ඇය පවුලේ එකම දරුවාය. කුඩාකල සිට පෙම් බැන්ඳේ සංගීතයටය. ඇගේ පියා වෛද්‍යවරයෙකු වුවත් ඇය තෝරා ගත්තේ කලාවයි. සුන්දර රුවක් සමඟින් මිහිරි හඬකට උරුමකම් කියන ඇය රුචිනි විජේසුන්දරයි. ඇය මේ වනවිට දක්ෂ ගායිකාවකි. එහෙත් රුචිනි එක් රැයකින් ජනප්‍රිය නොවූ ගායිකාවකි. ඇය සංගීත ලෝකයේ ඉතා සීරුවෙන් ගමන් කරන තැනැත්තියකි. ඇය ගායනා කරන නවතම ගීතය වන ‘ සිනාසී හඬනවා’ පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට හැකිවිය. ඇය සරසවිය සමඟින් කළ මේ කතාබහ ඒ ගැනයි.
මම අවුරුදු හයකට පමණ පසුව තමයි අලුතින් ගීතයක් ගායනා කළේ. මින් පෙර ගීත දහයක් පමණ ගායනා කර තිබෙනවා. ‘සිනාසී හඬනවා’ මගේ අලුත්ම ගීතයයි. බොහෝ අය අසනවා සිනාසෙනවද, නැත්නම් හඬනවද කියලා. මෙම ගීතය අපේ දක්ෂ රංගන ශිල්පියෙකු වන කලණ ගුණසේකර අතින් ලියැවුණ ගීතයක්. ගීතයේ අදහස ඔහුගේමයි. මෙම ගීතය යුග ගීයක්. මට ගායනයෙන් සහය වෙන්නේ යොවුන් ගායක යොහාන් රණසිංහයි.
මෙම ගීතය සරල ගීතයක් ලෙස දැනුණත් එහි ගැඹුරු අදහසක් ගැබ් වී තිබෙනවා. අපි කවුරුත් කැමතියි ආදරය විඳීන්න. ආදරයට ආදරය කරන්න. නිතරම සොයන්නෙත් ආදරය. ආදරය ඇතුළේ සතුට, දුක, තනිකම මේ සියල්ල තිබෙනවා. ඇතැම්විට ආදරය ඉදිරියේ අපි තනිවෙනවා. අසරණ වෙනවා. එය හොඳීන් දැන දැනත් ආදරය තිබෙන තැන අපි නතර වෙනවා. එසේ වූවිට ආදරයෙන් ඈත් වෙන්න අපි අකමැතියි. මේ සියලුම කාරණා එකට කැටි කොට ලියැවුණු අපූරු ගීතයක් තමයි ‘ සිනාසී හඬනවා කියන්නේ.
වර්තමානයේ ගීතයක් ගායනා කළ විට එය ජනප්‍රිය කරගන්න, රසිකයන් අතරට ගෙන යන්න රූප රචනාවක් අවශ්‍යමයි. ‘ සිනාසී හඬනවා’ ගීතයටත් ලස්සන රූප රචනාවක් කළා. එය නිර්මාණය වුණෙත් කලණ ගුණසේකර විසින්මයි. අපි රූගත කිරීම් සඳහා තෝරා ගත්තේ කොළඹින් පිටත. රිවස්ටන්, සෙම්බුවත්ත වැනි ලංකාවේ තිබෙන සුන්දර ප්‍රදේශ කිහිපයක්. ආදරයක් ගැන කියවුණත් මෙහි පිරිමි චරිත නැහැ. රූප රචනාවේ පෙනී සිටින්නෙත් මම සහ අශානි දිනුත්තරා. ‘ සිනාසී හඬනවා ගීතය යූ ටියුබ් ඔස්සේ මුදා හැරියේ මීට මාසයකට පමණ පෙර. මේ වනවිට ඉතා ඉහළ ප්‍රතිචාර ඒ සඳහා ලැබෙනවා.
මම කැමතියි විවිධ ශානරයන් ඔස්සේ ගීත ගායනා කරන්න. ගීත ගායනයට යොමුවුණේ කුඩා අවධියේ පටන්මයි. පාසලේ දී සංගීතයට එතරම් නැඹුරුවක් නොතිබුණත් ඒ කාලයේ සිට ගීත ගැයීමට අවශ්‍ය වටපිටාව සකසා ගත්තා. භාත්ඛණ්ඩේ විභාගය මම සමත් වුණා. සචිනි අත්තනායක මහත්මිය යටතේ හඬ පුහුණුව හැදෑරුවා. ඒ වගේම මම කැමැත්ත තිබුණේ සංගීතයේ විවිධ පැතිකඩ ගැන අධ්‍යයනයක් ලබන්න. ඒ නිසා මම වසර තුනක් ගයාත්‍රී කේමදාස යටතේ ඔපෙරා කලාව හැදෑරුවා. කේමදාස පදනමෙන් සංවිධානය කළ ඔපෙරා වැඩසටහන්වලට මමත් දායකත්වය ලබා දුන්නා. ඔපෙරා කලාව ඉගෙන ගත්තත් ඒ ආශ්‍රයෙන් ගීතයක් නිර්මාණය කර ගායනා කරන්න තවම අවස්ථාවක් සැලසුණේ නැහැ. එහෙත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔපෙරා ශෛලියෙන් ගීතයක් ගායනා කරන්න. මීට වසර හතරකට පමණ පෙර සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාවට මම දායකත්වය ලබා දුන්නා.
මම සෑම විටම බලාපොරොත්තු වන්නේ ගුණාත්මක බවින් යුතු ගීත ගායනා කරන්න. මගේ ගීතවල සුභාවිත ගීතත් සරල ගීතත් යන දෙවර්ගයම අඩංගු වී තිබෙනවා. කුමන හෝ ගීතයක් ගායනා කරල එක් රැයකින් ජනප්‍රිය වීමට මට අවශ්‍ය නැහැ. මම ගායනා කළ එක් ගීතයක් හෝ කෙනෙකුගේ හිතේ රැඳෙන එක තමයි මට වටින්නේ. ඔවුන් ඒ ගීතය අසා සතුටු වනවා නම් එය මගේ සතුටට හේතුවක්. මගේ නවතම ගීතය වන ‘ සිනාසී හඬනවා’ රූපවාහිනී නාළිකාවලට හෝ ගුවන් විදුලි නාළිකාවලට තවම ලබා දුන්නේ නැහැ. යූ ටියුබ් නාළිකා ඔස්සේ පමණයි ගීතය මුදා හැරියේ. මේ වන විට සතුටු දායක ප්‍රතිචාර ඒ සඳහා ලැබෙනවා. මා මෙතෙක් ගායනා කළ ගී අතරින් ‘ සිනාසී හඬනවා’ ගීතයට විශේෂ ප්‍රතිචාර ලැබෙනවා.
මම රැකියාව කරන්නේ මූල්‍ය ආයතනයක. එහිදී මට නිතර ගීත ගායනා කරන්න සිදුවෙනවා. ඒ ප්‍රසිද්ධියේ නෙවෙයි. ආයතනයේ වෙනත් අංශ වලට යාමට මට සිදුවන අවස්ථාවන් වලදී එහි සිටින මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලීම් මත මට ගීත ගායනා කරන්න සිදුවෙනවා. ඉතින් ඔවුන් ආදරණීය ඉල්ලීම් මට ඉවත දමන්න බැහැ. ඒ අවස්ථාවන් වලදී ගීතයක කොටසක් හෝ ගායනා කරල මම ඔවුන්ව සතුටු කරනවා.
මම කලාව පැත්තට යොමු වෙනවාට අම්මා , තාත්තාගෙන් මුලදී එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. එහෙත් මම කුඩා කාලයේ පටන් ආශා කළේ කලාවට. ඒ නිසා පසුව මගේ මව්පියන් එයට ඉඩ සලසා දුන්නා. මගේ පියා වෛද්‍යවරයෙක්. ඔහුට බටහිර සංගීතය පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. ඒ වගේම හොඳීන් ගීත ගැයීමටද හැකියාවක් තිබෙනවා. මගේ අම්මා මගේ සෑම කටයුත්තකදීම මා පිටුපස සිට සහයෝගය ලබා දෙනවා.
ගායනයට මෙන්ම රංගනයටත් මම කැමැත්තක් දක්වනවා. මට ඒ සඳහා ආරාධනා ලැබෙනවා. ඇතැම් අය මගේ ශරීරය දෙස බලා විකට චරිත සඳහා ආරාධනා කරනවා. මා එයට එතරම් කැමැත්තක් නැහැ. චරිතයකට අනුගත විය යුත්තේ දක්ෂතාවය මත මිසක් ශරීරය ගැන සිතා නෙවෙයි. මම මගේ ශරීරය ගැන නොසිතා ලස්සනට හැඳ පැලඳ ඉන්නවා. එවිට තමයි අපේ පෞරුෂය කැපී පෙනෙන්නේ. සිනමාවට හෝ ටෙලිනාට්‍ය වලට මට කළ හැකි චරිතයක් ලැබුණොත් රංගනය ගැනත් සිතා බලනවා.
මෙතෙක් මා ගායනා කළ ගීත එකතුවකින් කවදා හෝ ප්‍රසංගයක් සංවිධානය කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. මම ගායනා කළ ගීත වලට සංගීතය සැපයූ සහ සහය දුන් පිරිසක් සිටිනවා. සංගීත අධ්‍යක්ෂකවරුන් වන සුරේෂ් මාලියැද්ද, නාලක අංජන කුමාර, රෝහණ ධර්මකීර්ති වැනි ප්‍රවීණයන් ද අශාන් ප්‍රනාන්දු සහ දිලුම් ටෙල්ශින වගේ නව පරපුරේ සංගීත නිර්මාණ ශිල්පීන්ද මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම විශාරද එඩ්වඩ් ජයකොඩි මම ඉතාමත් ගරු කරන චරිතයක්. ඔහු මා කවුද කියාවත් හරි හැටි නොදැන මට දීපු සහය අපමණයි. එය මම සෑම විටම අගය කරනවා.
රැකියාවක නිරත වුවත් මම කලාව අත් හරින්නේ නැහැ. අපේ ජීවිත වලට කලාව අවශ්‍යමයි. මගේ ගීත නිර්මාණය කරන විට මම අනුග්‍රාහක භවතුන්ගේ සහය ලබාගෙන නැහැ. ගීත රචනා කරගැනීමේ සිට රූප රචනය දක්වා වූ සියලු වැඩකටයුතු වලදී එයට අවශ්‍ය වියදම් දරන්නේ මමයි. මා එසේ කරන්නෙ සංගීතයට , ගායනයට තිබෙන ආශාව නිසාමයි.
මම මගේ ආදරණීය රසික පිරිසගෙන් ඉල්ලා සිටිනවා ‘ සිනාසී හඬනවා’ ගීතය අසා රස විඳීන්න. එහි ගුණදොස් මට කියන්න. එය මගේ ඉදිරි සංගීත ජීවිතයට මහඟු රුකුලක් වෙයි. අවසානයේ මම මෙසේ කියන්නම්.
” සෑම සිනාවක් පිටුපසම හැඬුමක් තිබෙනවා වගේම සෑම හැඬුමක් පිටුපසම සිනාවක් තිබෙනවා”
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය
