Home » සන්ධ්‍යාලා දෙන්නෙක් සිනමාවට එපා කියලා අම්මා කිව්වා

සන්ධ්‍යාලා දෙන්නෙක් සිනමාවට එපා කියලා අම්මා කිව්වා

by Thanushika
October 16, 2025 11:07 am 0 comment

අපි පදිංචි වෙලා හිටියේ විශ්වවිද්‍යාලයට කිට්ටුවෙන්ම නිසා උදේ සවස මට ගෙදර ඉඳන්ම කැම්පස් එකට යන්න පුළුවන්කම තිබුණා. නමුත් කැම්පස් පටන් ගන්න එක දිනෙන් දිනම කල් ගිය නිසා මම හිටියේ ඇත්තටම දුකෙන්. ඒ වුණාට ‘කාංචනා‘ චිත්‍රපටයේ රඟපෑම්වලින් පස්සේ මට දිගින් දිගටම චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්න ගත්ත නිසා මේ කාලය ඇතුළත මම කාර්ය බහුල වුණා. කාංචනා තිරගත නොවුණත් මේ කාලය ඇතුළත අලුත් අධ්‍යක්ෂවරු මෙන්ම අලුත් අලුත් චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වෙන්න ගත්තා. ඒ වගේම අලුත් නලු නිළි පරපුරකුත් මේ කාලවකවානුව ඇතුළත ක්ෂේත්‍රයට පිවිසෙන්න ගත්තා. මේ අතර සබීතා පෙරේරා, ශිරානි නුගේරා, අනුෂ්කා මැදිවක, ගෝතමි පතිරාජ, මැණික් කුරුකුලසුරිය වැන්නෝ ඒ අතර සිටියා. සනත් ගුණතිලක සිනමාවට එන්නෙත් මේ කාලය ඇතුළතදීමයි.

මේ කාලය ඇතුළත තමයි මගේ ජිවිතේ තවත් සුවිශේෂි වෙනස්කමකට භාජනය වෙන්නේ . ඒ කියන්නේ මට මගේ උප්පැන්න සහතිකයේ හිමි නම මට අහිමිවෙන්නේ මේ කාලය ඇතුළතදියි. මම කාංචනා රූ ගත කිරිම් වලට සහභාගි වෙලා ආපහු එනකොටත් සන්ධ්‍යා දර්ශනි ගුණසේකර විදියට තමයි ආවේ. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වනවිට මම නදිකා ගුණසේකර වී හමාරයි. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි.

මම මුලිනුත් කීප වතාවක් කියලා තිබෙනවා අපේ අම්මා සහ සන්ධ්‍යා කුමාරි අතරේ තිබුණේ සමීප සබඳතාවයක් කියලා. අම්මා දවසක් යනවා සන්ධ්‍යා කුමාරිව මුන ගැහෙන්න. ඇගේ නිවහනට. ඔය කාලේ වෙනකොට සිරි කුලරත්න අලුත් චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා. සන්ධ්‍යා කුමාරිත් සමඟ .ඒ නිසාම එදාම සිරි කුලරත්නත් කොළඹ එනවා සන්ධ්‍යා කුමාරි මුණ ගැහෙන්න. චිත්‍රපටය පිළිබඳ මූලික සාකච්ඡා යන අතරතුරම මම සිනමාවට ආ එක ගැනත් මෙතනදි කතා වෙනවා.

සන්ධ්‍යා … ඔයා දන්නවනේ අපේ සුදුත් චිත්‍රපටයක් කළා කියලා. ඒකේ නම කාංචනා. සුදු ගේ නමත් සන්ධ්‍යානේ. මම මේ කල්පනා කළේ සිනමාවට සන්ධ්‍යාලා දෙන්නෙක් ඕන නෑ නේද?ඔයා ඉන්නවනේ සන්ධ්‍යා කියලා….ඒ හින්දා මම හිතුවා සුදු ගේ නම වෙනස් කරන්න. ‘‘

අපේ අම්මා තමයි සන්ධ්‍යා කුමාරි ඉදිරියේ මගේ නම වෙනස් කරන යෝජනාව ගෙනත් තිබුණේ. සන්ධ්‍යා ආන්ටි කවදාවත් කිව්වේ නෑ එයා සන්ධ්‍යා නිසා මගේ නම වෙනස් කරන්න කියලා.

ඒ වෙලාවේ සිරි කුලරත්නත් එතැන ඉඳලා තිබෙනවා. මේ වෙලාවෙම රේඩියෝ එකේ ගීතයක් ප්‍රචාරය වෙලා තිබෙනවා ‘ නදීකා‘ කියන නම කියවෙන.

‘‘ඉතින් අපි නදීකා කියලා දාමුකෝ?…

ගීතයෙන් නදීකා කියලා ඇහෙනකොට සියලු දෙනාම එහෙම කතා වෙලා තිබෙනවා. ඒ මොහොතෙම සිරි කුලරත්න ‘ නදීකා‘ කියන නමේ ගණ කොහොමද කියලා බලලා තිබෙනවා.

‘සන්ධ්‍යාට වඩා නදීකා නමේ ගණ හොඳයි. ….

සිරි කුලරත්න මහත්මයා කියලා තිබුණා. ඔහුගේ කීමට තමයි මගේ නම එතැන් සිට නදීකා වෙන්නේ. ඒවෙනවිටත් කාංචනා තිරගත වෙලා නැති නිසා කාංචනා ටයිටල් වලටත් නදීකා ගුණසේකර කියලා නම යොදනවා. උප්පැන්යෙන් මට හිමිවුණ ‘සන්ධ්‍යා දර්ශනී‘ මට අහිමි වෙන්නේ එහෙම. ඒ වුණාට අදටත් මගේ පාසල් මිතුරියන් , නුවර මිතුරියන් තවමත් මට කතා කරන්නේ සන්ධ්‍යා කියලා.

ජිවිතේ අපි නොසිතන දේවල් සිද්ධ වෙනවා කියලා මම විශ්වාස කරන්නේ ඒ හින්දා. පුංචි කාලේ කවදාවත්ම මම හිතුවද මගේ නම පවා වෙනස් වෙයි කියලා. මම හැදුණු වැඩුණු පරිසරයත් එක්ක කවදාකවත් මම හිතුවේ නෑ නිළියක් වෙන්න. නමුත් දෛවය මට තීන්දු කරලා දුන්නේ ඒ වගේ ජිවිතයක්. හැබැයි මම ඒක බෑයි කියන්නේ නැතුව බාර ගත්තා. ඒතුළ මට හැකි දුර උපරිම කැපවීමෙන් ගමන් කළා.

විවිධ චිත්‍රපටවල දර්ශන ගතකිරිම් එක්ක මට කාලේ යනවා දැනුණේ නෑ. ඔය අතරෙම දවසක විශ්වවිද්‍යාලය පටන් ගන්නවා කියලා දැනුම් දීමක් කරලා තිබුණා. අම්මගේ ආසාව ඉෂ්ට කරන්න එක චිත්‍රපටයක් කරන්න ගිය මට සිද්ධවුණේ දිගින් දිගටම රඟපාන්න. ඒකාලේ මට මතකයි එක දවසේ චිත්‍රපට දෙකකටත් ගිවිසුම් අත්සන් කළා. කාංචනා ගෙන් පස්සේ සිංහබාහු, තනිතරුව, බිත්ති හතර, අධිෂ්ඨානය, වැනි චිත්‍රපට සඳහා මම ගිවිසුම් අත්සන් කරනවා.

ඔය කාලෙදි තමයි විශ්ව විද්‍යාලය පටන් ගන්නේ. හරියටම පටන් ගත්තු දවසෙම මට විශ්ව විද්‍යාලයට එන්න බැරිවෙනවා. ඒවනවිටත් මම හිටියේ චිත්‍රපට දර්ශන තලයක. මම විශ්ව විද්‍යාලයට එන්නේ සතියක් ප්‍රමාද වෙලා. මේ වනවිට මගේ පළවෙනි චිත්‍රපටය වූ කාංචනා වත් තිර ගත වෙලා නැති නිසා මම ජනප්‍රිය චරිතයක් වෙලා තිබුණේ නෑ. නමුත් චිත්‍රපට රූ ගත කිරිම් නිසා මම කාර්ය බහුල වෙලා හිටියා. ඉදහිට කෙනක් මම නිළියක්ය කියන කාරණය දැනගෙන හිටියා.

විශ්ව විද්‍යාලයට එන්න පෙරුම් පුරාගෙන බලාගෙන හිටියට ඉස් ඉස්සරලාම කැම්පස් එකට ඇතුළු වෙනවිට පුදුම බයක් දැනුණේ. මම හැමදාම කැම්පස් ඇදගෙන ආවේ දිග ගවුම්. අත් දිගට දාලා දෙපතුළ දක්වා වැටෙන දිග ගවුම්. ඒවයින් මගේ මුළු ඇඟම වැහුණා. සමහරු මාව දන්න අයටත් මාව අඳුනා ගන්න බැරි වුණා. මම ළඟ ඉන්නකොටම සමහරු අහනවා කෝ අර නිළිය කියලා. රුග් සීසන් එකේදි වුණත් මට විශේෂත්වයක් තිබුණේ නෑ. සාමාන්‍ය ශිෂ්‍යයින් සමඟ මමත් රැග් වුණා. අන්තිම දවසේ පොන්ඩ් එකට දාලා මඩ වතුරත් නෑව්වා. මේ හැම දේටමත් මම මුහුණ දුන්නේ චිත්‍රපටවල රූගත කිරිම් සඳහාත් සහභාගි වෙමින්.

රැග් සීසන් එක අතරෙම ලෙක්චර්ස් වලටත් සහභාගි වුණා. ඒත් බොහෝ අවස්ථාවන් වල මට ලෙක්චර්ස් මග ඇරෙන්න ගත්තා චිත්‍රපට නිසා. මාත් එක්ක හිටපු බොහෝ මිතුරන් මේ වෙලාවේ මට පිහිට වුණා නෝට්ස් හොයලා දෙන්න. බොහෝ අවස්ථාවල දර්ශන තලයේ විවේකී මොහොතවල් මම පාවිචිචි කළේ මේ නෝට්ස් ලියා ගන්න, මගේ පාඩම් වැඩ කර ගන්න. කොයි තරම් වෙහෙසක් දැනුණත් මගේ හිතේ ස්ථිර අධිෂ්ඨානයක් තිබුණා මම කොහොම හරි උපාධිය ගන්නවා කියලා. ඒ හින්දා මට ඒක වෙහෙසකර දෙයක් වුණේ නෑ.රාත්‍රියේ ෂුටිං ගිහින් උදේ ඩබින් වලට ගිහින් හවස තිබුණු ලෙක්චර්ස් වලටත් මම ආවා.

ලබන සතියේ

විශ්වවිද්‍යාල ජිවිතයේ රසමුසු තැන්.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT