මේ දිනවල “පිරිමි ආදරයක්” ගැන කාගේත් කතාබහට ලක්ව තිබේ…නම ඇසූ පමණින් එකිනෙකා අතර යම් කුකුසක් මතුවීම ද නොවැළැක්විය හැකිය….ඇත්තෙන්ම මොකද්ද මේ “පිරිමි ආදරයක්” කියන්නේ …? ඒ ගැන හරියටම දැනගන්න පසුගියදා එකී චිත්‍රපටයේ අධ්‍යක්ෂ එරංග සේනාරත්න හමුවීමි…එරංග සිය නවතම චිත්‍රපටය වූ “පිරිමි ආදරයක්” ගැනත් සිය නිර්මාණ දිවිය පිළිබඳවත් හඬ අවදි කළේ මෙලෙසිනි
“පිරිමි ආදරයක්” කියන්නේ මොකද්ද ? කොහොමද මෙම නිර්මාණයට අදහස පහළවුණේ…?
“පිරිමි ආදරයක්” පිළිබඳ මුලින්ම තිර රචනය ලියන්නේ ඩිනලි රොෂාන්ති සේනාරත්න නමැති මගේ බිරිඳයි. ලාංකේය සිනමාවේ තුළ ආදරය ගැන බොහෝ සේ සුලබව මීට පෙර කතා කර තිබුණා. මට මෙහිදී අවශ්‍ය වුණා ආදරයේ වෙනස් පැතිකඩක් සිනමාව හරහා කතා කරන්න.ඒ වෙනස් පැතිකඩ කතා කරන්න ගන්නා උත්සාහයක් තමයි “පිරිමි ආදරයක්” කියන්නේ. මෙහි මූලික ප්‍රස්තුතය වෙන්නේම කාන්තාවක්. ඇය ආදරය කළ පෙම්වතා හදිසි අනතුරකින් මියගියත් ඇගේ ආදරය ඇය තුළම තිබෙනවා. කායිකව ඔහු මියගියත් ආත්මිකව ඔහු ඇය එක්ක ජීවත්වෙනවා. ඇයව ආරක්ෂා කරනවා කියන ලෝකයක ඇය තනිවෙනවා. ඒවගේම ඇය රැකියාවට ගොස් ආවත් ඔහුගේ ඡායාරූපය ඉදිරියේ ඇයට සිදුවූ දේවල් ඔහු සමඟ කතා කරමින් දොඩමළු වෙනවා. ඇය වැනි රූමත් තරුණියක් සමාජය සමඟ ගනුදෙනු කිරීමේදී පිරිමින්ගේ ආකර්ෂණයට ලක්වීම සහ එහෙම පිරිමින් දෙදෙනෙක් ඇය කරා පැමිණීම තුළ තමයි මෙහි මූලික ගැටුම නිර්මාණය වෙන්නේ. ගැහැනියකට සමාජයේ තනිව ජීවත්විය හැකිද යන්නත්, මියගිය සැමියා ජීවිත කාලය පුරාම ඇය එක්ක කායිකව නැතත් මානසිකව ඇය තුළ ජීවත්වෙනවා. ඒ ආදරය නිසා ඇය ජීවත්වෙනවා කියනදේත් පිළිබඳ තමයි මේ චිත්‍රපටය ඇතුළේ කතාකළේ. මට මේ සමාජයේ එහෙම කාන්තාවන් සහ පිරිමින් මුණගැසී තිබෙනවා. ඇත්තටම ඒක හරිම සුවිශේෂියි. මෙය මම සමාජයෙන්ම ඇහිදාගත් කතා තේමාවක් කීවොත් නිවැරදියි. මෙහි තිර රචනය කාන්තාවක් විසින් ලියන නිසා එය කාන්තා දෘෂ්ටිකෝණයෙන් තමයි මා අතට පත්වෙන්නේ. එකී දෘෂ්ටිය සිනමා කෘතියක් බවට පත්වනුයේ මගේ හෙවත් පුරුෂයාගේ ඇසත් මෙයට එකතු කිරීමෙන් . මේ ගනුදෙනුවෙන් ආදරය පිළිබඳ අපූරු අර්ථකථනයක් චිත්‍රපටය තුළින් මතුවුණා කියන දේ දැනටමත් ලැබෙන ප්‍රතිචාර අනුව පැහැදිලියි. මෙය තවත් එක් ආදර කතාවක් නෙවෙයි. ඊට එහා ගිය දෙයක් කියන දේ ප්‍රේක්ෂකයා තේරුම් ගෙන තිබෙනවා. ප්‍රේක්ෂකයාටත් මෙහිදී සිතන්න කාරණා ඉතිරිවී තිබෙනවා. මා සිතනවා එය හොඳ සංවාදයකට කවුළුවක් විවෘත වීමක් කියලා. “පිරිමි ආදරයක්” නම දෙස මතුපිටින් බලන සමහරු වෙනස් අර්ථකථනවලට ගිහින් තිබෙනවා. පිරිමි සමරිසි සම්බන්ධයක් ගැන කතා කරන චිත්‍රපටයක්ද කියා සමහරු මගෙන් ප්‍රශ්න කළා. මෙහිදී පැහැදිලිව කිවයුතුයි මෙහි සමරිසි සම්බන්ධයක් ගැන කොහෙත්ම කතාවෙන්නේ නැහැ. ගැහැනිය සහ මිනිසා පිළිබඳ අන්‍යෙන්‍ය අවබෝධය, ආදරය ගැන කතා කරන චිත්‍රපටයක් මේක. සෑම ගැහැනියක්ම බලාපොරොත්තු වෙන්නේ පිරිමියකුගේ ආදරයේ ආරක්ෂාව, රැකවරණය, මඟපෙන්වීම ආදියයි. ඒ කියන්නේ නියම “පිරිමි ආදරයක්” බලාපොරොත්තු වෙන්නේ. එකී අදහසිනුයි මේ චිත්‍රපටයට “පිරිමි ආදරයක්” නම යෙදුවේ. ඒවගේම චිත්‍රපටය තවත් ඉමකට ගෙනයනවා. මා කැමැතියි එය චිත්‍රපටය නැරඹීමෙන්ම ප්‍රේක්ෂකයා වටහාගන්නවට
මෙහි තිර රචනය ලියුවේ ඔබේ බිරිඳ. තිර රචනය ලියන සමයේ ඇය සහ ඔබ අතර ගනුදෙනුව සිදුවන්නේ කෙසේද……?
තිර නාටකය සමාප්ත කරගැනීමට පෙර අප දෙදෙනා අතර විශාල සංවාද , විසංවාද, මතගැටුම් ගණනාවක් ඇතිවුණා . මෑතකාලයේ මගේ නිර්මාණ කිහිපයකම තිර රචනය ලිව්වේත් ඩිනලියි. මගේ නිර්මාණ දිවියේ සිටින ප්‍රබලම විචාරිකාව ඇයයි. බොහෝ අවස්ථාවල තිර රචනය ලියන සමයේ අප දෙදෙනා අතර මතගැටීම් ඇතිවෙනවා. එය අතිශය දරුණු ලෙස “පිරිමි ආදරයක්” තිර නාටකයත් සිද්ධ වුණා. කොතරම් මතගැටුම් ආවද එයින් හොඳ නිර්මාණයකට පිවිසෙන්න අපි දෙන්නටම අවස්ථාව ලැබුණා කියා මම සිතනවා. තම පෙම්වතා, ආදරවන්තයා, සැමියා, බිරිඳ මියගියත් මේවනතෙක්ම ඔහු හෝ ඇය සමඟ ජීවත්වූ චරිත මේ සමාජයේ තුළ මටත් බිරිඳටත් හමුවී තිබෙනවා.
සමහරුන්ට සිතෙන්න පුළුවන් මේ මගේ කතාව නේද කියලා …..?
