නිවස විශේෂාංග සංගීතය අදටත් මගේ ආත්මයයි

සංගීතය අදටත් මගේ ආත්මයයි

ගායන ශිල්පී නෙල්සන් ප්‍රනාන්දු

by Thanushika
August 22, 2024 9:43 am 0 comment

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ පිහිටි නෙල්සන් එන්ටර් ප්‍රයිසස් හී අධිපති ප්‍රවීණ ගායකයෙකු රංගන ශිල්පියෙකු කලා රසවතෙකු හිටපු සංගීත ප්‍රසංග සංවිධායකවරයෙකු වූ ඔහු නමින් නෙල්සන් ප්‍රනාන්දුය. ඇමරිකාවේ ස්ථාපිත “Good Evil” පදනමේ නිර්මාතෘවරයා වන්නේ ද ඔහුය. තවත් ආකාරයකින් හඳුන්වනවා නම් ඔහු මෙරට විසූ ප්‍රතිභා පූර්ණ පෙරලිකාර සංගීතවේදියෙකු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සමීපතම හිත මිතුරෙකු විය.

ක්ලැරන්ස්ගේ හිතමිතුරු සමාගමට නෙල්සන් එක්වූයේ 1970 වසරේදීය ඔහුත් සමග අත්වැල් බැඳ ගනිමින් විවිධ සංගීත ගීත නිර්මාණයන් ඔස්සේ ඔහුගේ සංගීත ආභාසය ලබා ගායකයකු ලෙස පෙරමගට එන්නට තරම් නෙල්සන් භාග්‍යමත් වූයේය.

අවුරුදු 45 කටත් වඩා දීර්ඝ කාලයක් සිය ආදරණීය පවුලත් සමඟ ඇමෙරිකාවේ ජීවත් වූ නෙල්සන් එරට විසූ ශ්‍රී ලාංකිකයින් අතර හිත හොඳ මිතුරෙකු මානව හිතවාදියෙකු ලෙස කාගෙත් සිත් දිනා ගෙන සිටි. ඔහු පසුගියදා මට හමුවූයේ ඇමරිකාවේ සිට නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණි අවස්ථාවකය.

“Good Evil” නපුර අපෙන් සමුගන්න යන තේමාව ඔස්සේ මේ වනවිට ඔහු වාර්තාමය චිත්‍රපටියක් නිර්මාණය කිරීමේ කටයුතුවල නියැලී සිටි. ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවට නව චින්තනයක් නව දෘෂ්ටියක් හඳුන්වා දීමට බලාපොරොත්තු වේ. මේ චිත්‍රපටයේ තේමාව සංකල්පය නිම වූයේද ඔහු අතින් වන අතර ඒ ඔස්සේ හා හා පුරා කියා ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසද දොරට වඩියි.

සාමාජික සාමාජිකාවන් හය දෙනෙකුගෙන් යුත් හලාවත රදල කතෝලික පවුලක උපන් ඔහු හලාවත මේරියන්ස් ජාතික පාසැලෙන් අධ්‍යාපනය ලැබුවේය.

සුන්දර ළමා අවධියට නිතැතින්ම ඇදී යන ඔහුගේ සිත ඒ සුන්දර අතීතය හැඟීම්බරව වචනවලට පෙරලයි.

එදා රූකඩ මඟින් රඟදක්වමින් සිටි හලාවත මීගමු පාස්කු සංදර්ශනයන්හි සිංහල කැරොල් ගීතද දේවස්ථානයේදී ගයනු ලැබූ ගීතිකාද නත්තල් පසන් ගීතිකාවන්ගෙන් ගීතිකාවන්ගෙන්ද ආභාෂය ලබා ඔහුගේ හඬ මතුව ආවේය. පසුකාලීනව හලාවත පුරවරයේ ජනප්‍රිය ගායකයකු ලෙසින් කාගේත් නොමඳ ආදර ගෞරවයට පාත්‍ර විය. දෛවෝපගතව කුඩා අවදියේම සංගීතයට පිවිසුණ නෙල්සන් ගිටාර් වාදනයට සහජ හැකියාවක් පාමින් එය මනාව ප්‍රගුණ කළේය.

පාසලෙන් නික්මීමෙන් අනතුරුව ඔහු කොළඹ එලිෆන්ට් හවුස් සමාගමේ වෙළඳ නියෝජිතවරයකු ලෙස ඉතා කැපවීමෙන් සේවය කොට ඇත. සිය සේවා කටයුතු කරන අතරතුර සංගීත නිර්මාණ කටයුතු වෙනුවෙන්ද කාලය කැපකළ නෙල්සන් හා හා පුරා කියා සිය ප්‍රථම කැසට් පටය වූ කුලුඳුලේ ගැයූ ගී නමින් එළිදැක්වීය.

ඒ 1980 වසරයි. සුන්දර තරුණයකුව උන් ඔහු ලංකාවේ එතෙක් ගත කළ ජීවිතයට ආයුබෝවන් කියා සිය සහෝදරයා ජීවත් වූ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වූයේය.

“ඇමරිකාව කියන්නේ ඉතා විශාල භූමි ප්‍රමාණයක් ප්‍රාන්ත පනහකට අධිකව විශාල ජනගහනයක් මෙන් ම බහුවිධ සංස්කෘතීන්ගෙන් සැදුම්ලත් රටක්. එහේ ගිහින් ජීවිතය දිනන්නට ලොකු කට්ටක් කෑවා. ජීවන සටන වෙනුවෙන් එහේදී කොතරම් පොර බැදුවත් මගේ හිත හදවත තිබුණේම ලංකාවේ. ඇමරිකාවේ අපේ ශ්‍රී ලාංකිකයින් බොහොමයක් ජීවත් වෙනවා. ඔවුන්ගේ ආදරය ළෙන්ගතු බව තමා ජීවිතය තවත් ශක්තිමත් වුණේ. කොහේ ගියත් අපේ කම ගිලිහී නැහැ.”

අපේ ගායක ගායිකාවන්ගේ ගීත නිර්මාණ ඇසුරින් ඔවුන් රැක ගත යුතුය යන අපේක්ෂාවෙන් ඔබ ඇමෙරිකාවේදී සංගීත ප්‍රසංග සංවිධාන කටයුතු කළා. මේ වන විටත් ඔබ එවන් ප්‍රසංග සංවිධාන කටයුතු සිදු සිදුකරනවා ද?

“ගීතය සංගීතය අදටත් මගේ ආත්මය වගේ. එහිදී මා පූර්ණ කාලීන ව්‍යාපාර කටයුතු සිදු කළත් විවේකය ලැබෙන සෑම මොහොතකම සංගීත කටයුතුවල නියැලුණා. ඇමරිකාවේ ජීවත් වූ කලාකාමී ශ්‍රී ලාංකිකයින් කලාවට සංගීතයට බෙහෙවින් ලැදිව කටයුතු කරනවා. ඔවුන්ගේ සංගීත රසවින්දනයට වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ගායික ගායිකාවන් රැසක්ම මුල්වරට ඇමරිකාවට ආවේ මං සංවිධානය කළ ප්‍රසංග හරහා. ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීත ගායකයින් වන ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන ආදීන්ද රජීව් සෙබස්තියන්, මිල්ටන් මල්ලවාරච්චි, සතීෂ්, ප්‍රියංකර පෙරේරා, ජිප්සීස් සුනිල් පෙරේරා ආදී ගායකයින් මෙන්ම ගායිකාවන්ද මගේ සංගීත ප්‍රසංග හරහා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ රසාස්වාදයට පාත්‍ර වූවන්. කාලයක් මා එවන් ප්‍රසංග මාලාවක් සංවිධානය කළා. එදා වගේම අදටත් අපේ පැරණි ගීතවලට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉතාම ආදරෙයි. ඒ කටයුතු කළා අපේ ප්‍රේක්ෂකයින්ගේ රසවින්දනය උදෙසාම. දැන් මා එම කටයුතුවලින් ඈත් වී සිටිනවා.”

ක්ලැරන්ස් විජයවර්ධනයන් ඔබේ සංගීත දිවියට ඉතාම සමීපව කටයුතු කළ කෙනෙක්. මේ මිත්‍ර සංගමය දිවෙන්නේ වසර ගණනාවක් මුළුල්ලේ සිටම නේද? ඒ සුන්දර මතකය අවදි කළහොත්,

“ක්ලැරන්ස් මට මුලින්ම හමුවන්නේ 1972 වසරේදී සංගීත ප්‍රසංගයක් හරහා. අපි ඉඩ ලද හැම මොහොතකම හමුවුණා, හිත හොඳ මිතුරන් ලෙස. හමු වුණත් කතා කරන්නේම සංගීතය ගැන. නිර්මාණ ගැන. කාලයාගේ ඇවෑමෙන් ඔහු මගේ අති ජාත මිත්‍රයෙක් වුණා. මම ඔහුගේ හොඳම රසිකයෙක් වගේම විවේචකයෙක්. ඒ කාලය හරිම සුන්දරයි. අපි බොහෝ විට හමුවූයේ මුහුද ආශ්‍රිත ඉතා නිස්කලංක ස්ථානවල. මා ගැයූ ගීත නිර්මාණ බොහොමයක ඔහු පද රචනා කොට සංගීත නිර්මාණය කළේ මේ වගේ තැන්වලදී. මගේ ප්‍රථම කැසට් පටය වූ කුලුඳුලේ ගැයූ ගී නිර්මාණ එකතුවේ ගීත බොහොමයක පද රචකයාද සංගීත නිර්මාණයන්ද ඔහුගේ. ඒ කැසට් පටේ එළිදැක්වීමේ කටයුතු සඳහා ලංකාවේ ඔබරෝයි හෝටලයේ සංවිධාන කටයුතු සඳහාත් ඔහු දායක වුණා. 1988 දී මා නිකුත් කළ දෙවි දේ සංයුක්ත පටයට අදාළ ගීතත් ඔහු නිර්මාණය කළා.

ගීතයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ඔහු ලබාදෙන පුහුණුව හා මාර්ගෝපදේශකත්වය අමතක කරන්නම බැහැ. ඒ වගේම ඔහු කවදාවත් මුදල් පසුපස හඹා නොගිය නිර්මාණ වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කළ ඉතා නිහතමානී සුන්දර හදවතක් ඇත්තෙක්. ඔහුත් සමඟ වැඩ කරන විට මට තිබුණේ විශාල විශ්වාසයක්. මම ගීතය සංගීතය ආභාසය ලැබුවේ ක්ලැරන්ස් ගෙන්. ඇනස්ලි මාලේවන වුණත් මා ළඟින්ම ඇසුරු කළ සංගීත ශිල්පියෙක්.”

*එදා පෙරළිකාර කැරලිකාර ඒ යුගයේ සංගීතවේදී ක්ලැරන්ස් විජයවර්ධනයන් මුල්වරට ගායකයෙකු ලෙස ඇමරිකාවට ආවේත් ඔබ සංවිධානය කළ ක්ලැරන්ස් අමරණීය ගී ප්‍රසංගය හරහා ඒ පිළිබඳ යමක් කියමු.

“ලංකාවෙන් ගියාට පසුව මටත් ක්ලැරන්ස්ව මුණ ගැසීමේ අවස්ථාව අහිමි වුණා. ඒක හිතට දුකක්. ඇමරිකාවට ගොස් මුල්වරට සංවිධානය කළ ප්‍රසංගය වූයේ ක්ලැරන්ස් අමරණීය ගීත ප්‍රසංගය. 1988 වසරේදී ඔහු හා හා පුරා කියා ඇමරිකාවට පැමිණ මා සංවිධානය කළ ප්‍රාන්ත කීපයකම ගීත ගැයුවා. ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රේක්ෂක ගෞරව බුහුමන් බොහොමයක් ඔහුට හිමිවුණා.”

“ක්ලැරන්ස් රටේ ව්‍යාප්ත කළ පොප් සංගීතයේ මුදුන් මල්කඩ ඔහු වැනි දුර්ලභ නිර්මාණකරුවකුගේ ආගමනය අවශ්‍යම යුගයක් ඒත් ඒ ගී උල්පත සිඳී ගොස් මේ වගේ සංගීත ක්ෂේත්‍රය පරිහානියට පත්ව තිබෙන යුගයක ක්ලැරන්ස්ගේ අහිමිවීම අපි කාටත් විශාලව දැනෙනවා.”

ගායකයෙකු ලෙස ඔබ ක්ලැරන්ස්ගේ සංගීත ආභාසය ලැබූවෙක්. ඔබ මේ වන විට විශාල ගීත ප්‍රමාණයක් ගයා එළිදක්වා තිබෙනවා.

“ඔව් ගීත 12කින් යුතු මගේ පළමු කැසට් පටය වූ කුලුඳුලේ ගැයූ ගී නම් වුණා. එය 1973 වසරේදී එළිදැක්වුණා මේ කැසට් පටයට අයත් සියලු ගීත නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධනයන් මෙන්ම භද්‍රජී මහින්දයි. ගී පද මෙන්ම ගීතනු සංගීත අධ්‍යක්ෂණය සඳහා ක්ලැරන්ස් විජයවර්ධනයන් දායක වුණා. අත්වැල් ගායනයෙන් මා හා එක් වුණේ ධම්මිකා බණ්ඩාර වල්පොළ හා බියට්‍රිස් මායාදුන්න ශිල්පිණිය. නාද ශික්ෂණයෙන් ක්‍රිස්ටි ප්‍රනාන්දු එක් වූ අතර එදා මේ ගීත සියල්ල පටිගත කලේ ටවර් හෝල් ශබ්දාගාරයේදී. බොහෝ දෙනෙක් කියනවා මගේ කට හඬක් ක්ලැරන්ස්ගේ හඬේ මතුව එන ආරක් කියල ඒ ක්ලැරන්ස්ගේ සංගීත ආභාසයේ නිරතුරුව මට ලැබුණ නිසා වෙන්න ඇති.”

ක්ලැරන්ස් නිර්මාණය කළ ගී අතර සිතක බිහි වූ, සඳ වලාවන් තුළින්, ඔබ දැන්, බිළිදුකළ මා, පොඩි මල් ඉහිරුනු, පෙරුම් පුරා ලබාගත්, අනෝජ් පුතේ, සඳයි තාරකාවයි, මා උකුලේ හොවා, මගෙන් විය යුතු, එන්න මගේ කළු මැණිකෝ, කැලණි නදී ආදී ගීත බොහොමයකට රසික ප්‍රතිචාර ඉහළින් ලැබුවා. ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවත් කළ වඩාත්ම ජනප්‍රිය වුණේ මගේ කැලණි නදී ගීතය. මගේ අනෙක් කැසට් පටය වූ ‘කල්පනා’ නිකුත් කරන ලද්දේ 1994 වසරේදී.

1996 වසරේදී මගේ ප්‍රථම සීඩී පටිය වූ දෙවිඳේ එළිදැක්වුවා. එහිදී මාත් ගීත කීපයක් නිර්මාණය කොට ගැයුවා! ඒ සඳහා ක්ලැරන්ස්ගේ මෙන්ම භද්‍රජී මහින්දයන්ගේ ගීතද ඇතුළත් වුණා. එහිදී ඉතාමත් ජනප්‍රිය වූ ගීත ලෙස දෙවිඳේ, අවරගිරෙන්, සිතක මහිම, පොඩි මල් යන ගීත නිර්මාණ හඳුන්වා දෙන්න පුළුවන්.”

*“Good Evil” නම් වූ පදනම නිර්මාණය කරමින් ඔබ ඇමෙරිකාවේදී යම් සුබ සාධන සමාජීය කටයුතු සිදුකරනවා. චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස “Good Evil” නම් වූ චිත්‍රපට නිර්මාණ කටයුතු කිරීමටත් මේ දිනවල ඔබ දායක වි සිටිනවා නේද?

“ඔව් ධනාත්මක චින්තනය මුළු මහත් සමාජය පුරා ව්‍යාප්ත කිරීම හෙවත් සිතුවිලි යහපත් සමාජයක් බිහි කිරීම මගේ පදනමේ මූලික අරමුණ. මිනිසා මේ ලෝකයට පැමිණ කායිකව මෙන්ම මානසිකව ද දුක් විඳීනවා. විඳවනවා. ඒ පිළිබඳ මා ලැබූ අත්දැකීම් බොහොමයි. ජීවිතයේ සතුට මෙන්ම දුක අප විසින්ම නිර්මාණය කරන ලද්දක්. අපේ ජීවිතයේ සෑම ක්‍රියාකාරීත්වයක්ම හසුරුවනු ලබන්නේ ප්‍රධානව අපේ සිතයි මනස යනු අපේ බලගතුම ශක්තිය යහපත් හොඳ සිතුවිලි ඔබට සහාය විය හැකි ධනාත්මක ශක්තීන් නිපදවන අතර එයට මට පමණක් නොව මුළු මහත් ලෝකයාටම යහපත උදා කරනවා නපුර යනු කුමක්ද? එය අත්හළ හැක්කේ කෙසේද? Negativeසිතුවිලි පලවා හරිමින් ධනාත්මක සිතුවලිවලින් පුරවා ගතහොත් අපිට පැමිණෙන නපුරු ව්‍යසනයන් පලවා හැරිය හැකියි. ඉන් ඔබට පුළුවන් මුළු ලෝකයක්ම වෙනස් කරන්න. ලෝකයම ලස්සන කරන්න.

මේ තේමාව ඔස්සේ මගේ පදනම කටයුතු කරනවා. පසුගිය සංගීත ප්‍රසංග හරහා ලබාගත් මුදල් මගේ මේ පදනමේ මූල්‍ය අරමුදල් ලෙස භාවිතා කරනවා. එහිදී ඉතා දුප්පත් අසරණ වූ ලංකාවේ ජීවත් වන බොහොමයක් අයට මම උදව් කළා බොහොම නිහඬවම ඒ ගැන සතුටුයි.

මම ඉහත විස්තර කළ ආකාරයට “Good Evil” නම් වූ මගේ මේ සංකල්පය රැගත් චිත්‍රපටය නිර්මාණය කිරීමට නිෂ්පාදනය කිරීමට කලක පටන්ම මගේ හිතේ තිබුණා ප්‍රාර්ථනාවක්. මෙය මා නිෂ්පාදනය කරන්නේ වාර්තාමයේ චිත්‍රපටයක් ලෙසට මගේ සංකල්පයත් තිර කතාවක් ලෙස ලියා අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂක හේමන්ත ප්‍රසාද්. ඒ සඳහා සුදුසු කලාකරුවන් රැසක් මගේ චිත්‍රපටය හා සම්බන්ධ වී සිටිනවා. මේ දිනවලදී ඒ රූපගත කිරීම් සඳහා අපි සැම එක් වී සිටිනවා. මං ලංකාවට ආවේ මේ චිත්‍රපටයේ කටයුතු සඳහා චිත්‍රපටයේ ඉදිරි නිර්මාණ කටයුතු, රූපගත කිරීම් සිදුවන්නේ ඇමරිකාවේදී.

පසුගියදා ඔබට ඇමෙරිකාවේදී සුවිශේෂී සම්මානයක් ද හිමි වුණා. ඒ පිළිබඳ කතා කළහොත්,

“ ඔව් ඇමරිකාවේ සිංහල කලා සංගමයක් වන  T S Production  වෙතින් ඒ සම්මාන ඇගැයීම මා හට ලබා දුන්නා. ස්තුතියි ඔවුනට කෘතගුණ පූර්වකව.”

“මෙරට සංගීත පරපුරකගේ සංගීත නිර්මාණ ඇමරිකාවේදී ව්‍යාප්ත කිරීම ඒ සඳහා සංවිධාන කටයුතු කිරීම මා සිදුකළ කලා කටයුතු හා “Good Evil” සංවිධානය ඔස්සේ මා සිදු කළ සමාජය සුභසාධන කටයුතු සමස්ථව ඇගයීමට ලක් කරමින් ඒ මෙහෙවර අගයා මට ලබා දුන් සම්මානයක් කිව්වොත් නිවැරදියි.”

පසුගියදා ලොස් ඇන්ජලිස් නගරයේදී ප්‍රධානය කළ ඒ සම්මානය ලබා ගත්තේ මා වෙනුවට මගේ එකම පුතු වන “අනෝජ්” මම මේ දිනවල ලංකාවේ නිසා. ඇත්තටම සම්මානයකින් ලැබෙන ශක්තිය, ධෛර්යය වචන වලින් විස්තර කරන්න බැහැ. ඒක මට ලොකු ආශිර්වාදයක්, ජයග්‍රහණයක්.

 

[email protected]

ශ්‍රී ජයමිණි අත්තනායක

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT