කුඩා කල පටන්ම තමන් ආදරය කළ ගායනය පැත්තෙන් ඉහළට ගොස් ගායිකාවක ලෙසින් ක්ෂේත්‍රයට පිවිසෙනවාය යන්න ඇයට හීනයක්ව පැවතියකි. එදා මෙදා තුර ඇගේ උත්සාහය හා බලාපොරොත්තුව වූයේ මේ සිහිනයට කවදා ළංවේවිදෝ යන්නය.
ජීවිතයේ නොබිදෙන බලාපොරොත්තු ඇතුව, උත්සාහයෙන් කැපවීමෙන් කෙනෙක් තම අරමුණු කරා ගමන් කරන්නේ නම් පහසුවෙන්ම එයට ළඟාවිය හැකිය යන්න සැබවින්ම සත්‍යයකි. මේ කියන්න යන්නේද එවන් උත්සාහයකින් , කැපවිමකින් යුතුව තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කර ගත් යෞවනියක පිළිබඳය.
ඇය වසන්ති රත්නායකය. වසන්තිගේ ඒකායන බලාපොරොත්තුව වූයේ කෙදිනක හෝ ගායිකාවක වශයෙන් මේ ක්ෂේත්‍රයට එක්වීමය. ඒ වෙනුවෙන් ඈ බොහෝ කල් බලා සිටියාය. ඊට අවැසි වන්නාවූ හැකියාවන්ගෙන්, දක්ෂතාවයන්ගෙන් සවිබල විමට ඇය තම කාලය නොයෙක්වර කැප කළාය.
වසන්ති කුඩා කල පටන්ම ගීත ගායනයට දක්ෂතාවයක් පෙන්නුම් කල තැනැක්තියක් වූවාය. දෙනියාය ප්‍රදේශයේ සුන්දර ගම්මානයක් වූ පල්ලේගම ග්‍රාමය ජන්ම භූමිය කර ගනිමින් ඇය මෙලොව එළිය දුටුවාය. දෙනියාය රාජපක්ෂ විද්‍යාලයෙන් සිප් සතර හැදැරු ඇය , වයස අවුරුදු 4ක් වැනි ඉතාම කුඩා කාලයේදී පටන්ම ගීත ගායනා කළාය. ඇගේ මේ ගායන ලීලාව බොහෝ දෙනා අතර කතා බහට ලක් වුවක් විය. පසුකලෙක ඇය ‘පල්ලේගම වසන්ති ගී සුයාමය‘ නමින් සංගීත වැඩ සටහනක්ද ඉදිරිපත් කරන්නට හේතු වූයේ ඇය සතු වු මේ ගායන කුසලතාවයයි. මේ නිසාම පල්ලේගම ප්‍රදේශයේ බොහෝ දෙනා අතර ඇගේ නම ප්‍රචලිත වි තිබිණ.
වනයේ පිපුණු මල් වනයේම පරවී යන්නට නොදී ජාතික තලයට රැගෙන විත් අවධානයට ලක් වීමට තරම් වාසනාවක් ලැබෙනුයේ එහෙමත් කෙනෙකුටය. ඒ වාසනාව වසන්ති සතු විය. වසන්ති නම් වූ මෙම පුෂ්පය කොළොම්පුරයට පා තබනුයේ ද ඒ අවස්ථාව ලබා ගනිමිනි. මේ අනුව ඇය මෙරට ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායමක් වන ‘ සමන් ඇන්ඩ් ද ක්ලෑන්‘ සංගීත කණ්ඩායම සමඟ ගී ගයන්නට කොළොම්පුරයට පැමිණෙන්නීය. එතැනින් සංගීත ලොවේ බොහෝ තැන් හඳුනා ගත් ඇයට පසු කාලිනව දිවයිනේ බොහෝ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් සමඟ එක්ව ගි ගැයිමේ අවස්ථාව උදාකර ගන්නිය.
‘‘ මම කොළඹට ඇවිදින් විවිධ සංගීත කණ්ඩායම් සමඟ එක්ව ගීත ගායනයේ යෙදුණා. ඔය අතරතුරදි තමයි මම රැකියාවක් සඳහා ඊශ්‍රායලය බලා එන්න සිද්ද වුණේ. රැකියාව සඳහා විදේශ ගතවුණත් මම කිසි දිනක මගේ සංගීත දිවිය අත්හලේ නෑ. මට යන්න ඕන ගමන පිළිබඳ මගේ ඉලක්කය අත් හැරියෙත් නෑ. දවසින් දවස ක්‍රම ක්‍රමයෙන් මම ඒකට ළඟා වුණා. පුංචි කාලේ ඉඳන්ම මට තිබුණ මේ හිනය හැබැකර ගැනීමේ බලාපොරොත්තුව වෙනුවෙන් මම වෙහෙස වුණා. පසුගියදා ඒ බලාපොරොත්තුව මල්පල ගන්වමින් මම මගේ පළමු ගීතය මුදා හැරියා. ‘සඳ රැජිනි නමින් යුත් ඒ ගීතය මේ මොහොත වනවිට නැරඹුම් ලක්ෂ පහකට වඩා වැඩිවෙලා තිබෙනවා. මා වැනි ආධුනික ගායන ශිල්පිනියකගේ ගීතයකට මේ තරම් ප්‍රතිචාරයක් මම කිසිසේත් බලාපොරොත්තු වුණේ නෑ.’
ගීතයක් රසිකයන් අතරට යන්නට නම් එහි සංගීත නිර්මාණය, ගී පද රචනය, සහ ගායන හැකියාව යන මේ කාරණා ත්‍රිත්වයම මනා ලෙස ගැළපිය යුතුය. ඇගේ නිර්මාණයන්හි මෙම ත්‍රලක්ෂණයම මනා ලෙස ගැළපීමත් රසික ජනාදරය දිනා ගන්නට සමත්ව ඇති බව මේ මඟින් පැහැදිලි වේ.
සඳ රැජිනි – වත කමලි-
පුළුලුකුලී පෙම්බර රූ රැජිනි….
ගී කෙවිලී – මුදු හඬිනි-
නුඹ පිනවන මා මිහිරී…
නා දෙතොලී – ළැම තිසරී –
ඉඟ සුඟ ගත මිටිනී
දිගු වරලී – පයෝධරී –
ගි ලොව කලඹන්නී…
තෙම විදිනී – රූ කෙවිලි –
ගී තරු මැද සැතපී
නුඹ පමණී සුව පතමී –
ශෘංගාරම කුමරී
මේ ගීතයේ පදරචනය ප්‍රවීණ ගීත රචක රෝහණ හෙට්ටිආරච්චි ගේ වන අතර, සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ විසිනි.
වසන්ති මෙරටින් පිටත්ව ඊශ්‍රාලයේ සේවයට ගොස් දැන් වසර 9කි. අරාබි, හින්දි, සිංහල, දෙමළ සහ හීබෘ යන භාෂාවලින් ගීත ගායනා කිරීමේ හැකියාව ඇති වසන්ති ඊශ්‍රාලයේ යුද සමයේදී එහි ජාතික ගීය වසන්තිගේ හඬින් හිබෘ භාෂාවෙන් ගායනා කර ප්‍රචලිත වීමෙන් ඇය ඒ රටේද නමක් දිනා ගන්නට සමත් වුවාය.
‘ මට ‘ සමන් ඇන්ඩ් ද ක්ලෑන්‘ බෑන්ඩ් එකට එක් වෙන්න සහාය දුන්නේ දෙනියාය පොලිස් ස්ථානාධිපති පරාක්‍රම ද සිල්වා මහතායි. ඒ වගේම මගේ සංගීත ගමනට අත දිපු අය සැහෙන පිරිසක් ඉන්නවා. නිවේදක උපතිස්ස ෆොන්සේකා සහ රෝහණ හෙට්ටිආරච්චි, දෙනියාය පුරවරයෙන් මට අත්වැලක් වූ නිවේදක චම්ලි පෙරේරා, කේ.සෝමබන්දු, චන්ද්‍රදාස රණසිංහ මහත්වරු සහ ප්‍රවීණ ගිත රචක හේමසිරි හල්පිට මහතාත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මම කොළඹ ඉන්න කාලේ සංගීතවේදිනි මාලිනි බුලත්සිංහල මහත්මියගෙන් සංගීතය හැදැරුවා. එතුමියගේ නමත් සිහිපත් කරන්න ඕන.
ඇත්තටම මගේ බලාපොරොත්තුව ඉදිරියටත් ගීත ගායනයේ යෙදෙමින් ගායිකාවක් විදියට ස්ථාවර ගමනක නියුතු වෙන්නයි.
ජීවිතයේ තමන් ආදරේ කරනා හීන පසුපස හඹා යෑමෙන් කෙදිනක හෝ තම බලාපොරොත්තු ඉෂ්ට කර ගත හැකි බවට වසන්ති හොඳ උදාහරණයකි.
ඇය සතු වනුයේ ආකර්ෂණීය හඬ පෞරුෂයකි. ඇගේ පළමු ගීතය ශ්‍රවණය කිරිමෙන්ම ඒ හඩේ සුවිශේෂත්වය හඳුනා ගත හැකිය. මේ වන විට ඇය ඇගේ දෙවැනි ගීතය ද ගායනා කොට හමාරය. ඇයට ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට ශක්තිය, ධෛර්ය හා සුබ පැතුමු එක්කරමු.
හේමාලි විජේරත්න