පැහැදිලිවම. කවුරුත් අත්වින්ඳ, අත්විඳීමින් සිටින දෙයක් වෙන්න පුළුවන් මේ චිත්‍රපටයේ කතාව. මෙය ප්‍රේක්ෂකයාට දැනෙන නිර්මාණයක් වන්නේත් ඒ නිසාමයි. නිකං චිත්‍රපටයක් නරඹා සිනමාශාලාවෙන් එළියට එනවට වඩා සමාජයට පැමිණ යම් හරවත් කතිකාවක් ඇතිකරන්න පුළුවන් නිර්මාණයක් කියන්නත් පුළුවන් මේක. වාණිජ ප්‍රවාහයේ නිර්මාණයකට වඩා ජීවිතය, ආදරය පිළිබඳ ගැඹුරින් දැකිය හැකි නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
මේ නිර්මාණය සමඟ ඔබේ සිනමා ශෛලිය වෙනසකට ලක්වුණා දැයි මට සිතෙනවා …..?
පැහැදිලිවම. ඉකුත් සමයේ කොරෝනා වසංගතයත් සමඟ අපි හැමෝගෙම ජීවිත මහා පරිවර්තනයකට ලක්වුණා. සිනමාවෙන් පවා ප්‍රේක්ෂකයා දුරස්වුණා. මිනිසුන්ට යම් යථාර්ථයක් , දහමක් ඒත්තුගැන්වුවා වැනි දෙයක් කොරෝනා වසංගතය සමඟ සිදුවුණා. එකී කොරෝනා අවධියත් සමඟ මම මගේ සිනමාකරණ දිවියේ වෙනස් මුහුණුවරකට යනවා.එහිදී රියැලිටි සිනමාව මම භාවිත කළා. වෙනස්ම විදිහේ සිනමාවක් අපි ගොඩනඟා ගත යුතුයි යන සිතුවිල්ල මට ඇතිවුණා. ඒ යුගයේ තමයි “මොනාලිසා” චිත්‍රපටය මා අතින් බිහිවෙන්නේ. එයින් පසු සිනමාව ගැන මගේ ආකල්පයන්හි විශාල වෙනසක් වෙනවා. ඒ කොරෝනා කම්පනයත් එක්ක. කොරෝනාවලින් පසුව දෙවැනි, තුන්වැනි කාර්තුවේ මා අතින් බිහිවූ “මොනාලිසා, පිරිමි ආදරයක්” චිත්‍රපටවලින් ජීවිතයේ යථාර්ථය පිළිබඳ වගේම මා කතා කරන තේමාවන් පිළිබඳ විශාල අවධානයක් යොමුකළා
මෙහි රංගන ශිල්පීන් තෝරාගැනීම පිළිබඳ කතා කළොත් …..?
මම සාම්ප්‍රදායික නළුනිළිවරණයකට යන්න කැමැත්තක් නැහැ . පෙම්වතා, පෙම්වතිය කිව්වම අහවලා අහවලා තෝරාගන්න ඕනේ කියලා මතයක් තිබුණනේ. එයින් බැහැරවිය යුතුයි කියන මතයේ මම එදා සිටම හිටියා. මගේ පළමු චිත්‍රපටය වන “සුරයහන ගිනිගනී” හදද්දිත් මට සිතුණා සම්මානනීය නළුනිළියන්ට වඩා වෙනස් පිරිසකුත් අසම්මත තිර කතාවක් ගැන වෙනස් විදිහක, හැඩයක චරිත හා තේමා තෝරාගත යුතුයි කියලා. “පිරිමි ආදරයක්” ප්‍රධාන කාන්තා චරිතය මට අභියෝගයක් වුණා. හිරුණි රණසිංහ ඒ වෙද්දි මා එක්ක එක් ටෙලිනාට්‍යයක වැඩකර තිබුණා. ඇයට තියුණු ඇස් දෙකක්, ලස්සන හිනාවක් තිබුණා. තිර පිටපත කියවීමෙන් පසු ඇයවයි මට මැවුණේ. රුවන් පෙරේරා, මේනක රාජපක්ෂ ආදීනුත් තැඹිලිකරුගේ චරිතයට සුසංග කහඳවආරච්චිත් තෝරාගත්තා. සුසංග වේදිකාවේ හොඳ පරිචයක් සහිත නළුවෙක්.
ඔබේ සිනමා දිවියට වසර 25යි. ආ ගමන්මග දෙස ආපසු හැරී බැලුවොත් ……?
මගේ ප්‍රථම චිත්‍රපටය “සුරයහන ගිනිගනී ” අධ්‍යක්ෂණය කරන්නේ 1998දී. තිරගත වෙන්නේ 1999දී. එතැන් සිට මේ වසරේ ජූනි මාසය වෙද්දි මගේ පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය කර වසර 25යි. මම සිනමාවට එන්නේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස 1989දී. ඒ ගිවන්ත අර්ථසාද්ගේ නිර්මාණයකින්. ඉන්පසු අමරනාත් ජයතිලකගේ “යුවතිපති” , යසපාලිත නානායක්කාරගේ “ප්‍රතිඥා”, ගාමිණී හේවාවිතාරණගේ චිත්‍රපට දෙකකටත් සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස දායකවෙනවා. එහෙම සම්බන්ධ වී 1994දී මම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස “පළමු පත්වීම” ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරනවා. ඉන්පසු “ඉර හඳ යට” ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඉන්පසුයි ප්‍රථම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මගේ පාසල් අවධියේ පටන් ප්‍රථම ප්‍රේමය වුණේ සිනමාවයි. ඒ කාලයේ සිනමාවට අවතීර්ණ වීම පහසු නැහැ . එකල අධ්‍යක්ෂවරයෙක් වීම ලොකු අභියෝගයක් . සරසවිය පුවත්පත පවා අපට එකල අනුග්‍රහය ලබාදුන්නා.එකල ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය විතරනේ තිබ්බේත්. අධ්‍යක්ෂවරුත් හිටියේ අතළොස්සයි. ඒ අතර නිර්මාණශීලී අධ්‍යක්ෂවරුන්ට යම් අවධානයක් තිබ්බා. මගේ දෙවැනි චිත්‍රපටය “ගිනිගත් මධුසමය”. අනුෂා දමයන්ති එහිදී වසරේ හොඳම නැඟී එන නිළිය වුණා.ඒ කතාවත් තරමක වෙනස් තේමාවකින් යුතු වූවක්. පළමු චිත්‍රපටය වූ “සුරයහන ගිනිගනී ” සමරිසි සම්බන්ධය ගැන කියවෙන කතාවක්. ලංකාවේ එය විශාල ආන්දෝලනයකට ලක්වුණා. ඒ චිත්‍රපටය ගැන තමයි වැඩිපුරම විචාරත් පළවුණේ. ලංකාවේ බුද්ධිමත් ප්‍රේක්ෂකයා එය සමබර ලෙස භාරගත්තා කිව්වොත් හරි. අපට සිනමාව තුළ තාක්ෂණික හරඹ කරන්නත් ප්‍රාග්ධනය පැත්තෙන් විශාල ආයෝජන කිරීමටත් දුෂ්කරතා තිබෙනවා. සමස්තයක් ලෙස අපේ සිනමා වෙළෙඳපොළ කුඩාවීම නිසා අපට අභියෝග රැසක්ම තිබෙනවා. එය ජයගන්න නම් එක් උපක්‍රමයක් ලෙස මම හඳුනාගත්තේ අපේ කතා සංකල්ප. මේවා ඇතුළේ වෙනස් දෙයක් අලුත් දෙයක් කළයුතුයි යන මතයේ මම එදත් අදත් ඉන්නවා. අපේ සමාජයේ මතයක් තිබෙනවා චිත්‍රපටයක් යනු දැවැන්ත ආයෝජනයක් විය යුතුයි කියලා. ඒ මතය මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. චිත්‍රපටයක කතා තේමාව, නිර්මාණශීලීත්වය, විවිධත්වය සහ කතාකරන විෂයයන් තුළින් නිර්මාණ ප්‍රේක්ෂකයාට ගෙනයා හැකියි කියා මා සිතනවා. නිර්මාණයේ විශාලත්වය ඇත්තේ ආයෝජනය කරන මුදලේ නෙවෙයි අපි ආයෝජනය කරන නිර්මාණශීලීත්වයේ. නිර්මාණශීලීත්වය සහ ඒ ඇතුළේ අපි මවන්න හදන රූපය ඊටවඩා බොහෝ ප්‍රබලයි. මුදල් තිබූ පලියට චිත්‍රපට හදන්න බැහැ. චිත්‍රපට හදන්න නිර්මාණශීලී මිනිසුන් එකට එකතු විය යුතුයි.
එදා සිටි ප්‍රේක්ෂක පිරිස නෙවෙයි අද ඉන්නේ…..?
තාක්ෂණිකව සිනමාව ඉදිරියට ගිහින්.අපට එය වළක්වන්න බැහැ. ඒක එසේ විය යුතුයි. සිනමාකරුවන් සමාජය සමඟ යාවත්කාලීන විය යුතුයි.සමාජයට වඩා ඔහු ඉදිරියෙන් සිටිය යුතුයි.එදා අඳුරු ශාලාවක නැරඹූ සිනමාව අද වෙද්දි ජංගම දුරකතනය දක්වා ලඝුවෙලා. නව පරපුර එයට හුරුවී සිටිනවා. ඔවුන් දැවැන්ත තිරය යන සංකල්පයෙන් ඈත්වෙලා. මිනි සිනමාශාලා බිහිවෙමින් තිබෙනවා. මේක තමයි අද සමාජය. මේක අද මගේ “පිරිමි ආදරයක්” චිත්‍රපටයටත් බලපානවා. කාලයත් සමඟ ප්‍රේක්ෂකයා වෙනස්වෙලා. ප්‍රේක්ෂකයාගේ ඇජෙන්ඩාව තුළ සිනමාව කියන දේ නැහැ .නව පරපුර සිනමාශාලාවෙන් බැහැරව සිනමාව නරඹන තැනකට ඇවිත්. එය අපට වළක්වන්න බැහැ. අලුත් ප්ලැට්ෆෝම් ඇවිත් තිබෙනවා. ඒවා තුළ අද පරපුර ජීවත්වෙනවා. සැම දිනකම ඒ ප්ලැට්ෆෝම් හරහා චිත්‍රපටයක් නරඹා තමයි සමහරු නින්දට යන්නේ. එය එක්තරා පැත්තකින් සුබවාදී දෙයක්
චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදයත් අවුල් වෙලා නේද….?
බෙදාහැරීමේ ක්‍රමවේදය නිසාත් ප්‍රේක්ෂකයා චිත්‍රපටවලින් දුරස්වෙලා. ප්‍රේක්ෂකයා බලන්න යන්නේ එක චිත්‍රපටයක්. සිනමාහලේ පෙන්වන්නේ තව චිත්‍රපටයක්. මගේ චිත්‍රපටයටත් ඒ ප්‍රශ්නය පසුගිය දිනක ඇතිවුණා . මේක අවාසනාවන්ත තත්ත්වයක් . අනික අපි ගුණාත්මක තාක්ෂණික ක්‍රමවලින් (4ඬ,6ඬ) චිත්‍රපටය නිර්මාණය කර ප්‍රදර්ශනයට යද්දි අපට මේ එක තාක්ෂණයක් යටතේවත් චිත්‍රපටය මුදාහරින්න හැකියාවක් නැහැ. අවම තාක්ෂණයක් යටතේ චිත්‍රපටය මුදාහරින්න වෙනවා. ඩිජිටල්කරණයට පරිවර්තනය වීමේදී හරි තැනකින් නෙවෙයි අපි අල්ලගත්තේ. එක එක්කෙන පහසු තැන්වලින් අල්ලගත්තේ. සමස්තය තුළ ප්‍රමිතියක් නිර්මාණය වුණේ නැහැ. සිනමාශාලාවල තිබෙන තාක්ෂණය අනුව චිත්‍රපටය මුදාහරින්න අපට සිදුවෙලා. අපි හොඳ තාක්ෂණයෙන් චිත්‍රපටය හැදුවත් ප්‍රේක්ෂකයා එය දකින්නේ අවම තාක්ෂණයෙන්.ඒ තුළට අපි ප්‍රේක්ෂකාගාරය බිඳවට්ටවා ගන්නවා. ජාතික චිත්‍රපට සංස්ථාව හරහා රජය සම්බන්ධ කරගෙන එයට මැදිහත්වීමක් කරන්න අපට නොහැකිවී තිබෙනවා. කර්මාන්තයක් ලෙස අපි එතැනදී ෆේල්. එවැනි තත්ත්වයක් තුළ තමයි ප්‍රේක්ෂකයා විවිධ ප්ලැට්ෆෝම්වලට යන්නේ. ඒවගේම වැසුණු සිනමාශාලා වෙනුවට නව සිනමාශාලා හදාගන්න බැරිවී තිබෙනවා. මම ඉස්සර හිටිය පානදුර ප්‍රදේශයේ එක් සිනමාශාලාවක්වත් අද නැහැ. වසර 25කට පෙර මම සිනමාවට එද්දි තිබූ චිත්‍රපට බෙදහැරීමේ යාන්ත්‍රණය හරිම ශක්තිමත් . අද එක සිනමාශාලාවක චිත්‍රපට 3-4 ප්‍රදර්ශනය වන තත්ත්වයට ආවේ සිනමාශාලා නැතිවීම නිසා. මේ යාන්ත්‍රණය වෙනස් නොකර සිනමාව ගැන සුබ සිහින දැකීම නිශ්ඵල ක්‍රියාවක්. සිනමාව දියුණු කරන්නනම් ප්‍රදර්ශන යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕනේ.
රූපවාහිනියට නැවත එන්න අදහසක් නැද්ද….?
අද ටෙලිනාට්‍ය කලාවේ මෙගාරැල්ල තුළ තිබෙන්නේ බිස්නස් එකක්. මෙගා ටෙලිනාට්‍ය අතරේ ඉඳහිට විශිෂ්ට නිර්මාණයක් දෙකක් තියෙනවා. එවන් පසුබිමක වැඩක් කරන්න බලාපොරොත්තුවක් නැතිවා නෙවෙයි. මේ සිස්ටම් එක ඇතුළේ හොඳ නිර්මාණයකට ඉඩක් පේන්නේ නැහැ. අවුරුදු 3කින් මම ටෙලිනාට්‍යයක් නිර්මාණය කර නැහැ. මේ බිස්නස් එක තුළ ප්‍රේක්ෂකයා හෙම්බත් වෙලා. එතැනත් තිබෙන්නේ සිස්ටම් අවුලක්. මේ ආයතනවල ලොකු පුටුවල සිටින අයට කලාව පිළිබඳ දැනුම සහ කියවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ඒවගේ තැනකට ගිහින් නිර්මාණයක් කළහැකිද යන ප්‍රශ්නය මතුවෙනවා. හොඳ නිර්මාණයකට පසුබිමක් තිබුණොත් ඒ ගැන සිතනවා
අද කලාවේ නවක, දක්ෂ පිරිසක් අපි දකිනවා….?
ඔව්, තරුණ පරපුර ඉතා දක්ෂයි. නිර්මාණශීලීයි. ඔවුන්ට පළමුව මම කියන්නේ මේ රැල්ලට අහුවෙන්න එපා, රැල්ලට දුවන්න එපා කියලයි. රැලි තාවකාලිකයි. ඒවා කලාව නෙවෙයි. නවකයෝ අද අඩු මුදලට විකිණෙනවා. ඒ තුළින් ප්‍රවීණයන්ට වඩා නවකයන්ට වැඩිපුර අවස්ථා ලැබෙනවා. විශේෂයෙන් අධ්‍යයනය සහ නිර්මාණ රසවිඳීම, නැරඹීම තුළ පෝෂණය වෙන්න. එසේ පෝෂණය වී හරිදෙයක් කළොත් නවකයන්ට ගමනක් තියේවි. කොහොමත් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. ඒක කළ හැක්කේ ඇතුළේ ඉන්න අයටමයි. නිර්මාණකරුවෙකුට පැහැදිලි දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම සමඟ කොන්ද කෙළින් තියාගෙන වැඩකළ හැකි පසුබිමක් අපි නිර්මාණය කරගත යුතුයි
ඔබ තුළ සිටින තිර රචකයාව අවදි කළොත් …..?
මම පසුගිය කාලයේ තිර රචකයාගේ භූමිකාවේ යෙදුණා. මගේ නිර්මාණ තිර රචනා මුලින්ම කියෙව්වේ බිරිඳ. ඇය තමයි මගේ පළමු විචාරිකාව.ඇයයි එහි අඩුපාඩු හැදුවේ. කාලයත් සමඟ මට වැටහුණා ඇයට යමක් තනිවම කළ හැකියි කියා. මම ඇයට ඒ අවස්ථාව දුන්නා. මගේ තිර රචනා භුමිකාව කිසිසේත්ම නතර කර නැහැ. ළඟදීම තිරගතවීමට නියමිත “ටියුෂන් සර්” හි පිටපතත් මගේ. තිර රචනා කලාව මම හරිම තෘප්තිමත් විෂයයක්.
ඔබේ කලාදිවියේ ගුරුවරුන් ලෙස සිටි පිරිස සිහිකළොත් ……?
සිනමාවේ මගේ ගුරුවරයා වුණේ ගිවන්ත අර්ථසාද්. ඔහු තමයි මට මෙහි නිසි මඟපෙන්වීම කළේ. මගේ පළමු චිත්‍රපටය ඔහු සමඟ වැඩකරන්න ලැබුණේ. ඒ චිත්‍රපටය මට ඇත්තෙන්ම විශ්වවිද්‍යාලයක් වගේ. චිත්‍රපටයේ නම “ඉන්දු සයුරේ මුතුඇටය”. එය කවදාවත් තිරගත වුණේ නැහැ. මාලිනී ෆොන්සේකා, ලකී ඩයස්, ජැක්සන් ඇන්තනි, විජේරත්න වරකාගොඩ වැනි පිරිස එහි රඟපෑවා. මම එහි සහය අධ්‍යක්ෂ සහ නිල නොවන ලෙස එහි බොහෝ අංශවලට සම්බන්ධව වැඩකළා. ඉන්පසු අමරනාත් ජයතිලක, යසපාලිත නානායක්කාර වැන්නන් සමඟ වැඩකර අත්දැකීම් ලබාගත්තා. මේ සියලු දෙනා විවිධ ශෛලීන් තිබුණු දක්ෂයෝ… ඔවුන්, සමස්තය කරන්නේ කෙසේද කියා මම බලාගෙන හිටියා. ඔවුන්ගේ ශෛලීන් මම වටහාගත්තා. ඔවුන් අපිට විශාල වගකීම් භාරදුන්නා. ඒවා අපි උපරිමයෙන් ඉටු කළා. ඒ අපට මේ විෂයය ඉගෙනගන්න තිබූ ආශාව නිසා. ප්‍රවීණයන් සමඟ වැඩකිරීම නිසයි මට තනි නිර්මාණකරුවෙක් ලෙස නැඟිටින්න පුළුවන් වුණේ… ඒ නිසාම වෙන්න ඇති වසර 25ක් තවම මෙහි රැඳී ඉන්න මට පුළුවන් වුණේ..
ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?
ඉදිරියේදී මගේ චිත්‍රපට 2ක් ප්‍රදර්ශනයට සූදානම්. ඒ “ටියුෂන් සර්” සහ “ඔස්කා” චිත්‍රපට දෙකයි. මේ දෙකම 2025දී ප්‍රදර්ශනය වේවි. ඒවගේම නව නිර්මාණයක් පිළිබඳ අදහසකුත් තිබෙනවා. එය දැනට තිර රචනා අවධියේ තිබෙන්නේ. ඒකත් වෙනස් විදිහක කතාවක් වේවි. ස්වාධීනව ගලාගෙන යන මගේ පර්යේෂණාත්මක සිනමා ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් වේවි ඒ චිත්‍රපටය. ප්‍රදර්ශනය යාන්ත්‍රණය විශාල සටනක්.
මනෝජ් රුක්මල් කුමාරසිංහ