Home » සාරංග අයියාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය මගේ පළමු චිත්‍රපට රංගනයයි

සාරංග අයියාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය මගේ පළමු චිත්‍රපට රංගනයයි

යොවුන් රංගන ශිල්පිනී සෙව්වන්දි හතුරුසිංහ

by Thanushika
January 30, 2025 9:11 am 0 comment

අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ඇගේත් පළමු සිනමා රංගනය විය. මේ දිනවල විකාශය වන දෙවැනි ඉනිමේ “ටීෂා” ඇයයි. “අහස්” ටෙලිනාට්‍යයේ “මීනු”ද ඇයයි. එසේම “ඇගේ කතාව” ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවෙන් ද ඇය ඔබ හමුවට එන්නීය. ලක් එෆ්.එම්. අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳී ඇය නිවේදිකාවක වශයෙන් කලා ක්ෂේත්‍රයේ දුරගමනක් යෑමේ අදිටනින් පසුවන්නීය. සෙව්වන්දි හතුරුසිංහ වන ඇය සරසවිය හා මෙසේ සම්මුඛ වූවාය.

සාරංග මෙන්ඩිස්ගේ කුලුඳුල් චිත්‍රපටයේ රංගනයට ඔබට අවස්ථාව ලැබුණා. එය ඔබේත් පළමු සිනමා රංගනය නේද….?

මට මුලින්ම සාරංග මෙන්ඩිස් අයියා මුණගැසෙන්නේ “දෙවැනි ඉනිම සීසන් 02″‘වලදීයි. ඒ හරහායි ඔහුගේ පළමු චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. මේ චරිතය මම හැකි උපරිමයෙන් නිරූපණය කරන්න අදහස් කරනවා. ඒවගේම මෙතරම් ඉක්මනින් මට සිනමාවට සම්බන්ධ වෙන්න හැකිවෙයි කියලා සිතුවේ නැහැ. මට මේ ලැබුණු අවස්ථාව බොහෝ වටිනවා. මම සාරංග අයියාගේ පළමු සිනමා නිර්මාණයට සුබපතනවා. මේක හොඳ වැඩක් වේවි කියා සිතනවා. සරංග මෙන්ඩිස් කියන්නේ සම්මානලාභී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ ටෙලිනාට්‍යයත් සාර්ථක වුණා. ඒවගේම ඔහුගේ පළමු චිත්‍රපටයත් අති සාර්ථක නිර්මාණයක් වේවි කියා මම සිතනවා

ප්‍රථම සිනමා රංගනය ඔබට කොහොමද දැනෙන්නේ….?

ප්‍රථම සිනමා රංගනය මට ඇත්තෙන්ම ලොකුම සතුටක්. එය මගේ ජයග්‍රහණයක් කිව්වත් හරි.මගේ සිහිනය සැබෑවීමක්. මගේ ඉදිරි නිර්මාණකරණ දිවියට මෙය හොඳ අවස්ථාවක්

පුංචි තිරයේ ඔබේ රංගන වපසරිය පැහැදිලි කරනවා නම් …….?

මම දැනට රංගනයෙන් දායකවී සිටිනවා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “ආයාචනා” ටෙලිනාට්‍යයට, හිරු නාළිකාවේ විකාශය වූ “පුංචි අන්දරේ”, රජ ගෙදර” ටෙලිනාට්‍යවලට. ඒවගේම “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යයට දායකවුණා. එහි “ටීෂා”ගේ චරිතයට පණ පොවනවා. “අහස්”හි “මීනු”ට ජීවය දෙනවා. “අහස්” සහ “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා.

රංගනයට යොමුවූ ආකාරය සිහිපත් කළොත් ….?

මගේ ගම මාතලේ. මට ඒ කාලයේ කොළඹ ඇවිත් රංගනයට සම්බන්ධ වීම ගැන සිතන්නත් අමාරු වුණා. ඒත් කුඩා කාලයේ ඉඳන්ම රංගන ශිල්පිනියක් වෙන්න සිහිනයක් තිබුණා. ගුරුවරුන් පවා කිව්වා ඔයාට නම් හරියන්නේ නිළියක් වෙන එකමයි කියලා. එක්තරා අවස්ථාවක ප්‍රධාන නාළිකාවක තිබූ අවුරුදු කුමරිය තරගයකට සම්බන්ධ වුණා. එහිදී අවසන් වටයට මාව තේරුණේ නැහැ. ඉන්පසු 2023දී ලක් එෆ්. එම්. අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳුවා තුන්වැනි ස්ථානය වශයෙන්. ඊටපස්සේ ප්‍රධාන රූපවාහිනී නාළිකාවක නිවේදනයට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිවේදන කටයුතුවලට තමයි මම කොළඹ එන්නේ. ඉන්පසු මම නිවේදන පාඨමාලාවකුත් හදාරනවා. Live  වැඩසටහන්වල පුහුණුවීම් කළා. ඒ හරහා තමයි මගේ යාළුවෙක් කිව්වේ ටෙලිනාට්‍යයකට කට්ටිය තෝරාගන්නවා කියලා ර්‍ථධඵබ එකක් දාලා තියෙනවා කියලා . මම ඒ ර්‍ථධඵබ එකට මගේ ෆොටෝස් දැම්මා. ඊටපස්සේ මට තිර පරීක්ෂණයට එන්න කියලා කැඳවීමක් කළා. එතැනින් තමයි මම රංගනයට පිවිසෙන්නේ. මම රඟපෑ බොහෝ චරිතවලට තේරුණේ තිර පරීක්ෂණ හරහායි..

මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සෙව්වන්දි හතුරුසිංහගේ භූමිකාව පැහැදිලි කළොත්…?

මම මොඩ්ලින් කරලා තියෙනවා. අවුරුදු 19න්, 20න් වගේ තමයි මම මොඩ්ලින් කරන්න පටන්ගත්තේ. මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ යම් හැදෑරීමක් ද සිදුකළා. මුලින්ම කළේත් මෝස්තර නිරූපණය තමයි…ෆොටෝ ෂූට්ස් එහෙමත් බොහෝමයක් කළා.

නිර්මාණයකට ආරාධනා ලැබුණම ඔබ මුලින්ම සලකා බලන මූලික කරුණු මොනවාද……?

එහිදී මම මුලින්ම සලකා බලන්නේ අදාළ නිර්මාණය කාගේද…? චරිතය කුමක්ද ……? ඒක මට කළ හැකිද…නොහැකි ද……? චරිතයේ වපසරිය කොයිවගේද …..? ආදී දේවල්

රඟපෑ චරිත අතරින් ඔබ වඩාත් කැමැත්තක් දක්වන චරිතයක් හෝ චරිත තිබෙනවද……?

එහෙම එක චරිතයක් කියලා කියන්නත් බැහැ. මම රඟපෑ සෑම චරිතයකටම මම හරිම ආදරෙයි.. ඒ සෑම චරිතයක්ම මට විශේෂයි. ඒ අතරින් “ඇගේ කතාව ” ඒකාංගික ටෙලිනාට්‍යයේ “පාරමී” මට විශේෂයි..ඒ චරිතයට මම කැමැතියි. කතරගම මල් විකුණන තරුණියකගේ චරිතයක් මම එහි නිරූපණය කළේ. එහි රූගතකිරීම් කළේත් කතරගම කිරිවෙහෙර මල් කඩයක් ළඟ…ගමක ජීවත්වන ගැමි තරුණියකගේ චරිතයක් රඟපාන්න හරිම ආසාවෙන් ඉන්නවා…ආදරය, කරුණාව, දුක, තරහව, සංවේදීත්වය හොඳීන් නිරූපණය වන ගැමි තරුණියකගේ චරිතයක් රඟපාන්න ආසයි…

රංගනය පිළිබඳ හැදෑරීමක් කර තිබෙනවද….?

ඔව්, රංගනය පිළිබඳ යම් හැදෑරීමක් කළා. රංගනය ගැන මම දැනගෙන හිටියේ නැහැ. මම ක්ෂේත්‍රයට ආවේ නිවේදනය සඳහානේ. නිවේදනයට ඇවිත් මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය සිදුකරන ගමන් ඒ පිළිබඳ රංගන පාඨමාලාවක් ද හැදෑරුවා. කොච්චර පාඨමාලා හැදැරුවත් ප්‍රායෝගිකව ටෙලිනාට්‍ය රංගනයට ගිහින් බලන්න ඕනේ එහි අත්දැකීම් මොනවද කියලා. මම හිතන්නේ හොඳම රංගන පාසල තමයි ටෙලිනාට්‍යයක රූගතකිරීම් සිදුකරන ස්ථානයට ගිහින් අධ්‍යයනය කිරීම…

නර්තනය තුළින් දක්ෂතා දක්වන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද ….?

නර්තනයේ දක්ෂතා දක්වන්න තවම විශේෂ අවස්ථාවක් ලැබී නැහැ. එහෙත් මම නර්තනය හදාරනවා. පාසල් කාලයේත් නර්තනය හැදෑරුවා. නර්තන කණ්ඩායම්වලත් මම හිටියා. තරගවලටත් සහභාගි වී තිබෙනවා. මේ වෙද්දිත් මම නර්තනය හදාරමින් පවතිනවා

කලා ක්ෂේත්‍රයේ දී ඔබ ගුරුතත්හිලා සලකන පිරිසකුත් ඇති….?

මම මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ තමයි රංගන පාඨමාලාවක් කළේ. මහේන්ද්‍ර පෙරේරා සර් මගේ ගුරුවරයා. මට මේ කලා ක්ෂේත්‍රයේදී ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් මුණගැසෙනවා.. ඔවුන්ගෙන් මම බොහෝදේ ලබාගෙන තිබෙනවා. නම් වශයෙන් ඔවුන්ව මතක් කරන්න අපහසුයි. නවකයන්ට අවස්ථාව ලබාදෙන ප්‍රවීණ පිරිසක් අපට ඉන්නවා. මෑතකාලයේ මට හමුවුණු එහෙම කෙනෙක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා. ඔහු සමඟ එක්තරා නිර්මාණයක රඟපාන්න මට අවස්ථාව උදාවුණා. එහිදී ඔහු මට රංගනය පිළිබඳ බොහෝ දෑ කියලා දුන්නා. ප්‍රවීණයන් බොහෝදෙනෙක් මට හමුවී තිබෙනවා. ඔවුන් සියල්ලන්ම ගුරුවරුන් විදිහට හඳුන්වන්න කැමැතියි. ඔවුන්ගෙන් මම මොනවා හෝ දෙයක් ඉගෙනගෙන තියෙනවා

රංගනයට පිවිසෙන නවක තරුණ තරුණියන් ගැන මොකද හිතෙන්නේ……?

රංගනයට යොමුවෙන නවක තරුණ තරුණියන් ගත්තොත් ඔවුන් අතර ගොඩක් දක්ෂ පිරිසක් සිටිනවා. ඒ වගේම ඔවුන් අතර මාර තරගයක් තිබෙන්නේ. අද වෙද්දි රංගනයට පිවිසෙන්න තිබෙන මාර්ග බොහෝමයක් තියෙනවා. සමාජ මාධ්‍ය ආදිය උදාහරණ ලෙස කියන්න පුළුවන්.

රංගන දිවියේදී අමතක නොවන සිදුවීම් එහෙමත් සිදුවෙලා ඇති…..?

එක්තරා ටෙලිනාට්‍යයක මට දියණියකගේ චරිතය රඟපාන්න තිබ්බේ…. ඒ චරිතය තරමක් මෝඩ, බොළඳ චරිතයක්. එහිදී යම් බහින්බස්වීමක් සිදුවී මට අම්මා පහරදෙනවා.. මව මට පහරදෙන අවස්ථාව රූගත කිරීමේදී අම්මාට රඟපෑ කෙනාට ඒ චරිතයේ එකී අවස්ථාව නිවැරදිව කරගත නොහැකිව  Take  4-5කට යන්න වුණා.. එදා මගේ ඇඟ බොහෝසෙයින් තුවාල වුණා…නියපොතුවලට, බෙල්ල, අත් එහෙම සීරී තිබුණා. ඒකනම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත්……?

මම ක්ෂේත්‍රයට පැමිණ සුළු කාලයයි. ඉදිරියේදී නිර්මාණ කිහිපයකට යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට ටෙලිනාට්‍ය 02කට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.. තවමත් ඒවායේ රූගතකිරීම් පටන්ගෙන නැහැ. මේ දිනවල රූගතකිරීම් සිදුකරන “කල්පනා” ඉදිරියේදී තිරගත වේවි.

කලා ලොවේදී ඔබට උදව් කළ පිරිස සිහිකළොත්…..?

කලා ලොවේ බොහෝ සුන්දර මිනිසුන් ඉන්නවා.මට යහළුවෝ ගොඩාක්ම නැහැ. හැබැයි මට උදව් කරන, මගේ අනාගත ගමන ගැන සිතන කිහිපදෙනෙක් ඉන්නවා

ඔබටත් අනාගත සිහිනයක් ඇති…..? මිනිස්සු හැමෝටම වගේ අරමුණක්, සිහිනයක් තිබෙනවා. මගේ ලොකුම සිහිනයක් තමයි කවදා හෝ දක්ෂ රංගන ශිල්පිනියක් වීම. අපි සිහිනවලට උත්සාහ කරන්න ඕනේ. ඒවගේම හැමදේටම අපට වේලාවක් කියලා දෙයක් තිබෙනවා. මම සිතනවා තවම මගේ හරිම වේලාව ඇවිත් නැහැ කියලා. හැබැයි මම මගේ උත්සාහය අතහරින්නේ නැහැ. මේ නව වසර අපි වගේ සිහින දකින නවක රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට සුබ නව වසරක් වේවි කියා සිතනවා.

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT