Home » ‘සප්ත සුරාගී’ මටත් ඔබටත් වෙනස්ම අත්දැකීමක් වේවි

‘සප්ත සුරාගී’ මටත් ඔබටත් වෙනස්ම අත්දැකීමක් වේවි

ගායනවේදිනී සුරංජි ශ්‍යාමලී

by Mahesh
July 4, 2024 12:30 am 0 comment

– රාජේෂ් පවාර් හමුවීම මගේ ජීවිතයේ ලද විශාල භාග්‍යයක්
– එකම දිනයේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගීත පටිගත කරන්න ලැබුණා
– ස්වර සප්තකය උපයෝගී කරගෙන ‘සුරා’ ගයන ගී ‘සප්ත සුරාගී’ නමින් නම් කළා
– සියලු දේශයන්ට -ජනයාට පොදුවූ ගතියක් සංගීතය නමැති විශ්ව භාෂාවේ තිබෙනවා
– 1980-90 ගීත කලාව අපට දැන් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බැහැ
– මගේ අම්මා තමයි මගේ ලොකුම සංගීතඥයා

සරල ගී, ශාස්ත්‍රීය ගී, සිනමා-ටෙලිනාට්‍ය ගී රැසකට ගායනයෙන් 25 වසරක් පුරා දායක වූ විශාරද සුරංජි ශ්‍යාමලීගේ ස්වතන්ත්‍ර ගී, හින්දි-දමිළ ගී ඇතුළත් ‘සප්ත සුරාගී’ ඹ්ධ්ඍඡ් ධ්ව් ඛ්ර්‍ණව්ඛ්ඡ්අඊ ප්‍රසංගය ලබන 07වැනිදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වේ. එකී ප්‍රසංගයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දියානු ජනප්‍රිය ගායනවේදියකු වන රාජේෂ් පවාර් සහභාගි වන අතර ‘සප්ත සුරාගී’ ප්‍රසංගය පිළිබඳවත් සුරංජි ශ්‍යාමලීගේ සංගීත දිවිය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා ඇය මෙසේ එක්වූවාය.

ඔබේ මේ “සප්ත සුරාගී” රාත්‍රිය පිළිබඳ පැහැදිලි කරනවා නම් …..? “සප්ත ” කියන එකෙන් ස්වර 07 ගැනයි මම එහිදී අදහස් කළේ . “සුරාගී” කියන්නේ මට කියන පෙට් නේම් එක.මාව පාසල් කාලයේ , විශ්වවිද්‍යාල කාලයේ යහළුවන් මාව හැඳීන්වූයේ “සුරා” කියලා. “සුරා”ගේ ගී “සුරාගී” කියන අදහසයි එතැනදී එන්නේ. “සප්ත සුරාගී”කියන්නේ ස්වර සප්තකය උපයෝගී කරගෙන සුරා ගයන ගී “සප්ත සුරාගී” නමින් අදහස් කළා. මෙය ලබන 07වැනිදා සවස 7ට නෙළුම් පොකුණේදී පැවැත්වෙනවා

මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න අදහස පහළවූයේ කෙසේද…..?

මම මීට පෙර ප්‍රසංග 06ක් පවත්වා තිබෙනවා. 1996දී සාමාන්‍ය පෙළ ලියා ගෙදර ඉද්දී මගේ අම්මාට අවශ්‍ය වෙනවා මගේ ගී ප්‍රසංගයක් පවත්වන්න. හොරණ දික්හේනපුර ප්‍රජා ශාලාවේ එය පවත්වන්නේ. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයේ “සුස්වරා” නමිනුත් පවත්වනවා. “යහපත් වූ ස්වර ඇති” යන අදහසින් එම නම යොදන්නේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා. ඉන්පසු හොරණ තක්ෂිලා විදුහලේ “සුස්වරා -02” නමිනුත් “සුස්වරා -03” නමිනුත් කැලණිය විශ්වවිද්‍යාලයේදී 2003දී පවත්වනවා. සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, බණ්ඩාර ආතාවුද, දයාන් විතාරණ වැනි පිරිස මා සමඟ එහිදී යුග ගායනයෙන් එක්වෙනවා. ජ්‍යෙෂ්ඨ රූපණවේදී රවීන්ද්‍ර රන්දෙණිය, රෝසි සේනානායක, ජ්‍යෙෂ්ඨ ගායිකා සුජාතා අත්තනායක වැනි පිරිසත් ගීපද රචකයන් ලෙස සුනිල් ආර්. ගමගේ, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි වැනි පිරිසත් සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස රෝහණ වීරසිංහ, කරුණාරත්න විජේවර්ධන වැනි පිරිසත් ආරාධිතයන් ලෙස එයට සහභාගී වුණා. 2011දි ටොරානා ආයතනයෙන් මගේ “තරු පහන් වී” සංගත තැටිය එළිදැක්වුවා. මගේ 05 වැනි ප්‍රසංගය එල්ෆින්ස්ටන්හිදී පැවැත්වුවා. 06 වැනි ප්‍රසංගය මා ලියූ කෘතියක් දොරටවැඩීම නිමිත්තෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ගීත ප්‍රසංගයක් පැවැත්වුවා. මේ “සප්ත සුරාගී” මගේ 07 වැනි ප්‍රසංගයයි. මෙවැනි දෙයක් කරන්න ඕනේ කියලා බොහෝකල් සිටම සිතුවා. මෙය සිහිනයක් සැබෑවීමක්. ඉන්දියානු ප්‍රවීණ ගායන ශිල්පි රාජේෂ් පවාර් මහතා මෙයට සම්බන්ධ වෙනවා. ඔහු සමඟ සිදුකරන මේ ප්‍රසංගය ඔබටත් මටත් වෙනස්ම අත්දැකීමක් වේවි.

“සප්ත සුරාගී” ප්‍රසංගයට ජනප්‍රිය ඉන්දියානු ගායක රාජේෂ් පවාර්ගේ දායකත්වය ලැබෙන ආකාරය පැහැදිලි කළොත් ……?

මේ ප්‍රසංගයට රාජේෂ් පවාර් සහභාගි වීම සතුටට කරුණක්. ඉන්දියාවේ සිටින මගේ යාළුවෙක් මාර්ගයෙනුයි රාජේෂ් පවාර් මහතාව මම හඳුනාගන්නේ. ඉන්පසු එතුමා මගේ ගීත අසා මා සමඟ කතා කර මා ගැන පැහැදීමක් ඇතිකර ගත්තා. ඔහු කියනවා මගේ හින්දි උච්චාරණය ගැන විස්මයට පත්වුණා කියලා. ඔහු ඉතා සතුටින් මේ ප්‍රසංගයට සම්බන්ධ වෙන්න තීරණය කළා.එය මගේ ජීවිතයේ ලද විශාල භාග්‍යයක් ලෙස සලකනවා. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසයි මේ ප්‍රසංගයට එක්වන්නේ.

“රාජේෂ් පවාර්” භූමිකාව ඔබේ ගායන දිවිය හා සුසංයෝග වන අයුරු සිහිකළොත් ….?

ඇත්තෙන්ම ඔහු පැමිණීමෙන් පසු ප්‍රසංගයේදී මම ඔහු සමඟ ගීත කිහිපයක් ගායනා කරනවා. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ගායනවේදී කලාකරු මොහොමඩ් රාෆීගේ ඡායාව වශයෙනුත් රාජේෂ් පවාර් හඳුන්වනවා. ඒ හඬට සමාන හඬක් මෙතුමාගේ ගායනය තුළ තිබෙනවා. ඔහුගේ හඬෙහි පුදුම රසයක් තිබෙනවා. මේ ප්‍රසංගයෙන් පසු ඔහුත් එක්ක තවත් කටයුතු රැසක්ම කිරීමට බලාපොරොත්තු වෙනවා

“සප්ත සුරාගී” රාත්‍රියේදී ඔබ විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් එළිදක්වනවා …..?

ඔව්, මා ලියූ ග්‍රන්ථ රැසක්ම එදින එළිදැක්වෙනවා. “උත්තර භාරතීය සංගීතය සහ ශාස්ත්‍රීය ගායන ශෛලීන්” නමැති ග්‍රන්ථයක් එළිදැක්වෙනවා. මෙරට අධ්‍යාපන ආයතනවල සංගීත විශාරද උපාධිය කරන අය ඉන්නවා. ඒවාට මූලික වී තිබෙන්නේ හින්දුස්ථානී රාගධාරී සංගීතය. අපට තිබෙන්නේත් ඒ සංගීතය. බොහෝ අය සංගීතයට යොමුවුණාට එහි සුලමුල පිළිබඳ පෝෂණය වීම අඩුයි. ස්වර 7 හැදුණු ආකාරය, උත්තර, දක්ෂිණ භේදය, ඒවායේ සමවිෂමතා ආදිය මේ ග්‍රන්ථයට මූලිකවී තිබෙනවා. රාගධාරී ගායන ශෛලීන් පිළිබඳ විවරණයක් ද මෙහි ඉදිරිපත් කෙරෙනවා. මෙය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට පවා ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වේවි. ඊට අමතරව මම හින්දි භාෂාව හදාරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ වසර 04ක විශේෂවේදී උපාධියක් ලෙස. ඉන්පසු බරණැස හින්දු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා 2012-2014 වසරවල. ඒ හින්දි භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට. එහිදී මම මහාචාර්යවරුන් 18දෙනෙක් යටතේ මගේ උපාධිය අවසන් කරනවා. ඒ රටේ මාස්ටර් ඩිග්‍රියට අවුරුදු 02ට විභාග 04කට මුහුණදෙන්න වුණා. එහිදී ප්‍රශ්න පත්‍ර 16ක් ලියන්න වුණා. එයින් මට ප්‍රථම පන්ති ගෞරව සාමර්ථ්‍යක් තිබෙනවා. ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධියටත් ප්‍රථම පන්ති ගෞරව උපාධියක් තිබෙනවා. බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ උපාධියටත් ප්‍රථම පන්ති ගෞරව සාමර්ථ්‍යක් තිබෙනවා. එහිදී ගැඹුරින් හින්දි භාෂාව පිළිබඳ හැදෑරීම් කළා. මගේ එකී දැනුම මාත් සමඟ මියැදෙන්න නොදී දරුවන්ට ලබාදෙන්න ඕන කියලා සිතුවා..ඒ අරමුණින් තමයි මා රචනා කළ “උත්තර භාරතීය සංගීතය සහ ශාස්ත්‍රීය ගායන ශෛලීන් ” පොතත් “හින්දි සාහිත්‍යය හා ශාස්ත්‍රීය ගායනා ශෛලීන්” ග්‍රන්ථයත් “හින්දි භාෂාවේ උපත සහ විකාශය ” ග්‍රන්ථයත් මේ ප්‍රසංගයේ දී එළිදක්වන්න තීරණය කළේ.

ප්‍රසංගයේ යුග ගායනා සඳහා එක්වන පිරිස ගැන මතක් කළොත් …..?  

මෙහි ප්‍රධානතම ගායන ශිල්පියා වෙන්නේ රාජේෂ් පවාර් මහතා .2011දී ප්‍රවිණ ගායන ශිල්පි දයාන් විතාරණ අයියා සමඟ ගායනා කළ “තරු පහන්වී දිලෙයි” නමින් ගිතයක් ගායනා කළා.එය ප්‍රවීණ ගීපද රචිකවක වන යමුනා මාලනී පෙරේරා ලියූ ගීතයක්. ඒ ගීතය ඇතුළු ගී රැසක් දයාන් අයියා එක්ක ප්‍රසංගයේදී ගායනා කරනවා ඊට අමතරව ජනප්‍රිය කලාකරුවකු වන පූර්ණ සචින්ත මල්ලිත් එක්ක හින්දි සහ සිංහල ගී රැසකුත් ගායනා කරන්න හිතාගෙන ඉන්නවා. හේමාල් වාසලතන්ත්‍රි නමැති දක්ෂ ගායන ශිල්පියා එක්ක්ත් යුග ගී ගායනා කරනවා

ඔබ සරල ගී-ශාස්ත්‍රීය ගී ගායිකාවක්. සරල ගී සහ ශාස්ත්‍රීය ගී යන දෙවර්ගය ඔබ වර්ගීකරණය කරනුයේ කවර පදනමක පිහිටාද…..?

ගීතයක් යනු ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක්. ඒ පිළිබඳ විවිධ අර්ථකථන දක්වනවා. ගීතය ඇත්තෙන්ම දෙවැදෑරුම් ශාස්ත්‍රීය හා සරල වශයෙන්. ශාස්ත්‍රීය ගීතයක් පිහිටා තිබෙන්නේ අනිවාර්යයෙන් රාගධාරී පදනම මතයි. ලොව විවිධ සංගීත සම්ප්‍රදායන් තිබෙනවා පෙරදිග, අපරදිග සම්ප්‍රදාන ලෙස. ඒවායේ ශාස්ත්‍රීය මට්ටමක් තිබෙනවා. ලොව මහා සංගීත සම්ප්‍රදායන් 05ක් තියෙනවා. ඒ සියලු සම්ප්‍රදායන් ආශ්‍රය කරගෙන බිහිවෙන ශාස්ත්‍රීය වටිනාකමෙන් යුතු ගීත ශාස්ත්‍රීය ගණයෙහිලා සැලකෙනවා. ඊට පරිබාහිරව සරල ගීත ගත්තොත් සාහිත්‍යයේ හා සංගීතයේ සුසංයෝගයෙන් තමයි එය බිහිවෙන්නේ. ගීතය බහුපුද්ගල මාධ්‍යයක්.

සරල ගී හා ශාස්ත්‍රීය ගී ගායනයේදී ඔබ් ඔබටම අනන්‍යවූ ගායන්‍රමවේදයක් අනුගමනය කරන්නේද…….?

ඕනෑම ගායන ශිල්පියකුට තමාට ආවේණික වූ ක්‍රමවේද තිබෙනවා. එකම ගුරුවරයෙක් යටතේ පුහුණු වන ශිෂ්‍යයන් දෙන්නෙක් ගත්තොත් ඔවුන්ට පෙරළා ගායනයක් ඉදිරිපත් කරන්න කිව්වොත් එකිනෙකාට ආවේණික දේවලුත් එහිදී එකතු කරගන්නවා. එක ගායකයෙක්ගෙන් තව ගායකයෙක් වෙනස්වෙන්නේ ඒ තමන්ටම අනන්‍යවූ ක්‍රමය නිසා. එයට ව්‍යුත්පත්තිය, ප්‍රතිභාව, උපතින් ගෙනා හැකියාව, සතත්‍යාභ්‍යාසය මූලික වෙනවා

අද වත්මන් පරපුර ශාස්ත්‍රීය ගීත කලාවෙන් දුරස්වෙමින් පවතින බව පේනවා. එය ඔබ දකින්නේ කෙසේද …..?

මෙය බොහෝ සීරුවෙන් පිළිතුරු දියයුතු ප්‍රශ්නයක්. හේතුව එදා සමාජ, ආර්ථික,දේශපාලන පසුබිම නෙවෙයි අද තියෙන්නේ. බොහෝ සංකීර්ණ වූ සමාජයක් අද මේ රටේ තිබෙන්නේ. ශාස්ත්‍රීය ගීත නිර්මාණය කර ජනගත කිරීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා.ප්‍රවිණ ශිල්පීන් පවා අද වෙද්දී නව නිර්මාණ කළත් එය ජනතාව අතරට යැවීම අසාර්ථක වී තිබෙනවා. ශාස්ත්‍රීය ලෙස ගීතයක් රසවිඳීන්න මේ සමාජ, ආර්ථික, දේශපාලන රටාව තුළ නොහැකිවීම කනගාටුවට කරුණක්. අද විවිධ රැලි මතුවෙමින් පවතිනවා. අද තිබෙන්නේ ගීත අස්සවන කලාවක්. අද ගීතවල පැවැත්ම ගැන යම් ගැටලුවක් පැහැදිලිව තිබෙනවා.

සංගීතය නමැති විශ්ව භාෂාව මඟින් මිනිසාගේ මනස සුවපත් කිරීමේ කාර්යයේදී සරල ගීත හා ශාස්ත්‍රීය ගීත මඟින් ලැබෙන ආලෝකය පිළිබඳ ඔබේ අර්ථවිග්‍රහය කෙබඳුද….?

සංගීතය යනු විශ්ව භාෂාවක්.එයට සරල උදාහරණයක් කිව්වොත් ලොව ඕනෑම භාෂාවකින් ගැයුණු ගීතයක් අපේ කරගන්න යන්නේ ඉතා සුළු මොහොතයි. අපි හින්දි භාෂාව දැනගෙන නෙවෙයි හින්දියෙන් ගැයෙන ගීතයක් රසවිඳීන්නේ. සියලු දේශයන්ට, සියලු ජනයාට පොදුවූ ගතියක් මේ සංගීතය නමැති විශ්ව භාෂාව තුළ තිබෙනවා. ඉංග්‍රීසි ගීතයක් රසවිඳීන්න ඉංග්‍රීසි ජාතිකයකු වෙන්නම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපේ මනස සුවපත් කරන්න, පීඩනය, මහන්සිය නිවාගන්න ගීතයක් අහන්න ඕන කියලා කියනවනේ. එහිදී එම ගීතය අපේ මනස සුවපත් කරගැනීමට මනා තෝතැන්නක් වෙනවා. කෙනෙක් සරල ගීතයක් රසවිඳීන්න පුළුවන්. තව කෙනෙක් ශාස්ත්‍රීය ගීතයක් රසවිඳීන්න පුළුවන්. සංගීතය විශ්ව භාෂාවක් නිසා එක් භාෂාවක ගීත ඇසිය යුතුªයි කියා වර්ගීකරණය කරන්න බැහැ.

නව තාක්ෂණයත් සමඟ සංගීතයේ ගීත කලාව යනාදී විෂයයන් යාවත්කාලීන වෙමින් පවතිනවා.1980 දශකයේ ගීත කලාව හා අද ගීත කලාව හාත්පසින්ම වෙනස්. මෙකී කරුණ පිළිබඳ ඔබේ දෘෂ්ටිය පැහැදිලි කළොත් ……?

හැමදේම දැන් තාක්ෂණයත් සමඟ වෙනස්වී තිබෙනවා. 1980-90 ගීත කලාවේ තිබුණේ භාවමය ගතියකින් යුත් භාවමය සංගීතයකින් යුත් ගීත කලාවක්.භාවනාවකට සමවැදුණා වගේ ගීත එකල තිබුණේ .ඉන්පසු කැසට්පට කලාව බිහිවී එය 2000වසර පමණ වෙද්දී ඛ්ච් තැටි කලාවක් බවට පත්ව තිබෙනවා. ඉන්පසු කලාව, සංගීතය වැනි දේ වාණිජකරණයට පත්වුණා. 80-90 දශකයේ ගීත කලාව අපට දැන් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. අද තාක්ෂණික දියුණුව එක්ක පරිගණක සංගීතයෙන් ඕන ඕන විදිහට කටහඬවල් හදාගන්න පුළුවන්. අද මුදල් තියේනම් දක්ෂතාව, හැකියාව නැතත් ගායකයකු වෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙම තත්ත්වයකට අද කලාව වැටිලා.ගීත ක්ෂේත්‍රයේ මේ වෙද්දී උඩුගම්බලා බලා පිහිනීමක් තියෙන්නේ.

හින්දි හා දමිළ ගීත ගායිකාවක ලෙස ඔබේ භුමිකාව පැහැදිලි කළොත් …..?

මූලික වශයෙන් කියන්න ඕන මම හින්දි , දෙමළ, කණ්ණඩ, බෙංගාලි, මලයාලම් භාෂාවලින් ලියවුණු ගීතත් ගායනා කර තිබෙනවා. මූලික වශයෙන් සිංහල ගීත මම ගායනා කර තියෙන්නේ. ස්වතන්ත්‍ර සිංහල ගී 60කට වැඩි ප්‍රමාණයක් ගායනා කළා. හින්දි ගී ගායනයට එක්වන්නේ මගේ විශේෂ රුචිකත්වයක් තිබෙන නිසා. හින්දි භාෂාව ප්‍රගුණ කිරීම එයට මූලික හේතුවක් වුණා.”භාරත ගී වින්දන” රූපවාහිනී වැඩසටහන ආසාවෙන් එකල නැරඹුවා. ඒ ආභාසයේ බලපෑම හින්දි ගී ගායනයට බලපාන්න ඇති. හින්දි හා ද්‍රවිඩ ගීවල පුදුමාකාර මිහිරි තනු තිබෙනවා. ඒ ආභාසයන් තුළිනුයි මම විවිධ භාෂාවන්හි ගීත ගායනයට එක්වුණේ

ස්වතන්ත්‍ර ගීත ගායිකාවගේ භූමිකාවේදී ඔබ සිටිනුයේ කවර ස්ථානයකද….?

ස්වතන්ත්‍ර ගීත 50ක් , 60ක් පමණ ගායනා කර තිබෙනවා. ටෙලිනාට්‍ය – චිත්‍රපටවලට ගායනා කළ ගීතත් 20කට වැඩියි.

සිනමා- ටෙලිනාට්‍ය ගායනය තුළ ඔබේ භූමිකාව කවරේද ……?

තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවෙන් තමයි මම ගීත ක්ෂේත්‍රයට ආවේ.එහිදී මට ගුරුහරුකම් ලබාදුන් සුනිල් ආර්. ගමගේ ගුරු පියාණන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ඔස්සේ මගේ මුල්ම ගීත 05 පටිගත කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ නවරත්න ගමගේ යන ප්‍රවීණයන් දෙදෙනාගේ ගීතනු සමඟයි. රෝහණ වීරසිංහයන්ගේ ආරාධනයකට අනුව එකම දිනයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීතයක් පටිගත කිරීමට අවස්ථාව ලැබුණා. ඒ 2006-2007 වසරේ වගේ. රවින්ද්‍ර විජේරත්න මහතාගේ “ජීවිතය ලස්සනයි” ටෙලිනාට්‍යයට තේමා ගීතයෙන් දායකවුණා. දයාරත්න රටගෙදරගේ “නිල්දිය යහන” චිත්‍රපටයට ගීතයක් ගයන්න ලැබුණා. ඒ එකම දවසේ. ඒ අවස්ථාව උදාකර දුන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඉන්පසු කෝරළේ මහත්තයා ටෙලිනාට්‍යයේ තේමාගීතය, “නිල් අහස ඔබ , සරා සහ සුබා, මන්දාකිණි” ආදී ටෙලිනාට්‍ය රැසකටත් ඊට අමතරව “නිල්දිය යහන” චිත්‍රපටයෙන්

සිනමා-ටෙලිනාට්‍ය ගීත ගායනයේදී සුවිශේෂී වූ ගීත පිළිබඳ මතකය අවදි කළොත් …..?

ඒ අතර “ජීවිතය ලස්සනයි” ටෙලිනාට්‍යයට ගායනා කළ “හිරු ළඟ සීතල සොයනා” ගීතය ජනාදරයට පත්වූවා පමණක් නොව එකී ගීතයට වසරේ ජනතා සම්මානය (ර්‍ථඥධනතඥ’ඵ ඒඹචපඤඵ) පවා හිමිවුණා .”දරුවනේ” චිත්‍රපටයේ “සෙනෙහසේ අරුණ ඒ පායා” ගීතයත් රසික පිරිස වැලඳගත්තා.. “කෝරළේ මහත්තයා ” ටෙලිනාට්‍යයට බන්දුල විජේවීර මහතා සමඟ ගැයූ “මොනරු මුව ගෝණු රඟනා වන බැද්දයි” ගීතයත් රසිකයන් අතර ජනප්‍රිය වුණා

ඔබ සම්මානිත වූ අවස්ථා සිහිකළොත් ….?

ඒකනම් ඛේදනීය තත්ත්වයක්. මම ගීත ගායනයෙන් දායක වූ චිත්‍රපට 04ක් එක්වරකදී ප්‍රදර්ශනය වුණා.එහෙත් එම වසරේ කිසිම සම්මාන උළෙලකින් මට ආරාධනා පත්‍රයක්වත් ලැබී නැහැ . ප්‍රවීණයන් පවා සම්මානයට පාත්‍ර නොවූ රටක්නේ මේක. එසේනම් අපි ගැන කවර කතා ද…?

ගායනයට ගීතයක් තෝරාගැනීමේදී ඔබට සුවිශේෂී වූ මිනුම්දඬු පිළිබඳ සඳහන් කළොත් ……?

මම ගීතයක් තෝරාගැනීමේදී පදමාලාව ගැන ලොකු අවධානයක් යොමු කරනවා. ගීතයේ අර්ථය අර්ථපූර්ණ වන තරමට අදහසක් සමාජගත කළ හැකි දෙයක් මේ තුළ තිබෙනවා ද යන්න සොයාබලනවා. චිත්‍රපටයකට, ටෙලිනාට්‍යයකට ගීතයක් ලැබුණොත් එසේ තෝරාගන්න අමාරුයි. ස්වතන්ත්‍ර නිර්මාණයකදී වචන ගැන මම අවධානය යොමුකරනවා. ඊට අමතරව වචනවලට ගැළපෙන තනුව පිළිබඳ සාකච්ඡා කරනවා. පදරචනය සහ සංගීත අධ්‍යක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරනවා…

ගායන ශිල්පිනියක ලෙස ගීපද රචකයා සමඟ ඔබේ ගනුදෙනුව කවරාකාරද ….?

ප්‍රවීණ සහ ආධුනික සංගීත ශිල්පීන්, ගීපද රචකයන් එක්ක මම වැඩකර තිබෙනවා. ආධුනික අවධියේ සිටි දැන් යම් ස්ථාවරයක ඉන්න සුජිත් ප්‍රසංග නමැති ගීපද රචකයාගේ ගීතයක් මට එවද්දී මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඔහුගේ වචන ඉතා සිත්ගන්නාසුලු වුණා. 2001දී පැවැත්වුණු විශ්වවිද්‍යාල ප්‍රසංගයකදී මම ඔහුව එතැනට ගෙන්වලා පැමිණ සිටි පිරිස ඉදිරියේම සුජිත් ප්‍රසංගට ප්‍රණාමය දැක්වුවා. ඔහු පසුගියදා රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ ප්‍රශස්තතම ගීපද රචකයාට හිමින් සම්මානය ලබාගත්තා. එසේ ආධුනික වගේම ප්‍රවීණ අය සමඟත් මම ඒ ගනුදෙනුව පවත්වාගෙන යනවා.

මෙතෙක් ගායනා කළ ගීතවලින් ඔබට සුවිශේෂී වූ සහ ඔබේ දිවියට බද්ධ වූ නිර්මාණ වේනම් …..?

අම්මා ගැන ලියැවුණු “කළුවර රෑ නුඹ සඳක් වගේ දිලුණා” ගීතය මම ගයන්නේ ආදරණීය ලක්ෂ සංඛ්‍යාත මෑණිවරුන් වෙනුවෙන්. නයනා ප්‍රියන්ති ජයසුන්දර රචනා කළ “ළපටි හැඬුමට” ගීතයට මම බොහෝ කැමැතියි..ඒක මගේ ජීවිතයට බද්ධයි.මටත් දියණියන් දෙදෙනෙක් ඉන්නේ. එහි තැනක තිබෙනවා “දුවේ භවයක බුදුවෙයන් නුඹ මවක් වෙන්නට වරම් දුන්නට” යනුවෙන්. ඒ යෙදුමට මම ප්‍රිය කළා. හැමතැනම තියෙන්නේ “අම්මා බුදුවේවා” කියලනේ. එහෙත් මවක් වෙන්න විවරණ දුන්න දුවකට බුදුවෙන්න කියලා කොහේවත් අපි අසා නැහැ. ඒ සුවිශේෂී යෙදුම නිසා එක්වරම මේ ගීතයට මම කැමැති වෙනවා. එක්තරා පැත්තකින් මගේ දියණියන් දෙදෙනා මට අම්මෙක් වෙන්න අවස්ථාව දුන්නා වගේම මගේ අම්මාට මම ඒ අවස්ථාව දුන්නා කියන හැඟීමෙන් තමයි එය ගායනා කළේ. ඒගීතය මට අතිශය සුවිශේෂී වුණා.

ඔබේ ගී ඇතුළත් සංයුක්ත තැටි නිකුත් කරලාත් ඇති….?

ඔව්, 2011දී ටොරානා ලේබලයෙන් “තරු පහන්වී” නමින් සංයුක්ත තැටියක් නිකුත් කළා. එය් ගීත 16ක ගී ඇල්බමයක්.

ගායන දිවියේ ගුරුතත්හිලා සැලකිය හැකි පිරිසක් වේද…..?

මගේ මවගෙන්, පියාගෙන් ලද ශක්තිය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මට සංගීතයේ මුලකුරු කියාදුන් ගුරුවරුන්ද ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේ සිහිකරනවා. ප්‍රවීණ ගීත රචක සුනිල් ආර්. ගමගේ මහතා කලාවේ ගමනක් යන්න ලබාදුන් මාර්ගෝපදේශනය ඉතා වටිනවා. සුජාතා අත්තනායක, ලතා වල්පොළ, ඇන්ජලීන් ගුණතිලක මහත්මීන්ගේ ගීත මගේ හඬ ගායනයට ගුරුතත්හිලා සලකන්න පුළුවන්. ඉන්දියාවෙන් ගත්තොත් භාරතීය ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් මහත්මියගේ කටහඬ මාහට ගුරුතත්හිලා සැලකිය හැකියි. ගායන පුහුණුව සඳහා ඇගේ ගීත බොහෝ මම ගායනා කළා.

කුඩා කල සිට ගායනයට කැමැත්තක් දැක්වුවාද ..? පාසල් අවධියේදීත් ගායනය තුළින් ජයග්‍රහණ ලබන්න ඇති……..?

ඔව්, මට අවුරුදු 07දී තමයි මුලින්ම වේදිකාවක ගීතයක් ඉදිරිපත් කළේ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමත් එක්ක. “හිතන්නකෝ අයියේ” ගීතය එදා ගායනා කළේ. 06 වසරේ සිට සංගීතය විෂයයක් ලෙස ඉගෙනගත්තා. පාසල් මට්ටමේ, පළාත් මට්ටමේ, ජාතික තලයේ, සමස්ත ලංකා මට්ටමේ විවිධ ජයග්‍රහණ ලබා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ බස්නාහිර පළාතේ හොඳම ගායිකාව ලෙස ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ජාතික තරග නියෝජනය කළා.

ප්‍රසංග වේදිකාවේ ආරම්භක අවධියට ගියොත්…සහ එහිදි මුල්ම අත්දැකීම මතකාවර්ජනය කළොත්…?

කලින් කිව්වා වගේ අවුරුදු 07දී ප්‍රසංග වේදිකාවේ ගීතයක් ගැයුවේ. අම්මා තමයි වේදිකාවේ පහළ ඉඳන් සංගීතඥයෙක් වගේ දෑත් ඉහළට ඔසවමින් නවත්වන තැන්, පටන්ගන්න තැන් මට මතක් කර දුන්නේ. මට ගීතය පුහුණු කරවලා මාව වේදිකාව ළඟට ගෙනගියේත් අම්මා. අම්මා තමයි එදා මගේ ලොකුම සංගීතඥයා වුණේ.

වසර 25ක සංගීත දිවිය දෙස නැවත හැරීබැලුවොත්?

1999 සිට මේ ගමන මම එන්නේ. ස්වර්ණවාහිනියේ විකාශය වූ “ස්වර්ණ වර්ණ ගී” වැඩසටහනට මම මුලින්ම ඉදිරිපත් වෙන්නේ. තුරුණු ශක්ති තරගය එහෙම පසුකර මේ ගමන ආවේ. ලැබුණු අවස්ථා වගේම කප්පාදු වූ අවස්ථාත් තියෙනවා. කටුකොහොලින් පිරි මාවතක මම ගමන් කළේ කලාව සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර දෙකෙන්ම. බාධක ජයගෙන ආ දුෂ්කර ගමනක් මට තිබ්බේ. චිත්‍රපටවලදී එන්න කියලා පසුකාලයේ ඒවායින් ඉවත් කළ අවස්ථා තිබුණා. කැපිලි කෙටිලි අනන්තවත් තිබුණා. පවුලේ කිසිවෙක් මේ ක්ෂේත්‍රයේ නැති නිසා මට මුල ඉඳන්ම තනියෙන්මයි මේගමන යන්න වුණේ. ඒ සියල්ල ශක්තිමත්ව විඳ දරාගන්න පුළුවන් සිතක් මා හට තිබීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?

ඉදිරි නිර්මාණ කිහිපයකටම අතගසා තිබෙනවා. ඒවා ගැන වැඩි විස්තර ඉදිරියේදී ප්‍රකාශ කරන්නම්. මේ “සප්ත සුරාගී” ප්‍රසංගයත් සමඟ නව නිර්මාණ කටයුතු මදකට නතර කළා. ඉන්පසු නිර්මාණ කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහය කවරාකාරද …..?

මගේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි , මමයි අපේ පවුලේ ඉන්නේ. මම විවාහකයි. මගේ සැමියා රෝහණ තෙන්නකෝන්. ඔහු මට විශාල ශක්තියක්, ධෛර්යයක් දෙනවා. මාව වැටෙන සෑම මොහොතකම වැටෙන්න නොදී මාව අල්ලගෙන ඉන්නේ ඔහුයි. ඔහුට මගේ ප්‍රණාමය සහ ගෞරවය පිරිනමන්න මෙය අවස්ථාවක් කරගන්නවා. දරුවන් දෙදෙනාගෙනුත් උපරිම සහයක් ලැබෙනවා මගේ කලා දිවියට. ඒ දෙන්නත් කලාවට ළැදි දරුවන් දෙදෙනෙක්. අපි ඉතා සතුටින් කාලය ගතකරනවා.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT