ඔහු එක්තරා පිළිසඳරකදි ඉතා අපූර්ව හැඳීන්වීමක යෙදේ.
“මම ඉපදුණේ නමුණුකුල කන්දෙන් වටවෙච්ච බේසමක හැඩය ගත් ලංකාවෙ ප්‍රසිද්ධ නගරයක, බදුල්ලෙ. ඒ නගරෙ කොණක තිබුණ ප්‍රසිද්ධ පාසලක මම ඉගෙනුම ලබන්නෙ. බදුල්ල මධ්‍යම මහා විද්‍යාලයේ. ඒ නගරයේම මම රස්තියාදු ගැහුවා. ඒ රස්තියාදු ගැහීම කියන වචනවල තියෙන්නේ දැනුම හොයාගෙන ගියා කියන තේරුමයි. ඒ අත්දැකීම් එක්ක මම නාට්‍ය හැදුවා. කවි ලිව්වා. පොතුත් ලිව්ව පසු කාලෙක. මම කොළඹට ආවෙ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. කොළඹදී පත්තර කාරයෙක් වුණා. රූපවාහිනී වැඩසටහන් අධ්යක්ෂවරයකු බවට පත් වුණා. නවකතාකරුවෙක්,කෙටිකතාකරුවෙක් වුණා. මෑතදී මම කවියෙකුත් වුණා. හැබැයි මම කවියෙක්මද කියල තාම හරියට දන්නෙ නෑ. මගෙ ජීවිතය ඇතුළෙ නිතරම තිබෙනවා නිර්මාණ පිළිබඳ කල්පනාවන්. ඒ සියල්ල එක්ක තමයි ජීවත් වෙන්නෙ. ජීවිතය දිහා බලන්නෙ.”මම පරාක්‍රම ඒකනායක.
මේ වන විට අන්තර්ජාතික සිනමා සම්මානයට පාත්‍ර වී සිටින ජ්‍යෙෂ්ඨ රූපවාහිනී වැඩසටහන් අධ්යක්ෂවරයකු වන පරාක්‍රම ඒකනායක අද අපට සම්මුඛ වන්නේ ඔහුගේ අතිශය සියුම් නිර්මාණකරණය හේතුවෙනි. විශේෂයෙන් 2024 ආසියානු කුසලතා ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී ප්රතිජීවී (Antibodies) හොඳම කොවිඩ් චිත්‍රපට සම්මානයට පාත්‍ර වීම ඔස්සේ වැඩි අවධානයක් හිමිකරගනු ලැබීය.
ප්‍රවීණ රූපවාහිනී වැඩසටහන් අධ්යක්ෂ, සිනමා නිර්මාණවේදි පරාක්‍රම ඒකනායක සමඟ කරන කතාබහකි මේ
පරාක්‍රම ඒකනායක නම් වූ ‘සොයන්නා’ ඔබට හමුවෙන්නෙ කොහොමද කොහෙදිද ?
මට හිතෙන්නෙ පරාක්‍රම ම තමයි ඔහුව සොයා ගන්නෙ. මොකද ඒ වකවානුවේ සිදුවන (මගෙ කුඩා හා යොවුන් අවධිවල) සමාජ පරිවර්තන ඇතුළෙම තමයි මගෙ යෞවනත්වය ගොඩනැඟෙන්නෙත්. විශේෂයෙන් හැත්තෑව, අසූව, අනූව දශකවල සිදුවන වෙනස්කම් හා අර්බුද මැදින් තමා මගෙ පාරත් හැදෙන්නෙ. විවිධ සමාජ විප්ලව, පෙරළීන් රුසියානු සාහිත්‍යයේ ඇසුර, චිත්‍ර කතා පත්තර, රූපවාහිනියේ බලපෑම මේ ආදි දේවල් ඇතුළු තවත් විවිධාකාර අත්දැකීම් තමයි මගෙ මාවත සකස් කරන්නෙ. ඊළගට සිනමාව. ඒ කාලෙ තාත්ත මාව චිත්‍රපට පෙන්වන්න එක්කරගෙන යන පුරුද්දක් තිබුණා. ඒ කලෙ මට ඒ ගැන විශාල අවබෝධයක් නොතිබුණත් මම ඒවයින් පෝෂණය වෙන්න ඇති කියල විශ්වාස කරනවා. ඇත්තෙන්ම ඒ කාලෙ මම, අපි, අපේ හීනත් එක්කම ආව ජීවි කොටසක් වුණා. හැබැයි මේ පසුබිම්, පරිසර කාලෙන් කාලෙට වෙනස් වූ අවධීන්, මගෙ ජීවිතය පුරාම තිබුණා. දැන් මේ කතා කරපු දේවල් මම වැලිමඩ ඉන්න අවධියේ වූ දේවල්. හැබැයි ඉන් යම් කාලයකට පස්සෙ මගෙ පියාගෙ රැකියාවත් එක්ක අපට සිදුවෙනව බදුල්ලට එන්න. හේතුව ඔහු රජයේ සේවකයෙක් වූ නිසා. හැබැයි බදුල්ල ප්‍රදේශයේදී මට ලැබෙන්නෙ වැලිමඩදි ලැබුණ අත්දැකීම් නෙවෙයි. ඒක වැලිමඩට වඩා වෙනස් පරිසරයක්. නාගරික වටපිටාවක්. ඥාතීන්ගෙ ඇසුර, බැල්ම සහිත වටපිටාවක ජීවිතයක්. ඒක තරමක සංස්කෘතික රාමුවක් ඇතුළෙ දැවටී තිබුණ පසුබිමක්. හැබැයි ඒ රාමුව ඇතුළෙ මම කවදාවත් සිර වුණේ නෑ. මම වැඩ කළේ වෙනස් විදියකට. මම මගෙ වෙනස හෝ අනන්‍යතාව හදාගත්තෙත් ඒ ඔස්සේමයි. මම හීන දකින්න පටන් ගන්නව ඉන්පස්සෙ.එක එක කාලෙට එක එක හීන. කාලෙකට කවි ලියන්න. මට මතකයි වැඩිපුර පාසල් යන්න වාතාවරණයක් නොතිබුණු අසූ අට, අසූ නවය වගෙ කාලෙ මම කඳුරට සේවයට ලිව්ව. තව අවස්ථාවක නවකතාවක් ලියනව හීන ඔස්සේ. හීන ගොඩනැඟෙන කාලෙ මම ඒ හැමදේම කරනව. ඇත්තටම මම එහෙම කළේ කවදා හරි කවියෙක් වෙන්න හෝ නවකතාකාරයෙක් වෙන්නත් නෙවෙයි. ඒ අතරෙ මට කැමරාවක් අතට ලැබෙනව. ඒකෙන් වෙනම ම විදියකට ලෝකය හඳුනගන්නව. ඒ අතරෙදි අපේ ප්‍රදේශයේ යෞවන සමාජයේ ඇසුර ඔස්සේ වේදිකා නාට්‍යයක් කරනව.ඉනුත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ යෞවන සම්මාන දිනා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සෙ ඒ නිර්මාණ අරන් කොළඹට එනව. ඊට ආසන්න වකවනුවක ගීත රචනය, කෙටිකතාව සහ කාව්‍ය කියන අංශ තුනෙන්ම ඌව පළාතේ යෞවන ප්‍රතිභා සම්මාන උලෙළේදී ඇගැයීමටත් ලක්වෙනව. .මේ හැමදෙයක් ම මා දුටු හීන. මගෙ සතුට වෙනුවෙන් කරපු දේවල්. හැබැයි ඒ සමඟ මට දැනෙන්න පටන් ගන්නව මට මේ ඔස්සේ ගමනක් යන්න පුළුවන් කියන දේත්.ඊට පස්සෙ මට ඕන වුණා ඒ ගැන ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් මම කොළඹට එනවා. ඒ ගමනෙදි මම ජනසන්නිවේදනය, සිනමාව ගැන හදාරන්න පටන් ගන්නව. එතකොට ඒ කාලයේ ඔප වැටෙන්නෙ අර මගෙ යෞවන කාලයෙ ගොඩනඟා ගත් හීන ටික. මගෙ ඇතුළාන්තයේ තිබුණු දේවල්. කොළඹට ඇවිත් වැඩ කරද්දි ඒ දේවල් තමයි ටිකෙන් ටික මගෙන් එළියට ආවෙ. ඒ වගේම මගේ පසුබිම හැදුණෙත් ඒ ඔස්සෙ. දැනුම කියන දේ අවශ්‍යම දෙයක් කියන එක මම විශ්වාස කළා. දැනුම දියුණු කරගන්න පුළුවන් තැන්වල මම සැරිසැරුවා. එබඳු විවිධ කණ්ඩායම් ඇසුරේ මගේ දැනුම විවිධ පරාසවල වර්ධනය කරගත්තා.ඒව මම ඉගෙන ගත් දේවල්වලට ඇතුල්කර පාවිච්චි කිරීමයි මම කළේ.
රූපවාහිනී මාධ්‍යයට ප්‍රවේශ වීම ඔබේ නිර්මාණ ජීවිතය වෙනස් කළ තැන ද ?
ඔව්. ලොකු වෙනසක්. එහිදී මම තිර පිටපත් රචනයට සම්බන්ධ වෙනවා. සිරස නාලිකාව මගෙ අත්දැකීම් දැනුම පාවිච්චි කරන්න මට හොඳ ඉඩක් නිර්මාණය කර දෙනව. ‘බුක් මාර්ක්’ සහ ‘ආර්ට් එක’ කියන රූපවාහිනී වැඩසටහන් ඔස්සෙ ප්‍රේක්ෂකයන් මාව හඳුනගන්න පටන් ගන්නව.ඊට පස්සෙ මට ඉඩක් ලැබෙනව ටෙලිවිෂනය තුළ ස්ථානගත වෙන්න. ඒක සාම්ප්‍රදායික නොවන තැනකින් ගත් ඇරැඹුමක්.
සිනමා නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වීම ඔබේ නිර්මාණ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් කියා විශ්වාස කරනවාද ?
චිත්‍රපට ගැන පුංචි කාලෙ ඉඳන් ම තාත්තා ඔළුවට දාපු පසුබිමක් තිබුණනෙ. මට ඇත්තටම ඕන වුණේ මිනිස්සුන්ට මොනව හරි කියන්න. ඒක ලියන එක ඇතුළෙ වෙන්න පුළුවන්. නැතිනම් රූපය ඇතුළෙ වෙන්න පුළුවන්. ඒ හැමවෙලාවෙම මම කතාව කියන්නෙ මගේම ආකෘතියක් ඇතුළෙයි. එය නිශ්චිත විය යුතුයි. මේ මේ ආකෘතිය ඔස්සේ නිර්මාණයක් විය යුතුයි කියන තැන ඉඳ මම කවදාවත් නිර්මාණ කාර්යයේ යෙදෙන්නෙ නෑ. ඒ තමයි මාගේ විදිහ.
ඔබ අන්තර්ජාතික මට්ටමේ ඇගැයීමට පාත්‍ර වූ නිර්මාණකරුවෙක්. ඔබේ නිර්මාණ වෙනස් ය යන්න බොහෝ දෙනකුගෙ අදහසයි. දේශීය වශයෙන් ඔබේ නිර්මාණ ඇගැයීමට ලක්වූවායැයි ඔබ හිතනවාද ?
මම වාර ගණනකදී මගේ නිර්මාණ වෙනුවෙන් සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. සම්මානයට පාත්‍ර නොවීම ගැන මා වද වෙන්නෙ නෑ. ඒ ගැන උපේක්ෂාවෙන් බලන්න මම පෙලඹෙනවා. මේ තාක් මා ලැබූ ඇගැයීම් ලෝකයේ රටක පුංචි මිනිසෙක්ගෙ නිර්මාණ කාර්යය උදෙසාමයි මා ලැබූවේ. වෙන පසුබිමක් මත ලැබූ කිසිදු සම්මානයක් මා සතුව නෑ. ඒ ගැන මා තෘප්තිමත්. නිර්මාණකරුවකු විදියට ඒ වටිනාකම මට ලැබී තියෙනවා.
ඔබේ නිර්මාණවල හැඩය වෙනස්. එය සාම්ප්‍රදායික නිර්මාණ ආකෘති සහිත වටපිටාවක අභියෝගයට ලක් වෙන්නේ නැද්ද ?
ඔව්. එහෙම තමයි. මිනිස්සු ඉල්ලන්නෙ නිතරම තිබෙන දේයි. නැති දෙයක් දුන් විට ඔවුන්ට එය වැටහෙන්නෙ නෑ. අලුත් දේ ගන්න ඔවුන්ව හුරු කර නෑ. නිර්මාණකරුවකු විදියට මා ඊට කුමක් කරන්නද. එහෙම නම් මිනිස්සු විසින්ම තමයි ඒ අවබෝධය ලබා ගන්න ඕන.එතෙක් මෙය මෙලෙසම වේවි. ලෝක තලයේ කලාව හඳුන ගන්න මිනිස්සු උද්යෝගිමත් නෑ.
තව පැත්තකින් මිනිස්සු විදියට අපි බොහෝ විට නූතන ලෝකයේ සැරිසරන්නෙ නැහැ. ඒ වෙනුවට අපි අපේ වූ ලෝකයක් හදාගෙන ඒ වපසරිය ලෝකයක් විදියට දකින්න උත්සාහ කරනවා. මේක තමයි ගැටලුව. නූතන ලෝකය විචාරශීලි ව හඳුනා ගන්නවා වෙනුවට එහි උකහාගත හැකි සාධනීය දේ සොයනවා වෙනුවට සාම්ප්‍රදායික රාමුවක තවදුරටත් කොටු වෙන්න දරන වෑයම අපරාදයක්. එයින් අපට අහිමි වන දේ වැඩියි. නූතන ලෝකය තනි යායක්. එයින් එහාට වී කොහොම ගනුදෙනු කරන්න ද අපි. අප වටා ඉන්න මිනිස්සු, සිදුවන දේවල් , පවතින කලාව මේ හැමදේම අපට ඇසුරු කරන්නම සිදුවනවාමයි. එයින් මිදෙන්න හෝ පලා යන්න හැකියාවක් නෑ.ඇත්තෙන්ම කළ හැකි වන්නේ එහි සාධනීය කොටස අල්ලා ගැනීමයි. මම විශ්වාස කරන දේ තමයි මේ ඈත්වීම හෝ ප්රතික්ෂේපය තුළ අපෙන් ගොඩක් දේ ගිලිහී ගිහින්ය කියන කාරණය. එකක් තමයි මේ නිසා අපට අපේ සංස්කෘතික සමාජය අහිමි වී ගිහින් තිබෙනව. ඒ වෙනුවට වෙන මොකක්දෝ එකක් තිබෙනව අපට. නමුත් ඒක අපට හරියන්නෙ නෑ. මේ බොහෝ දේවල් බොහෝ පසුබිම් ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ සිදුවෙච්ච නොයෙකුත් සමාජ ආර්ථික දේශපාලන බලපෑම් එක්ක වෙන්න පුළුවන් දේවල්. නමුත් එයින් ඇතිවී තිබෙන, ඇතිකර තිබෙන බලපෑම නම් කොහෙත්ම අපට යහපත් නෑ. එහි ප්‍රතිඵලයක් විදියට හිතන මිනිස්සු, හොයන මිනිස්සු හා දකින මිනිස්සු නැතිවෙලා තිබෙනවා. අපරාදය එයයි.
නමුත් නූතනයේ ටිකෙන් ටික මේ සංස්කෘතික සමාජය ගොඩනැගෙමින් පවතින බවකුත් පෙනෙනව. ඒක හුදෙක් විලාසිතාවක් නොවී යථාර්ථවාදී එකක් ලෙස ගොඩනැඟීමයි වැදගත් .ලෝක තලයේ කලාව මොකක්ද කියල කතා කරන, ඒ කලාව ඇසුරු කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වීම අත්‍යවශ්‍ය ම දෙයක්. කලා අංග හෝ කලා නිර්මාණ බිහි කරන සමාජයක් වගේම කලාව කියල කියන්නෙ මොකක්ද කියල පුළුල් ව කතා කරන සමාජයකුත් ඇති කළ යුතුමයි. එසේ නැතිව පෞද්ගලිකව ඉදිරිපත් කරන නිර්මාණයක් සමාජගත කළාට පමණක් වැඩක් නෑ. නමුත් නූතන පරපුර ම එහි වෙනම ස්වරූපයක් හදයි කියා මම විශ්වාස කරනවා.
සමුද්‍රිකා වර්ණකුල