දරුවන් උපදින්නේ නැහැ. ඒක සිදුවිය නොහැක්කක්. අනෙක් අශිෂ්ට දෙය වුණේ එක පවුලේ එක කුස උපන් දරුවන් දෙදෙනෙකු එකතු වෙලා පරම්පරාව පවත්වාගෙන යනවා. ඒක කිසිම ශිෂ්ට සම්පන්න සමාජයක පිළිගන්න සිදුවීමක් නොවෙයි. ඒ කාරණා දෙක ප්‍රශ්න ගෝචරයි. ඒ අනුව මගේ ඉදිරිපත් කිරීමේදි මා කියන්නේ සිංහයා ගෝත්‍රික රජෙක්. ඒ වගේ ම සිංහබාහු හා සිංහසීවලී කියන්නේ අයියයි නංගියිත් නොවෙයි කියන අර්ථකථනයයි. එය මා සිනමාවට ගැළපෙන විදියට නව අර්ථකථනයක් සහිතව ‌ගෙනෙනවා. ඒ වගේ ම ඕනෑ ම නිර්මාණකරුවකුට අයිතියක් තියෙනවා තමන්ගේ අර්ථකථනය ඉදිරිපත් කරන්න.

ඔය පවසන්නේ ඒ අර්ථකථනය මඟින් ඔබ ඉතිහාසයට නව අර්ථකථනයක් ගෙනෙන බවද?

ඉතිහාස කතාව වැරැදියි, මෙන්න මගේ නිර්මාණයයි හරි කියලා මා කියන්නේ නැහැ. ඒක මගේ අර්ථකථනය. මම කරලා තියෙන්නෙත් ප්‍රබන්ධයක්. මහාවංසයේ මහානාම හාමුදුරුවොත් ලියලා තියෙන්නේ ප්‍රබන්ධයක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රතුමා කරලා තියෙන්නේත් ප්‍රබන්ධයක්. ඒ නිසා මේක මගේ ප්‍රබන්ධය. මේකත් සත්‍ය සිදුවීමක් නොවෙයි. මේක මේ විදියට සිදු වුණා කියලා සනාථ කරන්න අපට කරුණු නැහැ. නිර්මාණකරුවකුගේ නිර්මාණ සත්‍ය සිදුවීම් නොවෙයි. ඒ නිසා මේ සිංහබාහු මගේ අර්ථකථනය. බොහෝ දෙනා මට කිව්වේ මේ කතාව මෙහෙම වීම හොඳ බවයි. මේක අපට පිළිගන්න පුළුවන් සත්‍යවාදි පදනමක් මතයි ලියලා තියෙන්නේ කියන කාරණය ඔවුන් පැවසුවා. අනෙක් කාරණය මට බොහෝ දෙනෙකු ස්තුති කරන්නේ අයියයි, නංගියි දරුවන් හැදුව කියන අශිෂ්ට කතාවට ශිෂ්ට අර්ථකථනයත් ලබාදීම පිළිබඳත්.

‘සිංහබාහු’ චිත්‍රපටයේ නළු නිළි පිරිස කතා කරන්නේ ලිඛිත භාෂාවක්?”

ඒක මම කරන අත්හදා බැලීමක්. භාෂාව කියන එක සිනමාවේ එතරම් වැදගත් සාධකයක් නොවෙයි. සිනමාවේ වැදගත්ම සාධකය වන්නේ රූපය. රූපමය කථනය. භාෂාව කියන එක වැදගත් වන්නේ අනුශාංගික දෙයක් සහ තමන්ගේ රූපමය කථනයට සහයක් හැටියට. මෙතනදි මා මෙවැනි භාෂාවක් තෝරාගන්න හේතුව වෙන්නේ මේක බුදුරජාණන් වහන්සේ ජීවත් ව සිටි කාලයේ කතාවක් නේ. ඒ කාලයේ කතා කළ භාෂාව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපට ඒ භාෂාව කතා කරන්න බැහැ. ඒ වගේ ම මේක සිංහල ප්‍රේක්ෂකයන්ට හදන නිර්මාණයක් නිසා ඔවුන්ට තේරෙන්නත් ඕන. හැබැයි මෙහි කතා කරන භාෂාව අපි කතා කරන සිංහල භාෂාව වෙන්නත් බැහැ. ඒ දෙකටම නැති භාෂාවක් මා තෝරා ගත්තේ ඒකයි. ඒ තෝරා ගන්න භාෂාව සිංහල සිනමා රසිකයන්ට තේරෙන්නත් ඕන. කිසියම් රිද්මයානුකුල කාව්‍යමය රටාවක් තියෙන්නත් ඕන. ඒ නිසා මා සිතුවේ මා මෙහි යොදා ගත් භාෂාව නිර්මාණයට සුදුසුයි කියලා. ඒ මඟින් සිනමා රසිකයන් අමුතු වින්දනයක් ලබයි කියලා. මේ වනවිට ලැබෙන ප්‍රතිචාරවලින් ඔවුන් ඒක ලබන බව සනාථ වෙලා තියෙනවා. ඒකට ඇගැයීමක් තියෙනවා.

ඒත් මේ වන විට මේ චිත්‍රපටයේ භාෂව ඇතුළු කතා තේමාව ගැන බොහෝ දෙනා අතර කතාබහට ලක් වන බවයි පෙනෙන්නේ?

ඔව්. කතාබහට ලක් වෙනවා. ඕනෑම නිර්මාණයක් කතාබහට ලක් වෙනවා. ඕනෑම වැඩක් කතාබහට ලක් වෙනවා. ඒක හොඳයි. මිනිස්සු ඒක දිහා බලලා ඒක විවේචනය කරන්න; ඒකට දොස් කියන්න; ඒකට බණින්නේ චිත්‍රපටය නැරැඹුව නිසා. සමහරු නම් චිත්‍රපටය නරඹන්නේ වත් නැතිව පෞද්ගලික හේතු නිසා චිත්‍රපටය ගැන නොදැනත් දෝෂාරෝපණය කරනවා. ඒ වගේ අයව අපි ගණන් ගන්නේ නැහැ. ඔවුන් කවුද කියලත් අපි දන්නවා. එහෙම විවිධ මත පළ වීම හොඳයි. එතනදි විවිධ මත පළ වෙන්නේ අපේ සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් සියයට කීයක් ද? මේ විවිධ මත පළ කරන්නේ කවුද? ඔවුන්ගේ සිනමාව ගැන තිබෙන දැනුම, බැදීම සහ හැකියාව කුමක් ද? කියන කාරණා ගැන පොඩ්ඩක් සෙවිය යුතුයි. අපේ රටේ ඉන්න සිනමාව ගැන හොඳ දැනුමක් තිබෙන, විචාර බුද්ධියක් තිබෙන, විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, මහාචාර්යවරු, මාධ්‍යවේදීන්, කලාකරුවන් අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේ ම අපි දන්නේ නැති සෝෂල් මීඩියාවල ඉන්න ළමයිනුත් විවිධ දේ පළ කරනවා. ඒ අය ඉතින් ත්‍රිල් එකක් ගන්නත්, අපේ වචනවලින් කියනවා නම් පොරවල් වෙන්නත් කැමැතියි. ඒ අය ලොකු වචන දාලා, බැණලා විවිධ දේ පළ කරනවා. සමහර අය කුණුහරුපෙණුත් බණිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒවා අපි ගණන් ගන්නේ නැහැ.

මේ දවස්වල ‘සිංහබාහු’ චිත්‍රපටයේ භාෂාව කා අතරත් බොහොම ජනප්‍රියයි නේද?

මම කලිනුත් කිව්වනේ චිත්‍රපටයේ භාෂා විලාසය අත්හදා බැලීමක් කළේ. ඒ ගැන සතුටුයි. ඒ හාෂා විලාසය කොයිතරම් ජනප්‍රිය ද කිව්වොත් සමහර මාධ්‍ය ජාලාවලත් ඒ භාෂාව යම් විලාසිතාවකට ගිහින්. “එසේ වන්නේ ද කෙසේ” යන්න කියන මේ වචන ඔවුනුත් භාවිත කරනවා. ඒ මඟින් අපට පෙනෙන්නේ ඔවුන් කොයිතරම් දුරට මේ නිර්මාණය වැලඳ ගෙන තිබෙනවාද යන්නයි. ඒ නිසා එහෙම විවිධ මත තිබිය යුතුයි. ඒ නිසා අපේ චිත්‍රපටය ගැන විවිධ මත පළ කිරීම ගැන අපි කැමැතියි. ඒ ගැන අපි බයත් නැහැ. එහෙම වේවි කියලා අපි ඒ ගැන දැන ගෙනත් හිටියා. අපේ නොවෙයි කාගෙ වුණත්, ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ චිත්‍රපටවලටත් බණින අය ඉන්නවා. මහාචාර්ය සරච්චන්ද්‍රතුමාගේ නාට්‍යවලටත් බණින අය ඉන්නවා. ඒ නිසා බණින පිරිසක් වෙනම ඉන්නවා. ඒ අය කරන්නේ බැණීම විතරයි. අපි ඒ අයටත් ඉඩක් දීලා බලාගෙන ඉමු. සිනමාව රස විඳීන සිනමා ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නරඹනවා. ඒ ටික අපට හොඳටම ඇති.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අනතුරට ලක් වෙන්නේ ‘සිංහබාහු’ සිනමා පටය රූගත කිරීම් අතරවාරයේදියි. ඒ සිදු වීම මේ සිනමා පටයට ඇති කළ බලපෑම මොන වගේ ද?

ඒ කාරණය චිත්‍රපටයට විශාලා බලපෑමක් කළා. ඒ නිසා සිදු වුණු ආර්ථික බලපෑමට වඩා අනෙක් බලපෑමයි විශාල වන්නේ. රූගත කිරීම් මාස තුනකට වඩා වැඩි කාලයක් නතර කරලා හිටියා. කලින් රූගත කළ කොටස් නැවත රූගත කිරීම් කරන්න වුණා. ඒක අපට ආර්ථීක වශයෙන් අවාසියක් වුණා තමයි. ඒත් ඊට වඩා අවාසිය වන්නේ ජැක්සන් කියන අසාමාන්‍ය කලාකරුවාගේ අහිමිවීමයි. ඒක මිල මුදලින් හෝ වෙනත් විදියකට පිරි මහගන්න පුළුවන් දෙයක් හෝ කාටවත් ඒ හිඩැස පුරවන්න පුළුවන් දෙයක් නොවෙයි. මේ නිසා අපි විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අභියෝගවලට මුහුණ දුන්නා. එවැනි අභියෝගවලට මුහුණ දෙන අතරයි මේ නිර්මාණය අපි අවසන් කළේ. ඒ ඇතිවුණු ප්‍රශ්නයට, විකල්පයක් විදියට යොදාගත් ජැක්සන්ගේ ම ලොකු පුතා අඛිල මා හිතන්නේ ඒ චරිතයට ලොකු සාධාරණයක් කළ බවයි. ඒ අනුව අඛිල ඔහුගේ අප්පච්චිට ගෞරවයක්, ආඩම්බර විය හැකි විදියේ රංගනයක් ඉදිරිපත් කරමින් චිත්‍රපටයේ නිර්මාණ කටයුතු අවසන් කළා.

මේ වනතෙක් ‘සිංහබාහු’ තිරගත වුණත් ඒ පසුපස තිබෙන්නේ සුවපහසු අත්දැකීම්වලින් සපිරුණු අතීතයක් නොවෙයි?

රූගත කිරීම් කළ කාලය දුෂ්කරයි. මෙහි පරිසරය, දර්ශන තල සැපපහසුකම් තිබුණු ස්ථාන නොවෙයි. ඒ වගේ ම සිදු වුණේ සුඛෝපභෝගී රූගත කිරීමකුත් නොවෙයි. අති දුෂ්කර දෙයක්. අපේ නිෂ්පාදන කණ්ඩායමේ සියලු දෙනා ප්‍රධාන නළු නිළියන්ගේ සිට සහය ශිල්පියා දක්වා ඒ කරදරවලට, අපහසුතාවලට මුහුණ දුන්නා. ඒත් ඒක අපි බොහොම කැමත්තෙන් කළ දෙයක්. අපි ඒකෙනුත් තෘප්තියක් ලැබුවා. මිනිස් වාසයක් නැති, මිනිසෙකු පය නොතැබූ මහ ඝන වනාන්තරයේ, ගල්ගුහාවලයි අපි කාලයක් ගත කළේ. අපට හෝටල් පහසුකම්, ගෙවල්දොරවල් පහසුකම්, කෑම බීම පහසුකම් සපයන්න අපේ නිෂ්පාදන කණ්ඩායමට විශේෂ වෙහෙසක් දරන්න වුණා. ඒ නිසා මේ සියලු දේවල් අපට අභියෝගයක් වුණා. ඒ සියලු දේට අපි මුහුණ දුන්නේ සතුටෙන්. ඒ නිසා එයයි චිත්‍රපටයේ තිබෙන සාර්ථකත්වය.

මේ වනතෙක් ‘සිංහබාහු’ චිත්‍රපටය නැරැඹුවේ නැති ද? එහෙම නම් එය නරඹන්න. නරඹා ඔබගේ අදහස පළ කරන්න. ඒ සියලු දේ මැදහත් සිතින් දරාගෙන ඉදිරි ගමනක් යන්න ප්‍රවීණ අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ඉන්නේ සූදානමින්. මේ සාකච්ඡාව අවසානයේ මට ඔහු පිළිබඳ සිතුණේ එලෙසිනි.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

තිලානි ශානිකා විතානාච්චි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT