Home » සමාජ විපරිණාමය වැලක් නම් එය එතීගිය වෘක්ෂය ලෙස මා මේ කතාවේ නිරූපිතයි

සමාජ විපරිණාමය වැලක් නම් එය එතීගිය වෘක්ෂය ලෙස මා මේ කතාවේ නිරූපිතයි

රංගන ශිල්පි රාජසිංහ ලෝලුවාගොඩ

by Thanushika
June 5, 2025 11:59 am 0 comment

ඔහුට හිමිව තිබූ විචිත්‍රවත් , සෞන්දර්යාත්මක ළමා විය, තරුණ විය හා බැඳුණු වැටමායිම් නොමැති සොඳුරු පාරිසරික , සමාජ පසුබිම ගෝලීයකරණයත් සමඟ ව්‍යවසනයකට ලක්වීම සිය ජීවිතය තුළ අත්විඳ තිබුණි. එකී සමාජ පරිවර්තනය ඔහුගේ දිවියට සමාන්තරව , බද්ධව ලිවීමේ අවශ්‍යතාව රංගන ශිල්පි රාජසිංහ ලෝලුවාගොඩ නම්වූ ඔහුට තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස “එකෝමත් එක කාලෙක” (Once Upon A Time) ඔහු අතින් රචනා විය. සිය ග්‍රන්ථය පිළිබඳවත් , සිය කලාදිවියේ මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳවත් සාකච්ඡා කිරීමට රාජසිංහ ලෝලුවාගොඩ (ලෝලු) මෙසේ සරසවිය හා එක්විය.

මොකද්ද මේ “එකෝමත් එක කාලෙක” කියන්නේ ……?

“එකෝමත් එක කාලෙක” (Once Upon A Time) කියන්නේ එකෝමත් එක කාලෙක සිදුවූ විචිත්‍රවත් සිදුවීම් පෙළක් කියා හඳුන්වන්න පුළුවන් . මෙය මා විසින් රචනා කළ ග්‍රන්ථයක්.

මෙම ග්‍රන්ථය රචනා කිරීමට පෙළඹවීමක් ඇතිකරන්න විශේෂ හේතුවක් තිබුණද……?

තරුණ වියක් වගේම ඒ වයස් කාණ්ඩ හා බැඳුණු වැටමායිම් නැති ඒකීයභාවයෙන් යුතු සමාජයක්. විචිත්‍රවත් පාරිසරික වටපිටාවක් ද තිබුණා . ගෝලීයකරණයත් එක්ක එකී සමාජ පරිසරය අසීමිත ව්‍යවසනයකට ලක්වුණා . එහි ප්‍රතිඵලයක් ලෙස අද ළමයකුට අත්විඳීය හැකි ළමා විය, තරුණ විය ඉතා කෙටියි. ඒතුළ විචිත්‍රවත් බව හීනවෙලා. මිනිසාගේ බුද්ධිමය නිම්වළලු අනන්තය දක්වා විහිදුවාලීමට හැකියාව තිබියදී කාගේ හෝ දත්තයන් සමූහයක් අන්තර්ගත මෙවලමකින් සියල්ල තීරණය වන තැනට අද සමාජය පත්වෙලා. මා ඇස් හැරිය පරිසරයේ තිබූ සෞන්දර්යාත්මක බව දැන් මා දකින පරිසරයෙන් අතුරුදන් වෙලා. අද ඇස් අරින දරුවා ඔහුගේ භූමිය ලෙස දකින්නේ කර්මාන්ත පුරයක්. එහි වරදක් කියනවා නොව මේ සියල්ල තුළ ජීවිතයේ යම් වකවානු ඒ ජීවිත තුළට අහිමිවෙලා. මේ දේවල් මගේ ජීවිතයට සමාන්තරව සහ බද්ධව ලිවීමේ වුවමනාවක් මට තිබුණා. නිවැරැදි ලෙසම කීවොත් මේ පාරිසරික හා සමාජ විපරිණාමය වැලක් නම් එය එතීගිය වෘක්ෂය ලෙස මම මේ කතාව තුළ නිරූපිතයි.

මෙහි අන්තර්ගතය ඔබේ ජීවිතය සමඟ කෙසේනම් බද්ධවේද…..?

ඔව්, මේ සියලුම සිදුවීම් මගේ අත්දැකීම් හා බද්ධයි. මේ පාරිසරික හා සමාජ විපරිණාමය යම් වැලක් නම් මා කලින් කී පරිදි එය එසවී දැඩිවී තිබෙන වෘක්ෂයක් ලෙස මා නිරූපිතයි. එහිදී ග්‍රාමීය දරුවකු කොළඹට සංක්‍රමණය වීමේදී සිදුවන අක්‍රමිකතා, ගම තුළ පවතින අක්‍රමිකතා, මිනිස් බැඳීම් හා පවතින අක්‍රමිකතා, අමානුෂිකත්වය, අසාධාරණය, පාරිසරික, සමාජීය විපරිණාමය, ගෝලීයකරණය හා සමගාමීව සමාජ සංස්ථාව තුළ වූ විපර්යාසයන් මගේ අත්දැකීම්කොට ඉදිරිපත් කිරීමේ පහසුවක් මා දැක්කා. ඒ නිසා එය මගේ දැක්මක් ලෙස මේ ග්‍රන්ථය තුළ මා සටහන් කළා.

“එකෝමත් එක කාලෙක” (Once Upon A Time) චරිත ගොඩනැඟීමේදී විශේෂ උපක්‍රම යොදාගත්තාද……?

මෙහි චරිත ගොඩනැංවීමේදී විශේෂ ආයාසයක් යෙදවීමට අවශ්‍ය නොවුණේ මේ සියලුදෙනා මගේ ජීවිතය හා බැඳුණු , මාහට අත්දැකීම් එක් කළ , මගේ පරිසරය හා බැඳී අය නිසයි. යම් කතාවක් නිර්මාණයේදී නාමයන් වෙනස් කරන්න වෙනවා. සමහර විටෙක ඇතැමුන්ට අගෞරවයක් වියහැකි බැවින් ඇතැම් චරිත , යම් සිද්ධියක් නිරූපණයේදී අලුත් දේ එකතු කිරීමට සිදුවෙනවා . එනිසා සැම චරිතයක්ම සැබෑ චරිත නොවෙන්න පුළුවන් . යම් සිද්ධීන් ඉදිරිපත් කිරීමේදී අලුතින් චරිත නිර්මාණය කළා . එහෙත් මේ මූලික රේඛාව තුළ වූ සියල්ල මගේ ජීවිතය හා බැඳුණු චරිත හා සම්බන්ධයි යම් නිර්මාණාත්මක ආකාරයකට

මීට පෙර සාහිත්‍යකරණයට යොමුවී නැද්ද…..?

මීට පෙර මම සාහිත්‍යකරණයට යොමුවී නැහැ . මම උසස්පෙළ හැදෑරුවේ ජීවවිද්‍යාව. සාහිත්‍ය රසවින්දනයට නම් මම විශාල ලෙස ඇබ්බැහිවූවෙක්.

පාසල් සමයේ සාහිත්‍යයට නැඹුරුවක් තිබුණාද….?

පාසල් සමයේ බොහෝ දුෂ්කරව අධ්‍යාපනය හදාරන්න මට සිදුවුණා . එකල මගේ පියාගේ රැකියාවද අහිමිවී තිබුණා. එනිසා සාහිත්‍ය , නාට්‍ය වැනි දේට යොමුවුණේ නැහැ . පාසල් අධ්‍යාපනය හොඳීන් කළයුතුයි යන අදහසයි මට තිබුණේ

රංගන ශිල්පියකු වූ ඔබ පසුගිය සමයේ නිහඬව සිටියා…….?

මම කාලයක් රංගන ශිල්පියකු ලෙස වෘත්තියමය වශයෙන් අඛණ්ඩව දායකවුණා. ඒත් 2019 දෙසැම්බර් 13 වැනිදා සිදුවූ බරපතළ අනතුරක් නිසා කාලයක් තිස්සේම මට නිවෙසටවී ඉන්න වුණා. ඒත් සම්පූර්ණ රංගනයෙන් ඉවත්ව සිටියේ නැහැ . ප්‍රතිකාර ගන්නා අතර මම ක්ෂේත්‍රයේ කළහැකි දේ කළා . ඉන්පසු එකදිගට මට අනතුරු රැසක්ම වුණා.(ඩෙංගුත් හැදුණා). ඒ නිසා රංගනයෙක් සක්‍රිය ලෙස තරමක් ඈත්වුණා. ඒ කාලයේ ටෙලිනාට්‍ය කලාවේත් වෙනස්කම් රැසක්ම වුණා. රියැලිටි තරග, අවුරුදු කුමරා, කුමරිය තරගවලින් පැමිණි ළමයි වෙනුවෙන් පිටපත් ලියවෙන්න ගත්තා. අපිත් එක්ක කාලයක් වැඩකළ අධ්‍යක්ෂවරු , නිෂ්පාදකවරු ක්ෂේත්‍රයෙන් ඉවත්වුණා . නව අධ්‍යක්ෂවරුන් අපි පිළිබඳ අවබෝධයකින් හිටියේ නැහැ . අපට රංගනයට ආරාධනා කළත් ඒ පිටපත් තුළ තිබූ චරිත හරිම කෙටියි වගේම ඉතා අඩු වැටුපකට වැඩකරන්න ඔවුන්ගෙන් ඉල්ලීම් ලැබී තිබුණා . මේ හේතු නිසා රංගනයේ මගේ සක්‍රිය දායකත්වය අඩුවුණා. දැන් නැවත මම රංගනයේ යම් සක්‍රිය තත්ත්වයකට පැමිණෙමින් තිබෙනවා .

ඔබේ රංගන දිවියේ ආරම්භය සිදුවුණේ කොහොමද ….?

පාසල් අධ්‍යාපනයෙන් පසු ගමේ වෙසක් නාට්‍ය කණ්ඩායමේ කටයුතු කරද්දි එවකට සිටි තරුණසේවා නිලධාරියෙක්ගේ මඟපෙන්වීම යටතේ 1986දී දිවුලපිටිය යොවුන්පුරයට කෙටි නාට්‍යයක් ඉදිරිපත් කළා. නාට්‍යකරණය පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමක් සිදුනොවුණත් පොතපත කියවීමෙන්, කොළඹ වැඩමුළු , වැඩසටහන් සඳහා එක්වීමෙන් ලබාගත් දැනුම උපයෝගී කරගැනීම නිසා කෙටි නාට්‍ය තරගයේ යම් ජයග්‍රහණයක් ලබාගන්න හැකිවුණා. මේහේතුව නිසාම මා ගැන යම් කතිකාවක් ප්‍රදේශය තුළ නිර්මාණය වුණා. 1988දී සී.ටී. පෙරේරා නම් නිෂ්පාදකවරයා (ඔහු විජය හා මාලිනී එක්කර තැනූ “ගංගා” චිත්‍රපටයේ නිෂ්පාදක) මාව සොයාගෙන අපේ ගෙදරට ආවා. ඔහු නිපදවන “සතී” චිත්‍රපටයට මාව සම්බන්ධ කරගන්න කැමැතියි කියලා , එයට දායකවෙන්න කියා මට පැවසුවා . ඒක තමයි රංගන දිවියේ ආරම්භය.

රංගන දිවියේ සුවිශේෂී චරිත ගැන මතකාවර්ජනය කළොත් …..?

රන්ජන් රාමනායකගේ “පාර්ලිමන්ට් ජෝක්ස්” චිත්‍රපටය 2001 ජනවාරි 25 රූගතකිරීම් ඇරඹුවා. 2002 ජනවාරි 25 ප්‍රදර්ශනය ඇරඹුවා. එහි සහාය කලා අධ්‍යක්ෂ ලෙසත් එහි චරිත රැසකට හඬකැවීමෙනුත් උපප්‍රධාන රංගන ශිල්පියකු ලෙසත් දායක වුණා. එහි “රාහුල” හිමිගේ චරිතය කළේ මම. මේ චිත්‍රපටයට විශාල ජනාකර්ෂණයක් ලැබුණා. මෙහි රංගනයෙන් මගේ රංගනයේ යම් ශක්‍යතාවක් ප්‍රේක්ෂකයා හඳුනාගත්තා. ඉන්පසු දිගටම මට ප්‍රධාන, උපප්‍රධාන චරිත ලැබුණා. “පාර්ලිමන්ට් ජෝක්ස්” මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒවගේම මුල් යුගයේ දීර්ඝ ටෙලිනාට්‍යයක් වූ “වසූදා”හි “නෙවිල්” නමැති දුෂ්ට චරිතයක් රඟපෑවා . ඒ චරිතයත් අතිශයින්ම රට පුරාම ජනප්‍රිය වුණා. රට වටෙන්ම මට විශාල ප්‍රතිචාර ලැබුණා . චත්‍ර වීරමන්ගේ “අලෝකෝ උදපාදි” චිත්‍රපටයේ “චූලසිව” හිමියන්ගේ චරිතයත් විශාල ලෙස ප්‍රේක්ෂකයා අතරට ගියා. මේවා මගේ රංගන දිවියේ සුවිශේෂී චරිත කියන්න පුළුවන්

කලා දිවියේ අමතක නොවන සිදුවීමුත් ඇති….?

අමතක නොවන සිදුවීම් නම් බොහෝමයි. නාලන් මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂණය කළ “සූරිය දරුවෝ”

ටෙලිනාට්‍යයේ අවස්ථාවක් මතකයට එනවා. රූගතකිරීම් කළේ පන්නිපිටියේ අඹගස්හතර හන්දියේ . එදා රූගතකිරීමට සිටියේ යශෝධා විමලධර්ම, චන්න පෙරේරා , රොෂාන් පිලපිටිය , අජිත් ලොකුගේ, චතුරිකා පීරිස් වැනි පිරිස. එහිදී චන්න පෙරේරාව පැහැරගෙන ඇවිත් කාමරයකට දාලා , මාංචු දාලා , එයාට බත් එකක් කන්න දෙනවා. බත් කන්න එයාගේ මාංචු ගලවන්න ඕනේ, එතකොට චන්න මට ගහලා මාංචු දාලා පැනලා යන අවස්ථාව තමයි රූගත කරන්න තිබ්බේ. ඒත් චන්නගේ මාංචු ගලවන්න හදද්දි එහි යතුර කැඩිලා ගියා මාංචුව ඇතුළේ. කොයිවිදිහකින්වත් මේ මාංචුව ගලවන්න බැහැ . හැම තැනකටම අරන්ගියා මාංචුව ගලවන්න. අන්තිමට චන්නගේ අත දඬු අඬුවකට තියලා තදකරලා යකඩ කපන කියතකින් කපලා තමයි මාංචු කුට්ටම ගැලෙව්වේ. එදා රූගතකිරීම් විශාල ලෙස මඟහැරුණා. ඒ සිද්ධිය කවදාවත් අමතක වෙන්නේ නැහැ

ඔබ සටන් නළුවකු ලෙස ද ප්‍රසිද්ධයි….?

සටන් නළුවකු කියනවට වඩා මා සිතන්නේ මම ප්‍රතිවීර හෙවත් දුෂ්ට චරිත රඟපෑ නළුවකු ලෙස හඳුන්වනවා නම් නිවැරදියි කියලා . එවැනි චරිත තුළ සටන් තිබුණා. සටන් නළුවා මට වඩා බොහෝදුරට සටන්කලාව ප්‍රගුණ කළ කෙනෙක් වියයුතුයි. මාත් යම් ආකාරයකට සටන් ප්‍රගුණ කළා. මට ලැබුණේ චරිත රඟපෑමටයි. ඒවා සටන් ඇතුළත් ප්‍රතිවීර චරිත. චිත්‍රපටවල මම සටන් ජවනිකා නිරූපණය කළා

ඔබ ආගමික නායකයන්ගේ චරිතවලටත් පණදුන්නා……?

ඔව්, මම ආගමික නායකයන්ගේ පූජනීය චරිත කළා. බෞද්ධ ස්වාමීන් වහන්සේ චරිත ටෙලිනාට්‍ය හා චිත්‍රපට 97ක පමණ රඟපෑවා. මීගමුව ආශ්‍රිත පාස්කු වේදිකා නාට්‍යවල ජේසුස් වහන්සේගේ චරිතය 27වරක් රඟපෑවා. ඊට අමතරව ජේසුස් වහන්සේ වෙනුවෙන් මගේ හඬ රට පුරා නොයෙක් නිර්මාණවලට දායක කරගෙන තිබෙනවා

රංගනයට අමතරව කලා අධ්‍යක්ෂවරයකු ලෙසත් ඔබ නිර්මාණවලට දායකවුණා නේද…..?

කලා අධ්‍යක්ෂවරයෙක් වෙන්න අදහසක් තිබුණේ නැහැ. මා දායක වූ පළමු චිත්‍රපටය වන “සතී” චිත්‍රපටයට විශාල ලෙස චිත්‍ර අවශ්‍යව තිබුණා. මට එකල චිත්‍ර ඇඳීමට හැකියාව තිබුණා .එහිදී අධ්‍යක්ෂවරයා මාව කලා අධ්‍යක්ෂණයට තෝරාගත්තත් එහි වගකීම ගැන මම දැනගෙන සිටියේ නැහැ. ඔහේ කරගෙන ගියා. පසුවයි එහි වගකීම් ගැන දැනුම්වත් වුණේ. ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකම සහාය කලා අධ්‍යක්ෂ ලෙසත් ප්‍රධාන කලා අධ්‍යක්ෂ ලෙසත් දායක වුණා. කලා අධ්‍යක්ෂණය බොහෝ භාරධූර කටයුත්තක්. මම අවසානයට වැඩකළේ උදයකාන්ත වර්ණසූරියගේ “යකඩ පිහාටු” චිත්‍රපටයේ. එහි සුනෙත් නන්දලාල්ගේ සහාය කලා අධ්‍යක්ෂවරයා ලෙස මම සිටියේ.

රංගනය සහ කලා අධ්‍යක්ෂණය යන විෂයයන් දෙක තුළ දකින වෙනස්කම් මොනවාද ….? එකී විෂයයන් දෙක ඔබට කෙසේද දැනෙන්නේ…..?

රංගනය සහ කලා අධ්‍යක්ෂණය කියන්නේ එකම ක්ෂේත්‍රයක වෘත්තීන් දෙකක්. ඇතැම් අවස්ථාවල එකිනෙකට සම්බන්ධ වුණත් කියා නිමකළ නොහැකි පරතරයකට විහිදී ගිය සංකීර්ණ වෘත්තීන් දෙකක්. එසේම බරපතළ වගකීම් දෙකක්. ඒ වෘත්තීන් දෙකේ බරපතළකම මා වටහාගෙන තිබෙනවා. එකල පැරණි රංගන ශිල්පීන් කලා අධ්‍යක්ෂට සහයෝගය දුන් පිළිවෙළක් තිබුණා. රංගනයෙන් කලා අධ්‍යක්ෂණයටත්, කලා අධ්‍යක්ෂණයෙන් රංගනයටත් සහායක් ලැබුණා . එකල දැන් වගේ කලා අධ්‍යක්ෂණයට විශාල පිරිසක් හිටියේ නැහැ. ඇඳුම් පැලඳුම්වල, පසුතල නිර්මාණවල අඛණ්ඩ සම්බන්ධය ගැන සටහන් තබාගත යුත්තේත් කලා අධ්‍යක්ෂවරයා. එකල තාක්ෂණය නොදියුණු යුගයේ කලා අධ්‍යක්ෂණය යනු ඉතා බරපතළම සහ කැපකිරීම් කළයුතු කාර්යයක්. මෙහිදී ලැබෙන දෝෂාරෝපණත් එමටයි. රංගනය අසීමිත වගකීම් සහිත වෘත්තියක්. එය මෙයාකාරයි කියා විස්තර කරන්න බැහැ. මේ වෘත්තීන් දෙකම අන්‍යෝන්‍ය සබඳතා සහිත වෘත්තීන් දෙකක්. ඒ දෙකටම අනන්‍ය වූ ලක්ෂණය තමයි බරපතළ වගකීම කියන දේ…

සිනමා රංගනයේ සුවිශේෂී සංධිස්ථාන සිහිකළොත් …….?

සිනමාවේ උප ප්‍රධාන චරිත බොහෝ නිරූපණය කර තිබෙනවා. ප්‍රධාන දුෂ්ට චරිත රඟපා තිබෙනවා. “පාර්ලිමන්ට් ජෝක්ස්” චිත්‍රපටයේ “රාහුල හිමි” චරිතය සහ “ආලෝකෝ උදපාදි” චිත්‍රපටයේ “චූලසිව” හිමියන්ගේ චරිතය යම් සංධිස්ථාන කියන්න පුළුවන් . සිනමාවේ මට වැඩියෙන්ම දැනුණු චරිත දෙක ඒවායි කියා සිතනවා.

රාජසිංහ ලෝලුවාගොඩ නමැති හඬකැවීම් ශිල්පියා ගැන කතාකළොත් ….?

හඬකැවීමට මම යොමුවූයේ දීර්ඝ කාලයකට පෙරයි. ඒ කාලයේ අද තාක්ෂණය නෙවෙයි තිබ්බේ. අදාළ ශිල්පීන් චිත්‍රාගාරය තුළ එකවර හඬකැවීම් කළයුතුයි. එකල වෙනත් නළුවන්ට හඬකැවීමට මට සිදුවුණා. ඒ කාලයේ සෑම නළුවකුටම එකල තිබූ ක්‍රමවේදය අනුව හඬකැවීම කළ නොහැකියි. සමහරුන් එයට උචිත නැහැ. සමහරුන්ට බර කටහඬක් තිබුණේ නැහැ . එකල යම් සටන් නළුවන්ට මගේ හඬ දෙන්න අවස්ථාව ලැබුණා. අපි ඉතා ආස කළ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අයියා රඟපෑ චිත්‍රපට 06ක ඔහුගේ චරිතවලට හඬ මුසුකළා. තලවතුගොඩ ඊ.ම්. චිත්‍රාගාරයේත් සරසවි චිත්‍රාගාරයේත් තමයි මට හඬකැවීම් අවස්ථා තිබුණේ. පසුකාලීනව විදෙස් ටෙලිනාට්‍ය ලංකාවට එද්දී සෑම රූපවාහිනී නාළිකාවකම මම කාර්යබහුල හඬකැවීම් ශිල්පියෙක් වුණා. ගුවන්විදුලි නාළිකා රැසකත් මට ගුවන්විදුලි ශිල්පියකු විදිහට කටයුතු කරන්න ලැබුණා

රංගනය පිළිබඳ වැඩමුළු සඳහාත් සම්බන්ධ වෙනවා නේද…..?

විවිධ අයගේ ඉල්ලීම් මත එවැනිදේට සම්පත්දායකයකු ලෙස සම්බන්ධ වුණා. කොළඹ තදාසන්න ප්‍රදේශවල තිබූ වැඩසටහන්වලටත් මගේ දායකත්වය ලබාගත්තා. අපට එකල විද්වත් පිරිසකගෙන් යම් දැනුමක් ලබාගන්නත් අවස්ථාව ලැබුණා තරුණසේවා සභාවේ මූලිකත්වයෙන්. ඒ දැනුම සහ අප නිරතවූ දෑ තුළින් ලබාගත් ප්‍රායෝගික දැනුම ද උපයෝගී කරගෙන මම රංගනය පිළිබඳ වැඩමුළුවලට දායකවී තිබෙනවා. මේ කිසිවක් මමම ආරම්භ කර මම උගන්වනවා කියා සිතාගෙන කළ දේවල් නෙවෙයි. කිසියම් හෝ විශ්වාසයක් මත මට ඒ ආරාධනා ලැබුණා. එවැනි දෑ එකකට දෙකකට සම්බන්ධ වුණාම දිගින්දිගටම මට ආරාධනා ලැබුණා. එහෙත් මම පෞද්ගලිකව රංගනය පිළිබඳ උගන්වන කෙනෙක් නෙවෙයි

වත්මන් සිනමාවේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද…..?

වත්මන් ජ්‍යේෂ්ඨ නිර්මාණකරුවන් අතින් ලොව වෙනත් රටවල උසස් චිත්‍රපටවලට සමගාමීව අප රටේත් හොඳ උසස් නිර්මාණ බිහිවෙනවා. විකල්ප ධාරාවේ චිත්‍රපටත් තිබෙනවා. සමහර චිත්‍රපට තිබෙනවා අපේ සංස්කෘතික හරපද්ධතිය වදයක් සේ සලකා එය පුපුරවා හැරීමේ අදහසින් කරන නිර්මාණ. අපේ රටට විරුද්ධව යම් දේවල් කළොත්, විදේශයකින් ලැබෙන සම්මානයක් මත යැපිලා අපව පුපුරවා හැරලා කරන නිර්මාණත් තිබෙනවා. විකල්ප සිනමාවේ යෙදෙන ඇතැම් අය සිතනවා අනෙක් අය කිසිවක් දන්නේ නැහැ, ඔවුන් තමයි සියල්ල දන්නේ කියලා. එනිසා විවිධ, විෂම මේ සමාජ සංස්ථාව කිසිලෙසකින්වත් පෝෂණය නොවන නිර්මාණ තිබෙනවා. විවිධාකාර නිර්මාණ යම් රටකට අවශ්‍යයි තමයි. අපට තිබුණා ඉතා සුන්දර සිනමා නිර්මාණ බිහිවූ එසේම හොඳ රසිකයන් පිරිසක් සිටි යුගයක්. අද නොයෙකුත් ප්‍රශ්න නිසා චිත්‍රපට නැරඹීම පැහැරහැරීමටත් වඩා අද නිර්මාණය වන සමහර චිත්‍රපට නිසා ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරය මඟහරින තත්ත්වයක් තිබෙන්නේ. විදෙස්ගතව සිනමාව ඉගෙනගෙන, ලෝක සිනමාව සමඟ ගනුදෙනු කරන්න සිහින දකින්නන් දැනගත යුතුයි අප රටේ කාලාන්තරයක් තිස්සේ පවතින්නේ විෂම දේශපාලනික, අධ්‍යාපනික, සමාජීය, ආර්ථික තත්ත්වයක් බව. මේ මත විෂම වූ, විවිධ වූ ජනතාවක් ජීවත්වෙන්නේ. මේ විෂමතාවට ගෝචර වියහැකි යම් නිර්මාණ බිහිවෙනවානම් ඇතැම්විට බහුතර ප්‍රේක්ෂකයන් සිනමාශාලවට ගිහින් චිත්‍රපට නරඹාවි. එකල සිනමා නළුනිළියන්ගේ තරු ගුණය තිබුණා. ඔවුන් පැමිණි පැහැදිලි ගමන් මඟක් තිබුණා. ජනතාව අතර ආශ්චර්යවත් බවක් තිබුණා. එකී ගුණාංග චිත්‍රපටයක ප්‍රදර්ශනයට බලපෑමක් කළා..

අද බිහිවන මෙගා රැල්ල සහ 1990 දශකයේ බිහිවූ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාව අතර වෙනස කොහොමද දකින්නේ….?

ඇත්තෙන්ම එකල බිහිවූ නිර්මාණවලට තිබූ පොදු ලක්ෂණය මුල, මැද, අග සහිත නිශ්චිත හැඩතලයක් තිබීම. පිටපත අවසන් වූ පසුවයි රූගතකිරීම් කළේ. එකී නිර්මාණ තුළ උසස් සංවිධානාත්මක බවකුත් තිබුණා. අද ටෙලි නිර්මාණවල මුල, මැද, අග නිර්මාණකරුවාවත් දන්නේ නැහැ. අද නළුවාට ගෙවිය යුතු මුදල ගැන නළුවා කතා කළොත් ඔහුව නිර්මාණය තුළ රට යවනවා නැත්නම් මරනවා. අද පිටපත්වල අක්‍රමිකතා තිබෙනවා . අද තිබෙන්නේ නිර්මාණකරණයට වඩා යම් වාණිජමය වෘත්තීයභාවයක්. අද බොහෝ ටෙලිනාට්‍යවල නිර්මාණාත්මක බව ඇත්තේම නැහැ . සමහර නිර්මාණ ඉතා නිර්මාණශීලීයි. ඒත් එහි ගුණාත්මකභාවයක් නැහැ. “දඬුබස්නාමානය, වෙදහාමිනේ, යශෝරාවය ” වැනි එකල බිහිවූ ටෙලිනාට්‍ය සමඟ බලද්දි අද තිබෙන්නේ වෙනම කලාවක්. මම සිතනවා මේ සමාජතලයේ යම්කිසි පෝෂණයක් ඇතිකිරීමට නිර්මාණයක් සමත්විය යුතුයි කියලා. පැරණි ටෙලි නිර්මාණවල තිබූ එකී ලක්ෂණ අද ටෙලි නිර්මාණවල දකින්න නැහැ

වේදිකාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් …..?

වේදිකාව තුළනම් මම මුල සිටම ප්‍රධාන ප්‍රවාහයේ චරිත නිරූපණය කළා. මේ වෙද්දිත් මම වේදිකාව හැරගිහින් නැහැ. අදටත් වේදිකාවේ ප්‍රධාන ප්‍රවාහයේ චරිත නිරූපණය කරමින් ඉන්නවා. වේදිකා නාට්‍ය 35ක පමණ රඟපා තිබෙනවා. රත්නශීලා පෙරේරාගේ “ශ්‍රී වික්‍රම නූර්තිය”, නෙල්සන් කන්නන්ගරගේ “ළඟින්ම ඉන්න කෙනෙක් “, සෙනෙවිකුමාර සිටුබණ්ඩාරගේ “සක්කුලම සිහින” ආදී වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වුණා.

කලාවට පිවිසෙන නවකයන් ගැන ඔබේ ආකල්පය මොනවගේද කීවොත් …..?

එකල නම් නවකයන්ට කලාවට ඒමට යම් විනයක්, පරිචයක්, අධ්‍යයනයක් තිබිය යුතුයි. දැන් රියැලිටි තරගයකට හෝ අවුරුදු කුමරයාට, කුමරියට සිටියොත් ඕනෑම කලාවකට, ඕනෑම අවස්ථාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. එය ඒ දරුවාගේ වාසනාව වුණත් කලා ක්ෂේත්‍රයේ පරිහානියට බලපානවා. කලාවේ පෝෂණයට, ආශ්චර්යවත් බවට මෙය බලපානවා. එසේම ඒ නළුවාගේ, නිළියගේ ඉදිරි ගමනට බලපානවා. මෙය කලාකරුවා නමැති විශිෂ්ට වූ පුද්ගලයාගේ ප්‍රවිෂ්ටවීමට බලපානවා . බොහෝ දක්ෂ, සුහදශීලී නව පරපුරක් අපට සිටිනවා.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන කතා කළොත් …..?

මම චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ පාඨමාලාව හැදෑරුවා. එහිදී ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය තිස්ස අබේසේකර , ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, ආචාර්ය ටියුඩර් වීරසිංහ වැනි විද්වතුන් අපේ ගුරුවරුන් වුණේ. ඒ ලද අධ්‍යාපනයෙන් පසු “ර්ධ්ව්ච්” නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. ඉදිරියේදී නිර්මාණකරණයට ආසාවක් තිබෙනවා . පෝය ටෙලියක් හෝ කරලා අධ්‍යක්ෂණය කාර්යයට යොමුවෙන්න පිපාසයකින් ඉන්නේ.

පවුලේ විස්තර සහ කලාකටයුතුවලට ඔවුන්ගෙන් ලැබෙන සහාය ගැන කීවොත් ….?

මගේ බිරිඳ අමිතා චාන්දනී. මගේ වැඩවලට නිරන්තර සහාය ඇය ලබාදෙනවා. ඒහැර වැඩිමහල් සහෝදරියන් තිදෙනෙක් මට ඉන්නවා. ඒ තිදෙනාගේ දරුවන්, මුනුපුරු, මිනිපිරියන් මගේ වැඩකටයුතුවලට ඔවුන්ගේ අවබෝධයෙන්, හැකි අයුරින් මට සහයෝගය ලබාදෙනවා

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT