පහුගිය දින කිහිපයේම කලා ලොවේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද විවිධ අංශයන්ගෙන් කැපී පෙනුණු කලාකරුවෝ, මාධ්‍යවේදීහු කිහිප දෙනෙකුම අකාලයේ ජීවිතයෙන් සමුගත්හ. ඒ අතර අමිතා වැදිසිංහ, රංජිත් වික්‍රමසිංහ, කුමාරි පෙරේරා වැනි කලා ලොවේ විවිධ පැතිකඩ දික්විජය කළ ශිල්පීන් මෙන්ම මාධ්‍ය ලොවේ පෙරළිකාරියක වූ සීතා රංජිනි සාහිත්‍යවේදී කේ.ඩී. මානෑව, ඡායාරූප ශිල්පී උපාලි ජයරත්න, චිත්‍ර ශිල්පියකු වන ලකී ලියනගේ සහ සමාජ මාධ්‍යයෙහි ක්‍රියාකාරී අයෙකු වූ සංජය ඉෂාන් හෙවත් ‘බොලා’ මෙලෙස අකාලයේ කලා ලොවට අහිමි වූ ජනප්‍රිය චරිත කිහිපයකි.
ඒ වියෝ වේදනාවේ රස්නය පහව යන්නට මත්තෙන් නැවතත් අපට අසන්නට ලැබුණේ දුක්බර පුවතකි. ඒ සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සන්තුස ලියනගේ ජීවිතයෙන් සමුගත් ශෝචනීය ආරංචියයි. ටෙලි නාට්‍ය කලාවට නවමු ආරක්… හැඩයක් ගෙන එන්නට නිර්මාණ සමඟ පෙළහර පෑ අපූරු නිර්මාණකරුවකු මෙලෙස දිවිසැරිය නිමා කිරීම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වූ බලවත්, පිරිමැසිය නොහැකි මහා හිඩැසකි.
සන්තුස ලියනගේ ජාතික රූපවාහිනියට එක් වූයේ පුංචි තිරයේ ස්වර්ණමය අවධියේදීය. එනම් 1990 වසරේදී ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව පියාගේ මඟ පෙන්වීම ඇතිව සන්තුස රූපවාහිනී සංස්ථාවට එක්වීය. ඒ නාට්‍ය ඒකකය වෙතය.
එවකට රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකය වූ කලී වැඩ්ඩන්ගෙන් පිරුණු අංශයකි. බන්දුල විතානගේ, පරාක්‍රම නිරිඇල්ල, අතුල රන්සිරිලාල්, විමලරත්න අධිකාරී, දයාරත්න රටගෙදර, සුසිරන් ද සිල්වා, සුගත් වටගෙදර, මොහාන්ජී රංගනාථ, ගාමිණී තිලකසිරි, තිලක් ගුණවර්ධන වැනි පුංචි තිරයේ දැවැන්ත අධ්‍යක්ෂවරු යටතේ ගුරුහරුකම් ලබමින් නිර්මාණවල නියැළීමේ මහඟු භාග්‍යය ආධුනික සන්තුස හට උදා වූයේය. සහාය කැමරා ශිල්පියකු, කැමරා ශිල්පියකු, සහාය වැඩසටහන් නිෂ්පාදකවරයකු, සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සන්තුස ලියනගේ පියවරෙන් පියවර ප්‍රේක්ෂක හද බැඳගනිමින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ඉස්මතු වන්නට එතරම් කාලයක් ගත වූයේ නැත.
සන්තුස ලියනගේ ඔහුටම අනන්‍ය වූ නිර්මාණ රීතියක් අනුගමනය කළ නිර්මාණවේදියෙකි. සන්තුස කිසි කලෙකත් ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන් කොපි කළේ නැත. ඔහුගේ නිර්මාණයන්හි ප්‍රමුඛත්වය ලැබුණේ දෙබස්වලට වඩා රූපවලටය.
සන්තුස සාමාන්‍යයෙන් තරමක නිහඬ පුද්ගලයෙකි. ඔහු හැමවිටම විදෙස් සාහිත්‍ය කෘති පරිශීලනය කරමින් ඒවායේ ආභාසය ඔහුගේ නිර්මාණ සඳහා යොදාගත් බවත්, ඔහු කළ ඒකාංගික ටෙලි නාට්‍ය නැරඹීමේදී හඳුනාගත හැකිය. අත්තම්මා, තොටිල්ල, සාක්‍ෂි වැනි ඒකාංගික ටෙලි නාට්‍ය මෙන්ම කාහලනාදය, භාවතීර්ථ, දූලි පින්තාරු, නන්දුත්තරා වැනි දීර්ඝ ටෙලි නාට්‍ය බොහෝමයක් සන්තුස අතින් නිර්මාණය විය. ඔහු නිර්මාණය කළ දීර්ඝ ටෙලි නාට්‍ය හා ඒකාංගික ටෙලි නාට්‍ය බොහෝ අවස්ථාවලදී විවිධ සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වීමත් විශේෂිතය. දකුණු කොරියාවේ පැවැති සෝල් අන්තර්ජාතික සම්මාන උළෙලකදී රටවල් සීයක් තරග කරමින් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස නිර්දේශ වීම, එවකට ජාතික රූපවාහිනියේ නාට්‍ය ඒකකය ලැබූ විශාල ජයග්‍රහණයකි.
පුංචි තිරයට ටෙලි චිත්‍රපට (Tele films) හඳුන්වාදීමේ පුරෝගාමී වූ පිරිස අතරේ සන්තුසගේ නාමයද ඉදිරියෙන්ම සිටි බව මා දැනගත්තේ අවමගුල් උත්සවයේදී අතුල රන්සිල් ලාල් මහතා කළ කතාවෙනි. කලක් ඔහු ‘ඉරිදා ආයුබෝවන්’ සහ ‘නුග සෙවණ’ වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඊට නැවුම් මුහුණුවරක් එක්කරමින් හැඩ කළ අයුරු අපට මතකය.
දශක තුනකට අධික කාලයක් පුංචි තිරයේ විවිධ ඉසව් හි දස්කම් පාමින් ප්‍රතිභා පූර්ණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනා සිටි සන්තුස ඔහුගේ නිර්මාණ හරහා නව පරපුරක් බිහි කිරීමට ද දායක වූයේය.
භාවමය අර්ථ පූර්ණ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් උදෙසා නිරන්තරයෙන් පෙනී සිටි සන්තුස කිසි කලෙකත් මුදලට විකුණුනු නිර්මාණකරුවකු නොවූ බව ඔහුගේ නිර්මාණ දෙස බැලීමේදී වටහා ගත හැකිය.
කොළඹට නුදුරු නුගේගොඩ මිරිහාන සන්තුසගේ උපන් ගමය. පවුලේ වැඩිමලා ලෙස උපන් සන්තුසට සිටියේ එකම එක සහෝදරියකි. ඇය ජිත්මා කිත්මිනිය. පියා දිසාපතිවරයෙකි. මව විදුහල්පතිනියක වූවාය. පියාට නිතර නිතර මාරුවීම් ලැබ විවිධ පළාත්වලට යෑමට සිදුවූ නිසා සන්තුසටත් සහෝදරී කිත්මිණිටත් නිතර නිතර පාසල් මාරු කරන්නට සිදුවිය.
කොළඹ ඉපදුණු සන්තුස අකුරු කරන්නට මුලින්ම ගියේ මොනරාගල රාජකීය විද්‍යාලයටය. එක වසරේ සිට 4 වසර දක්වා ඔහු එහි උගත්තේය. හතර වසරේ සිටියදී පියාට නැවතත් මාරුවක් ලැබුනේ රත්නපුරයටය. රත්නපුරේ සීවලී විද්‍යාලයට ගිය සන්තුස උසස් පෙළ දක්වාම එහි ඉගෙනුම ලැබුවේය. විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියත් විවේක ලැබෙන හැම මොහොතකම සන්තුස කාලය ගෙව්වේ සංගීත කාමරයේය. කුඩා වියේ සිටම සන්තුස වයලීනය වයන්නට දක්ෂයෙකි. හිස් වන සෑම කාල පරිච්ඡේදයකදීම සන්තුස ඇදී ගියේ සංගීතය හදාරන්නටය.
1968 මාර්තු 26 වැනිදා උපන් සන්තුස සිසිරජිත් ලියනගේ නැතහොත් අප හැම හොඳීන් හඳුනු රටක් හඳුනන සන්තුස ලියනගේ 2025 පෙබරවාරි 23 වැනිදා සවස හෝමාගම මූලික රෝහලේදී අවුරුදු 57 සපිරෙන්නට දින කිහිපයක් තිබියදී ජීවන රඟමඩලින් බැස ගියේය.
උපන්නොත් මරණය නියත බව සැබෑය. එහෙත් සන්තුස ලියනගේ සහෘදයා ගියා ඉක්මන් වැඩිදෝයි මට හැඟෙයි. වසර තිස් හතරක් පුරා ටෙලිනාට්‍යය අධ්‍යක්ෂවරයකු ලෙස කලාවට කළ අනගි මෙහෙවර අති විශිෂ්ටය.
ආදරණීය සන්තුස සහෘදයාණෙනි, පුංචි තිරයේ ගුණාත්මක කලාවක් උදෙසා ඔබ කළ අප්‍රමාණ මෙහෙවරට අපගේ ප්‍රණාමය.!
මනෝලි සුබසිංහ