Home » සරසවියට ආ ෆ්‍රෙඩී ජූනියර්

සරසවියට ආ ෆ්‍රෙඩී ජූනියර්

by Thanushika
August 15, 2024 10:15 am 0 comment

සංගීත කලාවේ එක් අංගයක් ලෙස හාස්‍ය ගීත හඳුන්වා දිය හැකිය. ගීත ගායනා කිරීමට හැකි වුවත් හාස්‍ය රසය මතුවන පරිදි හඬ හැසිරවීමට සෑම ගායකයෙක්ටම ගායකයෙක්ටම කළ නොහැක. හාස්‍ය ගී ගායනා කරන ගායකයින් අතර ඉහළින්ම සිටි ෆ්‍රෙඩී සිල්වා මහතා ශ්‍රී ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්ය! ඔහු ඉතා දක්ෂ ජනප්‍රිය ගායකයෙක් ලෙස නමක් දිනා සිටි විකට රංගන ශිල්පියෙකි. පියා සතු දක්ෂතා හැකියාව තම දරුවන්ට උරුම වීම අරුමයක් නොවේ. ෆ්‍රෙඩී සිල්වා මහතාගේ හඬින්ම ගී ගයන ෆ්‍රෙඩී ජූනියර් මෙවර සරසවිය හා කතා බහකට එකතුවීම විශේෂත්වයකි. ෆෙඩි ජූනියර් ලෙස අපි හඳුන්වා දෙන්නේ ප්‍රගීත් සිල්වායි. ඔහු ජනප්‍රිය ගායක සිංහල සිනමාවේ විකට රජු ලෙස නම් දැරූ ෆ්‍රෙඩී සිල්වාගේ පුතෙකු වීම විශේෂත්වයකි.

ප්‍රෙඩි සිල්වා මහතාට තිබුණේ ඔහුටම ආවේණික වූ අපූරු හඬකි. ඒ හඬම ප්‍රගීත් පිහිටා තිබීම වාසනාවකි. රුවත් ඒ හා සමානය ප්‍රගීත්. සිල්වා කරළියට එන්නේ මෑතකදීය. ප්‍රේක්ෂකයා ඔහුව හඳුනා ගන්නේ මෑතකදීය. ඒ නිසාම ප්‍රගීත් සරසවිය හා එක්වන්නේ ඒ සියල්ලටම පිළිතුරු සැපයීමටය. තම සංගීත ජීවිතය ගලා යන්නේ කෙසේදැයි තම රසිකයින්ට දැන්වීමටයි. කිසිදු කලබලයකින් තොරව ප්‍රගීත් තම සියලු තොරතුරු කතාබහ කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුතුයි.

මම පුංචි කාලේ නම් සංගීතයට යොමුවුණේම නැහැ. ගීත ගායනයට විශේෂ දක්ෂතාවයක් දැක්වූයේත් නැහැ. මම ඉස්කෝලේ විෂයක් හැටියට කළේ චිත්‍ර. තාත්තා ගායකයෙක් වුණාට මම ඒ ගැන උනන්දු වුණේ නැහැ. ඒකට හේතුව වුණේ නොයෙකුත් හේතු නිසා තාත්තා අපෙන් ටිකක් ඈත් වෙලා හිටපු නිසා. 1996 දී තමයි මම තාත්තා ගාවට ගියේ. ඒ වෙනකොට මම ඉගෙන ගනිමින් හිටියේ කඩවත ප්‍රදේශයේ විදුහලක. මම තාත්තා ගාවට ගිය නිසා ඒ පාසැලෙන් අස්කරගෙන තාත්තා මාව මොරටුව වේල්ස් කුමර විදුහලට ඇතුළත් කළා. තාත්තාට හරි උනන්දුවක් තිබුණා මට සංගීතය උගන්වන්න. තාත්තාගේ සහෝදරයෙක් හිටියා ලාල් සිල්වා කියලා. ඉතින් තාත්තා හැම වෙලාවෙම ලාල් බාප්පට කිව්වා පුතාට මොනවා හරි උගන්වන්න කියලා කියලා. ඒ හින්දා තමයි තාත්තා මට කීබෝඩ් එකක් පවා අරගෙන දුන්නේ. මට හොඳට මතකයි තාත්තා මාවත් එක්කගෙන පිට කොටුවට ගියා. ගිහින් සංගීත භාණ්ඩ තියෙන කඩයකින් කීබෝඩ් එකක් අරගෙන දුන්නා.

ඒ වෙලාවේ මට දැනුණේ පුදුම සතුටක් ඒවගේම තාත්තා ගැන ආදරයක්. තාත්තටත් ඒ විදිහටම සතුටක් ආදරයක් දැනෙන්න ඇති මං ගැන. ඒත් අවාසනාවකට මට තාත්තාගේ උණුසුම ලැබුණේ කෙටි කාලයයි. 2001 අවුරුද්දේදී තාත්තා ජීවිතයෙන් සමුගැනීමත් සමඟ මගේ ජීවිතයත් ආයේ වෙනස් වුණා. ඒ වෙනකොට මම අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් හිටියේ. තාත්තාගේ මරණයත් සමඟ මගේ ඉගෙනීම් කටයුතුවලට බාධා ඇතිවුණා. මම ආයෙමත් අම්මා ගාවට ගියා.

ප්‍රගීත් ඔහුගේ කතාව අතරමග නවතා මදක් කල්පනා කළේ අතීතය පිළිබඳ පුංචි කනගාටුවක් ඇති වූ නිසා වන්නට ඇති.

මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධිය වුණේ තාත්තාගේ සමුගැනීම. අපේ ජීවිතය උඩු යටිකුරු වුණා. තාත්තාගෙන් අපිට ලැබුණු දේ නැති වුනා. ජීවිතය ගෙනියන්න අමාරු වුණා. ඒ නිසා මට සිද්ධ වුණා රැකියාවක් සොයාගන්න.ඒ නිසා සංගීත කටයුතුවලින් ඈත් වුණා. ඔය අතරේ මට රැකියාවක් ලැබුණා. ඉතින් මම, සංගීතයට හිත යොමු නොකර ලැබුණ රැකියාව කරගෙන ගියා. අම්මවත් බලාගෙන. ඒ තාත්තා වගේ සිංදු කියන්න ඕන කියන පුංචි බලාපොරොත්තුවකුත් හිත ඇතුලේ තිබුණා. මුලින් ආර්ථිකය ශක්තිමත් කරගත යුතු නිසා රැකියාවට මුල් තැන දුන්නා. හැබැයි තාත්තා නැතිවෙලා අවුරුද්දකට විතර පසුව මම සංගීත ප්‍රසංගයකට සහභාගී උණා. කළුබෝවිල ප්‍රදේශයේ. ඒත් මම දිගටම සිංදු කියන්න උනන්දු වුණේ නැහැ. ඔය අතරේ තමයි මම විවාහ වෙන්නේ. මගේ බිරිඳ ශාමා පි‍්‍රයදර්ශනී. මට පුතාලා දෙනෙක් ඉන්නවා.’

කොතරම් බාධක පැමිණිය ද ප්‍රගීත් ඒවායින් නොසැලී ජීවිතය පවත්වාගෙන ගිය තරුණයෙකි. කවදා හෝ තම පියාගේ අඩිපාරේ යන්නට තිබු බලාපොරොත්තු අත් නොහැරීයේය. එයට රැකුල් දුන්නේ තමාගේ පුතුන් දෙදෙනා බව ප්‍රගීත් පැවසුවේ මහත් ආඩම්බරයකිනි.

මගේ පුතාලා දෙන්නම සංගීතයට ළැදියි. විශේෂයෙන් පොඩි පුතා. මගේ ලොකු පුතා අභීත ප්‍රභාෂ්වර. දෙවෙනි පුතා ආදිත්‍ය විභූෂණ. දෙවෙනි පුතා හරි ආසයි සංගීතය ඉගෙන ගන්න. සීයගෙ සින්දු අහන්න, කියන්න තමයි වැඩි උනන්දුව. ෆ්‍රෙඩි සිල්වාගේ මුනුපුරන් විදිහට ඒ දෙන්නා පාසලේත් ප්‍රසිද්ධයි. එයාලගේ පාසලේ විවිධ ප්‍රසංග වලදී මගේ තාත්තාගේ ගීතත් නිතරම යොදාගන්නා නිසා ඒ ගැන පුතාලා හරි ආඩම්බරයෙන් කතා කරනවා. එයාලට යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට ආවම පුතාලා දෙන්නා මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඇයි තාත්තටත් සීයට වගේ සින්දු කියන්න බැරි කියලා. සීයා ලංකාවේ හිටපු දක්ෂ ජනප්‍රිය ගායකයෙක් තාත්තත් සීයාගේ අඩි පාරේ යන්න කියලා ආයේ ගීත ගයන්න මාව උනන්දු කළේ පුතාලා දෙන්නා. ඒ නිසා තමයි මම නැවතත් තීරණයකට එන්නේ තාත්තා වගේ සිංදු කියන්න ඕන කියලා. අපේ තාත්තාගේ හිතේ තිබුණා ඒ කාලේ තාත්තා වගේ මමත් කවදා හරි ගායකයෙක් වෙයි කියලා. දරුවෝ දෙන්නගෙ ඉල්ලීම තමයි හොඳම අවස්ථාව කියලා වැටහුණා මට ප්‍රසංග වේදිකාවට එන්න.

ඊට පස්සේ මම හිමින්හිමින් මගේ ගමන පටන් ගත්තා. වේගයෙන් යාම පුරුද්දක් මට නැහැ. ඉවසීමෙන් පරිස්සමෙන් ඒ ගමන යන්න පටන් ගත්තා. ඒ විදිහට තමයි මම නැවතත් ප්‍රසංග වේදිකාවට ගොඩ උනේ.

දැනට අවුරුදු එකහමාරකට විතර කලින් තමයි කවුරුත් හරියට මාව දැන ගත්තේ. ජනප්‍රිය සිනමා නළු ජනප්‍රිය ගායක ෆ්‍රෙඩී සිල්වාගේ පුතෙක් විදිහට. ඒකට හේතුව වුණේ සමාජ මාධ්‍ය. ඒ නිසා ජනතාව අතර මාව ජනප්‍රිය චරිතයක් වුණා. බොහෝ දෙනෙක් මම කවුද කියලා හොයන්න ගත්තා. ඒ අතරතුර මට විවිධ රූපවාහිනී නාලිකා කීපයකින් ආරාධනා ලැබුණා. වැඩසටහන් වලට. ඒ නිසා මගේ හඬ විතරක් නෙමෙයි රූපයත් හොඳීන් හඳුනා ගත්තා. බොහෝ අය කිව්වේ තාත්තා වගේමයි කියලා. හඩත් රූපයත්. ඒක මට ලොකු ආඩම්බරයක්. ඉන්පසුව මට සංගීත ප්‍රසංග නිතර ලැබෙන්න පටන් ගත්තා. ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා තාත්තට වගේම හැමෝම ඉල්ලන්නේ තාත්තගෙ ගීත.

ප්‍රගීත් සිල්වා කෙසේ හෝ ගායකයකු ලෙස තම ඉලක්කය කරා ආ තැනැත්තෙකි. වේදිකාවේ ස්ථාවර වූ ගායකයෙකි. ඔහුට එසේ රැඳී සිටීමට ශක්තිය වන්නේ ඔහු වටා රොක් වූ රසික පිරිසයි.

නැවතත් ප්‍රගීත් තම හඬ අවදි කරමින් ඔහුගේ ඉදිරිය ගැන කතා කළේ දැඩි ප්‍රීතියකිනි. මට ජනප්‍රියත්වයක් තිබුණට මට ඒ ගැන අහංකාර කමක් හිතට දැනෙන්නේ නැහැ මම එදා හිටපු ප්‍රගීත් සිල්වාම තමයි. කාගෙත් හිත දිනාගෙන ඉදිරියට යාම තමයි මගේ එකම අරමුණ.

ෆ්‍රෙඩී සිල්වා මහතාගේම ගී ගයමින් ඉදිරියට යනවාද? නැත්නම් ඉදිරියේදී ඔබේම නිර්මාණත් රසිකයින්ට අසන්නට සැලැස්වීමට බලාපොරොත්තුවක් නැති දැයි ඇසූ පැනයට ප්‍රගීත් පිළිතුරු දුන්නේ මෙසේය.

මෙහෙමයි. මම ප්‍රසංග වේදිකාවට නැග්ගහම වැඩි ඉල්ලීම තියෙන්නේ තාත්තගෙ සින්දු වලට ඒ ගීත තමයි හැමෝගෙම හිතේ තියෙන්නේ. මතකයේ තියෙන්නේ. ඉතින් මම කියන්නේ තාත්තාගේ ගීත විතරයි. ඒත් අනාගතයේදී බලාපොරොත්තුවක් තියෙනවා මගේම ගීත කීපයක් නිර්මාණය කරගන්න. දැනටමත් ගීත කීපයක් මා ගාව තියෙනවා. මට මේ ගමනේදී ලොකු සහයක් දෙනවා චාන්දනී අක්කා. චාන්දනී ෆ්‍රෙඩී සිල්වා. මගේ ගායනයේ තියෙන අඩුපාඩු පෙන්වල දෙන්නෙත් චාන්දනී අක්කා. එයා අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායිකාවක් නිසා මම අක්කගේ උපදෙස් අකුරටම පිළිපදිනවා. එයාගේ උපදෙස් මට වටිනවා. අපි දෙන්නා හරි සමගියෙන් විනෝදයෙන් තමයි ප්‍රසංගවලට සහභාගී වෙන්නේ. එයත් එක්ක වැඩ කරන්න පහසුයි.

ශ්‍රී ලංකාව තුළ වගේම විදෙස් ප්‍රසංග වලටද සහභාගී වීමට ඔහු තුළ දැඩි කැමැත්තක් ඇත. එයට හේතුව විදෙස් රටවලින් ඔහුට ලැබෙන ඉහළ ප්‍රතිචාර නිසාය. යු ටියුබ් වැනි සමාජ මාධ්‍ය නිසා විදෙස් රටවල ඉන්න රසික පිරිසගෙන් මට ඉහළ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. නොසිතූ විරූ ලෙස. තාත්තගේ සින්දු වලට ආසා කරන අය මට පෞද්ගලිකව කතා කරනවා. සුභ පතනවා. ඒ නිසා ආරාධනා ලැබුණොත් විදෙස් ප්‍රසංගවලටත් සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

ඔහුගේ ඒ කතාබහ අතර නැවතත් පියා සමගින් ගෙවුණු කාලයේ විශේෂ සිද්ධික් සිහියට නැගුණු නිසා ප්‍රගීත් ඒ පිළිබඳ විස්තර ද සරසවියට හෙළි කළේය.

මගේ තාත්තා අපේ රටේ හිටපු දක්ෂ නළුවෙක්නේ. තාත්තා මාව රඟපෑමටත් යොමු කළා. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ රෝයි ද සිල්වා මහතාගේ ටෙලි නාට්‍යයක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ අතිශයින් ජනප්‍රිය ටෙලිනාට්‍ය වූ හොටෙල් ඩී කලබල’ නාට්‍යයේ මම චරිතයක් නිරූපණය කළා. ප්‍රවීණ රංගන ශිල්පීන් වන ගැමුණු විජේසූරිය මහතා, ටෙනිසන් කුරේ වැනි ශිල්පීන්ගේ ඇසුර මට ලැබුණා ඒ නිසා. ඒ අය එක්ක රඟපාන්න ලැබුණ එක මගේ ජීවිතයේ අමරණීය සිදුවීමක්. රොයි ද සිල්වා මහත්මයා මට කිව්වේ ‘ෆ්‍රෙඩී ජූනියර්’ කියලා. අදටත් මට ෆෙඩී ජූනියර් කියලා කතා කරනවනම් මම ආසයි. රොයි ද සිල්වා මහතාගේ සිනමා පටයකටත් සම්බන්ධ උණත් එය තාම තිරගත වුණේ නැහැ. ප්‍රවීණ චිත්‍රපටිය අධ්‍යක්ෂ ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ “පුදුමයි ඒත් ඇත්තයි” චිත්‍රපටයේ මම තාත්තයි එකට රඟපෑවා.

පියාගේ හැකියාවන් තම පුතාට පිහිටීම පුදුමයට කරුණක් නොවේ. ඒ පියා සිහිපත් කරමින් උපහාර දැක්වීමට ප්‍රගීත් සහ චාන්දනී ෆෙ‍්‍රඩී සිල්වා විසින් පසුගිය වසරේ ගුණානුස්මරණ ප්‍රසංගයක්ද පැවැත්වීම විශේෂත්වයකි.

අපි නැවතත් එවැනි උපහාරයක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ ගැන මාත් චාන්දනී අක්කාත් මේ දිනවල කතා කරමින් ඉන්නේ. රැකියාවත් කරන ගමන් මම සංගීත කටයුතුත් සමබරව කරගෙන යනවා . මේ සියලු දේ සඳහා මගේ බිරිඳගෙන් ලැබෙන්නේ ලොකු සහයක්. මගේ සංගීත කටයුතුවලටත් ඇගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.

අවසාන වශයෙන් මම ස්තුති කරන්න ඕන මාව මේ තත්ත්වයට ගෙන එන්න ශක්තිය දුන් සැමට. ඒ අතර විශේෂයෙන් සරසවිය පුවත්පතේ මාධ්‍යවේදනී හේමමාලී විජේයරත්න මහත්මියට. නැසී ගිය සංගීත් නිපුන් සනත් නන්දිසිරි මහතා සිහිපත් කරමින් එතුමාගේ අතින් නිර්මාණය වූ ගීි ඇතුළත් ප්‍රසංගයට මම සහභාගි වුණා. තාත්තාට නිර්මාණය කරපු ගීත කියන්න. ඒ අවස්ථාව දැකලා තමයි හේම මාලි මහත්මිය මට ආරාධනා කළේ සරසවියට එන්න කියලා. අපි වගේ අයටත් අතහිත දෙන පුවත්පතක් තමයි සරසවිය. ඉතින් ඒ හැමෝටම මම ස්තුති කරනවා.

ඇත්තෙන්ම ප්‍රගීත් සිල්වා යනු අහිංසක චරිතයකි. තාත්තාගේ හැකියාව උරුම කරගත් ඔහු තමාගේ සංගීත ගමන යන්නේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන ලෙසටය.

ඔහුගේ පියා ෆ්‍රෙඩි සිල්වා මහතා මෙන් අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වීමට ප්‍රගීත් සිල්වාට හැකියාව ඇත. සරසවිය හා සුහද කතාබහට එක් වූ ඔහු නැවතත් දිනෙක සරසවිය හා එක්වන බලාපොරොත්තුවෙන් සමුගත්තේ හදපිරි සතුටිනි.

 

[email protected]

සේයාරූ – ශාන් රූපස්සර

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT