රන්ජන් රාමනායක ලාංකේය සිනමාවේ එක් යුගයක් අතික්‍රමණය කළ ජනකාන්ත නළුවෙකි. දක්ෂ රංගන ශිල්පියෙකි. ගායකයෙකි. චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. දේශපාලනඥයෙකි. විටෙක පෙමිවතාද, විටෙක දුෂ්ටයා ද, විටෙක හාස්‍ය උපදවන විකට චරිත ද නිරූපණය කළ අපුරු රංගන ශිල්පියෙකි. මීගමුව කොචිචිකඩේ උපත ලද සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු වන හේ මාරිස්ටෙලා විද්‍යාලයෙන් අකුරු කළේය. රන්ජන් පාසල් අවධියේ පටන් නළුවෙකු වීමට සිහින දුටු අයෙකි. නළු විජය කුමාරතුංගගේ ඥාති පුත්‍රයකු වු රන්ජන්ගේ සිනමා දිවිය සඳහා ඔහු දැඩිව බලපෑමක් එල්ල කරන්නට ඇත. රන්ජන් නළුවෙකු ලෙස සිනමාවට පා තබන්නේ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ සමූහ දර්ශනයක් පෙනී සිටිමෙනි.
සෝමරත්න රාමනායක අධ්‍යක්ෂණය කළ ‘ජය කොතැනද’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඔහු තම නාමය සඳහා ‘රාමනායක’ ලෙස වාසගම ඈඳාගන්නේ සෝමරත්න රාමනායකට කළ කෘතගුණ දැක්වීමක් ලෙසිනි. එතැන් සිට රන්ජන් රාමනායක ලෙස ලාංකේය සිනමාවේ තම අනන්‍යතාවය පිහිටුවා ගනිමින් අනතුරුව වඩාත් ප්‍රකට වන්නේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘භාග්‍යා’ ටෙලි නාට්‍යයෙනි. හේ විද්වත් ප්‍රේක්ෂකයාගේ වඩාත් අවධානය දිනාගත් රංග ප්‍රතිභාවක් ප්‍රකට කළේ කෘතහස්ත තිරපිටපත් රචකයකු සේම අධ්යක්ෂවරයකු වන තිස්ස අබෙිසේකර අධ්‍යක්ෂණය කළ ‘පිටගම්කාරයෝ’ ටෙලි නාට්‍යයෙනි.
චාරුලතා, නිල් මහනෙල්, විශ්වගමන, සාගරය පරදා, සත් සඳ කිරණ, වැනි ටෙලි නාට්‍ය රාශියක හේ තම රංගනයේ පරාසය විදහා දැක්වූවේය. රන්ජන්ගේ මුල්කාලීන සිනමාවට බොහෝමයක් ජනප්‍රිය චිත්‍රපට වටා කේන්ද්‍ර විය. සැහැල්ලු දඟකාර පෙම්වතාගේ චරිතය බහුල ලෙස නිරූපණය කළ ඔහු ඉන් ඔබ්බට දිවෙන සංකීර්ණ චරිත කිහිපයක් සඳහා තම රංග ප්‍රතිභාව ප්‍රකට කළේය. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ ‘යකඩ පිහාටු’ චිත්‍රපටයේ ‘රමේෂ්’ නමැති කළු – සුදු මිශ්‍ර අළු පැහැති සංකීර්ණගත චරිතය ප්‍රේක්ෂකාගාරයේ වඩාත් පැසසුමට ලක් විය. එය එක් පසෙකින් රන්ජන්ගේ සිනමා දිවියේ කඩඉමක් සනිටුහන් කළ සිනමා නිර්මාණයකි.
අදියුරු සිනමාකරු ලෙස්ටර් ජේමිස් පීරීස් අධ්‍යක්ෂණය කළ ‘අවරගිර’ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් සඳහා රන්ජන් රඟපෑමට වරම් ලැබීය. ඊට අමතරව රෝස වසන්තේ, බහුභාර්යා, අයදිමි සමා, දුවට මවක මිස වැනි සිනමාපට රන්ජන්ගේ රංග පෞරුෂය විදාහළ සිනමාපට වෙති. රන්ජන් චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසෙන්නේ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නමැති දේශපාලන ක්‍රමය දැඩි ලෙස හාස්‍යයට ලක් කරන සිනමාපටය මඟිනි. එය ප්‍රේක්ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගන්නේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමිනි. රන්ජන් විසින් අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටය වන ‘වන් ෂොට් වන්’ ලාංකේය ක්‍රියාදාම සිනමාවට නවමු හැඩයක් ගෙනාවෙය. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේම ‘විජේ’ නමැති ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර අයුක්තිය, අසාධාරණයට එරෙහිව සටන් වදින ජනතා වීරයාගේ භූමිකාව නිරූපණය කළේය. ඔහු අධ්‍යක්ෂණය කළ තෙවැනි චිත්‍රපටය වූයේ ‘ලීඩර්’ ය. සරසවිය සම්මාන උලෙළෙහි ජනප්‍රියම නළුවා යටතේ 2002, 2003, 2004, 2005, 2007 වර්ෂවලදී පැවැති 27, 28, 29, 30, 31 වැනි සරසවිය සම්මාන උලෙළවලදී පස්වතාවක් සම්මානයෙන් පුද ලද රන්ජන් 2007 වසරේදී පැවැත් වූ 31 වැනි සරසවිය සම්මාන උලෙළෙහි ‘නිලම්බරේ’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා සරසවිය සම්මානය දිනා ගැනීමට භාග්‍යවත් වූ අතර එම සම්මාන උලෙළේදීම 2005 වසරේ සරසවිය ජනපි‍්‍රය නළුවා සම්මානයට ද හිමිකම් කීමටද රන්ජන් සමත් වීම කැපී පෙනෙන සිදුවීමකි. එමෙන්ම ඔහු නොකඩවා වසර දහයක් ස්ලීමි නීල්සන් ජනප්‍රිය නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.
රන්ජන් ගායනා කළ චිත්‍රපට පසුබිම් ගීත අතරින් වඩාත් ප්‍රකට වූයේ ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතයයි. කැලුම් පාලිත මහිරත්න අධ්‍යක්ෂණය කළ ‘නිලම්බරේ’ චිත්‍රපටය සහ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපට හරහා රන්ජන් ප්‍රකට කළ රංගනය ඔහුගේ බාහිර ස්වරූපය වෙනස් කරගනිමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත් විය. රන්ජන් ජනප්‍රිය තරුවක් ලෙසින් දේශපාලනයට පිවිසීමට වරප්‍රසාද දිනාගත් නළුවෙකි. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය හරහා රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් රන්ජන් රාමනායක තම දිවියේ හොඳම අවධිය ක්‍රියාකාරී දේශපානය වෙනුවෙන් කැප කළේය. රන්ජන් රාමනායක සුපිරි තරුවක් ලෙස වඩාත් සාර්ථකත්වයක් අත්කරගත් ජනප්‍රියත්වයේ හිනි පෙත්තට ගිය රූපණවේදියකි.
සේයාරුව නිශ්ශංක විජේරත්න
මලින්ත විතානගේ