Home » සාර්ථක අත්හදාබැලීමක්

සාර්ථක අත්හදාබැලීමක්

by Mahesh
May 1, 2025 12:30 am 0 comment

මිනිස් චරිත හා ඒ සමඟ බැඳෙන සිදුවීම් සුලබ හෝ නව්‍ය ආකාර සහිතව පෙළ ගස්වන සිනමාපට, සිනමාව සේ හඳුන්වා දෙන පසුබිමක සිනමාකරු සෝමරත්න දිසානායක ‘කපුටු කොහෝ’ මැයෙන් ගෙන එන්නේ සැබැවින්ම වෙනස් ලකුණු සමුදායක් සහිත සිනමාපටයකි. ඔහු මෙය පර්යේෂණාත්මක කටයුත්තක් සේ හඳුන්වා දෙන්නේ අදාළ හේතු නොසඟවා ප්‍රකට කෙරෙන නිසාවෙනි. පළමු අරමුණ සේ ගිණිය හැකි ළමා රසික අවධානය දිනා ගැනීමය යන්න පරයා නව සිනමා මාදිලියක්‌ පිළිබඳ අදහසක් මේ ඔස්සේ පැමිණෙන වග පැහැදිලිය.

සිනමාකරු සෝමරත්නගේ අතීත සිනමා භාවිතය සතු මුල් පෙළේ ලකුණක් වනුයේද ළමා රසික අවධානය තීව්‍ර කර ගැනීමයි. කෙසේ නමුදු ඔහු සැබවින්ම ළමා සිනමා භාවිතයක් කරා සපැමිණි සිනමාකරුවකුද යන පැනය විසඳුම් රහිතව තවදුරටත් පවතී. ළමා චරිත පෙරට ගෙන ඒමත්, තීරණාත්මක සිදුවීම් සඳහා ළමා චරිත මුල් කොට ගැනීමත්, ඒවායේ ඵල නෙළා ගැනීමේදී ළමා චරිත වැදගත් වීමත් යනාදී හේතු විෂයෙහි මෙම සිනමාපට ළමා රසික අවධානයට වරෙක විස්මයජනක අන්දමින්ද ලක්වූ වග සඳහන් කළ යුතුමය. මෙහිලා ඔහු ළමා රසික සිත් සතන් පුබුදු කරලීම පහසු නොවන කරුණු පළමු තේමා සේ තෝරාගත් බවද පෙනේ. ඉන් වඩාත්ම කැපී පෙනෙන්නේ සිරිලක ජනයාගේ වාර්ගික වෙනස්කම් පිළිබඳ කතාබහයි.

‘කපුටු කොහෝ’ හඳුනා ගත හැක්කේ සිනමාකරු සෝමරත්නගේ මෙම කතාබහ නව වටයකින් ගෙන හැර පාන්නට දරු ප්‍රයත්නයක් විලසිනි. පෙර පරිදිම ඔහු මේ හරහා රැගෙන එන පණිවුඩය නිරවුල්ය. එනම් වාර්ගික වෙනස්කම් නොසලකා සමීපව, සුහදව හා එකඟතා සහිතව විසීම ආහ්ලාදජනකය යන්නයි. නිර්මාපකයකුගේ කටයුත්ත වනුයේ පණිවුඩ රැගෙන ඒම නොවන බව කියැවෙන අවස්ථා තවදුරටත් සක්‍රියව පවතින බව රහසක් නොවේ. එනමුදු නිර්මාපකයන් විසින් දැන හෝ නොදැන පණිවුඩ රැගෙන එන අවස්ථා නිරතුරුවම පවතින අන්දම නිශ්චය කිරීම පහසුය. සිනමාවටද මේ සත්තකින්ම අදාළ වන්නකි.

කෙසේ නමුත් මිනිස් නොවන චරිත සමුච්චයක් සමඟ වේදිකා නාට්‍ය ස්වරූපය පෙරදැරි කොට ගෙන රසිකාගාරය කරා ‘කපුටු කොහෝ’ පැමිණෙන විලාසය හේතුවෙන් උද්ගත වන උක්ත පණිවුඩ දැක්වීමේ ගැටලුකාරී බව දෙස වෙනත් ආකාරයකින් බැලීමේ අවකාශයක් උදා වන බව පෙනේ. එනම් ‘කපුටු කොහෝ’ සිරිලක සිනමාවට නව්‍ය අත්දැකීමක් බවට පත්කරලනු පිණිස සිනමාකරු සෝමරත්න දක්වන වෑයමට සමගාමීවය. නිසැකවම මෙය අවදානම් සහගත වෑයමකි.ඔහු මිට පෙර අවස්ථා දෙක තුනකදීම අවදානම් සහගත තීන්දු ගත් බව සිහිකටයුතුය . ඉන් ලද සමහර පසුබෑම් පිළිබඳ මතකයද නොනැසී පවතී. මෙවර පැමිණ ඇත්තේද එම අවදානම පෙරට වඩා තහවුරු වූ අවස්ථාවකි. මෙම අවදානම වෙළෙඳ පොළේදී ජය ගන්නේ නම් අන් සිනමාකරුවකු- සිනමා නිපැයුම්කරුවකු මේ මාදිලියේ සිනමාපටයක් නිමවීම කෙරෙහි උනන්දු වන්නට වුව ඉඩ තිබේ. සිනමාකරු සෝමරත්න අනුදත් මඟටම පිළිපන් සිනමාකරුවන් හා සිනමා නිපැයුම්කරුවන් නොසිටි වගක් නොපෙනේ.

සිනමාකරු සෝමරත්න ‘කපුටු කොහෝ’ හිදී සපුරා ගන්නා වැදගත්ම ජයක් වනුයේ එය නීරස හා වෙහෙසකර අත්දැකීමක් බවට පත් කර නොගැනීමය. වේදිකා නාට්‍යයක් රඟ දැක්වේ. පාත්‍ර වර්ගයා සියොතුන්ය. කපුටු යුවළකි. කොවුල් යුවළකි. ඔවුනගේ දරුවන් සතර දෙනෙකි. දෙබස් සීමිතය. ගීත නිරතුරුවය. සංගීත කණ්ඩායම රසිකයාට දිස් නොවේ. සිනමාපටය නිමා කරන්නේ වේදිකා නාට්‍යයක නිමාව මෙන් නළු නිළියන් ඇතුළු පිරිස් සමඟ නිර්මාපකයාද රසිකයා හමුවට පැමිණ ආචාර කිරීමෙනි. වැඩිහිටි රසිකයා මෙයින් ලබන ආස්වාදය බැහැර නොකළ යුතුය. ඇතැම් ගී සතු වදන් නිසිව නොඇසෙන අවස්ථා හමුවේ. එනමුදු සමස්තය පිළිබඳ වැටහීමකින් යුතු රසිකයකු ඉන් දුර්මුඛ නොවන බව පෙනී යයි. ගී පද රචනා මතම රැඳෙන්නට සිනමාකරු සෝමරත්න උත්සුක නොවීමද මෙතැනට ගළපා ගත යුතු වන්නක් වේ.අතරින් පතර දොඩන වදන් නිසා රසිකාගාරය පන ලබයි. ඇතැම් කරුණු ළමා රසිකයාට දුරස්ථය. සෝමරත්න පෙරදීද ළමා රසිකයා අමතන්නේ වැඩිහිටියන් අමතක නොකරමිනි. මෙවරද එම පිළිවෙත් අනුගමනයට ඔහු නොපැකිළෙන සෙයකි. කපුටු යුවළ හා කොවුල් යුවළ මේ වැඩිහිටි රසිකයන් ඇද බැඳ තබා ගැනීමේ සිනමාකරු සෝමරත්නගේ වුවමනාව ඉටු කරති.

වේදිකා නාට්‍යයක් දත හැක්කේ රසිකයා රඟහල තුළ රැඳී සිටින තැනට සාපේක්ෂවය. අන් තැනක රැඳී සිටින රසිකයකු අලුත් යමක් දකින්නටද ඉඩ තිබේ . එසේම පෙර රසිකයා දුටු යමක් නොදකින අවස්ථාද පවතී. සෝමරත්න මේ හැඩ ගැසීම මුළුමනින්ම ඉවතලන්නේ වේදිකා නාට්‍යයක සිනමාවතරණය පිළිබඳ යම් සලකුණක් තබමිනි. කැමරාකරු වැඩිපුර සමීප රූප භාවිතයට උනන්දුවක් නොදක්වයි. එහෙත් අඩක් සමීප රූප ඒ ඒ චරිත කියවීම පිණිස ඔහු දිගින් දිගටම උපයෝගී කර ගන්නේ මූලික පණිවුඩය සුරැකෙන පරිදිය.

මේ අනුව කපුටු හා කොවුල් පවුල් සමඟ ඇසුරකට රසිකයා වෙත පහසුවක් සැලසේ. කෙසේ වුවද ඔවුන් හා අනන්‍ය වීමේ අවකාශයක් නම් නොමැති බව නොඅනුමානය. ළමා රසිකයන් වුව කපුටු පවුලක් හෝ කොවුල් පවුලක් තමනට සමීප නොවන බව දනී.

පාත්‍ර වර්ගයාගේ සියුම් ඉරියව් හසුකර ගැනීමට සිනමාකරු සෝමරත්න සමත් වන්නේ කැමරාකරු -විශ්වා බාලසූරිය ඊට ලබා දෙන අනුකූලතාවද නිසාය. මේ පවුල් ද්විත්වය අතර ඇති සමානතා සේම අසමානතා ඉන් නිශ්චය කර ගැනීමට පහසුකම් සැලසේ. සියලු චරිත වෙත සමාන රූපණ අවස්ථා ලබා දීමෙන් සිනමාකරු සිය පණිවුඩය සහේතුක කරන්නේද අනියමින් වුව කැමරා ශිල්පයේ සහයෙනි. කිසිවකු විරුවකු හෝ අදමිටුවකු බවට පත් නොකෙරේ. සිනමාපටය නිමා කරන විට ඇතැම් විරු ලකුණුද, අදමිටු ලකුණුද වියැකී ගොස් හමාරය.

කැමරාකරණය හා සිනමාකරු සෝමරත්නගේම තිරරචනය ඇතුළු අනුශාංගික අංග බොහොමයක්ම සිනමාපටයේ හැඩ රුව සතු දුලබ බව මැනැවින් වටහා ගෙන ඇති අන්දම දක්නට පුළුවන. මහාචාර්ය සමන් පනාපිටියගේ සංගීත නිර්මාණ හා සංස්කරණය ගැන වෙසෙසින් සඳහන් කිරීම යුක්තියුක්තය. ගායනා සම්බන්ධයෙන්ද පැවසිය හැක්කේ එකරුණමයි. වැඩිහිටි චරිත නිරූපණයට බට අභිලාෂි සන්තුෂ්කි, හර්ෂණ දිසානායක, අමන්දා උත්පලී හා ඩිලාන් වික්‍රමසිංහ යන සිව්දෙනා සිනමාපටයේ විලාසය ප්‍රමාණවත්ව වටහා ගෙන ඇති බව පෙනේ. මෙහිලා සිනමාකරු සෝමරත්නගේ මෙහෙයවීම ඉටුකළ කාර්යභාරය සැලකිය යුතු තරම්ය. ඔහු මේ කිසිවකුටත් අනෙකෙකු පරයා නැඟී සිටීමට අවකාශ නොසලසයි.

අවසන තිරය මත දක්වන සිනමාකරු සෝමරත්නගේ පණිවුඩය දනවන්නේ ආගන්තුක නොවන හැඟීමකි. කපුටු කූඩුවේ කෙවිලියක් බිත්තර දැමීමේ කතන්දරය සමඟ ඔහු පෙර කී පරිදිම පවසන්නේ එකම බිමක වෙසෙන කිසිවකුත් වාර්ගික අසමානතා නිසා දුරස් නොවිය යුතු බවය. සිනමාපටය ඇරඹුමේදීම වැඩිහිටි රසිකයන් මේ වග වටහා ගන්නේ ආයාසයකින් තොරවයි. නමුත් සිනමාකරු සෝමරත්නගේ උපායශීලී පිළිවෙත නිසා ළමා රසිකයන් මෙය වටහා ගන්නේ සියලු දෑ නිමාවූ පසු එළැඹෙන කපුටු – කොවුල් සුහද සමාගමය වෙතිනි.

‘කපුටු කොහෝ’සමඟ සෝමරත්න දිසානායකගේ ළමා රසික කේන්ද්‍රීය බව නව අදියරක් කරා පැමිණෙන අයුරු දැක ගත හැකිය. ඒ පෙරට වඩා ළමා රසිකයනට සමීප වන ලකුණු උද්දීපනය කරන හෙයිනි. මේ අනාගතය සඳහා සිදු කළ ආයෝජනයක්ද විය හැකිය.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT