නිවස කළා පුවත් සිංහබාහු නීති විරෝධීව පටිගත කොට සමාජ මාධ්‍යයට

සිංහබාහු නීති විරෝධීව පටිගත කොට සමාජ මාධ්‍යයට

මුදාහළ පුද්ගලයා ජූලි 24 දක්වා බන්ධනාගාරයට

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහබාහු සිනමාපටය සිනමා ශාලාවක් තුළ හිඳීමින් අනවසරයෙන් සම්පූර්ණයෙන්ම පටිගත කොට ඉසුරු ශාන් බාලසුරිය නමැති පුද්ගලයෙකු facebook හා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර ඇත. එම පුවත අනාවර්ණය වීමෙන් පසු ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් කොළඹ පරිගණක අපරාධ විමර්ශන එකකට පැමිණිල්ලක් කරන ලදි. ඒ අනුව බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකා පොලිසියේ කොළඹ පරිගණක අපරාධ ඒකකයේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි ඇතුළු නිලධාරීන් විසින් මහනුවර ඒකකයේ සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහනුවර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව මාධ්‍යයට අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂකවරයා වන ආචාර්ය සෝමරත්න දිසානායක සඳහන් කළේය. ඔහු විසින් මුදාහළ එම සිනමා පටයේ දර්ශනය මේ වන විට මිලියනයකට අධික ප්‍රමාණයක් නරඹා ඇති බව වාර්තා වේ. විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇති සිංහබාහු සිනමාපටය කිසිදු අවසරයකින් තොරව මෙලෙස පටිගත කර ඇති බවයි වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. මේ වන විටත් ශ්‍රී ලාංකීය සිනමා ශාලා තුළ අති සාර්ථකව තිරගත වන සිංහබාහු සිනමා පටයට කර ඇති ආර්ථිකමය හානිය ගණනය කළ නොහැකි බවයි ආචාර්ය සෝමරත්න දිසානායක සහ නිෂ්පාදකවරුන් වන ගාමිණී වික්‍රමසිංහ හා රේණුකා බාලසූරිය පැවසුවේ. අධ්‍යක්ෂකවරුන්ගේ සංසදයේ සභාපති ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සඳහන් කළේ මේ මොහොතේ සිට ගතයුතු හොඳම පියවර ලෙස නිර්මාණකරුවන් හැටියට සිනමා ශාලාවන් තුළට කැමරා උපකරණ සහ ජංගම දුරකථන ගෙන යාම නවතාලීමට ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. මතුවටද මෙවන් කරුණක් සිදු වුවහොත් ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සිනමා ක්ෂේත්‍රයේ නියුතු අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් හා රංගන ශිල්පීන් සාමාජිකයන් ඇතුළත්ව සියලු දෙනාව දැනුම්වත් කිරිම පිළිබඳ සංවාදයක් ඇති කිරීම ද මෙමඟින් සිදු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සිනමා ක්ෂේත්‍රයේ වෙනුවෙන් එවැනි අකටයුතුකම් සිදුවුවහොත් ගතයුතු ඉදිරි නීතිමය පියවර පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමට පැමිණ සිටි අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු පියවර ගත්හ.

නීතිඥවරුන්, අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, සිනමාශාලා හිමියන් සහ බෙදා හරින මණ්ඩල මාධ්‍ය හමුවේදී සඳහන් කළේ සිනමා ශාලාව තුළට ඇතුළුවන ප්‍රේක්ෂකයන් සිනමා පටය රූගත කිරීමට එරෙහිව පියවර ගතයුතු බවය. එයට අදාළ අණ පනත් චිත්‍රපට සංස්ථාව හරහා රජයේ විෂය භාර ඇමතිවරයාගේ පූර්ණ අනුදැනුම ඇතිව ස්ථාපිත කළ යුතු බවයි. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක පරාක්‍රම නිරිඇල්ල එහිදී සඳහන් කළේ සමාජ මාධ්‍ය ජාලයේ තියෙන විෂමතාවයන් පිළිබඳ දැඩි නීතිරීති මාලාවක් ගෙන ක්ෂේත්‍රය රැක ගැනීමට සියලූම දෙනා එකමුතු විය යුතු බවයි.

 

- නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT