Home » සමරිසි සබඳතාවය ප්‍රසිද්ධියේ පිළිගන්න අකැමැති බහුතරයක් ඉන්නවා

සමරිසි සබඳතාවය ප්‍රසිද්ධියේ පිළිගන්න අකැමැති බහුතරයක් ඉන්නවා

‘වීදුරු තිර’ පිටපත් රචිකා ගයනි අසිංසලා

by Thanushika
September 18, 2025 10:50 am 0 comment

ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙමින් ඉකුත්දා විකාශය අවසන් වූ ‘වීදුරු තිර’හි තිර රචිකාව ඇයයි . ලාංකේය සමාජය කතාකිරීමට මැළිවන තේමාවක් සහිත එකී තිර රචනයේ අභියෝගය නොබියව භාරගත් ඕ වෘත්තියෙන් ගුරුවරියකි . ගයනි අසිංසලා පියදිගම වන ඇය, සිය නිර්මාණ දිවිය පිළිබඳ සරසවිය හා මෙසේ අදහස් දැක්වූවාය.

ඉකුත්දා විකාශය නිමාවුවත් තවමත් ප්‍රේක්ෂක කතාබහට ලක්වන ‘වීදුරු තිර’ ලියන්න යොමුවූ ආකාරය කීවොත් ……?

මගේ ටෙලිනාට්‍ය නිර්මාණ දිවියේ සමීපතම කලාකාරිනියක් විදිහට ශලනි තාරකා හඳුන්වන්න පුළුවන්. අපි දෙන්නා නිර්මාණ කිහිපයක්ම සාකච්ඡා කර ගොඩනඟලා තිබෙනවා. ‘වීදුරු තිර’ කතා සංකල්පය ශලනි, මා සමඟ සාකච්ඡා කර මට එය ලියන්න ආරාධනා කළා. ඇගෙන් ලැබුණු සහාය, අධ්‍යයනයන් හුවමාරුව මඟින් තමයි තිර රචනය ගොඩනැඟුණේ.

මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයාට මෙහි තේමාව ආගන්තුකයි. එකී අභියෝගය භාරගත්තේ කොහොමද ….?

මම විශ්වාස කරන්නේ කලාවකින් කරන්න ඕනේ මහපොළොවේ අපට හමුවන, ගැටෙන චරිත දිහා බලලා ඔවුන් පිළිබඳ නිර්මාණ කරන එක කියලයි. මගේ හැම නිර්මාණයකටම තේමා වුණේ අපට එදිනෙදා හමුවන චරිත. සමාජයේ සැඟවිලා තියෙන සමහර සිද්ධීන් අපි කතා කරන්නේ හරි අඩුවෙන්. ඒවා අපිට හැමතැනම පේන්න තිබුණත් අපි නොපෙනුණා වගේ ඉන්නවා. මගේ බොහෝ නිර්මාණවලට පාදක වුණේ එවැනි සිද්ධීන්. මෙතැනදී අභියෝගය වුණේ ලිවීමට පෙර හොඳ හැදෑරීමක් සිදුකිරීමට අවශ්‍යවීමයි.

‘වීදුරු තිර’ යන්නෙහි අදහස, කතා තේමාව සමඟ සංසන්දනාත්මකව විග්‍රහ කළොත් …..?

‘වීදුරු තිර’ නම යෙදුවේ ශලනි. එහි අදහස මෙහෙමයි, වීදුරුවක් කියන්නේ විනිවිද පේන්න තියෙන දෙයක්. අපි තිරයක් යොදාගන්නේ ඒ දේවල් වසන් කර තියාගන්න. වීදුරුවක් බිඳීගියොත් ඒ සියල්ල නිරාවරණය වෙනවා. සමාජයේ අපට මෙසේ විනිවිද පේන මෙවැනි ගැටුම් හෙළිදරව් වෙන වෙලාවට ඇතිවන මහා ඛේදවාචකය තමයි මේ සංකල්පයට පාදකවුණේ.

මෙහි චරිත ගොඩනැංවීමේදී විශේෂ උපක්‍රම භාවිත කළාද….?

චරිත ගොඩනැංවීමේදී මම අදහස් කළේ විවිධ සමාජ ස්ථරයන් නිර්මාණයට යොදාගන්න. උදාහරණයක් විදිහට ගත්තම සුලෝචනගේ පවුල් පසුබිම උඩරට වලව් පෙළැන්තියකින් පැවත එනවා. චේතනීගේ චරිතය ගත්තම පියා උගත් වෛද්‍යවරයෙක් , මව සාමාන්‍ය ගෘහණියක්. හිමේෂ්ගේ චරිතය අපට සමාජයේදී නිරන්තරයෙන්ම හමුවන චරිතයක්. සචිත්‍ර බටහිර සංස්කෘතිය හා හැඩගැසුණු තරුණයෙක්. ඒ උපක්‍රමය නිසා තමයි මේ කතාවට මෙවැනි හැඩයක් එකතුකරන්න පුළුවන් වුණේ.

ටෙලිනාට්‍යයේ කතා කෙරෙන සමරිසි සම්බන්ධය ප්‍රේක්ෂකයා කෙසේ වැලඳගනීවි යැයි තිර රචනයේදී ඔබට සිතුණද………?

මේ දේවල් අපට ඕනතරම් දකින්න ලැබුණත් ලංකාවේ තිබෙන සංස්කෘතික පසුබිමත් එක්ක ප්‍රසිද්ධියේ පිළිගන්න අකැමැති බහුතරයක් ඉන්නවා. නමුත් මේ දේවල් සුලබයි. විවේචන එල්ලවෙන්න පුළුවන් කියන දේ දැනගෙනම තමයි නිර්මාණයට අතගැසුවේ. එහෙත් අපි මෙහිදී උත්සාහ කළේ කිසිම ජනවර්ගයක් ඉස්මතු කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමකට නොවේ. මේ ලෝකයේ උපදින ඕනෑම පුද්ගලයකුට තමන්ගේ අනන්‍යතාවත් එක්ක ජීවත්වීමේ අයිතියක් තියෙනවා. එහෙත් එය තවත් කෙනකුට හිරිහැරයක් නොවන විදිහට. මේ චරිත හරහා අපි ගොඩනඟන්න උත්සාහ කළේ ඔවුනොවුන්ගේ අනන්‍යතාවට ඉඩදීමෙන් සමාජයටත්, පුද්ගලයාටත් වන හානිය වළක්වන්න අවශ්‍ය බව කියන්න.

නළුනිළිවරණයේදී (Casting) ඔබේ දායකත්වය කොහොමද ………?

පිටපත ලිවීමෙන් පසුව අපට මුහුණදෙන්න වුණු ලොකුම අභියෝගය තමයි මේ චරිත සඳහා සුදුසුම නළුනිළියන් තෝරාගැනීම. එහිදී මූලිකත්වය ගත්තේ ශලනි. ඒවගේම මෙහි අධ්‍යක්ෂ ශාන් මල්ලි. මේ අභියෝගාත්මක චරිත දෙක භාරගන්නේ කවුද කියන එක අපට ගැටලුවක් වුණා. ඉතින් මම සිතනවා ඒ අභියෝගය භාරගත්ත දෙදෙනා ඉතාම ඉහළින් ඒ චරිතවලට සාධාරණය ඉටුකළා කියලා . හැම චරිතයකටම සුදුසුම කෙනා තෝරාගන්න අපි සැලකිලිමත් වුණා.අධ්‍යක්ෂ ශාන් මල්ලිගේ, මගේ සහ ශලනිගේ කතාබහින් , එකමුතුවෙන් තමයි චරිත තෝරාගැනීම සිදුවුණේ .

මෙවැනි මනෝමූලික විෂයයක් කතාකිරීමේදී මනෝ වෛද්‍ය උපදෙස් එහෙමත් ගන්න ඇති….?

ඔව්, මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කළයුතු චරිතයක් තමයි මනෝ චිකිත්සක බුද්ධිකා ජයසිංහ මහත්මිය. ඇය තමයි අපට මේ කතා සංකල්පය ගොඩනැඟීමේදී අපේ අත්දැකීම් සමඟ ඇගේ අත්දැකීම් බෙදාගෙන මේ සමාජ ස්ථරයන්, මෙම චරිත හැසිරෙන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් අපට ලබාදුන්නේ . ඇගේ මඟපෙන්වීම නිසයි මේ චරිත , මේ තරම් උසස් විදිහට ගොඩනංවන්න හැකියාව ලැබුණේ. ඒ සහයෝගයට ඇයට ස්තුතිවන්ත වෙන්න ඕනේ

තිර රචනය සැකසීමේදී අධ්‍යක්ෂ ශාන් සහ ශලනි එක්ක ඔබේ ගනුදෙනුව සිදුවුණේ කෙසේද ……?

මේ කතා සංකල්පය ලියන්න යොමුවුණාට පසුව දර්ශනයෙන් දර්ශනයට ශලනි එක්ක මම සාකච්ඡා කළා. ඒවෙද්දී ඇය සිටියේ කැනඩාවේ. ඊට පස්සේ ශාන් මල්ලි අපිත් එක්ක එකතුවුණා .අපි තුන්දෙනා වට්ස්ඇප් සමූහයක් හදාගෙන ලියමින්, ඒ සියල්ල නැවත කපාකොටා සකසමින් මේ තත්ත්වයට අවසන් පිටපත දක්වා සකසන්න අපට හැකිවුණා. අවසානයේ හොඳ පිටපතක් ගොඩනැඟුණා . ඒවගේම කාන්තාවන් දෙදෙනෙක් එකතුවෙලා පිරිමි අය ගැන ලියන දේවල් නිවැරදි කරන්න ශාන් මල්ලි අපට උදව් කළා. ඔහුගේ අදහස් අපට ඉතා වැදගත් වුණා. සති දෙකක් වැනි කෙටි කලකින් මේ කොටස් සියල්ල නිර්මාණය කර අවසන් කරන්න තරම් උනන්දුවක් ඔවුන් දෙදෙනාගේ සහයෝගය නිසයි මා තුළ ඇතිවුණේ.

මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට මෙය අභියෝගයක් වෙන්න ඇති….?

අනිවාර්යයෙන්ම. මම දන්න තරමින් මෙවැනි නිර්මාණයක් පුංචිතිරයට ආ පළමු අවස්ථාව . එසේම චමීර ලියනගේ සහ චතුරංග කොඩිතුවක්කු දෙන්නාටත් මෙවැනි චරිතයක් ලැබුණු පළමු අවස්ථාව. රංගනයේදී ඔවුන්ගේ උපරිම දක්ෂතාව පෙන්නුවා. ඉතින් ඊටපස්සේ ටෙලිනාට්‍යය විකාශය වීමත් සමඟ ඔවුන්ට මුහුණදෙන්න වෙන අභියෝග, නින්දා, අපහාස ඒ සියල්ලට ධෛර්යවන්තව මුහුණදෙන්න පුළුවන් ශක්තියක් ඔවුන් දෙදෙනා සතුව තිබුණා .නිර්මාණයේ සාර්ථකත්වයට ඒ දෙදෙනා දුන් දායකත්වය ඉතා ඉහළයි.

ඔබේ තිර රචනා කලාවේ ආරම්භය සිදුවුණේ කොහොමද ….?

මම තිර රචනා කලාවට යොමුවී දැනට වසර 3ක් වැනි කෙටි කාලයක්. මේ කාලය තුළ විකාශය වූ ටෙලිනාට්‍ය 08කට මගේ රචනා පාදක වී තිබෙනවා. ඉදිරියේදී විකාශයට නියමිත නිර්මාණ කිහිපයකුත් තිබෙනවා. මුලින්ම මම තිර රචනය ආරම්භ කළේ ‘චලෝ’ ටෙලිනාට්‍යයෙන්. ඉන්පසු ‘මීනු, විදූ, ඉඥඥ කධභ, හිච්චි, අහස්, ප්‍රේම රස්තියාදුව, මාව මතකද’ වැනි ටෙලිනාට්‍ය රචනා කළා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ලිවීම විශ්වාස කළ හිතවත් නිෂ්පාදකවරුන්ට, නිර්මාණ විකාශයට ඉඩදුන් සියලු රූපවාහිනී නාළිකාවලටත් මගේ ගෞරවනීය ප්‍රණාමය .

පාසල් අවධියේත් ලේඛන කලාවේ යෙදුණද…..?

මම ලේඛන කලාවට ආවේ පුංචිම කාලයේ සිටයි. ඒ කවි, කෙටිකතා, නවකතා ක්ෂේත්‍රවලින්. ඒ කාලයේ සිටම ජාතික මට්ටමේ සම්මාන රැසක් ලැබුණා. නවකතා, කෙටිකතා ආදී කෘතීන් 15කට ආසන්න ප්‍රමාණයක් ලියා මුද්‍රණය කර තිබෙනවා. පාසල් කාලයේ තමයි මගේ ලේඛනයට හොඳම පසුබිම සැකසුණේත් මගේ නිර්මාණ හැකියාව වර්ධනය වුණේත්.

මෙතක් රචනා කළ නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණ වේද……?

මා රචනා කළ සෑම නිර්මාණයක්ම මට සුවිශේෂියි. ඒ අතරින් මගේ නිර්මාණ දිවියේ සන්ධිස්ථාන ලෙස සිහිකළ හැකි නිර්මාණ කිහිපයක් තිබෙනවා. ‘චලෝ, මීනු, ඉඥඥ කධභ වගේම වීදුරු තිර ‘ සුවිශේෂී නිර්මාණ ලෙස දකින්න පුළුවන්.

තිර රචනා කලාව අධ්‍යයනයේදී ගුරුකොටගත් යම් පිරිසක් ඇති……..?

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ තිර රචනා කලාව පිළිබඳ අධ්‍යයනය කරන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. මම මේ කලාවට එන සමයේ අඩුතරමේ තිර රචනයක් මොනවගේද කියන සංකල්පය ඔළුවට ගන්න තරම්වත් පිටපතක් කියවන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. මම සිතන්නේ ලිවීමෙන්ම තමයි මම ඉගෙනගත්තේ. මගේ මුල්ම තිර රචනයේ සිට අද දක්වා බොහෝ වෙනස්කම් තවමත් සිදුකරගෙන යමින් මම නිර්මාණකරණයේ යෙදෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් හැර තිර රචනය සම්බන්ධ ස්වයං අධ්‍යයනය තමයි වැදගත් වුණේ. ඒවගේම මතක් කරන්න ඕනේ මගේ නිර්මාණවලට සහයෝගය දුන්න අධ්‍යක්ෂවරුන්ගේ මඟපෙන්වීම මට ඉතා වැදගත් වුණා. මුල් රචනයේදී හමුවූ අධ්‍යක්ෂ හසුන් සමීර, අධ්‍යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර විශාල ගුරුහරුකම් ලබාදුන්නා . මා සිතන්නේ මට තිබෙන්නේ මටම අනන්‍ය වූ ලේඛන ශෛලියක් කියලා. ඒක මා විසින්ම ගොඩනඟා ගත් දෙයක් .

සිනමා තිර රචනයට යොමුවූයේ නැද්ද…….?

මේ වෙද්දි සිනමා තිර රචනා 03කට දායක වී තිබෙනවා .මගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙමින් තිබෙන සිනමා පටයක් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී භාරගත් වැඩ කිහිපකුත් තිබෙනවා .

සිනමා තිර රචනයේ සහ ටෙලිනාට්‍ය තිර රචනයේ මූලික වෙනස්කම් අ‍ර්ථකථනය කළොත් …….?

සිනමාව කියන්නේ වෙනම කලාවක්. රූපවාහිනී තිරයට ලිවීම තරම් සරලව හෝ ක්ෂණිකව ලිවීමක් සිනමාවේදී කරන්න බැහැ .පුංචිතිරයේදී විනාඩි 20ක වගේ කාලයක් තුළ එක් කොටසක් වෙනුවෙන් ප්‍රේක්ෂකයා රඳවාගන්නවට වඩා දැවැන්ත වගකීමක් තියෙනවා පැය 2ක , 2 1/2ක කාලයක් පුරා ප්‍රේක්ෂකයා පුළුල් තිරය ඉදිරියේ රඳවාගැනීම තුළ. මා සිතන්නේ ලෝක සිනමාව ගත්තම අපට සිතාගන්න බැරිතරම් ඉදිරියට ගිය නිර්මාණ එහි දකින්න පුළුවන්. එවැනි නිර්මාණයක් වෙනුවෙන් විශාල අධ්‍යයනයක් , කැපකිරීමක් කරන්න අවශ්‍යයි

අද ලාංකේය ටෙලිනාට්‍ය තිර රචකයන්ගේ මෙන්ම ගුණාත්මක තිර රචනවල අඩුවක් තිබෙන බව කියවෙනවා ….?

එයට මූලික හේතුව තමයි මම හිතන්නේ මේ හැම දෙයක්ම පාදකවෙන්නේ අපේ ආර්ථිකය මතයි. මූල්‍යමය ගනුදෙනු මතයි. මම දකින දේ තමයි ගොඩක් වෙලාවට රූපවාහිනී නාළිකා තුළ එකම කණ්ඩායමක් තමන්ගේ නිර්මාණ කටයුතු කරගෙනයාම. හොඳ නිර්මාණ බොහෝමයක් අතහැරිලා යනවා. නිෂ්පාදකයන්ට පාඩු සිදුවෙනවා. විවිධ හිතවත්කම්, ගනුදෙනු මත සිදුවන එවැනි දේ නිසා නිර්මාණයේ ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වීමක් හෝ අවධානයක් යොමුවීම ලැබෙන්නේ හරිම අඩුවෙන් කියා මට දැනෙනවා. අනික් පැත්තෙන් හොඳ නිර්මාණවලට කවදා හෝ අවස්ථාවක් ලැබෙනවා කියලා ගුණාත්මක නිර්මාණ කරන නිර්මාණකරුවන් පිරිසකුත් ඉන්නවා. මේ දෙපිරිස අතරේ තිබෙන නිර්මාණාත්මක ගනුදෙනුව තමයි ප්‍රේක්ෂකයා වැලඳගන්නේ.

නවකතා, කෙටිකතා කලාව තුළ ඔබේ භූමිකාව මොනවගේද……?

මම ලේඛිකාවක් විදිහට ගොඩනැඟුණේ නවකතා, කෙටිකතා හරහා. පාසල් කාලයේ සිට මෑතක් වනතුරුම මම ලිව්වේ කෙටිකතා සහ නවකතා. දැනට පොත් 15කට ආසන්න ප්‍රමාණයක් ලියා පළකර තිබෙනවා. සම්මාන රැසකටත් හිමිකම් කිව්වා. වර්තමානය වෙද්දී නම් මේ ක්ෂේත්‍ර දෙකෙන්ම තරමක් ඈත්වෙලා ඉන්නේ. ඉදිරියේදී තවත් නවකතා කිහිපයක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

තිර රචනා සිද්ධාන්ත පිළිබඳ මෙරට ප්‍රමාණාත්මක අධ්‍යයන පාඨමාලා තිබේද…? එකී පාඨමාලා පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන් ද….? ඒ ගැන කියන්න අපහසුයි. විශ්වවිද්‍යාල අධ්‍යයන මට්ටමින් මෙහාට බොහෝ අය විවිධ පෞද්ගලික අධ්‍යයන පාඨමාලා ආරම්භ කර තිබෙනවා . ඒ ගැන සතුටු විය හැකියි. මොකද තවත් නිර්මාණකරුවකුට ගොඩනැඟෙන්න තිබෙන අවස්ථාවක්, අධ්‍යයනය කිරීමට ලැබෙන අවස්ථාවක් නිසා. එහි ගුණාත්මක බව ගැන ඇගයීමක් කරන්න කිසිදු ආයතනයක් නොමැතිවීම ගැටලුවක්

ඔබ වෘත්තියෙන් ගුරුවරියක් .ඒ ගැනත් වෘත්තිය දිවිය සමඟ ලේඛන කලාවට කාලය වෙන්කරගැනීම ගැන කිව්වොත් …….?

මම වෘත්තියෙන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරියක්. සේවය කරන්නේ මගේ ගම් ප්‍රදේශය වන බිබිල නන්නපුරාවට මහා විදුහලේ. මා උගන්වන විෂයය මගේ නිර්මාණ දිවියට සම්බන්ධ නිසා ලොකු පහසුවක් තිබෙනවා නිර්මාණකරණයටත්. ඒවගේම මම නිර්මාණ කිරීමට කෑදර, උනන්දු කෙනෙක්. එයට මගේ වෘත්තිය බාධාවක් වෙලා නැහැ .

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන ඉඟියක් දුන්නොත් ……?

ඉදිරියේදී සිනමා තිර රචනා කිහිපයක් ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. එහි මූලික වැඩකටයුතු කරමින් පවතිනවා .ඒවගේම කෙටි කොටස් ප්‍රමාණයකින් යුතු ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයක් ලියමින් සිටිනවා.

කලා ක්ෂේත්‍රය ගැන යම් කලකිරීමක් තිබෙනවද…..?

මගේ පළමු නිර්මාණයේ සිට ඒ ඒ නිෂ්පාදන ආයතන මුදල් වංචා කළා. පිටපතට අදාළ ගෙවීම් කළේ නැහැ . මේ ක්ෂේත්‍රය හොඳ නිර්මාණකරුවන්ගෙන් ඈත්වෙන්න හේතුව ඒක . ගොඩක් අය මුදල් වංචා කරනවා. මහන්සිවෙලා කරන වැඩකට ගෙවීම් කරන්නේ නැහැ .ඒක එදාත්, අදත්, හෙටත් වෙන දෙයක්. මේ දේවල්වලට ආයතනික මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් නැති නිසා තමයි මේ කඩාවැටීම වෙන්නේ. සෑම කෙනකුටම තමන්ගේ අදාළ කාර්යයට නියමිත ගෙවීම් ලැබිය යුතුයි..අන්න ඒ තැනට මේ ක්ෂේත්‍රය පැමිණි දවසට මීට වඩා හොඳ නිර්මාණ සහ නිර්මාණකරුවන් බිහි වේවි.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ ලේඛන දිවියට ලැබෙන සහාය මොනවගේද …..?

මගේ පවුලේ කවුරුවත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. ඔවුන් සියලු දෙනාම ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ අය. මේක මම පුංචිකාලයේ ඉඳන්ම හුදෙකලාව ආව ගමනක්. අද වෙද්දි මගේ නිර්මාණවලට ලැබෙන ජනප්‍රියත්වයත් සමාජය තුළ ඇතිවන කතාබහත් එක්ක ඔවුන් මගේ නිර්මාණ පිළිබඳ යම්කිසි තක්සේරුවක සිටිනවා කියලා හිතනවා. නිර්මාණකරුවකුට මානසික නිදහස ඉතා වැදගත්. මගේ පවුලේ අයත් මගේ දරුවෝ තුන්දෙනාත් මට අවශ්‍ය ඒ සහයෝගය ලබාදෙනවා. මගේ නිර්මාණ සාර්ථක වෙන්න එය බොහෝ හේතුවෙනවා.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT