Home » ‘සඳ වික්කා’ ගීතයට ලාංකිකයාට දැනෙන ‍ෙස් ජන ආරක තනුවක් එකතු වී තිබෙනවා

‘සඳ වික්කා’ ගීතයට ලාංකිකයාට දැනෙන ‍ෙස් ජන ආරක තනුවක් එකතු වී තිබෙනවා

යොවුන් ගායන ශිල්පී තරංග සම්පත්

by Mahesh
October 17, 2024 12:30 am 0 comment

– බොහෝඅය මාව හඳුනාගත්තේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 01හරහායි
– ගීතයකට රූප රචනාවක් නිර්මාණය කිරීම එකිනෙකාට පුද්ගලානුබද්ධයි
– ඉහළ ස්වර පරාසයකින් “සඳ වික්කා”ගැයූ නිසා මිනිසුන්ගේ හදවතට දැනෙනවා වැඩියි
– කටුක දිවියක් ගෙවන ගම්බද දරුවන්ට රියැලිටි තරඟ හොඳ අත්වැලක්
– ගායන දිවියේ ආලෝකය මගේ වෘත්තියට ලොකු ආභරණයක් වුණා
– මේ මහ පොළොවේ ඉන්නේ විවිධ රසවින්දනයෙන් යුත් රසිකයන්

මේ දිනවල ඉතා ජනප්‍රිය ගීතයක් වන ‘සඳ වික්කා’ ගීතය ගායනා කරනු ලබන්නේ තරංග සම්පත් නමැති තරුණ ගායකයෙකි. වෘත්තියෙන් ගුරුවරයකු වන හෙතෙම ‘සඳ වික්කා’ පිළිබඳවත් ඔහුගේ ගායන දිවිය පිළිබඳවත් කතා කිරීමට සරසවිය හා මෙසේ එක්විය.

මේ දවස්වල හැමෝම කතා කරන “සඳ වික්කා” ගීතය නිර්මාණය වෙන්නේ 2011දී. එහි ආරම්භය සිදුවුණේ කොහොමද ….?

මේ ගීතයේ ආරම්භය සිදුවුණේ 2011දී. 2011දී මගේ සංයුක්ත තැටිය නිර්මාණය කරද්දි මගේ පියාගේ මිතුරකු වූ සේනානායක වේරලියද්ද මහතාගෙන් මම ඉල්ලීමක් කරනවා මට තනුවක් දමා දෙන්න කියලා. ඔහු එහිදී මට කියනවා “පුතා, මට හම්බුණු ගීතයක් තිබෙනවා. මම ඒක කියන්නේ නැහැ, ඔයාට මම ඒක දෙන්නම් කියලා. ඔහු ඔහුගේ තනුව මට කියනවා. ඒ ගීතය ලියා තිබෙන්නේ පද්මා ජයසිංහ නමැති අපේ සහෝදරියක්. සේනානායක වේරලියද්ද මහතා මට දුරකතනය ඔස්සේ තනුව කියලා පෙන්වනවා. මම ඒ තනුව අල්ලාගන්නවා. එය ප්‍රියන්ත මහවලගේ මහතාගේ කඳානේ ස්ටුඩියෝවේදී පටිගතවෙනවා. එතැනට සේනානායක වේරලියද්ද මහතා සහ ඔහුගේ හිතවතෙකු වන ජානක ෆොන්සේකා මහතාත් පැමිණෙනවා. එහිදී ඒ ගීතයට අවශ්‍ය සංගීත සංයෝජනය සිදුකර දෙනවා. එහිදී එම ගීතයට මනා සාධාරණයක් ඉටුවෙනවා.. ඉන්පසු දින කිහිපයකට පසුව ගීතයට කටහඬ පටිගත කිරීම්වලින් පසුව ගීතය එළිදැක්වෙනවා

අද වෙද්දි “සඳ වික්කා” වෙනස්ම රහකින් ජනගත කිරීම ගැන කීවොත් …….?

ඇත්තෙන්ම මේ “සඳ වික්කා” ගීතය ඉන්පසුව මේ අවුරුද්දේ අගෝස්තු මාසයේදී නැවත ඉදිරියට ගත යුතුයි කියන අදහස ඇතිවුණා. නමුත් අපි කර තිබූ පටිගත කිරීමේදි මගේ කටහඬ, පදරචනය, තනුව ආදිය යම් වෙනස් ආරකින් එන්න ඕන කියා සිතුණ නිසා නැවත එහි සංගීත සංයෝජනයේ යම් වෙනසක් කරනවා.. මෙහි රිද්මය පවත්වාගෙන යන්න ගිටාරයකින් වගේ සංගීතය වාදනය වෙනවානම් හොඳයි කියා සිතුණා. මට අවශ්‍යව තිබුණේ මෙහි කටහඬ මතුකරලා ගන්න.. එකී කාර්යය සාර්ථක වුණා. ඒ තුළින් ගීතයට නව ආලෝකයක් ලැබුණා

“සඳ වික්කා” වෙනස්ම ආරක ගීතයක් බව මට දැනෙනවා. මෙහි වෙනස ඔබට දැනෙන්නේ කෙසේද ……?

“සඳ වික්කා” කියද්දිම මෙහි තිබෙනවා වෙනස් ආරක්…ඒ වෙනස කාටත් දැනෙනවා. මෙහි ගීතය අවසන් වනතුරුම තිබෙන්නේ පද්මා ජයසිංහගේ මනා ගීපද රචනා හැකියාවයි…අපේ සිංහල ජනවහරේ කියමන්, රූඩි වැනිදෑ අලංකාරවත්ව යොදා තිබෙනවා.ලාංකිකයාට දැනෙන ජන ආරක තනුවක් මෙයට එකතුවී තිබෙනවා. එයට මගේ කටහඬින් ද උපරිම සාධාරණයක් කර තිබෙනවා. මෙහි දැනෙන්නම ඕන පද පේළියට තනුව සපයා තිබෙන්නේ සහ මම ගායනා කර තිබෙන්නේ ඉහළ ස්වර පරාසයක. එහිදී එය මිනිස්සුන්ගේ හදවතට දැනෙනවා වැඩියි. එවැනි දේ තුළින් මේ ගීතය යම් වෙනස් ආරක් ගන්නවා…

මෙකී ගීතයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද …?

“සඳ වික්කා” ගීතයට ඉහළම ඉහළ ප්‍රතිචාර තිබෙනවා. විදෙස්ගතව සිටින මාව දන්න, නොදන්න බොහෝ අයගේ විශේෂ ආදරණීය ප්‍රතිචාරය මෙයට් ලැබෙනවා. එසේ බොහෝ රසික පිරිසක් මා වටා මේ ගීතය නිසා එකතුවුණා..

ඔබව බොහෝදෙනා දැනගන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 01 හරහා නේද……?

කුඩා කල සිටම විවිධ ගීත තරඟවලට එක්වුණා . ඒවයින් ජයග්‍රහණත් ලැබුවා.ජාතික මට්ටමේ තරගයකට මුලින්ම සහභාගි වෙන්නේ 2003වසරේ තුරුණු ශක්ති තරගාවලියට. එහිදී අනුරාධපුර දිස්ත්‍රික් තරගාවලියේදී ලබාදුන් ලකුණු බැලුවම එතෙක් දිස්ත්‍රික් තරගවලින් පළමු ස්ථාන ලැබූ තරගකරුවන්ගෙන් ඉහළම ලකුණු ගත්තේ මම. ස්වර්ණවාහිනියේ වෙන්ඩෝල් සිසු ගී සැර ගීත තරගාවලියේත් අවසන් තරගකරුවන් අතරට ආවා..ඒ අතරදී තමයි විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබද්දි දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 01ට සම්බන්ධ වුණේ. ඒ තරගයෙන් තමයි මට වැඩිම ජනප්‍රියත්වයක් ලැබුණේ..2009දී තරගය අවසන් වුණා. අවසන් තරගකරුවන් අතරට මම ආවා

සංගීත දිවියේ ආරම්භක අවධියට ගියොත්…..?

සංගීතය ක්‍රමානුකූලව ඉගෙනගත යුතුයි කියන ආසාව මට තිබුණා. ඒ නිසා සංගීතය විෂයයක් ලෙස හැදෑරීමේ පසුබිම මවුපියන් මට සකසා දුන්නා පාසල් අධ්‍යාපනය තුළින්. මම මූලික අධ්‍යාපනය ලබන්නේ ගමේ පාසලෙන්. ඒ අ/පලුගොල්ලාගම මහා විද්‍යාලය..ඉන්පසු 08 වසරේදී සංගීතය විෂයයක් ලෙස හදාරන්න ඕන නිසා තක්ෂිලා මහා විද්‍යාලයට එනවා…එහිදී කුමාරි බඳේගෙදර මිස්ගෙන් සංගීතය ඉගෙනගන්නවා. උසස්පෙළ සඳහා අනුරාධපුරයේ නිවන්තක චේතිය මහා විද්‍යාලයට ඇතුළුවෙනවා. එහිදී උසස්පෙළ සංගීතය විෂයයක් විදිහට හදාරා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. පාසල් දිවියේදී මගේ සංගීත ගුරුවරුන් තිදෙනාව මතක් කරන්න ඕනේ. ඒ ආරියපාල දසනායක ගුරු පියාණන් තිලක් කුමාර වීරගේ ගුරු පියාණන්, ලීලා රාජපක්ෂ ගුරුතුමිය, භද්‍රාංගනී ගුරුතුමිය ආදීන්

ඔබේ පළමු ගීතය වන “රන් වන් රන්” ඉතා ජනප්‍රිය වුණා නේද…..?

දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන්වූ වහාම මම ගීතයක් එළිදක්වනවා.එය තමයි “රන් වන් රන්” ගීතය. සුසන්ත කුමාරසිංහ තමයි මෙය මුලින්ම රචනා කරන්නේ. සංගීතය සහ තනුව මගේ. මේ ගීතය ගීත වැඩසටහන් රැසකම ප්‍රචාරය වුණා. ප්‍රේක්ෂක ආදරයත් මේ ගීතය දිනාගත්තා.

ඔබේ ගායන දිවිය තුළ සුවිශේෂී සංධිස්ථාන ලෙස සැලකිය හැකි නිර්මාණ මොනවාද …..?

“රන් වන් රන්” ගීතය තමයි මුලින්ම විශාල ප්‍රේක්ෂක පිරිසක් අතරට ගිය ගීතය…ඉන්පසු ගීත කිහිපයක්ම කළා. ඒ අතර “රන් වන් රන්” ගීතය සුවිශේෂීයි

ඔබේ ගායනය තුළ ඇති ශාස්ත්‍රීය හඬ පෞරුෂය වඩාත් දියුණු කරන්නට අදහසක් නැද්ද…..?

මම ඉගෙනගත්තේ ශාස්ත්‍රීය සංගීතය තමයි. රාගධාරී සංගීතය මම උපාධියටත් හැදෑරුවා . මම සිතනවා මට ලැබුණු සහජමය හැකියාව වගේම ව්‍යවහාරික සංගීතයට නැඹුරු වූ කටහඬක් මට තිබෙන්නේ කියලා. මම ගායනා කරද්දි මට සිතෙන්නේ මගේ සහජමය හැකියාවෙන් ලැබුණු ඹ්ඪඨඩබ ඍධඪජඥ එකයි ජනගී ආරට නැඹුරු ගතියයි සමහර ක්ලැසිකල් පාට්ස් කිහිපයකුයි නිරායාසයෙන්ම මගෙන් ගැයෙනවා කියලා. එයයි විශේෂත්වය. ඒවගේම කරන සංගීත වැඩවලින් ලබන පරිණතභාවයත් මෙහිදී වටිනවා

ඔබ වෘත්තියෙන් සංගීත ආචාර්යවරයෙක්. එකී භූමිකාව පිළිබඳ පවසනවා නම්….?

මගේ කුසලතාව, දැනුම, බාහිර කටයුතුවලින් ලබාගන්න පන්නරය සහ ඒ මග ඔස්සේ මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එනවා කියන සිතුවිල්ල මතයි මම ජීවත්වෙන්නේ… ගුරුවරයෙක් වුණාම දරුවන් අනුගමනය කරන්නේ, අනුකරණය කරන්නේ ගුරුවරයාවයි.. ගුරුවරයෙක් විදිහට අපේ ශිෂ්‍යයන් අපේ මාර්ගයේ ගමන්ගන්නවා නම් තමයි මම සතුටුවෙන්නේ. මගේ උපරිම ශක්තියෙන් දරුවන්ට දැනුම දෙනවා. බාහිර ක්‍රියාකාරකම්වලින් අවශ්‍ය පන්නරයත් මම නොපසුබටව ලබාදෙනවා . මම පාසල් කිහිපයකම සේවය කළා. විලච්චිය සිද්ධාර්ථ මහා විද්‍යාලය, ගල්නෑව මධ්‍ය විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය ආදියේ සේවය කළා…වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ වැඩිම කාලයක් සිටියේ…ඉන්පසු නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ සේවය කළා..දැනට සේවය කරන්නේ අලුත්වැව කුමාර විද්‍යාලයේ

ගායන දිවියේ ආලෝකය වෘත්තිය දිවියට ආභරණයක් වී ඇතැයි මා සිතනවා…..?

ඔව්, ඇත්තෙන්ම ගායන දිවියේ ආලෝකය මගේ වෘත්තියට ලොකු ආභරණයක්, ශක්තියක් වී තිබෙනවා. ගායන දිවියේදී තිබෙන පිළිගැනීම සංගීත ගුරුවරයකු ලෙස සේවය කිරීමේදී බොහෝ වටිනාකමක් එකතුකළා. ඒ පිළිගැනීම සිසුන්, මවුපියන් තුළ පැහැදිලිවම දක්නට ලැබුණා . එකී පිළිගැනීම මගේ මානසික ශක්තිය වර්ධනයටත් හේතුවුණා

සංගීත දිවියේ ඔබට ගුරුහරුකම් දුන් පිරිස ගැන කීවොත් …..? සහ ඔවුන්ගෙන් ජීවිතයට සුවිශේෂී පාඩම් එහෙමත් ඉගෙනගෙනත් ඇති….

ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ගුරුවරුන් බොහෝමයක් අතහිත දුන්නා.ඒ අතර විශේෂිත ගුරුවරුන් කිහිපදෙනෙක් පිළිබඳ ඉහතින් සඳහන් කළා. ඒවගේම මගේ සංගීත දිවියට, අධ්‍යාපන ගමනට, සාමාන්‍ය ජීවිතයට පවා තවකෙක් නොකරන මට්ටමේ උදව් උපකාර කළ ගුරුවරුන් මගේ දිවිය තුළ සිටිනවා. ඔවුන්ගේ ආශීර්වාදය මැදයි මම මේ ගමන ආවේ. අදටත් ගුරුවරුන් මට ආදරෙයි. ඔවුන්ට මම මේ මොහොතේ හිසනමා ආචාර කරනවා

මෙරට සංගීත ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඔබේ දෘෂ්ටිය මොනවගේද ……?

වත්මන් සංගීත ක්ෂේත්‍රය ගැන විවේචනය කරන්න මම සූදානම් නැහැ. විවිධ රසවින්දනයන් සහිත රසික රසිකාවන් මේ මහ පොළොවේ ජීවත්වෙන්නේ. ලංකාවේ තිබූ සංගීතමය පසුබිම මෙතෙක් කල් යුගයුග අනුව වෙනස්වෙමින් මේතාක් දුර ආවා. එකම සංගීත ආරක් දිගටම මේ රටේ තිබිය යුතුයි කියා අපි ආත්මාර්ථකාමී ලෙස ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ . එක් එක් මතිමතාන්තර ඉදිරිපත් කරන්න පුළුවන්

ගායන ලොවට, සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන් පිළිබඳ මොකද හිතෙන්නේ ….?

ඔව්, ඔවුන් නවකයන් කියන්නත් පුළුවන්. අපට වඩා වයසින් අඩු නංගිලා, මල්ලිලා කියා හඳුන්වන්නත් පුළුවන්. මේ මහ පොළොවේ තිබූ මනුස්සකම්, සාරධර්ම, ගෞරවකිරීම් අද වනවිට ගිලිහිලා ගිහින්. ඒ තරගකාරීත්වය නිසා. නවකයන්ට මම කියන්නේ තමන්ගේ නිහතමානීත්වය, ලෙන්ගතුබව, ආදරණීය බව තියාගන්න කියලා. ඒ හරහා ඔවුන්ට දුරගමනක් යා හැකියි. සමහරු අඩු වයසින් ජනප්‍රිය වී රසිකයන්ගේ ආදරය දිනාගන්නවා…සමහරු කාලයක්ගතවී පරිණත බවත් සමඟ රසික ආදරය දිනාගන්නවා

මෙරට රියැලිටි සංගීත වැඩසටහන් පිළිබඳ ඔබේ දැක්ම මොනවගේ ස්ථානයකද තිබෙන්නේ …..

යම් අදහසක් තිබුණත් රියැලිටි වැඩසටහන් ගැන මේ මොහොතේ ලොකුවට දෙයක් කියන්න මට අපහසුයි…සාධාරණ අයුරින් එකී වැඩසටහන් සිදුවෙනවානම් නවකයන්ට එය හොඳ අවස්ථාවක්. ග්‍රාමීයව කටුක දිවිපෙවතක් ගෙවන දරුවන්ට මේ වැඩසටහන් හොඳ අත්වැලක් තමන්ගේ ඉදිරි ගමනට..

බටහිර සංගීතය සහ දේශීය සංගීතය අතර වෙනස ඔබ කොහොමද දකින්නේ…..?

වර්තමානයේ තිබෙන්නේ බටහිර සහ දේශීය සංගීතය යන දෙකෙහි සංකලනයක්. සෑම නිර්මාණයකම වගේ ඒ දෙය දකින්න ලැබෙනවා. බොහෝවිට බටහිර සංගීතයේම ලක්ෂණ ගැබ්වුණු , නොවුණු ගීතම අපට හිමි නැහැ . බොහෝවිට එම සංගීත සංකලනයන්ගෙන් මුසුවූ ගීත තමයි අපට අසන්න, දකින්න ලැබෙන්නේ

ගීතයක, ජනප්‍රියත්වයට රූප රචනාවකින් ලැබෙන පිටිවහල මොනවගේද කිව්වොත්…….? රූප රචනයක් ගීතයකට අවශ්‍යමද…..?

ගීතයකට රූප රචනයක අවශ්‍යතාව තීරණය වෙන්නේ සමහර ගීතවල ස්වභාවයත් එක්කයි. මගේ “සඳ වික්කා” ගීතය ගැන කිව්වොත් එයට රූප රචනය එකතුවුණාම ඒ ගීතයේ හඬ සහ අර්ථය තීව්‍ර ලෙස පෙනුණා. රූප රචනාවක් එකතුවූ නිසයි මගේ ගීතය මෙතරම් ජනප්‍රිය වුණේ. ගීතයකට රූප රචනය නිර්මාණය කිරීම එකිනෙකාට පුද්ගලානුබද්ධ දෙයක්නේ…..සමහරු ඕඩියන්ස් එක විතරක් අහන්න ආසයි. සමහරුන්ගේ පරිකල්පනය අනුව ඔවුන් චිත්ත රූප මවාගන්නවා. ඇතැම් අය ඒ ගැන සිතනවාට වඩා රූප රචනය නරඹා ගීතයේ අදහස තේරුම්ගන්න උත්සහ කරනවා

තරංග සම්පත් නමැති ටෙලිනාට්‍ය-චිත්‍රපට ගායන ශිල්පියාව අපට ඉදිරියේදී දැකගන්න ලැබේවිද……?

ඔව්, මේ යන ගමනේදී ඒවගේ වැඩ කිහිපයකට කතාකරලා තිබෙනවා. ඉදිරියේදී මාව ඒ ඔස්සේත් දැකගන්න ලැබේවි කියා මා සිතනවා

සංගීත අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඔබට තව දුරයි වගේද……?

සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දැනට මම සුළුසුළු දේවල් කිහිපයක් සිදුකර තිබෙනවා. එවැනි නිර්මාණශීලීත්වයකුත් මා තුළ තිබෙනවා. ඉදිරියේදී සංගීත අධ්‍යක්ෂණ කාර්යයට සම්බන්ධ වෙන්න මම උත්සහ කරනවා. ක්ෂේත්‍රයට යම් ස්ථානයකින් ගැඹුරු ලෙස මාර්ගය විවරවුණාම තමයි අපට තව වැඩ බොහෝ දේ කිරීමට අවස්ථාව සැලසෙන්නේ

ඔබේ ගමනට මෙතෙක් උදව් කළ පිරිසකුත් ඇති …..?

ඒ ගැන කියනවා නම් මුලින්ම මගේ අම්මා, තාත්තා ඉතාම ආදරයෙන් මතක් කරනවා. අයියා සහ අක්කා කර තිබෙන උදව් කවදාවත් අමතක කරන්න බැහැ. ඊට අමතරව මගේ ඥාති සහෝදර, සහෝදරියන් වගේම මෙතෙක් කල් මගේ දියුණුව පැතූ සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා. මට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන්, මගේ රියැලිටි තරගවලට මෙතෙක් මා එක්ක සිටි සියලු දෙනාත් හිතවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා. ඒවගේම මම වර්තමානයේ සේවය කරන අලුත්වැව කුමාර විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ මොහොතේ මතක් කරනවා. එසේම මගේ මේ “සඳ වික්කා” ගීතයේ තනුව නිර්මාණය කර දුන් සේනානායක වේරලියද්ද අන්කල්, ගීපද රචනා කළ පද්මා ජයසිංහ යන දෙදෙනාත් සිහිපත් කරනවා. මේ ගීතයේ සංගීත සංයෝජනය, පටිගත කිරීම් භාරව වැඩකළ සඳරු රාජසිංහ මල්ලි වගේම රූප රචනාව සංස්කරණය කර පටිගත කිරීම්, කැමරාකරණය කරදුන් විකුම් කවින්දවත් ඔහුගේ සහයට සිටි කවිඳු මල්ලිවත් මතක් කරන්න කැමැතියි.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT