නිවස කළා පුවත් සිතුවමට පෙම් බැඳි රංජන්

සිතුවමට පෙම් බැඳි රංජන්

දෙවැනි සිතුවම් දැක්ම 14,15,16 තෙදින

by Thanushika
June 13, 2024 12:45 am 0 comment

පැන්සලක් , පාට කූරක් අතට හසු වුවහොත් බිත්ති පුරා බලි කුරුටු ඇදීම පුංචි දරුවන් ගේ සිරිතකි. එහි ඇත්තේ අමුතුම සුන්දරත්වයකි. එයට තහංචි දැමීම, තරවටු කිරීම දෙමව්පියන් විසින් නොකළ යුතු දෙයකි. තමාට රිසිසේ එවැනි දෑ කරගෙන යාමට ඉඩ දීමෙන් ළමා මනස නිදහසේ කලාවට යොමු වීමට ඇති හැකියාව ඉහළය. අනාගතයේ දක්ෂ නිර්මාණකරුවෙක් ඒ හරහා බිහිවිය හැකිය. එහෙත් ඇතැම් දෙමව්පියන් එය හරි හැටි වටහා නොගෙන කුඩා දරුවන්ට තරවටු කර, තහංචි දමන අවස්ථාද නැතුවා නොවෙයි. කුඩා කල තම දෙමපියන්ගේ කිසිදු තහංචියක් නොමැතිව බිත්ති පුරා බලි කුරුටු අදිමින්, බිත්ති හැඩ වැඩ කළ පුංචි පුතා පසු කාලයේ රටේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වීම කොතරම් නම් වාසනාවක්ද. ඒ දෙමව්පියන්ට කොතරම් සතුටක් ඇති වන්නට ඇත්ද.

එසේ බිත්ති පුරා බලි කුරුටු අදිමින් පසුව ශ්‍රී ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ අජිත් රංජන් ඒකනායක මෙවර සරසවිය සමඟින් කතා බහට එකතු වීම සතුටට කරුණකි. චිත්‍ර කලාවට ඔහු පිවිසී ඇත්තේ තමාගේ සහජ හැකියාවෙන් වීම විශේෂත්වයකි.

මට පොඩි කාලේ ඉදන් චිත්‍ර අඳින්න හැකියාවක් තිබුණා. අතට අහුවෙන පාට කූරකින්, පැන්සලකින් මම ගෙදර බිත්තිවල චිත්‍ර ඇන්ද. මගේ අම්මා තාත්තා ඒකට ඉඩ දුන්නා. ඉතින් මට ඕන විදිහට අදින්න නිදහස තිබුණා. පාසැල් ගියාට පස්සෙත් මම කළේ පොත පත පාඩම් කරනවාට වඩා චිත්‍ර ඇඳපු එක. වැඩිපුර ගැවසුණේ චිත්‍ර කාමරයේ.මම ඉගෙන ගත්තෙ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. මම පාසැල් කාලයේ කලා කටයුතු වලට ගොඩාක් සම්බන්ධ උණා. විශේෂයෙන් පාසලේ පැවති උත්සවවල සැරසිලි කටයුතු වලට සම්බන්ධ උණා. දැන් වගේ තාක්ෂණය දියුණු වෙලා තිබුණේ නැති නිසා අපි හැමදේම ඇන්දේ අතින්. ඒකත් එක හේතුවක් උණා මගේ හැකියාව වැඩි දියුණු වෙන්න. මම ලස්සනට චිත්‍ර ඇන්දත්, ඒව බලල හොඳයි කියල ඒව අගය කරල නම් නැහැ ගුරුවරු. එහෙම උණා කියල මම චිත්‍ර අඳින එක නතර කලෙත් නැහැ. සිනහ පිරි මුහුණින් යුතුව රංජන් තම පාසැල් අවදියේ සුන්දර මතකයන් අවදි කළේ එලෙසිනි.

” ඒ විදිහට දිගින් දිගටම චිත්‍ර කලාවට හිත ගිය නිසා පොත පතින් මම පොඩ්ඩක් ඈත් උණා. ඒත් චිත්‍ර විෂය හොඳින් දියුණු කර ගත්ත. මම පන්ති කාමරයට වඩා ආදරය කළේ චිත්‍ර කාමරයට.

ඔහුට ඕනෑකම තිබුණේ උසස් පෙළින් පසුව වෙළඳ දැන්වීම් ආයතනයක සේවය කිරීමටයි. මක්නිසාද, තම නිර්මාණ හැකියාව තව තවත් තීව්‍ර කර ගැනීමට එය රුකුලක් වන බැවිනි.

රංජන් ගැන කතා කිරීමේදී ඔහු චිත්‍ර කලාව උපතින්ම උරුම කරගත් තැනැත්තෙකි. ඔහුට එය ඉගෙන ගැනීමට විශේෂ ගුරුවරු සිටියේ නැත. ඔහුට උරුමව තිබුණේ තමන් උපතින්ම උරුම කරගෙන ආ තමා සතු දක්ෂතාවය පමණි.

රංජන් මහතා නැවතත් මා හා කතා බහට එක් වූයේ ඔහුගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව ඔහු නියැලුන වෘත්තීන් ගැන කතා බස් කරන්නටයි.

මගේ කැමැත්ත තිබුණේ උසස් පෙළින් පසු වෙළද දැන්වීම් ආයතනයක සේවය කරන්න. වෙළෙඳ චිත්‍ර ශිල්පියෙක් විදිහට. ඒ කාලේ අද වගේ තාක්ෂණය දියුණු නැහැ නේ. හැමදේම නිර්මාණය කළේ, ඇන්දේ අතින්. අද වගේ පරිගණකයෙන් චිත්‍ර නිර්මාණය කිරීමේ හැකියාව ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් ඒ විදිහට වෙළඳ චිත්‍ර ශිල්පියෙක් , කලා අධ්‍යක්ෂක කෙනෙක් විදිහට රටේ නම් දරාපු වෙළඳ දැන්වීම් ආයතන කීපයකම මම සේවය කළා විශ්‍රාම යන තුරුම. ඒ විදිහට වැඩ කරගෙන ගිය අතරේ මට එක්තරා පුවත්පතක කාටූන් චිත්‍ර ශිල්පියෙක් විදිහටත් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන කාටූන් චිත්‍ර කලාවත් හොදින් ප්‍රගුණ කළා. පසුව තාක්ෂණ දියුණුවත් සමඟම මම ඒ පැත්තෙනුත් හැකියාව ඇති කර ගත්ත.

තම ජීවිතයේ වසර ගණනාවක්ම තම වෘත්තිය වෙනුවෙන් කැප කළ රංජන්, දැන් විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනා අතරේ සිතුවම්වලට තවමත් පෙම් බඳීන බවක් මට දැනුනි.

එම නිසාවෙන් වත්මනෙහි රංජන් මහතා තම විශ්‍රාම දිවිය ගෙන යන අයුරු දැන ගැනීමට මම උත්සුක වුණෙමි.

” ඔව් විශ්‍රාම ගියාට පස්සේ මට හොඳට විවේකය ලැබුණා. ඉතින් ඒ කාලය ප්‍රයෝජනයට අරගෙන චිත්‍ර අඳින්න පටන් ගත්ත. නමුත් ඒක මම ව්‍යාපාරයක් විදිහට කරන්නෙ නැහැ. චිත්‍ර කලාවෙන් මුදල් ඉපයීමේ පරමාර්ථයක් මට නැහැ. ඒත් මගේ චිත්‍ර දැකල ඒවට ප්‍රිය කරන අය අරගෙන යනව.

ඔබ ජීවිතය ගත කරන්නෙ සිතුවම් අතර ම නිසා බොහෝ නිර්මාණ ප්‍රමාණයක් ඔබ සතුව ඇති නේද ?

“ඔව් මා ගාව තියෙනවා මම කරපු නිර්මාණ රාශියක් “.

එම කරුණ රංජන් මතක් කළ නිසා මෙම ලිපිය සැකසීමට මුල් වූ ප්‍රධානමතම හේතුව එතුමාගේ සිතුවම්වලට ප්‍රිය කරන කාටත් ප්‍රයෝජනයක් වනු ඇත.

ඔබ ඉදිරි දින වලදී සිදුකිරීමට නියමිත කටයුත්ත ගැන මේ දිනවල පවතින සූදානම ගැන දැනීමට බොහෝ දෙනා කැමැති වේවි.

” මම මගේ දෙවෙනි චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර අවසන්.

මෙවර රංජන් ඒකනායකගේ දෙවෙනි සිතුවම් දැක්ම පැවැත්වෙන්නේ සුන්දර මහනුවර පුරවරයේය. එය මෙම ජූනි මස 14, 15, සහ 16 යන තෙදින පුරා පැවැත්වීමට නියමිතයි . කාටත් එය නොමිලේම නැරඹීමට අවස්ථාව සලසා ඇත.

අචදණචද ඡ්ඬචදචරචඬඥ’ඵ ඕපභඵඩඵබපධඬඥඵ ධට ඉඥපඥදඪබර – 2 යනුවෙන් නම් කර තිබෙන මෙම සිතුවම් දැක්ම මහනුවර, ඩී. එස් සේනානායක මහජන පුස්තකාල පරිශ්‍රයේ “කරළිය” කලාගාරයේ පැවැත්වීමට නියමිතයි. එය පෙ.ව. 9.30 සිට ප.ව 7.00 දක්වා මහජනතාව සඳහා විවෘතව ඇත.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා දිය සායම්, රේඛා චිත්‍ර සහ කාටූන් චිත්‍ර නිර්මාණ රාශියක් ප්‍රදර්ශනයට තබා ඇති බව රංජන් මහතා පැවසීය.

ඒ මහතාගේ සිතුවම් අතරින් කාටුන් චිත්‍රවල විශේෂත්වයක් ඇත. ඒ ගැන මම රංජන් මහතගෙන් විමසීමට අමතක නොකළෙමි.

විශේෂයෙන් අතීතයේ සිංහල සිනමාවේ, සංගීත ලෝකයේ සිටි ප්‍රකට රංගන ශිල්පීන්ගේ රුව කාටූන් චිත්‍ර සඳහා යොදාගෙන තියෙනවා. ඒ වගේම ලෝ සුපතළ චරිත, දේශපාලන, ක්‍රීඩා චරිත ඇතුළත් කරල තියෙනවා.

ඔබේ ප්‍රථම සිතුවම් දැක්ම පැවැත්වුණේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත බ්. ඒ. ච් පෙරේරා ගුණානුස්මරණ ශාලාවේදී. එයත් ඉතාම සුන්දර සිතුවම් දැක්මක් බව සදහන් කළ යුතුයි.

එය මෙවර මහනුවර පැවැත්වීමට හේතුව හෙළිකිරීමට රංජන් අමතක කළේ නැත.

මම ඉපදුණේ නුවර. ගම්පළාත හුන්නස්ගිරිය. මම ඉගෙන ගත්තෙ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. ඉතින් ධර්මරාජයේ මගේ සමීපතමයින් එක්කාසු කරගෙන ප්‍රදර්ශනය නුවර තියන්න තීරණය කළා. පාසැල් කාලයේ සමකාලීන මිතුරන් එකතු වෙලා තමයි ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සංවිධානය කරන්නෙ. ඒක මට ලොකු ආඩම්බරයක් වගේම ජීවිතයේ පී‍්‍රතිමත් අවස්ථාවක් වෙයි කියල හිතනව.

ඔහුගේ සතුට ඔහුගේ වචනවලම රැඳී තිබෙන බව මට වැටහුණි. තමා උපතින්ම දෝත දරාගෙන ආ දස්කම් විස්කම් ලෝකයක් ඉදිරියේ පෙනෙනා විට රංජන්ට දැනෙන සතුට වචනවලට පෙරළා ගත නොහැකි බව මට වැටහුණි.

ඔහුගේ පාසැල් සගයින්, නැදෑ හිටවතුන්, රසිකයින් පිරිවරා සිදුවෙන මෙම අවස්ථාවට මහනුවර දිසාපතිතුමන් සහ මහ නුවර නාගරික කොමසාරිස්තුමිය විශේෂ අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතය.

මෙතෙක් ආ ගමන් මඟේ ඔහුට ජවයක්, ශක්තියක් සහ සහයෝගයක් ලබා දෙන ආදරණිය බිරිඳ සහ පුතණුවන් ගැන නොලියාම බැරිය.

මගේ බිරිඳ චන්ද්‍රා ඒකනායක. පුතා සඳුන් ඒකනායක. මගේ බිරිඳ, පුතා මට ලොකු සහයෝගයක් ලබා දෙනව මගේ නිර්මාණ කටයුතු වලට. මගේ බිරිඳටත් හොඳට චිත්‍ර අදින්න පුළුවන්.

මෙසේ කතා බහ ගලාගෙන යන අතරේ වත්මන් තරුණ පරපුරේ හැකියාව ගැන ද කතා කිරීමට රංජන් දැක්වූයේ දැඩි උනන්දුවකි.

“අද තාක්ෂණය හිතාගන්න බැරි තරම් දියුණුයි.බොහෝ නිර්මාණ සදහා යොදාගන්නේ දියුණු තාක්ෂණය. අපේ කාලේ වගේ නෙවෙයි දැන් තරුණ පරම්පරාවගේ තාක්ෂණික දැනුම ඉහළයි. ඒ වගේම ඕනම දෙයක් ඉගෙන ගන්න අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන්. වර්තමානයේ බොහෝ තරුණ පිරිස ඒ සදහා යොමු වී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ ලෝකෙට ම පෙන්නන්න පුළුවන් සමාජ මාධ්‍ය හරහා”

” මම ත් නිතරම තාක්ෂණය, අන්තර්ජාලය සමඟින් සම්බන්ධ වෙලා මගේ නිර්මාණ හැකියාව දියුණු කරගෙන තියෙනවා. ඒක රාමුවකට කොටු නොවී අපි ඉදිරියට ගියොත් තමයි හොඳ නිර්මාණ බිහිකරන්න පුළුවන්.

” ඉතින් මම තරුණ පරපුරෙන් ඉල්ලා සිටින්නේ තමාට යම් හැකියාවක් තියෙනවා නම් තමා විසින්ම එය දියුණු කරගන්න කියල “. ” වැඩි වශයෙන් කලාවට යොමු වෙන්න කියල “.

අජිත් රංජන් ඒකනායක ඉතාමත් නිහතමානී, සරල ජීවිතයක් ගත කරන සුන්දර කලාකරුවෙකි. නිතරම සිනහව මුහුණේ රඳවාගෙන කා සමඟත් ලෙන්ගතුව ජීවිතය ගත කරන තැනැත්තෙකි.

සිතුමවමට පෙම් බඳීන මේ අපූරු සිත්තරාගේ සිතුවම්වලට පෙම් කරන්නට, එහි සුන්දරත්වය විදින්න ට, සීතල කන්ද උඩරට රාජාධානියට පැමිණෙන ලෙස ඔබට ද ආරාධනා කරමින් අජිත් රංජන් ඒකනායක සරසවිය පිළිසදර හමාර කළේය.

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT