Home » සරසවිය සම්මානය නිසා අලුත් චිත්‍රපටයක් කරන්න හිතෙනවා

සරසවිය සම්මානය නිසා අලුත් චිත්‍රපටයක් කරන්න හිතෙනවා

ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහ

by Thanushika
July 24, 2025 10:35 am 0 comment

මෙවර සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබූවේ මෙරට සිනමා ක්ෂේත්‍රයට අතිශයින්ම ජනප්‍රිය සිනමා නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සේන සමරසිංහයි. 1970 80 දශකයන්හි මෙරට සිනමා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ඔහු වර්තමානය වන විට මඳක් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් සිනමාවෙන් ඈත්ව විවේක සුවයෙන් පසු වන්නේය. එහෙත් එදා මෙදා තුර ඔහු විසින් දේශීය සිනමා ඉතිහාසයට දායාද කළ නිර්මාණ පෙළහර අපට කිසිදා අමතක කළ නොහැකිය. නවමු තේමාවන් යටතේ නවමු නළු නිළියන් සිනමාවට හඳුන්වා දෙමින් ඔහු කළ සිනමා නිර්මාණ මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ අති මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වූයේය. එම චිත්‍රපටයන්හි අන්තර්ගත වූ ගීත අදටත් ගීත ලෝලීන් අතර නොමඳ ආකර්ෂණය දිනාගත්තේය.

සේන සමරසිංහ නම් වූ ඔහු මෙරට සිනමා ඉතිහාසයේ 70-80 දශකයන්හි ජනප්‍රිය සිනමාවේ කිරුළ දැරූ අධ්‍යක්ෂවරයකු ලෙසින් චකිතයකින් තොරව අපට හඳුන්වා දිය හැකිය. පිට පිටම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට හැදූ ඔහු බොහෝ විට සිනමා පටයේ නිෂ්පාදකයා මෙන්ම අධ්‍යක්ෂවරයාද වූයේය. එසේම ඇතැම් චිත්‍රපටයන්හි තිර රචකයා මෙන්ම ගීත රචකයා වූයේ ද ඔහුය.

සදහටම ඔබ මගේ, කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යළි හමුවෙන්නයි වැනි චිත්‍රපට සිංහල සිනමාවට දායාද කළ ඔහු විසින් මෙරට සිනමා වංශ කතාව උදෙසා පිරිනමන ලද මහඟු දායකත්වය අගයනු වස් මෙසේ ජීවිතයට එක් වරක් පමණක් පිරිනමනු ලබන රණ තිසර සම්මානයෙන් පුදනු ලැබීය.

සම්මානයක සතුට විදින මේ මොහොතේ අප හමුවූයේ ඒ පැරණි අතීත මතකයන් සමග මොහොතක් රැඳෙන්නටය.

“ඇත්තටම සිනමාවෙන් දුරස්ව බොහෝ නිස්කලංක දිවියක් ගෙවන මට මේ වගේ සම්මානයක් ලැබීම මගේ හිතට විශාල සතුටක් ප්‍රීතියක් දනවන සිද්ධියක්. දිගු කාලයක් මම හිටියේ සිනමාවෙන් ඈත් වෙලා. නමුත් මේ සම්මානයත් එක්ක මට අමුතු දිරියක් ප්‍රබෝධයක් ලැබුණ වගේ දෙයක් දැනෙනවා. ඇත්තටම කිව්වොත් මට අලුතෙන් චිත්‍රපටයක් කරන තරමට ආසාවක් ඇතිවුණා. මගේ තිබෙන අසනීප තත්වය එක්ක මම දන්නෙ නෑ ඒක මට කොයිතරම් දුරට කරගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් මට ආසයි ආයෙත් චිත්‍රපටයක් කරන්න.”

ඔහු පවසන්නේ හදවත උතුරා යන ප්‍රීතියකිනි. ඇඟට පතට සවි නැති වුණද ඒ සිත කොයි තරම් සවිමත්ද කියලා අපට හිතුණා. සිනමාවට ආදරය කරන්නට හිතෙන නිර්මාණ රැසක් අපට දීපු අධ්‍යක්ෂකවරයෙක් මේ ඉන්නේ. එදා ඔහු ආදරය කළ ඒ සිනමාවම ඔහු අද දිනයේදීත් සම්මානයට ඇගයීමට පාත්‍ර කරන විට සතුටු නොසිතෙන්නේ කාටද? අද සේන සමරසිංහ විඳීන්නේද ඒ සොම්නසය. ඒ සතුටය.

සේන සමරසිංහ මෙරට සිනමාවට පැමිණෙන්නේ නිකම්ම නිකං අධ්‍යක්ෂවරයකු ලෙසින් පමණක් නොවේ. ඔහු ඒ වන විටත් ව්‍යාපාර කිහිපයක් හිමි රඹුක්කන ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

“මම චිත්‍රපට කර්මාන්තයට එන විට ව්‍යාපාර කිහිපයක් තිබෙන ව්‍යාපාරිකයෙක් ඒ කාලයේ මට උළු කම්හලක්, ඇඟලුම් කම්හලක්, ඉංජිනේරු කම්හලක්, තෙල් මෝලක්, Kegalle Tours කියල පෞද්ගලික බස් සේවාවක් තිබුණා.” ඇත්තටම කිව්වොත් මට පරම්පරාවෙන් හිමි වුණේ තෙල් මෝල විතරයි. ඒක අපේ තාත්තගෙ ව්‍යාපාරය. තාත්තාගෙන් පස්සේ මම මේ ව්‍යාපාර දියුණු කරලා ගත්තා.

සේන සමරසිංහගේ පියා මාතර ප්‍රදේශයේ සිට පැමිණ රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් හා විවාහ වී එහි පදිංචි වූවෙකි. ඔහුගේ ජීවන ව්‍යාපාරය වූයේ තෙල් මෝලක් පවත්වාගෙන යෑමය මේ පවුලේ වැඩිමල් දරුවා වූයේ සේන සමරසිංහය. ඔහුට බාල නැගණියන් දෙදෙනකු සහ මල්ළිලා දෙදෙනෙකුද විය තාත්තා ව්‍යාපාර කටයුතුවල නියුතු වූවෙක් නිසා ඔවුනට කිසිදු අඩුපාඩුවක් අග හිඟයක් නොවීය.

පවුලේ වැඩිමලාවූ සේන සමරසිංහ මූලික අධ්‍යාපනය ලබන්නට ඔහුගේ අක්කා කෙනෙකු ගිය පාසල වූ මහනුවර මහමායාවට ඇතුළත් කරනු ලැබීය. පෙරපාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කරන ලදී. ඉන්පසුව ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය සේන සමරසිංහ ගැටවර වියේ සිටියදී ඔවුනගේ මව මිය පරලොව ගිය අතර ඉන්පසු පියාගේ රැකවරණය යටතේ ඔවුන් හැදී වැඩී ඇත.

“මම ඉස්කෝලේ ගිහින් ඉවර වුණා විතරයි අපේ තාත්තා අසනීප වෙන්න ගත්තා. ඒ නිසා තාත්තා මට කිව්වා ව්‍යාපාර භාර අරගෙන කරගෙන යන්න කියලා. මම ඉස්කෝලෙන් අයින් වුණා විතරයි තාත්තාගේ ව්‍යාපාරය බලා කියාගන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට හදිසි හෘදයාබාධයකින් තාත්තා නැති වෙනවා. මේ වෙනකොට මගේ නංගිලා මල්ලිලා ටික හරි පොඩියි. ඔවුන් එතකොටත් ඉස්කෝලේ යනවා. ඊට පස්සේ අපේ ගෙදර සම්පූර්ණ වගකීම බාරගන්න වෙන්නේ මට. තාත්තාගේ ව්‍යාපාරයත් එක්ක නංගිලා මල්ලිලාට උගන්වන්නෙත් මම. මේ දේවල් ඔක්කොම කරගන්න අමාරු නිසා මම විවාහ වෙන්න හිතුවා. මට ආපු යෝජිත විවාහයකට මම කැමති වෙනවා. විවාහ වෙලා හනිමූන් යනකොට තමයි ඉස්සෙල්ලම අපි දෙන්නා වචනයක් කතා කරන්න ගත්තේ. ඊට පස්සේ එයා අපේ ගෙදර ඇවිත් පදිංචි වෙනවා නංගිලා මල්ලිලට උගන්වලා ඔවුන් ආවාහ විවාපත් කරලා දෙනවා. ඒ විවාහයෙන් මට දුවලා දෙන්නෙකුයි පුතෙකුයි ලැබෙනවා. දැන් එක දුවෙක් ඉන්නේ ඕස්ට්‍රේලියා. අනිත් දුව කුරුණෑගල. මාත් ඉන්න අසලින් ඉන්නවා. පුතා විවාහ වුණාට පස්සේ කලකදී නැති වෙනවා.”

සේන සමරසිංහ සිනමා ලොවට ප්‍රවිෂ්ට වනුයේ ව්‍යාපාරයෙකු වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනඟා ගත්තාට පසුවය. ඔහුගේ පියා ජීවතුන් අතර සිටියදී පවා මේ පවුලේ අය සිනමාවට වඩා ලැදිකමක් දැක්වූයේය. රඹුක්කන මා ඔය ආශ්‍රිතව එකළ බොහෝ චිත්‍රපටයන්හි රූ ගැන්වීම් සිදු කෙරුණ අතර සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිස් එකල සේන සමරසිංහයන්ගේ නිවසට පැමිණියේය. ප්‍රවීණ රූපණවේදී ගාමිණී ෆොන්සේකා සේන සමරසිංහයන්ගේ ගජ මිතුරෙකු වන්නේ ද එසේය. 1971 වර්ෂයේදී සේන සමරසිංහලගේ ව්‍යාපාරයන්ට විවිධ බලපෑම් එල්ල වූ වසරක් විය. මේ නිසාම ඔහු ටික දිනකට ව්‍යාපාර වසා දමා වත්තල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට විත් දිවි ගෙව්වේය. මේ නිවස පිහිටියේ හැඳල විජය චිත්‍රාගාරය අසලය. සේන විජය චිත්‍රාගාරයට ගොස් චිත්‍රපට රූ ගැන්වීම් දෙස නිතර බලා සිටියේය.

“ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම ඡායාරූප ගන්න හරි කැමතියි. තාත්තා මට ඒ කාලේ කැමරාවකුත් අරන් දීලා තිබුණා. පස්සේ කාලෙක සිනේ කැමරාවකුත් අරන් දුන්නා මම හැම තැනම ගිහින් ෂූට් කරන්න පුරුදු වුණා විජය චිත්‍රාගාරයේ චිත්‍රපට රූගැන්වීම් දැක්කට පස්සේ මටත් ඕන වුණා චිත්‍රපටයක් කරන්න. මම හිතා ගත්තා කොහොම හරි චිත්‍රපටයක් කරනවා කියලා. ඊට පස්සේ මම ආපහු රඹුක්කනට ඇවිත් බිස්නස් පටන් අරගෙන ඒවා ඔක්කොම දියුණු කරගත්තා. මගේ ව්‍යාපාර කටයුතු මගේ බිරිඳටත් කියලා දුන්නා.

මේ අතරේ දවසක් මිල්ටන් ජයවර්ධන මට උත්සවයකදී හමුවෙනවා. ඔහු මට යෝජනාවක් කරනවා සේන අයියේ අපි චිත්‍රපටයක් කරමුද කියලා. මගේ හිතෙත් මේ අරමුණ තිබුණ නිසා හා කියලා අපි චිත්‍රපටයක් පටන් ගන්නවා. ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපට නිෂ්පාදනය 1973 තිරගත වුණු ‘සදහටම ඔබ මගේ‘ චිත්‍රපටය.

සේන මුලින්ම සිනමාවට පිවිසෙනුයේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වශයෙනි. එහෙත් ඉන් අනතුරුව ඔහු කළ නිෂ්පාදන අධ්‍යක්ෂණය කළේද ඔහු විසින්මය.

“මගේ පළවෙනි චිත්‍රපටය සදහටම ඔබ මගේ කරන කාලෙත් මම නිෂ්පාදක විදිහට මුදල් විතරක් යොදවලා නිකන් හිටියේ නෑ. මමත් නිෂ්පාදන කණ්ඩායමත් එක්ක වැඩ කළා. ඒ චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ගත්තෙත් මම. මේ කතාව ලිව්වෙත් මම මේක කරන විදිය බලා ඉන්නකොට මටත් හිතුණා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. ඒ අනුව තමයි දෙවෙනි චිත්‍රපටය මමම අධ්‍යක්ෂණය කළේ. කස්තුරි සුවඳ පටන් ගන්නේ ඒ විදිහට. සෝමපාල ලීලානන්ද තමයි කතාව ලියන්නේ. සින්දුත් එක්ක ආපු ඒ චිත්‍රපටය නිසා තමයි සේන සමරසිංහ කියන නම චිත්‍රපට ලෝකයට එන්නේ. ඉන් පස්සේ කරපු නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, ඈතින් ඈතට, බඹර කලාපේ, චංචල රේඛා වගේ චිත්‍රපට සෑම එකක්ම ප්‍රේක්ෂකයන් අතරේ අතිශයින්ම ජනප්‍රිය වූවා”.

සේන සමරසිංහගේ මේ චිත්‍රපට මෙරට සිනමා ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳ ගන්නට විශේෂ හේතුවක් වූයේ ඒවායේ අඩංගු වූ ආකර්ෂණීය ගීතයන්ය. ‘බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ, හද විමන් දොරින්, කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා, නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ…. (චංචල රේඛා ගීත) වැනි ගීත එදා පමණක් නොව මේ වන විටද ජනප්‍රියත්වයෙන් අඩුවක් නැත.

එසේම ඔහුගේ කතා වස්තූන්වල වූ ග්‍රාමීය අව්‍යාජත්වය ද එවකට බොහෝ සිනමා ප්‍රේක්ෂකයින්ගේ සිත් ගත්තේය. මේ යුගය වන විට දෙමළ සහ හින්දි චිත්‍රපට කතා අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපට කතා අතර සේනගේ මේ කතා කැපී පෙනෙන්නට වූයේය. සිංහල සිනමාවේ කතා සංකල්පයන් දේශීය මුහුණුවරකට හැරවීමේ ප්‍රයත්නයේ සිටි කේ.ඒ ඩබ්ලිව් පෙරේරා, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, සිරි කුලරත්න, නීල් රූපසිංහ, එච්.ඩී ප්‍රේමරත්න වැන්නන් අතර සේන සමරසිංහ ද ඉදිරියෙන්ම සිටිති.

“මම කරපු චිත්‍රපට සෑම එකක්ම ජනප්‍රිය වුණා. මම ගමේ ගොඩේ හැදුණ වැඩුන කෙනෙක් නිසා මගේ චිත්‍රපට කතාවලට හැම වෙලාවෙම පසුබිම් වුණේ ග්‍රාමීය ජීවිතය. මගේ අත්දැකීම් අනුව තමයි මම චිත්‍රපටය හැදුවේ. මගේ චිත්‍රපටවල බොහෝ විට ප්‍රධාන නළුවා වුණේ ගාමිණී ෆොන්සේකායි. නමුත් නිළියන් තෝරා ගනිද්දී මම හැමවෙලේම අලුත් මුහුණු යොදාගන්න උත්සාහ කළා. නිල්ල සොයා චිත්‍රපටයට මට යොදාගන්න ඕන වුණේ මාලිනී ෆොන්සේකාව. නමුත් ඒ කාලේ එයාව අල්ලගන්න හරි අමාරුයි. එයා එදා මුහුරත් උළෙලට ඇවිල්ලා හිටියෙත් නෑ. මානෙල් අරන් හිටියේ සෙසු චරිතයකට. නමුත් මම මානෙල් දිහා බලාගෙන ඉන්නකොට මට හිතුණා ප්‍රධාන චරිතයට මෙයත් ගැළපෙනව නේද කියලා. මම ගාමිණී ළඟට ගිහින් කිව්වා ගාමිණී මෙයත් හොඳයි නේ කියලා. ගාමිණිත් ටිකක් වෙලා මානෙල් දිහා බලාගෙන ඉඳලා කිව්වා ඵඩඥ ඪඵ චතත පඪඨඩබ කියලා. එහෙම තමයි මානෙල් වානගුරු කස්තුරි සුවඳට ගන්නේ. ඊට පස්සේ ආශා දෑසින් එකට ශ්‍රියානි අමරසේන ගත්තා. චංචල රේඛා එකට නදීකා ගුණසේකර ගත්තා. ඈතින් ඈතට එකට රසාදරී ෆොන්සේකා ගත්තා.

එක්තරා කාලවකවානුවකදී සේන සමරසිංහ ශ්‍රී ලංකා පකිස්ථාන හවුල් චිත්‍රපට නිෂ්පාදනයට ද එක්වන්නේය. එවකට පකිස්ථානයේ සිටි ඔහුගේ මිතුරෙකුගේ මාර්ගයෙන් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපට ඒ යුගයේ මෙරටට බොහෝ විදේශ විනිමය රැගෙන ඒමට සමත් විය. පකිස්තාන් නළු නිළියන් සමඟ ලාංකීය නළු නිළියන් එක්කොට නිපැයූ එම චිත්‍රපට ද මෙරට බොහෝ ප්‍රචලිත විය. සදාකල් රැඳේවා, අයිය නගෝ, ඔක්කොම කපටියෝ, සිංහ පැටව්, දෝංකාරය, සෙබළියෝ වැනි චිත්‍රපට ඒ අතර විය.

“ඇත්තටම මට ඒ කාලේ විජය කුමාරතුංග දාලා චිත්‍රපටයක් කරන්න ආසාවක් තිබුණා. නමුත් ඒක මට කරගන්න බැරි වුණා. විජයට හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් මට හිතුණා විජය දාලා සින්දු ටිකක් කරන්න ඕන කියල. එහෙම තමයි මම මංගල නැකතේ 1 සහ 2 කියන කැසට් පට දෙක කළේ. යුග ගී ගායනා කරන්න චන්ද්‍රලේඛා පෙරේර ගෙනාවා.

මංගල නැකතේ චූටි නංගි මගේ පෝරුව මත නැගිලා සිංදු මම ලිව්වේ මගේ චූටි නංගිට. ඒ වගේම චන්ද්‍රලේඛා ට තව සින්දුවක් ලිව්වා මංගල නැකතින් යන්නට කියලා. ඒ සින්දුවේ ඉතිරි ටික ලියන්න නම් ධර්මසිරි ගමගේ මට හවුල් වුණා. විජය කුමාරතුංගට ඈත එහා….. ගීතයත් ලිව්වා. ඔය වගේ ගීත කීපයක් මම ලියලා තියෙනවා.

“දැන් කොහොමත් මම විවේකී ජීවිතයක් ගෙවන්නේ දැන් පදිංචිය කුරුණෑගල රඹුක්කන ඉඩම් දුවට දුන්නා. බිරිඳ මියගියාට පස්සේ දෙවැනි විවාහයක් කරගත්තා. ඇයත් සමඟ තමයි කුරුණෑගල ඉන්නේ. ඒ විවාහයේ දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. පුතා විශ්වවිද්‍යාලයෙන් මෑතකදී අවුට් වුණා. දුව නීතිඥවරියක් විදියට දිවුරුම් දුන්නා. ඒ දෙන්නා කොළඹ පදිංචි වෙලා ඉන්නවා. නෝනටත් මගේ ව්‍යාපාර කටයුතු කියල දුන්නා ඇය ඒවා කරගෙන යනවා. මම විවේකීව ගෙදරට වෙලා ඉන්නවා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT