Home » සංගීත චිකිත්සාව වැඩිදුර ඉගෙනුමට විදෙස් ශිෂ්‍යත්වයක් ලැබුණා

සංගීත චිකිත්සාව වැඩිදුර ඉගෙනුමට විදෙස් ශිෂ්‍යත්වයක් ලැබුණා

-සංගීත විශාරද චන්දි මුදුන්කොටුව

by Thanushika
July 17, 2025 1:54 pm 0 comment

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වේදනා කළමනාකරණ හෙද නිලධාරිනියක ලෙස සේවය කරන ඇය කලාවට ද ඇලුම් කරන්නියකි. කලාව ඇගේ ජීවිතයේ කොටසක් බවට පත්වී තිබේ. ගායනය, තනු නිර්මාණය, නර්තනය, රංගනය, නිවේදනය ආදී හැකියාවන් රැසකින් යුතු ඇය සංගීත චිකිත්සාවෙන් රෝගී, නිරෝගී බොහෝ පිරිසක් මානසික, ආධ්‍යාත්මික සුවතාවට පත්කිරීමට සමත්වූවාය. ඉකුත්දා පැවැති අන්තර්ජාතික හෙද දිනයේදී විශේෂතා අභිමන් සම්මානයෙන් ද පුද ලද ඕ නමින් සංගීත විශාරද චන්දි මුදුන්කොටුවයි. ඇය සිය කලාදිවිය පිළිබඳවත්, සංගීත චිකිත්සාවෙන් රෝගීන්ගේ මනස සුවපත්භාවයට පත්කිරීම පිළිබඳවත් සාකච්ඡා කිරීමට සරසවිය හා මෙසේ එක්වූවාය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක යෙදෙන ඔබේ ජීවිතයේ වැඩි කොටසක් කලාව වෙනුවෙන් වෙන්කර තිබෙනවා. ඒ පිළිබඳ පැහැදිලි කළොත් …..?

සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ ඉතා කාර්යබහුල ක්ෂේත්‍රයක්. එවැනි ක්ෂේත්‍රයක සිටිද්දි මානසික නිදහස කියන දේ හරිම අඩුයි. කලාවට තිබෙන ලෙන්ගතුකම, ආසාව, ආදරය වගේම ඒ සඳහා තිබෙන හැකියාවන් එක්ක මගේ ජීවිතයේම කොටසක් විදිහට මම කලාවට ඉඩ වෙන්කරගෙන තිබෙනවා

මේ දිනවල සිදුකෙරෙන නිර්මාණ කාර්යයන් මොනවාද …..?

මේ දිනවල මම මගේම ගීත කිහිපයක් සඳහා සූදානම් වෙනවා කිව්වොත් නිවැරදියි . ඒවා මගේ පද රචනා සඳහා නිර්මාණය වන ගීත කිහිපයක්. එසේම අපේ ජාතික වස්තුවක් වන ළමා පරපුර වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් මේ දින වල සිදු කරමින් සිටිනවා. ශශ්‍රී ලාංකේය රෝගී ජනතාවගේ මන සුව වෙනුවෙන් නව නිර්මාණාත්මක වැඩසටහන් කිහිපයකුත් ක්‍රියාත්මක කරමින් සිටිනවා..

පසුගියදා ඔබ සම්මානිත වුණා…ඒ ගැතත් මතක් කළොත්….?

අහිංසක රෝගීන්ගේ ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපේම සහෝදර නිලධාරීන්ගේ ද ඔවුන්ගේ දරුදැරියන්ගේ ද විවිධ අංශවල සේවයේ නියුතු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අපේම රටේ ජනයාගේ ද මානසික පීඩා මුදාහරිනු වස් සංගීත චිකිත්සා වැඩසටහන් සහ ධනාත්මක චින්තන වැඩසටහන් පවත්වා මේ ලක්දිව පුරා වෙසෙන ශශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් නිහඬ සේවාවක් කළ මා හට; 2025 ජාත්‍යන්තර හෙද දිනයේදී “විශේෂතා අභිමන්” සම්මානයක් තිළිණ කිරීමෙන්, මා අගය කළ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. .

මා මෙන්ම විවිධ හැකියාවන් සහිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් අගය කිරීම, ඔවුන්ගේ ඉදිරි අනාගතයට එය විශාල ශක්තියක් වනු නොඅනුමානයි.

ඔබ තුළ සැඟව තිබෙන කලා හැකියාවන් කෙසේද හඳුනාගත්තේ….?

මම මගේ කලා හැකියාවන් ආරම්භ කර තිබෙන්නේ අවුරුදු 2 1/2දීයි. එදා ප්‍රසිද්ධ වේදිකාවක විශාල පිරිසක් ඉදිරියේ මම තනිවම කිසිදු පැකිළීමකින් තොරව ගීතයක් ගයමින්, නර්තනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ දවසේ සිට ඉදිරිපත් කළ ගායන, නර්තන සමඟ මගේ අම්මා, තාත්තා තමයි මගේ හැකියාවන් හඳුනගෙන එම හැකියාවන් දියුණු කරගැනීමට මාව අදාළ ක්ෂේත්‍රවලට යොමුකළේ.

පාසල් අවධියේත් කලාකටයුතුවල නිරතවුණාද ….?

අනිවාර්යයෙන්ම. මගේ කලා හැකියාවන් නියමාකාරයෙන් ඉදිරිපත් කිරීමට, එකී දක්ෂතා එළිදැක්වීමට තිබුණු හොඳම කාලය වුණේ පාසල් කාලයයි.. 03 ශ්‍රේණිය දක්වා පහළයාගොඩ ශශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අනතුරුව උසස්පෙළ තෙක්ම කොළඹ යශෝධරා බාලිකා විද්‍යාලයේදී අධ්‍යාපනය හැදෑරුවා. යශෝධරා බාලිකාව තමයි මගේ හැකියාවන් ඔප්නංවාගන්න හොඳම තෝතැන්න වුණේ. එම පාසලේ ගීතා, ජීවා, නන්දනී වැනි ගුරු මෑණිවරුන්ගේත් ජයසුන්දර, මලවිආරච්චි වැනි එවකට සිටි විදුහල්පති මැණිවරුන්ගේත් මඟපෙන්වීමෙන් කලා දිවියේ විශිෂ්ට තරග රැසකින් ජයග්‍රහණ ලබාගන්න හැකිවුණා. ජීවිතයේ ස්වර්ණමය යුගය ස්වර්ණමය ලෙස ගතකිරීමට මට කලාව පාසල් සමයේදී යොදාගැනීමට හැකිවුණා.

රැකියාව කරන ස්ථානයේ පිරිස ඔබව හඳුන්වන්නේ “සින්දු කියන නර්ස් නෝනා” කියලා. මොකද ඒ ගැන හිතෙන්නේ …..?

ඇත්තෙන්ම ඒ ගැන ගොඩක් සතුටුයි. ursing is an Art කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එකී කියමන මට යථාර්ථයක් කරගන්න හැකියාව ලැබුණා කියා මම සිතනවා. මගේ කලා හැකියාවන් රෝගීන් සඳහා ඔවුන්ගේ ප්‍රතිකාරවලට බාධාවකින් තොරව යොදාගන්න මම වගබලා ගන්නවා. මම වාට්ටුවලට යද්දි මා එනතෙක් රෝගීන් සහ කාර්යමණ්ඩලය බලාගෙන ඉන්නවා. ඔවුන් හරිම කැමැතියි මගේ ගීතයක් අහන්න….

“චන්දි මුදුන්කොටුව” නමැති ගායිකාව ඔබට දැනෙන්නේ කොහොමද ….?

ඒ ගැන දැනෙන විදිහ අර්ථකථනය කරනවා නම් කාර්යබහුල වෘත්තීන් සමඟ මගේම නිර්මාණාත්මක වැඩසටහන් සමඟ ගායන හැකියාවෙන් සමාජයට යහපතක් සිදු කිරීමේ අරමුණින් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තුවන සමාජශීලී කෙනෙක් ලෙස මට මාව දැනෙනවා.

ගී පද රචනා කලාව, තනු නිර්මාණය තුළ ඔබේ භූමිකාව කතා කළොත්…..? සහ ඔබේ ගී පද රචනා , තනු නිර්මාණවලින් බිහිවූ නිර්මාණ ගැන කීවොත් ……?

ගී පද රචනය පාසල් කාලයේදීමයි මම ඇරඹුවේ. 2009, 2010 වසරවල පැවති සමස්තලංකා බෞද්ධ සම්මේලනයේ තරගවලින් ගීපද රචනා අංශයෙන් මා ජයග්‍රහණ ලැබුවා. අනතුරුව භක්ති ගීත වැඩසටහන්වලටත්, විවිධ උත්සව අවස්ථාවල පිළිගැනීම් ගීත ආදියටත් මා ගීපද රචනා කිරීම් කළා. පසුව තමයි මගේම ගීත රචනා කළේ. කොරෝනා සමය කේන්ද්‍ර කරගෙන නොයෙක් ගීත රචනා කළා. මගේම ගී පද රචනාවකට, මගේම තනු නිර්මාණයකට ගායනා කර තිබෙනවා, රූප රචනාවකුත් කළා. එය නම් කළේ “හද ගිනිදලු දැවීලා” නමින්. මම ගායනා කළ ගීත රැසකට මා විසින්ම තනු නිර්මාණය කර තිබෙනවා.

ගීපද රචනයට, ගායනයට ඔබ ආභාසය ලද අයුරු පැහැදිලි කළොත් ….?

ගීපද රචනයේදී, කවි නිර්මාණකරණයේ යෙදෙන කවියන් රැසක් මම ඇසුරු කළා.. මුතුහර වැඩසටහන තුළිනුත් මට කිවිදියන් මුණගැසුණා. ගායනයේදී නුගේගොඩ “කලා භූමි”ආයතනය මට ක්ෂේම භූමියක් වුණා. රෝහණ වීරසිංහයන් ප්‍රේමසිරි කේමදාසයන් මංජුලා සෙනෙවිරත්න, නවරත්න ගමගේ; මෙන්ම නිරෝෂා විරාජිනි වැනි ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීම මට ලොකු අස්වැසිල්ලක් වුණා. නම් සඳහන් නොකලත් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ ගුරුහරුකම් ලැබීමම මගේ භාග්‍යයක්.

සංගීතය මානසික ප්‍රතිකාරයක් ලෙස ද වෛද්‍ය විද්‍යාවේ භාවිතවෙනවා. එකී සිද්ධාන්ත පිළිබඳ ඔබේ දැක්ම පැහැදිලි කළොත්….? ඔබේ මානසික සුවයටත් ඔබම විසඳුම් සොයාගන්නවා ඇති…..?

සංගීතය යනු මනස සුවපත් කරන කලාවක්. විද්‍යාත්මකව, විවිධ පර්යේෂණ සිදුකර රෝගීන් සඳහා එය සායනිකව චිකිත්සාවක් ලෙස යොදාගෙන, එය සංගීත චිකිත්සාවක් වශයෙන් විවිධ මානසික ආබාධයන් සහිතවූවන්ට මෙන්ම විවිධ කායික රෝග සඳහාත්, වේදනාව සමනය කිරීම සඳහාත් වර්තමානය වනවිට ලොව පුරාම භාවිතා වෙනවා. මා උගත් දැනුම හෙද පිළිවෙත් සමඟ වගකීම් සහිතව ඊට කිසිදු හානියක් නොවන ලෙස ඉතා සූක්ෂ්මව රෝගියාගේ මනස සුවපත් කිරීමට යොදාගන්නවා. එසේම මගේ කාර්යබහුලත්වය නිසා මට ඇතිවන ආතතීන් දුරුකර ගැනීමටත්, පවුලේ අයටත් එය යොදාගෙන, මානසික සතුට විඳීනවා.. මානසික සුවයට හොඳම ප්‍රතිකාර ක්‍රමයක් සංගීත චිකිත්සාව.

හෙද නිලධාරිනියක වන ඔබ, ඔබේ විෂයය තුළ සංගීත චිකිත්සාව (Music Therapy) අන්තර්ගතයි. එකී විෂයක්ෂේත්‍රය තුළ ඔබේ රාජකාරි වපසරිය පැහැදිලි කරනවානම් ….?

සංගීතය යනු විශ්ව භාෂාවක්. සංගීත චිකිත්සීය ක්‍රමයේදී හෙද නිලධාරිනියක ලෙස ප්‍රතිපත්තිගරුකව සහ වගකීමෙන් යුතුව වෘත්තියටවත්, රෝහල් පරිශ්‍රය තුළදී රෝගියාට සිදුකරන වෛද්‍ය ප්‍රතිකාරවලටත් කිසිදු බාධාවක් නොවන ලෙස ඉතා වගකීමෙන්, රෝහල් අධ්‍යක්ෂතුමියගේ, ප්‍රධාන විශේෂ ශ්‍රේණි හෙද නිලධාරිතුමා ඇතුළු සමස්ත හෙද කාර්යමණ්ඩලය, විශේෂඥ වෛද්‍ය කාර්යමණ්ඩලය ඇතුලු වෛද්‍ය කාර්යමණ්ඩලය යනාදී සියලුදෙනාගේ අවසරයත් සමඟ තමයි මෙය සිදුකරන්නේ. විශේෂයෙන්ම පිළිකා හා මාතෘ වාට්ටු සංකීර්ණ තුළ වාට්ටු භාර විශේෂඥ වෛද්‍යවරුන් සහ විශේෂ ශ්‍රේණි හෙදනිලධාරීන්, හෙද සොයුරු සොයුරියන් ඉතාමත් උනන්දුවෙන් යුතුව රෝගීන්ගේ සුවසහනය වෙනුවෙන් මේ සංගීත චිකිත්සා වැඩසටහන් සිදුකිරීමට මට අවශ්‍ය පරිසරය සකස් කර දෙනවා. එය ඉතාමත් සතුටට කරුණක්,

වේදනා කළමනාකරණ හෙද නිලධාරිනියක වන ඔබ එකී වෘත්තිය රෝගීන් සුවකිරීමට යොදාගන්නා ආකාරය සරලව කීවොත් …..?

වේදනා කළමනාකරණයේදී ඖෂධීය සහ ඖෂධීය නොවන වශයෙන් ප්‍රතිකාර ක්‍රම 02කින් සමන්විතයි. එහිදී මේ වනවිට සංගීත චිකිත්සාව ඖෂධීය නොවන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස රෝගීන්ගේ කායික වේදනාවන් අඩුකිරීමටත් මානසික සුවතාව වැඩිකිරීමටත් යොදාගනු ලබනවා.

සංගීතයෙන් මනස සුවපත් කළ බොහෝ රෝගීන් සිටිනවා. ඒ දෙස නැවත හැරී බැලුවොත් ….?

නිහතමානීව සතුටුවෙනවා.අපි යම් සේවාවක් ලබාදීමේදී බොහෝ වෙහෙස මහන්සිවී කැපකිරීමක් සහ නිසි අධ්‍යයනයක් සමඟයි කළයුත්තේ. පළමුවරට සංගීතයත් සමග හෙදියක් ලෙස සේවය කරන්න ලැබුණේ 2014 වසරේදී. ඒ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී. එහිදී එම වැඩසටහන් ඉතා හොඳීන් කරගෙනයෑමට එවකට එහි සිටි රෝහල් අධ්‍යක්‍ෂතුමා ඇතුළු සියලු කාර්යමණ්ඩලයෙන් ලද සහාය මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ ගැන ඉතා සතුටුවෙනවා වගේම අහිංසක රෝගීන් දුටුවිට එහි ප්‍රතිඵල අද මම භුක්ති විඳීනවා කියන්න පුළුවන්. බොහෝ අය අදටත් කතා කරනවා. “මනස සුවපත් වූවා වගේම ඔවුන්ගේ ජිවිතයත් වෙනසකට ලක්වුණා කියලා”. ඒ දේ තමයි මගේ එකම සතුට. ඒ සතුට මුදලකට සම කරන්න බැහැ.

ඔබ කළ සේවයෙන් මනස සුවපත් වූ රෝගීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයිවගේද….?

ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරන්න කඳුළු සලන අවස්ථා තිබෙනවා. පිළිකා වැළඳුණු රෝගීන්, ගැබිනි මවුවරුන්, වයස්ගත රෝගීන්, කුඩා ළමයින් ගොඩාක් සංවේදී ප්‍රතිචාර මා හට දක්වනවා. සමහරු කවි, නිසදැස් වගේම, මගේ සේවය අගයා සහ ඔවුන් ලද සහනය ගැන කියමින් මට ලිපිත් ලියා දෙනවා. ඒ ප්‍රතිචාර දුටුවාම නිරායාසයෙන් මගේ නෙතින් සතුටු කඳුළු ගලනවා.

මුතුහර වැනි වැඩසටහන් නිසා ජාතික රූපවාහිනිය ඔබට ආගන්තුක ස්ථානයක් නොවෙයිවගේ…?

මුතුහර ඔස්සේ වෙනත් විවිධ වැඩසටහන්වලට ද මගේ දායකත්වය ලබා දීමට හැකි වුණා. ජාතික රූපවාහිනියේ එවකට සිටි ශිල්පීන් ඔවුන්ගේ දරුවන් මෙන් අපිව රැකබලා ගත්තා. එවකටත් ජාතික රූපවාහිනිය තුළ දක්ෂ ළමයින්ට හොඳ අවස්ථා තිබුණා.

කලක් සංගීත ගුරුවරියක් ලෙසත් කටයුතු කළා නේද….?

සංගීත විශාරද උපාධිය ලබාගත් පසු මගේම කලායතනයක සංගීත පන්ති පවත්වාගෙන ගියා. ගම්පහ සුමේධ විද්‍යාලයේත් එරන්දතී කලායතනයේත් සංගීත ගුරුවරියක් ලෙස සේවය කළා. දැනටත් විවේක අවස්ථාවල ඒ ගුරු භූමිකාවේ මම යෙදෙනවා. විශාරද උපාධිය ලබාගත් මගේ ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ම ඉන්නවා.

බොහෝදෙනෙක් නොදන්නා නර්තන ශිල්පිනියක් ද ඔබ තුළ සැඟව සිටිනවා….?

භරත, උඩරට, පහතරට, බටහිර නර්තන ශෛලීන්ගෙන් මම නර්තනයේ යෙදෙනවා. නර්තන ශිල්පිනී ප්‍රදීපා ආරියවංශ ගුරුමෑණියන් යටතේ භරත හැදෑරීම් කළා. විවිධ උත්සව ඇතුළු විවිධ අවස්ථා සඳහා නර්තන ශිල්පිනියක් ලෙස මගේ දායකත්වය ලබාදෙනවා. නර්තන චිකිත්සාවත් මනස සුවපත් කරනවා.

නිවේදිකාවක් , හඬකැවීම් ශිල්පිනියක් , රංගන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා පෙන්වන්න ඔබට හැකිවුණා නේද…….?

ඔව්, නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනියේ “තරු දවස” වැඩසටහනේ වැඩසටහන් කිහිපයකට නිවේදනයෙන් දායක වුණා. එසේම හඬකැවීම් ශිල්පිනියක් ලෙස විවිධ කාටූන්වලට සම්බන්ධ වුණා. රංගනය ගැන කිව්වොත් රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ නාට්‍යවලට රංගනයෙන් එක්වුණා. ඒවායින් ජයග්‍රහණත් ලැබුවා. විශිෂ්ට නිර්මාණවේදිනී සෝමලතා සුබසිංහයන්ගේ ගුරුහරුකම් මධ්‍යයේ රංගනය හැදෑරුවා.. එතුමියවත් ගෞරවයෙන් සිහිපත් කරනවා…

විශාරද නන්දා මාලනියගේ ගෝලයෙක් ඔබ. ඇගේ ගුරුහරුකම් ඔබේ සංගීත දිවියට විශාල බලපෑමක් කරන්න ඇති…..?

ආචාර්ය විශාරද නන්දා මාලනිය කියන්නේ අප රටේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනියක්. එතුමියගේ සංගීත ආශ්‍රමයට මගේ තාත්තා මාව අවුරුදු 07දී යොමුකළේ. එහිදී එතුමිය කටහඬ පරීක්ෂණයක් මඟින් මාව ඉන්දීය විභාග සඳහා යොමුකරන පන්තියට ඇතුළත් කරගත්තා. එහි සිටි ළාබාලතම ශිෂ්‍යාව මමයි. එනිසයි උසස්පෙළටත් පෙරම විශාරද උපාධිය මට ලබාගන්න හැකිවුණේ… එතුමියට මම හෘදයාංගම ස්තුතිය පිරිනමනවා මෙන්ම දීර්ඝායුෂ පතනවා.

අන්තර්ජාතික වැඩමුළු, දේශනවලදී ලද අත්දැකීම් හා මිහිරි මතක සිහිකළොත් ….?

විවිධ රටවල විදේශීය මහාචාර්ය, වෛද්‍ය, හෙදි කාර්යමණ්ඩලය වැනි අය අන්තර්ජාතික වැඩමුළුවලදී මට මුණගැසෙනවා. ඔවුන් සිංහල ගීත, ජනකවි ගායනා කරන්න ඉල්ලීම් කරනවා. එම ගීත රසවිඳීනවා. ශශ්‍රී ලාංකේය සංස්කෘතික අංගයන්ට ඔවුන් හරිම කැමැතියි. රෝගීන් සඳහා මම කරනු ලබන වැඩසටහන් ගැනත් ඔවුන් ප්‍රශංසනීයව කතා කරනවා. මිහිරි අත්දැකීම් රැසක් මතකයේ තියෙනවා..

රාජ්‍ය ආයතන, පාසල්, විශ්වවිද්‍යාල, වෙනත් රැකියා ස්ථාන සඳහා ද ඔබේ දැනුම ලබාදෙනවා. ඒ ගැන කුමන හැඟීමක්ද ඇතිවෙන්නේ ….?

මාගේ වැඩසටහන් තුළින් ළමා හා වැඩිහිටි ජීවිත සාර්ථක වන බව දැනෙද්දී සමාජයට පුණ්‍යකර්මයක් කලා කියලා විශාල සතුටක් ඇතිවෙනවා. එමෙන්ම රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල වල බාහිර දේශනවලදී ද තරුණ පරපුරගේ මානසික සුවතාවය කෙරෙහි ද අවධානය යොමු කරනවා. දැනටමත් දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම මත දරුවන් හා දෙමව්පියන්ට ද වැඩසටහන් මාලාවක් ඉතා සතුටින් කරගෙන යනවා.

රැකියා ස්ථානයෙන් ඔබේ වෘත්තියට සහ කලා දිවියට ලැබෙන සහාය ගැනත් කියමු….?

වර්තමාන සේවා ස්ථානය වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමිය, ප්‍රධාන විශේෂ ශ්‍රේණි හෙද නිලධාරිතුමා ඇතුළු සියලුම විශේෂ ශ්‍රේණි හෙද නිලධාරි මහත්ම මහත්මීන්, විශේෂඥ වෛද්‍ය මහත්ම මහත්මීන්, හෙද සොයුරු සොයුරියන් ඇතුළු සියලු හෙද කාර්යමණ්ඩලය, වෛද්‍ය කාර්යමණ්ඩලය සහ සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය, සේවස්ථ අධ්‍යාපන ඒකකය යන සියල්ලන් මට විශාල සහායක් දෙනවා.වැඩසටහන් පිළිබඳව පැහැදී විශේෂඥ වෛද්‍යතුමෙක් විසින් වැඩසටහන් සිදුකිරීමට අවශ්‍ය ශබ්ද උපකරණයක් ද මා හට පරිත්‍යාග කළා. එතරම් සහයෝගයක් ලබා දෙන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් වේදනා කළමනාකරණ ඒකකයේ ප්‍රධාන හෙද නිලධාරීනිය ඇතුළු මාගේ ආදරණීය හෙද නිලධාරීනීන් සියල්ලන්ගේ සහාය සහ ඔවුන් දෙන දිරියට මා ස්තුතිවන්ත වෙනවා.

සංගීත අංශයෙන් තවදුරටත් උසස් අධ්‍යාපනය හැදෑරීමට අදහසක් ඇති….?

ඔව්, සංගීත් නිපුන් විභාග සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.ඊට අමතරව සංගීත චිකිත්සාව පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනයට මට විදේශ විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයක් ලැබුණා. එම අධ්‍යයන කටයුතු වැඩිදුරටත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

පවුලේ විස්තර කීවොත්… සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහයෝගය මොනවගේද ….?

කුඩා කල සිටම කලා කටයුතුවලටත් වෘත්තිය දිවියටත් මට යෝධ සෙවණැල්ලක් වුණේ ආදරණීය මවුපියන් දෙදෙනා සහ එකම සොහොයුරා මහින්ද. නෑනත් නිතර මට දිරි දෙනවා. ඒ වගේම මට ඉදිරියට යෑමට, මට සිටින යෝධ ශක්තිය මගේ ආදරණීය සැමියායි…ඔහු අමිල නිරන්තක. ඔහුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියැළී සිටිනවා. එසේම මගේ දරුවන් රැකබලාගන්නේ මගේම මවුපියන් ලෙස සිටින මගේ සැමියාගේ මවුපියන්. මට පවුලෙන් ලැබෙන ශක්තියට මේ හැමෝටම පින් දෙනවා.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT