Home » සමුගත් කුමරිය

සමුගත් කුමරිය

by Thanushika
February 27, 2025 11:14 am 0 comment

ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට රංග ශිල්පිනියක මෙන්ම දක්ෂ ගුවන් විදුලි රූපවාහිනී නිවේදිකාවක, හඬ කැවීම් ශිල්පිනියක, ප්‍රසංග වේදිකා නිවේදිකාවක නෘත්‍ය ගී ගායිකාවක ගුවන් විදුලි සරල ගී ගායිකාවක වූ කුමාරි පෙරේරා මහත්මිය. ඉකුත් 13 වැනිදා සිය දිවි සැරිය නිමා කරනු ලැබුවේ තම රසික සිත් සතන්හි මතකයන් රැසක් ඉතිරි කරමිනි. 1956 සැප්තැම්බර් මස 12 වැනිදා උපත ලැබු භද්‍රා කුමාරි පෙරේරා මියයනවිට 69 වන වියේ පසුවූවාය.

කුමාරි පෙරේරා නමින් කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය වූ ඈ රොම්ලස් ද සිල්වා නිෂ්පාදනය කළ ඓතිහාසික කතාපුවතක් රැගත් වෙස්සන්තර නාට්‍යයේ ක්‍රිෂ්ණ ජිනාගේ චරිතය රඟමින් මුල්වරට වේදිකාවට ප්‍රවිෂ්ට වුවාය. ඒ වනවිට අට හැවිරිදි වියේ පසු වු කුමාරි පෙරේරා ජයශාන්ත වානගුරුගේ වටකුරු පැංචා නාට්‍යයේ රඟමින් ප්‍රසිද්ධ වේදිකාවට එක්වූවාය. ඇය පැරණි ටවර්හෝල් නළු නිළි යුවළක් හා ගායන ශිල්පී ශිල්පිනියන් යුවළක් වූ එල්.කේ. සෝම කාන්තාගේ හා ටී.විල්බට් පෙරේරා යුවළගේ දියණියක් ද වුවාය.

නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පී පී ෂෙල්ටන් පෙරේරාගේ හා රංගන ශිල්පිනී සුරිය රාණි පෙරේරාගේ නැගණියක වූ කුමාරි පෙරේරා අටහැවිිරිදි වියේදී හා පුරා කියා රංගනයට අත්පොත් තැබීය. මහඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ හා සිංහබාහු නව නිෂ්පාදනයේ 1972 සිට 1980 දක්වා මනමේ නාට්‍යයේ මනමේ කුමරිය ලෙසත් සිංහබාහු නාට්‍යයේ සිංහසීවලී ලෙසත් ඈ රඟපෑවාය.

අටදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස කාගේත් ආදරය දිනාගනිමින් හැදී වැඩුණු කුමාරි පෙරේරා පැරැණි කලා පවුලක සාමාජිකාවක් ලෙසින්. කලාවට ප්‍රවිශ්ට වන්නේ ටවර් හෝල් නාට්‍ය රංගනයත් සමඟිනි. ඒ සිවම්මා ධනපාල, රාමායණය, සිරිසඟබෝ, ශ්‍රී වික්‍රම, පද්මාවතී, විදුර නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙමිනි. වටකුරු පැංචා නාට්‍ය රංගනයත් සමඟ ප්‍රසිද්ධ වේදිකාවේ දුරගමනක් යන කුමාරි පෙරේරා සිකුරුවන්නම, සුරඅසුර, චිත්‍රාගේ පේ‍්‍රම කතාව, අඹුසැමියෝ, දිවැස් හෙලනු මැන, සුරූපී විරූපී, කොන්ත නෝනා, සුංබුං, පිටස්තරයෝ, ඉරි කෑලි තුනක්, රන්සෙවණ, ඇගේ නම රතී, සරසවියයි මහ මුහුදයි, ගිරග්ග සමජ්ජ, සිකුරුවාරය, අන්දරේලා, අමල් බිසෝ, උඩහගෙදර රත්තරං ආදී වේදිකා නාට්‍ය එකසිය පහනකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වූවාය.

වෙසතුරු සිරිත චිත්‍රපටයේ ළමා චරිතයකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට එක්වන කුමාරි, සිකුරු දසාව, තෙවත, ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපට සඳහා ද රංගයෙන් දායක වූවාය. ඇගේ සිනමා රංගනයන් තුළ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ ඇය කළ පද්මෙගේ බිරියගේ රංගනය කා අතරත් කතාබහට ලක්විය.

මරදාන ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙනුම ලැබු කුමාරි ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදිකාවක ලෙසින් ද ජනපි‍්‍රයත්වයක් දිනාගනු ලැබුවාය.

ගුවන්විදුලියේ බී ශ්‍රේණියේ සරල ගී ගායිකාවක වූ කුමාරි නෘත්‍ය ගී ගායනයට ද උපන් හපන්කම් දැක්වීය. ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් ධම්ම ජාගොඩයන්ගෙන් නැටුම් ඉගෙන ගනු ලැබු කුමාරි 1985 වසරේ ජාතික රූපවාහිනියට බඳවාගත් සම්බන්ධීකරණ නිවේදිකාවන් හයදෙනාගෙන් කෙනෙකු වන්නට ද වාසනාවන්ත වුවාය. ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ හා රූපවාහිනියේ නිවේදිකාවක ලෙසින් කටයුතු කළ කුමාරි නෙත්සැර, ගී අනුවාදන, සිගිති කථා, නිම්නාද, ආයුබෝවන්, ගීත මංජරී, කෝමල රේඛා, මධුර ගීතම් ආදී වැඩසටහන් රාශියකින් ජනපි‍්‍රයත්වයක් ලැබුවාය. ගුවන් විදුලියේ වෙළෙඳ සේවය ඔස්සේ අසන්නන්ගේ ඉල්ලීම්, කාන්තා වැඩසටහන් මධුරසාංග, භාරත ගී රාවය ඇතුළු වැඩසටහන් රැසක් සමඟින් කුමාරි ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර නොමඳ ගෞරවාරදයට පත්වුවාය.

1982 දී ලංකාවේ ප්‍රථමවරට මැදිරියක් තුළ භද්‍රාජි මහින්ද ජයතිලක නිෂ්පාදනය කළ ටෙලිනාට්‍ය වූ “අතරමඟ නවාතැනක්” නාට්‍යයේ ප්‍රධාන නිළිය වෙමින් එහි සුමනාවතී බෝකුන්දර චරිතය ඉදිරිපත් කර ටෙලි නාට්‍ය රංගනයට එක් වූ කුමාරි පෙරේරා ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට පසුව රංගනයෙන් එක්වනු ලැබුවාය. ගැහැනු කවුරුද, සංක්‍රාන්තිසමය, ඉරහඳයට. ප්‍රතිරාවය, උඩහගෙදර, රත්තරං, අවුරුදු දා ගොඩගෙරවිලි, කපුරුකන්ද, කළු, වෙස්සන්තර කතාව, ලොකු අයියා, වීදුරු ගෙවල්, පොද වැස්ස, නෙළන්න බැරි මල්, බඹර අසපුව, උඩවැඩියා මල්, යකාගෙ බිල්ල, ඉරබට තරුව, සක්විති කිරුළ, සිටුමැදුර, කප්රුක, කුරුලු වහල කන්දෙගෙදර ඒ අතරින් කිහිපයකි.

කන්දෙ ගෙදර, ඉරට හඩන මල්, පොදවැස්ස, බෝඩිම, සඳුන්ගිර ගිනිගනී, මඩොල්දුව, කුමාරිගේ ටෙලිනාට්‍ය රංගන දිවියේ පේ‍්‍රක්ෂක සිත් සතන්හි අදත් මතකයේ රැදුණු නිර්මාණ අතර කැපී පෙනේ. සත්සර රංගන, ධර්මාධිකරණය, ටෙලි නාට්‍ය මාලාවන්ද ඒ අතර සුවිශේෂී කොට දැකිය හැක.

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ මුල්ම කොටස් 52 සඳහා රංගනයෙන් දායක වූ කුමාරි එහි මුදලාලි හාමිනේගේ දුව මාලනී නගාගේ චරිතය තුළින් එවක රූපවාහිනි පේ‍්‍රක්ෂකයන් අතර ජනප්‍රිය විය. රංගනය උදෙසා සම්මානනීය වූ කුමාරි පෙරේරා 1976 දි රාජ්‍ය නාට්‍ය උලෙළේ දී උඩහගෙදර රත්තරං නාට්‍යයේ රූපවතීගේ චරිතය වෙනුවෙන් හා අමල්බිසෝ නාට්‍යයේ – හාමිනේගේ චරිතය වෙනුවෙන් විශිෂ්ට කුසලතා සම්මාන දිනා ගැනීමට ද වාසනාවන්ත වූවාය. ටයිටස් තොටවත්වයන්ගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වූ හඬ කැවීම් ටෙලි නිර්මාණ බොහොමයක් වෙනුවෙන් හඬ කැවීම් ශිල්පිනියක ලෙසින් දායක වූ කුමාරි වෙළෙඳ දැන්වීම් කිහිපයක් වෙනුවෙන් ද තම රංගනය එක් කළාය. තොත්ත බබාලා, ඔෂින්, කාටුන්, විදෙස් ටෙලි නාට්‍ය ආදී වැඩසටහන් ඇගේ හඬ කැවීම්, දක්ෂතාවයන්ට කදිම උදාරහණ කිහිපයකි.

වාර්තා චිත්‍රපට දහයකට පමණ රංගනයෙන් එක් වූ කුමාරි සංගීතා ඇතුළු චිත්‍රපට කිහිපයක් වෙනුවෙන්ද දෙබස් කැවීමේ කටයුත්තට දායක වුවාය. 1988 වසරේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රේණිගත සරල ගී ශිල්පිනියක මෙන්ම නුර්ති ගී ශිල්පිනියක ලෙසින් ද කටයුතු කරමින් සිට 1995 දී එහි නිවේදිකාවක ලෙසින් ද කටයුතු කිරීම ආරම්භ කරනු ලැබීය.

ගුවන්විදුලි මාධ්‍යයේ මෙන්ම රූපවාහිනි මාධ්‍යයේ සාර්ථක නිවේදිකාවක වූ ඇය ටවර් හෝල් රඟහල් පදනම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ සෑම නාට්‍යමය සංගීතමය හා ප්‍රසංගාත්මක උත්සවයකදීම එහි නිත්‍ය නිවේදිකාවක ලෙස දිර්ඝ කාලයක් කටයුතු කරනු ලැබීය.

කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ඇය කළ සේවය අගයමින් වරින්වර කුමාරි සම්මානයට පාත්‍ර වූ අවස්ථාවන් ද විය. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් රාජ්‍ය සම්මාන උලෙළේ දී කලා භූෂණ සම්මානයෙන් ද කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කළ සේවය අගයමින් ඇයට 2010 වසරේ කලා කීර්ති දිරිය මාතා ගෞරව උපාධි නාමය ද පිරිනැමිණි. ඊට අමතරව ඇයට සරසවි නිර්මාණ රංග පීඨය පිරිනැමු සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මානයද හිමි විය.

ප්‍රවීණ සංගීතඥ රංජිත් යාපා ද අල්විස්ගේ පි‍්‍රය භාර්යාව වූ කුමාරි පෙරේරා සඳුනිකා ඉන්දීවරී දියණියගේ ආදරණීය මව වුවාය.

ඉකුත් 15 වැනිදා මළ හිරු බැස යන සැදෑ යාමයේ දක්ෂතා රැසකින් පරිපුර්ණ ජ්‍යේෂ්ඨ රංග වේදිනියක, නිවේදිකාවක, ගායිකාවක වූ තොට ගමගේ භද්‍රා කුමාරි පෙරේරා තමන්ට ආදරය කළ රසික රසිකාවන්ට තම කුසලතාවන්ගේ මතකයන් ඉතිරිකොට බොරැල්ල පොදු සුසාන භූමියේදී මේ මිහිතලයට සදහටම සමුදෙනු ලැබුවාය.

 

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT