Home » සම්මානය දිනාගත් කා‍ෙල් මටත්, මගේ චිත්‍රප‍ටයටත් විවිධ විවේචන එල්ල වුණා

සම්මානය දිනාගත් කා‍ෙල් මටත්, මගේ චිත්‍රප‍ටයටත් විවිධ විවේචන එල්ල වුණා

චිත්‍රපට අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක

by Thanushika
December 5, 2024 10:03 am 0 comment

ඉසුරු ගුණතිලක මෙරට සිනමා ක්ෂේත්‍රයට සම්ප්‍රාප්ත වන්නේ සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘ ශේෂ ‘ චිත්‍රපටය නිර්මාණය කරමිනි. එහෙත් මේ මොහොත වන විටත් මෙම චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් වෙත දැක බලා ගැනිමේ අවස්ථාව අහිමිව ඇත්තේ එය තවමත් මෙරට ප්‍රදර්ශනය නොවු බැවිනි. එහෙත් ශේෂ චිත්‍රපටය පිළිබඳ ලාංකේය සිනමා ක්ෂේත්‍රය පුරා යම් අවධානයක් යොමු වනුයේ එය අන්තර්ජාතික වශයෙන් සම්මානයට බඳුන් වීමෙන් පසුවය. එම සම්මානය පිළිබඳත් මෙම සිනමාකරු පිළිබඳත් මෙරට බොහෝ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් විවේචන හා විවිධ ප්‍රතිචාර පසුගිය කාලය පුරා එල්ලවන්නට විය.

ශේෂ චිත්‍රපටය හරහා ඉසුරු කතා කරනුයේ මෙරට පාරම්පරික නර්තන ශිල්පය පිළිබඳ වන සංවේදි කතා පුවතකි. මෙම චිත්‍රපටය කෑන්ස් ලෝක සිනමා සම්මාන උළෙළින් හොඳම නර්තන චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර විය. එසේම ප්‍රංශයේ පවත්වන ලද සිනේ පැරිස් සිනමා සම්මාන උළෙලින් හොඳම පළමු අධ්‍යක්ෂණය වෙනුවෙන් පිරිනමන සම්මානය දිනා ගත්තේය. එසේම මෙම චිත්‍රපටය පසුගියදා දෙරණ සිනමා සම්මාන උළෙලේදීද තිරගත විය. ශේෂ චිත්‍රපටය පිළිබඳත්, ඉසුරු ගේ සිනමා දිවිය පිළිබඳත් වන කතා බහකට පසුගියදා අපි හමුවුණෙමු. මේ ඔහුත් සමඟ කළ කතා බහකින් සැකසුණකි.

ශේෂ වගේ චිත්‍රපටයක් හදන්න ඔබට උත්තේජනයක් ඇති වුණේ කොහොමද?

මම ලංකාවේ ඉන්නකම් මට චිත්‍රපට හදන්නට හෝ, නර්තනය පිළිබඳ හෝ විශේෂ අදහසක් තිබුණේ නෑ. නමුත් මම ලංකාවෙන් ගියාට පස්සේ ප්‍රංශයේදී මට නර්තන කණ්ඩායමක් සමඟ වැඩ කරන්න ලැබෙනවා. ඒ අයගේ ප්‍රධාන කර්තව්‍යය වුණේ ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය ඉහළට ඔසවා තැබීමයි. එක් අවස්ථාවක ඔවුන් වේදිකා නාට්‍යයක් සංවිධානය කරනවා. මේ වේදිකා නාට්‍යය විවිධ නර්තන වින්‍යසයන් අනුව තමයි නිර්මාණය වෙන්නේ. ඒ නාට්‍යය ඇතුළත සාම්ප්‍රදායික නැටුම තිබෙනවා. ඒ වගේම අපේ උඩරට, පහතරට, සබරගමු වැනි විවිධ සම්ප්‍රදායන්ට අයත් නැටුම් තිබෙනවා. මේ ඔක්කොම එකතු කරලා ඔවුන් හොඳ ලස්සන වැඩක් කළා. මේ වේදිකා නාට්‍යය ඔවුන් ඉදිරිපත් කළේ ප්‍රංශයේ අයට. එපමණ කලක් ඔවුන් මේ ප්‍රසංගය කරගෙන ගිහින් තිබෙන්නේ සිංහල භාෂාවෙන්. නමුත් මේ පාර ඔවුන් නාට්‍යයේ දෙබස් ඔක්කොම ප්‍රංශ භාෂාවෙනුත් ඉදිරිපත් කළා. මේ නර්තන කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා මට මේ නාට්‍යයට කතා කරනවා එහි ප්‍රධාන චරිතයක් රඟපාන්න.

මම ඒ චරිතය කළාට පස්සේ තමයි තේරුණේ මිනිස්සු ඒකට තොයි තරම් කැමැත්තක් දැක්වුවද කියලා. ඒක වැඩිපුරම නැරඹුවේ ප්‍රංශ ජාතිකයින්. මේ යුගය වනවිට මම එහේ විශ්වවද්‍යාල සිසුවෙක් විදියට කටයුතු කරනවා. ප්‍රථම වසරේ සිසුවෙකු වුණු මට විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන්න පොඩි වාර්තා චිත්‍රපටයකුත් නිර්මාණය කරන්න තිබුණා. මම මේ රටට ගිය අලුතම නිසා මට වෙන විෂයයක් පිළිබඳ ලොකු අවබෝධයක් හෝ අදහසක් තිබුණෙත් නෑ. ඒ නිසා මම ඉපඪ තචදඬචද බපචඤඪබඪධදචත ඤචදජඥ කියන මාතෘකාවට තමයි වාර්තා චිත්‍රපටය නිර්මාණය කළේ. මේ චිත්‍රපටය දැකපු මගේ විශ්වවිද්‍යාල මිතුරෝ සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු බොහෝ දෙනෙක් මේ ගැන විශේෂයෙන් කතා කරන්න ගත්තා. ඔවුන් කියන්න ගත්තා ලංකාවේ මෙච්චර ලොකු සංස්කෘතියක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ නෑනේ කියලා. ඒකෙන් මට තේරුම් ගියා අපේ සාම්ප්‍රදායික දේවල්වලට විදේශිකයින් කොච්චර කැමැත්තක් දක්වනවාද කියලා. ඒ අදහස අනුව තමයි මට නර්තනය වැනි විෂයක් පදනම් කරගෙන වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න හිතුණේ. මට හිතුණා මේ විෂය අන්තර්ජාතික වශයෙනුත් අපිට හොඳට මාකට් කරන්න පුළුවන් වෙයි කියලා.

ඔබට සිනමාකරණයට ප්‍රවිෂ්ට වෙන්න වස්තු බීජ වුණේ මොනවද? ඔබ ලංකාවේ ඉන්න කාලේ චිත්‍රපට පිළිබඳ උනන්දුවකින් හිටියද?

මම පොඩි කාලේ ඉඳලම ඒ පැත්තට කැමැත්තකින් හිටියා. නමුත් මම කැමැති වුණේ නෑ මෙහේ වැඩිදුර ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධියක් ගන්න. මට ඕන වුණේ ටෙලිවිෂන් ආයතනයකට සම්බන්ධ වෙලා ඒ පැත්තෙන් අත්දැකීම් ගන්න. නමුත් මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කලාව ඇසුරු කළා. ඒ කාලේ ස්ටේජ් ඩ්‍රාමාවලට පවා මම සම්බන්ධ වුණා. අ.පො.ස සාමාන්‍ය පෙළ කළාට පස්සේ මම අපොස. උසස් පෙළ කරන්න අවුරුදු එක හමාරක් විතර ඉස්කෝලෙට යනවා. නමුත් මම ඊට පස්සේ පාසල් ගමන නතර කරනවා. රූපවාහිනි අභ්‍යාස ආයතනටයේ රූපවාහිනි පාඨමාලාව කරන්න මම අයදුම් කරන්නේ ඒ අතරතුරයි. ඒ අනුව මම පාසල් ගමන බාගෙට නවත්තලා රූපවාහිනි අභ්‍යාස ආයතනයේ පාඨමාලාව කරන්න එනවා. මේ වෙලාවේ මගේ ගුරුවරයා වෙන්නේ තාරක බැද්දගේ මහත්මයා. ඒ කෝස් එක ඉවර වුණාට පස්සෙත් මම ඔහුගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ අවුරුදු දෙක තුනක් වැඩ කරනවා. ඊට පස්සේ මම දෙරණ ටීවි ආයතනයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හිරු ටිවී ආයතනයට සම්බන්ධ වෙනවා. ඔහොම ඉන්න අතරතුර මට හිතෙනවා කෙටි චිත්‍රපටයක් කරන්න. ඒ අනුව මම කෙටි චිත්‍රපටයක් කරනවා. මම හිතනවා සිනමාව පිළිබඳ මගේ මුල්ම අත්දැකීම වෙන්නේ මේ කෙටි චිත්‍රපටය. මේ චිත්‍රපටයට මට යෞවන සම්මාන උළෙලින් සම්මාන ලැබෙනවා. ඒ වගේම යාපනේ ෆිල්ම් ෆෙස්ටිවල් එකෙනුත් සම්මාන ලැබෙනවා. මේ කාලයේ තමයි මම සිනමාව ඉගෙන ගන්න විදේශගත වෙන්න උනන්දු වෙන්නේ. මට ප්‍රංශයටම යන්න උවමනාවක් ඇති වෙන්නේ සිනමාව උපන් රට ප්‍රංශය නිසා. කොහොම හරි මම ඒ අවස්ථාව උදා කර ගන්නවා. එහේ ගිහින් මගේ උපාධිය හදාරන අතරතුර මම තව කෙටි චිත්‍රපට දෙකක් කළා. එකක් ඉංග්‍රිසි භාෂාවෙන් සහ අනෙක ප්‍රංශ භාෂාවෙන්. මේ කෙටි චිත්‍රපට දෙක මම නිෂ්පාදනය කල දෙකක්. නමුත් ඉතින් මේවා ජනගත කරන්න අපට ප්ලැට්ෆෝම් එකක් තිබුණේ නෑ. ඒ නිසා දිගටම කෙටි චිත්‍රපට කරකර ඉන්නේ නැතුව වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න ඕන කියන අදහස ආවේ එතකොටයි. ඒ අනුව තමයි ‘ශේෂ’ චිත්‍රපටය පටන් ගත්තේ.

ශේෂ චිත්‍රපටයේ තිර රචනය සමන්ත කුමාර ලියනගේගේ. මේ සබැඳීයාව කොහොමද හැදුණේ?

මම ලංකාවේ වැඩිපුර කාලයක් රැඳෙන්නේ නැති නිසා ලංකාවේ කෙරෙන වැඩ ගැන නිරන්තර අවධානයකින් ඉන්නේ. මම ලංකාවේ ටිවි ස්ටේෂන්වල වැඩකරන කාලේ තමයි ‘ගිරිදේවි’ ටෙලි නාට්‍යය නිර්මාණය වුණේ. ඒක හැදෙද්දි වැඩ බලන්නේ මම. ඒ නාට්‍යය ලියලා තිබුණේ සමන්ත කුමාර ගමගේ මහත්මයායි. මම ටිකක් ඔහුගේ රිදම් එකට ආසා කළා. නමුත් මම ඔහුව දැන හඳුනාගෙන හිටියේ නෑ. මගේ යහළුවකු මාර්ගයෙන් ඔහුව දැන හඳුනාගෙන ඔහුත් සමඟ සබඳතාවයක් ගොඩනඟා ගත්තා. ඒ අනුව තමයි අපි මේ තිර පිටපත සකසන්නේ.

මේ චිත්‍රපටයේ මතුපිටින් අපි දකින්නේ ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය පිළිබඳ කතාවක්. නමුත් මේ චිත්‍රපටය ඇතුළත ඉන් එහා ගිය දේශපාලන අරුතක් අපි දකිනවා. ඔබ මොනවද ඒ ගැන කියන්නේ?

අපේ චිත්‍රපටයේ තේමාව හැටියට නර්තනය කියන දෙය ගත්තට නර්තනයෙන් විතරක්ම යැපෙන්න අපිට බැරි නිසා අපි මේකට කතාවක් ගොඩනැඟුවා. මම කැමැති වුණේ නෑ. සාම්ප්‍රදායික විදියට උඩු පෙළින් විතරක් මේ චිත්‍රපටයේ තේමාව අත පත ගාන්න. ඇත්ත තත්ත්වය මේ සඳහා යොදා ගන්න මට අවශ්‍ය වුණා. ඇත්තටම කිවුවොත් සමාජයේ එදා ඉඳන්ම නැට්ටුවන්ට තිබුණේ අඩු සැලකිල්ලක්. ඒක අර කුල ක්‍රමයත් සමඟ බැඳුණු අඩු තක්සේරුවක්. මම දැකපු දේ තමයි ඒක අද වෙනතුරුම වෙස් වෙලා නෑ කියන එක. ඒ වගේම තමයි නවතාවයකින් නර්තනය කරන අයට කිසියම් තැනක් අද සමාජයේ තිබුණත් පාරම්පරික නර්තනයට ඒ තැන හිමි වෙන්නේ නැ. ඒ ගැන කතා කරත්දි දේශපාලනය කියන දේ අද හැම තැනකම තිබෙන නිසා එයත් මේ සඳහා සම්බන්ධ කර ගත්තා. දේශපාලනය කියන එක කිසිම දෙයකින් වියුක්ත කරලා අද හඳුනා ගන්න අමාරුයි. ඒ තරමට හැම දෙයක් සමඟම ඒක බද්ධ වෙලා තියෙන්නේ. අපි හිතුවා මේ කාරණා ටික මේ කතාව ඇතුළේ පොඩි කාලයකට සාකච්ඡා කරන්න. එහෙම කරන්න හැකි ආකාරයේ කතාවක් ගොඩනඟන්න. අතිත වර්තමාන වශයෙන් එදා කොහොමද නර්තනය තිබුණේ, අද කොහොමද ඒවා වෙනස් වුණේ, ඒ සම්බන්ධයෙන් බලපාන සමාජ, ආර්ථික, දේශපාලන කාරණා මොනවද? කාන්තාවන්ට නර්තනයේ ඇති කැප අකැප කම් මොනවද? වැනි දේ ගැන අපි අවධානය යොමු කළා.

 

ඔබ මේ සඳහා තෝරාගෙන තිබෙන නළු නිළියන් ජනප්‍රිය තරුවලින් බැහැර වුණු අය. මේ තෝරා ගැනීම කළේ ඔබමද?

මම මේ වැඩේ කරන්න ආරම්භ කරන මොහොත වනවිටත් මගේ හිතේ ඒ සඳහා තෝරා ගත් කාස්ට් එකක් හිටියා. තරු කියන එක අපිට විවිධ ආකාරයෙන් හමුවෙනවානේ. සමහර තරු ඉන්නවා ජනප්‍රියත්වය නිසාම තරු බවට පත් වුණු. නමුත් තවත් තරු ඉන්නවා හැකියාව නිසාම තරු බවට පත්වුණු. ඉතින් මෙතනදි මගේ තරු බවට පත්වුණේ හැකියාව නිසාම තරු බවට පත්වුණු අයවයි. මේ අය එළියට ගියාම මිනිස්සු දන්නවා මේ අය කවුද කියලා. මම මුලින්ම සමන් අයියත් සමඟ සාකච්ඡා කරලා මෙහි ප්‍රධාන චරිතය වශයෙන් චන්දන වික්‍රමසිංහ නර්තන ශිල්පියාව තෝරා ගත්තා. මට ඕනනම් මේ චරිතය සඳහා නැටුම් දන්නා වෙනත් නළුවෙක් යොදා ගන්න තිබුණා. නමුත් මට ඕන වුණේ ඒ සාම්ප්‍රදායික නර්තන ශිල්පියාව ස්වාභාවික හැඟීමෙන්ම නිරුපණය කළ හැකි කෙනකු තෝරා ගැනීමටයි. මම විශ්වාස කරනවා ඒකට හොඳම කෙනා චන්දන අයියා කියලා. ඔහු ඒ මට අවශ්‍ය හැඟීම් හැබෑම නැට්ටුවෙක් ආකාරයට ලබා දුන්නා. ඔහුගේ අවධානය, කැපවීම, ඉතාම විශිෂ්ට විදියට මේ චිත්‍රපටයට ඔහු ලබා දුන්නා. ඒ වගේම තමයි මේ පාරම්පරික නැට්ටුවාගේ පුතා විදියට රංගනයට එකතු වුණු තරුණයා ගැනත් මම යමක් සඳහන් කරන්න ඕන. ඔහු ලංකාවේ ඉපදුණ කෙනෙක් වත් නොවෙයි. ඔහු ඉපදුණේ ප්‍රංශයේ. ප්‍රංශ භාෂාව කතා කරන්නේ. නමුත් ඔහු ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයට බෙහෙවින්ම ආදරය කරන කෙනෙක්. ඔහු මේ නර්තනය ප්‍රගුණ කරලා අද වෙස් තියන තත්ත්වයට ආව කෙනෙක්. ඒ නිසා ඔහුත් ඒ සාම්ප්‍රදායික නර්තන කලාව හොඳීන් ප්‍රගුණ කල අයෙක්. මේ දෙන්නම මගේ චිත්‍රපටයට හොඳීන් ගැළපුණා.

ඒ වගේම තමයි චිත්‍රපටයේ තරුණ නර්තන ශිල්පියා අපි ගොඩනැඟුවේ රැඩිකල් චරිතයක් විදියට. සාමාන්‍යයෙන් රැඩිකල් තරුණයෙක් කිව්වම අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ ඇසට මැවෙන හුරු පුරුදු රූපයක් තිබෙනවා. මම කැමති වුණේ නෑ ඒ රුපය මැවෙනවට. මට ඕන වුණේ ඒ සාමාන්‍ය රූපයෙන් එහාට ගිය රුපයක් මවන්නට හැමදාම සිනමාවේ දකින රැඩිකල් චරිතයේ රූපය වෙනස් කරන්න උත්සාහ කළා. උමාලි ගේ චරිතය වුණත් සාමාන්‍ය කාන්තා චරිතයකින් වෙනස්. අපේ චිත්‍රපටයේ තිබුණේ සීමිත චරිත ප්‍රමාණයක්. ඒ චරිත වලට අත්‍යාවශ්‍යයෙන්ම සුදුසු චරිත තමයි අපි තෝරා ගත්තේ. ඒ වගේම තමයි නලින් ප්‍රදීප් උඩුවෙල වගේ නළුවෙක් ගත්තම ඔහු බෙර වාදකයෙක් විදියට පළමු වතාවට තමයි රඟපාන්නේ. ඔහු ඒ වෙනුවෙන් ලොකු කැප කිරිමක් කළා.

මේ ඔබේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය. ඒ වගේම මේ චිත්‍රපටය අන්තර්ජාතික සම්මාන දිනා ගත්තා. මොනවද ඔබට දැනෙන්නෙ?

සම්මානයට පාත්‍ර වු කාල සිමාව තුළ මේ සම්බන්ධයෙන් විවිධ මතවාද, විවේචන ඇතිවුණා. බොහෝ අය මගේ චිත්‍රපටය බලලාවත් නැතුව මාවත් චිත්‍රපටයක් විවේචනයට ලක්කළා. සමාජ මාධ්‍ය හරහාත් නොයෙකුත් විවේචන තිබුණා. අපි ටීම් එකක් විදියට සම්මාන දිනා ගැනීම සම්බන්ධයෙන් අපට ලොකු ලෝභ කමක් තිබුණා. සම්මානයක් අර ගන්නවා කියන්නේ ඒක ෆොටෝ ගහලා දාල ලබන සතුටක් නොවේ. අපි යම් වැදගත් දෙයක් කළා කියන්න තියෙන උවමනාව. අපිට තිබුණේ හොඳ නිර්මාණයක් කිරීමේ උනන්දුව. අපිට ලැබුණේ කෑන්ස් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් හොඳම නර්තන චිත්‍රපටයට හිමිවෙන සම්මානය. ඊට අමතරව ප්‍රංශයේම පැවැත්වෙන සිනේ පැක්ස් කියන චිත්‍රපට උළෙළින් හොඳම පළමු අධ්‍යක්ෂණය වෙනුවෙන් මේ චිත්‍රපටයට සම්මාන හිමි වුණා.

මේ චිත්‍රපටය ලංකාවේ අපි දකින්නේ කවදද?

ලංකාවේ මේ වෙනකොට චිත්‍රපට රාශියක් තිර ගත වෙනවා. මම තවමත් බලාගෙන ඉන්නවා මගේ චිත්‍රපටයට අවස්ථාවක් ලැබෙනකම්. කලබලයට කරලා ඉක්මනට එළි දක්වන්න උවමනාවකුත් මට නෑ. වෙනකෙනක් කපාගෙන ඇවිත් මේක පෙන්නගන්න උවමනාවකුත් මට නෑ. හරි විදියට අවස්ථාව ලැබෙන තුරු මම බලාගෙන ඉන්නවා. මොනවා වුණත් අපේ පළමු අපේක්ෂාව වුණේ මේ චිත්‍රපටය අන්තර් ජාතික වශයෙන් විවිධ රටවල පෙන්වන එක. ඒක දැන් අපි කරගෙන යනවා. අපි මුලින්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල මේ චිත්‍රපටය පෙන්වූවා. ඉස්සරහට අපි මැලේෂියාව, ඩුබායි සහ ලන්ඩන් වල පෙන්වන්න සැලසුම් කරගෙන යනවා.

ඔබේ පෞද්ගලික ජිවිතයේ ඔබ සිනමාකරුවෙක් විදියට හඳුන්වන්නේ?

ඇත්තටම මම ලංකාවේ ජිවත් වන්නේ නෑ. වෙනත් රැකියාවක නියුතු වෙනවා. මගේ වෙනම ප්‍රඩක්ෂන් හවුස් එකක් පවත්වාගෙන යනවා. සිනමාකරුවකු හැටියට ජිවත්වෙන එක ඒ තරම් පහසු දෙයක් නොවෙයි.

ශේෂ වලින් පස්සේ මොනවද නිර්මාණ කටයුතු?

මූලිකම දේ තමයි මට දැන් තියෙන ශේෂ පෙන්වාගැනිමේ ඕනකම. දැන් මගේ බලාපොරොත්තුව ශේෂ එළියට දා ගන්න එක. ඊට පස්සේ තව නිර්මාණ දෙකකට ලෑස්ති වෙනවා.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT